V2025

පුවත්

බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට ජනපති කැපවෙයි : ඓතිහාසික සිද්ධස්ථාන 11ක් පූජා භූමි කරයි !

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 11ක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

එම භූමි ප්‍රදේශ පූජා භූමි ලෙස නම් කරමින් ඊට අදාළ සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඹගස්වැව පුරාණ රජමහා විහාරය, පුත්තලම දිස්ත්‍රික්කයේ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොතුවටවන මහා විහාරය, අම්පාර දිස්ත්‍රික්කයට අයත් පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්පාර මුහුදු මහා විහාරය, ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැද්දේගම රජමහා විහාරය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උද්ධකන්දර රජමහා විහාරය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ශ්‍රී සද්ධර්ම යුක්තික වන සෙනසුන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දඹදෙණිය ශ්‍රී විජය සුන්දරාරාම රජමහා විහාරය, ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ශාන්ති විහාරය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කබලෑව ඇඹව ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය සහ ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දේවාලය, ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යාන් ඔය රජමහා විහාරය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සාගර පුර සමුද්‍රගිරි වන සෙනසුන මෙලෙස පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව මේ වන විට මෙරට පූජාභූමි ලෙස ප්‍රකාශයට පත් කර ඇති සමස්ත සිද්ධස්ථාන සංඛ්‍යාව 142ක් බවට පත් වේ.

බුද්ශ ශාසනය ආරක්ෂා කර ගනිමින් එය සුරක්ෂිත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැපවී කටයුතු කරන බව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ මඟපෙන්වීමෙන් බෞද්ධාගමික අභිවෘද්ධිය වෙනුවෙන් රජය ගෙන ඇති පියවර කිහිපයක් පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා ථෙරවාදි බුදුදහමේ කේන්ද්‍රස්ථානය වන මහා විහාරයේ පුරාවිද්‍යාත්මක කැණීම් ආරම්භ කිරීමටත්, මහා විහාර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට සහ මහනුවර ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයක් ඉදිකිරීමේ සැලසුම් පිළිබඳව ද සඳහන් කළේය.

විද්‍යෝදය පරිවෙණාධිපති ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ගාලු සහ බස්නාහිර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක දර්ශනපති රාජකීය පණ්ඩිත පූජ්‍ය බළන්ගොඩ සෝභිත නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහෝපද්‍යාය අමරපුර චූලගන්ඨී පාර්ශ්වයේ මහානායක සාහිත්‍ය ශුරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය අතිපූජ්‍ය පණ්ඩිත ගංතුනේ අස්සජි මහා නායක හිමිපාණන් වහන්සේ, ලංකා රාමඤ්ඤ මහා නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා විද්‍යාල පරිවේණාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගම නන්දවංශ නායක හිමිපාණන් වහන්සේ මෙහි මුලසුන හෙඹ වූ අතර පූජා භූමි සන්නස් පත්‍රලාභී විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත්, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරුන් ද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සහ පූජා භූමි සන්නස් පත්‍රලාභී විහාරස්ථානයන්හි දායක දායිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පූජා භූමි සන්නස්පත්‍ර පිළිගැන්වීමට පෙර මෙම අවස්ථාවට වැඩම කළ මහා සංඝරත්නය විෂයයෙහි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දානමය පුණ්‍යකර්මයක් ද සිදු කෙරිණි.

පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා ලිංගික අධ්‍යාපනය ලබාදීමට දින නියම වෙයි !

පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදී‍මේ වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව මාර්තු මස 7 වැනිදා සිට ආරම්භ කිරීමට පාර්ලිමේන්තුවේ ළමයින් සඳහා වන සංසදය තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය මෙම වැඩසටහන සඳහා ඒකාබද්ධ කරගැනීම අත්‍යවශ්‍ය වුවත් දරුවන්ට බෙදාහැරිය යුතු පොත් සකස් කිරීමේ කටයුතු මේ දක්වා අවසන් කිරීමට අමාත්‍යාංශයට නොහැකිවීම ඉහත තීරණය ගැනීමට හේතු වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික අධ්‍යාපන ආයතනය සමග ඒකාබද්ධව විෂය නිර්දේශ සකස් කර අවසන්ව ඇති අතර එම විෂය නිර්දේශ අනුව පොත් සකස් කිරී‍ම් කටයුතු භාරගෙන ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය ය.

අමාත්‍යාංශය එම වගකීම මෙතෙක් ඉටුකර නොමැති හෙයින් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ඒකාබද්ධව වැඩසටහන ආරම්භ කිරීමට තීරණය කළ බව සංසදයේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පැවසුවාය.

විෂය නිර්දේශයට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ රූපමය නිර්මාණ එදින අන්තර්ජාලයට ඇතුළත් කරන බවත් සභාපතිනිය කීවාය.

  • aruna

ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 83ක් බව වාර්තා වේ.

ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ දේහය කුරුණෑගල, කටුගම්පල පිහිටි ඔහුගේ නිවසේ තැම්පත් කිරීමට නියමිතයි.

පවුලේ ඥාතීන් සදහන් කළේ අවසන් කටයුතු පිලිබදව ඉදිරියේදී දැනුම් දෙන බවයි.

ලොතරැයි මණ්ඩලයෙන් බිලියන 7ක් ඒකාබද්ධ අරමුදලට

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 2023 වර්ෂයේ අලෙවි කරන ලද ලොතරැයි ටිකට්පත්වල සුපිරි ත්‍යාග සහ රුපියල් මිලියනයේ මුදල් ත්‍යාගවලට අදාල චෙක්පත් සහ වාහන ත්‍යාග ජයග්‍රාහකයන් වෙත පිරිනැමීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (16) පැවැත්විණි.

ගොවිසෙත, මෙගා පවර් සහ මෙගා පවර් 60 යන ලොතරැයිවල සුපිරි ත්‍යාග ජයග්‍රාහකයන් වෙත ඊට අදාළ මුදල් ත්‍යාග සහ වාහන ත්‍යාග පිරිනැමීම සහ ජයග්‍රාහී ලොතරැයි පත් අලෙවි නියෝජිතයන් වෙත ඇගයීම් සහතික හා ත්‍යාග පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අතින් මෙහිදී සිදුවිය.

මීට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලය විසින් අලුතින් හඳුන්වාදෙන “අද සම්පත” නව ලොතරැයි ටිකට් පත එළි දැක්වීම ද සිදු වූ අතර එම ලොතරැයියෙහි පළමු ටිකට්පත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී. යාපා අබේවර්ධන  විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

තවද ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා සිදු කළ මෙහෙවර අගයමින් ජාතික ලොතරැයි මණ්ඩලය විසින් පිරිනමනු ලබන සමරු තිළිණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් ඒ මහතා වෙත ප්‍රදානය කෙරිණි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ 2023 වසරේ ආදායමින් රුපියල් බිලියන 7.1ක දායකත්වයක් රාජ්‍ය ඒකාබද්ධ අරමුදල වෙත පිරිනැමීමද මෙහිදී සිදු වූ අතර ඊට අදාළ වෙක්පත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී. යාපා අබේවර්ධන විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත බාර දෙනු ලැබීය.

රටින් පැන්න අපරාධකරුවන් අල්ලන්න රතු නිවේදන 42ක්

රටින් පළා ගොස් සිටින අපරාධකරුවන් 42ක් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන 42ක් නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියයි.

මෙම 42 දෙනා අන්තර්ජාතික පොලිසියේ සහය ඇතිව මෙරටට ගෙන්වා ගැනීමට සමීපව කටයුතු කරමින් සිටින බව ද හෙතෙම කියයි.

ඩුබායි රාජ්‍යයේ සිට ඊයේ මෙරටට ගෙන්වාගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු සළිඳුගේ ප්‍රධාන ගෝලයෙකු වන පියුමා නමැත්තාගෙන් මෙරට කුඩු ජාවාරම් සහ භයානක අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්නකොට ඒවා විසඳීමට ක්‍රියාකරන බව ද ඔහු සඳහන් කළේ ය.

එසේ ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවන හරක් කටාට පළා යාමට සහය දැක්වූ දැනට පළා ගොස් සිටින පොලිස් නිලධාරියා ද අන්තර්ජාතික පොලිසියේ සහය ඇතිව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කළේ ය.

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අත්සන් තැබේ !

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අද (15) පෙරවරුවේ අත්සන් තැබුණු බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

මෙරට ශ්‍රමිකයන් විදෙස් ගත කිරීමේදී සිදුවන ප්‍රමාදය වැළැක්වීම ද මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණක් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එමෙන්ම නාවික ක්ෂේත්‍රයේ ඇති බහාලුම් ප්‍රවාහනය කිරීමේ ප්‍රමාණය 32%කින් පමණ වර්ධනය වී අති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙසේ ද පැවසීය.

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අද පෙරවරුවේ අත්සන් තැබුණා. ඊශ්‍රායල ගමනාගමන අමාත්‍යවරිය සහ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය අතර අත්සන් කෙරුණු ගිවිසුමට අනුව දෙරට අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට නියමිතයි. ඒ සමඟ මගීන්ට අවශ්‍යතාව පහසුකම් සැපයීම අපගේ අරමුණයි.

එසේම ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර පවතින සේවා ගිවිසුමට අනුව මෙරට ශ්‍රමිකයන් විදෙස් ගත කිරීමේ දී සිදුවන ප්‍රමාදය වැළැක්වීම ද මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණක් වනවා. ඊශ්‍රායල ජාතිකයන් රැසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂාවෙන් සිටින බව ද ඊශ්‍රායල ගමනාගමන අමාත්‍යවරිය අප සමඟ සදහන් කළා.

ඒ වගේම පලාලි ගුවන් තොටුපළ හරහා දිනපතා ඉන්දියාව දක්වා තවත් ගුවන් සේවාවක් ආරම්භ කිරීමට ඉන්ඩිගෝ ගුවන් සමාගම (Indigo Airlines) සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එමෙන්ම මත්තල ගුවන්තොටුපළ සම්බන්ධව අභිලාෂ කැඳවීමක් සිදු කළා. ඒ අනුව ටෙන්ඩර් මණ්ඩලය විසින් එක් ආයෝජකයෙකු තෝරාගෙන තිබෙනවා. එම ආයෝජකයා සමඟ වන සාකච්ඡා මේ වන විට අවසන් අදියරේ පවතින අතර ලබන සතියේ දී සම්මුතියකට එළඹීමට හැකිවනු ඇතියි. ඒ සමඟ එම ගුවන්තොටුපළ ද ලාභදායී තත්ත්වයට පත්කළ හැකි වනවා. එම ගිවිසුම රුසියානු සහ ඉන්දීය ඒකාබද්ධ පුද්ගලික ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම කටුනායක ගුවන් තොටුපළේ පවතින තදබදය වළක්වා ගැනීම සඳහා ප්‍රවේශ පත්‍ර කවුළු 31ක් සහ නව පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදිරිකිරීමට ද අභිලාෂ කැඳවීම් සිදුකර තිබෙනවා. ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 06ක් වනවා. ඒ අනුව එම ඉදිකිරීම් කටයුතු ඉදිරි සති දෙක තුළ ආරම්භ කිරීමට නියමිත අතර මාස 09ක් තුළ පවතින තදබදයට විසඳුම් ලබාදිය හැකි වනවා.

ඒ වගේම ජයිකා ආයතනයේ සභාපතිවරයා ඊයේ දින (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිදුකළ සාකච්ඡාවේදී දෙවැනි පර්යන්ත ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීමට ද එකඟතාව පළකළා.

ඒ වගේම ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීමේ අවස්ථාව මාර්තු 15 දක්වා දීර්ඝ කර තිබෙනවා.

එමෙන්ම නාවික ක්ෂේත්‍රයේ ඇති බහාලුම් ප්‍රවාහනය කිරීමේ ප්‍රමාණය 32%කින් පමණ වර්ධනය වී තිබෙනවා. වැඩිවන දාරිතාව අනුව වරාය ප්‍රසාරණය කිරීම සඳහා වරාය අධිකාරියට අයත් මුදල්වලින් නැගෙනහිර පර්යන්තය ඇමරිකන් ඩොලර් මිලියන 580ක් වැය කරමින් සංවර්ධනය කටයුතු සිදුකරමින් පවතිනවා.

ඒ අනුව ECT පර්යන්තය හරහා විශාල කන්ටේනර් ප්‍රමාණයක් හුවමාරු කරගැනීමට හැකි අතර ඉන් ඉහළ ආදායමක් මෙරටට උපයාගැනීමට හැකියාව පවතිනවා.

1917 රුසියානු විප්ලවයේ දී ලෙනින් කොමියුනිට්ස්වාදය ගැන කතා කළේ නැහැ - ජනපති

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු සඳහා කිසිදු හානියක් සිදු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

එම ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු සඳහා මෙන්ම පානීය ජල අවශ්‍යතාවට ද විසඳුම් ලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ව්‍යාපෘතිය සම්බන්ධව ගොවි ජනතාව කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (15) පෙරවරුවේ එක් වෙමිනි.

දීර්ඝකාලීනව වකුගඩු රෝගයෙන් පීඩා විඳින මැදවච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන සහ කහටගස්දිගිලිය ප්‍රදේශවල ජනතාවගේ පිරිසුදු පානීය ජල අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) මූල්‍ය සහයෝගීතාව මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් රුපියල් මිලියන 11,515ක වියදමින් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.

මෙහි පළමු අදියර අනුරාධපුර මහ කනදරාව වැව ප්‍රධාන ජල මූලාශ්‍රය කොටගෙන ක්‍රියාත්මක කර තිබෙන අතර ඒ යටතේ රඹෑව සහ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම සේවා වසම් 75ක පවුල් 25,000ක පමණ පානීය ජල අවශ්‍යතාව සපුරාලයි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය පාලන සමයේ සැලසුම් කළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්, උතුරු මැද පළාත පුනර්ජනනීය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමටද රජයේ අවධානය යොමුව ඇති බවත්ය.

දේශපාලන වශයෙන් බෙදී වෙන් වී රට ගොඩනැඟිය නොහැකි බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ආණ්ඩුව හෝ විපක්ෂය වෙනුවෙන් නොව රටේ ජනතාවට සමෘද්ධිමත් ජීවන තත්ත්වයක් ලබාදීම වෙනුවෙන් එකට එක්වන ලෙස සියලු පාර්ශ්ව වෙත නැවත ආරාධනා කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.

මේ ප්‍රදේශවලට අවශ්‍ය පානීය ජලය සැපයීමේ විශාල කාර්යභාරය ජීවන් තොණ්ඩමන් ඇමතිතුමා භාරගෙන තිබෙනවා. තවමත් අපේ රටේ නිවාස වැඩි ප්‍රමාණයකට ජලය ලබාදීමට තිබෙනවා. ඒ වගේම කඳුකරයේ ජීවත්වන ද්‍රවිඩ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සපයා දිය යුතුව තිබෙනවා. අද මෙම ප්‍රදේශවල තිබෙන සංවර්ධනය කදුකර ප්‍රදේශවල දක්නට නැහැ. අප එම ගැටළුවලට කඩිනමින් විසඳුම් සෙවිය යුතුව තිබෙනවා. මෙම කාර්යයන් දෙකම අද ජීවන් තොණ්ඩමන් මැතිතුමා භාරගෙන ඉටුකරමින් සිටිනවා.

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කළේ 2013 වසරේදීයි. මෙම ප්‍රදේශවල ජනතාව පීඩාවිඳින වකුගඩු රෝගයට පිළියම් සොයමින් පිරිසුදු පානීය ජලය සපයා දිය යුතුව තිබෙනවා. අනිත් අතින් කෘෂිකර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය ජලය ද ලබාදිය යුතුයි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය නැතිවෙයිද කියා ඇතැමුන් තුළ සැකයක් මතුව තිබෙනවා.නමුත් එවැන්නක් සිදු නොවන බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා. අප ඒ පිළිබඳව වගබලා ගන්නවා.

මේ ප්‍රදේශවල ජනතාවට ගොවිතැන් කටයුතු සඳහා ජලය අවශ්‍යයි. ඒ වගේම නිවාසවලට ජලය අවශ්‍යයි. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය මඟින් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබාදීම මෙන්ම පානීය ජල අවශ්‍යතාවද සපුරාලමින් එම ගැටලු දෙකම විසඳා දෙන බවට මම පොරොන්දු වෙනවා.

පසුගිය ආර්ථික අර්බුදය නිසා අපට කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට හැකි වුණේ නැහැ. කෙසේ හෝ මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුදල් ලබාදී මෙම වැඩකටයුත්ත අවසන් කිරීමට හැකිව තිබෙනවා. මෙම ව්‍යාපෘතියට මුදල් ලබා ගැනීම විශාල ප්‍රශ්නයක් වුණා.

2022 මම මේ ආණ්ඩුව භාර ගත්තේ ඒ සඳහා වෙන කිසිවෙකු ඉදිරිපත් නොවූ නිසා බව ඔබ දන්නවා. ඉන් පසුව විවිධ පක්ෂවල සහාය ඇතිව අපි ආණ්ඩුවක් ඇතිකරගෙන රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ආවා. එවන් අසීරු තත්ත්වයකින් තමයි අප මෙය ආරම්භ කළේ.

එදා අප සමග බොහෝ දෙනෙක් හිටියේ නැහැ. ඇතැම් අය කිව්වා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා. එදා ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික තිබුණේ නැහැ. ඉන්ධන තිබුණේ නැහැ. මෙවන් තතත්වයක් තුළ ඡන්දයක් පවත්වන්නේ කොහොමද, අපට අවශ්‍ය වුණේ ඉස්සෙල්ලම මේ ප්‍රශ්න ටික විසඳගෙන නියමිත කාලයේදී මැතිවරණ පවත්වන්න.

රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් අප මේ වන විට බොහෝ වැඩකොටසක් සිදුකර තිබෙනවා. නමුත් අප තවම ණය බරින් නිදහස් වී නැහැ. ණය ගෙවීම සඳහා සහනයක් ලෙස ණය ගෙවීමට තව වසර 20ක් ලැබෙයි. අපි කඩිනම් ආර්ථික පරිවර්තනයකට යොමු නොවුනහොත් ඒ ණය ගෙවන විට තව ණය ගැනීමට සිදුවෙනවා.

අපි මේ රට භාරගන්න අවස්ථාව වන විට ජනතාවට අවශ්‍ය ආහාර ටික තිබුණේ නැහැ, ඉන්ධන තිබුණේ නැහැ. පළමුව සිදු කළ යුතුව තිබුණේ මෙම අවශ්‍යතා ඉටු කිරිමයි. යුදමය අවස්ථාවලදී, ආණ්ඩු කඩා වැටෙන විට ඕනෑම ආණ්ඩුවක් පළමුව කළයුත්තේ මෙම මූලික අවශ්‍යතා සපුරාලීමයි.

ඒ මූලික අවශ්‍යතා පිළිබඳ මට වඩා හොඳට 1917 රැසියානු විප්ලවයේ දී ලෙනින් මැතිතුමා ප්‍රකාශ කළා. එතුමා එම අවස්ථාවේ කොමියුනිට්ස්වාදය ගැන කතා කළේ නැහැ. Peace, Land, Bread යනුවෙන් පමණයි ප්‍රකාශ කළේ. වෙන මොකුත් කිව්වේ නැහැ. බලය ලබා ගැනීමෙන් පසු තමයි කොමියුනිට්ස්වාදය ඇති කළේ.

අපත් පළමුව කටයුතු කළේ රට තුළ සාමය සහ ස්ථාවරභාවය ඇති කිරීමට. අද රට තුළ ස්ථාවරභාවයක් තිබෙනවා. ඒ වගේම නීතිය හා සාමය තිබෙනවා. ඕන කෙනෙක්ට ආණ්ඩුවට බනින්න පුළුවන්, පෙළපාළි යන්න පුළුවන්. එම ස්ථාවරභාවය අද ඇති කර තිබෙනවා.

දෙවනුව අප ජනතාවට අවශ්‍ය ආහාර සපයාදීම වෙනුවෙන් කටයුතු කළා. ඒ සඳහා අපට වී වගා කරන්න ඇමරිකාවෙන් පොහොර ලබා දුන්නා. 2022, 2023 වගා කටයුතුවලින් අපට හොද අස්වැන්නක් ලැබුණා. අපි ජනතාවට අවශ්‍ය සහල්, පිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබා දුන්නා.

තෙවනුව තිබුණේ ඉඩම් ලබාදීම. අපි ඒ වෙනුවෙන් උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ වගේම කොළඹ තට්ටු නිවාසවල අයිතියද එම ජනතාවට ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා.

රට තුළ හොඳ ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. ඒ වෙනුවෙන් කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සමඟ ජල කළමනාකරණය වඩා හොඳින් සිදු වෙනවා. ඒ වගේම නව බෝග හඳුන්වා දීම සිදු වෙනවා. රජ සමයේ වී වගා කළේ රටේ ජනතාවගේ ආහාර සඳහා පමණක් නොවෙයි. අප පෙරදිග ධාන්‍යාගාරයක් ලෙස සහල් අපනයනය කළා. අද අපට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ නොහැකි ඇයි.

අප එදා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා නම් අද අපට හිඟා කන ජාතියක් වීමට සිදු වන්නේ නැහැ. ඒ වගේම නව කර්මාන්ත රට තුළට ගෙන ඒමට, එමෙන්ම සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට අපි අවධානය යොමු කර තිබෙනවා. ආහාර සපයාදීම පමණක් ප්‍රමාණවත් නැහැ. අපේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකරදිය යුතුයි. පසුගිය වසර දෙක තුන තුළ රැකියා ලබා දීමක් සිදු කර නැහැ. තව වසර පහක් හයක් රැකියා නොමැතිව මෙහෙම බලාගෙන ඉන්නත් බැහැ. අපි කඩිනමින් විදේශ ආයෝජන ලබාගෙන මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහා වන ආර්ථික පරිවර්තන ක්‍රියාවලිය වෙනුවෙන් නව නීති ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. අපි සියලුදෙනා එකට එකතුවෙලා මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යමු.

අපට මැතිවරණ කාලයේදී වෙන් වෙලා තම තමන්ගේ දේශපාලනය කළ හැකියි. නමුත් ඡන්දයෙන් පසුව නැවත එකතු විය යුතුයි. එවන් ක්‍රමයක් තමයි අපි ඇති කළ යුත්තේ. අපි බෙදී සිටීමෙන් ගමේ ජනතාවට ලැබෙන දෙයක් නැහැ. අදත් මම සියලු දෙනාට කියන්නේ අපි එකතුවෙලා මේ වැඩකටයුතු කරමු. ආණ්ඩුව වෙනුවෙන් හෝ විපක්ෂය වෙනුවෙන් එකතුවෙන්න කියලා මම කාටවත් කියන්නේ නැහැ. අපි එකතුවෙන්න ඕන ජනතාව වෙනුවෙන්. සියලුදෙනා එකට එකතුවුවහොත් මේ වැඩකටයුතු අපට වේගයෙන් ඉදිරියට ගෙන යාමට හැකි වෙනවා.

උතුරු මැදට ජලය ලබාදීමේ මෙම ව්‍යාපෘතිය ඉතා සුවිශේෂී කාර්යයක් බව කිවයුතුයි. ඒ වගේම මල්වතු ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා.

මෙම ජල ව්‍යාපෘති වගේම උතුරු මැද විදුලි බලාගාර ව්‍යාපෘති ඇති කිරීම පිළිබඳවත් අපේ අවධානය යොමුව තිබෙනවා.මෙම ප්‍රදේශයේ තාප බලය තිබෙනවා. ඒ වගේම උතුරේ සුළං බලය තිබෙනවා. එසේනම් අපට විශාල පුනර්ජනනීය විදුලි බලාගාරයක් බවට මෙම පළාත පත් කරන්න පුළුවන්.

ඒ වගේම වැව්වල විදුලි බලාගාර ඇති කිරීම පිළිබඳ අප මේවන විට සාකච්ඡා කරමින් සිටිනවා. අපට මේ තුළින් විශාල ආර්ථික ශක්තියක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. රටේ නව ආර්ථිකයක් ඇති කර ජනතාවට හොද අනාගතයක් ගොඩනඟාදීම වෙනුවෙන් මම සියලුදෙනාගේ සහය ඉල්ලා සිටිනවා.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් :

IMG 20240215 WA0016මෙම අමාත්‍යාංශය භාරගන්නා විට ජල සබඳතා 10000ක් වත් ලබාදීමට නොහැකි වනු ඇතැයි කියා සමාජ මතයක් ගොඩනඟා තිබුණා. පසුගිය වසරේ පමණක් ජල සබඳතා 103,000ක් ලබාදීමට රජයට හැකි වී තිබෙනවා. මේ වසර අවසානය වන විට එය ලක්ෂ දෙකක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ජනතාවගෙන් 60%ක ප්‍රමාණයකට පිරිසුදු පානීය ජලය ලැබෙනවා. ජල බිල් පත ජනතාවට බරක් නොවන ආකාරයෙන් පවත්වා ගැනීමට අප කටයුතු කරනවා .

රට අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දුන් අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොපැකිලිව රටේ නායකත්වය භාරගත්තා. තවදුරටත් රට අස්ථාවරභාවයට පත් වීමට ඉඩ නොතබා ආර්ථිකය නිවැරදි මාවතට යොමු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ප්‍රශංසාව හිමි විය යුතුයි.
වතු ජනතාවගේ පෝෂණ සහ ඉඩම් ප්‍රශ්නය තවමත් තිබෙනවා. උරුමය වැඩසටහන යටතේ වතු ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරන ලෙස ඉල්ලා සිටිනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ :

මෙම ව්‍යාපෘතිය තුළින් පවුල් 25000ක පානීය ජල අවශ්‍යතාව සපුරාලිය හැකියි. මේ පළාතේ තිබෙන වකුගඩු රෝගයට මෙම පානීය ජල ව්‍යාපෘතිය මඟින් අස්වැසිල්ලක් ලැබෙනවා .මේ ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම තුළින් කැබිතිගොල්ලෑව ,හොරොව්පතාන ,පදවිය හා කහටගස්දිගිලිය ප්‍රදේශයේ පවුල් 55,000කට පානීය ජලය ලබාදීමට අපේක්ෂා කරනවා.

අද කන්න රැස්වීම පවත්වා නැහැ. නමුත් වෙනත් දේශපාලන කණ්ඩායම් ගොවි ජනතාව තුළ ගොවිතැන සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරමින් මේ ව්‍යාපෘතියේ දෙවන අදියරට බාධා ඇති කරන්න උත්සාහ කරනවා. මේ සඳහා ඉඩදිය යුතු නැහැ.

වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ :

මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට සාක්ෂි දරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි. එම අමාත්‍යාංශයේ වාර්තාවලින් එය ඉදිරියේදී දැන ගැනීමට හැකිවනු ඇතියි. මේ පළාතේ තිබෙන වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව පිරිසුදු පානීය ජලය නොමැතිවීමයි. අද මේ පළාතේ එක් කණ්ඩායමකට පිරිසුදු පානීය ජලය ලබාදීමට හැකි වෙනවා. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර නිමා වනවිට තවත් කණ්ඩායමක පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට හැකිවෙනවා.

මෙම ව්‍යාපෘතියට අදාළව කිසිදු ගැටලුවක් මතු වී නැහැ. ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අප පසුගිය සතියේ වගකිවයුතු සියලුම නිලධාරීන් ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිතුමා, සාමාන්‍යාධිකාරිතුමා මේ දිස්ත්‍රික්කය නියෝජනය කරන ඉංජිනේරුවරුන්, ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවරුන් යන මේ සියලුදෙනා සමග මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදුන් වාරිමාර්ග අමාත්‍යාංශය නියෝජනය කරන ලේකම්තුමාගේ සිට අධ්‍යක්ෂ ජනරාල් ප්‍රමුඛ සියලුදෙනා කැදවලා අපි මේ පිළිබඳව සාකච්ඡා කළා.

යම් ජන කොටසක් අගතියට පත්වෙනවනම් ඒ දේ කළමනාකරණය කර නිවැරදි දේ ජනතාවට ලබාදීම අපේ වගකීමයි. ඒ සාකච්ඡාව දීර්ඝ වශයෙන් සිදු කෙරුණා. කිසිවෙකුට අගතියක් නොවන විදියට කටයුතු කිරීමට එහිදී අප එකඟ වුණා. මෙම මහකනදරාව වැවෙන් වතුර අරගෙන තම කෘෂිකර්ම කටයුතු සිදු කරපු ජනතාවට මොනම ආකාරයෙන්වත් අගතියක් වීමට අප ඉඩ තබන්නේ නැහැ කියන එක ඉතාමත් පැහැදිළිව මෙම අවස්ථාවේ කිවයුතුයි.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන විටම වැවේ ධාරිතාව වැඩි කිරීමට අප කටයුතු කළා. ඒ වැඩිකරන ධාරිතාවෙන් අඩක් පිරිසිදු පානීය ජලය ලෙස මෙම ප්‍රදේශයේම ජනතාවට ලබාදීමට කටයුතු කරනවා. ඇතැම් විට කන්න දෙකම වගා කිරීමට නොහැකි වන විට, අතුරු බෝග වගා කිරීමට නොහැකිවන විට, ජලය අඩු වන විට ගොවි ජනතාව කලබල වෙනවා. ඒ නිසාම මෙවර අයවැයෙන් වාරිමාර්ග අමාත්‍යාංශයට බිලියනයක මුදලක් වෙන් කර තිබෙනවා මෙම වැවට ජලය රැගෙන ආ හැකි බේරුවැව වාන් දොරටු උස්සලා, වාන් දොරටු විවෘත කර අඩුම තරමේ දෙපාරක්වත් බේරු වැවෙන් මහකනදරා වැවට ජලය රැගෙන ඒමට. දැනට ඇල මාර්ග සකස් කර තිබෙනවා. එම අඩුපාඩු සම්පුර්ණ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලැබී තිබෙනවා.

මෙම පානීය ජල ව්‍යාපෘතිය සාර්ථකවීමට නම් කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ගොවි ජනතාවටත් අගතියක් සිදු වීමට නොහැකි බව අප වගකීමෙන් අවධාරණය කරනවා. මේ පාර්ශ්ව දෙකටම කිසිදු ආකාරක අසාධාරණයක් සිදු නොවන ආකාරයට කටයුතු කිරීමට අප වගකිම භාරගන්නවා කියන එකත් ඉතාමත් පැහැදිළිව මම ප්‍රකාශ කරනවා.

මෙම ව්‍යාපෘතිය කෙතරතම් හොද වුවද ආත්මාර්ථකාමී ලෙස මේ දෙස බලා දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරනවා නම් එය ප්‍රදේශයේ ජනතාවට පමණක් නොව රටටම කරන අපරාධයක් ලෙස අප දකිනවා. මෙය ඉතාම විනිවිදභාවයෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියක්. මොන තරම් වතුර ප්‍රමාණයක් මේ පොම්පාගාරවලට ගත්තද කියලා ගොවි සංවිධාන නියෝජනය කරන කෙනෙකුට ඇවිල්ලා බලන්න අවස්ථාව සලසා දීලා තිබෙනවා. ඒ වගේම ජල සම්පාදන මණ්ඩලයත්, වාර්මාර්ග දෙපාර්තමේන්තුවත්, ගොවි සංවිධානත් එකඟතාවකට පැමිණ එම එකඟතාව ලිඛිතව අවබෝධතා ගිවිසුමකටත් එළැඹීමට අප තීරණය කළා. එවිට කිසිදු පාර්ශ්වයකට අසාධාරණයක් සිදු වන්නේ නැහැ.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සභාපති ටනකා අකිහිකෝ :

මෙම ජල ව්‍යාපෘතිය සඳහා යෙන් මිලියන 5,166ක් ජපන් අරමුදල් සපයා තිබෙනවා. ඒ වගේම මෙම ව්‍යාපෘතියෙන් රඹෑව සහ මැදවච්චිය ප්‍රදේශවල පවුල් 25,000කට පමණ සෙත සැලසෙනවා.අද මෙම ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී විමට ලැබීම මට මහත් සතුටක්.
ඒ වගේම මෙම අනුරාපුර ඓතිහාසික පුරවරය දැක බලා ගැනීමට මට අද අවස්ථාව ලැබුණා. එය මම මහත් භාග්‍යයක් කොට සලකනවා. මෙම ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට කැපවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයට මගේ ස්තුතිය පිරිනමනවා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, ඉෂාක් රහුමාන්, එච්. නන්දසේන, උතුරු මැද පළාත් හිටපු මහා ඇමති එස්.එම්. රංජිත්, හිටපු අමාත්‍ය පී. හැරිසන්,ජපාන ජාත්‍යන්තර සහයෝගික ආයතනයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240215 WA0017

නඩුවට ගෙනා Onmax DT අධ්‍යක්ෂවරුන්ට එරෙහිව විරෝධයක් !

නීති විරෝධී පිරමීඩ ගනුදෙනු සිදුකර තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කළ බවට චෝදනාලත් Onmax DT පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ඇප ලබාගැනීමෙන් පසු රහසිගතව විදේශගතව ඇති බවට විමර්ශන නිලධාරීන් අද (15) අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ නීතිවිරෝධී පිරමීඩ ගනුදෙනු සිදුකර තැම්පත්කරුවන්ගෙන් මුදල් වංචා කළ බවට චෝදනා ලත් Onmax DT පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් 6 දෙනෙකුට එරෙහි නඩුව අද (15) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

එහිදී අනාවරණය වූ ආකාරයට නඩුවේ 6වන සැකකරු වන Onmax DT පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ධනංජය ජයාන් චාමර නැමැත්තා ඇප ලබාගැනීමෙන් පසුව මෙලෙස රහසිගතව විදේශගතව ඇත.

කෙසේ වුවත් එම පුද්ගලයා පිළිබඳ තොරතුරු සෙවීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව විමර්ශන ආරම්භ කර ඇති බවත් විමර්ශන නිලධාරීන් පෙන්වාදී තිබේ.

මෙහිදී සමාගම් අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්ත  කරුණු දක්වමින් පෙන්වා දුන්නේ විමර්ශන නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි අධිකරණය විසින් අදාළ අධ්‍යක්ෂවරුන්ට අයත් බැංකු ගිණුම් 58ක් අත්හිටුවා ඇති බැවින් තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවා නිමකිරීමට නොහැකිව ඇති බවය.

එමෙන්ම මෙම අධ්‍යක්ෂවරුන්ගේ දේපොළ අන්සතු කිරීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති නමුත් එවැනි නියෝගයක් නිකුත් කළ හැක්කේ මහාධිකරණයට පමණක් වන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්  පැවසූවේ විමර්ශන පවතින අවස්ථාවක විමර්ශන නිලධාරීන් ඉල්ලීමක් කරන්නේනම් විමර්ශන සඳහා සහාය වීමට දේපොළ හෝ බැංකු ගිණුම් තහනම් කිරීමේ හැකියාව තම අධිකරණයට පවතින බවය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර්.ඒ. පී රණවක  අධිකරණය හමුවේ පෙන්වාදුන්නේ අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට අයත් දේපොළවලින් සුළු කොටසකට පමණක් තහනම් නියෝග ලබාගෙන ඇති බවත් විමර්ශනයට ලක් නොවූ තවත් රුපියල් කෝටි ගණනක දේපොළ අධ්‍යක්ෂවරුන් සතුව පවතින බවත්ය.

එවන් තවත් දේපොළ පිළිබඳ ලියවිල්ලක් එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කරමින් එකී දේපොළ තහනම් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එම කරුණු සළකා බලා අදාළ දේපොළ තහනම් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අනතුරුව නඩුව මැයි මස 2 වනදා දක්වා කල්තැබීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර Onmax DT ගනුදෙනුකරුවන් අද අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වෙමින් සිටි අතර චෝදනා ලත් අධ්‍යක්ෂවරුන් අධිකරණයෙන් පිටව යද්දී ගනුදෙනුකරුවන් පැමිණ ඔවුන් ගමන්කරමින් සිටි මෝටර් රථයේ මග හරස් කර විරෝධය පළකළේය.

පසුව පොලිස් නිලධාරීන් පැමිණ තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්තේය.

කෙහෙලියට ඇප නෑ !

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  ඇතුළු සැකකරුවන් 07 දෙනා එළඹෙන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමට අධිකරණය නියෝග නිකුත්කර ඇත .

ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව අද (15) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ නීතිඥයා වූ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයා නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයකින් පෙළෙන බව ය.

එසේම එම සුවිශේෂී රෝගී තත්ත්වයෙන් පෙළෙන තම සේවාදායකයාට එවැනි අවස්ථාවකදී කෘතිම ව ඔක්සිජන් ලබාදිය යුතු බවද ඔහු පැවසීය .

ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න ඇප ඉල්ලීම් ඉදිරිපත් කළේය.

"මගේ සේවාදායකයා මේ වෙද්දී රෝග ගණනාවකින් පෙළෙනවා. විශේෂයෙන්ම ස්වාමීනි... ඔහුව බන්ධනාගාරගත කළාට පස්සේ.. ඔහුගේ රුධිර පීඩනය විචලනය වෙලා. උදරයේ බඩවැල්වල ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙනවා. ඔහුට වකුගඩුවල රෝගී තත්ත්වයකුත් තිබෙනවා. ඒ වගේම ඔහු දියවැඩියා රෝගයෙන් පීඩා විඳින්නෙක්."

"ස්වාමීනි, ඔහුට තිබෙන රෝග අතර ඔහුට තිබෙන සුවිශේෂීම රෝගී තත්ත්වය තමයි රෑට නින්දෙන් හුස්ම හිරවීම. එය රෝගී තත්ත්වයක්. ඔහුට නොදැනුවත්වම ඔහු ලබා ගන්නා ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. අන්න ඒ වෙලාවට ඔහුට කෘතිමව ඔක්සිජන් සපයන්න ඕනේ."

"ස්වාමීනි, මේ වෙලාවේ බන්ධනාගාරයේ ඔය කියන රෝගී තත්ත්වයට ලබාදෙන්න ඕන ප්‍රතිකාර නැහැ."

එසේ කී ජනාධිපති නීතීඥවරයා අදාළ රෝගී තත්ත්වය ඇතිවූ අවස්ථාවක පුද්ගලයෙකු නිදාගත යුතු ආකාරය දැක්වෙන රූප සටහනක් මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කළ අතර ඇය ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසිනි.

"කිසියම් සැකකරුවකුට රෝගී තත්ත්වයන් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට පිළිගත හැකි සත්‍ය වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතුයි. නැතුව ෆොටෝකොපි ඉදිරිපත් කරලා ඒවා පිළිගන්න බැහැ. ඒවගේම අන්තර්ජාලයෙන් ලබාගත් රූප සටහන් අධිකරණයට ඉදිරිපත් කළාට ඒවා පිළිගත හැකි සාක්ෂි නොවෙයි. අධිකරණය ඉදිරියේ චිත්‍රපටි පෙන්වන්න අවස්ථාව දෙන්න බැහැ"

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 6 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කෙරුණද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද දින අධිකරණයට ඉදිරිපත් නොකෙරුණි.

බන්ධනාගාර නිලධාරීන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම්දුන්නේ රෝගී තත්ත්වයක් මත සැකකාර හිටපු අමාත්‍යවරයාව අද දින අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි අතර පෙබරවාරි 22 වැනිදා වනවිට ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවය.

අනතුරුව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් දා සිට මේ දක්වා සිදුකළ විමර්ශන සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය කරුණු දැක්වූවාය.

"ස්වාමිනී, මෙම නඩුවේ 8 වැනි සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යොමුවීම සඳහා ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පා ඇතැයි විමර්ශනයේදී තවදුරටත්‍ තහවුරු වෙමින් තිබෙනවා. 2022 සැප්තැම්බර් 26 වැනිදා ඔහු විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ පත්‍රිකාවේ රට තුළ ඖෂධ 182ක හිඟයක් පවතින බවත්, සති දෙකක් තුළ එම හිඟය නොපියවුවහොත් මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩාවැටිය හැකි බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ඖෂධ 182ක් කිව්වාට ඒ කුමන ඖෂධදැයි කිසිඳු ලේඛනයක සඳහන් වෙලා නැහැ. ස්වාමීනි ඊට පසුදිනම මෙම නඩුවේ 6 වන සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඖෂධ වර්ග 285ක් සඳහා හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ අභිලාෂ කැඳවා තිබෙනවා. එහෙත් ස්වාමිනී එයින් ප්‍රසම්පාදනය ක්‍රියාවලියට යොමුකර ඇත්තේ ඖෂධ 229කට අදාළව පමණයි. එකී ඖෂධ සම්බන්ධයෙන් ප්‍රසම්පාදනය සිදුකරන අවස්ථාව වනවිටත් ඖෂධ 19ක් හැර සෙසු ඒවා සියල්ලටම අදාළව ප්‍රමාණවත් තොග මෙරට තුළ පැවතී තිබෙනවා. ස්වාමීනී, ඉතිරි ඖෂධ 19න් 9ක් සම්බන්ධයෙන් අද වනතුරුත් ප්‍රසම්පාදනයක් සිදුව නැහැ. ප්‍රසම්පාදනය සිදුකළ ඖෂධ 10ට අදාළව ඖෂධ ලැබී ඇත්තේ මාස 3කට පසුවයි. එබැවින් ස්වාමීනි ඉතා පැහැදිලිව පෙනී යනවා නොතිබූ ඖෂධ හිඟයක් මවා පාමින් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවට යොමුකර ඇත්තේම රටේ ජනතාවගේ මුදල් රුපියල් බිලියන 2ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමට චේතනාන්විතව ආධාර අනුබල දීම සඳහා බව."

මෙහිදී ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයූ සැපයුම්කරුට මුදල් ගෙවා ඇති ආකාරය සම්බන්ධයෙන්ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විශේෂ අනාවරණයක් සිදුකළාය.

"ස්වාමීනි, ඉන්දීය ණය යෝජනා ක්‍රමයට යොමුවෙනවානම් අනිවාර්යයෙන්ම මුදල් ගෙවිය යුත්තේ එම මුදල් යෝජනා ක්‍රමයට. නමුත් ස්වාමීනි මෙහි සිදුව ඇති වංචාව පැහැදිලිව පෙනී යන කරුණත් තමයි ඊට මුදල් ගෙවා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂය යටතේ. මුදල් ගෙවූ වැය ශීර්ෂය ලෙස සඳහන් වන්නේ ඔක්සිජන් මිලදී ගැනීම සඳහා මුදල් ගෙවීමක් ලෙසයි."

මෙහිදී මහෙස්ත්‍රාත්වරිය රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ ප්‍රශ්න කර සිටියේ ව්‍යාජ ලෙස හිඟයක් මවාපාන ලද ඖෂධ 182 පිළිබඳ සටහන් වූ ගැසට් පත්‍රයට අදාළව ගොනුව පවත්වාගෙන යන ලද්දේ කවුරුන් යටතේද යන්නයි.

ඊට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙලෙස පිළිතුරු දුන්නාය.

"ස්වාමීනි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් නියාමන අංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක යටතේ මෙම ගොනුව පවත්වාගෙන ගොස් තිබෙනවා. නමුත් ඔහුගෙන් මේ ගැන ඇහුවම ඔහු ඊට අදාළ කිසිදු සත්‍ය ලේඛනයක් නොමැති බව සඳහන් කර තිබෙනවා. ඔහු විමර්ශන
නිලධාරීන්ට දී තිබෙන්නේ ෆොටෝකොපි පමණයි. අපිටත් ප්‍රශ්නයක් කිසිම සත්‍ය ලේඛනයක් නැතිව කොහොමද කැබිනට් පත්‍රිකාවට ඖෂධ හිඟයි කියලා යොමුකළේ කියලා."

සජබ දීගය අලුත් කළ සජිත් ආයෙත් නාගෙන !

ඔන්න ඊයේ (14) දසලක්ෂයක් ඡන්ද තියෙන වතුකරයේ ප්‍රබලම පක්ෂ කීපයකුත් එක්ක සජිත් අලුත් ගිවිසුමක් ගහලා.

සමගි ජන බලවේග රජයක් යටතේ ජනාධිපති කාර්යසාධන බලකායක් වෙනමම ස්ථාපිත කර, උඩරට පහතරට වතු ප්‍රජාව මුහුණ දෙන ආර්ථික සමාජීය සංවර්ධන හා දේශපාලන ගැටලු ඇතුළු යටිතල ක්ෂේත්‍රයේ තිබෙන්නා වූ ගැටලු ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන සම්මුතියකට ගිවිසුම් ගත වූනා කියලා විපක්ෂ නායකතුමා කියනවා.

විපක්ෂ නායක සජිත් ඒ කතාව කියලා තිබුනේ, 14 වෙනිදා සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේදී උඩරට හා පහතරට වතු ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂා කර දෙන බවට වන ප්‍රතිඥාවක් ලබා දෙමින්, වතුකරයේ දේශපාලන පක්ෂ සහ නියෝජිතයන් රැසක් සමග සමාජ ගිවිසුමකට අත්සන් තබමින් ..

මෙම ගිවිසුම සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායකවරයා වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , දමිල ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, ජාතික කම්කරු පෙරමුණේ නායක පලනි දිගම්බරම්, කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධාක්‍රිෂ්ණන් , කෑගල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා , මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලුකුමාර් සහ නුවරඑළිය දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. උදයකුමාර් අත්සන් කරලා තිබුනා.

සජිත් ඔය වතුකරේ අලුත්ම කණ්ඩායමක් එක්ක ගිවිසුම් ගහපුවා වගේ පෙන්නුවට මොකද, ඔය වතුකරේ නායකයෝ කොහොමටත් හිටියේ සජබත් එක්ක.

ඒ නිසා ඔය ඊයේ ගහපු ගිවිසුම මාධ්‍ය සංදර්ශනයක් කියලයි සමහරු කියන්නේ..

ඒ කියන්නේ ඔය විමල්ල කියනවා වගේ සජිත් කරන කරන වැඩේ අල කරගන්නවා කියන එක ද ? ඒ කියන්නේ සජබ කට්ටියට අලුත් අපේක්ෂකයෙක් හොයාගන්න වෙයි කියන එක ද ?

  • දේශපාලන වාර්තාකරු

මහකනදරාව වැව ආශ්‍රිත ගොවි ජනතාවගේ ගැටලු සොයා බැලීමට ජනපති එක් වෙයි !

මහකනදරාව වැව මූලාශ්‍ර කරගත් අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය අද (15) පෙරවරුවේ විවෘත කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණදී සිටින ගැටලු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය.

එහිදී ගොවි ජනතාව තම ගැටලු සෘජුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ අතර ඊට සාධනීය පිළිතුරු ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

ව්‍යාපෘතියට අදාළව මතුව ඇති විරෝධතා පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා කියා සිටියේ ජල ව්‍යාපෘතිය මේ වන විට ඉදිකර අවසන් බැවින් එය නවත්වන ලෙස උද්ඝෝෂණය කරනවාට වඩා ඉදිරියට ගත හැකි පියවර කුමක්දැයි විමසීම වැදගත් බවයි.‍

ඒ පිළිබඳ ගොවි ජනතාවට තිබෙන යෝජනා සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා එහි සාධනීය කරුණු කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

මෙරට ගොවි ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට ඉටුකර ඇති කාර්යභාරය අනුව මහකනදරාව වැව ආශ්‍රිත ගොවි ජනතාව වෙත ද ලබා දුන් පොරොන්දු ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බව මහකනදරා වැව ඒකාබද්ධ ගොවි ව්‍යාපාරයේ සභාපති සුභසිංහ රත්නායක මහතා මෙහි දී සඳහන් කළේය.

මහකනදරාව වැවට ජලය ගෙන එන බෙදීම් ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා අදාළ මුදල් ලබා දෙන්නේ නම් විශාල ජල ධාරිතාවක් ඉතිරි කරගත හැකි බව ඒ මහතා පෙන්වා දුන් අතර ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මහකනදරාව වැව ප්‍රතිසංස්කරණය වෙනුවෙන් මේ වසරේදී රජය ලබාදී ඇති රුපියල් බිලියනයක මුදල කඩිනමින් ප්‍රයෝජනයට ගන්නා ලෙසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

මෙම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි. මොකද මෙම ව්‍යාපෘතිය දැන් අතරමඟ නවත්වන්න බැහැ. අපි සෑමවිටම ගොවිතැනට ප්‍රමුඛත්වය දී වැඩ කරනවා.

මෙතෙක් කල් හැම ආණ්ඩුවක්ම සිදු කළේ ජල සම්පාදන මණ්ඩලය එක් ඇමතිවරයෙකුට දී, වාරිමාර්ග තව ඇමතිවරයෙකුට ලබාදීම. නමුත් දැන් මේ විෂය පථ දෙකම එක ඇමතිවරයෙක් යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ වැඩකටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද කියා අප සාකච්ඡා කර තීරණය කළ යුතුයි.

වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ :

මෙම වැවෙන් අක්කර අඩි 1000ක ජලධාරිතාවක් අනිවාර්යයෙන් ලබා ගන්නා බවට එකඟතාවයක් නැහැ. කෘෂිකර්ම කටයුතු සඳහා මූලිකත්වය ලබා දිය යුතුයි. ගොවි සංවිධානවලට අවශ්‍ය ජල ප්‍රමාණය ලබා දෙන්න. ඒ ප්‍රමාණයන් අනුව පානීය ජලය සඳහා මේ පොම්පාගාරයෙන් කොපමණ ජල ප්‍රමාණයක් ලබා ගන්නවද කියා තීරණය කළයුතුයි. ඒ සඳහා ජල සම්පාදන මණ්ඩලය එකඟ වුණා. වර්ෂාව අඩු වී හෝ කෘෂිකර්මයන්තයට ජලය අවශ්‍ය වුවහොත් මෙම වැවෙන් ජලය ලබා ගන්නේ නැහැ. එම යෝජනාව නීත්‍යානුකූල ලියවිල්ලක් ලෙස සකස්කර ගොවි ජනතාවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ ජල සම්පාදන අමාත්‍යංශයේ නිලධාරීනුත් එක්ව අවබෝධතා ගිවිසුමකට එළැඹිය හැකියි. ඒ සඳහා ඔබේ තවත් යෝජනා තිබෙනවා නම් ඒවාද ඇතුළත් කළ හැකියි.

හිටපු පළාත් අමාත්‍ය එච් .බී .සේමසිංහ :

මෙම ව්‍යාපෘතිය ඉතා හොඳ ව්‍යාපෘතියක්. මේ ප්‍රදේශවල ලොකු ප්‍රචාරයක් ගෙන ගියා කන්න වතුර දෙනවද, බොන්න වතුර දෙනවද කියලා. මෙහි පෙරමුණේ සිටියේ ජනතා විමුක්ති පෙරමුණයි. ඒ නිසා අද මේ ගොවි ජනතාවට අවශ්‍ය වන්නේ ඔබතුමාගේ සහතිකයයි. කෘෂිකර්මයට හානියක් නොවී, පානිය ජල අවශ්‍යතාවයත් සම්පූර්ණ කිරීමට කටයුතු කරනවා කියන සහතිකය ඔවුන් අපේක්ෂා කරනවා.
මේ සාකච්ඡාව සඳහා සහභාගි වෙන්න බැහැ කියලා ජනාධිපතිතුමා කිසිසේත්ම කිව්වේ නැහැ. එතුමා කිව්වේ මම යන පාරේ සුදුසු ස්ථානයක මේ සාකච්ඡාව පවත්වන්න මම එන්නම් කියලා. මේ මහකනදරාවැව ගොවි ජනතාව වෙනුවෙනුත්, අනෙකුත් ජනතාව වෙනුවෙනුත් අපේ ජනාධිපතිතුමා කෙතරම් සැලකිල්ලක් දක්වනවද කියලා අප අවබෝධකරගත යුතුයි. වෙන නායකයෙක් නම් ඒ අයට එන්න බැරිනම් මම මොකටද වෙන තැනකට යන්නේ කියලා යන්න තිබ්බා. නමුත් එතුමා එහෙම ප්‍රකාශ කළේ නැහැ.

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක :

උද්ඝෝෂණ කළා කියලා ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එම නිසා ජනාධිපතිතුමා ලබා දුන් පොරොන්දුවට අනුව ගොවි ජනතාවත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීනුත් , ජල සම්පාදනය නිලධාරීන්ට එකතුවෙලා ගිවිසුමක් ඇති කර ගනිමු. එම ගිවිසුම කඩ වුණොත් පාරට ඇවිත් මේ ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන්. එහෙම නැතිව මේ ප්‍රශ්නයට පාරේ විසඳුම් නැහැ.

මහකනදරා ඒකාබද්ධ ගොවි ව්‍යාපාරයේ සභාපති සුභසිංහ රත්නායක :

අපි මේ ජල යෝජනා ක්‍රමයට කිසිසේත් විරුද්ධ නැහැ. වැවේ අක්කර 38000ක ජල ධාරිතාවක් තිබෙනවා. ගොවිතැන සඳහා අක්කර අඩි 52000ක් අවශ්‍ය වෙනවා. මේ ඉතිරි අක්කර අඩි 14000 ලබාගන්නේ කොහොමද? එම ප්‍රමාණය ප්‍රමාණවත් නැතිකොට ජල සම්පාදනයට අක්කර අඩි දාහක් අවුරුද්දකට ලබා දෙන්නේ කොහොමද? මෙම ප්‍රශ්නයට උත්තරයක් තිබෙනවා නම් අපි එය පිළිගන්න සූදානම්.
මහකනදරා වැව ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ ජනාධිපතිවරයෙක් සමඟ අප සාකච්ඡා කරන පළමුවෙනි අවස්ථාව මෙයයි. ඔබතුමා ලබාදෙන පොරොන්දු හා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ අපට විශ්වාසයක් තිබෙනවා.

මහකනදරා ගොවි ව්‍යාපාරයේ භාණ්ඩාගාරික තුසිත සම්පත් :

අපි මේ කුඹුරෙ ඉඳලා උද්ඝෝෂණයකට ආවේ ජල සම්පාදන ව්‍යාපෘතිය නවත්වන්න කියන්න නොවෙයි. අපේ ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබාගන්නේ කොහොමද කියන කාරණයටයි. ජනතාවට පානීය ජලය ලබා දෙනවාට අපි විරුද්ධ නැහැ. නමුත් මෙතනින් අඩුවන ජලය අපේ ගොවිතැනට ලබා ගන්නේ කොහොමද කියන එකයි අපි අහන්නේ. දෙපැත්තටම එක ලෙස වතුර දෙන්න පුළුවන් නම් අපි පාරට එන්නේ නැහැ.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240215 WA0019

ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ජයිකා සභාපතිවරයාගේ ඇගයීමට !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) සභාපති ආචාර්ය ටනකා අකිහිකෝ අතර හමුවක් ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

නව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම දුෂ්කර ක්‍රියාවලියක් වුවද ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ කැපවීම මෙහිදී ආචාර්ය ටනකා අකිහිකෝ ගේ ඇගයීමට ලක් විය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සහ මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක, දැනට අතරමඟ නැවතී ඇති ව්‍යාපෘති කඩිනමින් නැවත ආරම්භ කිරීමට තම අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසීය.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජපාන රජය සහ ජයිකා ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහය වෙනුවෙන් ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වූ පසු දැනට අත්හිටුවා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජයිකා ආයතනය සූදානමින් සිටින බව ආචාර්ය අකිහිකෝ මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240215 WA0013

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේත් දත්ත මැකිල්ලක් !

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණනයේ හඳුනාගත් මුලික කරුණු අද (15) සවස තමා වෙත ලැබුණු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට ඔහු 2022 වසරේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වෝහාරික පරීක්ෂණය සිදුකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට දන්වා ඇත.

ඒ අනුව KPMG නම් අන්තර්ජාතික විගණන ආයතනය සහ ලංකා තෙල් ගබඩා පර්යන්තයේ අභ්‍යන්තර විගණන අංශය විසින් අදාළ පරීක්ෂණය සිදුකර තිබුණි.

ඒ අනුව, 2010 වසරේ සිට තොරතුරු දත්ත ලක්ෂ 13ක් ප්‍රධාන පද්ධති යෙදවුමෙන් මකා දමා හෝ වෙනස්කර ඇති බවද, ඉන් බහුතරය 2022 වසරේදී ඉන්ධන අර්බුදය ඇතිවූ අවස්ථාවේ සිදුවී ඇති බවද වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 2022 වසරේ සිදුකළ පැමිණිල්ලට පසුව 2023 වසර වනවිට එම දත්ත මකා දැමීම් හෝ වෙනස් කිරීම් අඩුවීමක් ඇතිවී තිබෙන බවද ඉන් සඳහන් කර තිබේ.

2022 වසරේ ඉන්ධන තොග පවත්වාගෙන යාමේ සහ ගබඩා කිරීමේ අලාභය ලෙස රුපියල් බිලියන 28ක් වාර්තා කර ඇති බවත් එය 2023 වසර වන විට රුපියල් බිලියන 4 දක්වා අඩුවී ඇති බවද පැවසෙයි.

පැරණි චක්‍රලේඛ සහ රෙගුලාසි මත මෙහෙයුම් සිදුවන බව සහ ප්‍රමාණවත් දත්ත සහ තොරතුරු නොමැති බවද නිරීක්ෂණය වී ඇත.

මෙහි සම්පූර්ණ පරීක්ෂණ වාර්තාව එළඹෙන සතියේදී KPMG ආයතන විසින් ලබාදීමට නියමිතය.

පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට සහ අවශ්‍ය ඉදිරි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන අතර මෙම වාර්තාව ඉදිරි අවශ්‍ය කටයුතු වෙනුවෙන් කැබිනට් මණ්ඩලයටද, පාර්ලිමේන්තුවටද, විගණකාධිපති දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ව්‍යවස්ථා සභාවට එරෙහිව නඩුවක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නිර්දේශයක් ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

වත්මන් අභියෝජනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරැනාරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශයා පිළිබඳවයි.

නීතීඥ සරිත් මහීපුත්‍ර විසින් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ වග උත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා කථානායකවරයා විපක්ෂ නායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාමාජිකයන් පිරිසක් නම් කරමිනි.

පෙත්සම්කරු පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙම නිර්දේශය ප්‍රතික්ෂේප කිරීම අත්තනෝමතික සහ අසාධාරණ තිරණයක් බවය.

ප්‍රමිතගේ අපේක්ෂකයාත් රනිල් : ප්‍රසිද්ධියේම කියයි !

ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් තම සහය ලබා දෙන බව ආරක්ෂන රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පල කලේ මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිත පිරිසක් හමුවී අදහස් දක්වමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මෙසේද පැවසීය .

රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් සහය පල කිරීමට තමන් තීරණය කලේ ආර්ථික වශයෙන් රට වැටී තිබුණ මොහොතේ රට භාර ගැනීමට කිසිම නායකයකු ඉදිරිපත් නොවූ අවස්ථාවේ එතුමා මෙම අභියෝගය භාර ගෙන මේ දක්වා සාර්ථකව අපේ රට යම් ස්ථාවරත්වයකට පත් කර ගැනිමට අවශ්‍ය නායකත්වය ලබා දි තිබෙනවා.

මෙය මාගේ පෞද්ගලික තීරණයයි. මෙය මා නියෝජනය කරන පක්ෂයේ තීරණය නොවේ. අපේ පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා ද නැත්නම් අපි වෙනත් අපේක්ෂකයකු සමග සන්ධානගත වෙනවාද කියලා අපේ පක්ෂය තවම තීරණය කර නැහැ. එම නිසා රට ගැන සිතා මම රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් මගේ සහය ලබා දෙනවා.

නඩු ප්‍රමාදය වැළැක්වීමට සමථ මණ්ඩල ක්‍රමය ඉතාම සාර්ථකයි - අධිකරණ ඇමති

ශ්‍රී ලංකාවේ අධිකරණවල පවතින නඩු ප්‍රමාදය වැලැක්වීමට  ඉතාමත් සාර්ථක ක්‍රමවේදය වන සමථ මණ්ඩල ක්‍රමය ප්‍රචලිත කිරීමට මේ වන විටත් කටයුතු කර අධිකරණවල නඩු ගොඩ ගැසීම වැලැක්වීමට අවශ්‍ය මූලික පියවර ගෙන තිබෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ  පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්ය භාරය හා 2024 අංක 02 දරණ සමථ මණ්ඩල ( සංශෝධන ) පනත පිළිබදව අධීකරණ අමාත්‍යාංශයේදී අද පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

1988 අංක 72 පනත මඟින් සමථ මණ්ඩල පනත මඟින් සමථ මණ්ඩල කොමිෂන් සභාව පිහිටුවීමෙන් අනතුරුව 2015 පමණ කාලය වන විට ශ්‍රී ලංකාව තුළ පැවති නඩු කටයුතු වලින් සියයට හතලිස් පහක් පමණ ප්‍රමාණයක් විසදීමට හැකිව තිබූ අතර සමථ මණ්ඩල ක්‍රමය තුල කරන ලද විවිධ ප්‍රතිසංස්කරණ හරහා මෙ වන විට නඩු විසදීමේ ප්‍රතිශතය සියයට හැත්තෑවක පමණ ප්‍රමාණයකින් ඉහල ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.

අධිකරණය පිළිබඳ විශ්වාසය අඩුවීමට එක් හේතුවක් ලෙස අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අධිකරණයන්හි සිදුවන නඩු ප්‍රමාදවීමයි. එම නඩු ප්‍රමාදය වැලැක්වීමේ එක් ක්‍රමවේදයක් ලෙස සමථ මණ්ඩල ක්‍රමය ව්‍යාප්ත කිරීම කාලෝජිත බව අමාත්‍යවරයා පෙන්වා දුන් අතර රුපියල් ලක්ෂ පහකට අඩු මූල්‍යමය නඩු කටයුතු විසදීමට සමථ මණ්ඩලවලට ලබාදී තිබූ බලය වර්තමානය වන විට රුපියල් ලක්ෂ දහය දක්වා වැඩි කිරීමට කටයුතු කල අතර ඒ හරහා මූල්‍යමඩ ගැටළු සමථකරණය කිරීමට ඇති හැකියාව ව්‍යාප්තවී තිබෙනවා.

ඊට අමතරව විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල ඉතා විශාල වශයෙන් ඉඩම් ආරවුල් පවතින බැවින් ඒ සඳහා එම පළාත් දෙක සඳහා වෙනම ඉඩම් සමථ මණ්ඩල ක්‍රමය හදුන්වා දී තිබූ අතර එය ඉතාමත් සාර්ථක ආකාරයෙන් ක්‍රියාත්මක උනා එම පළාත් දෙකෙන් පිට තවත් දිස්ත්‍රික්ක 16ක් සඳහා මෙම ඉඩම් සමථ ක්‍රමය හදුන්වා දීම කල අතර එය ඉතාමත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බවත් ඒතුළින් අධිකරණ වල නඩු විභාගවීමට නියමිතව තිබූ ආරවුල් විශාල ප්‍රමාණයක් සමථයට පත්කර ගැනීමට හැකිවූවා සේම අධිකරණයන්හි ගොඩගැසීමට නියමිතව තිබූ නඩු අවම කර ගැනීමට හැකිවීමත් සමථකරණ ක්‍රියාවලිය තුළින් සිදුවී ඇැති බව අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.

වර්තමානය වන විට බන්ධනාගාර තුළ රඳවා තබා ඇති රැඳවියන් සංඛ්‍යාව තිස්දහස ඉක්මවා ඇති බැවින් බන්ධනාගාරවල තදබදයක් ඇතිවී තිබෙන බව සඳහන් කල අමාත්‍යවරයා පැහැදිලි කලේ කුඩා කුඩා වැරදිවලට බන්ධනාගාර තුල රඳවා තැබීමට අධිකරණයන්හි විනිසුරුවරුන්ට ද සිදුවී ඇති අතර එම ක්‍රමය වෙනස් කරමින් එම සැකකරුවන් ලියවිල්ලක් මඟින් තමන්ගේ ඥාතීන්ට හෝ භාරකරුවකු වෙත වගකීම පවරා නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමය පිළිබඳව අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබීය.

රනිල්ගේ කැම්පේන් එක හරීන්ට දීලා : UNP සන්ධානය හදන්න රවීට දීලා !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට එනවා කියලා තවම නිල වශයෙන් කියලා නෑ තමයි. ඒත් දැන් ලැබෙන ආරංචිවල විදියට රනිල් හීනියට හීනියට කැම්පේන් එක පටන් අරන්..

ලන්සලා එක්ක එක පෙරමුණකින් සටන පටන් අරන් තියන ගමන්, ඇමති ප්‍රසන්නලා ලව්වා පොහොට්ටුවේ ඇතුලේ බලය තහවුරු කර ගනිමින් ඉන්නවා. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් නොදා තමන්ට සහය ගන්න තමයි රනිල්ට ඕනවෙලා තියෙන්නේ.

අනිත් පැත්තෙන් වජිරලා - රවීලා - හරින්ලා ලව්වා විපක්ෂයේ උදවිය බිලිබා ගන්න මෙහෙයුමක් පටන් අරන්.

ඔය විදියට රනිල් ගේමට බහිද්දී , '' රනිල්ගේ කැම්පේන් මැනේජර් කව්ද ?'' කියලයි සමහරු අහන්න ගත්තේ. මොකද ඔය කැම්පේන් මැනේජර් වගකීමට ලංකා බැංකු සභාපති , රොනල්ඩ් පෙරේරා පත්කරලා කියලා, පහුගිය ඉරිදා සිළුමිණ ආණ්ඩුවේ පත්තරේ ලොකුවට තිබුනා ..
.
ඊට පස්සේ කතාව ගියේ රනිල්ගේ කැම්පේන් මැනේජර් විදියට නීතිඥ මහින්ද හාරදාස පත්කරලා කියන කතාවක්..

ඔන්න රනිල් ඊයේ (13) හවස UNP මැනේජ්මන්ට් කමිටුවේ කීපදෙනෙක් ගෙන්නලා, ඒ අවුල විසඳලා කියලයි ආරංචි.. ඒ ආරංචිවල හැටියට , සිරිකොතේ ඉඳගෙන රටපුරා UNP කැම්පේන් එක රොනල්ඩ් පෙරේරාට පවරලා. මුදල් කටයුතු හාරදාස් ට බාරදීලා .. ජනාධිපතිවරණ සමස්ත කැම්පේන් එක බාරදීලා තියෙන්නේ ඇමති හරින් ප්‍රනාන්දු ට.. ඒ විතරක් නෙමෙයි, UNP එකේ මුලිකත්වයෙන් අලුත් සන්ධානයක් හදන වැඩේ කැඳවුම්කරු විදියට රවී කරුණානායක ව පත්කරලා.

හැබැයි ඔය කිසිකෙනෙකුට ඒ වගකීම් පවරලා ලියුම් කඩදහි නම් දීලා නෑ කියලයි ආරංචි.

ඒ කොහොම වුනත් UNP සන්ධානේ කැඳවුම්කරු විදියට රවීගේ නම් රනිල්ගේ කටින් පැන්නා විතරයි රවී ගේමට බැහැල කියලයි ආරංචි.

ඔන්න ඊයේ රෑම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කීපදෙනෙක් රවී එයාගේ ගෙදර ගෙන්න ගෙන. ටික වෙලාවක් යද්දී ජනාධිපති වික්‍රමසිංහත් , රවී කරුණානායක ගේ ගෙදර ගිහින්.. විපක්ෂ මන්ත්‍රීලා කිපදෙනත් එක්ක පැය දෙකතුනක විතර සීරියස් කතාබහක් තිබුනා කියලා තමයි කනින් කොනින් ආරංචි වෙන්නේ..!

  • දේශපාලන වාර්තාකරු

සෞඛ්‍ය වර්ජනය ඉවරයි !

වෛද්‍යවරුන් සඳහා ලබාදෙන DAT දීමනාව ඉල්ලා සිටිමින් සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක් විසින් දියත්කර තිබූ වර්ජනය හෙට (15) පෙරවරු 06.30 ට අවසන් කරන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් පවතින ගැටලුව සාකච්ඡා කිරීම සඳහා සාකච්ඡාවක් ලබා දෙන බව ලිඛිතව ලබාදීම හේතුවෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කරන බව ඔහු පවසයි.

කෙසේ වුවත් මීට පෙර මෙම වෘත්තීය සමිති පවසා සිටියේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් තම ගැටළුව පිළිබඳව සාකච්ඡා කිරීමට ලිඛිත දැනුම් දීමක් සිදුකරන තුරු වර්ජනය ක‍්‍රියාත්මක කරන බවය.

කෙසේ වුවත් මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රොහල් වල රෝගීන් දැඩි පිඩාවට ලක්ව සිටි බව වාර්තා වෙයි . එසේම සෞඛ්‍ය සේවයේ සියලු අංශ අත්‍යවශ්‍ය සේවා කරමින් ඊයේ (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අණ පරිදි ගැසට් නිවේදනයක් ද නිකුත්කර තිබිණ.

Page 97 of 459