මාතරට ත්‍රස්ත අවධානමක් නැහැ: 'ඇතැමුන් අනියත බියක් ඇතිකරන්න හදනවා' - ජනාධිපති ලේකම්

මාතරට ත්‍රස්ත අවධානමක් නැහැ: 'ඇතැමුන් අනියත බියක් ඇතිකරන්න හදනවා' - ජනාධිපති ලේකම්

වර්තමානයේ හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවධානමක් පවතින බවට අර්ථ නිරූපණය කරමින් සහ අවභාවිත කරමින් ඇතැම් රාජ්‍ය ආයතන සහ පුද්ගලයන් මහජනතාව අනවශ්‍ය ලෙස බියට පත්කරන ආකාරයෙන් ලිපි නිකුත් කර ඇති බවට තමා වෙත පැමිණිලි ලැබී ඇතැයි ජනාධිපති ලේකම්වරයා පවසයි.

ඔහු විසින් අද (22) පස්වරුවේ නිකුත්කළ විශේෂ මාධ්‍ය නිවේදනය එබව සඳහන් වේ.

දැනට රට තුළ කිසිදු ආකාරයක හදිසි හා අත්‍යසන්න ත්‍රස්ත අවධානමක් මතුව නොමැති බව ආරක්ෂක අංශ විසින් අවධාරණය කර ඇතැයි ද එම නිවේදනයේ සඳහන්වේ.

මාතර ප්‍රදේශයේ පාසල් ළමුන් හා දෙමාපියන් අතර අනියත බියක් ඇතිකරමින් සිදුකර ඇති ප්‍රචාර සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න විසින් එම නිවේදනය නිකුත්කර ඇත. එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන්වේ.

''පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතරුව රාජ්‍ය ආයතන සහ ජාතික වැදගත්කමක් ඇති ස්ථානවල ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් මා විසින් 2019 අප්‍රේල් 23 වන දින නිකුත් කරන ලද PS/SP/SB/C/14/2019 දරණ චක්‍රලේඛය සහ ඉන් අනතුරුව වරින්වර එකී ආයතනයන්හි ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව කරන ලද සාමාන්‍ය සිහිකැඳවීම් සහ උපදෙස් අඩංගු ලිපි හා චක්‍රලේඛ වර්තමානයේ හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවධානමක් පවතින බවට අර්ථ නිරූපණය කරමින් සහ අවභාවිත කරමින් ඇතැම් රාජ්‍ය ආයතන සහ පුද්ගලයන් මහජනතාව අනවශ්‍ය ලෙස බියට පත්කරන ආකාරයෙන් ලිපි නිකුත් කර ඇති බවට මා වෙත කරුණු වාර්තා වී තිබේ.

දැනට රට තුළ කිසිදු ආකාරයක හදිසි හා අත්‍යසන්න ත්‍රස්ත අවධානමක් මතුව නොමැති බව ආරක්ෂක අංශ විසින් අවධාරණය කර ඇත. මෙම අසත්‍ය සහ විකෘති කරන ලද කරුණු දැක්වීම සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස දැනුම් දෙමි.

රාජ්‍ය ආයතන, ජාතික වැදගත් කමක් ඇති ආයතන සහ පොදු ජනතාවගේ ආරක්ෂාව උපරිමයෙන් සහතික කිරීමට ආරක්ෂක අංශ සියලු පියවර ගෙන තිබේ.

‍එබැවින් හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවධානමක් උද්ගත වී ඇති බවට ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස වැඩි දුරටත් දන්වා සිටිමි.''

Media Release

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න