Language Switcher

V2025

වසර 15 කට පසුව : එජාප ජනාධිපති අපේක්ෂකයකු එයිද ? ඒ කවුද ?

ශ්‍රී ලංකාවේ මීළඟට තේරී පත් වන ජනාධිපතිවරයා කවුරුන් වුව ද 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ එම තනතුර යම් සීමාවන්ට යටත් කර තිබේ.

කෙසේ වෙතත්, 2020 ජනාධිපතිවරණය පිළිබඳව මේ වන විට සෑම පක්ෂයක් ම පාහේ දැඩි උනන්දුවකින් කටයුතු කරන අතර ජනාධිපතිවරණ අපේක්ෂකයින් පිළිබඳව කිසිදු එකඟතාවක් කිසිදු පක්ෂයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

ඒ අතරින්, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ අදහස්, මතවාද පළ වෙමින් පවතී.

ඒ අතරින් වැඩියෙන් ම කතාබහට ලක්වන දේශපාලනඥයින් වන්නේ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය පිළිබඳවය.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් පළ කරමින් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කර තිබුණේ, ජයග්‍රාහී සැලැස්මක් මෙන් ම අපේක්ෂකයෙකු තෝරා ගැනීම සඳහා ඉක්මනින් එකඟත්වයකට එළඹීමට හැකි වනු ඇති බවය. එහිදී ඔහු ද රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය පිළිබඳව සඳහන් කර තිබිණි.

harsha tweet

සන්ධානගත වීම

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දේශපාලන පක්ෂ සහ සංවිධාන කිහිපයක් සමග එක්ව සන්ධානයක් ලෙස ඉදිරිපත් වීමට මේ වන විටත් සැලසුම් කර තිබේ.

අදාළ සන්ධානයට සම්බන්ධ වන පාර්ශව අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අගෝස්තු 5 වන දා සිදු කිරීමට සැලසුම් කර තිබුණ ද, පසුව එය කල් දමනු ලැබීය.

එම සන්ධානයේ අවබෝධතා ගිවිසුමෙහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පිරිසක් විරෝධය පළ කිරීම ඊට ප්‍රධාන හේතුවක් ලෙස සඳහන් විය.

පසුගිය සතියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සමගාමීව අමාත්‍ය අජිත් පී. පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් නව සන්ධානය සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබිණි.

එම ලිපිය මගින් යෝජිත ප්‍රධාන කරුණු:

  • ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ලේකම් ධූරය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකුට හිමිවිය යුතුය.
  • සන්ධානයේ තීරක බලය එක්සත් ජාතික පක්ෂය සතු විය යුතුය.
  • නව සන්ධානයේ ලියාපදිංචි කාර්යාලය සිරිකොත විය යුතුය.

ඊට අමතරව, "ජනාධිපතිවරණ අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකාබද්ධ වීමෙන් සමන්විත ඒකාබද්ධ රැස්වීමකදී අනුමත කරන ලද තැනැත්තෙකු විය යුතුය," යනුවෙන් ද එම ලිපියෙහි සඳහන් කර තිබිණි.

එජාපයේ ජනාධිපතිවරණ ජයග්‍රහණ

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අවසන් වරට ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළේ, රණසිංහ ප්‍රේමදාසය. ඒ, 1988 වසරේ පැවති ජනාධිපතිවරණයේදීය.

 108225203 4a403a4f e1a3 4e24 a5d6 45e741115defඒ අනුව, වසර 31ක කාලයක් තුළ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු ජනාධිපති ධූරයට පත්ව නොමැත.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය අවසන් වරට සිය ලාංඡනය වන අලියා ලකුණින් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූයේ, 2005 වසරේදීය. ඊට අමතරව, 2005 වසරෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ද ජනාධිපතිවරණයකට ඉදිරිපත් කර නොමැත.

2010 වසරේදී, එවක ජෙනරල් සරත් ෆොන්සේකා සහ 2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට තරග කළේ, හංසයා ලකුණ යටතේය.

මෙවර ද යෝජනා වී තිබෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමටය'

අපේක්ෂකයා කවුද?
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයින් ලෙස රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය යන දේශපාලනඥයින්ගේ නම් කරළියට පැමිණ ඇත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රබල මතයක් ඉදිරිපත් නොවුව ද සජිත් ප්‍රේමදාස අරබයා එක්සත් ජාතික පක්ෂය තුළ පිල් බෙදීමක් දක්නට ලැබෙන බව මාධ්‍ය වාර්තා අනුව පෙනීයයි.

 108225205 2d9968ec 5adf 428f ae22 ce775029c73a
විශේෂයෙන් අමාත්‍ය රවී කරුණානායක පසුගිය සතියේ මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ, "සජිත් ප්‍රේමදාස හැරුණුකොට සුදුසුකම් ඇති තවත් උගත්, පරිණත දේශපාලනඥයින් එක්සත් ජාතික පක්ෂය සතුව සිටින," බවය.

එහිදී, ඔහු එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වයට සුදුසු පුද්ගලයින් පිළිබඳව ද අදහස් පළ කළේය.

"අපිට ඉන්නවා ගණනාවක්. රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සරත් ෆොන්සේකා, ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුමබණ්ඩාර, හැරිසන් ලා ඔය වගේ ගණනාවක් ඉන්නවා."

රවී කරුණානායක එහිදී ප්‍රකාශ කළේ, අගෝස්තු මස අග වන විට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගනු ලබනු ඇති බවය.

අමාත්‍ය අජිත් පී. පෙරේරා, ජනාධිපති අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාස පත් කිරීම සඳහා ප්‍රසිද්ධියේ පෙනී සිටින්නෙකි.

ඔහු ජූලි 23 වන දා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ, "සජිත් ප්‍රේමදාස හැර විකල්පයක් නොමැති," බවය. 108225467 923e1443 e4ac 4466 8e79 eda564b698be

"කරු ජයසූරිය ගැන සාකච්ඡා මං හිතන්නේ දැන් අවසන් වෙලා තියෙන්නේ. දැන් ඉතිරි වෙලා තියෙන්නේ සජිත් මැතිතුමාගේ නාම යෝජනා අපේක්ෂකත්වය නිල වශයෙන් සම්මත කර ගැනීම තමයි, දැන් ඉතුරු වෙලා තියෙන්නේ. විකල්ප අදහස් නැති බව තමයි අපිට පේන්න තියෙන්නේ. සජිත් ප්‍රේමදාස හැර විකල්පයක් නෑ. එක මතයයි. ඒකයි ඒකමතිකයි කියන්නේ."

මේ අතර, පසුගිය දෙවන දා අමාත්‍ය හරින් ප්‍රනාන්දු ජනතාව අමතමින් ප්‍රකාශ කළේ, සජිත් ප්‍රේමදාසට සහය දෙන බවය.

"මං විවෘතව කියල තිබුණා සජිත් ප්‍රේමදාසට කැමතියි කියලා. මං සජිත් ප්‍රේමදාසට උදව් කරනවා. ඕන නම් මාව අයින් කරන්න. ප්‍රශ්නයක් නැහැ. මං ඉල්ලා අස්වීමේ ලිපිය ලියලා දෙන්නම්," අමාත්‍ය හරින් ප්‍රනාන්දු පැවසීය.

මීට අමතරව, අමාත්‍ය සුජීව සේනසිංහ පසුගිය සිකුරාදා ප්‍රකාශ කළේ, තමන් ජනාධිපති අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා කළ බවය.

කෙසේ වෙතත්, සාකච්ඡාවලින් පසුව ගනු ලබන "ඕන ම තීන්දුවකට අපි එකඟයි," යනුවෙන් ද ඔහු ප්‍රකාශ කළේය. ඔහුගේ මතය ද වූයේ, අපේක්ෂකයා "අනිවාර්යයෙන් ම එක්සත් ජාතික පක්ෂයේ කෙනෙකු විය යුතු" බවය.

දැන් ආයෙ වෙන කතා දෙකක් නෑ. අපි වැඩේට බැහැල ඉන්නේ.... කවුරු අභියෝග කළත්, කවුරු මොන බාධක දැම්මත්, කවුරු මොන ප්‍රශ්න දැම්මත් සජිත් ප්‍රේමදාස වැඩේට ලෑස්තියි කියන එක බොහොම වගකීමෙන් ප්‍රකාශ කරනවා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස

මේ අතර, අගෝස්තු දෙවෙනිදා හම්බන්තොට පැවති උත්සවයක් අමතමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසුවේ, තමන් ජයග්‍රහණය කිරීමට සූදානම් බවය.

"දැන් ආයෙ වෙන කතා දෙකක් නෑ. අපි වැඩේට බැහැල ඉන්නේ.... කවුරු අභියෝග කළත්, කවුරු මොන බාධක දැම්මත්, කවුරු මොන ප්‍රශ්න දැම්මත් සජිත් ප්‍රේමදාස වැඩේට ලෑස්තියි කියන එක බොහොම වගකීමෙන් ප්‍රකාශ කරනවා."

"කරු ජයසූරිය ජනාධිපතිකමටත් සුදුසුයි"

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වයට කතානායක කරු ජයසූරිය පිළිබඳව ද විටින් විට සඳහන් විය.

අපේක්ෂකයා නෙවේ වැදගත් වෙන්නේ. එම අපේක්ෂකයා යටතේ රට කරවන වැඩපිළිවෙළ කුමක් ද කියන එකයි වැදගත්.
අමාත්‍ය පාඨලී චම්පික රණවක

මීට පෙර බීබීසි සිංහල සේවය සමග සංවාදයකට එක්වෙමින් කතානායක කරු ජයසූරිය සඳහන් කළේ, ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඉල්ලීමක් ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් සලකා බලන බවය.

ජනාධිපතිවරණය: කරුගේ ස්ථාවරය හෙළිදරව් කරයි!

මේ අතර, "ඕනෑ ම අභියෝගයක් ජය ගත හැකි කරු ජයසූරිය මහතා රටේ නායකත්වයටත් සුදුසු," බව අමාත්‍ය ජෝන් අමරතුංග ජූලි 11 වන දා කොළඹ සංචාරක මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී පැවසීය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවධානය යොමුවූ තවත් දේශපාලනඥයෙකු වන අමාත්‍ය පාඨලී චම්පික රණවක බදාදා (අගෝස්තු 07) ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකාවක සජීවී සංවාදයකට එක්වෙමින් පැවසුවේ, රටේ දියුණුවට අපේක්ෂකයා කවුරුන් ද යන්න වැදගත් නොවන බවය.

"අපේක්ෂකයා නෙවේ වැදගත් වෙන්නේ. එම අපේක්ෂකයා යටතේ රට කරවන වැඩපිළිවෙළ කුමක් ද කියන එකයි වැදගත්. නායකයා වැදගත්. ඒ වගේ ම රට මේ තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න කණ්ඩායමත් වැදගත්," අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසීය.

(බීබීසී )