Ad

Ad 01

V2025

පුවත්

විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය ඇතුළු තිදෙනාගේ ඇප ඉල්ලීම ඉවතට

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍යකර්ම අයිතම පිටස්තර ආයතන වලින් මිලදී ගැනීමට සලස්වමින් රෝගීන්ට රුපියල් කෝටි ගණනකට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගතව සිටි, විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය ඇතුළු තිදෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අනූජා ලක්මාලී අද (24) නියෝග කළාය.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වාට්ටුව භාර විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය වෛද්‍ය මහේසී සූරසිංහ විජේරත්න, කළමනාකාර සහකාර ලියනගේ ඉන්දික, වෛද්‍යවරියගේ ආයතන එක සේවයකළ මුතුකුඩ ආරච්චිගේ නිමල් රන්ජිත් නමැති සැකකරුවන් මෙලෙස රක්ෂිතය බන්ධනාගාර ගත කෙරිණි.

( lankadeepa | රෝෂන් තුෂාර)

ඊශ්‍රායලය ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කරයි

සටන් විරාමය කඩකළ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාතය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ දුරකථන සංවාදයකින් අනතුරුව තවදුරටත ප්‍රහාර එල්ල නොකල බව ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

අගමැතිනිය කැනඩාවට

උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගොස් තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස මෙලස කැනඩාව බලා පිටත්ව ගි⁣යා ය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් පාලක මණ්ඩලය ජූනි 24 සිට 26 දින දක්වා කැනඩාවේ වැන්කුවර් හිදී පැවැත් වේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් ළමා සහ කාන්තා අධ්‍යාපනය සහ පුහුණුව, උසස් අධ්‍යාපනය, ගුරු අධ්‍යාපනය, ජීවිත කාලය පුරාම ඉගෙනීම සහ ඩිජිටල් තාක්ෂණය සක්‍රීය ඉගෙනීම සඳහා දායක කර ගැනීම යන ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරේ.

එසේම නවෝත්පාදන සහ පර්යේෂණ සඳහා ආයෝජනය කිරීම, ආයතන සහ සංවිධානවල ඩිජිටල් පරිවර්තනයට සහාය වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම, අධීක්ෂණ සහ ඇගයීම් සැලැස්මක් ක්‍රියාත්මක කිරීම යන කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

මැදපෙරදිග ගුවන් කලාප යළි විවෘතයි

තාවකාලිකව වසා දැමුණු මැදපෙරදිග ගුවන් කලාප යළි විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, කටාර් ගුවන් ගුවන් කලාප ඇතුළු වසා දැමුණු අනෙකුත් සියලුම ගුවන් කලාප මෙලෙස විවෘත කර ඇති බවය.

ඉරානය විසින් කටාර්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ඊයේ (23) මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් මෙලෙස වසා දැමීමට පියවර ගැණුනි.

ඒ හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු වූ අතර ශ්‍රී ලංකාවේ සිට මැදපෙරදිග රටවල් දක්වා පියාසර කළ ගුවන් යානා 5ක් වෙනත් ගුවන්තොටුපොළ වෙත හරහා යැවීමට පියවර ගත් බව ද සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කළේය.

අදාළ ගුවන් යානා මස්කට්, ඩුබායි සහ රියාද් යන ගුවන්තොටුපොළවල් වෙත ගොඩ බෑමට කටයුතු කළ බව ඔහු සඳහන් කළේය.

ප්‍රහාරවලින් අනතුරුව යළිත් සිය ගුවන් අවකාශය විවෘත කළ බව කටාර්හි සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර තිබේ.

මේ වන විට රටේ ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය අතට පත්ව ඇති බව ද කටාර් රජය ප්‍රකාශ කර ඇත.

කුවේට්, බහරේන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද මේ වන විට සිය ගුවන් අවකාශ විවෘත කර ඇති බව සඳහන්ය.

මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් තාවකාලිකව වසා දමයි

මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එලෙස ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇත්තේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය, ලෙබනනය සහ ජෝර්දානයයි.

මේ අතර, වාණිජ ගුවන් ගමන් අවලංගු කිරීම, ප්‍රමාද කිරීම හෝ නැවත හරවා යැවීම සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කටාර් රාජ්‍ය ගුවන් අවකාශය තාවකාලිකව වසා දමයි...

මැදපෙරදිග කලාපයේ වර්ධනය වී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ සිය ගුවන් අවකාශය තාවකාලිකව වසා දැමීමට කටාර් රාජ්‍ය පියවර ගෙන තිබේ.

කටාර් විදේශ අමාත්‍යාංශය එක්ස් සටහනකින් තබමින් නිවේදනය කරන්නේ, සිය රට වැසියන් සහ සංචරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණ ඇතිව මෙම පියවර ගත් බවයි.

ඉරානය සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාරවලින් පසු එක්සත් ජනපදයට එරෙහිව පළිගන්නා බවට නැවත නැවතත් තර්ජන එල්ල කිරීමත්, මෙම තීරණයට හේතුවන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සජින් ද වාස්ට අධිකරණයෙන් වරෙන්තු...

රුපියල් ලක්ෂ 369 ආදායම් බදු නොගෙවීමට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුවකට පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (23) වරෙන්තු නිකුත් කළේ ය.

ඒ ඔහු 2010-2012 වර්ෂවලට අදාළව ගෙවීමට නියමිතව තිබූ ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා 2023 වසරේදී පවරා තිබූ නඩුවක් අද යළි කැඳ වූ අවස්ථාවේදීයි.

සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවයි

දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් අද කොළඹට කැඳවා තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, අද පෙරවරුවේ අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ඔවුන් කැඳවා ඇති බවයි.

ඒ අනුව දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරිවරුන් සහ කොමසාරිවරුන්ට ඒ සඳහා පැමිණෙන්නැයි දැනුම් දී තිබේ.

බන්ධනාගාර ආශ්‍රිත ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් එම හමුව පැවැත්වෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර ඇත.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහින්ද සිරිවර්ධන පසුගිය දා එම ධූරයට සමුදුන් අතර ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිතව ඇත.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම වත්මන් රජයේ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළේය.

මහින්ද සිරිවර්ධනගේ විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ මුදල් අමාත්‍යංශ ලේකම් ධූරය පිරවීම වෙනුවෙන් ඔහු පසුගිය සතියේ දී සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණි.

පාර්ලිමේන්තු සේවකයින්ගේ කෑම බිල අඩු කෙරේ

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මත කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත ස‍ංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර තිබේ.

ඒ එම කාරක සභාවේ සභාපති කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව 2025.05.23 දිනැති තීරණය පරිදි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් 2025.06.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4,000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2,500ක් වන පරිදි අයකිරීමට තීරණය කෙරිණි.

කෙසේ වුවද මෙම මිල ගණන් නැවත සංශෝධනය කරන ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම් කාරක සභාවේදී දීර්ඝ ලෙස සලකා බැලුණු අතර ඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 3000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2000ක් වශයෙන් අය කිරීමට මෙහිදී තීරණය කෙරිණි.

ඒ අනුව මෙම නව මිල ගණන් එළැඹෙන ජූලි මස 01 දින සිට ක්‍රියාත්මක වීමටද නියමිතය.

එසේම පසුගිය මැයි මස 23 දින එම කාරක සභාව තීරණය කළ පරිදි පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදී ගනු ලබන ගරු මන්ත්‍රීවරයන්ගේ රියදුරන්, පොලිස් නිලධාරීන්, ජනාධිපති/අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ සහ මාධ්‍යවේදීන්ගෙන් දැනට අය කරනු ලබන ආහාර සඳහා වන ගාස්තු තවදුරටත් නොවෙනස්ව පැවතිය යුතු බවට ද කාරක සභාව විසින් තීරණය කර තිබේ.

2029දී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මොකද වෙන්නේ......

2029 වසරේ සිට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, ළමුන්ට පීඩාකාරී නොවන විභාගයක් ලෙස පැවැත්වීමට තීරණය කර ඇතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න  ප්‍රකාශ කළේ, මේ වසරේ සිට 2028 වසර දක්වා ශිෂ්‍යත්ව විභාගයේ සිදුකළ යුතු කඩිනම් වෙනස්වීම් සිදුකිරීම සඳහා ද, පියවර ගන්නා බවයි.

ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන බලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් ද පත්කර ඇතැයි, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ගණිතය සහ භාෂාව යන කුසලතාවයන් මැන බැලෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අනවශ්‍ය තරගාකාරීත්වය හේතුවෙන් ළමුන්, දැඩි පීඩාවට පත්වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්

සිඟමන් යදින සහ අනාරක්ෂිත ලෙස භාණ්ඩ අලෙවිකරන බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ෂණ කාර්යාංශය මෙන්ම ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය සමග ජාතික ළමාරක්ෂක අධිකාරිය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරයි.

සිගමන් යදිමින් සහ භාණ්ඩ අලෙවි කරමින් අනාරක්ෂිත ලෙස ගැවසෙන බාල වයස්කාර දරුවන් භාරයට ගෙන නිසි බාරකාරත්වයකට පත්කිරීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක විය.

කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ , ගම්පහ, පානදුර, කැලණිය, මීගමුව, ගල්කිස්ස, කළුතර, තංගල්ල යන ප්‍රදේශවල මෙම මෙහෙයුම් ක්‍රියාත්මකය.

එමෙන්ම අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, හලාවත, රත්නපුර, ගාල්ල හා මාතර යන පොලිස් කොට්ඨාශවල ද මෙහෙයුම් සිදු කෙරෙන බව පොලිසිය සදහන් කරයි.

ජනාකීර්ණ ප්‍රදේශ, මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන සාප්පු සංකීර්ණ අසල මෙන්ම මාර්ග සංඥා පහන් දැල්වෙන ස්ථාන අසල මෙවැනි දරුවන් බහුලව දැකගත හැකිය.

පසුගියදා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් එවැනි දරුවන් 21 දෙනෙකු අදාළ නිලධාරීන් භාරයට ගෙන ඔවුන් සුදුසු භාරකාරත්වයක් යටතට පත් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරයි.

විදේශ සේවාවන්හි ඩිජිටල් ප්‍රතිසංස්කරණ අරඹයි

විදේශ සේවා සැපයීම කාර්‍යක්ෂම කිරීම සඳහා වූ සුවිශේෂී පියවරක් ලෙස, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල හරහා ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සඳහා කටයුතු පසුගිය දා (17) ඇරඹීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම හමුව ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ ගරු විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රෙගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම මුලපිරීම දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල් අනාගතයක් සඳහා රජයේ ගමන්මඟ තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇත.

මෙම සාකච්ජාවේදී මූලික වශයෙන් විදේශ දූත මණ්ඩල සේවාවන් පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය කිරීම සහ, එය විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට රජයේ සේවාවන් වෙත ප්‍රවේශ වන ආකාරය පහසු කිරීම පිළිබඳව සහ ඒකාබද්ධ ඩිජිටල් කොන්සියුලර් වේදිකා සැලසුම්ගත කිරීම, ගෝලීය වශයෙන් ප්‍රවේශ විය හැකි, බහුභාෂා, පරිශීලක-හිතකාමී වෙබ් අතුරු මුහුණතක් සංවර්ධනය කිරීම පිළිබඳව අවධානයට ගැනිණ.

"මෙම සහයෝගීත්වය විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට ඩිජිටල් ලෝකයේ වේගය, කාර්යක්ෂමතාව සහ ප්‍රවේශ්‍යතාවයට ගැලපෙන සේවාවන් ලැබෙන බව සහතික කිරීමේ තීරණාත්මක පියවරක් වන අතර එහිදී විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීමේ සිට වන්දි යාන්ත්‍රණයන් වෙත ප්‍රවේශ වීම දක්වා, සෑම ක්‍රියාවලියක්ම බාධාවකින් තොරව, ආරක්ෂිත සහ කාර්‍යක්ෂම විය යුතුය," යනුවෙන් මෙහිදී ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය.

මෙම පරිවර්තනයේ මූලික අංගයක් වන්නේ මුදල් රහිත ඩිජිටල් ගෙවීම් පද්ධතියක් හඳුන්වාදීම සහ සම්පූර්ණයෙන්ම කඩදාසි රහිත ලිපිගොණු ක්‍රියාවලියකට පරිවර්තනය වීමයි, විශේෂයෙන් විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත්, සත්‍යතාව තහවුරු කිරීම සහ අනෙකුත් ප්‍රධාන සේවාවන් සඳහා මෙය යොදාගැනේ.

මෙහි අරමුණ වන්නේ, ප්‍රමාදයන් ඉවත් කිරීම සහ විදේශ සේවා සැපයීමේදී වැඩි විශ්වාසයක් සහ විනිවිදභාවයක් ඇති කිරීමයි.

මෙහිදී අවධානය යොමු කළ තවත් ප්‍රධාන ක්ෂේත්‍රයක් වූයේ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික සේවකයින් සඳහා වන්දි සහ සුභසාධන ප්‍රතිලාභ කළමනාකරණය කරන පද්ධති වැඩිදියුණු කිරීමයි.

එහිදී වැඩිදියුණු කළ දත්ත ඒකාබද්ධ කිරීම සහ ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය මඟින්, සංක්‍රමණික සේවකයින්ට සහ ඔවුන්ගේ පවුල් සඳහා වේගවත් විසඳුම් සහ වඩාත් සාධාරණ ප්‍රතිඵල ලබා දීම රජයේ අරමුණයි.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ධනපාල‍, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රොෂාන් ගමගේ , විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රසාද් පියසේන , කොන්සියුලර් කටයුතු අධ්‍යක්ෂ ජනරාල් නිර්මල පරණවිතාන , රාජ්‍ය තාන්ත්‍රික අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ ෙ සහ ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී යාපා  ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.

මෙම නව වැඩපිළිවෙළ අමාත්‍යාංශ අතර සහයෝගීතාවය මෙන්ම, ලෝකයේ කොතැනක සිටියත් ශ්‍රී ලාංකික පුරවැසියන්ට කාර්යක්ෂම, ආරක්ෂිත සහ සියලු දෙනා ආවරණය වන මහජන සේවාවන් සඳහා ප්‍රවේශය ඇති බව සහතික කිරීම සඳහා වන උත්සාහයේ තවත් එක් පියවරකි.

තුසිත හල්ලොලුවට ඇප

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවට ඇප හිමිව තිබේ.

ඔහු කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (20) ඉදිරිපත්කළ අවස්ථාවේදී රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.

අධිකරණය ඔහුට විදේශ ගමන් තහනමක් පනවා තිබේ.

කෙහෙළිය ගෙන්නූ බාලා ඖෂධවල තිබුණේ මාරාන්තික බැක්ටීරියා සහ ලුණු වතුර විතරයි – නීතිපති උසාවියට දැනුම් දෙයි

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අවසන් වාර්තාව අද (19) පස්වරුවේ නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

ඒ අද එම නඩුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු අවස්ථාවේදීය.

මෙහිදී, ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් ඖෂධය තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර විෂ සහිත වූ බැක්ටීරියා වතුර අන්තර්ගතව තිබූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතීතකරණ අනුමැතිය හිමි ජර්මානු රසායනාගාරයකින් වාර්තා කර ඇති බව නීතිපති අධිකරණයට දැනුම් දුන්නේය.

එමෙන්ම,පිළිකා නාශක ඖෂධයක් ලෙස පළවන සැකකරු විසින් ලබා දුන් රිටොක්සිමැප් ද්‍රාවණය පරීක්ෂා කිරීමේදී පිළිකාවකට සටන් කළ හැකි කිසිදු ප්‍රෝටීනයක් එහි අන්තරගත නොමැති බවත් ලුණු පමණක් එහි අන්තරගත වන බවත් පරීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී තිබේ.

පරීක්ෂා කිරීමට ලබා දුන් ද්‍රාවණවල අන්තර්ගතය සම්බන්ධයෙන් වූ විශ්ලේෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලුණු වතුර සහ බැක්ටීරියාවන්ගෙන් විෂ වුණ ද්‍රාවණයක් සැපයීමට රජය විසින් ලක්ෂ 1444ක් වැය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි.

නඩුව නැවත ජූලි 16වැනිදා කැඳවන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය පළවන සැකකරු එම දිනය තෙක් රක්ෂිත බන්ධනාගරගත කරන ලෙස නියෝග කළේය.

ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කෙරේ

2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කර තිබේ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කළේ, සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ජුලි මස 25වැනිදා ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කෙරෙන බවයි.

මහනුවර ඇසළ පෙරහැර වීදී සංචාරය කරන දින වකවානු දැනුම්දීම සහ ඊට අදාළ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් අද (19) ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ පැවැති සාකච්ඡාවේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල  මේ බව පැවසීය.

දේවාල අභ්‍යන්තර පෙරහැර දින 05ක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රථම කුඹල් පෙරහැර ජුලි 30 වැනිදා වීදී සංචාරය කෙරේ.

කුඹල් පෙරහැර ජුලි 30 සිට අගෝස්තු 03 දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු අගෝස්තු 04 වනදා ප්‍රථම රන්දෝලි පෙරහැර වීදී සංචාරය කරන බව දියවඩන නිලමේවරයා පැවසීය.

ඒ අනුව අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පුන් පොහොය දින (08) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට සැලසුම් කර ඇත.

මෙහිදී දියවඩන නිලමේ සහ සිව් මහා දේවාල බස්නායක නිලමේවරුන් සඳහන් කළේ, හීලෑ අලි ඇතුන් අවමවීම පෙරහැර පැවැත්වීමට විශාල වශයෙන් බලපාන ගැටලුවක් බවයි.

 

වන සතුන්ගෙන් සිදුවන භෝග හානි පාලනයට රජයේ අවධානය

වන ජීවීන්ගෙන් ආහාර නිෂ්පාදනයට (කෘෂිකර්මාන්ත හා වැවිලි අංශය) සිදුවන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය හා පාලනය සඳහා තිරසර විසඳුම් සෙවීම හා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන්, රජයේ නිලධාරින්ගෙන් සහ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර, එහි පළමු රැස්වීම අද (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

වන සතුන්ගෙන් සිදු වන කෘෂිකාර්මික හානි පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර කෙටි, මධ්‍යම සහ දිගු කාලීන විසඳුම් ක්‍රියාකාරී සැලසුමක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණයි. ජාතික ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය මෙන්ම, ඊට අවශ්‍ය මානව, භෞතික හා මූල්‍ය සම්පත් ලබා දීම කමිටුවේ සම්බන්ධීකරණයෙන් සිදු කිරීමට නියමිතය.

මෙහිදී අවධාරණය කෙරුණේ වනජීවීන් ස්වභාවධර්මයේ කොටසක් ලෙස සලකා තීරණ ගැනීම වඩාත් සුදුසු ක්‍රමවේදය බවය. එමෙන්ම වන ජීවීන්ට වනාන්තරය සඳහා වන අයිතිය පිළිගනිමින් විසඳුම් සකස් කළ යුතු බවය. විශේෂයෙන් ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්ක සඳහා කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දන්ගල්ල  අදහස් දක්වමින්, රිලවුන් සම්බන්ධයෙන් වසර පහළොවකට අධික කාලයක් කරන ලද අධ්‍යයන මත පදනම්ව, මෙම ගැටලුවට විද්‍යාත්මක ප්‍රවේශයක් ඔස්සේ සාර්ථක විසඳුම් ලබා දිය හැකි බවත්, සත්ව ගහනය පාලනය කිරීමට විවිධ උපක්‍රම අනුගමනය කළ හැකි බවත් පෙන්වා දුන්නේය.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එල්.ආර්.සී. මාරසිංහ, මෙම ගැටලුව සඳහා බහුවිධ ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බව පැවසීය. වන සත්ව සංගණනයෙන් සත්ව ගහනය පිළිබඳ මූලික තොරතුරු ලබා ගැනීමට හැකි වීම මෙහිදී වැදගත් වන බවත්, සමාජමය ආකල්පයන්ගෙන් ඔබ්බට ගොස් මෙම ගැටලුව විද්‍යාත්මකව විසඳිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

විද්වතුන්, පරිසරවේදීන්, වන සත්ව විශේෂඥයන්, නිලධාරීන් මෙන්ම වනජීවීන්ගෙන් පීඩාවට පත්ව සිටින මහජනතාව ආදී සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීම වැදගත් වන බවද මෙහිදී තීරණය විය.

 

නව අභියාචනාධිකරණ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙයි

නව අභියාචනාධිකරණ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දී තිබේ.

නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නලින් රොහාන්ත අබේසුරිය  අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මේ අතර මහාධිකරණ විනිසුරු, දොන් ෆ්‍රැන්සිස් හතුරුසිංහ ගුණවර්ධන සහ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැඳිගේ යන නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Page 16 of 487