Language Switcher

V2025

'ඡන්දයට පෙර උදයාංග කුදලගෙන එනු' - ඉහලින් නියෝගයක්

ඩුබායි ගුවන්තොටුපලේ ආගමන විගමන නිලධාරීන් විසින් අද (04) උදැසනදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා වහාම දිවයිනට රැගෙන එන්නැයි ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියකු අදාල බලධාරීන්ට නියෝගකර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව විදෙස් කටයුතු අමාත්‍යංශයේ හා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මේවනවිට අබුඩාබියේ රාජ්‍යතන්ත්‍රීක නිලධාරීන් සමග සාකච්ජා ආරම්භකර තිබේ. ඒ උදයංග මහතා ඩුබායිහිදී අත්අඩංගුවට පත්වුවද, රාජතාන්ත්‍රික වශයෙන් ඔහු ශ්‍රී ලංකාවට බාර ගැනීමට ගනුදෙනුකළ යුතුවන්නේ අබුඩාබි රාජ්‍ය සමඟවීම නිසාය.

උදයංග වීරතුංග මහතා ප්‍රශ්න කිරීමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයකින් ඇමරිකාව බලා යාමට පැමිණි අවස්ථාවේදිය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අත්හිටුවා තිබී ඇති අතර උදයංග මහතා ඇමරිකාවට යාමට උත්සාහ කර ඇත්තේ ඒ පිළිබඳව නොදැනුවත්වය.

යුක්රේනයට යන්න ඉල්ලයි :

ඩුබායි ආගමන නිලධාරීන් විසින් උදයංග මහතාව රිමාන්ඩ් භාරයට පත් කිරීමට උත්සාහ කර ඇති අතර එහිදී තමා යුක්රේන පදිංචිකරුවකු බැවින් එරටට යාමට අවසර දෙන්නැයි ඔහු ඉල්ලීමක් කර තිබේ.

කෙසේවුවද, ඔහු ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයක් සමගින් අත්අඩංගුවට පත්වීමත්, පැවති ආණ්ඩු සමයේ සිදු වූ බව පැවසෙන මිග් යානා ගනුදෙනුවේ සැකකරු ලෙස නම් කර සිටින ඔහු අධිකරණය මඟහැර සිටින හෙයින් අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජාත්‍යන්තර පොලිසිය වෙත මීට වසරකට පමණ පෙර වරෙන්තු නිකුත් කර ඇති නිසාත් ඔහු ලංකාවට බාරදෙන ලෙස ශ්‍රී ලංකා රජය මේවනවිට අබුඩාබි බලධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබේ.

E69T4181 1වරෙන්තු පිට සිටි උදයංග වීරතුංග හිටපු ජනාධිපතිවරයා සමග විදෙස් සංචාරයේ ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ ඥාතියෙකු වන උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශයේ නිලධාරීන් අද (04) රාත්‍රියේ ඩුබායි වෙත යාමට නියමත බව පොලිසිය පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදේශ සංචාරවල නියැලුණු ඇතැම් අවස්ථාවලදී වරෙන්තු පිට සිටි උදයංග වීරතුංග ද හිටපු ජනාධිපතිවරයා සමග සිටින ආකාරය දැක්වෙන ඡායාරූප මීට පෙර මාධ්‍ය ඔස්සේ පළ වී තිබිණි.

උදයංග වීරතුංග මහතාට අයත් දේපළ කිහිපයක් විකිණීම, උකස් කිරීම සහ පැවරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

රාජපක්ෂ පාලන සමයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් එල්ල වන චෝදනා උදයංග වීරතුංග මහතා ප්‍රතික්ෂේප කරයි.