අප්‍රේල් 21 වැනිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර වළක්වා නොගැනීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටින අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
හිටපු අමාත්‍යවරයෙකු වන රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන්, හිටපු පොලිස්පතිවරුන් 03 දෙනෙකුගෙන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 04 දෙනෙකුගෙන් විමර්ශන කණ්ඩායම ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන , හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් සහ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මෙන්ම හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස, නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බවයි.
මේ අතර පූජිත් ජයසුන්දර මහතා විසින් ඇප ඉල්ලා ගොනුකර තිබූ ඇප අයැදුම්පත කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේදී අද කැඳවනු ලැබී ය.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස මහතා කරුණු දක්වමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම ඇප අයදුම්පත සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට කාලය ලබාදෙන ලෙසයි.
ඒ අනුව ලබන ජනවාරි 09 වන දා විරෝධතා ගොනු කිරීමට විත්තියට අවසර ලබාදුන් විනිසුරුවරයා එදිනම ඇප අයදුම්පත යළි කැඳවීමට නියෝග කළේ ය.
මෙහිදී පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා කරුණු දක්වමින්, පූජිත් ජයසුන්දර මහතාගේ පුත්‍රයා ලබන ජනවාරි 02 වැනිදා විවාහ වන බැවින් එදින උදෑසන සිට පැය 60 ක කාලයක් ජයසුන්දර මහතාව බන්ධනාගාර භාරයෙන් නිදහස් කිරීමට අතුරු නියෝගයක් ඉල්ලා සිටියේ ය.
යම් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ පසු ඔහුගේ භාරකාරත්වය හා පරිපාලනය පවතින්නේ බන්ධනාගාර කොමාසරිස් ජනරාල්වරයා සතුව බැවින් එකී ඉල්ලීම සම්බන්ධයෙන් තම අධිකරණයට නියෝගයක් නිකුත් කළ නොහැකි බව, මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා පෙන්වා දුන්නේ ය.
එහෙත් එම ඉල්ලීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත දන්වන ලෙස මහාධිකරණ විනිසුරුවරයා රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේ ය.
මේ අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ඇප ඉල්ලා ගොනුකර තිබු ඇප අයදුම්පත්‍රය අද දිනයේ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවූ අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ගේ විරෝධතා ගොනු කිරීම සඳහා එම ඇප අයදුම්පත ලබන ජනවාරි 9 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේ ය

