V2025

පුවත්

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මිලදී ගැනීමට ආයෝජකයන් නෑ !

බරපතළ ණය අර්බුදයකට මුහුණ දී තිබෙන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇතත් මේ දක්වා කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නැතැයි වාර්තා වෙයි .

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ආයෝජකයන් ඉදිරිපත් නොවීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ලෝක බැංකුවේ ද සහාය ඇතිව නව සැලැස්මක් සකස් කරන්න යෙදී සිටියි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රාජ්‍ය බැංකුවලට, ඛනිජ තෙල් සංස්ථාවට හා වෙනත් ආයතනවලට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි සියයක්(රුපියල් කෝටි 31,657ක්)පමණ වන බව සඳහන් අතර ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි තිහක් පමණ වන බවද වාර්තා වෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 5,600 ක පමණ ස්ථිර කාර්ය මණ්ඩලයක් සිටින අතර,කොන්ත්‍රාත් හා අනියම් සේවකයින් පන්සියයක් පමණ සිටින බව වාර්තා වේ.

ආයතනය තුළ සේවක අතිරික්තයක් නොමැති නමුත්,ඇතැම් අංශවල දැඩි සේවක අතිරික්තයක් තිබෙන බවත් වාර්තා වෙයි .

ඊට අනුව ආයතනය තුළ කළමනාකරුවන් 300ක් පමණ සිටිය යුතු නමුත්,කළමනාකරුවන් හයසීයක් පමණ සිටින සිටින බව වාර්තා වේ.

සමාගම සතුව ගුවන් නියමුවන් 290 දෙනකු සිටිය යුතු වුවත් ,දැනට සිටින්නේ 268 දෙනකු පමණක් බව දැනගන්නට ඇත .පසුගිය අවුරුදු තුන තුළ නියමුවන් පනස් දෙදෙනකු ඉවත්ව ඇත.

ගුවන් සමාගම සතුව ගුවන් යානා 24 ක් තිබෙන අතර එම සියලුම යානා කල් බදු පදනම යටතේ ලබා ගත් ඒවා වේ.යානා හයක් පමණ අමතර කොටස් සහ එන්ජින් නොමැතිව සේවයෙන් ඉවත්කර ඇති අතර,පාවිච්චි කරන යානා ගණන 18 කි.

කල් බදු පදනම යටතේ ලබා ගන්නා යානයක් සඳහා දළ වශයෙන් මාසයකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 7ක් පමණ ගෙවීමට සිදුව ඇත.

අවුරුදු විසිතුනක් තිස්සේ පාවිච්චි කරන ලද යානා දෙකක් පසුගියදා නැවත භාර දෙනු ලැබූ අතර,එම එක් යානාවක් සඳහා මාසිකව ගෙවා ඇති මුදල අමෙරිකානු ඩොලර් පන්ලක්ෂ අසූපන් දහසක් පමණ වේ.

. ඉකුත් කොරෝනා සමයේ ගුවන් සමාගමේ සේවකයන් අඩු කිරීමට ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හදුන්වාදෙනු ලැබුවද විශ්‍රාම ගොස් ඇත්තේ අත්‍යවශ්‍යම සේවකයින් පිරිසක් පමණක් බවත්,ඉවත් කළ යුතු සේවකයින් ඉවත් වී නොමැති බවත් දැනගන්නට ඇත.

සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන බෙදා හැරීම අද අරඹයි

චීනයේ සිනොපෙක් සමාගම අද (15) සිට මෙරට ඉන්ධන ආනයනය හා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම  පවසයි.

රාජ්‍ය අමාතවරයා පැවසුවේ, අදාළ සමාගම මෙරට තුළ නව ඉන්ධන පිරවුම්හල් 50ක් ද ආරම්භ කිරීමට නියමිත බවයි.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ‘සිනොපෙක්’ සමාගම ඩොලර් මිලියන 100ක් ආයෝජනය කර ඇත.

ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ විකිණීම සම්බන්ධයෙන් එම සමාගම වෙත බලය පවරා තිබේ.

මෙම ගිවිසුම්ගත වීම ඉදිරි අවුරුදු 20කට බලපැවැත්වෙයි.

සිනොපෙක් සමාගම, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අතර පෙර ඇතිකරගත් ගිවිසුම අනුව ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචිය සහ ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (14) කොළඹදී සිදු කෙරුණි.

අතුරුදන් වූ විදේශීය කාන්තාවගේ මළසිරුර සොයාගැනීමට 11 පාබල සේනාංක භටපිරිස්හි සහයෝගය

මහනුවර, අම්පිටිය ප්‍රදේශයේ පිහිටි Kandy Backpackers Hostel ආයතනයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම හෝටලයේ නවාතැන් ගෙන සිටි ඩෙන්මාර්ක් ජාතික කාන්තාවක් පසුගිය බදාදා (12) දින අතුරුදන් වී ඇති අතර අලගල්ල කඳුකරයේ සංචාරයක නිරතව සිටියදී අනතුරට පත්ව සිටි කාන්තාවගේ මළ සිරුර සොයාගැනීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයට අයත් 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සමත්වූහ.

ඩෙන්මාර්ක් ජාතික කාර්බ් මන්ක් එබ්සෙන් (Karb Munk Ebssen) මෙනවිය පසුගිය බදාදා (12) දින පෙරවරු 10.00 ට පමණ අලගල්ල කඳු තරණය කිරීමට ගොස් එදිනම සන්ධ්‍යාවේ ආපසු පැමිණෙන බවට එම හෝටල් බලධාරින් වෙත දැනුවත් කර පිටව ගිය නමුත් එදින නැවත හෝටලය වෙත නොපැමිණ ඇත.

මේ පිළිබඳ හෝටල් බලධාරින් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (13) දින පස්වරු 03.00 ට පමණ මහනුවර සංචාරක පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර ඇති අතර එම පොලිස් ස්ථානයේ නිලධාරින් අතුරුදන් වූ කාන්තාව සෙවීමේ කටයුතු සඳහා 11 පාබල සේනාංකයේ භටපිරිස්හි සහයෝගය ඉල්ලා සිටිනු ලැබීය.

අතුරුදන් වූ කාන්තාව සෙවීමේ මෙහෙයුම්වල නිරත වූ භටපිරිස් අද (14) දින උදෑසන එම කන්ද තරණය සඳහා කඳුවැටිය පාමුල පිහිටි සංචාරකයින් අතර ජනප්‍රිය මෙන්ම ප්‍රසිද්ධ ස්ථානයක් අසල තිබියදී ජීවිතක්‍ෂයට පත් කාන්තාවගේ මළසිරුර සොයාගනු ලැබීය.

ඉදිරි පරීක්‍ෂණ සඳහා මෘත ශරීරය පොලිස් ස්ථානයට සහ රෝහල වෙත රැගෙන යාමට භටපිරිස් සහ පොලිස් නිලධාරින් මේ වනවිට කටයුතු කරමින් සිටියි.

WhatsApp Image 2023 07 14 at 8.53.29 PM

WhatsApp Image 2023 07 14 at 8.53.30 PM

 

WhatsApp Image 2023 07 14 at 8.53.32 PM

WhatsApp Image 2023 07 14 at 8.53.31 PM

WhatsApp Image 2023 07 14 at 8.53.31 PM

මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍යයි - ජනපති

මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලු සම්බන්ධව පැවති සාකච්ඡාවේදී ය.

ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යංශය සහතික විය යුතු බව ද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි මගින් දිනපතා සෑම රෝහලක් සතු ඖෂධ ගණන සහ දිනකට ලබාගත හැකි මුළු ඖෂධ ගණන පිළිබඳ දත්ත ලබා දිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

මෙම ජාලගත ක්‍රියාවලිය මගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීමට ද අවස්ථාව හිමි වන බව එහිදී සඳහන් වී තිබේ.

හෙද හෙදියන් බඳවා ගැනීමේදී කලා විෂය ධාරාව හැදෑරු සිසුන් ද හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකි වන ලෙස රෙගුලාසි සංශෝධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 63 කරයි

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 තෙක් දීර්ඝ කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මත පදනම්ව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.

2024 වර්ෂය අවසානය දක්වා මෙම තීරණය බලාත්මක බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

විශේෂ අවස්ථාවන්හිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවය අනුව ඒ සම්බන්ධව වැඩිදුර තීරණ ගත යුතු බවද ජනාධිපතිවරයා දුන් උපදෙස්වල සඳහන්ය.

ගානියා බැනිස්ටර්ට අත්හිටවූ සිර දඬුවමක්

ඉදිරි නීතිමය කටයුතු සඳහා භාවිත කිරීමේ අරමුණින් CIDයට අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට වරද පිළිගත් කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට අද (14) තීන්දුව ලබාදී තිබුණි.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ  නියෝග කළේ, රුපියල් 5,000ක දඩයක් සහ බරපතළ වැඩසහිත වසර 02ක සිරදඬුවම් නියම කර එම සිරදඬුවම ක්‍රියාත්මක කිරීම වසර 05කට අත්හිටුවීමට නියෝග කරන බවය.

එමෙන්ම රුපියල් ලක්ෂ 20 වන්දියක් ගෙවීමට ද ඇයට නියෝග කළ විනිසුරුවරයා, එකී වන්දි හා දඩ ගෙවීමෙන් අනතුරුව සිය අධිකරණය විසින් පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට ආගමන විගමන පාලකවරයා වෙත නියෝග නිකුත් කරන ලෙසද දැනුම් දුනි.

ඒ අනුව අධිකරණය භාරයේ තිබෙන ඇයගේ විදේශ ගමන් බලපත්‍රය යළි ඇයට භාරදෙන ලෙසට ද විනිසුරුවරයා නියෝග කරනු ලැබීය.

2020 වසරේදී නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව පවරා තිබූ නඩුව පූර්ව නඩු විභාගයෙන් අනතුරුව විත්තිය ඉදිරිපත් කළ එක් මූලික විරෝධතාවයක් පිළිගත් විනිසුරුවරයා අධිචෝදනා පත්‍රය සංශෝධනය කරන ලෙසට දැනුම්දී තිබුණි.

ඒ අනුව අද දින සංශෝධිත අධිචෝදනා පත්‍රය අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

2019 වසරේ නොවැම්බර් මස 25 වන දා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසළදී ආයුධ සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ප්‍රශ්න කොට ලිංගික හිරිහැර කළ බවට අසත්‍ය පැමිණිල්ලක් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

කිරිපිටි රේගු බදු ඉහළට !

ආනයනික කිරිපිටි සඳහා වන රේගු බද්ද කිලෝග්‍රෑම් එකකට රුපියල් 100 ක් ලෙස සංශෝධනය කර ඇත.

මුදල් අමාත්‍යංශය සඳහන් කර සිටින්නේ එම බද්ද අද (12) සිට ක්‍රියාත්මක වන බවය.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකකට සියයට 20 ක හෝ රුපියල් 225 ක රේගු බද්දක් මීට පෙර ක්‍රියාත්මක වූ බවත් කිරිපිටි ආනයනික බද්ද මෙසේ ඉහළ දැමූව ද කිරිපිටි මිල ඉහළ නොදමන බවත් කිරිපිටි සමාගම් පවසයි.

රාජ්‍ය නව ආදායම් උත්පාදන යෝජනා ඇතුළත් වාර්තාව ජනාධිපතිට !

රට ගොඩනැඟීමට නම් මූල්‍ය විනයක් අත්‍යාවශ්‍ය බවත්, රාජ්‍ය වියදම් පාලනයට මෙන්ම රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද කඩිනමින් හඳුන්වා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

රජය වැය කරන සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබාගත යුතු නමුත් බොහෝ විට එය රාජ්‍ය වියදම් ක්‍රියාවලිය තුළ සිදු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රාජ්‍ය ආදායම් අමතක කිරීම පමණක් නොව කිසිදු ප්‍රතිලාභයක් නොමැති කටයුතු සඳහා රාජ්‍ය මුදල් සීමාවකින් තොරව වැය කිරීම ද මෙරට ආර්ථික අර්බුදයට හේතු වූ බව කියා සිටියේය.

එසේම පසුගිය වසර දෙක, තුන තුළ මේ පිළිබඳ පාර්ලිමේන්තුව තුළ සංවාදයක් සිදු නොවිම අද රටේ මතුව ඇති මූල්‍ය ගැටලුවලට ප්‍රධාන හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ආදායම් බදු මෙන්ම රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීමට මේ වන විට පාර්ලිමේන්තුව තුළ කමිටු ගණාවක් පත් කර තිබෙන බව කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ රාජ්‍ය නව ආදායම් මාර්ග උත්පාදනය සඳහා උපාය මාර්ග සෙවීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී භාරදුන් අවස්ථාවේ දීය.

වාර්තාව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා විධිමත් පරිසරයක් නිර්මාණය කිරීම, රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා නව ක්‍රමවේද හඳුන්වා දීම සහ ඒ සඳහා ඩිජිටල් ආර්ථික පසුබිමක් සකස් කිරීමට අදාළ යෝජනා මෙම වාර්තාවට ඇතුළත්ය.

මෙම යෝජනා තවදුරටත් සාකච්ඡාවට බඳුන්කර ක්‍රම සහ විදි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය අමාත්‍යවරයා වෙත උපදෙස් දුන්නේය.

එසේම මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී උපරිමයෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම පෙනවා දුන් ජනාධිපතිවරයා පුළුල් මාධ්‍ය ප්‍රචාරණයක් මගින් මේ පිළිබඳ ජනතාව විධිමත් ලෙස දැනුවත් කිරීමේ අවශ්‍යතාවය ද පැහැදිලි කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේද පැවසීය.

අද තිබෙන ආර්ථික අර්බුදයේ දී අපට තිබෙන ප්‍රධාන චෝදනාවක් තමයි බදු ආදායම නිසියාකාරයට එකතු කර නොගැනීම. ආදායම් බදු ගෙවිය යුතු ඇතැම් පාර්ශ්ව ආදායම් බදු ගෙවන්නේ නැහැ. ඒ වගේම රේගුවේ සිදුවන ප්‍රමාදයන් නිසා සම්පුර්ණ බදු ආදායම රජයට නොලැබීම පිළිබඳ වාර්තා වී තිබෙනවා. ඒ වගේම සුරාබදු පිළිබඳවත් එම චෝදනාව තිබෙනවා.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අප උත්සාහ කරන මෙම අවස්ථාවේ රට තුළ පූර්ණ මුල්‍ය විනයක් ඇති කළ යුතුව තිබෙනවා. එහි පළමු කාරණය තමයි රජයේ වියදම් පාලනය කිරීම. ඒ පිළිබඳ දැනට වැඩකටයුතු කරගෙන යනවා. දෙවනුව රජය වියදම් කරන සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබා ගතයුතුයි. බොහෝ දුරට එය රාජ්‍ය වියදම් තුළ සිදු වන්නේ නැහැ. ඒ නිසා මේ පිළිබඳ පාර්ලිමේන්තුව තුළත් අවධානය යොමු විය යුතුයි. තෙවනුව රාජ්‍ය ආදායම් අප ඉහළ නංවාගත යුතුයි. රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ මූලිකත්වයෙන් මෙම කමිටුව පත්කර, වගකීම භාර දුන්නේ ඒ සඳහායි. අද මෙම වාර්තාව සකස් කර භාරදුන් හා ඊට සම්බන්ධ වූ සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා.

අපි ආදායම් බදු ඉහළ නංවා ගත හැකි නව ක්‍රමවේද සොයා බැලිය යුතුයි. ඒ පිළිබඳ මෙම වාර්තාවේ කරුණු රැසක් යෝජනා කර තිබෙනවා. විශේෂයෙන්ම අප පාර්ලිමේන්තුව තුළත් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. මේ රටේ ආර්ථික අර්බුදය ඇතිවිමට ප්‍රධාන හේතුවක් වූයේ පසුගිය වසර දෙක තුන තුළ පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳ සාකච්ඡා නොකිරීම වගේම ඇතැම් අවස්ථාවල පාර්ලිමේන්තුව තුළත් මේ පිළිබඳ උනන්දුවක් නොදැක්වීම කියලා කියන්න පුළුවන්. එහෙත් දැන් අප ආදායම් බදු සහ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ සොයන්න කමිටු ගණනාවක් පත් කර තිබෙනවා. එම කටයුතුවලදී අප මෙම අලුත් ක්‍රමවේද සොයා බැලිය යුතුයි.

ඒ වගේම මෙම කටයුතුවලදි ඩිජිටල්කරණය ඉතා වැදගත් වෙනවා. යම් අයෙකු ඊට අකමැති නම් ඔවුන් එම අංශවලින් ඉවත් විය යුතුයි. මොකද ඩිජිටලකරණයට කාලසීමාවක් ලබාදෙමින් ඒ අනුව ක්‍රියාත්මක විමට මම අපේක්ෂා කරනවා. එහි අඩු පාඩු සිදු වුවහොත් ඊට අදාළ පියවර ගැනිමට සිදු වෙනවා.

විශේෂයෙන්ම අප මෙම ආදායම් උත්පාදන ක්‍රමවේදය ලබාගත්තේ එක්සත් රාජධානියෙන්. අද එම ක්‍රමවේද බොහෝ දුරට දියුණු කර තිබෙනවා. ඒ නිසා අලුත්ම ක්‍රමවේදය දෙස බලා අපට අවශ්‍ය ක්‍රමවේදය සකස් කළයුතුයි. විගණන පනත තුළත් ඒ සඳහා නව නීති සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා.

මේ පිළිබඳ කැමරන් අග්‍රාමාත්‍යවරයා යටතේ කටයුතු කළ අමාත්‍යවරයා තමයි ෆ්‍රැන්සිස් මෝඩ්. මෙම අංශයේ ප්‍රතිසංස්කණය පිළිබඳ අදහස් ලබා ගැනීමට අපි එතුමාටත් ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයන් මේ රටට පැමිණිමෙන් පසු වැඩි අවධානයක් යොමු කළේ ආදායම් එකතු කිරීම පිළිබඳවයි. ඒ සඳහා ආදායම් නිලධාරින‍් සිටියා. මුළු පළාතම එක ඒජන්තවරයෙකු යටතේ පාලනය වන විට ආදායම් නිලධාරින් සහ දේශීය නිලධාරීන් වූ මුදලිවරුන්, රටේ මහත්වරුන් ආදායම් එකතු කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළා. ඒ නිසා කිසිදු අවස්ථාවක ආදායම් අඩු වුණේ නැහැ. තේ, පොල්, රබර් කර්මාන්ත දියුණුවීමත් සමඟ ආදායම් ඉහළ ගියා. නමුත් 70 දශකයේ සිට ආදායම් අමතක කර කටයුතු කළා. රටේ පරිපාලන අංශයෙන් ආදායම් උත්පාදනය ඉවත් කර තිබෙනවා. ආදායම් අමතක කළා පමණක් නොව, රාජ්‍ය මුදල් සීමාවකින් තොරව වියදම් කර තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,

ජනතාවට බරක් නොවන පරිදි පවතින ආදායම් මාර්ග විධිමත් කිරීම හා නව ආදායම් මාර්ග හඳුන්වා දෙමින් කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන යෝජනා ඇතුළත් කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම වාර්තාව සකස් කර තිබෙනවා.

රාජ්‍ය ආදායම් පිළිබඳ අභියෝගය තුළ අප විශාල අත්දැකීම් ප්‍රමාණයකට මුහුණ දී දැන් ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම අනුව යම් ස්ථාවරත්වයකට පැමිණ සිටින බව කිව යුතුයි. ඒ වගේම දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව අපේ රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීම සඳහා තවත් ළගාකරග යුතු ඉලක්ක රාශියක් තිබෙනවා.

නව බදු හඳුන්වාදීම්, බදු ප්‍රතිශත ඉහළ නැංවීම යන සීමාවන්වල අප උපරිමයට ළගා වී තිබෙනවා. ඒ නිසා අපට දැන් අවධානය යොමු කිරීමට සිදුව තිබෙන්නේ බදු පදනම පුළුල් කර ගැනීම සහ බදු දැලේ තිබෙන සිදුරු අවම කිරීම යන කරුණු පිළිබඳවයි.

ඒ වගේම තරගකාරිත්වය සහ විනිවිදභාවයෙන් රජයේ ආදායම් ඉහළ නංවා ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. මේ පිළිබඳ අප සෑම පාර්ශ්වයක් සමගම දිගින් දිගටම සාකච්ඡා කරනවා. බොහෝ කාලයක් ආන්දෝළනයට ලක්ව තිබූ කරුණු යම් සාධාරණ තැනකට ගෙන ඒමට මෙම සාකච්ඡා ඉවහල් වුණා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ආර්.එම්. පී. රත්නායක  ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20230713 WA0006

IMG 20230713 WA0007

කඩිනම් ඩිජිටල්කරණයට යාමේ වැඩසටහන ඔක්තෝබරයේ ඇරඹේ !

ශ්‍රී ලංකාව කඩිනම් ඩිජිටල්කරණයට රැගෙන යෑමේ අරමුණින් DIGIECON 2030 වැඩසටහන එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්  පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන රටේ තාක්ෂණික හුවමාරුව, ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රමිතීන් භාවිතයට ගැනීම ඇතුළු අංශ කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කෘත්‍රීම බුද්ධි පනත ගෙන ඒම, විශ්වවිද්‍යාලයෙන් පිටවන කලා උපාධිධාරීන් සඳහා ඔවුන්ගේ කැමත්ත මත සය මාසික තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් හඳුන්වාදීම මෙන්ම මෙරට සෑම පුරවැසියකුටම නව ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීමට ද ඉදිරියේදී කටයුතු කරන බව කනක හේරත්  සඳහන් කළේය.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (13) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත කෘත්‍රීම බුද්ධි පනත ගෙන ඒමට කටයුතු කරනවා. රටේ ඩිජිටල් ආර්ථික නියාමන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ වැඩසටහනක් ද අප අරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකාව කඩිනමින් ඩිජිටල්කරණයකට ගෙන යෑම සඳහා මෙම ඔක්තෝබර් මස මැද සිට නොවැම්බර් මාසයේ මැද දක්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් DIGIECON SRI LANKA 2023 – 2030 වැඩසටහන දියත් කෙරෙනවා. ලෝක බැංකුවේ තාක්ෂණික සහයෝගය ඇතිව මෙය ක්‍රියාත්මක වෙනවා. මෙම වැඩසටහන ප්‍රදර්ශන, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ඇතුළු අංග ගණනාවකින් සමන්විතයි.

එමගින් ඩිජිටල්කරණය අපනයන කේෂ්ත්‍රයට ද හඳුන්වාදීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙහිදී මූලික වශයෙන්ම රටේ තාක්ෂණ හුවමාරුව, ජාත්‍යන්තර තාක්ෂණ ප්‍රමිතීන් භාවිතයට ගැනීමට බලාපොරොත්තු වෙනවා. තාක්ෂණික වෘත්තිකයන්ට ඩිජිටල් NOMAD වීසා වැඩසටහන ආරම්භ කිරීම, විද්‍යුත් ගෙවීම් ක්‍රියාත්මක කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම DIGIECON – 2023 හි ප්‍රධාන අරමුණු අතර වෙනවා.

ඒ වගේම තොරතුරු තාක්ෂණය, කර්මාන්ත අංශය, අධ්‍යාපන හා පර්යේෂණ අංශ පිළිබඳව ද එහිදී අවධානය යොමු කර තිබෙනවා. රටට ආයෝජන අවස්ථා මෙන්ම තාක්ෂණය හඳුන්වාදීම ද ගෝලීය වැඩසටහනක් වශයෙන් සිදු කෙරෙනවා. මේ සඳහා අදාළ කේෂ්ත්‍රවල කටයුතු කරන ප්‍රවීණයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට ද නියමිතයි.

මීට අමතරව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යටතේ මේ වසර තුළ පාසල් 1000ක් සඳහා ෆයිබර් තාක්ෂණය ලබාදීමට කටයුතු කරනවා. දැනටමත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එම පාසල් දහස හඳුනාගෙන තිබෙනවා. එහි කේෂ්ත්‍ර පරීක්ෂණ ද ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ගමට සන්නිවේදනය වැඩසටහන යටතේ වසර 1½ ක් ඇතුළත සන්නිවේදන තාක්ෂණ පහසුකම මුළු දිවයිනටම ලබාදීමට පියවර ගන්නවා.

එසේම මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමට නව ඩිජිටල් හැඳුනුම්පතක් හදුන්වාදීමට ද නියමිතයි. මෙයට අදාළ අවබෝධතා ගිවිසුම ඉන්දු - ශ්‍රී ලංකා ව්‍යාපෘතියක් වශයෙන් 2022 වසරේ මැයි මස 28 වැනිදා අත්සන් කරනු ලැබුවා. පළමු අදියර වශයෙන් මෘදුකාංග සංවර්ධනය කිරීමට ඉන්දියානු රුපියල් මිලියන 300ක් ලබා දී තිබෙනවා. මෙරට සන්නිවේදන තාක්ෂණික ආයතන මගින් මෙම වැඩසටහන පූර්ණ අධීක්ෂණයට ලක් කෙරෙනවා. තොරතුරු තාක්ෂණ පද්ධතිය මෙරට ස්ථාපිත කිරීම මෙන්ම ඩිජිටල්කරණයේදී හැඳුනුම්පත ද ඉතා වැදගත් වන බව කිවයුතුයි.

මෙම වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු ඉපදෙන සෑම දරුවකුටම අනන්‍යතා අංකයක් ලැබෙනවා. ඒ වගේම අවුරුදු 15ක් වන විට හැඳුනුම්පත ලබා ගැනීමට හැකියාව පවතිනවා. මෙම හැඳුනුම්පත සකස් කරන්නේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලවයි.

අවුරුදු දෙකක් ඇතුළත මෙරට සෑම පුරවැසියකුගෙන්ම ඊට අදාළ දත්ත ලබා ගැනීමට කටයුතු කරනවා. මේ තුළින් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවාවක් ලබා ගැනීමට යෑමේදී ලිපිගොනු රැගෙන යෑමට අවශ්‍ය වෙන්නේ නැහැ. තම අනන්‍යතා අංකය ඔස්සේ අදාළ සේවා ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම කිසිවකුටත් අනවසරයෙන් දත්ත වෙනස් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

එසේම විද්‍යුත් ගෙවීම් සම්බන්ධයෙන් ද දීර්ඝ කාලයක් තිස්සේ නොයෙක් ආකාරයෙන් ව්‍යාපෘති සිදුවෙමින් තිබෙනවා. රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනවල ද දැනටමත් විද්‍යුත් ගෙවීම් ක්‍රමය ක්‍රියාත්මකයි. විශේෂයෙන්ම ලබන වසරේ මාර්තු මාසය වන විට සියලුම රාජ්‍ය ආයතනවල විද්‍යුත් ගෙවීම් ක්‍රමය සකස් කර අවසන් කිරීම අපේ බලාපොරොත්තුවයි. දැනටමත් මුදල් අමාත්‍යාංශය යටතේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

මේ වසර අවසන් කාර්තුවේදී රාජ්‍ය ආයතන කිහිපයක නියමු වැඩසටහන් සහ පුහුණු අවස්ථා ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. අක්‍රමිකතා, දූෂණ නතර කිරීමට මේ තුළින් අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම මෙරට විශ්වවිද්‍යාලවලින් පිටවන්නේ බහුතරයක් කලා උපාධිධාරීන්. ඔවුන් සඳහා වෘත්තීය අභිමුඛ සය මාසික පාඨමාලාවක් හැදැරීමට අවස්ථාව සලසා දීමට රජය කටයුතු කරනවා. නමුත් එය සිදු කරන්නේ එම කලා උපාධිධාරීන්ගේ කැමැත්ත අනුවයි.

ඉදිරියේදී සයිබර් අපරාධ වළක්වා ගැනීමේ අරමුණින් සයිබර් ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද කටයුතු කරනවා. දැනටමත් එහි පූර්ව කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඒ වගේම 2022 වර්ෂයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් දත්ත ආරක්ෂණ පනත මගින් ස්ථාපිත කිරීමට යෝජිත “අධිකාරිය” මේ වසරේදී ස්ථාපිත කිරීමට ද රජයේ අවධානය යොමු වී තිබෙනවා.

ව්‍යවසායක කාන්තාවන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරීම හා ඔවුන්ගේ සේවා අවශ්‍යතාව වෙනුවෙන් “සුහුරු ලිය” වැඩසටහන යටතේ මේ වන විටත් කාන්තාවන් 17,000කට ව්‍යවසායක පුහුණුව ලබා දීමට ද රජය පියවර ගෙන තිබෙනවා.

කෘත්‍රීම බුද්ධිය සමග ගැටෙන්නට සුදානම් වෙමු - අධ්‍යාපන ඇමති

ඉතා කෙටි කාල සීමාවක් තුළ වේගයෙන් දැනුම දෙගුණ වන ලෝකයක කෘත්‍රීම බුද්ධිය සමග ගැටෙන්නට සිදු වන අනාගත වෘත්තීය ජීවිතය ජය ගන්නට නම් අප මේ අවස්ථාවේ සිට ම හිඟ මානව සම්පත මනා ව කළමනාකරණය කරගනිමින් ප්‍රශස්ථ සේවයක් ලබාගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසිය.

වෘත්තීය නිපුණත්වය වැඩිදියුණු වන්නේ කල් ඉකුත් වූ දැනුමෙන් නොව යාවත්කාලින කරගත් තාක්ෂණය පදනම් වූ නව දැනුමෙන් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරු දැනු‍වත් කිරීමේ වැඩසටහනට එක් වෙමිණි.

ඉදිරියේ දී නඩුකටයුතු පිළිබඳ සමථකරණයකට එළඹීමෙන් පසු පෙර පැවැත්වීමට නියමිත ව තිබූ උපාධිධාරී ගුරු විභාගය නියමිත පරිදි පවත්වා ප්‍රතිඵල අනුව අනතුරුව එම උපාධිධාරීන් පළාත් මගින් පවත්වන සම්මුඛ පරීක්ෂණ අනුව ගුරුවරුන් වශයෙන් බඳවාගත් පසු මෙම ගුරු හිඟය බොහෝදුරට මගහැරී යනු ඇති බව ද ඉන්පසු ගුරුතුලනය යථාවත් වී පාසල් පද්ධතියේ කළමනාකරණ ව්‍යුහය ද ශක්තිමත් වීම නිසා එහි පරිපාලන කටයුතු පහසු වනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

''අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෑම සේවාවකම වැටුප් විෂමතා ඉවත් කිරීමට නුදුරේදිම පියවර ගන්නවා''

එමගින් පාසල් කළමනාකරණයට අවශ්‍ය මානව සම්පත ද ප්‍රමාණවත් පරිදි ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළ අමාත්‍යවරයා, ඊළඟ මාස දෙක ඇතුළත අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෑම සේවාවක ම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ගැඹුරු මට්ටමින් සාකච්ඡා පවත්වන අතර මේ වන විටත් අදාළ වෘත්තීය සංගම් සමග ඉතා සුහද මට්ටමින් කටයුතු සිදු කෙරීගෙන යන බව ද සඳහන් කළේ ය.

තවද ‘ළඟ ම පාසල හොඳ ම පාසල‘ වැනි සංකල්ප ඉදිරියට ගෙනවිත් පාසල්වලට අවශ්‍ය භෞතික පහසුකම් වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

lsk

භාණ්ඩාගාර බිල්පත් පොළිය ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 160,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ඊයේ (12) කැඳවා ඇති අතර එම භාණ්ඩාගාර බිල්පත් සඳහා රුපියල් මිලියන 194,890 ක ලංසු ඉදිරිපත් වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එහිදී රුපියල් මිලියන 99,660 ක ලංසු පමණක් පිලිගත් බව කී මහ බැංකුව දින 91 ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 17.79 සිට 19.08 ක් දක්වාත්, දින 182 ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 15.93 සිට 16.95 ක් දක්වාත් සහ දින 364 ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 13.86 සිට 14.04 ක් දක්වාත් ඉහළ ගොස් ඇති බවත් මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කළේය.

බදු පොල්ලේ තරම මහින්දානන්ද හෙළිකරයි !

මෙරට ආදායම් බදු පෞද්ගලිකව ගෙවීම සඳහා ලියාපදිංචිවී සිටින පුද්ගලයන් ලක්ෂ පහෙන් ආදායම් බදු ගෙවන්නේ 31,000ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි .

මෙරට සීමිත සමාගම් 105,000ක් ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචිවී සිටින බවත් එම සමාගම්වල බදු ආදායමෙන් සියයට 82 ක් ‍ලැබෙනුයේ සමාගම් 382කින් බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවීමට ඇති හිග බදු මුදල වන රුපියල් කෝටි 90400 ක මුදල අයකර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත .

බදු ආදායම් අයකර ගැනීම ක්‍රමවත් කිරීම සඳහා දේශීය ආදායම් බදු පනත සංශෝධනය කිරීමට සහ බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීමට අධිකරණ අමාත්‍යවරයා සමග සාකච්ඡා කරගෙන යන බව සභාපතිවරයා එහිදී පෙන්වා දී ඇත .

මෙහිදී අදහස් දැක්වූ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ සිය දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කර ගැනීම සඳහා ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ලැබෙන සහයෝගය අගය කරන බවයි.

පසුගිය 2023 වර්ෂය සඳහා රජය ලබාදී ඇති බදු ආදායම් ඉලක්කය වන රුපියල් කෝටි ලක්ෂ 16ක මුදල මුල් මාස 6 තුළ සියයට 40 ක් ලෙස සහ ඉතිරි මාස හය තුළ සියයට 60ක් වශයෙන් ඉපයීමට අපේක්ෂිතවූ බවත් මුල් මාස 6ට අදාළ ඉලක්කය මේ වනවිට සපුරා ඇති බවත් කොමසාරිස්වරයා සඳහන් කළේය.

එයට අමතරව ඉතිරි මාස 6 දී අපේක්ෂිත බදු ආදායම් උපයා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසිය.

මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ බදු අදායම් ලැබීම නියාමනය කිරීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් ‍ස්ථාපිත කිරීම අවශ්‍ය බවයි‍.

එමෙන්ම ශ්‍රී ලංකා රේගු දෙපාර්ගමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුව යනාදී ආයතන එකිනෙකට සම්බන්ධ කරමින් ඩිජිටල් දත්ත පද්ධතියක් ඉතා ඉක්මනින් සකසා ගැනීමේ අවශ්‍යතාව මෙන්ම මෙරට පෞද්ගලික බදු ලිපිගොනු නැවත ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවද කමිටුවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරුන්වන විමලවීර දිසානායක, ඉරාන් වික්‍රමරත්න, සුදත් මංජුල, ගුණතිලක රාජපක්ෂ, ධම්මික පෙරේරා, උදයන කිරිඳිගොඩ, කරුණාදාස කොඩිතුවක්කු, මධුර විතානගේ, එම්. මුසාම්මිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.

හිමිනමක හා කාන්තාවන් දෙදෙනෙකු නිරුවත් කර පහරදුන් චණ්ඩින්ට ඇප නෑ !

නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් නමින් පවත්වාගෙන ගිය නිවසක් තුළදී හිමි නමක සහ කාන්තාවන් දෙදෙනෙකු නිරුවත් කර පහර දීම ඇතුළු චෝදනා නවයක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයන් අට දෙනා ලබන 26 වෙනි දක්වා නැවතත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර අද (12) දින නියෝග කළාය.

මෙකී සිදුවීමට අදාළ හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවති අතර එහිදී එම සැකකරුවන් අට දෙනා අතුරින් හත් දෙනෙකු හදුනා ගැනීමට සාක්ෂිකරුවන් දෙදෙනකු සමත්ව ඇති අතර එක් සාක්ෂිකාරියක කිසිවකු හදුනා ගැනීමට සමත්ව නැත.

මෙලෙස රිමාඩ් බන්ධනාගාර ගත කරන ලද්දේ කඩුවෙල ඉහල බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන රසික හේමන්ත , අජිත් රංගජීව , මද්දුමගේ විජේසේන, චමින්ද රුද්‍රිගු , ඉමාන් නිලුක්ෂ රුද්‍රිගු , නික්සන් අප්පුහාම් , රොහාන් උදයංක ද සිල්වා සහ දිලාන් සුරංග යන අය වේ.

මෙහිදී පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය වෙත කරැණු දක්වමින් පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් තවක් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට සිටින බවට පොලිසිය දැනුවත් කර ඇති බැවින් සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසයි.

සමෘද්ධියටත් වඩා මුදලක් අස්වැසුමට වෙන් කරලා !

සුබසාධක ප්‍රතිලාභ වෙනුවෙන් ඉකුත් වසරේදී රජය වැයකළ මුදල රුපියල් බිලියන 144ක් වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ආරම්භ කරන ලද "අස්වැසුම" වැඩසටහන සඳහා මෙවර රුපියල් බිලියන 206ක පමණ මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

මෙරට දිළිදු ජනතාව නඟා සිටුවීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ සිදු කළ සාකච්ඡාවලදි යෙදවීමට යෝජනා වූයේ රුපියල් බිලියන 187ක මුදලක් වුවත් රජය එම ප්‍රමාණය ඉක්මවා යමින් පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 62කට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ  මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (12) පැවති "ස්ථාවර රටකට සැවොම එක මගකට" ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

පූර්ණ විනිවිද භාවයකින් යුක්තව වඩාත් සුදුසුම පාර්ශ්වයන් වෙත අස්වැසුම සමාජ සුබසාධක වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බව සඳහන් කළ අමාත්‍යවරයා මේ වන විටත් ඊට සුදුසුමක් ලබා ඇති පාර්ශව සඳහා මෙම මාසය අවසන්වීමට පෙර ප්‍රතිලාභ ලබාදීමට පියවර ගෙන ඇති බව ද සඳහන් කළේය.

රජය ගෙන යන මෙම වැඩපිළිවෙළේ දී පවුල් ඒකක ලක්ෂ 20ක උපරිමයකට අස්වැසුම ප්‍රතිලාභ ප්‍රදානය කිරිම අපේක්ෂාව බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට පවුල් ඒකක ලක්ෂ 18කට අධික ප්‍රමාණයක් සමෘද්ධි සහනාධාරය ලැබුවද එයින් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අයදුම් කර තිබුණේ, පවුල් ඒකක 1,280,747ක් පමණක් බවත් එයින් පවුල් ඒකක 887,653ක් (70%) "අස්වැසුම" ප්‍රතිලාභින් වශයෙන් තෝරා ගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අස්වැසුම සමාජ සුබසාධක වැඩසටහන හරහා ප්‍රතිලාභ අපේක්ෂා කළ ජනතාවට ඒ වෙනුවෙන් අභියාචනා හා විරෝධතා ඉදිරිපත් කිරීමට ලබාදුන් කාලය ද මේ වන විට අවසන් වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අදාළ කාලය තුළ අභියාචනා 982,770ක් ලැබී ඇති නමුත් මේ වන විටත් ප්‍රසිද්ධ කර ඇති ප්‍රතිලාභ ලේඛනයේ නම් සඳහන් පවුල් ඒකක 650,000ක් ඒ අතර වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඔවුන් මෙසේ අභියාචනා ඉදිරිපත් කර ඇත්තේ වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් බව විමර්ශනවලදි අනාවරණය වී තිබෙන බවද පැවසීය.

එසේම අස්වැසුම වැඩසටහනෙහි ප්‍රතිලාභ ලේඛනයට අදාළ විරෝධතා 62,368ක් ලැබී ඇති ඇති බවද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

ආබාධිත, වකුගඩු රෝගී හෝ වැඩිහිටි ප්‍රතිලාභ ලබන පුද්ගලයන්ගේ සුබසාධනය සඳහා ද නව වැඩපිළිවෙළක් ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත අතර, එතෙක් එම පිරිසට දැනට ලබන ප්‍රතිලාභ අඛණ්ඩව ලබාදීමට රජය තීරණය කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

පටු දේශපාලන වුවමනා ඉටු කර ගැනීමට සහ ඇතැම් වෘත්තීය සමිති මැදිහත්ව විවිධ බලපෑම් කළ ද එම බලපෑම් මඟින් ප්‍රතිලාභ සඳහා සුදුස්සන් හෝ නුසුදුස්සන් තේරීමට නො හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

මුදල් අමාත්‍යාංශය විසින් සමාජ සුබසාධක වැඩසටහන ඍජුම ක්‍රියාත්මක කරන අතර, ජනතාව දිළිදුබවින් මුදා ගැනීමේ කටයුත්ත සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරමින් සිටින බව ද පැවසූ අමාත්‍යවරයා දැනට සමෘද්ධි වැඩසටහන යටතේ ඇති අරමුදල් එම ව්‍යාපෘති සඳහා සුරක්ෂිතව යෙදවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව ද පැවසීය.

ස්වීඩනයේ දී ශුද්ධ වූ කුරාණය ගිනි තැබීමේ සිදුවීම ජනපති හෙළා දකී !

ස්වීඩනයේ දී ශුද්ධ වූ කුරාණය ගිනි තැබිමේ සිදුවීම තමා දැඩි ලෙස හෙළා දකින බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැළඹීම් ඇති වීමට ඉඩ නොදෙන ලෙසත් බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ රත්නපුර නව අධිකරණ සංකිර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (11) පස්වරුවේ එක්වෙමිනි.

රත්නපුර දිස්ත්‍රික් ජනතාවට එකම ගොඩනැඟිල්ලක් තුළ අධිකරණ කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමේ අවස්ථාව සලසාදීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාව සිටියදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මෙම අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් 2018 සැප්තැම්බර් 10 වනදා ආරම්භ කෙරිණි.

පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ මෙම නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීම් ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය නොවන වියදම් සීමා කරමින් කාලීන අංගයන් පමණක් ඇතුළත්වන සේ ඉදිකිරීම් අවසන් කර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 1500කි.

මහල් 4කින් සමන්විත මෙම ගොඩනැගිලි සංකීර්ණය මහාධිකරණ දෙකක්, සිවිල් අභියාචනා මහාධිකරණයක්, දිසා අධිකරණ දෙකක්, මහේස්ත්‍රාත් අධිකරණ දෙකක්, නීති ආධාර මධ්‍යස්ථානයක් හා ප්‍රජා විශෝධන කාර්යාලයක් ඇතුළු අධිකරණ සංකීර්ණයක් සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතය.

සමරු ඵලකය නිරාවණය කර අධිකරණ සංකීර්ණය විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අතින් සිදු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේ ද පැවසීය.

මෙම උත්සවය ආරම්භ කරමින් මාව හඳුන්වාදෙන අවස්ථාවේදී ප්‍රකාශ කළා මම අග්‍රාමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයේ දී මෙම අධිකරණ සංකීර්ණය ඉදිකිරීම පිළිබද යෝජනාව සම්මත කළා කියලා. අද මෙහි පැමිණි විට ඉතා අලංකාරවත් අධිකරණ සංකීර්ණයක් දක්නට තිබෙනවා. ඒ වගේම අද මෙහි පැමිණෙන විට මට සිහිපත් වුණේ 1977 මම මෙම ප්‍රදේශයට පැමිණෙන විට මෙවැනි දියුණු මාර්ග පද්ධතියක් නොතිබු බවයි. පසුව නන්ද මැතිව් අමාත්‍යවරයා සහ කුලරත්න මැතිතුමා මෙම මාර්ග ඉදිකර ප්‍රදේශය දියුණු කළා.

අද මෙම ගොඩනැඟිලි සංකීර්ණය දෙස බැලු විට පෙනී යන්නේ නීතියේ ආධිපත්‍යයට සරිලන අන්දමේ ගොඩනැඟිල්ලක් මෙහි තිබෙන බවයි. රට තුළ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම වෙනුවෙන් අප මේ වන විට කැපවී කටයුතු කරනවා.

අපේ රටේ ව්‍යවස්ථාවට අනුව ජනතා පරමාධිපත්‍ය සහ නීතියේ ආධිපත්‍යය අත්වැල් බැඳගෙනයි ඉදිරියට යන්නේ. කිසිසේත් එයින් බැහැර වීමට නොහැකියි. එසේ නම් සියලුදෙනා ඊට සහාය ලබාදිය යුතුයි. අගවිනිසුරුතුමා ප්‍රකාශ කළ පරිදි අපට තිබෙන්නේ වසර 200කට වඩා පැරණි අධිකරණ ක්‍රමයක්. එසේ බලන විට ආසියාවේ පැරණිතම නීති පද්ධතිය තිබෙන්නේ ලංකාවේ.

අද මෙම ගොඩනැඟිලි සංකිරණය නිසා මේ සියලුදෙනාට විශාල පහසුවක් ලැබෙනවා. ඒ වගේම අපේ අධිකරණ අමාත්‍යවරයාත්, අගවිනිසුරුතුමා සඳහන් කළ පරිදි නීතියේ ප්‍රමාදය අද විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා. අප ඒ සඳහා කඩිනම් විසඳුම් සෙවිය යුතුයි. රටක් ඉදිරියට යාමට නම් නීතියේ ප්‍රමාදයක් සිදුවිය නොහැකියි.

සාමාන්‍ය ජනතාව පමණක් නොවෙයි ආයෝජකයින් පවා අද අපට නීතිමය කටයුතු ප්‍රමාදවීම පිළිබඳ විවිධ ගැටලු ඉදිරිපත් කරනවා. මම මේ පිළිබඳ දීර්ඝ ලෙස කතා කරන්නේ නැහැ. අප නුවරඑළියේ පැවැත්වූ නීතිඥ සම්මේලනයේදී මේ පිළිබඳ විසඳුම් ගණනාවක් ඉදිරිපත් කළා.

අගවිනිසුරුතුමා සමඟ සාකච්ඡා කර ආණ්ඩුව වෙනුවෙන් අදාළ ඇමතිවරුත්, අගවිනිසුරුතුමා ඇතුළු අභියාචනාධිකරණයේ සභාපතිතුමා ඇතුළු විනිශ්චයකාරතුමන්ලා වගේම මහාධිකරණ, දිසාධිකරණ මහේස්ත්‍රාත් අධිකරණ නියෝජනය කරමින්, ඒ වගේම ආණ්ඩු පක්ෂය, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් වගේම නිතිඥ සංගමයේ නියෝජිතයන් සමඟ එකට එක්වී මෙම ගැටලුව සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙය දීර්ඝකාලීන ගැටලුවක්. එම නිසා එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායමට චෝදනා කරමින් සිට මෙම ගැටලුව විසඳීමට හැකියාවක් නැහැ.

ඒ වගේම අපේ නීති ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ඇතැම් නීති අධිකරණය තරම්ම පැරණියි. පොලිස් ආඥා පනත දැන් වසර 175ක් තිස්සේ කිසිදු වෙනස්කමකට ලක් වෙලා නැහැ. විශේෂයෙන්ම අපේ අධිකරණ ඇමතිතුමා මේ ගැන විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා. ඉස්සර නීතියක් සම්මත කර ගන්නේ මාස 06කට පමණ වරක්. නමුත් දැන් නිතර නව නීති ගෙන එනවා. මම හිතන්නේ මෙම වසර අවසන් වන විට මෙම නීති සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට සති දෙකක් නොවෙයි සති 03ක්වත් රැස්වීමට සිදු වනු ඇතියි.

අද මෙම උත්සවයේ කටයුතු ආරම්භ කළේ ආගමානුකූලවයි. මින් පිළිඹිබු වන්නේ අපේ රටේ තිබෙන ආගමික ලැදියාව පමණක් නොවෙයි. මූලික අයතිවාසිකමක් ලෙස ආගමික නිදහස ආරක්ෂා වන බවත් එයින් පිළිඹිඹු වෙනවා.

ආගම් ඇදහීමේ අයිතිය පිළිබඳ සමස්ත සංකල්පය දැන් අභියෝගයට ලක්ව තිබෙන අතර මානව හිමිකම් කවුන්සිලය එළැඹෙන බ්‍රහස්පතින්දා වන විට ඒ පිළිබඳ තීරණයක් ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

පසුගිය මාසයේ අග භාගයේ දී සල්වාන් මොමිකා (Salwan Momika) නමැත්තෙකු ස්වීඩනයේ තුර්කි තානාපති කාර්යාලය ඉදිරිපිටදී කුරාණය පුළුස්සා දැමීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා. පොලිසිය ඊට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කළත්, එය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් බව ශ්‍රේෂ්ඨාධිකරණ පරිපාලන උසාවිය සඳහන් කර තිබෙනවා.

මෙහිදී පොලිසිය ක්‍රියා කළේ ආගම් ඇදහීමේ අයිතිය මතයි. එය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා. ශුද්ධ වූ කුරාණයට ගිනි තැබීමෙන් පසු එම ප්‍රදේශය තුළ විශාල කළබලයක් ඇති වුණා. ස්වීඩනයට සියලු රටවලින් බලපෑම් එල්ල වුණා.

සියලුදෙනා එය හෙළා දුටුවා. ඊශ්‍රායලය පවා සඳහන් කළේ මෙය සිදු නොකළ යුත්තක් බවයි. මෙය ඒබ්‍රහම්ගේ දෙවියන් පිළිබඳ ශුද්ධ වු ග්‍රන්ථයක් වන අතර එයට අගෞරව නොකළ යුතු බව එහිදී සඳහන් කෙරුණා.

ස්වීඩනය ද සඳහන් කරන්නේ ශුද්ධ වූ කුරාණය ගිනි තැබීම පිළිකුල් සහගත සහ අගෞරවනීය ක්‍රියාවක් සහ උසි ගැන්වීමක් බවයි. නමුත් ඔවුන් පසුව කියා සිටියේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ රැස්වීම් පැවැත්වීමේ අයිතිය ව්‍යවස්ථාපිතවම ආරක්ෂා කළ යුතු බවයි.

මෙම ප්‍රතිචාරය හමුවේ ඇතැම් බටහිර ආණ්ඩු සඳහන් කළේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මෙය බවයි. මෙලෙස ඔවුන් එය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතට ගෙනාවා. එහි ප්‍රතිඵලයක් ලෙස දැන් පකිස්ථානය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොස් තිබෙනවා.

මෙය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර එය 13 වැනි බ්‍රහස්පතින්දා ජිනීවාහිදී කැඳවා තිබෙනවා. දැන් මතුවන ප්‍රශ්නය මෙයයි. අප සියලුදෙනා මෙය සලකන්නේ ආගම් ඇදහීමේ නිදහස උල්ලංඝනය කිරීමක් ලෙසයි. නමුත් මෙය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතට ගෙන ඒමේ උත්සාහයක් තිබෙනවා. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතට සියල්ල ගෙන ආ නොහැකි අතර එහි සීමාවක් තිබිය යුතුයි.

ඇතැම් රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන පවසන්නේ මෙම යෝජනාව සම්මත වුවහොත් එය බටහිර රටවලට පසුබෑමක් වන බවයි. මෙය බටහිර හෝ නැගෙනහිර හෝ උතුර හෝ දකුණ පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි මේ ආගම් ඇදහීමේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්.

මම මුහම්මද් නබිතුමාගේ අනුගාමිකයෙක් නොවෙයි. නමුත් මම හිතන්නේ ශුද්ධ වූ කුරානය බොහෝ වටිනා ග්‍රන්ථයක් බවයි. රේගෙදාස්හි භගවත් ගීතාව සහ බයිබලය ඒ හා සමානව අප සියලු දෙනාටම භාවිතා කළ හැකියි. ඒ හා සමානව ධම්ම පදයේ හෝ ත්‍රිපිටකයේ ප්‍රයෝජනවත් කරුණු ආදර්ශයට ගන්න බෞද්ධ නොවන ජනතාවත් සිටිනවා.

IMG 20230712 WA0002

එබැවින් අප සියලුදෙනාම මෙය ආගමට එරෙහි ප්‍රහාරයක් ලෙස සලකන නමුත් ඇතැම් බටහිර රටවලට අනුව එය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටතට ගැනෙනවා. එසේ සිදුව තිබෙන්නේ ඔවුන් පවතින ව්‍යාකූලත්වය අවම කිරීම සඳහා ප්‍රකාශනය පිළිබඳ සංකල්පය පුළුල් කිරීමට උත්සාහ කිරීම නිසයි.

එම නිසා ඔවුන්ගේ මතය වන්නේ බටහිර රටවල හර පද්ධතිය ව්‍යාප්ත කිරීමට ඔවුන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යොදා ගන්නා බවයි. එසේම මෙම හර පද්ධතිය ලෝකය පුරා ව්‍යාප්ත කළයුතු බව ඔවුන් විශ්වාස කරනවා. අප සෑමවිටම ප්‍රජාතන්වාදය අගය කරනවා. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැහැ. නමුත් මම කතා කරන්නේ මෙම සිදුවීමට අදාළවයි. මෙහිදී ශ්‍රී ලංකාව පිළිබඳ වෙන කිසිවක් කතා කිරීමට මම කටයුතු කරන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  අතර අත්සන් තැබුණු ගිවිසුමට අනුව අප අපගේ වගකීම් සපුරා නොමැති බව මම පිළිගන්නවා.

ඒ නිසා අප තීරණය කළා අපේ අදහස් මොනවා වුණත් යුතුකම් ඉටුකරමින් ඉදිරියට යමු කියලා. අපි ජීනිවා මානව හිමිකම් කවුන්සලයෙන් අහන්නේ ඔබ ඇයි නිහඬ කියලා. කොමිසම මේ පිළිබඳ මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නැත්තේ ඇයි? ඇයි ඔබ ඡන්දයක් එනකම් බලාගෙන ඉන්නේ? මෙය අප සියලුදෙනාටම ඉතා වැදගත් කාරණයක්. අපි පිළිපැදිය යුත්තේ කුමන හර පද්ධතිය දැයි පැවසිය යුතුයි.

අපගේ අධිකරණය බලය සහ පරමාධිපත්‍යය ලැබෙන්නේ ජනතාවගෙනුයි. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් ලෙස අප මානව හිමිකම් ප්‍රකාශය අනුගමනය කළ යුතුය. නමුත් එසේ නම් අප අනුගමනය කරන්නේ කුමන හර පද්ධතියක්ද? අපි මෙතෙක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සියලු නියමනයන් අනුගමනය කළා. නමුත් ප්‍රශ්නයක් මතුව තිබෙනවා. ඒ සියල්ල රඳා පවතින්නේ ඔවුන් ගන්නා ස්ථාවරය මතයි.

ඔබේ ඇදහීමේ නිදහස අභියෝගයට ලක්කළ නොහැකියි. එමෙන්ම එයට වෙනත් අර්ථකථනයක් ලබාදෙමින් ප්‍රකාශනයේ නිදහසට මුවාවී ඇදහීමේ නිදහස අහිමි කළ නොහැකියි. මානව හිමිකම් ප්‍රකාශනය ඇති වූයේ එක්සත් ජනපද ජනාධිපතිවරයා භාෂණයේ සහ ප්‍රකාශනයෙන් නිදහස තහවුරු කර ඇති අවස්ථාවකයි. ඔහු ප්‍රකාශ කළ පරිදි දෙවැනි නිදහස වන්නේ ඕනෑම අයෙකුට තම කැමැත්ත පරිදි දෙවියන්ට නමස්කාර කිරීමට ඇති නිදහසයි. නමුත් මානව හිමිකම් ප්‍රකාශය පරිදි එය ආගම සහ ඇදහීම ලෙස කොටස් දෙකකට බෙදී තිබෙනවා.

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති රූස්වෙල්ට් පවසා ඇති පරිදි මෙය පුද්ගලයෙකුගේ ඇදහීමේ නිදහස සම්පූර්ණයෙන් උල්ළංඝනය කිරීමක්. මෙය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලෙස අප සලකනවා නම් අපට ඉතිහාසය නැවත ලිවීමට සිදු වෙනවා. එසේ නම් සියලු යුදෙව් පොත් පත් සහ දෙව්මැදුරු පුළුස්සා දැමූ ඇඩොල්ෆ් හිට්ලර්ව නොබෙල් ත්‍යාගලාභියෙක් කළ යුතුයි. ඒ නිසා දෙකින් එකක් අප තීරණය කළයුතුයි. අපි මෙකක්ද කරන්න යන්නේ?

අප බ්‍රහස්පතින්දා මොකද වෙන්නේ කියා බලමු. ඔවුන් බලපෑම්වලට නතුව මෙය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ලෙස විනිශ්චයක් ලබාදුන්නහොත් එය දකුණ සහ බටහිර බලවතුන් අතර පැහැදිළී බෙදීමක් ඇති කරනවා.

එසේම මෙය ඇදහීමේ අයිතියක් ලෙස ඔවුන් තීරණය කළහොත් අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය පිළිබඳ පැහැදිලි සීමාවන් නිර්වචනය කළ යුතුයි. මෙය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මහජන හානිය පිළිබඳ ප්‍රශ්නයකි. එහිදී ඔබ අනුගමනය කළ යුත්තේ කුමක්ද? මම අපේ විදේශ ඇමතිතුමාගෙන් ඇහුවා පොදු රාජ්‍ය මණ්ඩලයේදී මෙම ගැටලුව සාකච්ඡා කරමුද කියලා. එවිට අධිකරණ අමාත්‍යවරයා ඇතුළු පිරිසට ඒ පිළිබඳව තර්ක ඉදිරිපත් කිරීමට හැකියි. මම පළමුවෙන්ම කිව්වා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරයාට කතා කරන්න කියලා. පෙදුරාජ්‍ය මණ්ඩලය මානව හිමිකම් පිළිබඳ ප්‍රමුඛ භූමිකාවක් ඉටු කරනු ඇතැයි මම විශ්වාස කරනවා. මෙය එක් පාර්ශ්වයකට පමණක් ලබාදිය නොහැකි අතර එවිට එය දේශපාලනීකරණය වෙනව. මෙය සමස්ත ජනතාවගේම අයිතිය විය යුතුයි. මෙය තමයි විශාලම අභියෝගය.

මානව හිමිකම් කවුන්සිලය ජනතාවගේ ඇදහීමේ අයිතිය ආරක්ෂා කර අදහස් ප්‍රකාශ කිරිමේ අයිතියට සීමාවන් යොදනවාද, නැද්ද කියා තීරණය කළ යුතුයි. කෙසේ වෙතත් මෙය ආරම්භයක් පමණයි.

එසේ වුවද, මා සිතන්නේ, අපගේම වටිනාකම්, දකුණේ රටවල සාරධර්ම, අයිතිවාසිකම්වලට මානව හිමිකම් කවුන්සිලය ගරු කළ යුතුයි. මෙය වෙනස්කිරීමට ගන්නා සියලු උත්සාහයන්ට එරෙහි වන ලෙස මම විදේශ අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පාකිස්ථානයේ යෝජනාවට සහාය ලබාදීමේ පළමු පියවර අප ගතයුතුයි.

බුදුන් වහන්සේ වදාළේ ‘සෑම ආගමික නායකයෙකුටම ගෞරවයෙන් සලකන්න’ යනුවෙනි. අප ද ඉල්ලා සිටින්නේ එයයි. අප පොදු රාජ්‍ය මණ්ඩලයේ දී මෙම කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ 

මීට වසරකට පෙර මේ රටේ කිසිඳු නීතියක් ක්‍රියාත්මක වුණේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාර ගැනීමෙන් පසු රටේ නීතිය නැවත ස්ථාපිත කරමින් රට සාමාන්‍ය තත්ත්වයට ගෙන එමින් සිටිනවා.

2018 වසරේ මෙම උසාවි සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල තැබුවේ එවකට සිටි අධිකරණ ඇමතිවරිය වූ තළතා අතුකෝරළ මහත්මියයි. වසර 05ක් ගතවීමෙන් පසු අද මෙම අධිකරණ සංකීර්ණය ජනතා අයිතියට පවරාදීමට හැකිව තිබෙනවා.

රටේ දූෂණය වැළැක්වීම සඳහා නව පනත් 30කට අධික ප්‍රමාණයක් මේ වන විටත් අධිකරණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරියේදී නීතිගරුක රටක් ඇති කිරීම සඳහා අප කැපවීමෙන් කටයුතු කරන බව මේ මොහොතේ සිහිපත් කරනවා.

අධිකරණ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, අගවිනිසුරු ජයන්ත ජයසූරිය යන මහත්වරුන් ද උත්සව සභාව ඇමතීය.

ශ්‍රීපාදස්ථානාධිපති, රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, පැල්මඩුල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගමික නායකයින් ද, ඇමතිනි පවිත්‍රා වන්නිආරච්ච්, සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, තලතා අතුකෝරල, වාසුදේව නානායක්කාර, ගාමිණි වලේබොඩ, අකිල එල්ලාවල යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන නියෝජිතයන් ද, නීතිපති සංජය රාජරත්නම් මහතා සහ මහාධිකරණ, දිසාධිකරණ සහ මහේස්ත්‍රාත් විනිසුරුවරුන් සහ රත්නපුර නීතිඥ සංගමයේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20230712 WA0005

ජනපතිගේ සංහිඳියා ප්‍රයත්නය කවුරුන් වෙනුවෙන්ද ?

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කිරීමේ කාර්ය භාරය ඊළඟ පරම්පරාවට උරුම නොකර එය වර්තමානයේදී ම විසඳීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අරමුණ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක  ප්‍රකාශ කළේය.

සංහිඳියා ක්‍රියාවලිය ආශ්‍රිත ගැටලු විසඳා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බවත් එම ප්‍රයන්තය සාර්ථක කර ගතහොත් රටක් ලෙස වසරක් පාසා ජිනීවා විත්ති කූඩුවට නැගීමට අවශ්‍ය නොවන බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙම අදහස් පළ කර සිටියේ, විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (11) පැවැති සත්‍යය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ සිවිල් සමාජය දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වමෙනි.

සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි විසින් අරමුණු පැහැදිලි කළ අතර, සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමේ (truth reconciliation commission ) කාර්යභාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

එහිදී එම කොමිසම පිහිටුවීමේ අරමුණු ඉටුකර ගැනීම පිළිබඳ පැමිණ සිටි සිවිල් සමාජ සංවිධාන සාමාජිකයන්ගේ අදහස් සහ යෝජනා විමසා සිටි ජනාධිපති ලේකම් සමන් ඒකනායක සංහිඳියා ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

රටක් ලෙස ඉදිරියට යාමට සියලු පුරුවැසියන්ගේ එකඟතාව හා සහයෝගය අවශ්‍ය බවත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක  එහිදි අවධාරණය කර සිටියේය.

IMG 20230712 WA0000

මහ කන්නයට ගොවියන්ට පොහොර ගන්න වව්චර් දෙන්නේ නෑ !

පොහොර මිල දී ගැනීමේ දී ගොවීන්ට වවුචර් පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය එළැඹෙන මහ කන්නයේ දී ක්‍රියාත්මක නොකරන බවත් වෙනුවට ගොවීන්ගේ ගිණුම්වලට ඍජුවම මුදල් බැර කිරීම සිදුකරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.

මෙවර යල කන්නයේ දී රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන්ට සහනාධාර ලබාදීමේ දී වවුචර් පත් හරහා එය සිදුකිරීමට රජය පියවර ගෙන තිබුණු අතර හෙක්ටයාර් එකකට රුපියල් 200,00ක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 400,00ක් වශයෙන් යල කන්නයේ වී වගා කරන සියලුම ගොවීන්ට මෙම සහනාධාර වවුචර්පත් නිකුත් කෙරුණු බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

කෙසේ වෙතත් වවුචර්පත් බෙදා හැරීමේ දී පවතින ප්‍රායෝගික ගැටලු සැලකිල්ලට ගනිමින් මින් ඉදිරියට වවුචර්පත් ලබානොදීමට තීරණය කළ බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දී තිබෙයි.

සද්ධාරතන හිමිට ඇප !

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ඇප මත මුදාහැර තිබේ.

නඩුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ අද (12) කැඳවනු ලැබු අතර සද්ධාරතන හිමි වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් එහිදී සිදුකළ ඇප ඉල්ලීම සලකා බැලු අධිකරණය රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ මුදාහැර ඇත.

පැමිණිල්ල විසින් සිදුකර ඇති චෝදනා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතට අදාළ නොවන බව සඳහන් කරමින් මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.

Page 101 of 392