Language Switcher

V2025

ගම්පෙරලියෙන් විතරක් මාතරට බිලියන 2.1ක්  :  රාජපක්ෂ ප්‍රෝඩාව ඉවරයි !

ගම්පෙරළිය කඩිනම් ග්‍රාම සංවර්ධන ව්‍යාපාරය හරහා මාතර දිස්ත්‍රික්කයට පමණක් රුපියල් බිලියන 2.1 කට අධික මුදලක් වෙන්කළ බවත් ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ එක් ආසනයකට පමණක් මිලියන 300 කට අධික මුදලක් නිකුත් කෙරුණු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ බව සඳහන් කර සිටියේ ඊයේ (24)  මාතර දික්වැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක වෙමිණි. දෙවිනුවර එජාප බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබු අදාල හමුවට නව ප්‍රජාත්‍රන්තවාදී  පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ද එක්ව සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසා සිටියේ කඩිනම් ග්‍රාම සංවර්ධනයක් වෙනුවෙන් දියත්කර තිබු ගම්පෙරලිය සංවර්ධන ව්‍යාපාරය නැවැත්වීමට  පසුගිය ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ ආණ්ඩුවේ හොර අගමැති වූ මහින්ද රාජපක්ෂ සිය  පළමු කැබිනට් පත්‍රිකාවෙන්ම කටයුතු කල බවය.

එසේම ආගමික සිද්ධස්ථාන වෙනුවෙන්ද රට පුරා ගම්පෙරලිය සංවර්ධන වැඩ සටහන යටතේ ඉමහත් සේවයක් සිදුකල බවත් වෙනදා ආණ්ඩුවේ සහයෙන් දියුණුවන විශාල පන්සල් කිහිපයක් වෙනුවට දේශපාලනඥයින් පස්සේ නොගොස් බුද්ධ දර්ශනය දරුවන්ට කියාදෙන එහෙත් දුෂ්කර තත්ත්වයන් යටතේ පවත්වාගෙන යන පන්සල් රැසක් ඒ හරහා දියුණු කිරීමට හැකිවූ බවත් අමාත්‍යවරයා පැවසීය.

එහෙත් ඒ රාජපක්ෂලා සංවර්ධනය කියමින් සිදුකළේ ගුවන්යානා නොඑන ගුවන් තොටුපලක් මත්තලට, ක්‍රිකට් තරග නැති ක්‍රීඩා පිටියක් සුරිය වැවට, පොහොට්ටුවේ ආකාරයට කොමිස් කුළුණක් කොළඹට, නැව් නොඑන වරායක් හම්බන්තොටට ලබාදී රටම ණය කරවීම පමණක් බවද අමාත්‍යවරයා පැවසීය.

තවද පසුගිය වසර 17 තුලම අධිවේගී මාර්ග ඉදිව ඇත්තේ කිලෝමීටර් 176ක් පමණක් වුවත් වත්මන් ආණ්ඩුව පසුගිය වසර හතරාමාරක කාලය තුළ පමණක් කිලෝමීටර් 146ක අධිවේගී මාර්ග පද්ධතියට එක්කර ඇති බවත් පැවසීය. මෙහිදී දක්ෂිණ අධිවේගී මාර්ගය සම්බන්ධව අතීතය සිහිපත් කරමින් මංගල සමරවීර අමාත්‍යවරයා පවසා සිටියේ ඊට පළමු මුල්ගල තැබීම සිදුකලේ තමන් සහ AHM ෆවුසි අමාත්‍යවරයා වුවත් මහින්ද රාජපක්ෂ ඒ මුල්ගල නිල්වලා ගඟට විසිකර එහි තමන්ගේ නම සඳහන් කරගත් බවය.

 එමෙන්ම 1994 වසරට පසුව නැවතත් එක්සත් ජාතික පක්ෂයේම ජනාධිපති අපේක්ෂකවරයෙක් පත් කර ගැනීමේ අවස්ථාවක් උදා වී ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.

ඇත්ත වශයෙන්ම කියනවනම් ගෝඨාභය රාජපක්ෂ අද සුපුරුදු විදියට අභියෝග වලින් පැනල ගිහිල්ල අපට විරුද්ධව පච ව්‍යාපාරයක් ආරම්භ කරලා  තියනවා.  යුද්දේ  දින්නෙ අපියි කිය කියා වසර 10ක් රට පාලනය කරපු මේ අය තමන් කවුද කියල ලගදි තිබ්බ ප්‍රවෘත්ති පත්‍ර සාකච්චාවෙ දී පෙන්නුවා. ඒ වෙලාවේ තමයි බළලා  මල්ලෙන් එලියට පැන්නේ. අයිය දිහා බලාගෙන ගෝඨාභය කියනව මම නෙමෙයි අයිය නෙමෙයි යුද්දේ  දින්නෙ. යුද්දේ  දින්නේ  සරත් ෆොන්සේකා කියලා. සරත් ෆොන්සේකා තමයි යුද්දේ දින්නෙ කියලා  අපි කියද්දී මේ අය කිව්වා අපි තමයි යුද්දේ දිනුවේ කියලා. රාජපක්ෂලා යුද්දේ  දින්නා  නෙමෙයි මිත්‍රවරුනි රාජපක්ෂලා යුද්දෙන් පැනලා ගියා.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා  වසර 1991 දී අලිමංකඩ මහා සටන දරුණු ලෙස ඇවිලී ගිය මොහොතක එවකට ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාසට උතුමාණන් නමින් පවා ආමන්ත්‍රණය කරමින් ලිකිතව තමාට යුධ හමුදාවෙන් ඉවත්වීමට අවශ්‍ය බවට ගෝඨාභය රාජපක්ෂ විසින් බැගපත් වූ ආකාරය සිහිපත් කළේය. LTTE සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් යුද්ධයේ යුද්ධය බවට අලිමංකඩ මහ සටන හැදින් වූ බවත් එහි මුල් පැය 48 තුල පවා විරෝධාර රණවිරුවන් 220කට වඩා වැඩි ප්‍රමාණයක් මිය ගිය  මොහොතක හමුදාව පාවා දී මෙරටින් ඇමරිකාවට පලා ගිය ගෝඨාභය රාජපක්ෂ නිවටයෙක් මෙන්ම බයගුල්ලෙක් බවද පැවසීය.