Language Switcher

V2025

'දූෂිත දේශපාලනය බරපතළ ප්‍රශ්නයක්' - ජනාධිපති

යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම අද අත්‍යවශ්‍ය වී තිබෙන බවත් අයහපත් දූෂිත දේශපාලනය ඊට බරපතළ ප්‍රශ්නයක් හා අභියෝගයක් වි තිබෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 70 වැනි ජාතික නිදහස් සමරු උළෙලේ දී ජාතිය අමතමින් ප්‍රකාශ කළේ ය.

පහළ සිට ඉහළටත් ඉහළ සිට පහළට විධිමත්භාවයෙන්, විනයක් ඇති දේශපාලන පරපුරක් සමඟ රට ඉදිරියට යෑමේ අවශ්‍යතාවය තිබෙන බව ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

දුෂණ විරෝධී මතය ශක්තිමත් කිරීම ජාතික ප්‍රගමනයේ ආත්ම ආරක්ෂාව බවත්, දේශප්‍රේමීත්වය යනු මූල්‍ය විනය අනුව කටයුතු කිරීම බවත්, මූල්‍ය විනයක් ඇති කිරීමට පුළුල් ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය තිබෙන බවත්, ඔහු සඳහන් කළේය.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

''ඉතාමත් ගෞරවයෙන් හා අභිමානයේ සිහිපත් කරන්නේ, අපේ රටට යටත් විජිත යුගයෙන් නිදහස් ලැබී වසර 70ක් ගතවන ඓතිහාසික නිදහස් සමරුමයි. 1948 නිදහස ලැබීමෙන් පසු අපේ අභියෝග ගණනාවක් ජයගැනීම සඳහා එදා සිට මෙදා දක්වා බලයට පත් වූ රජයන්, රාජ්‍ය නායකත්වයන්, ආරක්ෂක අංශ, පොදු මහජනතාව වගකීම් හා යුතුකම් මනා ලෙස ඉටු කර තිබෙන බව දැඩි ලෙස විශ්වාස කරනවා.

බලාපොරොත්තු නොවූ ආකාරයට රට බෙදීමට, වෙන් කිරීමට,උත්සහ කළ මිලේච්ඡ LTTE ත්‍රස්තවාදය පරාජය කිරීමට වසර 26ක දීර්ගකාලින යුද්දයකට මුහුණ දීමට සිදු වුණා. මෙය විවිධ ක්ෂේත්‍රවල ජාතික ප්‍රගමනයට පසුගමනයන් ඇතිවීමට හේතු වුණා.

අපේ ඉතිහාසයේ වසර දහස් ගණනක ශ්‍රේෂඨත්වය අභිමානය, මහා කතාන්දරයෙන් තිබෙන අද්දැකීම හා ඉන් ඇති වී තිබෙන ජීව ගුණය අපේ අනාගතය සඳහා ඉදිරි වැඩපිළිවෙල ශක්තිමත් කරගැනීමට උගතුන් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් සිය යුග මෙහෙවර කරමින් සිටිනවා.

අනාගතය ගොඩනැගීමේ අභියෝග :

අනාගතය ගොඩනැගීමට අභියෝග තේරුම්ගත යුතු වෙනවා. ආර්ථික ජයග්‍රහන ළඟාකරගැනීමට රජයක් ලෙස කැපවී සිටිනවා. දුගීභාවය ප්‍රබල අභියෝගයක්. මීට පෙර බලයට පත් වූ සෑම රජයක් ම පුළුල් වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කර ඇති අතර, අතීත අද්දැකීම් සමඟ නව වැඩපිළිවෙල සමඟ දුගී බවින් මිදීමට මීට වඩා කාර්යක්ෂමව ඉටු කළ යුතු වෙනවා.

සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හදුනාගැනීම අවශ්‍ය වෙනවා. ජාතික ප්‍රමුඛතා නොසළකා, පෞද්ගලික න්‍යාය පත්‍රයන් තුළ දසක කීපයක් තුළ කළ සංවර්ධන ජාතික ආර්ථිකයට අයහපත් ප්‍රතිඵල ගෙන දී තිබෙනවා. ජාතික ප්‍රමුඛතා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම වැදගත් වෙනවා.

ජාතියේ අනාගතය ශක්තිමත් වන්නේ උගතුන් වැඩි වූ රටකයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රතිපත්ති අදට ඔබින ආකාරයට හා හෙටට ගැළපෙන ආකාරයට සැකසිය යුතු වෙනවා. නවෝත්පාදන, හරිත ආර්ථිකය සඳහා කැපවීම් අවශ්‍ය වෙනවා. නිපුණත සංවර්ධනයට වෘත්තීය අධ්‍යාපනයට වැදගත් ස්ථානයක් ලබාදීම අවශ්‍යවශ්‍යයි. පැරණි මුදල් රෙගුලාසි කඩිනම් සංශෝධනයකට යටත් කළ යුතු වෙනවා. කාර්යක්ෂම සංවර්ධනයක්, විනයක් ඇති පරිපාලනය, මූල්‍ය විනයක් සඳහා රෙගුලාසි සංශෝධනය කඩිනම් කළ යුතු වෙනවා.

දේශපාලඥයාගේ අවංකභාවය ?

දේශපාලඥයාගේ අවංකභාවය රට ගොනැගීමට වැදගත් වෙනවා. මාතෘභූමිය ගොඩනැගීම සඳහා කැපවීම, අවංකභාවය, පිරිසිදුබව, නොකිළිටි බව යුගයේ අවශ්‍යතාවයක්. ගහකොළ ඇතුළ සියලු සතුන්ට නිදහසේ පැවැත්ම අවශ්‍යයි.

අසීමිත වස්තූන්වලට නිදහසත් මිනිසාට තිබෙන නිදහසෙත් කිසිදු වෙනසක් නොතිබිය යුතුයි. සැබෑ නිදහස යනු මිනිසේකුගේ නිදහස පමණක් නොවෙයි. වගකීම් සහගත තත්ත්වය පාසල් දරුවාගේ සිට දැනුවත් කිරීම වැදගත් වෙනවා.

අපේ ආදරණීය ජනතාව, ඉල්ලා සිටින්නේ නිදහස හා සෞභාග්‍යයයි.ආර්ථික සමෘද්ධිය සෞභාග්‍ය ජනතාවගේ ප්‍රාර්ථනයයි. අපේ ජනතාවගේ අනනය්‍යතාවය දේශීයත්වය,අපේ සංස්කෘතිය උදාකිරීමට වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා. දැනුම ලබාගැනීමත් සමඟ ස්වදේශික උරුමයන් නොබිඳ කටයුතු කළ යුතු වෙනවා.

දූෂණ විරෝධය රටක ආත්ම ආරක්ෂාවයි:

මේ සඳහා රජ්‍ය අංශය හා පෞද්ගලික අංශයේ වගකිම් ඉටු කළ යුතු වෙනවා. අවධානය යොමු කළ යුතුයි, අභියෝග සිහිපත් කළ යුතුයි. දූෂණ විරෝධය රටක ආත්ම ආරක්ෂාවයි. දුෂණ විරෝධී මතය ශක්තිමත් කිරීම ජාතික ප්‍රගමනයේ ආත්ම ආරක්ෂාවයි. ආර්ථික නිදහස ගොඩනැගෙමින් තිබෙන විට ඊට එරෙහිව දූෂණය, අල්ලස, හොරකම අප විසින් පිටු දැකිය යුතූයි.

සෑම දේශපාලඥයන් ම ඒ ආදර්ශය ලබාදීම යුගයේ කර්යයක් ලෙස හඳුන්වනවා. කාර්යාක්ෂමව , එඩිතරව, සටන්කාමීත්වයෙන් ආර්ථිකය ගොඩනැගීමට රට ඉදිරියට ගෙන යෑමට කැපවීමේ අත්‍යාවශ්‍යතාව දකිනවා.

ජීවත්වීමේ අයිතිය :

මේ රට ගොඩනැගීමට ජාතිවාදී අඳහස්වලින් තොරව සංහිදියාව ගොඩනගමින් ජීවත්වීමේ අයිතිය සහතික කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. ආගමික සහජීවනය, භාෂා, ජාතික සහජීවනය, ශක්තිමත් කරමින් සැකෙන් බියෙන් තොරව ජීවත් වීම සහතික කළ යුතු වෙනවා. අද මූලික වශයෙන් දේශප්‍රේමීත්වය යනු මූල්‍ය විනය අනුව කටයුතු කිරීමයි.

දේශප්‍රේමීත්වය එක් එක් යුගවල නිර්වචන දිය හැකියි. මූල්‍ය විනයක් තුළ කටයුතු කිරීම වැදගත්. මූල්‍ය විනයක් ඇති කිරීමට පුළුල් ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය දකිනවා. ඒ නිසා පිරිසිදු නොකිලිටි දේශපාලනයක් සඳහා සියලු දෙනා කැපවෙමින් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්ගෙන් සැදුම් ලත් රට ගොඩනැගීමට දුෂණය, අල්ලස වළක්වාගැනීමට පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි කියන පණිවිඩය ලබාදීමට කැමතියි.

අපේ රට බෙදන්නට එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් කටයුතු අවස්ථාවේ දී ජීවිත පරිත්‍යාග කරමින් ආබාධිත වෙමින්,පවුල් ජීවිත අහිමි කරමින් වේදනාකාරි අද්දැකීම් සමඟ මේ රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුන් රණවිරුවන් සටන් කළා. මම රජයේ ගෞරවය ප්‍රණාමය යුද, ගුවන්, නාවික,පොලිස් ක්ෂේත්‍රවලට රාජ්‍ය සේවයට ගෞරවය පුදකරනවා. ජාතියේ අනාගතය සඳහා දුඟීබවින්, දූෂිතයයෙන් තොර ප්‍රබුද්ධ රටක් සඳහා උගත් තරුණ පරපුර සමඟ කැපවෙමු යැයි ජනාධිපතිවරයා පැවසීය.