මංගලට මඩ ගගපු වොයිස්කට් සාධූට නඩු !

මංගලට මඩ ගගපු වොයිස්කට් සාධූට නඩු !

සුරාබදු බලපත් ලබාදීම හරහා අල්ලස් ගෙන ඇතැයි තමාට චෝදනා කරන 'වොයිස් කට්' හිමිනමක් වන මාගල්කන්දේ භික්ෂුවට සහ වර්තමාන සුරාබදු කොමසාරිස්ට එරෙහිව නිත්‍යානුකූලව නඩු පැවරීමට බලාපොරොත්තු වන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එබව සඳහන් කර ඇති මංගල සමරවීර මන්ත්‍රීවරයා, තමා දූෂිතයකු යැයි මයික් ඉදිරිපිට මාධ්‍ය සංදර්ශන පෙන්වන සෑම අයකුටම උසාවිය ඉදිරියේ එම ප්‍රකාශ සනාථ කිරීමට අවශ්‍ය අවස්ථාව ලබා දෙන බව ද කියා සිටියි.

මංගල සමරවීර මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනය පහත පළවේ.

සුරාබදු බලපත් හරහා අල්ලස් ගැනීමේ චෝදනාව !

මෙම චෝදනාව මම මුදල් අමාත්‍යාංශය භාරගත් පසු සුරාබදු දෙපාර්තමේන්තුව හරහා සිදුකරන කටයුතු සම්බන්ධයෙන් ගන්නා ලද තීන්දු තීරණ තුළින් අයුතු ලාභ හෝ අනීතික අවස්ථා නොලද පිරිසක් විසින් ප්‍රචාරය කරනු ලබන සහමුලින්ම අයුක්ති සහගත අභූත චෝදනාවක් බවත් එකී චෝදනාව එකහෙළා ප්‍රතික්ෂේප කරන බවත් ඊට එරෙහිව ගතයුතු නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් දැනුම් දෙමි.

සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ රටේ පොදු මහජනයාගේ මතය වී ඇත්තේ, එය ලංකාවේ අන්ත දූෂිතම රාජ්‍ය ආයතනයක් බවයි.

ඒ සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවය කරන ඇතැම් නිලධාරීන්ගේ සහ ඉන් පිටත වූ තැරැව්කරුවන්ගේ මැදිහත් වීම හමුවේ සිදුවූ අකටයුතුකම් හේතුවෙනි.

අල්ලස් ගැනීම්, කප්පම් ගැනීම් සහ අතයට ගනුදෙනු හරහා මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම් වැනි කටයුතු එහි දිගින් දිගටම සිදුවෙමින් තිබුණි.

එසේම සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරය සඳහා රජයේ පරිපාලන නිලධරයකු පත්කළයුතු යැයි රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ අදහස විය. ඒ අනුව අමාත්‍යාංශය භාරගත් පසු මා විසින් සුරාබදු කොමසාරිස් ධූරය සඳහා පළමුව රජයේ පරිපාලන ක්ෂේත්‍රයේ පිළිගත් පරිපාලන නිලධරිනියක වූ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය සහ ඇය විශ්‍රාම යාමෙන් පසු පසු මුදල් අමාත්‍යාංශයේ සේවය කළ ජ්‍යේෂ්ඨ  පරිපාලන නිලධරීන් දෙදෙනකු පත්කරන ලදී. 

එපමණක් නොව අක්‍රමවත් හා අවිධිමත් ආකාරයට අතරමැදියන්ගේද තැරුව්කරුවන්ගේ ද මැදිහත් වීම් තුළ සිදුකරනු ලැබූ මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කොට ඒ සඳහා සරල හා නිවැරදි මෙන්ම විනිවිධ පෙනෙන ආකාරයෙන් මේ කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලදී.

ඒ යටතේ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලැබූ ආපනශාලා සහ සුපිරි වෙළඳසැල් සඳහා බලපත් නිකුත් කිරිමට අවශ්‍ය පියවර ගනු ලැබීය. විශේෂයෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවය යටතේ සංචාරක ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලැබූ ආපනශාලාවලට බලපත් නිකුත් කිරීම සිදුකරන ලදී.

මේ කිසිදු අවස්ථාවක අතරමැදියන් හෝ තැරුව්කරුවන් කිසිවකුට මේ කටයුතු සඳහා මැදිහත්වීමට අවස්ථාවක් නොවුණි. එසේම හොර මත්පැන් ජාවාරම්කරුවන්ට ද සිය ජාවාරම් කිරීමේ අවස්ථා අහිමි කරමින් මෙම ක්‍රියාදාමය සරලව, නිවැරදිව හා විනිවිධ පෙනන ආකාරයෙන් සිදුකෙරුණි.

මාගේ 31 වසරක දේශපාලන ජීවිතයේ කිසිදු අවස්ථාවක කිසියම් හෝ වංචාවකට, දූෂණයකට හෝ අල්ලස් ක්‍රියාවකට මා සම්බන්ධ වී නොමැත.  එවැනි චෝදනාවක් මෙතෙක් කලකට මා වෙත එල්ල වී ද නැත.

එම නිසාම මෙම චෝදනාව මා වෙත එල්ල කිරීමට සම්බන්ධ වූ මාගල්කන්දේ භික්ෂුවට සහ වර්තමාන සුරාබදු කොමසාරිස්ට එරෙහිව නිත්‍යානුකූලව නඩු පැවරීමට බලාපොරොත්තු වෙමි.

ඒ අනුව මා දූෂිතයකු යැයි මයික් ඉදිරිපිට මාධ්‍ය සංදර්ශන පෙන්වන මේ සෑම අයකුටම උසාවිය ඉදිරියේ එම ප්‍රකාශ සනාථ කිරීමට අවශ්‍ය අවස්ථාව ලබා දෙන බව ද ඒ සඳහා සූදානමින් සිටින ලෙස ද දන්වා සිටිමි.''

මංගල සමරවීර
පාර්ලිමේන්තු මන්ත්‍රි
මාතර දිස්ත්‍රික්කය
2020/01/30

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න