අගමැති රනිල් - සජිත් එක වේදිකාවක : ගෝඨාට දිගට හරහට දෙසයි !

අගමැති රනිල් - සජිත් එක වේදිකාවක : ගෝඨාට දිගට හරහට දෙසයි !

හෝමාගම, රණාල, ජල්තර ප්‍රදේශයේ මධ්‍යම පාන්තිකයින් වෙනුවෙන් ඉදිකළ “සැමට සෙවන ග්‍රීන් වැලි රෙසිඩන්සීස්” මහල් නිවාස සංකීර්ණය ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අද (12) උදෑසන විවෘත විය.

එහිදී සභාව ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කර සිටියේ , බියෙන් හා සැකයෙන් තොරව ජීවත් විය හැකි ආරක්‍ෂිත පරිසරයක් ගොඩනගන බවට පොරොන්දු දී ගෝඨාභය රාජපක්‍ෂ , ජනාධිපති අපේක්‍ෂකත්වයට ඉදිරිපත් වන්නේ එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදීන් ඝාතනය හා පැහැර ගැනීම්, සිරස හා උදයන් වැනි මාධ්‍ය ආයතනවලට පහර දීම්, රතුපස්වල වැනි විරෝධතාවලට ප්‍රහාර එල්ල කිරීම්, වැලිකඩ රැඳවියන් ඝාතනය කිරීම්, සුදු වෑන් යොදාගෙන අපරාධ කිරීම්, පැල්පත් නිවාසවල මිනිසුන් පන්නා දැමීම් ඇතුලූ සිද්ධීන්ට සමාව ගෙන දැයි කියාය.

අධිකරණය ස්වාධීන කිරීම, තොරතුරු ලබා ගැනීමේ අයිතිය සහතික කිරීම, ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම, අතුරුදන්වූවන් වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවීම වැනි ක්‍රියාමාර්ග රාශියක් ගෙන තිබෙන නිසා විවේචන එල්ල කිරීම්, විරෝධතා පැවැත්වීම ඇතුලූ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් රට තුළ ඇති කර තිබෙන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ඊයේ දිනයේ “නිදහස කම්මුතුකරන්නෙක්”, රටට ඉදිරිපත් කළේ අප ලබා දුන් නිදහස විනාශ කිරීමට බව ද පෙන්වා දුන්නේය.

ඇතැමුන් වචනයෙන් පමණක් නිදහස ආරක්‍ෂා කිරීම ගැන කතා කළත්, ක්‍රියාවෙන් සැබෑ නිදහස ලබාදුන්නේ කවුරුන්දැයි නැවතත් සිතා බලන ලෙස වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

රුපියල් මිලියන 1900 ක් වැය කරමින් ඉදිකර ඇති මෙම නිවාස සංකීර්ණය නිවාස 350 කින් සමන්විත වන අතර අභ්‍යන්තර මාර්ග පද්ධති, වාහන නතර කිරීමේ පහසුකම්, ශරීර සුවතා මධ්‍යස්ථාන, වෛද්‍ය මධ්‍යස්ථාන, ළමා ක්‍රීඩාංගන, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පිහිනුම් තටාකාංගන හා සුපිරි වෙළෙඳසැල් යන පහසුකම්වලින් ද සමන්විත වේ.

මෙම නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද කීය.

“දිළිඳුකම අපේ ප්‍රධාන සතුරා බවට පත් කර ගෙන රටේ දිළිඳුකම පිටු දැකීමට අප තවදුරටත් පියවර ගන්නවා. දිළිඳුකම නැති කිරීම සඳහා අප ක්‍රියා කරමින් සිටින විට ඇතැමුන් දේශපාලන වාසිවලට ක්‍රියා කරන බව කණගාටුවෙන් වුව ද සඳහන් කළ යුතුයි. මෙම වැඩපිළිවෙළට බාධා කිරීම් ඇති නොවුණා නම් අද වන විට මීටත් වඩා දියුණුවක් රටේ ඇති වන බව කිව යුතුයි.

සෑම මාධ්‍ය නාලිකාවක්ම මට දෝෂාරෝපණ එල්ල කළත් එම කිසිඳු මාධ්‍ය ආයතනයකට හානි කිරීම්, මාධ්‍යවේදීන් සුදු වෑන් රථවලින් පැහැරගෙන යාම, ඝාතනය කිරීම, ප්‍රශ්න කිරීම් සිදු වුණේ දැයි මා විමසා සිටීමට කැමතියි. එවැනි කිසිඳු සිදුවීමක් නොවූ බව මා වගකීමෙන් ප්‍රකාශ කරනවා. අපට විරුද්ධව නඩු පැවරීමට, තීරණ ගැනීමට හැකි නිදහස් රටක් අප බිහි කර තිබෙනවා.”

රටේ ජනතාවගේ මානව හිමිකම් ආරක්‍ෂා කළ යුතු බවත්, එම විෂයට ආර්ථික හා සමාජයීය අයිතිවාසිකම් ද අනිවාර්යෙන්ම ඇතුළත් විය යුතු බවත් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.

රටේ පුරවැසියෙකුගේ පුරවැසිභාවය අංග සම්පූර්ණ වීම සඳහා මෙරට උතුම් භූමියේ අයිතියක් අනිවාර්යෙන්ම එම පුරවැසියාට තිබිය යුතු බව ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝ රත්නය, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති, හෝමාගම එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධයක, නීතීඥ එරංග වැලිඅංගේ ප්‍රමුඛ දේශපාලනඥයින්, හෝම්ලෑන්ඩ් ස්කයිලයින් සමාගමේ සභාපති නලින් හේරත් සහ රාජ්‍ය නිලධාරීහු ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියහ.

jalthara

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න