Language Switcher

V2025

අලුත් සන්ධානය අලුත් ගමනකට : පාඨලීගේ උත්සවයේදී රනිල් කියපු කතාව !

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කොට රට ඉදිරියට ගෙන යාමට නම් අලූත් අදහස් සමගින් සන්ධාන ගතවිය යුතු බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී එක්සත්ව එකමුතුව එක ගමනක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමේ අරමුණින් නව සන්ධානය ගොඩ නගන බව පැවසීය.

අළුත් අදහස් සමඟින් ඉදිරියට නොයන්නේ නම් සන්ධානවලින් වැඩක් නොවන අතර අළුත් අදහස් සමඟ අළුත් සන්ධානයක් ඇතිකිරීමට බලාපොරොත්තු වන බව පැවසු වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ මෙම මස අවසාන වීමට පෙර එකී සන්ධානය ගොඩනගන බවයි.

අළුත් අදහස් ගැන කතාකිරීමේදී පාඨලී චම්පික රණවක මහතා පිළිබඳවද කතා කිරීමට සිදුවන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා 'මහ නගරයක් ඇති කරන්න කියල ප්‍රකාශ කළාට පස්සේ එයට වෙනම අමාත්‍යාංශයක් ඇති කරන්නත් කාටද එය දෙන්නේ කියල හිතල බලල එදා චම්පික රණවක ඇමතිතුමාට භාර දුන්නා. එතුමා ඒ කටයුත්ත ඒ විදිහටම කරලා තියෙනවා.' යැයිද පැවසීය.

වත්මන් ආණ්ඩුව සුදු වෑන් සංස්කෘතිය නැති කර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර අලූත් රටක් නිර්මාණය කිරීමට පියවර ගත් බවත් ඒ ගමන තව දුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට යාම සඳහා මේ මස අවසන් වීමට පෙර නව සන්ධානය ගොඩ නගන බවත් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළකලේ ඊයේ (08) සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේදී පැවති දෑ අභිමානි උපහාර උළෙලට එක්වෙමිනි.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය වෙනුවෙන් කටයුතු කළ ඉදිකිරීම් සමාගම් සහ එහි සේවකයන් ඇගයීම සඳහා මෙම උත්සවය පැවති අතර එහිදී මෙම ව්‍යාපෘති අතරින් හොඳම ව්‍යාපෘති තුනට සම්මාන පිරිනැමීම ද අග්‍රාමාත්‍යතුමා විසින් සිදු කරන ලදී.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

හිසරදයට කොට්ට මාරු කිරීම පිළියමක් නොවෙයි. අපි අලූතින් සිතමින් ඉදිරියට යා යුතුයි. එසේ නොවුනොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය කඩා වැටීමට ලක්වෙනවා. සාම්ප්‍රදායික දේශපාලනයෙක් ඔබ්බට ගොස් දේශපාලන පක්ෂ හා සියළු බලවේග සමග සන්ධානගත වී නව අදහස් සමඟ රට ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා.

නව සන්ධානය බිහි කිරීම සඳහා මේ වන විටත් අපි සාකච්ඡා අරම්භ කර තිබෙනවා. එක්සත්ව එකමුතුව රට ඉදිරියට ගෙන යාමට හැකි එම සන්ධානය මේ මස අවසන් වීමට පෙර අපි ගොඩනගනවා.

මෙහිදි අදහස් දැක්වූ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක එදා කොළඹ පැල්පත්වාසී ජනතාව ඔවුන්ගේ නිවාසවලින් බලහත්කාරයෙන් එළියට ඇද දැමීමට එවකට පැවති පාලනය ක්‍රියා කළත් වත්මන් ආණ්ඩුව ඒ සියළු ජනතාවට ස්ථිර නිවාස තනා දීමට පියවර ගෙන තිබෙන බව පැවසීය.

එදා පැල්පත්වල ජීවත්වූ කොළඹජනතාව අද වෙන විට පියවරෙන් පියවර ඉදිරියට පැමිණ ඔවුන්ගේ ජීවන තත්වය සාර්ථක කර ගැනීමට අවස්ථාව උදාකරදී තිබෙන බවද චම්පික රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති සුමේධ රත්නායක ප්‍රමුඛ දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගිව සිටියහ.