එජාප සන්ධානය තවත් කල් යන ලකුණු !

එජාප සන්ධානය තවත් කල් යන ලකුණු !

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම සහ එජාපය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමේ කටයුතු තවදුරටත් ප්‍රමාදවන බව වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය යන තිදෙනාගේ නම් ප්‍රමුඛව ඉදිරිපත්වී ඇති අතර එජාපය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හමුවේ මෙම තිදෙනා වෙතම විවිධ මට්ටමින් සහය පළකරන පිරිස් සිටීම තුළ එජාප ජනාධිපති අපේක්ෂකයා නම්කර ගැනීම අපහසුවී තිබේ.

එමෙන්ම එජාප ජනාධිපතවරණ අපේක්ෂකයා නම් නොකර පෙරමුණ සන්ධානගතවීම සුදුසු නොවන බවට එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට හිතවත් පිරිසක් ගෙනයන මතය නිසා පෙරමුණ ස්ථාපිත කිරීමේ දිනය කල් දමා තිබේ.

එමෙන්ම, 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ' ව්‍යවස්ථාව පිළිබඳ එකඟතාවට පැමිණීමට නොහැකි වීම නිසා ද මෙම තත්ත්වය හටගෙන තිබේ.

'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ' පිහිටුවීම මේ මස අවසන් වීමට ප්‍රථම සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවද, එම සන්ධානය පිහිටුවීමේ දිනය පිළිබඳව ස්ථිරව සඳහන් කිරීමට නොහැකිව තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් රැස්වී මේ පිළිබඳ සාකච්ඡා කළද එම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී තිබේ.

ඒ අනුව 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ' පිහිටුවීම සහ එහි ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයන් මෙම මස 17 වැනිදා යළිත් රැස්වීමට නියමිත බව එම පෙරමුණේ පක්‍ෂ නායකයෙක් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න