ගම්බද පාසල් වනසන ගෝඨාගේ දැක්ම අගමැති අනාවරණය කරයි !

ගම්බද පාසල් වනසන ගෝඨාගේ දැක්ම අගමැති අනාවරණය කරයි !

විශ්වවිද්‍යාලවල ප්‍රවේශය සඳහා දැනට පවත්නා දිස්ත්‍රික් ඉසෙඩ් ස්කොර් ක්‍රමය වෙනුවට පාසැල් මට්ටමෙන් ඉසෙඩ් ස්කෝර් ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති බවත් එමගින් සිදු වන්නේ ගම්බද දුෂ්කර පාසල් සදා කල්හිම සංවර්ධනයකට පාත්‍ර නොවීම සහ දක්‍ෂ තරුණ තරුණියන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට තිබූ අවස්ථාව අහිමි වීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊයේ (04) අග්‍රාමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේ කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති නැණ පවුර වෘත්තීයවේදී එකමුතුව, ශ්‍රී ලංකා තරුණ ලිබරල් සංසදය සහ තවත් සංවිධාන ගණනාවක් එක්ව පැවැත්වූ විද්වත් කථිකාව අමතමින් ය.

ගම්බද පාසැල් සඳහා හොඳ ගුරුවරුන්, පහසුකම් හා ගොඩනැගිලි ලබා දෙමින්, ඒ පාසැල්වල අධ්‍යාපන මට්ටම ඉහළ නංවනු වෙනුවට ගෝඨාභය රාජපක්‍ෂ යෝජනා කරන්නේ ඒ පාසැල් සදාකාලිකවම නොදියුණු මට්ටමෙන් පවත්වාගෙන යමින් ඉසෙඩ් ස්කොර් මට්ටම් පහත දැමීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම බවත්, එය රතුපස්වල සිදු කළ ඝාතනයට වඩා භයානක ක්‍රියාවක් බවත් අවධාරණය කළ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එමගින් වසරකට දරු දැරියන් ලක්‍ෂ දෙකකගේ අනාගතය එකවර ඝාතනය කෙරෙන බවත් පැවසීය. 

ලෝකයේ කිසිඳු රටක විභාගයකින් තොරව පාසල් විභාගවලින් විශ්ව විද්‍යාලවලට දරුවන් ඇතුළත් කර නොගන්නා බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා, එවැනි විනාශකාරී ක්‍රමවේදයක් ගෙන ඒමට සූදානම් වන ගෝඨාභය රාජපක්‍ෂ නොවැම්බර් 16 වැනි දා පරාජයට පත්කොට දරුවන්ගේ අනාගතය ආරක්‍ෂා කර දිය හැකි පාලනයක් වෙනුවෙන් සජිත් ප්‍රේමදාස ජනාධිපති ධූරයට පත් කර ගන්නා ලෙසත් ඉල්ලා සිටියේය. 

ඉසෙඩ් ස්කොර් ක්‍රමය අහෝසි කිරීමට යන විනාශකාරී ක්‍රියාවෙන් නිදහස් අධ්‍යාපනයත්, දරුවන්ගේ අනාගතයත් ආරක්‍ෂා කර ගැනීම සඳහා සියලූ බලවේග ක්‍රියා කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය. 

තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය. 

“විශ්ව විද්‍යාලවලට ළමුන් තෝරා ගැනීමට ඇති දිස්ත්‍රික් ඉසෙඩ් ස්කොර් ක්‍රමය අහෝසි කරන බව ගෝඨාභය රාජපක්‍ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කොට තිබෙනවා. එම ක්‍රමය අහෝසි කිරීමෙන් උත්සාහ ගන්නේ නිදහස් අධ්‍යාපනයට තිත තැබීමටයි. 

නමුත්, අපේ ප්‍රතිපත්තියට අනුව අධ්‍යාපනය සැමට ඇති අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඒ අනුව ක්‍රියා කරනවා. අධ්‍යාපනය නැමැති ඉනිමගේ ඉහළට නගින්න සියලූ දෙනාම දිරිමත් කරනවා. ඒ සඳහා ප්‍රතිපත්ති, පහසුකම් හා සැලසුම් සකස් කරනවා. සියලූ පාසල් හොඳම පාසල් බවට පත් කිරීම අපේ අරමුණයි. 

වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම, පාසල් විෂය මාලාවට තාක්‍ෂණ අධ්‍යාපනය එක් කිරීම, ළඟම පාසල - හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් පද්ධතිය දියුණු කිරීමට අප පියවර ගෙන තිබෙනවා.   

ඉසෙඩ් ස්කොර් ක්‍රමය ඉවත් කර පාසල අනුව විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම මේ අයගේ සැලසුමයි. එය කළ හැකි දෙයක් නොවෙයි. අද ක්‍රියාත්මක ඉසෙඩ් ස්කොර් ක්‍රමයට අනුව දේශපාලන බලපෑම් මත හෝ වෙනත් බලපෑමකින් විශ්ව විද්‍යාලවලට දරුවන් ඇතුළත් කළ නොහැකියි. ඒ සඳහා පවතින එකම ක්‍රමය දක්‍ෂතාවයෙන් විභාග සමත් වීමයි.

ඉසෙඩ් ස්කොර් ක්‍රමය අහෝසි කිරීම යනු සමාජයේ සමානාත්මතාවය ඇති කරන ප්‍රධානතම ආයුධය නැති කිරීමයි. දක්‍ෂතාව අනුව ඉදිරියට යාමට තිබෙන අවස්ථාව අහිමි කිරීමයි. ඒ අනුව එමගින් විශාල හානියක් සමාජයට සිදුවිය හැකියි. 

ඉසෙඩ් ස්කොර් ක්‍රමය අහෝසි කර ඇති කරනවා යැයි කියන විද්‍යාත්මක ක්‍රමය කුමක්ද? සෑම පාසලකටම විභාගයක් පවත්වනවාද? පාසල් ගණනාවක් එකතු කර විභාග පවත්වනවාද? මෙය හරි විහිලූවක්. ලෝකයේ කිසිම රටක පාසල් විභාග ප්‍රතිඵල පදනම් කර ගෙන විශ්ව විද්‍යාලවලට දරුවන් ඇතුළත් කරන්නේ නැහැ. ඒ සඳහා පිළිගත් ක්‍රමවේද තිබෙනවා. 

එසේ නම් ඉසෙඩ් ස්කොර් ක්‍රමය අහෝසි කිරීමට තිබෙන අවශ්‍යතාව කුමක්දැයි ගෝඨාභය රාජපක්‍ෂ රටට කිව යුතුයි. 

ඉසෙඩ් ස්කොර් ක්‍රමය අහෝසි කිරීම දුප්පත් ප්‍රදේශවල, දුප්පත් පාසල්වලින් දක්‍ෂතාවය මත ඉදිරියට එන දරුවන්ට කරන බලවත් අසාධාරණයක් බව කිව යුතුයි. මෙහි අවසාන ප්‍රතිඵලය ලන්ඩන් උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව දරුවන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයක් විය හැකියි. 

වැඩ වසම් යුගයක හැර කිසි දවසක විභාග ක්‍රමයකින් දක්‍ෂයන්ට ඉදිරියට යාමට තිබෙන අවස්ථාව නතර කර නැහැ. ඉසෙඩ් ස්කොර් ක්‍රමය අහෝසි කරනවා කියන්නේ රතුපස්වල ඝාතනයට වඩා භයානක ක්‍රියාවක් බව කිව යුතුයි. රතුපස්වල ජීවිත ඝාතනයක් සිදු වුණා. මෙමගින් විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට සිටින තරුණ තරුණියන්ගේ අනාගතය ඝාතනය කරනවා. ඒ අනුව වසරකට තරුණ තරුණියන් ලක්‍ෂ දෙකකගේ අනාගතය ඝාතනය කරනවා. මේ නිසා ගෝඨාභය  “ටර්මිනේටර්” නාමයෙන් හඳුන්වනවා. එය ඔහුගේ නමට උචිතම නාමය බව කිව යුතු බව” ද වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම අවස්ථාවට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි සහ විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න