Language Switcher

V2025

මැකෝ  රාජ්‍ය මාධ්‍යට දාන සද්දේ : ගෝඨා සහ පෞද්ගලික මාධ්‍යට මොකෝ නැත්තේ !

ගෝඨාබය රාජපක්ෂ විසින්  වත්මන් යුද හමුදාපතිගේ නිල ඇඳුමින් සිටින ජායාරූපයක් සහ ප්‍රකාශයක් යොදා ප්‍රචාරය කළ පුවත්පත් දැන්වීමක් පළකරමින් සිදුකළ බරපතළ මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධව  මැතිවරණ කොමිසම විසින් ක්‍රියාමාර්ගයක් නොගැනීම ජන්දදායකයා හමුවේ කොමිසමට ඇති වගකීම පැහැර හැරීමක් බව මාධ්‍යවේදී කුසල් පෙරේරා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත සිහිකැඳවීමේ ලිපියක් යොමුකරමින්ය.

ගෝඨාභය රාජපක්ෂ විසින් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්‍රචාරය කල මේ දැන්වීම  අදාළව ප්‍රතිචාර දැක්වීමේදී  මැතිවරණ කොමිසමේ අපක්ෂපාතී හැසිරීම සම්බන්ධව සැකසංකා මතුවන බව පෙන්වා දෙමින් මීට පෙර කුසල් පෙරේරා විසින් මැතිවරණ කොමිසමේ සභාපති වෙත ලිපියක් යොමුකර තිබු අතර ඊට ප්‍රතිචාරයක් නැතිවීම මේ ලිපියට පාදකවී තිබේ.

රාජ්‍ය මාධ්‍ය වෙත දැඩි අනතුරු ඇඟවීම් කරන ඔබ හා කොමිසම, පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය වෙත එවැනි ස්ථාවරයක් නොගැනීමෙන් ඔබ හා කොමිසම ඔවුන්ගේ දේශපාලනය අනුමත කරන්නේ යැයිද කිව යුතු බවත්  මෙම ලිපිය හරහා කුසල් පෙරේරා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත අවධාරණය කර ඇත. 

අදාළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

2019 ඔක්තෝම්බර 25 වන දින 

සභාපති

ජාතික මැතිවරණ කොමිසම

මැතිවරණ ලේකම් කාර්යාලය

රාජගිරිය. 

සභාපති තුමනි, 

සිහි කැඳවීම - හමුදාපති සම්බන්ධ කෙරුණු මැතිවරණ ප්‍රචාරක දැන්වීම පිළිබඳවය 

මෙම සිහි කැඳවීම කෙරෙන්නේ ඉහත මාතෘකාවට අදාලව මීට දින සතරකට ඉහතින් ඔබ වෙත යොමු කළ ලිපියෙන් පසුව, ඒ සම්බන්ධයෙන්ම ය. අදාල කාරණාවේ වැදගත්කම සළකා ඔබ විසින් වහා ඊට ප්‍රතිචාර දක්වනු ඇතැයි සිතුවද, මෙතෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොවූයේ එය ඡන්දදායකයාට වැදගත් වූවත් ඔබට සහ මැතිවරණ කොමිසමට එතරම් වැදගත් නොවන්නක් විය හැකි හෙයිනි. 

එසේ වූවත් එම මැතිවරණ ප්‍රචාරක දැන්වීම පුවත් පතේ පළ කිරීම වරදක් බැව් ඔබ ප්‍රසිද්ධියේ පිළිගත්තකි. හමුදාපති ඊට කිසිදු සම්බන්ධයක් නැතැයි ලිඛිතව දැන්වීමෙන් පසු වරද වඩාත් බරපතල යැයි පිළිගත යුතුව ඇත. හමුදාව සහ පොලීසිය රාජ්‍ය යාන්ත්‍රණයේ ස්වාධීනව පමණක් නොව අදේශපාලනිකව පවත්වා ගත යුතු අතිශය වැදගත් සේවාවන් ය. රාජ්‍ය සේවාවේ අනෙක් ආයතනවල මාණ්ඩලික තනතුරු වලට පමණක් දේශපාලනය අහිමි කෙරුණද, හමුදා පොලීසිවල සියල්ලන්ට දේශපාලනය අහිමි වන්නේ එබැවින්ය. 

එවැනි තත්ත්යක, පුවත් පතක් හමුදාපති ඈඳා මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් පළ කළ විට එය හමුදාවද දේශපාලනය වෙනුවෙන් යොදා ගැනීමක් වන හෙයින් එය ඡන්දදායකයා හමුවේ කෙරුණු බරපතල වරදක් වන්නකි. මැතිවරණ නීති උල්ලංඝණය කරන්නේ නම්, මාධ්‍ය පක්ෂග්‍රාහීව මෙහෙය වන්නේ නම් හා අවභාවිත කෙරෙන්නේ නම්, කොමිසම විසින් ඊට එරෙහිව නිත්‍යානුකූල පියවර ගන්නේ යැයි පසුගිය ඔක්තෝම්බර 19 වන දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔබ ප්‍රකාශ කර තිබුණි. එහෙත් ඔබම වරදක් යැයි පිළිගත් මාධ්‍ය අවභාවිතාව සම්බන්ධයෙන් ඔබ දඩුවම් නියම කර නැත. ඒ මන්දැයි ඔබ පැහැදිලි කළ යුතුව ඇත.   

මාධ්‍ය අවභාවිතාව පිළිබඳව පුවත්පත් හිමියාට එරෙහිව සෘජුව පියවර ගත හැක. ගත යුතුය. එහෙයින් අදාල මැතිවරණ ප්‍රචාරක දැන්වීම පළ කිරීමට එය පුවත් පතට බාරදුන් හා මුදල් ගෙවූ පුද්ගලයා සොයා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතය. ඒ තොරතුරු පැය 24 ක් ඇතුළත ලබා ගැනීමට පුවත්පත් හිමිකරුගෙන් ඉල්ලීමක් කළ යුතුව ඇත. මෙතෙක් ඔබ හා මැතිවරණ කොමිසම එය හෝ නොකිරීමෙන් ඔබ හා මැතිවරණ කොමිසම ඡන්දදායකයා හමුවේ වගකීම් අත හැර ඇත. රාජ්‍ය මාධ්‍ය වෙත දැඩි අනතුරු ඇඟවීම් කරන ඔබ හා කොමිසම, පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය වෙත එවැනි ස්ථාවරයක් නොගැනීමෙන් ඔබ හා කොමිසම ඔවුන්ගේ දේශපාලනය අනුමත කරන්නේ යැයිද කිව යුතුය.   

එබැවින් මැතිවරණ කොමිසම පිළිබඳව මා විසින් පළමු ලිපියෙන් මතු කළ ස්වාධීනත්වය හා අපක්ෂපාතිත්වය පිළිබඳ ප්‍රශ්නය වඩාත් බරපතල ලෙස ඉස්මතු වන්නේය. එය ඉදිරි මැතිවරණ කාර්යන්හි ස්වාධීනත්වය හා අපක්ෂපාතිත්වය පිළිබඳව ප්‍රශ්න කිරීමටද ඉඩ තබන්නකි. ස්වාධීනත්වය හා අපක්ෂපාතිත්වය පිළිබඳ කතාවලට අමතරව අවශ්‍ය වන්නේ එළෙසින් ක්‍රියා කිරීමය. එසේ ක්‍රියා කරන බව ඡන්දදායකයාට දකින්නට තිබීමය. එවැනි අවිනිශ්චිත හා ප්‍රශ්නකාරි පසුබිමක, මැතිවරණ කොමිසමෙහි ස්වාධීනත්වය හා අපක්ෂපාතිත්වය තහවුරු කෙරෙන අයුරු, ප්‍රශ්නයට තුඩු දී ඇති මැතිවරණ ප්‍රචාරක දැන්වීම පිළිබඳව වහා නීතිමය පියවර ගන්නා මෙන්ද, පෞද්ගලික විද්‍යුත් මාධ්‍යද රාජ්‍ය මාධ්‍ය මෙන්ම දැඩිව නියාමනය කිරීමට පියවර ගන්නා මෙන්ද මම නැවත මෙයින් ඉල්ලමි.  

 ස්තුතියි.

මෙයට විශ්වාසී,මාධ්‍යවේදී හා දේශපාලන විචාර

කකුසල් පෙරේරා   

Kusal Perera