Language Switcher

V2025

මනු කියවන්නන්ගේ සේවය තාවකාලිකව නතර කරන්නැයි ඉල්ලීමක් !

කොරෝනා වසංගතය මර්ධනය සදහා සමස්ත ජාතියම පියවර ගෙන ඇති මොහොතක ලංකා විදුලිබල මණ්ඩලය විදුලි බිල්පත් බෙදාහරින්නැයි මනු කියවන්නට කර ඇති නියෝගය වහාම අවලංගු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර වෙතින් ඉල්ලා සිටියි.

ලිපියක් යොමුකරමින් ඔවුන් මෙම ඉල්ලීම සිදුකරන අතර ජනරාශිය නැවත්වීම සදහා රජය පියවර ගෙන තිබියදී 4000කටඅධික මනු කියවන්නන් ගෙයින් ගෙට යාම හරහා කොරෝනා වෛරසය ව්‍යාප්ත නොවිය හැකි යැයි ලංවිමට සහතිකයක් දිය හැකි ද? යනුවෙන්ද ප්‍රශ්න කර ඇත.

ඒ අනුව එම සංවිධාන ඉල්ලා ඇත්තේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මනු කියවන්නන්ගේ සේවයද තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන ලෙස වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ කොරෝනා මැඩලීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සභාපති වෙතත් මෙම ලිපියේ පිටපත් යොමුකර ඇත.

අදාළ ලිපිය පහත දැක්වෙයි.

මහින්ද අමරවීර මහතා

ප්‍රවාහන හා බලශක්ති අමාත්‍ය

බලශක්ති අමාත්‍යාංශය

කොළඔ 09.

අමාත්‍යතුමණි,

මනු කියවන්නන්ගේ සේවය තාවකාලිකව නතර කිරීම.

කොරෝනා වසංගතය මර්ධනය සදහා සමස්ත ජාතියම පියවර ගෙන ඇති මොහොතක ලංකා විදුලිබල මණ්ඩලය විදුලි බිල්පත් බෙදාහරින්නැයි මනු කියවන්නට කර ඇති නියෝගය වහාම අවලංගු කරන ලෙස අප සංවිධානය ඔබතුමාගෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමු.  

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා කර ඇති නියෝගයකට අනුව සියළු    ප්‍රදේශවල විදුලි මනු කියවන්නන් හෙට සිට බිල්පත් බෙදාහැරීමට නිවෙස් වලට යාමට නියමිතය. ජනරාශිය නැවත්වීම සදහා රජය පියවර ගෙන තිබියදී 4000කටඅධික මනු කියවන්නන් ගෙයින් ගෙට යාම හරහා කොරෝනා වෛරසය ව්‍යාප්ත නොවිය හැකි යැයි ලංවිමට සහතිකයක් දිය හැකි ද? එසේම මෙම විදුලි මනු කියවන්නන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා ලංවිම සාමාන්‍යාධිකාරිවරයා ගෙන ඇති පියවර කුමක්ද? විශේෂයෙන්ම දිවයිනේ ප්‍රෙද්ශ ගණනාවක් කොරෝනා වෛරසය පැතීරීමට වැඩි අවදානමක් සහිත කලාප ලෙස හදුනාගෙන තිබියදී එම ප්‍රෙද්ශවල මනු කියවන්නන් සැරසැරීම සියලු දෙනා අවදානමට ලක් කිරීමකි. මෙම මාසය සදහා පසුගිය මාසය පදනම් කරගෙන බිල්පත ගෙවන ලෙස විදුලි පාරිභෝගිකයින්ට දැනුම් දිය හැකි ය.එසේම මේ වන විට ලංවිම විසින් විදුලි පාරි‍‍භෝගිකයින්ගේ තැන්පතු සදහා ගෙවිය යුතු පොලිය රුපියල් කෝටි 1500ක් පමණ වේ. මෙම මාසයේ විදුලි බිල්පත් පියවීමේදී එක් එක් පාරිභෝගිකයාට ලංවිම ගෙවිය යුතු පොලියෙන් අදාල බිල්පතේ මුදලකපා ගත හැකිය. එවැනි ක්‍රම ගණනාවක් තිබියදී විදුලි මනු කියවන්නන් 4000ක් සහ විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 55ක් අනතුරේ හෙලීමට ලංවිම පාලනාධිකාරිය ගෙන ඇතිවගකීම් විරහිත පියවර වහාම අහෝසි කරන ලෙස අප ඉල්ලා සිටිමු.

තවදුරටත් හෙට දිනයේ වයඹ පලාතේ බිල්පත් කවුන්ටර විවෘත කිරීමට ද ලංවිම පාලනාධිකාරිය නියෝග කර ඇතැයි වාර්තා වේ. කොරෝනා අවදානම් කලාපයක් ලෙස හදුනාගෙන ඇති වයඹ පළාතේ බිල්පත් කවුන්ටර විවෘත කරනවා වෙනුවට බිල්පත් ගෙවීම සදහා සියලු විදුලි පාරිභෝගිකයින්ට සහන කාලයක් ලබා දිය හැකිය. අප සංවිධානය ඉල්ලා සිටිනේනේ දැනට පාරිභෝගිකයින් අතට ලැබී ඇති බිල්පත් ගෙවීම සදහා අවම වශයෙන් මාසයක සහන කාලයක් ලබා දිය යුතු බවයි.

මෙයට, විශ්වාසි 

රංජිත් විතානගේ - සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය