අගමැති රනිල් : ජනාධිපති සංශෝධන හංගලා !

අගමැති රනිල් : ජනාධිපති සංශෝධන හංගලා !

ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට 19 වැනි සංශෝධනයෙන් සම්මත කරගත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදනයට අදාළ විධිවිධාන ජනාධිපති මැතිවරණ පනතට එකතු කිරීම සඳහා කෙටුම්පත් කර ඇති සංශෝධන අගමැති රනිල් වික්‍රමසිංහගේ බලපෑම නිසා දීර්ඝ කාලයක් තිස්සේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව වාර්තා වෙයි.

මේ පුවත අනිද්දා පුවත්පත විසින් වාර්තා කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.

වසරකට පමණ පෙර එම කෙටුම්පත සම්පූර්ණයෙන්ම සකස් කොට, එයට නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණද ලබාගෙන ඇත. ඒ ගැන ආණ්ඩුවේ ප්‍රබලයන් අගමැතිවරයාගෙන් විමසන අවස්ථාවේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට එකඟතාවක් ඇති කරගත් පසුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බව ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරණය පැවැත්විය යුතු ආකාරය පිළිබඳ මූලික රාමුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙයි. ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලය, තිබිය යුතු සුදුසුකම් ආදිය එහි සඳහන්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති කරුණු ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි විස්තර කරන ප්‍රකාශිත විධිවිධාන සඳහන් වන්නේ ජනාධිපති මැතිවරණ පනතේය.

ඒ අනුව, ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයක් කළ පසුව, එම සංශෝධනයට අනුව මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළ යුතු ආකාරය ඇතුළත් කරමින් ජනාධිපති මැතිවරණ පනත සංශෝධනය කළ යුතුය.

යම් පුරවැසියෙකු ද්විත්ව පුරවැසියෙක්ද නැද්ද යන්න පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ නොමැති අතර ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව කටයුතු කරන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවයි.

ඒ නිසා ද්විත්ව පුරවැසියෙකු පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීම ආදී කටයුතු පිළිබඳව ජනාධිපති මැතිවරණ පනතෙන් නිසි උප‌දෙස් නැති පසුබිමක ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකිය යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදනය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමේ අවධානමක් ඇතැයි මේ පිළිබඳ තතු දන්නෝ පවසති.

අගමැතිවරයා අදාළ පනත් සංශෝධනය ඉදිරිපත් නොකර සිටීම ගැන අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙකු කීවේ ද්විත්ව පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමාට ජනාධිපතිවරණය ජයගැනීමට වැඩි අවස්ථාවක් ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ විශ්වාස කළ නිසා එළෙස කටයුතු කර ඇති බවය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න