Language Switcher

V2025

පොහොට්ටු හෙංචයියන්ද වැඩ අල්ලයි : තවත් රාජ්‍ය නිලධාරියෙකු ගුටි කා රෝහලේ !

හික්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ නියුතු වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් වෙරළ සංරක්‍ෂන නිලධාරි පී. ඒ. කි‍්‍රස්ටි විජයකුමාරට 2020 පෙබරවාරි 17 දින ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් විසින් සිදුකර ඇති අමානුෂිික පහරදීම සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරී සේවා සංගමය සිය දැඩි විරෝධය  ආණ්ඩුවට පලකර සිටියි .

මේ බව සදහන් කරමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි විෂය භාර අමාත්‍ය ජයන්ත සමරවීර වෙත ලිපියක් යොමුකර ඇති අතර එහි පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශව වෙතද යවා තිබේ.
එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සදහන් කර ඇත.

2020/02/17 දින ගාලූ පාර, ගොඩගම ප‍්‍රදේශයේ පිහිටි රෙබෙකා ගාර්ඞ්න් හෝටලයේ හිමිකරු විසින් වෙරළ සංරක්‍ෂන දෙපාර්තමේන්තුවට අයත් වෙරලෙහි ආරක්‍ෂිත ගල්වැටි ඇතුලූ ප‍්‍රදේශය අනවසරයෙන් ගොඩ කිරීම සම්බන්ධයෙන් විරෝධය පලකරමින් සිය රාජකාරි කටයුතු වෙනුවෙන් මැදිහත් වු වෙරළ සංරක්‍ෂන දෙපාර්තමේන්තුවේ වෙරළ සංරක්‍ෂන නිලධාරි කි‍්‍රස්ටි විජයකුමාර මහතාට පෙබරවාරි 17 දින ප.ව. 3.15 ට පමණ ඉහත පුද්ගලයින් අමානුෂික ලෙස පහර දී ඇති අතර පහර කෑමට ලක් වූ ඉහත නම් සඳහන් රජයේ නිලධාරියා මේ වනවිටත් කරාපිටිය ශික්‍ෂණ රෝහලේ රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටී.
 
අනවසර ගොඩ කිරීම ඡායාරූප ගත කර අදාල කටයුතු නතර කරන ලෙසට කියමින් කි‍්‍රයාත්මක වීමේදී නීති විරෝධි කටයුතුවල යෙදුනු පිරිස වෙරළ සංරක්‍ෂන නිලධාරිවරයා බිම පෙරළා අමානුෂික ලෙස පහර දී නැවත නැගිට්ටවා හිස පොල්ගසක ඇන නිලධාරියා පැමිණි යතුරුපැදියට පවා හානි කරමින් සිදුකර ඇති අමානුෂික පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් නීතිය කි‍්‍රයාත්මක නොවීම කණගාටුදායක තත්වයක් බව අවධාරණය කරමු.
 
ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග පවතින සමීප සබඳතාවයන් පිළිබඳව පවසමින්  ඕන දෙයක් කරන ලෙස කියමින් මෙම පිරිස රජයේ නිලධාරිවරයාට පහර දී ඇත.
 
මෙම අමානුෂික පහරදීම සම්බන්ධයෙන් පහර කෑමට ලක් නිලධාරියා මීටියාගොඩ පොලිසියේ CIB/02/113/124 අංකය යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් මේ දක්වා පොලිසිය අදාල නීතිමය පියවර ගෙන නොමැති බව වගකීමෙන් සඳහන් කරමු.
 
02. රාජකාරියේ යෙදී සිටිමින් රජය වෙනුවෙන් වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් නීතිය කි‍්‍රයාත්මක කිරීමට ඉදිරිපත් වූ අමානුෂික පහරකෑමට ලක්වූ ඉහත නිලධාරියා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව අදාල පිරිස් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම.

03. මීටියාගොඩ පොලිසිය මගින් CIB/02/113/124 අංක දරන පැමිණිල්ල යටතේ නීතිය කි‍්‍රයාත්මක කිරීමට ඉදිරිපත් නොවීම.

04. වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පහරකෑමට ලක්ව ඇති තම දෙපාර්තමේන්තුවේ නිලධාරියා වෙනුවෙන් සෑහීමකට පත්විය හැකි පියවරක් මේ දක්වා නොගැනීම.

05. රජයේ නිළධාරින්ට මේ ආකාරයෙන් දිගින් දිගටම ආණ්ඩුවට සම්බන්ධ විවිධ පුද්ගලයින්ගෙන් එල්ලවන බලපෑම් වර්ධනය වීම හා ඊට රජය ලෙස නිසි පියවරක් නොගැනීම.

යන කරුනු පිළිබඳව අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා මෙන් අප සංගමය විෂයභාර අමාත්‍යවරයා ඇතුලූ ආන්ඩුවෙන් ද අදාල බලධාරින් ගෙන් ද  ඉතා වගකීමෙන් ඉල්ලා සිටිමු.

පහර දී රාජකාරියට බාධා කරමින් කි‍්‍රයාකළ පුද්ගලයින්ට නීතිය කි‍්‍රයාත්මක නොවී දින තුනක් ගතවීමත්, රජයේ සේවකයින්ට සිය රාජකාරි නිදහසේ කරගෙන යාම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කරන ලෙසත්, ඉහත සඳහන් අංක 02, 03, 04, 05 අවධාරණය කර ඇති කරුණු පිළිබඳවත් පියවර ගන්නා ලෙස බලකරමින් පෙබරවාරි 20 දින දකුණු පළාත් නිලධාරින්ගේ විරෝධතාවයක් පැවැත්වීමට තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් තවදුරටත් සාධාරණයක් ඉටු නොවන්නේ නම් ඉදිරි දිනවලදී දීපව්‍යාප්ත විරෝධතාවයකට අවතීර්ණ වන බවද දන්වා සිටිමු.