තම ජීවිතය සම්බන්ධව තර්ජන ඇති බැවින් ලලිත් - කුහන් අතුරුදහන් කිරීමට අදාළ නඩුවේ සාක්ෂි ලබාදීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත නොයා සිටීමට අභියාචනාධිකරණයෙන් නියෝගයක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා උතුරු ප්‍රදේශයට ගොස් ඇත.
මේ සම්බන්ධව අදහස් දක්වන නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට බොරු කර ඇති බව මේ හරහා තහවුරු වන බවය.
මේ අතර 2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා ඉකුත් සැප්තැම්බර් මස 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත නිකුත් කර තිබූ නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මෝසමක් මේ මස 31 වන දා අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර ඉදිරියේ සලකා බැලීම සඳහා කැදවීමට නියමකර තිබේ.
අතුරුදන්වූ එම පුද්ගලයින්ගේ ඥාතීන් විසින් ඉදිරිපත් කළ මෙම මෝසම ඊයේ (28) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණ.
එම මෝසම කැඳවූ අවස්ථාවේදී අතුරුදන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් බෝපගේ කරුණු දක්වමින් කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ඉකුත් සැප්තැම්බර් මස 27 වනදා සාක්ෂි දීම සඳහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් සැප්තැම්බර් මස 24 වනදා තහනම් නියෝගයක් නිකුත් කළ බවයි.
එම තහනම් නියෝගය නිකුත් කළ ආකාරය වැරදි සහගත බවත් එය පක්ෂග්‍රහී නියෝගයක් ලෙස පෙන්වා දුන් අතුරුදන්වූ පාර්ශවයේ නීතිඥවරයා එම තහනම් නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දක්වමින් මෙය කිසිදු පදනමක් නොමැති ඉල්ලීමක් බවය.
අභියාචනාධිකරණය විසින් මෙම තහනම් නියෝගය නිකුත් කළේ ඒක පාක්ෂිකව නොවන බවත් නීතිපතිවරයාගෙන් ද කරුණු විමසීමෙන් අනතුරුව මෙම තහනම් නියෝගය නිකුත් කළ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙය වැරදි නියෝගයක් ලෙස අර්ථකථනය කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය දක්වන කරුණු පිළිගත නොහැකි බවද පැවසීය.
මෙහිදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේ මෙම ඉල්ලීම මුලින්ම අදාල තහනම් නියෝගය නිකුත් කළ විනිසුරුවරිය ඉදිරියේ සලකා බැලීමට කටයුතු කළ යුතු බවයි.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සදහන් කර සිටියේ අභියාචනාධිකරණයේ සාමාජික විනිසුරුවරයෙකු දුන් නියෝගයක් නැවත සලකා බැලීමේ බලතල තමන්ට නොමැති බවයි.
ඒ අනුව අතුරුදන්වූවන්ගේ පාර්ශවය විසින් ඉදිරිපත් කළ මෙම මෝසම ලබන 31 වනදා අදාළ තහනම් නියෝගය නිකුත් කළ දීපාලි විජේසුන්දර ඉදිරියේ සලකා බැලීමට අභියාචනාධිකරණයේ සභාපති වරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල විසින් නියම කරන ලදී.
2011 වසරේ ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් යන මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් ඉදිරිපත් කළ හබයාස් කෝපුස් පෙත්සමකට අදාළව සාක්ෂි දීම සඳහා ඉකුත් සැප්තැම්බර් මස 27 වන දා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් එම අධිකරණය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත සිතාසි නිකුත් කර තිබිණ.
එහෙත් තම ජීවිතයට තර්ජන තිබෙන හෙයින් ආරක්ෂක හේතුන් මත යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දීමට තමන්ට හැකියාවක් නොමැති බවත් උතුරු නැගෙනහිරට පිට ඕනෑම අධිකරණයක තමන්ට සාක්ෂි දීමට සූදානම් බවත් සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි දීම සඳහා පෙනී සිටින ලෙස දන්වමින් නිකුත් කළ නියෝගය තාවකාලිකව අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කර සිටියේද ඒ අනුවය.

