සුවිස් නිලධාරිනිය වෙනුවෙන් පෙනීසිටින නීතිඥයන්ටත් අධිකරණ සහය පතන්න වෙලා !

සුවිස් නිලධාරිනිය වෙනුවෙන් පෙනීසිටින නීතිඥයන්ටත් අධිකරණ සහය පතන්න වෙලා !

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක පැහැරගෙන ගොස් ප්‍රශ්නකිරීම්වලට ලක්කර ඇතැයි පැවසෙන සිද්ධියට අදාලව, එම සේවිකාව නීතීඥ සහය ලබාගන්නා නීතීඥවරුන් ඉලක්ක කර ගනිමින් විද්‍යුත් හා සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පතුරුවන පුද්ගලයන් සම්බන්ධව වෙනම පරීක්ෂණයක් සිදුකරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර ඇත.

සිද්ධියට අදාල නඩුව ඊයේ (12) කැඳවා තිබූ අවස්ථාවේ නීතීඥ උපුල් කුමාරප්පෙරුම  අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ, විමර්ශනයේදී අනාවරණය වූ කරුණු බව සඳහන්කරමින්, ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව නීතීඥ සහය ලබාගන්නා නීතීඥවරුන්ට අපහාස සහ තර්ජන සිදුවන ආකාරයට ඇතැම් පිරිස් ජනමාධ්‍ය ඔස්සේ අගතිදායක ප්‍රකාශ, ප්‍රවෘත්ති නිවේදන හා කරුණු දැක්වීම් සිදුකරන බවය.

අධිකරණයේ විභාගවන නඩුවක් සම්බන්ධව සිදුකරන මෙම අගතිදායක ප්‍රකාශ, බරපතල අපහාසයක් බවත් එමඟින් වින්දිත කාන්තාවගේ විශ්වාසනීයත්වයට දැඩි හානියක් සිදුවන බවත් නීතීඥ උපුල් කුමාරප්පෙරුම  සඳහන් කර ඇත. එසේම මෙවැනි ප්‍රකාශ හරහා නීතීඥවරුන්ට සිය වෘත්තිය ස්වාධීනව සිදුකිරීමට බාධා සිදුකරන බව ද ඔහු  අධිකරණය හමුවේ සඳහන් කළේය.

එසේම සේවා දායකයෙකුට තමා කැමති නීතීඥවරයෙකු තෝරාගැනීමට ඇති හැකියාවට ද බලපෑම් සිදුවන බව උපුල් කුමාරප්පෙරුම මහතා පෙන්වා දුන්නේ ය.

ඒ අනුව පසුගිය 9 වැනිදා සිට විවිධ පුද්ගලයන් විසින් මෙම සිදුවීම සම්බන්ධව ජනමාධ්‍ය වෙත මුදාහරින ලද අගතිදායක කරුණු සම්බන්ධව විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙස ද උපුල් කුමාරප්පෙරුම අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතීඥ ජනක බණ්ඩාර ද සඳහන් කර ඇත්තේ අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩු කටයුත්තක් සම්බන්ධව අධිකරණයෙන් පිටත කරුණු දැක්වීම විමර්ශනවලට බාධාවක් වන බවය.

එය අධිකරණය අපහාසයක් බවද ඔහු පෙන්වා  දී තිබේ.එම කරුණු දැක්වීම් පිළිගත් මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් සිදුකරමින් සඳහන් කර ඇත්තේ, මෙම සිදුවීමේ විමර්ශනවලට අදාලව අගතිදායක ප්‍රකාශ සිදුකර ඇති පුද්ගලයින් සම්බන්ධව විමර්ශනයක් සිදුකරන ලෙසත් අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරන් විසින් සපයන තොරතුරු සම්බන්ධව විමර්ශනයට ලක්කරන ලෙසත් ය.

එම විමර්ශනවලට වාර්තා ද අධිකරණයට ලබාදෙන්නැයි මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න