නව සන්ධානය ගැන : අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් !

නව සන්ධානය ගැන : අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් !

තනි පක්ෂයක් ලෙස ජනපතිවරණය ජය ගත නොහැකි බවත් අගෝස්තු මාසය අවසන්වීමට පෙරාතුව නව සන්ධානය පිහිටවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් නිකුත්කරමින් සඳහන් කරයි.

නව සන්ධානය පිහිටුවීම සඳහා පැවැති අවසන් සාකච්ඡාවේදී ඇතිවූ නව අදහස් සැලකිල්ලට ගෙන එම සන්ධානය පිහිටවීම තවදුරටත් කල් දැමීමට තීරණය කළ බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ විශේෂ ප්‍රකාශයේ සඳහන් වෙයි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2019 අගෝස්තු 05 වන දා කළ විශේෂ ප්‍රකාශය පහත දැක්වෙයි.

2014 අවුරුද්දේ අපි රට වෙනුවෙන් එකට එක්වුණා. ප්‍රජාතන්ත්‍රවාදය යළ තහවුරු කිරීම, ජාතීන් අතර සංහිදියාව ශක්තිමත් කිරීම, කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩ නැංවීම සහ යහපාලනය ස්ථාපිත කිරීම ඉලක්ක කරගෙන තමයි දේශපාලන පක්‍ෂ හා සංවිධාන ගණනාවක් මේ ආකාරයට සංධානගත වුණේ.

ගෙවුණු කාලය තුළ රටේ ඇතිවුණු ප්‍රවණතා අපි සැලකිල්ලට ගත්තා. ව්‍යවස්ථා කුමන්ත්‍රණය නිසා රට ඇද වැටුණු අස්ථාවර තත්වය අපේ අවධානයට යොමු වුණා.

මේ සියල්ල නිසා වඩාත් පුළුල්, ශක්තිමත් හා ස්ථාවර සංධානයක් පිහිටුවීමේ අවශ්‍යතාව අපට වැඩි වැඩියෙන් දැනුණා.

රට සුරැකීම හා රට ගොඩනැංවීම ඉලක්ක කර ගත් දේශපාලන පක්‍ෂ හා සංවිධාන සමග අපි මේ ගැන ගැඹුරින් සාකච්ඡා කළා.

ඒ අනුව අලූත් රටක් හා නවීන සමාජයක් බිහි කිරීමේ අරමුණින් ප්‍රජාත්‍රන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් පුළුල් සංධානයක් ඇති කොට දේශපාලන සංවිධානයක් ලෙස ලියාපදිංචි කිරීමට අප තීරණය කළා.

මේ හැම තීරණයක්ම ගන්නේ සියළු කණ්ඩායම් සමග සාකච්ඡා කොට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයටයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමේ දින නියම කර ගැනීමෙන් පසු පැවති අවසන් සාකච්ඡා වාරයන්හිදී තවත් අලූත් අදහස් මතුවුණා. ඒ අදහස් අපේ සැලකිල්ලට යොමු කිරීම වැදගත් බව අපට වැටහුණා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමේ ලියැවිල්ල අවසන් කරලීම සඳහා තවත් කාලයක් ලබා ගත යුතු බව අප සිතුවා. අගෝස්තු මාසය අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට අප තීරණය කරලායි තියෙන්නෙ.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමත් සමග දේශපාලන පක්‍ෂ හා සංවිධාන ගණනාවක් සමග ඒකාබද්ධව ක්‍රියා කිරීමේ අවකාශය උදා වෙනවා. නමුත් කිසිම පක්‍ෂයක එදිනෙදා කාර්යයන්ට මේ නිසා බලපෑමක් ඇති වෙන්නේ නෑ. පක්‍ෂ අභ්‍යන්තර ක්‍රියාවලියට හානියක් වන්නේත් නෑ. මේ සංධානය බිහි වෙන්නේ පක්‍ෂවල අනන්‍යතාවය හා ස්වාධීනත්වය ආරක්‍ෂා වන අන්දමටයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සඳහා ජාතික ප්‍රතිපත්ති මාලාවක් අප සකස් කරනවා. අපේ අනාගත සැලසුම් සකස් කරන්නේ ඒ ප්‍රතිපත්ති මාලාව පදනම් කර ගෙනයි.

තනි පක්‍ෂක් ලෙස ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම දුෂ්කර බව මෑත කාලීන දේශපාලන ප්‍රවණතා ගැන අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකු පිළිගන්නා කරුණක්. ඒ නිසා පසුගිය කාලය පුරාම මම කාලය සහ ශ්‍රමය වැය කළේ ජයග්‍රහණය කරා අපව යොමු කරවිය හැකි පුළුල් දේශපාලන සංධානයක් ගොඩ නැගීම සඳහායි. මේ අරමුණින් මමත්, අනෙක් පක්‍ෂ නායකයිනුත් ඉවත් වෙන්නේ නෑ. අපේ එකම අධිෂ්ඨානය හා උත්සාහය වන්නේ එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සංධානයක් හරහා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමයි. ඉන් පසු පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කොට ශක්තිමත් රජයක් පිහිටුවා සමස්ත ලංකාවම ජයග්‍රහණයේ මාවතට යොමු කිරීමයි.

ඒ ගමනට අපි සියළු දෙනා එක්වෙමු. ශ්‍රී ලංකාව ලෝකයේ දීප්තිමත් හා සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමට කැපවෙමු.

මාධ්‍ය ඒකකය, අග්‍රාමාත්‍ය කාර්යාලය.

2019.08.05

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න