V2025

පුවත්

2024ට සහල් ඇටයක් ආනයනය කරන්නේ නෑ : අමරවීරගෙන් සහතිකයක් !

රට සහලින් ස්වයංපෝෂිත බැවින් 2024 වසර තුළ සහල් ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

එසේම 2024 වර්ෂයේදී වී, බඩ ඉරිඟු, අර්තාපල් සහ මිරිස් යන බෝග ජාතික අවශ්‍යතාවයේ ඉලක්කයට ළඟා වීම සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කිරීමට තීරණය කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මෙසේ ද පැවසීය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වශයෙන් මෙම වර්ෂය තුළ කෘෂි සහ වැවිලි කර්මාන්තයේ සංවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් අප ආරම්භ කර තිබෙනවා.

2023 වසරේ මෙරට යල සහ මහ කන්නවල පොහොර මිලදී ගැනීම සඳහා මූල්‍ය සහනාධාර වෙනුවෙන් රුපියල් බිලියන 22ක ප්‍රමාණයක් අප වැය කළා. ඒ වගේම වී මිලදී ගැනීම සඳහා ද රජය විසින් රුපියල් බිලියන 13ක මුදලක් වැය කළා.

ඒ අනුව 2022 වර්ෂයේදී මෙරටට සහල් මෙට්‍රික් ටොන් 8ක් ආනයනය කළත්, 2023 වර්ෂයේදී සහල් ඇටයක්වත් ආනයනය කළේ නැහැ. සමස්ථ වර්ෂය පුරාම මෙරට ජනතාව පරිභෝජනය කළේ, අප රටේ ගොවි ජනතාව විසින් නිෂ්පාදනය කරන ලද සහල් බව කිව යුතුයි. අර්බුද මැද වුවත් මෙම වසර ද සහලින් ස්වයංපෝෂිත බැවින් මෙම වසර තුළ සහල් ආනයනය කිරීමට අප බලාපොරොත්තු වන්නේ නැහැ.

පසුගිය වර්ෂයේ නියඟයෙන් මෙන්ම, ගංවතුරෙන්ද වී වගාවට හානි සිදු වුණා. නියඟයෙන් අක්කර 65,000ක් සහ අධික වර්ෂාව නිසා අක්කර ලක්ෂයක් පමණ වී වගාවට හානි වී තිබෙනවා. නියඟය නිසා සිදු වූ වගා හානිවලට වන්දි ලබා දීමට රජය විසින් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කළා. ඉන් දැනටමත් රුපියල් මිලියන 700ක් පමණ ගෙවා අවසන්.

ඒ වගේම එළවළු මිල ඉහළ යාමට හේතු වූයේ අධික වර්ෂාව නිසා මහා පරිමාණ එළවළු වගාවන් විනාශයි. ඇතැම් ගොවීන් කිහිප වතාවක්ම එකම ගොවිබිමේ එළවළු බීජ රෝපණය කළත් ඒවා වර්ෂාව නිසා විනාශ වී ගියා. නමුත් යම් තරමකට හෝ එළවළු වෙළඳපොලට පැමිණියේ අප විසින් ගොවීන්ට ලබා දුන් “නෙට් හවුස්වල” වගා කිරීමට කටයුතු කළ නිසයි. ඒ වගේම ඉදිරි මාස දෙක තුළ එළවළු මිල සාමාන්‍ය තත්ත්වයට පත්වන බව ද කිව යුතුයි.

2024 වර්ෂයේදී වී, බඩඉරිඟු, අර්තාපල් සහ මිරිස් යන බෝග වර්ග 4 නිෂ්පාදනය අපේ ජාතික අවශ්‍යතාවයේ ඉලක්කයට ළඟා වීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට තීරණය කර තිබෙනවා. නමුත් අනෙකුත් වගාවන් කිසිසේත්ම අධෛර්යමත් කරන්නේ නැහැ. ඒවා තවදුරටත් වගා කරන අතර මෙම බෝග වර්ග 4 අප ප්‍රධාන ඉලක්ක බවට කර ගෙන තිබෙනවා.

බී ළූණු වගා කිරීමත් සමඟ රතු ළූණු වගාව අඩාල වුණා. එම නිසා නැවත වතාවක් රතුළූණු ජනප්‍රිය කරවීමට අපි මෙම වසරේ කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව මොණරාගල තෙලුල්ල, යාපනය හා කුරුණෑගල මොරගොල්ලාගම, නියඳගම වැනි ප්‍රදේශවල රතු ළූණු වගාව ප්‍රචලිත කිරීමට අපි මේ වන විට තීරණය කර තිබෙනවා.

මීට සාපේක්ෂව වැවිලි ක්ෂේත්‍රයේ ද අපි වැදගත් තීරණ රැසක් මේ වසර තුළ ක්‍රියාත්මක කරනවා. ඉන් පළමුවැන්න අපි පසුගිය ජනවාරි පළමුවැනිදා සිට ආරම්භ කළා. ඒ අනුව තේ දළුවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා B60 ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා.

ඒ වගේම තේ, රබර් සහ පොල් වගාවන් සඳහා රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් සහන මිලට පොහොර ලබා දීමේ වැඩපිළිවෙළක් ද අප ආරම්භ කරනවා. ඒ යටතේ තේ සඳහා සකස් කරන ලද විශේෂ පොහොර සහන මිලක් යටතේ ලබා දීම ද අද ආරම්භ කළා.

තේ වගාවේ අස්වැන්න ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වශයෙන් රජයට අයත් පොහොර සමාගම් දෙක වන කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම මගින් සියලුම තේ පොහොර නිෂ්පාදනය කිරීමට නිෂ්පාදනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

තත්ත්වයෙන් උසස් ගුණාත්මක භාවයෙන් ඉහළම තේ පොහොර රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් නිෂ්පාදනය කර තේ වගාකරුවන්ට ලබා දෙනවා. ඒ අනුව මෙම පොහොර වැට් සමග අලෙවි කෙරෙන මුදලට වඩා රුපියල් 2000ක් අඩුවෙන් අවම මිලක් යටතේ අපි තේ වගාකරුවන්ට ලබා දෙනවා. වෙළෙඳපළේ මිල හා සසඳන විට මෙම මිල අඩු කිරීම සියයට 50ක පමණ අඩු වීමක් බව කිව හැකියි.

ඒ අනුව T- 200 හා T- 750 තේ පොහොර මිටියක මිල රුපියල් 5500ක්, U- 709 හා U – 834 තේ පොහොර මිටියක මිල රුපියල් 7735ක් දක්වාත් අඩූ කරනවා. ඒ වගේම නිසි පරිදි පොහොර යෙදීම මෙන්ම නව වගා තාක්ෂණය අප තේ වගාවට ද හඳුන්වා දෙනවා.

තවද අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ මේ වනවිට ව්‍යාපෘති 59ක් ක්‍රියාත්මක කර තිබෙනවා. එම ව්‍යාපෘති 55ක් ඉතාම සාර්ථකයි. ඔවුන් අක්කරයකින් තේ දළු කිලෝග්‍රෑම් 1350ක් පමණ මාසයක නෙළා ගන්නවා. මේ වසරේදී අපි මිලියන 1000ක් මෙම ව්‍යාපෘතිය සඳහා යොදවනවා.

තේ පොහොර සහන මිලට සැපයීම සඳහා අද දිනයේ අත්සන් තැබුණු ‍ත්‍රෛයිපාර්ශ්වීය ගිවිසුමකට අත්සන් තැබුවා. ඒ අනුව රජයට අයත් පොහොර සමාගම් දෙක සමඟ ශ්‍රී ලංකා තේ මණ්ඩලය හා කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ගිවිසුම් ගත වුණා. ශ්‍රී ලංකාවේ තේ වගාවේ අස්වැන්න ඉහළ නැංවීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළට මෙම සහන මිලට පොහොර ලබා දීම මහත් රුකුළක් වන බව මම විශ්වාස කරනවා.

ඒ වගේම මෙවැනි පියවරක් ගැනීමට හැකි වුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දූරදර්ශි දේශපාලන දැක්ම නිසා බවත් කිව යුතුයි. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශයට එක් නොකළා නම් කිසිසේත්ම මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ නැහැ.

ලෝරෙන්සෝ පුතා මුදවා ගනියි !

අරාබි මුහුදේදී අතුරුදන් වූ “ලොරෙන්සෝ පුතා 4” යාත්‍රාව ෂිසෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් බේරාගත් බව ශ්‍රි ලංකා රජය වෙත දැනුම් දී තිබේ.

මේ බව සීෂෙල්ස් නාවික හමුදාව විසින් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත අද (29) නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය.

“ලොරෙන්සෝ පුතා 4” බහුදින ධීවර යාත්‍රාව පසුගිය ජනවාරි 12 වනදා ධීවරයන් 06 දෙනෙකු සමගින් දික්ඕවිට ධීවර වරායෙන් සිය මංගල මුහුදු ගමන අරඹා තිබිණ. එම යාත්‍රාව ගොඩබිමේ සිට නාවික සැතපුම් 1,160ක් දුරින් වු අරාබි මුහුදු ප්‍රදේශයේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

ඒ අනුව අතුරුදන් යාත්‍රාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බහරේනයේ පිහිටි රටවල් 40කින් සමන්විත ඒකාබද්ධ සමුද්‍රීය බලකායට දැනුම් දෙනු ලැබීය.

ෂීසෙල්ස් වෙරළාරක්ෂක බලකාය “ලොරෙන්සෝ පුතා 4” බහුදින ධීවර යාත්‍රාව සොයා විශේෂ මෙහෙයුමක් දියත් කළ අතර එහිදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබූ ධීවර යාත්‍රාව සොයා ගැනීමට ඔවුහු සමත් වූහ.

ඒ සමඟ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් 03 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ෂිසෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් දැනුම් දී ඇති අතර “ලෝරෙන්සෝ පුතා 4” බහුදින ධීවර යාත්‍රවේ සිටි ධීවරයන් 06 දෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බව ද දැනුම් දී ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ මගපෙන්වීමෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ අධීක්ෂණය යටතේ ධීවර යාත්‍රාව මෙරටට ගෙන ඒමේ මෙහෙයුම් දියත් කර ඇති අතර, මේ වන විට එය ෂීසෙල්ස්හි, වික්ටෝරියා වරාය වෙත ගෙන යමින් තිබෙන බව සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

පාසල් පාවහන් තිළිණ පත්වල වලංගු කාලය දිර්ඝ කරයි

පාසල් පාවහන් තිළිණ පත්වල වලංගු කාලය දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය 2024.02.01 දින අවසන් වීමට තිබිණි.

නමුත් එම කාලය 2024.02.17 දින දක්වා දීර්ඝ කර ඇති බව පාවහන් සැපයුම්කරුවන් හා ජනතාව වෙත අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.

ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමති ධුරයේ දිවුරුම් දෙයි

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ  ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (29) දිවුරුම් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.

ICC ක්‍රිකට් තහනම ඉවතට

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මීට පෙර අවස්ථාවකදී සඳහන් කර තිබුණේ, එම තහනම නුදුරේදී ඉවත් වනු ඇති බවට ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමින් පසුගිය වසරේ නොවැම්බර් මස 11 වන දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගනු ලැබිණි.

image 20 797x1024

ජනපති ගාලු සාහිත්‍ය උළෙලේ නිරීක්ෂණ චාරිකාවක

2024 ගාලු සාහිත්‍ය උළෙලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඊයේ (27) ගාල්ල කොටුවේ දී සහභාගී විය.

ලොව පුරා කීර්තිමත් කතුවරුන්, සාහිත්‍යකරුවන්, මාධ්‍යවේදීන් සහ ප්‍රකාශකයන් එක්වන මෙරට පැවැත්වෙන ප්‍රධානම ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල වන ගාලු සාහිත්‍ය උළෙල මෙවර පැවැත්වෙන්නේ වසර කිහිපයකට පසුව වීම විශේෂත්වයකි.

ගාල්ල සහ කොග්ගල ප්‍රදේශවලට දෙස් විදෙස් සංචාරකයන් සැලකිය යුතු පිරිසක් ආකර්ශනය කර ගනිමින් ජනවාරි 25 වැනිදා ආරම්භ වූ ගාලු සාහිත්‍ය උළෙල අදින් අවසන් වේ.

View the embedded image gallery online at:
https://newstube.lk/news?start=1854#sigProId517523bbe6

ලන්සලාගේ සන්ධානය ජා ඇල රැලියෙන් වැඩ අල්ලයි !

ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්’ තේමාව කරගත් නව සන්ධානයේ මංගල ජන රැළිය ජා ඇල නගරයේදී ඊයේ (27) පැවැත්විණ.

නව සන්ධානයේ මංගල ජන රැළියට නව සන්ධාන මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, නව සන්ධාන ගම්පහ දිස්ත්‍රික් නායක නලින් ප්‍රනාන්දු, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ, මීගමුව හිටපු නගරාධිපති දයාන් ලාන්සා, සුගීෂ්වර බණ්ඩාර, අසංක ශ්‍රීනාත් ඇතුළුව පළාත් සභාල පළාත් පාලන නියෝජිතයින් රැසක්ද සහභාගීවී සිටියහ.

මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, වෘත්තිය සමිති නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, නීතිඥවරුන්, වෘත්තීයවේදීන් ඇතුළු ආධාරකරුවන්ද මෙම අවස්ථාවට එක්ව සිටිනු දක්නට ලැබිණ .

ජා ඇල ආසනයේ පොදුජන පෙරමුඛණ පලාත් පාලන ආයතන මන්ත්‍රිවරුන් 16 දෙනෙකු සහ නව සන්ධානයට සහාය දෙන වෘත්තීය සමිති 7ක් ද එක්ව සිටියහ.

2015 වසරේ ඇරඹි මහින්ද සුළඟ ජනරැළි වේදිකාවේ ප‍්‍රධාන නිවේදක ලෙස කටයුතු කරන ලද නිවේදකයා මෙම රැළියේද ප්‍රධාන නිවේදක ලෙස කටයුතු කිරීම විශේෂත්වයකි.

රොෂාන්ගේ අතුරු කමිටු දෙකක් හරීන් විසුරුවයි !

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පත්කළ ක්‍රීඩා අතුරු කමිටු දෙකක් විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා අතුරු කමිටු දෙක මෙලෙස විසුරුවා හැර ඇත.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනත සහ වලංගු ක්‍රීඩා නියෝගවලට අනුව නීත්‍යානුකුල නිල කාලය අවසන් වී නැවත නිලවරණය පැවැත්වෙන තෙක් මීට පෙර පැවති නිලධාරී මණ්ඩලය වෙත අදාළ සංගම්වල කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමට බලය පවරණ බවද අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන ශිෂ්‍යත්ව මුදල ඉහළට !

2021 (2022) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමු වරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උසස් පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මඟින් පිරිනමන ශිෂ්‍යත්ව දීමනාව 2024 පෙබරවාරි මස සිට රුපියල් දහසකින් වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් කරන ලද ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වෙසෙන ඉගෙනීමට දක්ෂ, නමුත් ආර්ථික දුෂ්කරතා ඇති දරු දැරියන් හඳුනාගෙන ඔවුන්ගේ ඉදිරි අනාගතය යහපත් කිරීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ මගපෙන්වීමෙන් ජනාධිපති අරමුදල විසින් ශිෂ්‍යත්ව ලබා ‍දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

2021/2022 වසරට අදාළව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ජනාධිපති අරමුදල විසින් ශිෂ්‍යත්වලාභීන්ට මේ වන විට මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ගෙවනු ලබන අතර මෙතෙක් මාසික වාරික 10ක් ගෙවා ඇත.

ඒ අනුව ශිෂ්‍යත්ව මුදල ඉහළ නැංවීමත් සමඟ 2024 පෙබරවාරි මාසයේ සිට අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින තෙක් අදාළ ශිෂ්‍යත්වලාභීන් වෙත රුපියල් 6,000ක මාසික දීමනාවක් සැම මසකම පළමු සතිය තුළ ජනාධිපති අරමුදල වෙතින් පිරිනැමෙනු ඇත.

එසේම 2022/2023 වර්ෂය‍ට අදාළව අ.පො.ස. සා/පෙළ ඉහළින් සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000ක් ‍තෝරාගෙන එම සිසුවා/සිසුවිය අ.පො.ස. උ/පෙළ විභාගය‍ට පෙනී සිටින තෙක් මාසිකව රු. 6000ක මුදලක් ප්‍රදානය කිරීමට ද ජනාධිපති අරමුදල මේ වන විට කටයුතු කරමින් පවතී. ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලු පළාත් ආවරණය වන පරිදි කලාප මට්ටමින් මේ වන විට තෝරාගැනීම් සිදු කරනු ලබන අතර ‍තෝරා ගැනීම් අවසන් වූ වහාම අදාළ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට අපේක්ෂා කෙරේ.

මීට අදාළව ඉදිරියේදී යාවත්කාලීන කරනු ලබන තොරතුරු කඩිනමින් දැන ගැනීම සඳහා ජනාධිපති අරමුදලේ නිල ෆේස් බුක් පිටුව www.facebook.com/president.fund හා නිල යූ ටියුබ් නාළිකාව www.youtube.com/@PresidentsFund like/follow හා subscribe කර තබාගන්නා මෙන්ද www.presidentsfund.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ තොරතුරු ලබාගත හැකි බව ද ජනාධිපති අරමුදල වැඩිදුරටත් දැනුම් දෙයි.

දිලිත් දිගටම අනුරගේ එල්ලෙයි !

තමන් හා සංවාදයකට පැමිණ ලෙස නැවතත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ට ආරාධනා කරන බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ මව්බිම ජනතා පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

පුද්ගලික ජීවිතය ගැන හෝ පක්ෂයට අරමුදල් ලැබෙන ආකාරය ගැන ප්‍රශ්න නොකරන බවත් පැවසූ දිලිත් ජයවීර තමන්ගෙන් ඕනෑම පුද්ගලික ප්‍රශ්නයක් හෝ ව්‍යාපාර ගැන ප්‍රශ්නයක් ඇත්නම් විමසීමට කිසිදු බාධාවක් නැති බවද පැවසීය.

තමන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මිතුරන් වන නමුත් අනුර දිසානායක සහ ජනාධිපතිවරයා ඊටත් වඩා මිත්‍රයන් බවද ඔහු සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට දඬුවම් දෙනවා : ජුනි 30 වන විට පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරමත් මඩිනවා - ටිරාන්

පරීක්ෂණ අවසානයේ කවුරුන් වැරදි කරු වුවත් කිසිඳු තරාතිරමකින් තොරව පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙනවා.” යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ජුනි 30වන විට රට තුල මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්පුර්ණයෙන්ම මැඩ පැවැත්වීමේ ඉලක්කය පොලිසිය වෙත බාරදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මේ අදහස් දක්වා සිටියේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ වැඩමුළුවකදී ය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මෙම අමාත්‍යංශය භාර ගන්නා අවස්ථාවේ රට තුල පැවති අර්බුදකාරී තත්වය මැඩ පැවැත්වීමේ අභියෝගය කෙටි කාලයක් තුල ජය ගැනීමට අපට හැකි වුණා.ඉන්පසු මගේ අරමුණ වූයේ රට මත්ද්‍රව්‍ය සහ පාතාල අපරාධ වලින් නිදහස් කර ගැනීමත්, රටේ දරු පරපුර සහ කාන්තාවන් ආරක්ෂා කර ගැනීම. අප යුක්තිය මෙහෙයුම ආරම්භ කලේ එම අරමුණ වෙනුවෙන්. දීර්ඝ කාලයක් අප මේ පිලිබඳ අධ්‍යයනය කර අවශ්‍ය සැලසුම් සකස් කළා. ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයේ දකුණු පළාතෙන් මෙම මෙහෙයුම ආරම්භ කරනු ලැබුවා.

ඉන්පසුව මේ වන විට රටේ මත්ද්‍රව්‍ය අලෙවි කළ සහ අපරාධකරුවන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට පත්ව සිටිනවා. ඇතැමෙක් සැඟවී තිබෙනවා.ඒ අතරින් සමහරක් අප අතරම සිටින අය.ජුනි 30වන විට රට තුල මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්පුර්ණයෙන්ම මැඩ පැවැත්වීමේ ඉලක්කය අප පොලිසිය වෙත ලබා දී තිබෙනවා. කවුරුන් ඊට බාධා කලත් මෙම මෙහෙයුම නතර කරන්නේ නැහැ. කිසිඳු බයකින් හෝ සැකයක් තොරව තම ප්‍රදේශවල තොරතුරු අප වෙත ලබා දෙන ලෙස මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අප කටයුතු කරනවා. ජීවිතය පරදුවට තබා හෝ මේ උවදුර තුරන් කරන්නට එක්වන ලෙස මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අතරම මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත පිළිබඳ අප ඉදිරිපත් කලා. සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන්ට හා දරුවන්ට සිදුවන පීඩාවන් මැඩ පැවැත්වීම එහි මූලික අරමුණයි. සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ආකාරයේ මුදල් වංචා රැසක් වාර්තා වනවා. එය වැලක්වීමද එහි තවත් අරමුණක්. නමුත් බොහෝ දෙනා මේ පිලිබඳ වැරදි අවබෝධයකින් අප විවේචනය කිරීමදක්නට ලැබෙනවා. මේ බොහෝ දෙනෙක් වෙනුවෙන් මුදල් වියදම් කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්. එලෙස කවර අපහාස සිදු කලත් ආරම්භ කළ මෙහෙයුම අවසන් කර මිස අප නවතින්නේ නැහැ.

මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධව අප කළ ප්‍රකාශ සම්බන්ධව අගරදගුරුතුමා ද ඒ පිලිබඳ විවේචන සිදුකර තිබෙනවා. නමුත් මට අවශ්‍ය වන්නේ සියලු කතෝලිකයින්ට සාධාරණය ඉටු කිරීමයි.ඊට සහාය දෙන ලෙස අගරදගුරු හිමියන්ගෙන් සහ කතෝලික සභාවෙන් ද මා ඉල්ලීමක් සිදු කරනවා. අප සතුව නොමැති යම් තොරතුරක්‌ ඔවුන් සතුව තිබෙනවා නම් ඒවාද අප වෙත ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා. එම පරීක්ෂණ අවසානයේ කවුරුන් වැරදි කරු වුවත් කිසිඳු තරාතිරමකින් තොරව උපරිම දඬුවම් ලබා දෙන බවට මා කිතුනු ප්‍රජාවට පොරොන්දු වෙනවා.

මේ ඉලක්කයන් ජයගෙන පවතිනවාට වඩා යහපත් රටක් බිහි කිරීමට අපට හැකි වනු ඇති බව මා විශ්වාස කරනවා.”

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක , වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු සාමජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

negombo 2

ඩලස්ලා ආයෙත් වැඩ : සජිත්‍ට දෙන්න ගිය ඩිලාන් - චන්න අනාථයි !

විපක්ෂ නායක සජිත් ජනපති කරන්න, සජබෙට එකතුවෙන්න ගිවිසුම් ගහපු නිදහස් ජනතා සභාව පස් හයදෙනා අතරත් ගැටුම් මතුවෙලා.

ඩලස් අලහප්පෙරුම ගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩායමේ 13 දෙනාගෙන් හයදෙනෙක් මේ වෙනකොට GL ගෙදරදී ගිවිසුම් ගහලා සහබෙට එකතුවෙලා . ඒක දැන් රහසක් නෙමෙයි. පහුගිය දෙසැම්බර් අගදී ඒ විදියට සජබත් එක්ක ගිවිසුම් ගැහුවේ GL පිරිස්, නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, චන්න ජයසුමන, KPS කුමාරසිරි සහ වසන්ත යාපා කියන මන්ත්‍රීවරු 6 දෙනා.

මේ හයදෙනාගෙන් චන්න ජයසුමනට සජබ පක්ෂ නායක සන්ධානේ මුස්ලිම් නායකයින් දෙන්නගෙන් එල්ලවෙලා තියෙන්නේ බරපතල විරෝධයක්. චන්න ව ගත්තොත් සජබ සන්ධානෙන් ඉවත් වෙනවා කියලා, රිෂාඩ් බදියුදීන් මේ වෙනකොටත් සජබ නායක සජිත් ප්‍රේමදාසට ලිඛිතව ම දැනුම්දීලා කියලයි ආරංචිය .

ඔය වගේ එවුන් ආයෙත් මේ පැත්ත පළාතේ වැද්දගන්නේ නෑ කියලා, නිදහස් ජනතා සභාවේ නායක ඩලස් කියලා තියනවා. ආරංචි විදියට චන්න ජයසුමන අතරමං වෙලා. දැන් රනිල්ට හරි රොෂාන්ට හරි ජැක් ගහන්න ලු ට්‍රයි එක.. ආරංචි විදියට මේ ළඟදී රොෂාන් රණසිංහලගේ ගෙදර තිබුන පාටි එකටත් ගිහින්.

ආරංචි විදියට ඩිලාන් පෙරේරාටත් වෙලා තියෙන්නේ චන්නට වෙච්ච සැන්තැසියම ලු. සජබේ කව්රුවත් ඩිලාන් ව ගණන් ගන්නේ නෑලු .. නාවල නිදහස් ජනතා සභා කාර්යාලේ පැත්තේ ඉඳහිට ගියත් තේ කහට එකක් දෙන්නවත් කිසි කෙනෙක් එලියට පහලියට එන්නේ නෑලු.

ඒ කොහොම වුනත් යන එවුන්ට මකබැවියන් කියලා ඩලස් , ඉතුරුවෙලා ඉන්න මන්ත්‍රීවරු කිපදෙනත් එක්ක නාවල කාර්යාලේ දී අලුතින් ම වැඩ පටන් ගන්නයි හදන්නේ..වැඩ පටන් ගන්නවා කියන්නේ වෙන මොකුත් නෙමෙයි, මාධ්‍යවේදීන් කීපදෙනෙක් ගෙන්නලා , ආණ්ඩුවට දෙසා බාන්න යනවා කියන එක.

සජබෙත් එක්ක ගිවිසුම් ගහපු ගමන් GL ලොක්කා ඔය මාධ්‍ය අංශයේ තිබුන, කැමරා ආම්පන්න - බඩු මුට්ටු කුදලාගෙන ගියාට පස්සේ මාධ්‍ය සාකච්ජා ඇනහිටියා ..

කොහොම වුනත් නාවල කාර්යාලය කුලියට අරගෙන තියෙන්නේ ඩලස් ගේ නමට නිසා කාර්යාලේ අයිතිය ගන්න ඩිලාන් ලට බැරිවෙලා.

ඒ කොහොම වුනත් ඔන්න ඊයේ පෙරේද වෙනකොට ආයෙත් බඩු මුට්ටු ටිකක් එකතු කරගෙන .. ලබන අඟහරුවාදා ඉඳල සුපුරුදු විදියට මාධ්‍ය සාකච්ජා තියන්නයි යන්නේ..මදැයි ඩලෝ ඔයින් ගියා කියලා තමයි කියන්න තියෙන්නේ.

දේශපාලන වාර්තාකරු

කොළඹ වරායට කුණු මාළු ගොඩබාලා !

සීෂෙල්ස් සිට තායිලන්තය දක්වා ගමන් ගත් නෞකාවක තිබූ නරක් වූ මාළු අඩංගු බහාලුම් 98ක් කාබනික පොහොර සෑදීමට බව කියමින් මෙරටට ගොඩ බා ඇති බව රජයේ ගිණුම් කාරක සභාවේ දී අනාවරණය වී තිබේ.

අදාළ නෞකාව මෙරටට ගෙන ඒමට කටයුතු කළ මෙරට නියෝජිතයා සතු ව සැමන් කර්මාන්ත ශාලාවක් පවතින බවත් අනාවරණය වී ඇති අතර නෞකාවේ තිබු නරක් වූ මාළු අඩංගු බහාලුම් 04කට සිදු වූ දෙයක් නොමැති බවත් වැඩිදුරටත් හෙළිදරව් වී ඇත.

නෞකාවට වරයේ ගොඩ බෑම සඳහා බලපත්‍රයක් ලබා දී ඇති බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් ආනයන අපනයන පාලක ජනරාල් ටී.ටී.උපුල්මලී ප්‍රේමතිලක පැවසුවේ, මෙම බලපත්‍රය මත්ස්‍ය අපද්‍රව්‍ය සඳහා නිකුත් කර ඇති බවයි.

මේ අතර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසන්නේ මාර්තු 05 වැනි දා මීට අදාළ සියලු රාජ්‍ය ආයතන කැඳවා මේ පිළිබඳ වැඩිදුරටත් සොයාබලන බව ය.

සනත් නිශාන්ත සමග මියගිය පොලිස් නිලධාරියාගේ අවසන් කටයුතු සිදුකරයි !

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමඟ රිය අනතුරින් මිය ගිය ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි ගේ අවසන් කටයුතු අද (27) පස්වරුවේ සිදුකෙරුණි.

ඒ මහනුවර මරවනාගොඩ පොදු සුසාන භූමියේදී ය.

මේ අතර පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි පොලිස් සැරයන් නිලයට උසස් කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන අංක 22/93 පරිදි පශ්චාත් උසස්වීම් පදනම යටතේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මියගිය නිලධාරියාව පොලිස් සැරයන් තනතුරට උසස් කර ඇති බවය.

මෙම නිලධාරියාගේ පවුලේ සාමාජිකයින්ට රුපියල් ලක්ෂ 15 ක මුදලක් එම නිවසේදී ලබාදීමට ද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පියවර ගෙන තිබුණි.

මතට ඇබ්බැහි වූවන් වෙනුවෙන් දුරකථන අංකයක්

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදීම වෙනුවෙන් ප්‍රථිකාර, පුනරුත්ථාපනය සහ උපදේශනය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකාය විසින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩපිළිවෙල පිළිබඳව තම අනන්‍යතාවය හෙළිනොකර තොරතුරු දැනගැනීම සඳහා 1927 නමැති විශේෂ ක්‍ෂණික දුරකථන අංකය හඳුන්වාදීම සහ ඒ සම්බන්ධ මාධ්‍ය දැනුවත් කිරී‍මේ සාකච්ඡාවක්, ඊයේ 26 විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේ‍රා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදීපාගාර අවන්හල පරිශ්‍රයේදී පැවැත්විණි.

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ රට තුලට ගෙන ඒම හා පැතිරීම පාලනය කිරීම, භාවිත‍ය සඳහා යොමුවීම වැළැක්වීම සහ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කර රටේ අභිවෘද්ධිය සඳහා දායක කරගනිමින් සමාජ ආර්ථික සුරක්‍ෂිතතාවය උදාකර ගැනීම‍ උදෙසා මෙම කාර්යය සාධක බලකාය අමාත්‍යංශ 11 ක් සහ දෙපාර්තමේන්තු 14 ක සාමාජිකත්වයෙන් ස්ථාපිත කර ඇත.

එහි සභාපති ලෙස  නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේ‍රා පත්කර ඇත.

මේ පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාව සඳහා විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේ‍රා සමඟ; බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්එම්ටීඑන් උපුල්දෙනිය, අන්තාරයකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති එස් නානායක්කාර , ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තු කොමසාරිස් පීඒඩී ගුණරත්න  සහ පුනරුත්ථාපන කාර්යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (පුනරුත්ථාපන) ලුතිනන් කර්නල් ඒඑම්ඒ දේශප්‍රිය යන නිලධාරීන් ඔවුන්ගේ දෙපාර්ත‍මේන්තු මණ්ඩල හා කාර්යංශ වෙතින් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදීම සඳහා ප්‍රථිකාර, පුනරුත්ථාපනය සහ උපදේශනය වෙනුවෙන් සිදුකරනු ලබන කාර්යය භාරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සිදුකෙරිණි.

රට බංකොලොත් කතාව බොරුවක් - මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වී ඇතැයි කෙරෙන සියලු ප්‍රකාශ සත්‍යයෙන් තොර බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ  රටේ බංකොලොත්භාවය පිළිබඳව විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුව හමුවේ පසුගිය බදාදා සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව බංකොලොත් වූ බවට කෙරෙන ප්‍රකාශ තමන් සහමුලින්ම බැහැර කරන වග ඔහු ප්‍රකාශ කර ඇත. පසුගිය වසරේ සිදුවූයේ රට බංකොලොත් වීමක් නොව, තෝරාගත් දෙස් විදෙස් ණය කිහිපයක් නැවත පියවීම කල් දැමීම පමණක් බවද හෙතෙම අවධාරණය කර තිබේ.

මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩුව සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව සහමුලින්ම අධ්‍යයනය කළ බවත් එහි බංකොලොත්භාවය පිළිබඳ ප්‍රකාශයක් ඇතුළත් නොවන බවත්ය. එහෙත් ජනතාව ආර්ථික වශයෙන් අපහසුතාවට පත්කිරීම සම්බන්ධයෙන් එම නඩු තීන්දුවේ දීර්ඝ ලෙස කරුණු දක්වා ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කර තිබුණි. කොවිඩ් වසංගත සමයේ රට ආර්ථික වශයෙන් පීඩාවට පත්වූයේ හදිසියේම රට වසා දැමීම නිසා යැයි පැවසූ මහ බැංකු අධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ සම්පත් සීමිත දුප්පත් රටක් වසා දැමීමට ගත් තීරණයෙන් ජාතික ආදායම විශාල ලෙස අහිමි වී ගිය බවයි.

එයින් ජාතික ආර්ථිකය කඩා වැටුණු බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

deshaya.lk

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

ගාසා තීරයේ ජන සංහාරක ක්‍රියා වැළැක්වීමට ඊශ්‍රායලය සියලු ක්‍රියාමාර්ග ගත යුතු බව ජාත්‍යන්තර අධිකරණය තීන්දු කර තිබේ.

එසේ වුව ද ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායලය වෙත යුද්ධ මෙහෙයුම් වහා නතර කරන ලෙස නියෝග කිරීමෙන් වැළකී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායලයට එරෙහිව දකුණු අප්‍රිකාව විසින් ගොනු කරන ලද ජන සංහාරක නඩුවේ අතුරු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් ජාත්‍යන්තර අධිකරණය ඊයේ (ජන. 26) මෙම නියෝගය නිකුත් කර ඇත.

ඊට අමතරව, ජන සංහාරයක් ලෙස සැලකිය හැකි ඕනෑ ම ක්‍රියාවක් වැළැක්වීමට ඊශ්‍රායලය සියලු පියවර ගැනීම, ඊශ්‍රායලය තම හමුදා කිසිදු ජන සංහාරක ක්‍රියාවක් නොකරන බවට සහතික වීම, ගාසා තීරයේ ජන සංහාරයක් කිරීමට පෙළඹවීමක් ලෙස සැලකිය හැකි ඕනෑ ම ප්‍රසිද්ධ ප්‍රකාශයක් වැළැක්වීමට සහ දඬුවම් කිරීමට ඊශ්‍රායලය පියවර ගැනීම, මානුෂීය ප්‍රවේශය සහතික කිරීමට ඊශ්‍රායලය පියවර ගැනීම, ඊශ්‍රායලය සමූල ඝාතන නඩුවකට යොදාගත හැකි ඕනෑ ම සාක්ෂියක් විනාශ කිරීමෙන් වැළැක්වීම සහ මෙම නියෝගය ලබා දී මාසයක් ඇතුළත ඊශ්‍රායලය ජාත්‍යන්තර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීම ආදී කොන්දේසි ද එම තීන්දුවේ අන්තර්ගත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊශ්‍රායලයේ ක්‍රියා “ජන සංහාරයක ස්වභාවයක් ගන්නා” බව සඳහන් කරමින් හේග්හි පිහිටි ජාත්‍යන්තරය අධිකරණය හමුවේ දකුණු අප්‍රිකාව පිටු 84කින් සමන්විත නඩුවක් ඉකුත් වසරේ දෙසැ. 29 වන දා ගොනු කර තිබිණි.

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් තවත් බිලියන 1.5ක් මහා භාණ්ඩාගාරයට !

ලිට්‍රෝ ගෑස් සමාගමේ 2023 වසරේ ලාභයෙන් රුපියල් බිලියන 1.5ක මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා දීම සඳහා එම සමාගමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට භාරදීම අද (26) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.

අදාළ චෙක්පත ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් විසින් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක වෙත නිල වශයෙන් භාර දුන් අතර, සාගල රත්නායක මහතා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරීනී ශ්‍රියානි කුලසිංහ වෙත එම චෙක් පත භාරදෙන ලදී.

ආර්ථිකමය වශයෙන් රට අසීරු තත්ත්වයකට පත්ව සිටියදී වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මගපෙන්වීමෙන් සහ සාගල රත්නායක මහතාගේ සහයෝගය මත ලිට්‍රෝ ගෑස් සමාගම ඉහළ වර්ධනයක් කරා ළඟා වී ඇති බවත් එහි ප්‍රතිලාභ නැවතත් රජයට ලබාදීමට හැකිවීම පිළිබඳව සතුටට පත්වන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මෙහිදී සඳහන් කළේය.

ලිට්‍රෝ සමාගම 2023 වසරේ පමණක් රුපියල් බිලියන 03ක් ලාභාංශ වශයෙන් මහා භාණ්ඩාගාරයට වෙත යොමු කර ඇති බවද මුදිත පිරිස් වැඩිදුරටත් පැවසීය.

Page 104 of 459