Language Switcher

V2025

පුංචිගේ පුතා උසාවියේදී CID යත් නිහඬ කළා ! (වීඩියෝ )

අවුරුදු 5ක් තිස්සෙ පරීක්ෂණ කරපු සී අයි ඩී නිලධාරියා මාරු කරල තියෙනවා. අලුත් නිලධාරියෙක් ඇවිල්ල උසාවියට කියනව මං මේ ගැන මුකුත් දන්නෙ නෑ කියල. ඔහු උසාවියෙන් අහල තියෙනව උදයංග වීරතුංගට චෝදනා ගොනු කරන්නෙ මොන පනතෙන් ද කියල. ඒ නිලධාරියා මේ ෆයිල් එක ගැන දන්නෙත් නෑ. ඉතිං මේ සී අයි ඩී එක දැන් බබා වෙලා ද? නැත්නම් තමුන්නාන්සේලා සී අයි ඩී එක බබා කරල ද කියල තමයි අපිට අහන්න වෙන්නෙ?"

මේ ප්‍රශ්නය ඊයේ ආණ්ඩුවෙන් ඇසුවේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස විසින්ය. 

ඒ ප්‍රශ්නයට පිළිතුරුදුන්නේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂය. ඒ, මේ පිළිබදව කරුණු හරියට අධ්‍යයනය කරල තමයි පිළිතුරක් දෙන්න තියෙන්නෙ. ඉතිං මේ හැම එක්කෙනා ම පැමිණිලි ගොතන හැටිත් ලියන හැටිත් මටත් පොඩ්ඩක් දැනුමකුත් තියෙනව. හොද අත්දැකීමකුත් තියෙනව. ඒ නිසා මට මේ පිළිබදව කෙනෙකුට චෝදනා කරන්න බෑ පැමිණිල්ලක් දාපු පළියට. ඒ සදහා පරීක්ෂණ පවත්වන්න ඕන. ඒ පරීක්ෂණ සාධාරණව කෙරෙන්න ඕන. ඉන්පසුව තමයි ඉතුරු කටයුතු කරන්න ඕන. ඒ නිසා පැමිණිල්ලක් දාපු පරිදි ම මං හිතන්නෙ නෑ කෙනෙක් වැරදි කාරයෙක් වෙනව කියල. සී අයි ඩී එකේ නිලධාරීන් පැමිණිලි විභාග කරපු ආකාරය පිළිබදව තවත් පැමිණිලි ගොඩක් තියෙනව. උසාවියෙදි දීපු කරුණු පිළිබදව මම කරුණු හොයල බලන්නම්." කියමින්ය.

පාර්ලිමේන්තුවේ මේ කතා බහට හේතු වූයේ  කුප්‍රකට මිග් යානා ගනුදෙනුවට අදාළ  නඩුව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පසුගිය 17 වනදා  ඇති වූ තත්ත්වය හා එහිදී මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් වැඩ බලන පොලිස්පතිවරයාට නිකුත් කෙරුණු නියෝගය.

එහිදී මහේස්ත්‍රාත්වරයා වැඩබලන පොලිස්පතිට නියෝග කර ඇත්තේ, වසර පහකට අධික කාලයක් පුරා මිග් ගනුදෙනුව  සම්බන්ධව විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී. දයාරත්න යන අය ඉදිරි විමර්ශන සඳහා යොදාගැනීමට පියවර ගන්නා ලෙසත් එලෙස නොකරන්නේ නම් ඒ කුමන හේතුවක් මතද යන්න වහාම අධිකරණයට දැනුම්දෙන ලෙසත්ය.

ඉදිරි විමර්ශන සාර්ථකව අවසන් කිරීම සඳහා එම නිලධාරීන් අවශ්‍ය බව අධිකරණයට පෙනීයන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කල බවත් මාධ්‍ය වාර්තා පළවිය.
එපමණක් නොව, 

මිග්  ගනුදෙනුව පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරැද්දක් බව පෙන්වීමට අවශ්‍ය සහකාර පොලිස් අධිකාරීවරයෙකු විසින් ඉදිරිපත් කල යුතු සහතිකය

අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්වීම,

වසර 5කට ආසන්න කාලයක් අදාළ විමර්ශන කරනු ලැබුවේ සහ සැකකරුට වරෙන්තු නිකුත් කරනු ලැබුවේ පොදු දේපල පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බව අනාවරණය වී ඇති නිසා බව  

උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණ විට පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි දක්වා නොතිබීම  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපළ සහතිකය ඉදිරිපත් නොකිරීම අසාමන්‍ය තත්ත්වයක් බව 

CID ය  විසින් හිතාමතාම මෙම සහතිකය අධිකරණයට ඉදිරිපත් නොකිරීමට උත්සාහ දරණ බව පෙනීයන්නක් බව

විමර්ශන නිලධාරීන් කටයුතු කරනුයේ සැකකරුට ඇප  ලබාදීමට අවශ්‍ය සුදුසුකම් සපුරාලීමට හැකි ආකාරයට බව නිරීක්ෂණය වීම 

එසේම නීතිපති දුන් උපදෙස් පිළිනොපැදීම ආදී ලෙස මිග් ගනුදෙනුවේ නඩුවට අදාළ අතිශය වැදගත් කරුණු රැසක් සම්බන්ධව පසුගිය 17 වනදා අධිකරණයේ අවධානය යොමුව තිබිණ. 

මෙම නඩුවට අදාළව සඳහන් වන්නේ උදයංග වීරතුංග මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට යුතු ලෙස මැදිහත්ව ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් මිලියන 7යි දශම අටයි තුනයි තුනක පාඩුවක් සිදුකර ඇති බවය.

බීබීසී වාර්තාවක දැක්වෙන්නේ පොලිසිය මෙම නඩුව මෙහෙයවන ආකාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායකගේ දැඩි විවේචනයට භාජනය වූ බවය.

ඒ අනුවත් "දැන් CID එක බබා වෙලාද ? නැත්නම් බබා කරලද ?" යනුවෙන් ජවිපෙ මන්ත්‍රී අසන ප්‍රශ්නය සාධාරණය. තවත් ඒ ගැන ප්‍රශ්න ඇත්නම් සිදුකළ යුතුව ඇත්තේ CID එක බබා වෙන මේ උදයංග කවුද යන්නය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මව, උදයංග වීරතුංගගේ මවගේ වැඩිමහල් සොහොයුරිය ය. මේ  උදයංගව 2006 වසරේදී රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කරන්නේද මහින්ද රාජපක්ෂය. 2015 ආණ්ඩු පෙරළියතෙක් උදයංග ඒ ධුරය දැරීය. මිග් ගනුදෙනුවට අදාලව ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත්කර තිබියදී පවා අධිකරණය මඟහැර සිටි උදයංග නැවත ලංකාවට ආවේ 2019 ආණ්ඩු පෙරළියෙන් මාස 3කට පසුවය.

ඒ වන විට මිග් ගනුදෙනුවේ විමර්ශන මෙහෙයවූ නිලධාරීන් මාරුකර යවා හමාරය. දැන් ඒ වෙනුවෙන් අධිකරණයට එන්නේ විමර්ශන ගැන හරියට දන්නේ නෑ කියා ප්‍රසිද්ධ අධිකරණයේ කියන්න තරම් හිත හදාගත් නිලධාරී මහතුන්ය. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන්ට එහෙම ප්‍රසිද්ධියේ බබා වෙන්න හැකි නම්, අපිට බැරි මොකද ? 

වැඩි කතාවලට නොගොස්  අන්න ඒ වගේ කිළුටු හෘද සාක්ෂියක් අපිත්  ඉතුරු කර ගන්නේ මේ නඩුව, වෙන්න බැරි ඕන දෙයක් වෙන්න පුලුවන් තරම් අනුහස් ඇති  මිග් ගනුදෙනුව ගැන වන නිසාය.