Language Switcher

V2025

දසරාජ ධර්මයෙන් රට පාලනය කරනවා : සජිත් සහතික වෙයි !

තමන් රට පාලනය කරන්නේ දස රාජ ධර්ම කේන්ද්‍ර කරගෙන බවත් රාජ්‍ය පාලනය තුළ අපි මනුස්සකමට මුල්තැන දෙන ශක්තිමක් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

අඅමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේ අද (12) පැවති ජන රැළියක් අමතමිනි.

එය අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් සංවිධානය කර තිබිණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“සංවර්ධනයේ ඉදිරි ගමනේ හැරවුම් ලක්ෂයක් සනිටුවහන් කරමින් නව දැක්මත් තුළින් ජනහිතකාමී චින්තනයක් තුළ රටට අලුත් අරම්භයක් ලබාදීමට කටයුතු කරන මොහොතේ අධිඅමතමිනි යවාදීන් සුනු විසුනු කළ ඌව වෙල්ලසින් මේ ගමන ආරම්භ කිරිමට ලැබීම ගැන සතුටු වෙනවා.

අපේ ගමන කාර්යසූරව පැය 24 දින 365 තුළම මාතෘ භූමියට අගය එකතුකරමින් රට සුරකින රට ගොඩනගන අභිමානවත් දේශයක් අපි අනිවාර්යයෙන්ම නිර්මාණය කරනවා.

රාජ්‍ය පාලනයක් දියත් කරන සෑම සියලු දෙනාම අවබෝධ කරගන්න ඕන රාජ්‍ය පාලනය කියන සංකල්පය තාවකාලික භාරයක්. මේ තාවකාලික භාරය අප වෙත ලැබෙන්නේ පොදු ජනතාවගේ ආශීර්වාදයෙන්.

රාජ්‍ය පාලනය අපි ක්‍රියාත්මක කරන කොට රටේ ඉදිරි ගමනේ ප්‍රධානම කොටස් කරුවන් විය යුත්තේ අපේ රටේ පොදු ජනතාව.

එසේනම් රටක් පාලනය කරන කොට රට සීඝ්‍ර ගමනක් දියත් කිරිමේ කාර්ය ඉටුකළ හැක්කේ ගජමිතුරු කල්ලියකට නොව දක්ෂ, හැකියාවන් ඇති,වෘත්තියෙන් පරිපූර්ණ වූ, නව නිර්මාණ තුළින් රට සීග්‍ර සංවර්ධන රටාවක් ක්‍රියාත්මක කළ හැකි දක්ෂයාට තැන දෙන අවස්ථාවකයි.

පවුල් ලක්ෂ 61 පුරවැසියන් ලක්ෂ 221කට ශක්තිය ලබාදීමට අප ඇප කැප වෙනවා. අපි හැමෝම දන්නවා මුළු ලෝකයම පිළිගත් න්‍යායක්. රටක් දියුණු වෙන්නට නම් කුඩා හා මධ්‍යම පරිමානයේ කර්මාන්තකරුවන්ට සහන දී, දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කර, අපේ කමට මුල් තැන දී, අපේ රටේ ධන උත්පාදන ක්‍රමය ඉදිරියට ගෙන යා යුතුයි.

අපේ ගමන තුළ තරුණ පරපුරේ සිතුම් පැතුම් රාජ්‍යකරණයේ අංගයක් විය යුතුයි. තරුණ පරපුර පාපන්දුවක් කරන්නේ නැතිව සංවර්ධනයේ පෙරමග ගමන් කරුවන් ලෙස තරුණයන් ඉදිරියට ගැනීමට බලාපොරොත්තුවෙනවා.

තරුණ පරපුරට නායකත්වය ලබාදී මේ රටේ ඉදිරි ගමන තරුණ පරපුරේ ගමන බවට පත්කරනවා. අපි රටක් ලෙස දියුණු වන්නට නම් නව නිර්මාණවලට නව අදහස්වලට, උසස් තාක්ෂණයට අපි මුල්තැන දෙන්න ඕන.

ඇමෙරිකාවේ සිලිකොන් වැලි යන මෘදුකාංග කේන්ද්‍රකරගත් කර්මාන්ත භූමි බිහිකරන්න පුළුවන් නම් ඇයි අපිට සිලිකොන් වැලි නිර්මාණය කරන්න බැරි.

රට තුල අලුත් නිශ්පාදන කර්මාන්ත රටා ඉදිරිපත් කර ශක්තිමත් ආර්ථිකයක් තුළින් රට ගොඩ නැගීමට කටයුතු කරනවා.

රටක් පාලනයට කරන විට ආවට ගියාට හිතුමතේට සංකල්ප නිර්මාණය කරන්න බෑ. නිශ්චිත ජාතික සැලසුමක් තුළින් ඉලක්ක ගත වැඩපිළිවෙලක් තුලින් වසරක් පාසා ජාතික ඉලක්ක කේන්ද්‍රකරගෙන ඉදිරි ගමනක් යන්න ඕන.

සතිපතාම අපි සමාලෝචනය කරන්න ඕන. මාස්පතාම අපි යන ගමන හරිද කියා හොයා බලන්න ඕන. ජනතාවට ශක්තියක් ලැබෙනවද කියා සොයා බලන්න ඕන.

අපි මේ ගමන යන විට ශක්තිමත් ශ්‍රී ලංකාවක්, සංවර්ධිත ශ්‍රී ලංකාවක් බිහිකරනවා. නව සංවර්ධනය තුළින් හැමෝම දින්නට ඕන. කොටසක් විතරක් ප්‍රතිලාභ ලබාගෙන හරියන්නේ නෑ. පහුගිය අවුරුදු 15 දිහාම බැලූ විට අප විමතියට පත්වෙනවා.

ජාතික ආදායමෙන් 54%ක් භුක්ති විද්නනේ රටේ ඉන්න පෝසත්ම 20%, රටේ ඉන්න දුප්පත්ම 20% භුක්ති විදින්නේ 4%ක් වැනි සොච්චමක්. මේ ක්‍රමය වැරදියි. මේ ක්‍රමය අමානුෂීයයි.

මේ ක්‍රමය සහමුලින්ම අවසන් කර පුරවැසියන් ලක්ෂ 220 ජයග්‍රහණය කළ හැකි ක්‍රමයක් අපි නිර්මාණය කරනවා. අපිට අලුත් ගමනක් යන්න වෙනවා. අපි විප්ලවීය වෙනසක් බලාපොරොත්තු වෙනවා.

විප්ලවීය වෙනසක් ක්‍රියාත්මක කිරීමේදී සම්ප්‍රදායික ක්‍රමයට කොටු නොවී අලුතින් සිතා රාමුවෙන් පිට පැනලා අලුත් ගමනක් තුළින් ජන ජිවිතය සුඛිත මුදිත කරන්නට සිදුව තිබෙනවා.

ගතානුගතික යල්පැනගිය වසර 60-70 තුළ ක්‍රියාත්මක වුණ අසාර්ථක ක්‍රමය වෙනස් කර හදවතට දැනෙන අලුත් මාතෘභූමියක් අපි නිර්මාණය කරනවා.

මේ රට කර්මාන්ත යුගයට ගෙනිහින් අපනයන ප්‍රධාන ආර්ථික රටාවක් මේ රටේ නිර්මාණය කර රටේ එක් කොටසකට පමණක් කර්මාන්ත හැදීමේ වැඩපිළිවෙළ නවතා ගමේ කර්මාන්ත ශාලා වැඩසටහන නියමිත ඉලක්ක ඇතිව ආරම්භ කරනවා.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අප ඇප කැප වෙනවා. ජාතික ආරක්ෂාව කියන්නේ මිල්ටරි ආරක්ෂාව පමණක් නෙමෙයි. දේශපාලන, ආර්ථික, සමාජ ආරක්ෂාව තහවුරු කරන්න ඕන. රණවිරු පරපුරේ අභිමානය සුරකීමට කටයුතු කරනවා.

ආර්ථිකය දුර්වල වූ තැන ජාතික ආරක්ෂාව කෙලෙසනවා. දේශපාලන ආරක්ෂාව නැතිවූ තැන රට ව්‍යවසනයකට යනවා. බදු බරෙන් අපි මධ්‍යම පන්තිකයා මුදවන්න ඕන.

අපි බොරුවෙන් තොර පාලනයක් ක්‍රියාත්මක කරන්න ඕන. අද රටේ බහුතරයකට ජීවත්වෙන්න අමාරුයි. මේ දේ අපි කනපිට හරවන්න ඕන. සෑම පුරවැසියෙක්ම ගොඩ ගන්න නවීන ආර්ථික ක්‍රමයක් අපි මේ රටේ බිහිකරනවා.

දස රාජ ධර්ම කේන්ද්‍ර කරගෙන අපි රට පාලනය කරනවා. රටට අහිතකර කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නෑ.

අපේ රාජ්‍ය පාලනය තුළ අපි මනුස්සකමට මුල්තැන දෙනවා. අපි ශක්තිමක් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරනවා.

සමහරු හිතනවා අපි දුර්වලයි කියලා.මගේ එක දුර්වලතාවක් තිබෙනවා. ඒක රටට හෙළි කරන්නම්. නිවසක් නැති අය දැක්කාම මම දුක්වෙනවා. රැකියාවක් නැති තරුණ පරපුර දැක්කාම මට දුකක් ඇතිවෙනවා.

පොදු මහජනතාව පීඩනයට අසහනයට ලක්වන විට මම දුකට පත්වෙනවා. මගේ පාලනයක් යටතේ හිතක් පපුවක් ඇතිව මනුස්සකමට මුල්තැන දි අපේ පාලනය ක්‍රියාත්මක කරනවා.”