ජන්දය ප්‍රකාශ කිරීමේ වැඩිම ප්‍රතිශතය මාතලේ : අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ජන්ද වර්ජනයේ : පළමු ප්‍රතිඵලය රාත්‍රී 9 ට පෙර

ජන්දය ප්‍රකාශ කිරීමේ වැඩිම ප්‍රතිශතය මාතලේ : අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ජන්ද වර්ජනයේ : පළමු ප්‍රතිඵලය රාත්‍රී 9 ට පෙර

පළාත් පාලන ආයතන 340කට ජනතා නියෝජිතයින් 8325ක් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (10) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,374දී පවත්වනු ලැබුණු අතර එහිදී වැඩිම ජන්ද ප්‍රමාණයක් ප්‍රකාශයට පත්ව ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයෙන් බව වාර්තා වෙයි.

 මාතලේ දිස්ත්‍රික්කයේ 80%ක් පමණ ජන්ද ප්‍රකාශයට පත්ව ඇති අතර ගම්පහ, අනුරාධපුර, කළුතර, ගාල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්වල 75%ක් සහ මාතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල 70%ක ජන්ද ප්‍රමාණයක් ප්‍රකාශයට පත්ව ඇති බවද වාර්තා වෙයි.

65%ක් ජන්දය දාලා

එසේම දිවයින පුරා පොදුවේ 65%ක පමණ ප්‍රමාණයක් ජන්දය ප්‍රකාශ කර ඇති බවද වාර්තා වෙයි.

මේ වන විට ජන්ද විමසීම සිදු කළ මධ්‍යස්ථාන 9000 කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඒ අනුව අද රාත්‍රී 9.00 වන විට කොට්ඨාස 75 % ක පමණ ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර තිබේ. එසේම මෙවර ප්‍රතිඵල නිකුත් වන්නේ මැතිවරණ කොට්ඨාසයේ ප්‍රතිඵල නොව පළාත් පාලන ආයතනයේ සමස්ත ප්‍රතිඵලය ලෙසින්ය.

මෙවර පළාත් පාලන ඡන්දයට තරග වැද සිටි අපේක්ෂකයින් ගණන 57,252ක් වන අතර ඔවුන් මහ නගර සභා 24 ක්, නගර සභා 40ක් සහ ප්‍රාදේශීය සභා 276 ක් සඳහා තරග කරනු ලැබිණ.

ඡන්දදායකයින් 15,760,862ක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි අතර මිශ්‍ර ක්‍රමයක් යටතේ මෙවර පළාත් ඡන්ද විමසීම පැවත්විණ.

 

මැතිවරණ දිනය සාමකාමී

මේ අතර මෙවර ජන්දය ප්‍රකාශ කිරීම පැවැත්වුණු කාල සීමාව තුළ සිදුවීම් කිහිපයක් වාර්තා වුවත් සාමකාමී මැතිවරණ පසුබිමක් පැවති බව මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථාන සඳහන් කර සිටින අතර ඔවුන් වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ මෑත ඉතිහාසයේ පැවති වඩාත් සාමකාමීම මැතිවරණය මෙවර පවත්වනු ලැබූ පළාත් පාලන මැතිවරණය බවයි.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ජන්දය වර්ජනය කරලා

එසේම අතුරුදන්වූ තම ඥාතීන් සොයා දෙන ලෙස ඉල්ලමින් වව්නියාව ප්‍රදේශයේ උපවාසයේ නිරතවූවන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වන අතර ඔවුන්ගේ මෙම උපවාසයට අදට දින 352ක් ගතව ඇත.

එහිදී ඔවුන් පවසා ඇත්තේ තම ගැටළුවට මේ දක්වාත් නිසි විසඳුම් ලැබී නොමැති බැවින් බලධාරීන් වහාම ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් මේ දක්වා කිසිවකු ඒ පිළිබඳ උනන්දුවක් නොදැක්වීම හේතුවෙන් තමන් මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා නොකරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න