V2025

පුවත්

රාජ්‍ය නිලධාරීවාදය ගැන රවීගෙන් සැර කතාවක් !

රටේ ජනාධිපතිවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය තීන්දුක් ගත්විට රජයේ නිලධාරීන් එම තීන්දු තීරණ ක්‍රියාත්මක නොකර රට අර්බුදයකට තල්ලු කර ජනතාව අපහසුතාවයට සහ අසහනයට පත් කිරීමෙන් පැහැදිලි වන්නේ ඔවුන්ගේ ත්‍රස්තවාදය යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක චෝදනා කර සිටියි.

කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ චෝදනාව එල්ල කර සිටියේ, කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය රවී කරුණානායක මෙසේද පැවසීය.

"මේ රටේ රාජ්‍ය නිලධාරීන් ලක්ෂ 17ක් සිටිනවා. ඒ තරම් විශාල රාජ්‍ය සේවයක් රටකට අවශ්‍ය ද..? මේ රටේ සියලු දෙනාට විශාල බදු මුදලක් ගෙවීමට සිදුව තිබෙන්නේ මේ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප්, දීමනා, වරප්‍රසාද සහ පහසුකම් වෙනුවෙනුයි. රාජ්‍ය සේවයේ යම් පිරිසක් අනිවාර්යෙන්ම වැඩ කරනවා. ඇත්ත..! එහෙත් බහුතරයක් ඒ වැටුප්, දීමනා, වරප්‍රසාද සහ පහසුකම් ලබා ගෙන වැඩක් නොකර පාඩුවේ සිටිනවා.

මේ රටේ දේශපාලනඥන් සිටින්නේ 9000යි. නමුත් රජයේ සේවක සේවිකාවන් ලක්ෂ 17ක් සිටිනවා. බහුතරය දේශපාලඥයින්ව විවේචනය කළාට තීන්දු තීරණ ගන්නේ රජයේ නිලධාරීන් බව කිව යුතුයි. ලංකා විදුලි බල මණ්ඩලයේ අනවශ්‍ය සහ නාස්තිකාර වියදම් අඩු කළා නම් විදුලිය ගාස්තු සියයට විස්සකින් අඩු කළ හැකියි. රටක් ලෙස අප ආරක්ෂා කළ යුත්තේ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සේවිකාවන් 26,000 ද නොඑසේ නම් රටේ සිටින ලක්ෂ 220ක් වූ මහා ජනතාව ද..?

රජයේ නිලධාරීන්ට වගකීමක් තිබෙනවා. නමුත් ඔවුන් එම වගකීම් ඉටු කරනවා ද..? උදාහරණයක් ලෙස බුද්ධි ගලනය නතර කිරීම සඳහා වෛද්‍යවරුන්ගේ සහ විශ්ව විද්‍යාල ප්‍රජාවගේ වැටුප් සහ දීමනා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන කැබිනට් මණ්ඩලය ඉතාම දූරදර්ශී තීන්දුවක් ගත්තා. නමුත් රජයේ නිලධාරීන් එම තීරණය ක්‍රියාත්මක නොකර කකුලෙන් අදිමින් සිටිනවා. මේ කිනම් කූට ක්‍රියාවක් ද..?

ඇත්ත වශයෙන්ම රජයේ නිලධාරීන්ගේ මේ අත්තනෝමතික ක්‍රියාකලාපය රට-ජනතාව හමුවේ හෙළිදරව් කළ යුතුයි. රටේ ජනාධිපතිවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තාම ඊට ඊට එරෙහිව හෝ ඊට ඉහළින් හෝ එම තීන්දුව නොතකා හෝ ක්‍රියා කිරීමට රජයේ නිලධාරීන්ට හැකිද..? මේ තත්ත්වයෙන් පැහැදිලි වන්නේ රජයේ නිලධාරීන්ගේ ත්‍රස්තවාදයයි."

උමා ඔයෙන් මෙගාවොට් 120ක් ජාතික විදුලි පද්ධතියට !

උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ලබන පෙබරවාරි මස 15 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පැවසීය.

එසේම ජලය මත පාවෙන සූර්ය පැනල මගින් මෙගාවොට් 3077ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය ජලාශ 31ක් දැනටමත් හඳුනාගෙන තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මෙම අදහස් පළ කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

2024 වසරේ වාරිමාර්ග අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යභාරය වශයෙන් ආහාර නිෂ්පාදනය ඉහළ නංවමින් ජාතික ආහාර සුරක්ෂිතතාවය උදෙසා උපරිම දායකත්වයක් ලබාදීමට අරමුණු කරගෙන තිබෙනවා. ඒ වගේම වාරිමාර්ග අමාත්‍යාංශයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 23,413ක මුදලක් වෙන් කර තිබෙනවා. ඉන් රුපියල් මිලියන 6913ක් ජලාශ නඩත්තු කිරීමටත්, රුපියල් මිලියන 16500ක් මහා පරිමාණ වාරි ව්‍යාපෘතීන් වෙනුවෙනුත් වෙන් කර තිබෙනවා.

මහවැලි සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 4678ක මුදලක් දේශීය අරමුදල් ලෙස වෙන් කර තිබෙනවා. ඉන් රුපියල් මිලියන 1590ක්ම වෙන් කර තිබෙන්නේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන්. එසේම පශු සම්පත් කටයුතු වෙනුවෙන් ද රුපියල් මිලියන 930ක් ද වෙන් කර ඇති බව කිව යුතුයි.

වාරිමාර්ග අමාත්‍යාංශය හරහා මහා පරිමාණ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් දැනටමත් ක්‍රියාත්මකයි. එම ව්‍යාපෘති අතරින් බහුතරයක් විදේශීය ණය ආධාර මත ක්‍රියාත්මක කෙරෙනවා. මේ යටතේ ආරම්භ කළ උමාඔය ව්‍යාපෘතියෙහි වැඩකටයුතු අවසන් අදිරයට පැමිණ තිබෙනවා. එම නිසා එමඟින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් පෙබරවාරි මස 15 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා.

එසේම ජාතික විදුලි පද්ධතියට සූර්ය සහ ජල විදුලිය එකතු කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහන් රැසක් මේ වසරේ ක්‍රියාත්මක කෙරෙනවා. මේ යටතේ භූමිය, පියසිමත, ජලය මත පාවෙන සූර්ය කෝෂ යොදා ගැනීමට නියමිතයි. ජලය මත පාවෙන සූර්යබල විදුලිය උත්පාදනය කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ජලාශ 14කින් මෙගාවොට් 2524ක්, වාර්මාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 17කින් මෙගාවොට් 553ක් නිපදවීමට අවශ්‍ය ජලාශ 31ක් මේ වන විටත් හඳුනාගෙන තිබෙනවා. මෙම සියලු ව්‍යාපෘති විදුලිබල අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

උමාඔය ව්‍යාපෘතියට සමගාමීව කුඹුරු හෙක්ටයාර් 4500කට සහ නව කුඹුරු හෙක්ටයාර් 1500කට ජලය සැපයීමට බලාපොරොත්තු වෙනවා. මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන තුළින් මිණිපේ ඇළ ප්‍රතිසංස්කරණය කිරීමට එහි අමුණ මීටර් 3.5කින් එසවීමටත්, වයඹ පළාත් මහඇළ කිලෝමීටර් 11ක උමං මාර්ගයක් ද සහිතව කිලෝමීටර් 90ක දිගින් යුතු ඇළ ඉදිකිරීමටත් පියවර ගෙන තිබෙනවා.

මීට අමතරව උතුරු මැද මහ ඇළ ඉදිකිරීමට තුළින් ප්‍රධාන වැව් 07කට සහ කුඩා වැව් 350කට කන්න දෙකටම අවශ්‍ය ජලය ලබාදීමටත් හැකියාව පවතිනවා. තවද එක්ලක්ෂ අසූපන්දහසකට පානීය ජලය ලබාදීමටත් ප්‍රමුඛතාව ලබාදී තිබෙනවා.

ජාතික ආහාර සුරක්ෂිතතාවයට සමගාමීව ගොවි සංවිධාන හරහා ග්‍රාමීය ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ලෝක බැංකු ආධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 25ක් වෙන් කර ඇති බව ද කිව යුතුයි.

ජනපතිගෙන් පක්ෂ නායකයන්ට අභියෝගයක් !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි කළමණාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡාවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරාධනා කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවහොත් රටේ ආර්ථිකය පිළිබඳ නැවත විශ්වාසයක් තැබිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනා එක්ව පොදු එකඟතාවයකින් රට ජයග්‍රහණය කරා මෙහෙයවිය යුතු බවද කියා සිටියේය.

පොරොන්දු දේශපාලනයෙන් සිදු වූයේ රටේ ආර්ථිකය විනාශ වීම බවත්, මැතිවරණයකට සූදානම් වනවා නම් රට ගොඩනැගිය හැක්කේ කෙසේද යන්න පිළිබඳ සැලැස්මක් සියලු දේශපාලන පක්ෂ වෙත තිබිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ කොළඹ රේගු මූලස්ථානයේ දී අද (26) පෙරවරුවේ පැවති ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවය අමතමිනි.

2023 වසරේ ලද තීරු බදු ආදායම වෙනුවෙන් රේගු දෙපාර්තමේන්තුවේ සියලු සාමාජිකයන්ට ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

රේගු බදු, වැට් බදු සහ ආදායම් බදු ලෝකයේ සෑම රටකම ප්‍රධාන ආදායම් මූලාශ්‍ර තුන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට රේගු සේවාව වඩාත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කළේය.

ඉදිරියේ දී රජය හඳුන්වා දෙන නව නීති මෙන්ම නවීකරණ වැඩසටහන හරහා රාජ්‍ය ආදායම් උපයා දෙන සියලු දෙපාර්තමේන්තු පරිවර්තනයකට ලක්වනු ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

විශිෂ්ට සේවාවක් ඉටු කළ රේගු නිලධාරීන් අගයමින් සහතික පත්‍ර පිරිනැමීම සහ මෙරට රාජ්‍ය ආදායමට සුවිශේෂි අපනයන දායකත්වයක් ලබා දුන් සමාගම් ඇගයීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.‍

රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

රේගු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රජය සතු පැරණිතම දෙපාර්තමේන්තුවක් ලෙස සැලකෙනවා. මීට වසර 2000කට පමණ පෙර, පැරණි මාන්තෙයි වරායේ රේගු බදු එකතු කළ බවට වාර්තා සහ සාක්ෂි තිබෙනවා.ඉතින් එදා සිට අනුරාධපුර යුගයේදී, කෝට්ටේ යුගයේදී මෙන්ම මහනුවර යුගයේ සිට අද දක්වාම මේ රටේ පැවැත්මට රේගු ආදායම විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා.
2022 වසරේ දී අප මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ලබා දුන් දායකත්වය වෙනුවෙන් රේගු දෙපාර්තමේන්තුවට මම පළමුව ස්තූතිවන්ත විය යුතුයි.

රේගු බදු, වැට් බදු සහ ආදායම් බදු ලෝකයේ සෑම රටක ප්‍රධාන ආදායම් මූලාශ්‍ර තුන වෙනවා.අද ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්, කලාපීය වෙළෙඳ ගිවිසුම්, නිදහස් වෙළෙඳ ගිවිසුම් කියන මේ සියල්ල සමඟ රජයේ ආදායම් වැඩි කර ගන්නේ කෙසේද කියා අපගේ අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා වර්තමාන රේගු සේවාව වඩාත් කාර්යක්ෂම විය යුතුයි.

අපට ඔබගේ දෙපාර්තමේන්තුවට අමතර කාර්ය මණ්ඩලයක් ලබා දීමට නොහැකි වුවත්, ආදායම කොපමණ වැඩි දියුණු කරගත හැකිද කියා ඔබගේ කාර්ය සාධනයෙන් පෙන්නුම් කර තිබෙනවා. මෙහිදී අප තව බොහෝ දුර යා යුතු අතර ළඟදීම ගෙන ඒමට නියමිත නව නීති ද ඇතුළුව රේගු සහ අනෙකුත් ආදායම් දෙපාර්තමේන්තු සම්පූර්ණයෙන් නවීකරණය කිරීමට රජය කැපවී සිටිනවා. මෙය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට ගන්නා ක්‍රියාමාර්ගවල කොටසක් බව කිව යුතුයි.

2023 වසරේ අප ගත් තින්දු තීරණ නිසා 2022 වසරේ සිදු වූ ආර්ථික කඩා වැටීමෙන් ගොඩ ඒමට මාර්ගය සැකසී තිබෙනවා. නමුත් තවම එය අවසන් වී නැහැ. මෙම වසර අවසන් වන විට රටේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 12%ක් බවට පත් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. 2026 වන විට එය 15%ක් බවට පත් කරගත යුතුයි.

එසේ නම් අප දැනට තිබෙන ආර්ථිකයෙන් ආදායම් උපයා ගත යුතුයි. ආදායම් ඉහළ නංවා ගැනීමට නම් ආර්ථිකයක් නිර්මාණය කරගත යුතුයි. මේ ආර්ථික දියුණුව උදා කරගත හැක්කේ කෙසේද යන ප්‍රශ්නය අද අප හමුවේ තිබෙනවා. පැරණි ආර්ථික ක්‍රමය අනුව තවදුරටත් රට ඉදිරියට ගෙන යන්න බැහැ. හැමදාම ණය ගැනීමෙන් සිදු වුණේ රටේ ආර්ථිකය කඩා වැටීමයි. මේ ආර්ථික ක්‍රමය වෙනස් කළ යුතුයි.

අප තවම සිටින්නේ අසීරු කාලයක. 2021 වසරේදී අපට අත්‍යාවශ්‍ය භාණ්ඩ තිබුණේ නැහැ. අපට බෙහෙත්, පොහොර, ඉන්ධන තිබුණේ නැහැ. නමුත් අද ඒවා තිබෙනවා. ඒවාට යම් කිසි මුදලක් ගෙවිය යුතුව තිබෙනවා. තවම සියලු දෙනාට ජීවන බර දැනෙනවා. ආර්ථිකය දියුණුවීමත් සමඟ තමයි මේ ප්‍රශ්න අඩු වෙන්නේ. 2022 වූ ආර්ථික හානිය එක පෑන් ඉරකින් ඉවත් කර දමන්න පුළුවන් නම් මම කැමතියි. නමුත් එය සිදු කළ නොහැකියි. එසේ නම් අප අලුත් ආර්ථිකයකට යා යුතුයි.

එහිදී තරගකාරී වෙළෙඳපොළක් සමග අපනයන ඉහළ නංවාගෙන විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට කටයුතු කළයුතුයි. පෙබරවාරි 03 වනදා අප තායිලන්තය සමඟ ගිවිසුමක් අත්සන් තබනවා. තායිලන්තය අපේ රට වගේම ථේරවාදී බෞද්ධ රටක්. නමුත් ඔවුන් ගියේ එක මාර්ගයක. අප ගියේ තවත් මාර්ගයක. එහි වෙනස තමයි අද දක්නට ලැබෙනවා.

අප ගනු ලබන පියවර සමඟ අනාගතයේ මේ රටේ ඇතිවන ආර්ථිකය කුමක්ද යන්න සිතා බැලිය යුතුයි. ඒ පිළිබඳව අප සාකච්ඡා කළ යුතුයි. දේශපාලන පක්ෂ ඒ සම්බන්ධව කථා කළයුතුයි. මැතිවරණයකට යනවා නම් කොහොමද මේ රටේ ප්‍රශ්න විසඳන්නේ කියා ඔවුන් දැන ගත යුතුයි. හඳෙන් හාල් ගේනවා වැනි ක්‍රමයට එය සිදුකළ නොහැකියි.රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එකඟද, එය වෙනස් කරනවාද කියා සාකච්ඡා කළ යුතුයි.

අප දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළැඹ තිබෙනවා. ඒ ගිවිසුම රටවල් 15-20ක් සමඟ මෙන්ම තවත් රටවල් ගණනාවක් සමඟ අත්සන් කරන්න තිබෙනවා. අපට එතනින් ඈත් වෙලා යන්න බැහැ. අප කොහොමද මේක පිළිගන්නේ. මේ පිළිබඳ අද අප සියලුදෙනා එක්ව සාකච්ඡා කළ යුතුයි. නමුත් එය සිදු වන්නේ නැහැ. තවමත් අපේ දේශපාලනය පපඩම් වගේ. තාච්චියට දානවා, පිපුනු විට අරගෙන කනවා. ඊළග දවසේ තව එකක් දානවා. පසුව අමතක වෙලා යනවා.

අප සමාජ මාධ්‍ය පිළිබඳ කෙටුම්පත ගෙන ආ අවස්ථාවේ ඇතැම් පාර්ශ්ව ඝෝෂා කළා.මේ රටේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නවත්වනවා කියා ඝෝෂා කළා, නමුත් එය සම්මත වුණා. දැන් ඒක අමතකයි. ඒ වගේම දැන් ත්‍රස්ත විරෝධී පනත ගෙන ඒමට සූදානම් වී සිටිනවා. එවිටත් මේ රටේ අයිතිවාසිකම් නැහැ, ඔක්කොම හිරේ දාන්න යනවා කියලා ඝෝෂා කරයි. ඊට පස්සේ ඒකත් අමතකයි.

ඒ වගේම ටීආර්සි පනත ගෙන එන විට නිදහස් අධ්‍යාපනය නැති කරනවා කියා ඝෝෂා කරයි. ඊට පස්සේ එයත් අමතක වෙනවා. මේක පපඩම වගේ උඩට ඇවිත් යට යනවා විතරයි. මේ දේශපාලනය මට අවසන් කරන්න බැහැ. නමුත් අපේ රට මේ තත්ත්වයට පත් වුණේ මේ නිසා බව අමතක නොකළ යුතුයි.

මෙම තත්ත්වයෙන් ඈත් වී ඉදිරියට යාමට අපට ශක්තියක් තිබිය යුතුයි. එය ඔබේ අනාගතය පමණක් නොවෙයි, ඔබේ දරුවන්ගේද අනාගතයයි. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට එකඟද, නැද්ද, ඊට සංශෝධන අවශ්‍යද කියා අප සියලු දෙනා එක්වෙලා සාකච්ඡා කරමු කියා මා පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කරනවා.

අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කරන්න මම සූදානම්. අප සියලු දෙනා එකට වාඩි වී එතුමිය සමග සාකච්ඡා කරමු. වෙනස් අදහස් තිබෙනවා නම් කොහොමද ඒක කරන්නේ කියලා කියන්න. එම සංශෝධන හොඳනම් මමත් එය පිළිගන්නවා. ඒ වගේම දැන් ගිවිසුමක් තිබෙනවා. අප ඒ අනුව කටයුතු කළයුතු බවත් සිහි තබා ගත යුතුයි.

මුදල්, ආර්ථික ස්ථායිකරන සහ ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ආර්. ඩී. පෙරේරා, සහකාර රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා යන මහත්වරුන් මෙන්ම රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි !

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වාර අවසාන කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර ඇති අතර, එහි සඳහන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙලෙස පාර්ලිමේන්තු වාර අවසාන කරන බවය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පෙබරවාරි 7 වැනිදා පෙරවරු 10.30ට ආරම්භ වන බවද ජනාධිපතිවරයා සිය ගැසට් නිවේදනය මඟින් දැනුම්දී සිටියි.

අදාළ ගැසට් නිවේදනය පහත දැක්වෙයි.

2368 25 S

බියගම මොඩලයට රටම සංවර්ධනය කරා ගෙන යනවා - ජනපති

බියගම උදාහරණයට ගෙන ඉදිරි වසර කිහිපය තුළ රටම ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

තම දේශපාලන ජීවිතය ආරම්භ කළ බියගම ආසනයට එදා තමා පැමිණෙන විට එම ප්‍රදේශය ඉතා නොදියුණු ප්‍රදේශයක්ව තිබූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා බියගම ආයෝජන කලාපය ඇති කිරීම ඇතුළුව එදා තමා ගත් නිවැරදි ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් බියගම ඉතා කෙටි කලක් තුළ විශාල දියුණුවක් ලැබූ බව සඳහන් කළේය.

ඒ අයුරින් විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් රට පුරා නව ආයෝජන කලාප ඇති කර මෙරට ජාතික ආර්ථිකය දස ගුණයකින් ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ, සපුගස්කන්ද අබේසේකරාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද බෝධි ප්‍රාකාරය සහ රන් වැට විවෘත කිරීමේ අවස්ථාවට අද (25) පෙරවරුවේ එක්වෙමිනි.

සපුගස්කන්ද අබේසේකරාරාමාධිපති, මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරය, සාංචි චේතිය විහාරය (ඉන්දියාව), ලංකාජි විහාරය (ජපානය) යන විහාරයන්හි විහාරාධිපති ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක, යොෂිඩා අධ්‍යාපනික හා සමාජ සේවා පදනමේ සභාපති පූජ්‍ය භානගල උපතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සපුගස්කන්ද අබේසේකරාරාමය, සාංචි චේතියගිරි විහාරය යන විහාරයන්හි නියෝජ්‍ය විහාරාධිපති පූජ්‍ය භානගල විමලතිස්ස ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් මෙම ආගමික වැඩසටහන සංවිධාන කර තිබිණි.

විහාරස්ථානයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ බුද්ධ මන්දිරයට ගොස් ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනවයෙන් ඉදිකළ රන් වැට සහ බෝධි ප්‍රාකාරය විවෘත කළේය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ පූජ්‍ය භානගල උපතිස්ස නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ ද ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය.

අබේසේකරාරාමය මෙම ප්‍රදේශයේ තිබූ ප්‍රධානම විහාරස්ථානයයි. මම පළමු වරට මෙම ස්ථානයට පැමිණියේ බියගම ආසන සංවිධායකවරයා ලෙසයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ බියගම අපේක්ෂකයා ලෙසයි. එදා මේ බියගම ඉතා නොදියුණු ප්‍රදේශයක්.

කොපමණ නොදියුණුද කියනවා නම් මීට වඩා නොදියුණු අගලවත්ත විතරයි කියලා ඇතැමුන් පැවසුවා. ඒත් අපට කියන්න සිද්ධ වුණා අගලවත්තේ තේ වතු, රබර්වතු,තේ කර්මාන්තශාලා තිබෙනවා කියලා. නමුත් බියගම තිබුණේ මේ තෙල් පිරිපහදුව පමණයි.

සමහරු කිව්වේ මේ ආසනයේ ආර්ථිකයක් නැහැ, මෙය හරියට නිදන කාමරයක් වගේ උදේ පිටවෙනවා, නිදා ගැනීමට සවසට මෙහි පැමිණෙනවා කියලා. කෙසේ හෝ එම මැතිවරණ කාලයේ මම ජීවත්වුණේ මේ අසළ තිබු නිවසකයි. මේ අබේසේකරාරාමයට අල්ලපු ඉඩමේ ගොඩනැගිල්ලක මගේ කාර්යාලය පවත්වාගෙන ගියා.

මහා මැතිවරණය පැවැත්වීමට පෙර දින රාත්‍රියේ මේ අබේසේකරාරාමයට පැමිණ ආශිර්වාද ලබා ගනිමු කියලා මගේ මව කිව්වා. ඒ අනුව මෙම විහාරස්ථානයට පැමිණ අපවත්වී වදාළ නායක ස්වාමින් වහන්සේ මුණ ගැසී මල් පූජා කර මෙම බෝධින් වහන්සේ අභියස බෝධි පූජාවක් සිදු කර මම ආශිර්වාද ලබා ගත්තා. මා ලැබු මැතිවරණ ප්‍රතිඵලය ගැන නැවත ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැහැ. මගේ දේශපාලන ජීවිතයේ වැඩකටයුතු ආරම්භ කළේ මෙම ස්ථානයෙන්. එම දේශපාලන ගමන අද මම ජනාධිපති ධූරය දක්වා පැමිණ තිබෙනවා. මා ජනාධිපති ධූරයට පැමිණයේ අලුත් විදිහකටයි. ආණ්ඩුව කඩා වැටිලා, එය භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ අවස්ථාවක මම එම වගකීම භාරගත්තා.

මම රට භාරගත්තේ එදා රටේ ආර්ථිකය විනාශ වී තිබුණ නිසයි. මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් තිබුණේ නැහැ. ඉන්ධන, ගෑස් තිබුණේ නැහැ. එම තත්ත්වය තවදුරටත් පැවතියා නම් අපට මේ රට නැති වෙනවා. ඒ නිසා මේ රට බේරගෙන ආර්ථිකය ගොඩනැගිය යුතු නිසා වගේම එය කළ හැකි බවට වූ විශ්වාසයක් මා තුළ තිබු නිසා මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තා.
දැන් වසර දෙකක් ගත වී තිබෙනවා. අද අප නැවත ක්‍රමානුකූලව සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා සිටිනවා. අද අග හිගකම් නැහැ. නමුත් ආර්ථිකයක් නැවත ගොඩනැගීමේ දී මතුවන ප්‍රශ්නවලට අපට මුහුණදීමට සිදු වෙලා තිබනෙවා. දැන් අප එම තත්ත්වයෙන් ක්‍රමානුකූලව ඉදිරියට පැමිණෙමින් සිටිනවා.

ශ්‍රී ලංකාවේ බංකොලොත් වූ ආර්ථිකය දැන් යථා තත්ත්වයට පත්ව තිබෙන බව මා ස්විට්සර්ලන්තයේ සංචාරයේදී ලෝක නායකයින්ට ප්‍රකාශ කළා. ඉතා කෙටි කාලයකින් අප ලබා ගත් ප්‍රගතිය පිළිබඳ එම බොහෝ දෙනෙක් පුදුමයට පත් වුණා. ලෝක බැංකුවේ ප්‍රධානියා වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂතුමිය සමග ද සාකච්ඡා පැවැත්වීමට මට එහිදි අවස්ථාව ලැබුණා. අපි ආර්ථික ස්ථාවරත්වයට පැමිණ සිටින නමුත් අපට ලැබෙන ආදායම් තවමත් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා රටේ ආදායම් ඉහළ නංවා ගැනීමට අපට සිදු වෙලා තිබෙනවා. ඒ අනුව තමයි කණගාටුවෙන් වුවද වැට් එකතු කිරීමට අපට සිදු වෙලා තිබෙන්නේ. දැන් අපි සෘන ආර්ථිකයක් වෙනුවට ධන ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටිනවා.

ජනතාවට රැකියා ලබාදීමට නව කර්මාන්ත හා නව ආයෝජන අවස්ථා බිහි විය යුතුයි. ඒ සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට අප දැන් කටයුතු කරමින් සිටිනවා. බියගම ආයෝජන කලාපය වැනි ආයෝජන කලාප රට පුරා ඇති කර රටේ ආර්ථික වේගය දස ගුණයකින් වැඩි කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

අප මෙහිදී බියගම උදාහරණයකට ගන්නවා. එදා මම මෙම බියගමට පැමිණෙද්දි මෙහි කිසිවක් නොතිබූ බව මම කළින් ප්‍රකාශ කළා. නමුත් විවෘත ආර්ථිකය සමග මෙම ප්‍රදේශය දියුණු කළ හැකි බව මම විශ්වාස කළා. ජේ.ආර්. ජයවර්ධන මහතා පළමු ආයෝජන කලාපය කටුනායක ආරම්භ කළා. ඒ කටුනායක දියුණු ප්‍රදේශයක් වී තිබු නිසා.

මම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා දෙවන ආයෝජන කලාපය බියගමට දෙන්න කියලා. ඇතැම් අය කිව්වා බියගම දියුණු මදි එය වෙනත් ප්‍රදේශයකට දෙමු කියලා. අපේම අය කිව්වා මොකටද මේක ඉල්ලන්නේ මෙකේ ප්‍රතිඵලයක් නැහැ කියලා. නමුත් බියගම ආයෝජන කලාපය ආරම්භ කිරීමට අප කටයුතු කළා. ඒ වගේම මෙම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගත්තා.

මෙම තීරණ සමග එදා නොදියුණු පළාතක්ව පැවති බියගම අද වන විට විශාල සංවර්ධනයක් ලබා තිබෙනවා. ඒ අනුව දකුණු ආසියාවේ හොඳම ආයෝජන කලාපය බවට බියගම සහ කටුනායක ආයෝජන කලාප පත්ව තිබෙනවා. එදා මම බියගමට පැමිණෙන විට එහි පැවතියේ කර්මාන්ත ශාලා 15ක් පමණයි. අද කර්මාන්ත ශාලා 58ක් තිබෙනවා. ඊට අමතරව තවත් විශාල කර්මාන්ත ශාලා 180ක් සහ මධ්‍යම හා කුඩා කර්මාන්ත ශාලා 275ක් තිබෙනවා. අද විශාල ආර්ථිකයක් මෙහි ඇති වී තිබෙනවා. එදා කඩ සාප්පු 200ක් වත් තිබුණේ නැහැ. අද කඩ සාප්පු 4,227ක් තිබෙනවා. මේවායේ වැඩකරන අයට ආහාර පාන දෙන්න ආපනශාලා 597ක් තිබෙනවා.

ඉලෙක්ට්‍රික් බඩු කඩ 316ක් තිබෙනවා. සංචාරක හෝටල් 02ක් තිබෙනවා. මෙහි සම්පූර්ණ ආර්ථිකයක් ගොඩනැගී තිබෙනවා. බියගම දියුණුවත් සමග කැලණිය ද විශාල දියුණුවක් ලැබුවා.
එසේනම් විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ බියගම. ඒ සමගම කැළණිය ඉදිරියට පැමිණියා. වැඩිකල් යාමට පෙර දළුගම, කිරිබත්ගොඩ, මාකොළ, මාවරමංඩිය, කඩවත විශාල ආර්ථික ප්‍රදේශයක් බවට පත් වෙනවා.
ඒ වගේම මෙම දියුණුව දිවයි‍නේ අනෙකුත් පළාත්වල ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. බිංගිරිය, මහනුවර, හම්බන්තොට, ත්‍රිකුණාමලය, උතුර ඒ සඳහා හදුනාගෙන තිබෙනවා. ඒ අනුව විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගෙන ජාතික ආර්ථිකය දස ගුණයකින් වැඩි කර ගැනීමට අප සැලසුම් කර තිබෙනවා.

ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය භානගල උපතිස්ස හිමි :

රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන මහ ගෙදර සපුගස්කන්ද යි. එතුමගේ දේශපාලන මුල් භූමිය ලෙස මෙම ප්‍රදේශයෙන් දේශපාලනය ආරම්භ කර දේශපාලනයේ යා හැකි උපරිමය දක්වා අද එතුමා ගොස් තිබෙනවා.

ජනාධිපතිවරයා ලෙස අද එතුමා මෙම විහාරස්ථානයට පැමිණ සිටිනවා. මෙම විහාරස්ථානයේ චෛත්‍ය ඉදිකිරීමේ උත්සවය සඳහා එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සමඟ රනිල් වික්‍රමසිංහ මහතාත් පැමිණියා. අද එතුමා ජනාධිපති වි බෝධි ප්‍රාකාරය විවෘත කිරීමට පැමිණ තිබෙනවා.
බියගම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ මෙහෙය කියා නිම කරන්නට බැහැ. නොදියුණු පළාතක්ව තිබුණු බියගම ආයෝජන කලාපයක් බවට පත්කර සමෘද්ධිමත්භාවයක් ඇති කළා. නව පාසල් ආරම්භ කර මෙහි දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කළා. බියගම ජනතාව තවමත් රනිල් වික්‍රමසිංහ මහතාට ආදරය කරනවා.

පූජ්‍ය තීනියාවල පාලිත නායක හිමිපාණන් වහනන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ , ශ්‍රී ලංකාවේ සිටින ජපාන නියෝජ්‍ය තානාපති Katsuki Kotaro, හිටපු අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් ද යොෂිඩා ජාත්‍යන්තර පාසලේ ආචාර්ය මණ්ඩලය හා සිසු දරුවන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රසකැවිලි කර්මාන්තය ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍රයක් කරන්න රාජ්‍ය අනුග්‍රහය !

රසකැවිලි කර්මාන්තය ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

කොකෝවා ඇතුළු බෝග වගා කිරීමට රජයට අයත් වතු බදු පදනම මත ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ඊයේ (24) පස්වරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ 30 වන මහා සභා රැස්වීමට එක්වෙමිනි.

හලාවත සහ කුරුණෑගල වතුයායට අයත් සියලු ඉඩම් මෙන්ම ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ඇල්කඩුව ඇතුළු අනෙකුත් ඉඩම් ද මේ සඳහා යොදා ගැනීමට අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසිය.

තවමත් භාවිතයට ගෙන නොමැති මහවැලි ඒ සහ බී කලාපවල වගාවන් ප්‍රවර්ධනය කිරීම තුළින් මෙරට ආහාර සුරක්ෂිතතාව ඇති කරගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම රට තුළ තරගකාරී අපනයන ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් ජාතික ඵලදායීතා කොමිසම ස්ථාපිත කරන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනෙකුත් රටවල් සමග පවතින නිදහස් වෙළෙද ගිවිසුම් සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම් ශක්තිමත් කර ගැනීමට රජය පියවර ගනිමින් සිටින බවද කියා සිටියේය.

එසේම තේ පර්යේෂණ ආයතනය, පොල් පර්යේෂණ ආයතනය ඇතුළු ක්ෂේත්‍ර නවීකරණය කිරීමට පියවර ගෙන තිබෙන බවත් පර්යේෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 08ක පමණ මුදලක් වෙන් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජාතික ආර්ථිකයට රසකැවිලි කර්මාන්තය තුළින් ලබා දෙන දායකත්වය වෙනුවෙන් මෙරට ප්‍රමුඛ පෙළේ රසකැවිලි නිෂ්පාදකයින් අට දෙනෙකු වෙනුවෙන් මෙහිදී ජනාධිපතිවරයා අතින් ඇගයීම් සම්මාන පිරිනැමිණි.

මැලිබන් නිර්මාතෘ ඒ.ජී. හින්නි අප්පුහාමි, කැන්ඩොස් නිර්මාතෘ උපාලි විජේවර්ධන, Elephant House නිර්මාතෘ ආතර් වොන් පොස්නර්, මංචි නිර්මාතෘ මේනක වික්‍රමසිංහ, මෝතා නිර්මාතෘ ජූලියස් මෝතා, උස්වත්ත නිර්මාතෘ පී.ජේ.සී. පෙරේරා, ලකි ලෑන්ඩ් නිර්මාතෘ සිංහසාමි මුත්තයියා, චෙරිස් බිස්කට් නිර්මාතෘ විධානගේ ජෝන් අප්පුහාමි යන මහත්ම මහත්මින් වෙනුවෙන් මෙම සම්මාන පිරිනැමිනි.
ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් සහ ලංකා රස කැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනපති සනත් නිශාන්තගේ නිවසට යයි

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ඥාතීන් හමුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (25) දහවල් පැමිණියේය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් වෙත තම ශෝකය පළ කිරීමටද ජනාධිපතිවරයා එහිදී කටයුතු කළේය.

අද (25) අලුයම කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවු රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් වුණි.

පුවත්පත් බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වූ විජේසුන්දර අභාවප්‍රාප්ත වේ

පුවත්පත් බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ කළමනාකරුවකු ලෙස දශක කිහිපයක් කටයුතු කර ඇති ඩී.ඒ. විජේසුන්දර අද (25) උදැසන අවිස්සාවේල්ල රෝහලදී අභාවප්‍රාප්ත වී ඇත.

පසුගිය මාස කිහිපයෙහි තරමක අසනීප තත්වයෙන් පසුවූ ඔහු මියැදෙන විට 65 වන වියෙහි පසුවිය.

ලේක්හවුස් පුවත්පත් ආයතනයේ සහ වෙනත් පෞද්ගලික පුවත්පත් ආයතන ගණනාවක සේවය කර ඇති ඔහු, අවසන්වරට සේවය කලේ 'අනිද්දා' පුවත්පත් ආයතනයේය.

ඩී.ඒ. විජේසුන්දර ගේ දේහය මේවනවිට අවිස්සාවේල්ල, මාදොල , ගංගානි උද්‍යානයේ අංක 168/A පිහිටි ඔහුගේ නිවසේ තැම්පත්කර ඇති අතර අවමංගල්‍ය කටයුතු හෙට (26) සවස 5.00ට අවිස්සාවේල්ල පොදු සුසන භූමියේදී සිදුකිරීමට නියමිතය.

WhatsApp Image 2024 01 25 at 9.25.16 AM

වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීම බුද්ධි ගලනයට දුන් උත්තරයක් - රවී 

ජනතා විමුක්ති පෙරමුණ වී.අයි ලෙනින් ගැන කතා කළාට ඵලක් නැති බවත් ඒ වෙනුවට ඔවුන් වහාම සිය ප්‍රතිපත්තිය සහ වැඩ පිළිවෙළ රටට-ජනතාවට ඉදිරිපත් කළ යුතු බවත් , එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධරණය කර සිටියි.

බැංකු පොලී අනුපාත අඩු කරන්නැයි ශ්‍රී ලංකා මහා බැංකුව සියලු බැංකුවලට නිර්දේශ කර තිබිය දී එම නිර්දේශ මත අදාළ බැංකු පොලී අනුපාත අඩු නොකරන්නේ මන්දැයි ද හිටපු අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.

මේ දිනවල "කැරට්" ගැනම කතා කරන්නේ "කැරට්" හැරුණු කොට කිසිදු එළවළුවක් මේ රටේ නොමැති නිසාදැයි ප්‍රශ්න කර සිටින රවී කරුණානායක මහතා එවැනි බිල්ලෝ මවා මේ වගේ තත්ත්වයන්ගෙන් පටු දේශපාලන වාසි ලබා ගැනීම තරයේ හෙළා දකියි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව කියා සිටියේ, කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

ශ්‍රී ලංකා මහා බැංකුව මූල්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා. එසේ මුල්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් පොලී අනුපාත අඩු කරන්නැයි ශ්‍රී ලංකා මහා බැංකුව සියලු බැංකුවලට නිර්දේශ කර තිබෙනවා. එසේ තිබිය දී එම බැංකුවේ නිර්දේශ මත අදාළ බැංකු පොලී අනුපාත අඩු නොකරන්නේ ඇයි..? එම නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ ඇයි..?

ජනතාව විමුක්ති පෙරමුණේ කතාව විතරයි. නමුත් කිසිම සාර්ථකත්වයක් නැහැ. කතාව පහසුයි. ප්‍රතිපත්තියකට, ඉලක්කයකට සහ අරමුණකට අනුව රට-ජනතාව වෙනුවෙන් ක්‍රියා කිරීම එසේ පහසු නැහැ. වී.අයි ලෙනින් ගැන කතා කතා කළාට රටට-ජනතාවට ඵලක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ රට-ජනතාව වෙනුවෙන් වන සිය වැඩ පිළිවෙළ ඉදිරිපත් කළ යුතුයි.

රට බංකොලොත් කළේ එක්සත් ජාතික පක්ෂය හෝ එහි නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නොවෙයි. සියලු දෙනාම වැරදි කර තිබෙනවා. රට ගොඩනගා ජනතාවට සාධාරණය ඉටු කිරීමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. "VAT" කියන්නේ එම ජාලයට එකතු විය යුතු බද්දක් බව කිව යුතුයි. එම බද්දේ වාසිය අවසාන වශයෙන් පාරිභෝගිකයින්ට ලැබිය යුතුයි.

අපේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. එළවළු මිල වැඩි වුණා. "කැරට්" ගැනම කතා කරන්නේ ඇයි..? "කැරට්" හැරුණු කොට කිසිදු එළවළුවක් මේ රටේ නැද්ද..? ඒ නිසා බිල්ලෝ මවන්න එපා. එසේ බිල්ලෝ මවා මේ වගේ තත්ත්වයන්ගෙන් පටු දේශපාලන වාසි ලබා ගන්න එපා.

විදුලි බල මණ්ඩලයේ සේවකයින් වගේම අප විදුලිය පාරිභෝගිකයන්ද ආරක්ෂා කළ යුතුයි. රජයේ නිලධාරීන්ට අද වගකීමක් තිබෙනවා. රට-ජනතාව වෙනුවෙන් එම නිලධාරීන් සිය වගකීම් ඉටු කළ යුතුයි.

බුද්ධි ගලනය වළක්වන්න සියලු දෙනාම ක්‍රියාත්මක විය යුතුයි. වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට ජනාධිපතිවරයා ප්‍රධාන රජය ක්‍රියා කළේ බුද්ධි ගලනයට උත්තරයක් ලෙසයි.

රටේ ආර්ථිකය ජනාධිපතිවරයා නිවැරදි මාර්ගයේ ගෙන යමින් බංකොලොත් භාවයෙන් රටත් ජනතාවත් මුදවා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. 2024 මැතිවරණ වර්ෂයක් වනවා. රටට-ජනතාව වෙනුවෙන් ක්‍රියා කරමින් සිටින එක්සත් ජාතික පක්ෂය ඕනෑම මැතිවරණයකට සූදානම් බව කිව යුතුයි.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩබලන පොලිස්පතිවරයා විසින් ඊයේ (24) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

 ඒ අනුව ප්‍රවාහන හා සංදේශ දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති කේ.කඩුපිටිය බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත.

යාපනය දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.එම්.සෙනරත් මහතා ප්‍රවාහන හා සංදේශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.කේ.ජයසිංහ යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කර තිබේ.

අවලෝකිතේශ්වරයා මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකෙරේ !

අවලෝකිතේශ්වර බෝධිසත්ව නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නම් තැනැත්තාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව අධිකරණ මනෝ වෛද්‍යවරයා විසින් අධිකරණයට වාර්තා කර තිබේ.

එහිදී අදාළ සැකකරු ලබන 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (24) නියම කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී සැකකරුට බන්ධනාගාරය මාර්ගයෙන් මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු කරන ලෙසත් අධිකරණය නියම කළේය.

සනත් නිශාන්ත අභාවයේ වාසිය විපක්ෂයට !

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වීමත් සමග පුත්තලම දිස්ත්‍රික්කයේ පුරප්පාඩු මන්ත්‍රී ධූරය සඳහා ජගත් ප්‍රියංකර පත්වීමට නියමිත බව වාර්තා වෙයි .

ජගත් ප්‍රියංකර පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදුණේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් වන අතර එම දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ මීළඟට සිටින්නේ ඔහුය.

මේ වන විට ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන බැවින් ජගත් ප්‍රියංකර ද විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි .

මේ අනුව ආණ්ඩුව පාර්ශ්වයට මන්ත්‍රී ආසනයක් අහිමි වන විට විපක්ෂයට මන්ත්‍රී ආසනයක් එකතුව ඇත .

ධීවර ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනය වෙනුවෙන් ‘ධීවර සුව සවිය’ එයි !

මෙරට ධීවර ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනය නඟාසිටුවීම වෙනුවෙන් ‘ධීවර සුව සවිය’ නමින් නව වැඩසටහනක් ආරම්භ කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා පැවසීය.

මෙම වැඩසටහනෙහි පළමු අදියර මෙම මස 26 වැනිදා වෙන්නප්පුව, වැල්ලමංකරය ධීවර වරායෙන් ආරම්භ කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මෙම අදහස් පළ කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ඊයේ (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

ධීවර ජනතාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් ලෙස ධීවර කටයුතු සඳහා මුහුදට ගොස් සිටියදී රෝගාතුර වීම හඳුනාගෙන තිබෙනවා. ධීවරයන් හදිසියේ රෝගාතුර වූ විට ඔවුන් සඳහා ප්‍රථමධාර ප්‍රතිකාර ලබා දෙන්න කෙසේද යන්න පසුගිය කාලය පුරා අත්දුටු ගැටලුවක්ව තිබෙනවා. ඇතැම් රෝගාතුර වූ ධීවරයෙන් සඳහා ප්‍රතිකාර ලබාදීමට රැකියාව සිදු කළ ප්‍රදේශය ආසන්නයේ පිහිටි විදේශ රටවල සහය ලබා ගැනීමට ද සිදුවුණා. එමෙන්ම ඇතැම් රෝගාතුර වූ ධීවරයන් කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මැදිහත් වන නිසා ඒ සඳහා ද අති විශාල මුදලක් වැය කිරීමට සිදු වෙනවා.

ඒ වගේම මුහුදේදී රෝගාතුර වූ ධීවරයන් මියයෑම ඉතාම ඛේදනීය තත්ත්වයක් බව ද කිව යුතුයි. ධීවරයකු යාත්‍රාව තුළ මියගිය අවස්ථාවලදී මෙන්ම රෝගාතුර වූ අවස්ථාවලදී යාත්‍රාවට ධීවර කටයුතු සිදු කිරීමට අවකාශ ලැබෙන්නේ නැහැ. එම කටයුතු නවතා ඔවුන්ට නැවත බිමට ඒමට සිදු‍ ‍වනවා. එනිසාම මත්ස්‍ය අස්වැන්න ද අහිමිව දැඩි ආර්ථික අලාභයකට මුහුණ දීමට ද ඔවුන්ට සිදුවෙනවා. එම බලපෑම ධීවරයන්ට පමණක් නොව, අපනයන ආදායමට මෙන්ම දේශිය මත්ස්‍ය පරිභෝජනයටද විශාල බලපෑමක් එල්ල කරනවා.

තවද ධීවරයෙක් මිය ගිය විට එම ධීවර පවුලේ ආදායම් මාර්ගය සම්පූර්ණයෙන්ම ඇනහිටිනවා. පවුල්වල පිරිස් ද අසරණ තත්ත්වයට පත් වෙනවා. මේ සඳහා ස්ථිරසාර වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය දීර්ඝ කාලයක සිටම පැවතුණා.

මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන ධීවර ප්‍රජාවගේ සෞඛ්‍ය සුබසාධනය නඟාසිටුවීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන සුවිශාලතම වැඩසටහනක් ලෙස ‘ධීවර සුව සවිය’ හඳුන්වන්න පුළුවන්. එම වැඩසටහනෙහි පළමු අදියර එළැඹෙන ජනවාරි 26 වෙන්නප්පුව, වැල්ලමංකරය ධීවර වරායේදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනවා.

මෙම වැඩසටහන යටතේ සියලු ධීවරයන් සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයන්ට ලක් කර වෛද්‍ය සහතිකයක් ලබාදීමටද කටයුතු කරනවා. මේ සඳහා සෑම ධීවර වරායක් ආශ්‍රිතව පිහිටා ඇති රජයේ රෝහලක් නම් කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම වෛද්‍ය සහතිකය වසර දෙකක කාලයක් සඳහා වලංගු වනවා. අදාළ ධීවරයා විසින් සෑම වසර දෙකකට වරක් තම වෛද්‍ය සහතිකය ලබාගත යුතුයි. පළමුව බහුදින යාත්‍රාවල නියමුවන් ද, ඉන් අනතුරුව බහුදින යාත්‍රාවල කාර්ය මණ්ඩලයද, අනතුරුව දිවයිනේ සිටින සියලු ධීවරයන්ද මෙමඟින් ආවරණය කිරීමට අපේක්ෂා කරනවා.

සියලු ධීවරයන් සඳහා ප්‍රථමාධාර පිළිබඳ පුහුණුවක් ලබාදී සහතිකයක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ඒ මුහුදු ගොස් සිටියදි යම් ධීවරයකු හට අසනීප තත්ත්වයක් ඇති වුවහොත් සෙසු ධීවරයන් විසින් ඔහුට හදිසි ප්‍රථමාධාර ලබාදීම සිදුකළ යුතු නිසයි. ඒ වෙනුවෙන් ධීවර කාර්මිකයන්ට ප්‍රථමාධාර පුහුණුවක් ලබාදීම අත්‍යවශ්‍යයි. පුහුණුව ක්‍රමානුකූලව සම්පූර්ණ කිරීමත් සමඟම සෑම යාත්‍රාවකම අවම වශයෙන් එක් අයකුවත් මෙම ප්‍රථමධාර පුහුණුව ලැබූවකු සමඟ රැකියාව සඳහා පිටත් කිරීමට අපේක්ෂා කරනවා. මෙම පුහුණු වැඩසටහන ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය බළකාය විසින් සිදු කරනු ලබනවා.

ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත මුහුදේදී ඇතිවන හදිසි අවස්ථාවකදී අවශ්‍ය විය හැකි ඖෂධ සහ උපකරණ අඩංගු ප්‍රථමාධාර කට්ටලයක් සෑම යාත්‍රාවකම ස්ථාපිත කිරීම ද මේ යටතේ සිදු කරනවා. මෙම සමස්ත ක්‍රියාවලිය සම්පූර්ණ වීමත් සමඟම නිරෝගී, සෞඛ්‍යමත් ධීවර කාර්මිකයකු රැකියාවට යැවීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම හදිසි ප්‍රථමාධාර ලබාදීම හරහා ඔවුන්ගේම ජීවිත අවදානම අවම වෙනවා. මෙතෙක් කල් රෝගී වූ ධීවරයන් රැගෙන ඒමට දැරූ පිරිවැය අඩු කර ගැනීමට ද හැකියාව ලැබෙනවා. ධීවර අමාත්‍යංශය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.

ජනාධිපති මාධ්‍ය අංශය

online පනත සම්මතයි !

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත ( ඔන්ලයින් පනත) වැඩි ඡන්ද 46 කින් පාර්ලිමේන්තුවේදී අද (24) සංශෝධන සහිතව සම්මතවිය.

පනතට පක්ෂව ඡන්ද 108ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 46ක් පමණි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමග ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු වෙති.

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. අලි සබ්‍රි රහීම්,වඩිවෙල් සුරේෂ්, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න යන මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා මෙම පනතෙන් විධිවිධාන සැලසේ. පනත් කෙටුම්පත අද(24) සහ ඊයේ (23) දින දෙකක් විවාදයට ගැනිණ.

TIN අංකය ගැන විශේෂ දැනුම්දීමක්

පුද්ගලයින්ගේ බදු ලියාපදිංචි අංක (TIN) ජනතාව පිළිබඳ දත්ත පවතින රාජ්‍ය ආයතන හරහා ලබා ගැනීමට රජයේ අවධානය යොමු වී තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  පැවසුවේ, එම ආයතනවලින් මෙම තොරතුරු ලබාගෙන ඔවුන්ව ලියාපදිංචි කිරීමෙන් අනතුරුව අංකයක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

නීතිමය ගැටලු රහිත ආයතනවලින් මෙම තොරතුරු ලබා ගැනීම සිදු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Online මගින් බදු ලියාපදිංචි අංකය ලබා ගැනීමට වඩා පහසු ක්‍රමයක් සැකසීම මෙහි අරමුණයි.

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුවෙකු හා වාහනය අත්අඩංගුවට

බෙලිඅත්ත අධිවේගී පිවිසුම ආසන්නයේ කහවත්ත ප්‍රදේශයේදි පස් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු සහ අපරාධයට යොදා ගත් වාහනය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ජනවාරි 22 වන දින බෙලිඅත්ත පොලිස් වසමේ පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස භාර නිළධාරිගේ අධීක්ෂණය යටතේ හක්මන පොලිස් ස්ථානාධිපති ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙරට සිට මෙම අපරාධය මෙහෙයවා ඇති සමන් කුමාර (අවු.54) නැමැති පුද්ගලයෙකු සහ අපරාධය සදහා පැමිණි අංක 65–2615 දරණ PEJERO MITSUBISHI ජීප් රථය ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම ඝාතනය සිදු කිරීමට පැමිණි ජීප් රථය ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනේ රථගාලේ තිබියදී සොයා ගෙන ඇත.

මෙම සැකකරු අපරාධය සදහා පැමිණි වාහනයේ රියදුරු වශයෙන් සිට මෙම අපරාධය සැලැසුම් කර ඇති බව අනාවරණයවී ඇත.

අවලෝකිතේෂ්වර බෝධි සත්ත්වයා යළිත් රිමාන්ඩ්

අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් මහින්ද කොඩිතුවක්කු නැමැත්තා   පෙබරවාරි 07 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොටුවෙ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව සැකකරුට මෙම නියෝගය ලබා දී ඇත.

මේ අතර, සැකකරුගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් ලබාගත් වාර්තාව ද අද (24) අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නැමැත්තා ඉකුත් 15 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනිණි.

අනතුරුව ඉකුත් 16 වැනි දා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේ, සැකකරු අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය රෝහලට ඉදිරිපත් කර ඔහුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව සැකකරු ඊයේ අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත රැගෙන ගිය අතර, එහි දී පැය දෙකකට අධික කාලයක් ඔහුගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කර තිබේ.

අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සමඟ ජනපති නව ආර්ථික දැක්මකින් වැඩ - සාගල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරම්භ කළ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ජාත්‍යන්තරය තුළ විශ්වාසයක් ගොඩනඟා ගැනීමට හැකිවී තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ප්‍රකාශ කළේ ය.

මූල්‍ය, නීති හා පාලන අංශවල ප්‍රතිසංස්කරණ සිදු කරමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා නව ආර්ථික දැක්මකින් යුතුව ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කර සිටියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (23) පැවති "2024 අයවැය" සම්මන්ත්‍රණයට එක්වෙමිනි. මෙම සම්මන්ත්‍රණය ජනාධිපති වෘත්තිය සමිති සබඳතා අංශය විසින් සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකාව බලශක්ති අපනයනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට සැලසුම් සකස් කර තිබෙන බවද සාගල රත්නායක මහතා සදහන් කළේය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මෙසේද පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට බාර ගන්නා අවස්ථාවේ රට තුළ දරුණු ආර්ථික අර්බුදයක් තිබුණා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් වගේම පැය ගණන් විදුලි කප්පාදුවක් ද තිබුණා. එවකට ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්තිය නිසා රාජ්‍ය ආදායම බිඳවැටීම, වැරදි කෘෂි ප්‍රතිපත්තිය, බදු ගොනු අවම කිරීම වැනි සාධක එම ආර්ථික අර්බුදය සඳහා බලපෑවා. කොවිඩ් වසංගතය නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩුවීම නිසා ලැබුණු විදේශ විනියමයත් අහිමි වුණා. ඉන් පසුව පැවති අරගලය නිසා ද ආර්ථික බිඳවැටීම උච්චතම අවස්ථාවට පැමිණියා. මේ නිසා ජීවන වියදම ඉහළ ගියා. ජනතාවට රැකියා අවස්ථා අහිමි වුණා. වත්මන් ජනාධිපතිවරයා රට භාර ගත්තේ මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදීයි.

එතුමා කෘෂි ප්‍රතිපත්තිය වෙනස් කර සහල් නිෂ්පාදනය වැඩි කළා. එමඟින් ආහාර හිඟය අවම කර ගැනීමට හැකි වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමේ නව වැඩපිළිවෙළට එකඟ වුණා. ඒ අනුව මූල්‍ය ප්‍රතිසංස්කරණ, නීති ප්‍රතිසංස්කරණ හා පාලන ප්‍රතිසංස්කරණ ඇති කිරීමට කටයුතු කළා. ඒ මඟින් රටේ ආර්ථිකය වේගයෙන් ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළකට රජය අවතීර්ණ වුණා. නව බදු පැනවීම නිසා ජනතාවට යම් පීඩනයක් ඇති වී තිබෙන බව පිළිගත යුතුයි. නමුත් එම ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසයක් ඇතිව තිබෙනවා.

මීට අමතරව සංචාරක කර්මාන්තය ගොඩනැඟීම සඳහා නව ප්‍රතිසංස්කරණ යෝජනා ගෙනැවිත් තිබෙනවා. මෙම ආර්ථික වැඩසටහන තුළින් ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ඇති කිරීමට හැකියාව ලැබුණා. 2022 දී ඩොලර් බිලියන 2.1 ක්ව තිබුණු විදේශ සංචිත ප්‍රමාණය අද වන විට ඩොලර් බිලියන 4.5 දක්වා වැඩි කර ගැනීමට සමත්ව තිබෙනවා.

2022 දී 77%ක් වූ උද්ධමනය අද වන විට 4% ක් දක්වා අඩු කර ගැනීමට රජය සමත් වී තිබෙනවා. රාජ්‍යයක් පවත්වාගෙන යාමට නම් එහි රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 16% ක් පමණ තිබිය යුතුයි. 2023 වසරේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා දළ දේශීය නිෂ්පාදනයෙන් 11%ක පමණ රාජ්‍ය ආදායමක් ලබා ගැනීමට හැකි වුණා .

රාජ්‍ය ආදායම ශක්තිමත් කිරීම තුළින් ආර්ථිකය ස්ථායිකරණය කිරීමට හැකියාව තිබෙනවා. එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව වැනි ආයතනවල බදු ආදායම් ජාලයක් සකස් කිරීම මඟින් රාජ්‍ය ආදායම ක්‍රමවත්ව වර්ධනය කළ හැකියි. ඒ සඳහා සැලසුම් මේ වනවිටත් සකස් කර තිබෙනවා. මෙම ආර්ථික වැඩපිළිවෙළ ඉදිරි වසරක කාලය ක්‍රියාත්මක කළහොත් සමස්ත ජනතාවට සහන ලබා දිය හැකියි. මේ පවතින තත්ත්වය යටතේද 2024 අයවැය ලේඛනයේ සංවර්ධනාත්මක යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ගොවි ජනතාවට ඉඩම් සින්නක්කරව ලබාදීම මෙන්ම නාගරික ජනතාවට නිවාස අයිතිය ලබාදීමට ද යෝජනා කර තිබෙනවා. අස්වැසුම සඳහා විශාල මුදලක් වෙන්කර තිබෙනවා. කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය නවීකරණයට ද යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

ඒ වගේම ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්තිය ගිගාවොට් 80ක් නිපදවිය හැකි බවට ගණන් බලා තිබෙනවා. 2050 වන විටත් ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි පරිභෝජනය සඳහා අවශ්‍ය වන්නේ ගිගාවොට් 15ක් පමණයි. එම නිසා පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කර, ශ්‍රී ලංකාව බලශක්ති අපනයනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමටත් සැලසුම් සකස් කර තිබෙනවා. ග්‍රීන් හයිඩ්‍රිජන් නිෂ්පාදනය කර ජාතික ආර්ථිකයට ආදායම් උත්පාදනය කිරීමටත් සැලසුම් කර තිබෙනවා. මෙම සියලු කාරණා හමුවේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ආර්ථික වශයෙන් ශක්තිමත්ව ඔසවා තබීමට හැකියාව තිබෙනවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් රොෂාන් ගුණතිලක :

රටක අයවැයක් ඉදිරිපත් කරන්නේ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටයි. ජාතික අවශ්‍යතා කිහිපයක් මුල් කරගෙන මෙවර අයවැය ඉදිරිපත් කර තිබෙනවා. එම ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ නිසා ශ්‍රී ලංකාව නැඟී සිටින රාජ්‍යයක් බවට පත්වෙමින් තිබෙනවා. මේ අයවැය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාවට සම්පූර්ණ සහන ලැබෙන අයුරින් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් වගබලා ගත යුතුයි. අයවැය යෝජනා සඳහා අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ. රාජ්‍ය නිලධාරීන්ගේ පරිණතභාවය සහ අත්දැකීම් මහජනතාව වෙනුවෙන් භාවිතා කළ යුතුයි.

ජනාධිපති ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග :

ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට 2022 වසරේ මාර්තු මාසයේ දී මුහුණු දුන්නා. ජනතාවගේ ජීවිත අවධානම තමන්ගේ නිවස තුළටම ළඟා වෙමින් තිබුණා. එවැනි දරුණු ආර්ථික අර්බුදයක් මීට පෙර ශ්‍රී ලංකාව තුළ සිදුවූ බවට තොරතුරු වාර්තා වී නැහැ. 2022 දී ඒ වන විටත් ලබාගෙන තිබූ විදෙස් ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශයට පත් කළා. එවැනි අවස්ථාවකදී අප සමඟ ගනුදෙනු කිරීමට කිසිම රටක් සම්බන්ධ වුණේ නැහැ. එම නිසා ගෑස්, ඉන්ධන හිඟය ආරම්භ වුණා. දරුණු ආර්ථික අර්බුදයට රට ඇදවැටුණා.

එම අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට භාරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර, නව මූල්‍ය ප්‍රතිසංස්කරණයක් සිදු කරමින් නව ආර්ථික තත්ත්වයක් ගොඩනැගීමට කටයුතු කළා. සාර්ව ආර්ථික ස්ථාවරභාවයක් රට තුළ ඇති කිරිමට එතුමන්ගේ ආර්ථික වැඩපිළිවෙළට හැකි වුණා. මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ විශ්වාසයක් ජාත්‍යන්තරයට තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටද වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ යම් අවබෝධයක් තිබෙනවා. නමුත් දරුණු ආර්ථික අර්බුදයකදී අඩපණ වූ ආර්ථිකය එක රැයකින් යථාතත්ත්වයට පත් කරන්න බැහැ. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.

ඉදිරිපත් කර ඇති නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තුළින් ඉදිරි වසර කිහිපය තුළ ආර්ථිකය ස්ථායි කිරීමක් සිදු කළ හැකියි. මෙවැර අයවැය මඟින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ පළමු පියවර ගෙන තිබෙනවා. අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම, දුෂණ විරෝධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, අස්වැසුම ක්‍රියාත්මක කිරීම, ඉඩම් ලබාදීම , නිවාස ලබාදීම වැනි ධනාත්මක ආර්ථික යෝජනා මෙවර අයවැයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ තත්ත්වයන් හමුවේ මේ වසර අවසානය වන විට ආර්ථික වර්ධන වේගය 2%ක් වේ යැයි පුරෝකථනය කළ හැකියි.

ජනාධිපති වෘත්තීය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය :

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය ඉදිරිපත් කළා. 2024 අයවැය යනු මේ වසරට අදාළ ආර්ථික ලියවිල්ලයි. ඉතාමත්ම අසීරු අවස්ථාවක වුවත් මේ ඉදිරිපත් කළ සාධනීය අයවැය පිළිබඳ නිසි කතිකාවක් සමාජය තුළ සිදු නොවුනහොත් ඒ තුළින් ඉදිරිපත් කළ යෝජනා මේ මහ පොළොව තුළ යථාර්ථයක් බවට පත් කර ගැනීමට හැකියාවක් ලැබෙන්නෙ නැහැ.

මේ වන විට වැට් බදු සංශෝධනය පිළිබඳ බොහෝ වැරදි මත සමාජගත වී තිබෙනවා. වැට් බද්ද වැඩි වන්නේ 15% සිට 18%ක් දක්වා බව අපි සෑම කෙනෙක්ම දන්නවා. වැට් බද්ද ඒ වන විටත් පනවා තිබූ භාණ්ඩවලට 3%කින් වැඩි වූ නමුත් 0% සිට 18%ක් දක්වා වැඩි වූ තවත් භාණ්ඩ ප්‍රමාණයක් ද මේ අතර තිබෙනවා. ඒ වගේම පැනවූ බද්ද 18%ක් වුවත් බදු ගැලපුම් නිසා ඒ ප්‍රමාණයෙන්ම නොවී ඊට වඩා අඩු ප්‍රතිශතයකින් වැට් බද්ද වැඩිවුණු භාණ්ඩද තිබෙනවා. ඒ නිසා මේ වැට් බද්ද පිළිබඳවද සාමාජය තුළ නිසි කතිකාවක් ඇති වීම වැදගත් වෙනවා.

ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ කේ.කේ.අයි.එරන්ද :

වැට් බදු නිසි ලෙස රජයට එකතු නොවන බව නිරීක්ෂණය වී තිබෙනවා. සාමාන්‍යයෙන් එකතු කළ අගය මත බද්ද නිසි පරිදි එකතු වෙනවා නම් දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක ප්‍රතිශතයක් එමඟින් ආර්ථිකයට එකතු කිරීමට හැකියාව තිබෙනවා. නමුත් මේ වනවිට එම බද්දෙන් ආර්ථිකයට එකතු වන්නේ 2% ක ප්‍රතිශතයක් පමණයි. ඒ පිළිබඳ සොයා බැලීමේදී ප්‍රධාන බදු කාන්දු තුනක් සොයාගෙන තිබෙනවා. එයින් පළමු කාන්දුව ව්‍යාපාරිකයන් බදු අය කරන නමුත් එය රජයට ලබා නොදීමයි. දෙවැනි බදු කාන්දුව නිලධාරීන්ගේ අක්‍රමිකතා නිසා අහිමි වන බදු ප්‍රමාණයයි.. බදු නිදහස් කිරීම් මඟින් තෙවැනි බදු කාන්දුව සිදුවෙනවා. මේ බදු කාන්දුවීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතුයි. එසේ වුවහොත් ආර්ථිකය ස්ථාවර කර ගැනීමට හැකිවෙනවා.

2019 වසරේ මුල් භාගයේදී වැට් බද්ද පැවතුණේ 15%ක අගයකයි. 2020 දී එය 8% ක් දක්වා අඩු කළා. එය 2020, 2021 හා 2022 යන වර්ෂ තුනේදීම එම අනුපාතයෙන් පැවතුණා. වැට් බද්ද 8%ක් දක්වා අඩු කළ පමණින් 2020 දී බඩු මිලේ පහළ යාමක් සිදු වුණේ නැහැ. මේ අවුරුදු තුන තුළ බිඳවැටුණු ආර්ථිකයේ ඉහළ යෑමක් ඇති කිරීමද වැට් බද්ද 15% ක තබාගෙන සිදු කළ නොහැකියි. ඒ නිසා වැට් බද්ද 18% ක් ලෙස සංශෝධනය කිරීමට සිදු වුණා.

මහ භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සී. සේනාරත්න මහතාද බස්නාහිර පළාත් ලේකම් ප්‍රමුඛ කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්, දේශපාලන ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නායකයන් සහ ජනමාධ්‍යවේදීන් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.‍

Page 105 of 459