Language Switcher

V2025

යාපනයට සිදුකළ මෙහෙය ගැන අගමැතිට : ද්‍රවිඩ සන්ධානයෙන් ස්තූතිය !

යුද්ධයෙන් පීඩාවට පත්වූ යාපනය ඇතුළු උතුරු ප්‍රදේශය යලි නගා සිටුවා පෙර පැවති අයුරින්ම යාපනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් බවට පත්කිරීම තම අරමුණ බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඒ අරමුණ සාක්ශාත් කර ගැනීම සඳහා යාපනය කේන්ද්‍ර කොට ගෙන විශාල ආර්ථික ප්‍රබෝධයක් ඉදිරි වසර 05 තුල ඇති කරන බව පැවසීය.

ඊයේ (15) පෙරවරුවේ යාපනයේ මයිලඩි ධීවර වරායේ ප්‍රථම අදියර විවෘත කරලීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ පැවසුවේ ඒ සංවර්ධන ගමන් මගෙහි ඉදිරියට යාම සඳහා අත්වැල් බැද ගන්නා ලෙස තමා උතුරේ ජනතාවට ආරාධනා කර සිටින බවයි.

මුලින්ම රට පුරා සමාජ සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා තම රජය පියවර ගත් බවත් දැන් ආර්ථික දියුණුව සඳහා වැඩි බරක් තබා ඇති බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.

යාපනය නගරාධිපති තුමා සමඟ එක්වී යාපනය නව නගරය සැලසුම් කොට ඉදිකිරීමට දැන් මූලික පියවර ගෙන ඇති බවද වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙහිදී හෙලි කළේය.

මෙහිදි අදහස් දක්වමින් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් කියා සිටියේ දකුණේ මෙන්ම උතුරේ ද ධීවර ප්‍රජාව ශක්තිමත් කිරීමට වත්මන් රජය විශාල වැඩකොටසක් දියත් කර ඇති බවයි.

මිලියන 150 ක් වැය කරමින් මයිලඩි ධීවර වරායේ පළමු අධියර නිමකොට ජනතා අයිතියට පත්කිරීමට හැකි වූ බවත් ඉදිරියේදී උතුරේ ධීවර කටයුතුවල නිරත ජනතාව නවීන තාක්‍ෂණයට හුරු කිරීමටත් එම ජනතාවට රක්‍ෂණාවරණයක් හඳුන්වාදීමටත් මත්ස්‍ය ආහාර සඳහා පොදු මිලක් ලබාදීමටත් කටයුතු කරන බව පැවසීය.

පසුගිය රජය නීතිවිරෝධි ලෙස පොදු ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගත්තද වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එම ඉඩම්වලින් විශාල ප්‍රමාණයක් හිමිකරුවන් වෙත නිදහස් කරදීමට පියවර ගත් බවත් එහිදි අදහස් දැක්වූ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පැවසුවාය.

මෙහිදි අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා කියා සිටියේ මයිලඩි ධීවර වරායේ පළමු අදියරේ වැඩකටයුතු වසරක් තුළ නිමකොට ජනතා අයිතියට පත්කිරීමට මූලික වී ක්‍රියා කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයට තම ස්තූතිය පළකර සිටින බවයි.

උතුරු පළාතේ ආරක්‍ෂක අංශ විසින් අත්පත් කරගෙන තිබෙන ඉඩම්වලින් 75% ක්ම මේ වන විට පොදු ජනතාවට නිදහස් කර දී තිබෙන බවත් ඉතිරි ප්‍රමාණය නිදහස් කරදීමට රජය පියවර ගනිමින් සිටින බවත් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, උතුරු පලාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිවරුන් වන එම්. එම්. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, ශ්‍රී සරවණභවන්, හිටපු උතුරු පළාත් සභා සභාපති සී.වී. කේ. සිව ඥානම්, යාපනය නගරාධිපති ආනෝල්ඩ්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෙඣීවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී. සිව ඥාණසෝති, ධීවර අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එෆ් රුවන් චන්ද්‍ර, ඇතුළු යාපනය දිස්ත්‍රික් ලේකම් සහ රාජ්‍ය නිලධාරීන් ද, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.