V2025

පුවත්

ග්‍රාම නිලධාරීන්ගේ දීමනා ඉහළට !

ග්‍රාම නිලධාරීන් සඳහා ගෙවනු ලබන දීමනා සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති අතර ඒ අනුව, අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රාම නිලධාරීන් සඳහා ලබාදෙන කාර්යාල දීමනා හා ලිපිද්‍රව්‍ය දීමනා ඉහළ දමා ඇත.

ඊට අදාළ චක්‍ර ලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර තිබෙන බවද වාර්තා වෙයි .

ඒ අනුව මහනගර සභා, නගර සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 3,000 දක්වා ඉහළ දමා ඇති අතර ප්‍රාදේශීය සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 2,000 දක්වා ඉහළ දමා ඇත.

වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව ද රුපියල් 3,000 දක්වා ඉහළ දමා ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කර සිටියි .

ප්‍රථමවරට මෙරට බීජ අපනයනයට සූදානම්

ප්‍රථමවරට මෙරට බීජ වර්ග කිහිපයක් අපනයනය සඳහා සූදානම් කර තිබේ.

ඒ අනුව මිරිස්, වම්බටු , මාළු මිරිස් හා බණ්ඩක්කා සහ බඩඉරිඟු විශේෂ කිහිපයක් සාර්ථක ලෙස අත්හදා බලා ඇති අතර එම බීජ සඳහා ඉහළ ඉල්ලුමක් විදේශ රටවල් ගණනාවකින් ඉදිරිපත් ව ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා මෙරට පුද්ගලික අංශය එක්ව මෙම නව බීජ වර්ග පීළිබඳ පර්යේෂණ සිදු කර ඇති අතර බීජ පිළිබඳ පර්යේෂණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් විසින් සිදු කර තිබේ.

එමෙන්ම එම බීජ වැඩි දියුණු කිරීම හා සැකසීම ඉහළම තාක්ෂණය හා විශේෂඥ සහයෝගය ලබා ගනිමින් මෙරට පුද්ගලික අංශය විසින් සිදු කර ඇත.

ඒ අනුව මෙම වසර තුළ පළමුවරට මෙරටින් ඉහත සඳහන් කළ බීජ වර්ග යම් ප්‍රමාණයක් අපනයනය සඳහා සූදානම් කර ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන්  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරට දැනුම් දුන්නේය.

ඊයේ (06) පස්වරුවේ අමාත්‍යවරයා පැල්වෙහෙර CIC ගොවිපොළේ පර්යේෂණ වගාවන් නිරීක්ෂණය කළේය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මෙතෙක් විවිධ බෝගවර්ග සදහා බීජ වර්ග විදේශ රටවලින් මෙරටට ආනයනය කළ ද මේ වනවිට අපේ රටේ වගාවට ඉතාමත් උචිත බීජ නිෂ්පාදනය කෙරෙමින් තිබීමඅගය කළ යුතු යැයි ද ප්‍රකාශ කළේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දුන් MICH 1 -2 මිරිස් ප්‍රභේදය මේ වනවිට රට පුරා ඉතාමත් සාර්ථකව අස්වනු ලබා දෙමින් ඇත. එම මිරිස් වගාවෙන් අඛණ්ඩව මාස 09ක් අස්වනු ලබා ගැනීමට හැකියාව තිබේ. මේ අයුරින්ම සාර්ථක ලෙස බඩඉරිඟු ඇතුළත් තවත් එළවළු බෝගවර්ග ගණනාවක් හා පලතුරු ප්‍රභේද ගණනාවක් සම්බන්ධව සිදු කළ පර්යේෂණ සාර්ථකවීම මත ඉදිරියේ දී මෙරටට බීජ ආනයනය කිරීම නැවැත්වීමට හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

මේ නිසා බීජ වර්ගවල මිල ගණන් සියයට 50කින් පමණ අවම වනු ඇත. අපේ රටේ ගොවීන්ට ආනයනික බීජවලට ඉතාමත් අඩු මිලකට මෙම බීජ වර්ග මිල දී ගැනීමට අවස්ථාව සලසන්නැයි ද අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලති පරසුරාමන්ද සහභාගි වූවාය.

ජනපති, රට ජයග්‍රහණය කිරීමේ වගකීම තරුණ පරපුරට පවරයි

නවීන කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සමඟ 2048 වන විට සමෘද්ධිමත් ශ්‍රි ලංකාවක් ගොඩනැගීමේ ගමනට රජය මේ වන විට අවතීරණ වී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

එම ගමන සමඟ ඉදිරියට ගොස් රට ජයග්‍රහණය කිරීමේ වගකීම තරුණ පරපුරට පැවරෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා සටන් පාඨ හා තර්කවලට යටවී රටේ අනාගතය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අමතක නොකළ යුතු බව ද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ “මගෙන් පටන් ගමු” අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සමුළුවට ඊයේ (06) පස්වරුවේ එක්වෙමිනි.

කූඹිච්චංකුලම වැව් ඉස්මත්තේදි පැවති මෙම සමුළුවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටි අතර, ඔවුන් තමන්ගේ ගැටළු රැසක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

එම බොහෝ ගැටළුවලට එම අවස්ථවේදීම විසදුම් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළ අතර අනෙකුත් ගැටළු විසඳිමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙහිදී මතු කෙරුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුවේ සහතිකයට ජීවිතය අසමත් වීමට කිසි ලෙසකත් ඉඩ නොතබන බවත්, ගොඩනැගෙන ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රැසක් විවර කර දීමට අපේක්ෂා කරන බවත්ය. එමෙන්ම ඉදිරියේදී සාමාන්‍ය පෙළ සහතිකය නිසා වසර දහතුනක අධ්‍යාපනය නවතා දැමීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා පැවසිය.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන යන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා තරුණ තරුණියන් දැනුවත් කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම නීතිගත කරමින් එම සහනය රටට ලබාදීමට කටයුතු කරන බවත්, ආර්ථිකය ප්‍රතිව්‍යුහගතකිරීමේ නව නීතිය මෙම මැයි මාසයේ දී ගෙන එන බවත් සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවිමේ කාලය 2042 දක්වා දීර්ඝ කර ගැනීමටත්, එම ණයවලින් කොටසක් ඉවත් කර ගැනීමටත් සාකච්ඡා කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යාමට නම් අපනයන ආර්ථිකයක් කඩිනමින් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය. මෙරට තරුණ තරුණියන් නවීන තාක්ෂණයෙන් බල ගන්වමින් ඔවුන් රටේ ආර්ථිකයට සෘජුව දායක කර ගැනීමේ වැඩපිළිවෙළ රජය සතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ , පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක , හිටපු අමාත්‍ය පී. හැරිසන්, එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු පිළිබඳ) රජිත කීර්ති තෙන්නකෝන් , ජනාධිපති වෘත්තිය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, උතුරු මැද පළාත් හිටපු විපක්ෂ නායක නීතිඥ කස්තුරි අනුරාධනායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාව ට එක්ව සිටියහ .

කයියනායකලාට හෝ බස් ඩ්‍රයිවර්ලට රට දියුණු කරන්න බෑ !

ජනාධිපති පුටුවට කයියනායකලා හෝ බස් රියදුරන් පත් කරගෙන රටක් දියුණු කරන්නට බැරි බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි .

කයිය ගහලා ලොකු රැස්වීම් කළ පළියට රටක් දියුණු කරන එක පහසු නැති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මේ බව සඳහන් කර සිටියේ බදුල්ලේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අද රටේ ජනතාව මැතිවරණයක් වුවමනා කියා දඟලන්නේ නැති බවත් මිනිස්සුන්ට අවශ්‍ය ජීවත්වීම බවද අමාත්‍යවරයා පැවසීය.

දේශපාලනයේ කිසිම අභියෝගයක් බාරගත්තේ නැති අය රට කඩා වැටී මිනිස්සුන් මැරී වැටෙද්දී අභියෝග භාර නොගත් මිනිසුන් දැන් රට බේරාගන්න මැතිවරණයක් ඉල්ලන බවද ඔහු පැවසීය .

ව්‍යස්ථානුකූලව ඔක්තෝබර මාසයේ ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය .

සජිත්ගේ වැඩ අත්තනෝමතිකයි : තිස්සත් කලකිරිලා !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් වන සමගි ජනබලවේගය පක්ෂයේ අභ්‍යන්තරයේ බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පක්ෂයේ තීන්දු තීරණවලදි පක්ෂ නායකයා අත්තනෝමතික ලෙස හැසිරෙමින් සිටින අතර පක්ෂ අභ්‍යන්තරයේ ද කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති තත්ත්වයක් මතුව තිබේ.

මේ සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් දැඩි කළකිරීමක පසුවෙයි.

ඒ බව සනාථ කරමින් අද (06) සජබ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ද මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීය.

එහිදී සමගි ජන බලවේගයට විවිධ පාර්ශ්වය එක්කර ගනිමින් සමගි ජන සන්ධානය බිහිකිරීම පිළිබඳව එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කණස්සල්ල පල කර සිටියේ ය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ සමගි ජන සන්ධානය බිහිකිරීමේදී පක්ෂ ජේෂ්ඨයක් නිසි පරිදි දැනුවත් කරන්න කටයුතු නොකරන බවයි.

මීට පෙර එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාල ද මෙම චෝදනාවම එල්ල කළාය.

එංගලන්තය ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය අලුත් කරයි !

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති වත්මන් ආර්ථික ප්‍රගතිය හේතුවෙන් එක්සත් රාජධානිය විසින් සිය පුරවැසියන් සඳහා නිකුත් කර තිබූ ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය (Travel Advisory) 2024 අප්‍රේල් මස 05 වැනි දින සිට යාවත්කාලීන කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබේ.

හදිසි වෛද්‍ය සේවාවන් ලබාගැනීම, රට තුළට ඇතුලුවීමේදී ආරක්ෂාව සම්බන්ධයෙන් පැවතිය යුතු අවශ්‍යතා, මාර්ගවල ගමන් කිරීමේදී පවතින ආරක්ෂාව, රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම ආදී අංශයන්හි පෙර පැවති තොරතුරු යාවත්කාලීන කිරීම මෙමගින් සිදු කර ඇත.

ඒ අනුව ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟය පිළිබඳව පසුගිය උපදේශනය තුළ අඩංගු කර තිබූ කරුණු යාවත්කාලීන කරන ලද මෙම සංචාරක උපදේශනයෙන් ඉවත් කර ඇත.

මීට අමතරව වෛද්‍ය උපකරණ හිඟය වැනි සෞඛ්‍ය සේවාවල සීමාවන් පිළිබඳ දක්වා තිබූ අවදානම ද ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකාව විසින් වර්තමානයේ අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සංචාරකයින් තුළ පැහැදිලි අවබෝධයක් ඇති කිරීම සඳහා පෙර සංචාරක උපදේශනය මඟින් දක්වා ඇති මෙම අහිතකර තොරතුරු ඉවත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් බ්‍රිතාන්‍ය බලධාරීන් වෙත විටින් විට කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

ජනවාරි 1 සිට මාර්තු 27 දක්වා කාලය තුළ එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයින් 53,928 ක් පැමිණ ඇති අතර එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන තුන්වන විශාලතම රට වේ.

යාවත්කාලීන කරන ලද මෙම සංචාරක උපදේශනය මගින් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට තවත් දිරිගැන්වීමක් සපයනු ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-04-06

සිනමා කර්මාන්තයට සුබ පුවතක් !

මෙරට සිනමා කර්මාන්තය නියුතු කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීමට පියවර ගන්නා බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග පැවසීය.

එසේම සිනමා කර්මාන්තයේ සහ කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් වූ සුදුසු යෝජනා මාලාවක් සකස් කර රජයට ලබා දෙන ලෙස ද ඔහු කලාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මේ බව සඳහන් කර සිටියේ මෙරට සිනමාව නවීන ලෝකයට ගැලපෙන ලෙස යාවත්කාලීන කිරීම සහ කේෂ්ත්‍රයට සම්බන්ධ ශිල්පීන්ගේ වෘත්තීය අනාගතය සුරක්ෂිත කිරීම සම්බන්ධව පසුගියදා (02) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී සිනමා කර්මාන්තයේ පවතින ගැටලු පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මෙසේද පැවසීය.

මෙරට සිනමා කර්මාන්තයේ පවතින ප්‍රශ්න සමාජයේ පවතින අනිකුත් ප්‍රශ්න හා සමානයි. මෙරට සිනමාව රැක ගැනීම වෙනුවෙන් ප්‍රවේශ විය යුතු කාලය එළැඹ තිබෙනවා.

ඒ වෙනුවෙන් පොදුවේ අයවැයකට හෝ ප්‍රතිපත්ති මාලාවකට ඉදිරිපත් කළ හැකි යෝජනා පොදු යෝජනා මාලාවක් ඉදිරිපත් කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා. 1993 සිට ආරම්භ වූ කලාකරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප සම්බන්ධව සෑහීමකට පත්වෙන්න බැහැ. එබැවින් එම විශ්‍රාම වැටුප සම්බන්ධව තීරණයක් ගැනීම සඳහා රජයට කරුණු ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙරට සිනමා කර්මාන්තය ආරක්ෂා වීමට නම් කලාකරුවන්ගේ සුබසාධනය ද වැදගත් වනවා. එම නිසා සිනමා කර්මාන්තය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීමට අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් රජයට අවශ්‍ය කරුණු ඉදිරිපත් කිරීමට සුදුසු යෝජනා මාලාවක් ඉදිරිපත් කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය :

කලාකරුවන් වෙනුවෙන් වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් සකස් කිරීමට ඔබ ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා ලබාදීමට හැකියාවක් තිබෙනවා. වයස්ගත වන විට වෘත්තීය කටයුතුවල නිරත වීම අපහසුයි. එබැවින් ඊට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අපි පිළිගන්නවා.

සිනමා කර්මාන්තය වෙනුවෙන් සහ කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් වන ඔබගේ යෝජනා මාලාව කඩිනමින් අප වෙත ඉදිරිපත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ඉතා කෙටි කාලයක් තුළ අදාළ යෝජනා මාලාව ලබා දුනහොත් මුදල් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන සමඟ සාකච්ඡා කර ප්‍රතිඵලයක් ලබා ගත හැකි බව කිව යුතුයි. ඒ වගේම මේ සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාව දැනුම්වත් කිරීමට ද පියවර ගන්නවා.

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ සුගත් සමරකෝන්, චිත්‍රපට නිෂ්පාදකවරුන් වන පද්මසිරි කොඩිකාර, රාජ් රණසිංහ, රංගන ශිල්පීන් වන අර්ජුන් කමලනාත්, වසන්ත කුමාරවිල, නදීකා ගුණසේකර ඇතුළු සිනමා කර්මාන්තයේ නියුතු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවීන තාක්ෂණය සහ දැනුම අධ්‍යාපනයේ නව ආයුධයයි !

දැනුම අලුත් කර ගැනීම අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යයක් වී ඇති බවත් ඉදිරි වසර 75 තුළ රට ඉදිරියට ගමන් කිරීමට නම් අධ්‍යාපන ක්‍රමය නව පරිවර්තනයකට ලක් කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

නවීන තාක්ෂණය සහ දැනුම අධ්‍යාපනයේ නව ආයුධය බවට පත්ව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ ආර්ථිකය කෙතරම් ශක්තිමත් කළද ලෝකය සමඟ පරිවර්තනය වෙමින් ඉදිරියට නොගියහොත් රට පසුපසට ගමන් කරන බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (05) පස්වරුවේ පැවති කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 2022 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා සිසු දැරියන් විසින් මහත් හරසරින් පිළිගත් අතර ජ්‍යෙෂ්ඨ බටහිර තූර්ය වාදක කණ්ඩායම, ජ්‍යෙෂ්ඨ පෙරදිග තූර්ය වාදක කණ්ඩායම සහ නර්ථන කණ්ඩායම විසින් ජනාධිපතිවරයා උත්සව සභාව වෙත කැඳවා ගෙන එනු ලැබීය.

2022 වසරේ උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම සියළු විෂයයන් සඳහා විශිෂ්ට සමාර්ථ හිමි කර ගත් ශිෂ්‍යාවන් සඳහා ත්‍යාග පිරිනැමීම මෙන්ම එම විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට මඟ පෙන්වූ ගුරුවරුන් සහ 2022 වසරේ අඩුම නිවාඩු ලබා ගත් ගුරුවරුන් ඇගයීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

සුවිශේෂ කුසලතා වෙනුවෙන් පිරිනැමෙන අභියෝගතා කුසලාන ද සිසුවියන් සිව් දෙනෙකු වෙත පිරිනැමීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර විද්‍යාලයේ 2022 වසරේ වඩාත් කැපී පෙනෙන ශිෂ්‍යාවට හිමි “ආචාර්ය සුමේධා ජයවීර” අභියෝගතා කුසලානය ජී. ඩී. රනලි ඉමාෂා විමලරත්න ශිෂ්‍යාවට හිමි විය.

විදුහල්පතිනි ආචාර්ය සුමේධා ජයවීර විසින් ජනාධිපතිවරයා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වුවාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාසලේ විශේෂ ආරාධිත අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තැබිය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

එවකට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මා කටයුතු කළ සමයේ මෙම පාසල දියුණු කිරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. එහි ප්‍රතිඵල අද දකින්න තිබෙනවා. මගේ ජිවිතයේ ඉතා අසීරු කාලය තුළ මා ජීවත්වූයේ මේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය අසලයි. පසුගිය වසර දෙක තුළදී නැවත මේ රට වැටෙන්නට ඉඩ නොතබා රට ක්‍රමානුකූලව ගොඩනැඟීමට අපට හැකි වුණා. එය ප්‍රමාණවත් වන්නේ නැහැ. අප තව වසර 05ක් 10ක් මේ ගමන ඉදිරියට යා යුතුයි.

එහිදී අපි රටේ දරුවන්ගේ අනාගතය පිළිබඳවද සිතිය යුතුයි. ඔබ සියලුදෙනා ඉදිරියේදී එක්වන්නේ ඉතා සීග්‍රයෙන් දියුණුවන සමාජයකටයි. ඒ සඳහා ඔබ සූදානම් කිරීම රජයේ වගකීම වෙනවා. ජංගම දුරකථනය, ලැප්ටොප් පරිගණකය සමඟ අද දරුවන්ට නවීන ලෝකය සමඟ සම්බන්ධවීමට අවස්ථාව ලැබී තිබෙනවා.එය අධ්‍යාපනයේ අලුත් ආයුධයක්.‍

 අප රටක් ලෙස දියුණු විය යුතුයි. ඉදිරි වසර 10-15 තුළ රටේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. ලෝකය සමඟ එක්ව අප මේ ගමන යා යුතුයි. ඒ සඳහා සෑම ක්ෂේත්‍රයකම නවීකරණයක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා දැනුම හා තාක්ෂණය අවශ්‍යයි. Smart Agriculture කියන්නේ වචනයක් නොවෙයි. ඒ සඳහා අවශ්‍ය දැනුම ලබා ගත යුතුයි. ඒ වගේම බ්ලොක් චේන්ච් තාක්ෂණය එකවර ලබා ගත නොහැකියි. ඒ සඳහා ද දැනුම අවශ්‍යයි.

අද ලෝකයේ ආණ්ඩු සහ ඔන්ලයින් සමාගම් අතර විශාල කඹ ඇදීමක් තිබෙනවා. අද සෑම රටක්ම පුරුදුව සිටින්නේ තමන්ගේ බල ප්‍රදේශය තුළ සියලු දේ පාලනය කිරීමටයි. නමුත් දැන් ඔන්ලයින් වැඩසටහන් නිසා කිසිවක් පාලනය කිරීමට නොහැකිව තිබෙනවා. අසභ්‍ය කටයුතු පාලනය කළ නොහැකි නිසා ඒ සඳහා නීති ගෙන ඒමට සිදු වෙලා තිබෙනවා.

මේ සීග්‍රයෙන් වෙනස්වන ලෝකය තුළ දැනුම වර්ධනය කර ගැනීම ඉතා අවශ්‍යයි. දැනුම අලුත් කර නොගෙන ලෝකය සමඟ ඉදිරියට යන්න බැහැ. ඒ නිසා දැනුම අලුත් කර ගැනීම අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යය බවට පත් වෙනවා. මේ සඳහා මෙරට පාසල් පද්ධතියේ පරිවර්තනයක් ඇති කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සෑම පළාතකම අධ්‍යාපන මණ්ඩලයක් ඇති කිරීමට වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂා දැනුම ගුරුවරුන්ට මෙන්ම දරුවන්ට ද ලබාදිය යුතුයි. ඒවගේම පාසල් දරුවන්ට තොරතුරු තාක්ෂණ දැනුම ලබාදීම වගේම ඒ සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම සිදුකළ යුතුව තිබෙනවා.

IMG 20240406 WA0015

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය සමඟ ඉදිරියට යාමට අද ලෝකය සූදානම් වී සිටිනවා. අපත් එම දැනුම ලබාගත යුතුයි. එවිට අපට මෙම නවීන තාක්ෂණය සමග ඉදිරියෙන් සිටිමට හැකි වෙනවා. ඒ නිසා AI තාක්ෂණය පාසල් විෂය මාලාවට එක් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මෙය සාර්ථකව ක්‍රියාත්මක කළ විට ඉන්දියාවටත් වඩා AI තාක්ෂණයෙන් ඉදිරියට යාමට අපට හැකියාව තිබෙනවා. ඒ සඳහා නව නීති ගෙන ඒමට ද අප කටයුතු කරනවා.

හරිත විශ්වවිද්‍යාලය පිළිගත් විශ්වවිද්‍යලයක් බවට පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එවිට තවත් නව විශ්වවිද්‍යාලයක් රට තුළ බිහි වෙනවා. ඒ වගේම මම ඉන්දියාවේ සිදුකළ නිල සංචාරයකදී චෙනායි IIT හි මණ්ඩපයක් අපේ රටට ලබාදීමට මෝදි අගමැතිතුමා පොරොන්දු වුණා. ඒ වගේම කුරුණෑගල, සීතාවක සහ තවත් ප්‍රදේශයක තාක්ෂණික විශ්වවිද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට මම මුදල් වෙන් කර තිබෙනවා. මෙම නව තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම සඳහා එම විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩනැගෙනවා.

ඒ වගේම SLIIT Campus එක තවදුරටත් දියුණු වී විශ්වවිද්‍යාලයක් බවට පත්වීමට කටයුතු කරන බවට මා දැනුවත් කර තිබෙනවා. එසේනම් අපට අවශ්‍ය මිනිස් බලය නිර්මාණය කර ගැනීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මෙම පරිවර්තනය අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි අලුතින් ඉංජිනේරු පීඨ ගණනාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන නිසා සැම විශ්වවිද්‍යාලයකම එම පීඨ ආරම්භ කිරීම සිදු කෙරෙනවා. ඒ වගේම භෞතික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යා පීඨ ඇති කළ යුතුයි. වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කර ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. වෛද්‍යවරුන් විශාල පිරිසක් රට හැර යන නිසා නව වෙද්‍යවරුන් පුහුණු කළයුතුව තිබෙනවා.

මේරට ඉදිරි වසර 75 තුළ ඉදිරියට යන්නේ රටේ අධ්‍යාපන ක්‍රමය නව පරිවර්තනයකට ලක් කළහොත් පමණයි. එසේ නොකර ඉදිරියට යන්න බැහැ. ආර්ථිකය කෙතරම් ශක්තිමත් කළත් ලෝකය සමග පරිවර්තනය වෙමින් ඉදිරියට නොගියහොත් ආර්ථිකය වැටෙනවා.

අධ්‍යාපන අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත, ජාතික පාසල් අධ්‍යක්ෂිකා හෂිනි තලගල, කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී. ආර් දේවබන්දු යන මහත්ම මහත්මීන් ද, නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන අනුපා පියතිලක සහ වෙනුකා ගලප්පත්ති, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිනි විමලා ලියනගේ, ආදි විදුහල්පතිවරුන් වන ආර්.එම්. ඒ ජයසේකර සහ නන්දා ද සිල්වා යන මහත්ම මහත්මීන් සහ ගුරුවරුන්, ආදි සිසුවියන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් !

ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි.

සාම්ප්‍රදායිකව වාර්ෂිකව මහ කන්නයේ නෙලාගත් වී අස්වැන්නෙහි නොඉඳුල් සහලෙහි අග්‍රඵලය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කිරීමේ මෙම අලුත් සහල් මංගල්‍ය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් 57 වන වරට සංවිධාන කර තිබිණි.

රජ සමයේ සිට පැවැත එන මෙම චාරිත්‍රය සඳහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර “කලට වැසි වසිත්වා - කෙත්වතු සාරවත් වේවා" යි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් මෙහිදී සිදු කෙරිණ.

අටමස්ථානාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේ විසින් අලුත් සහලින් රන් පාත්‍රය පිරවීම ආරම්භ කළ අතර, මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මැද රන් පාත්‍රය සහලින් පිරවීමේ අවස්ථාවට චාරිත්‍රාණුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එක්විය.

ජාතික අලුත් සහල් මංගල්‍යයේ සමරු කලාපයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන සංවිධානයේ නායක පුංචිරාළ ගොවි මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත කෘෂිකර්ම යෝජනාවලියක් ද පිළිගන්වන ලදී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මී පැණි පිළිගැන්වීම ආදිවාසි නායක වන්නියලැත්තන් විසින් සිදු කළේය.

අටමස්ථානාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ද අදහස් දැක්වීය.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ , උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී හේරත්, ෂෙහාන් සේමසිංහ, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.චන්ද්‍රසේන, දුමින්ද දිසානායක,ඉෂාක් රහුමාන්, උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත්, හිටපු අමාත්‍ය පී.හැරිසන්, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ද ආදිවාසි නායක වන්නිලාඇත්තන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240406 WA0017

IMG 20240406 WA0018

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15% ක පොලියක් දෙනවා කියන අය සල්ලි හොයාගන්න හැටිත් කි බව කියන පාර්ශව ඒ සඳහා මුදල් සපයා ගන්නා ආකාරය ද ප්‍රසිද්ධියේ පැවසිය යුතුයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ජනාධිපති ධූරයට පත්වූ දිනයේ සිට 2024 පෙබරවාරි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 1909.7 ක් විදේශ ණය හා පොලිය වශයෙන් ගෙවා ඇති බව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය.

ශ්‍රී ලංකා රජය 2022 ජූලි 21 දින සිට 2024 පෙබරවාරි දක්වා බහු පාර්ශවීය ණය සහ පොලිය වශයෙන් ඩොලර් මිලියන 1338.8 ක් ගෙවා ඇති අතර 2024 පෙබරවාරි දක්වා ගෙවීමට නියමිත ණය වාරික සහ පොලියේ කිසිදු හිඟ මුදලක් නැති බව ද ඔහු සඳහන් කළේය.

ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන්මේ බව සඳහන් කර සිටියේ අද (05) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජිත කීර්ති තෙන්නකෝන් මෙසේද පැවසීය.

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට අනුව ආසියානු සංවර්ධන බැංකුවට ඇ.ඩො.මිලියන 760.1ක් සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවට ඇ.ඩො.මිලියන 7.0 ක්ද ගෙවා තිබෙනවා.

තවද යුරෝපීයානු ආයෝජන බැංකුවට ඇ.ඩො.මිලියන 22.3ක් සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදලට ඇ.ඩො.මිලියන 17.9ක්ද, අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ EFF 23-26 වැඩසටහනට ඇ.ඩො.මිලියන 9.8ක් ද වශයෙන් ගෙවා තිබෙනවා.

එසේම නෝර්ඩියානු සංවර්ධන අරමුදලට ඇ.ඩො.මිලියන 1.7ක් ගෙවා ඇති අතර අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදලට ඇ.ඩො.මිලියන 29.9ක් සහ ලෝක බැංකුවට ඇ.ඩො.මිලියන 489.9ක් ගෙවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඇ.ඩො.මිලියන 1,338.8ක් ණය සහ පොලිය වශයෙන් රජය විසින් ගෙවා අවසන් කර ඇති බව කිවයුතුයි.

රජයේ මෙම ණය ගෙවීමේ ප්‍රශස්ත වාර්තාව හේතුවෙන් ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව ප්‍රමුඛ ආයතන රජයට අඛණ්ඩව ණය සහ වෙනත් සහන ලබා දී ඇති බව ද සඳහන් කළයුතුයි.

මෙම කාලය තුළ ද්වි පාර්ශවීය ණය හා පොලිය වශයෙන් ඩොලර් මිලියන 571.0 ක් ද ගෙවා ඇති අතර මේ වන විට අදාල රාජ්‍යයන් සහ ආයතන සමඟ ණය සහ පොලිය ගෙවීම සම්බන්ධයෙන් එකඟතාවයන් ඇති කර ගැනීමට සාකච්ඡා කරමින් තිබෙනවා.

ඊට අමතරව පැරිස් සමාජයට අයත් රාජ්‍යයන් ද ඇතුළුව ණය සහ පොලිය ගෙවීමට අදාල මුලික එකඟතාවයන් ගොඩ නඟා ගෙන ඇති අතර 2024 පෙබරවාරි මස අවසානය වන විට ගෙවිය යුතු හිඟ පොලිය ඩොලර් මිලියන 450.7 ක් වනවා.

පසුගිය සමයේ අතරමඟ නැවතී තිබූ ව්‍යාපෘති රැසක් නැවත ඇරඹීමට, ජපානය ඇතුළු රාජ්‍යයන් ගණනාවක් මුලික එකඟතාව ලබාදී ඇති බවද සඳහන් කළයුතුයි. එසේම කැනඩාව, චීනය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව, කුවේටය, පාකිස්ථානය, රැසියාව, ස්පාඤ්ඤය, ඇමරිකාව යන රාජ්‍යයයන් මෙන්ම චීන සංවර්ධන බැංකුව, චීන-හංගේරියානු, ඉන්දීය හා ඇමරිකානු එක්සිම් බැංකු ඇතුළු තවත් මුල්‍ය ආයතන 25 කට ආසන්න ප්‍රමාණයක් සමඟ ලංකා රජය ද්වි පාර්ශවීය ණය ගනුදෙනු සිදු කර තිබෙනවා.

මෙම ණය සහ පොලී ගෙවීම සිදු කර ඇත්තේ ඇමරිකානු ඩොලර්, යූරෝ, ජපන් යෙන්, කැනේඩියන් ඩොලර් යන මුල්‍ය ඒකකයන්ගෙන් වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව සිය ඩොලර් සංචිතය වැඩි කර ගෙන ඇත්තේ විදේශීය මුදල් ඒකක වලින් දේශීය වශයෙන් මහජන බැංකුව, ලංකා බැංකුව, හැටන් නැෂනල් බැංකුවට ගෙවිය යුතු දේශීය ණය හා පොළිය ද ගෙවීමෙන් පසුවයි.

තවද, මෙම බහු පාර්ශවීය, ද්විපාර්ශවීය සහ දේශීය ඩෝලර් ණය ද ගෙවීමෙන් අනතුරුව ද මේ වන විට මෙරට මුදල් සංචිතය ඩොලර් බිලියන 4.9 ( ඩොලර් මිලියන 4950) ඉක්මවා වර්ධනය වී තිබෙනවා. ඉහළ පොලී අනුපාත යටතේ රජය ලබා ගෙන ඇති ව්‍යාපාරික ණය සහ පොලිය ඩොලර් මිලියන 4,439.2 ක් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රජය කටයුතු කරමින් සිටින අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන්වන තුරු එම මුදල් ගෙවීමක් සාමාන්‍යයෙන් සිදු නොවන බවද කිවයුතුයි.

මෙහිදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ලබා දුන් විශේෂ පොලී අනුපාතිකය පිළිබඳව මේ වන විට සිදුවන කථා බහ පිළිබඳ අදහසක් දැක්විය යුතුයි.

2015 අයවැය යෝජනාවක් ලෙස ආරම්භ වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක් ලබා දීම යටතේ, එනම් වාර්ෂිකව 15%ක පොලී අනුපාතිකයක් ලබා දුන්නා. ඒ වන විට බැංකුවල පැවති අඩු පොලී අනුපාතිකයේ සිට 15% වූ ඉහළ පොලී අනුපාතිකය දක්වා වන පරතරය පියවීමට මුදල් ලබා දුන්නේ භාණ්ඩාගාරයයි. 2015 දී වාණිජ බැංකු හරහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන විට රුපියල් ලක්ෂ 10ක් දක්වා මුදල් ප්‍රමාණයකට මෙම පොලී අනුපාතිකය ලබා දුන් අතර 2018 අයවැය මඟින් මෙය ලක්ෂ 15ක් දක්වා ඉහළ නංවනු ලැබුවා. ඒ අනුව පැවති ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ලක්ෂ 12 ටම මෙම පොලි අනුපාතිකය හිමි වුණා.

2022 වන විට මෙම අතිරේක පොළිය ගෙවීම සඳහා භාණ්ඩාගාරය විසින් එක් කාර්තුවකට රුපියල් බිලියන 20ක් ලබා දී තිබෙනවා. ඒ අනුව මේ කාර්යය සඳහා වසරකට රුපියල් මිලියන 80,000ක මුදලක් භාණ්ඩාගාරය දැරිය යුතු වුණා. එහෙත් රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ 2022 ඔක්තෝබර් 01 වන සිට මෙම ක්‍රියාවලිය නවතා දැමීම සිදු වුණා.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 50%කට වැඩි පිරිසක් මාසිකව ‍ඔවුන්ගේ පොලි මුදල ලබා ගන්නවා. අද පවතින මූල්‍ය තත්ත්වය අනුව මේ වෙනුවෙන් වසරකට මිලියන 80,000ක අතිරේක මුදලක් දැරීමට රජයට නොහැකි බව ඉතා පැහැදිළියි. 2022 ඔක්තෝබර් මාසය දක්වා ක්‍රියාත්මක වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලිය ලබා දීම සඳහා වන අතිරේක මුදල් වෙනුවෙන් මේ වන විට බැංකු 17කට ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් බිලියන 108ක් වෙනවා.

රුපියල් මිලියන 80000 ක් වන වසරකට අවශ්‍ය අතිරේක මුදල සොයා ගැනීමට නම් අද තිබෙන වැට් අගය 1%කින් වැඩි කළ යුතුයි.

මේ පසුබිම තුළ ඇතැම් පාර්ශ්ව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලිය අඛණ්ඩව ලබා දීමේ හැකියාවක් පවතින බව සඳහන් කරනවා නම් ඒ සඳහා මුදල් සපයා ගන්නා ආකාරය ද ප්‍රසිද්ධයේ පැවසිය යුතුයි.

මහ බැංකුවේ ප්‍රතිපත්තිය වී ඇත්තේ පොලී අනුපාත පහත හෙලා තරගකාරී ක්‍රමයකට ලාභ ඉපැයීම සඳහා ආයෝජන අවස්ථා ලබා දීමයි. ආකර්ෂණීය මැතිවරණ පොරොන්දු ලබා දීමෙන් බැංකු පොලී අනුපාතික 30% ආසන්නයට යාමෙන් ජනතාවට ණය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රාග්ධනය සොයා ගැනීමට පවා නොහැකි වූ අයුරුත්, රට බංකොලොත්භාවයට පත් වූ අයුරුත්, අප අත් විඳ තිබෙනවා. මේ අවස්ථාවේ වැදගත් වන්නේ එම තත්ත්වය නැවත ඇති නොවන ලෙස කටයුතු කිරීම බව අවධාරණය කළ යුතුයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය
2024-04-05

ශ්‍රීලනිප මූලස්ථානයේ ලිපිගොනු අතුරුදහන්වීමක්

ලිපිගොනු කිහිපයක් අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන හේතුවෙන් කිසිදු පාර්ශවයකට කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙයි.

මුලික විමර්ශන අවසන් වන තෙක් නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තහනම් වන බව පොලිසිය සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ තිබූ වැඳගත් ලිපිගොනු කීහිපයක් අතුරුදහන්ව ඇති බවට එම පක්‍ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල  ඊයේ (05) මරදාන පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මරදාන පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් අද (06) පස්වරුව තෙක් නිදහස් පක්‍ෂ මූලස්ථානයට ඇතුළුවීම වළක්වා ඇති බව වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල  පවසයි.

අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි අංග සහ ක්‍රීඩා තිබුණොත් නීතිමය ක්‍රියාමාර්ග

එළැඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කර තිබේ නම් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක  සඳහන් කරයි.

අවුරුදු උත්සව පැවැත්වීමට අදාල උපදේශන මාලාවක් මේ වන විට සියලුම දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරු වෙත ලබා දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අවුරුදු උත්සවවල පවත්වන සදාචාර විරෝධී උත්සව අංග ඉවත් කිරීම හා නිර්මාණාත්මක අංග එකතු කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමේ අද (05) මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඒ අනුව අවුරුදු උත්සවවලට ඇතුළත් කර ඇති උත්සව අංග සහ ක්‍රීඩා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දී ලියාපදිංචි කළ යුතු බවත්, ඉන්පසු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා පොලිසිය අනුමැතිය ලබා ගත යුතු බවත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් කේ. ඩී.ආර්. නිශාන්ති ජයසිංහ  එහිදී සඳහන් කළාය.

අවුරුදු උත්සවවලදී අසභ්‍ය ලෙස පවත්වනු ලබන ක්‍රීඩා හා උත්සව අංග පිළිබඳව මෙන්ම ආගමික වශයෙන් හානි වන ක්‍රියාකාරකම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන අතර ඒ පිළිබඳව පවතින නීති යටතේ ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව  එහිදී ප්‍රකාශ කර සිටියේය.

අධ්‍යාපන අමාත්‍යංශ පිරිවෙන් අධ්‍යක්ෂ ආචාර්ය පූජ්‍ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන යන ඔහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තරුණ ගෝලීය නායකයකු වශයෙන් ලංකාවෙන් තෝරා ගත් ඇමැති

ලෝක ආර්ථික සංසදය (World Economic Forum) විසින් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් තරුණ ගෝලීය නායකයකු (Young Global Leader: YGL) වශයෙන් තෝරාගෙන තිබේ.

මෙසේ අමාත්‍යවරයකු තරුණ ගෝලීය නායකයකු (YGL) වශයෙන් පිළිගැනීමට ලක්වන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයකි.

ඉතිහාසයේ පටන් ආන්තීකරණයට ලක් වූ ජන ප්‍රජාවන්ගේ ජීවන තත්ත්ව වැඩිදියුණු කිරීම, සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම සහ සියලු ශ්‍රී ලාංකික ජනතාවට ආරක්ෂිත සහ දැරිය හැකි පානීය ජල පරිභෝජනය සඳහා වූ ප්‍රවේශය සහතික කිරීම සඳහා ජල සම්පාදන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණවලට නායකත්වය ලබා දීම අරමුණු කරගත් මුලපිරීම් කිහිපයකටම ඇමැතිවරයා නායකත්වය ලබා දුන්නේය.

රාජ්‍ය සේවාව සඳහා ඔහු දරන කැපවීම සහ නායකත්වය සඳහා ඔහුගේ නව්‍ය ප්‍රවේශය ජාතික මට්ටමින් ම සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබෙන අතර, ඉහත තෝරා ගැනීම හරහා එය දැන් ගොලීය මට්ටමින් ම පිළිගැනීමට ලක්ව තිබේ.

තරුණ ගෝලීය නායක (YGL) ප්‍රජාව යනු ගෝලීය වශයෙන් අනාගතය හැඩගැස්වීම සඳහා කැපවීමක් දරන සුවිශේෂී නායකයන් 1,000 කට අධික සංඛ්‍යාවකින් යුත් අසමසම, බහු-පාර්ශවික ප්‍රජාවකි.

තරුණ ගෝලීය නායකයකු (YGL) වශයෙන් තේරී පත්වීම, අමාත්‍ය තොණ්ඩමන් ගේ දැක්ම, නායකත්ව ගුණාංග, සහ සමානාත්මතාවය සහ තිරසාරභාවය වෙනුවෙන් ඔහු දරන අප්‍රතිහත ධෛර්‍යය සඳහා වූ කදිම සාක්ෂියක් බව YGL කියා සිටියි.

(චතුරංග මේදිස්)

දමිතා සහ සැමියා 17 දක්වා රිමාන්ඩ්

කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් රවටා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පීනී දමිතා අබේරත්න හා ඇගේ සැමියා මෙම 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (අප්‍රේල් 5) නියෝග කළේ ය.

එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී දින කීපයක් අධිකරණය මගහැර සිටි සැකකාර යුවළ නීතිඥවරයෙකු මගින් අධිකරණය වෙත භාර වීම සඳහා ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාර එම යුවළ අත්අඩංගුවට ගන්නා ලදී.

එසේ අත්අඩංගුවට ගත් සැකකාර යුවළගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, අද පස්වරුවේ කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරිණි.

පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව එම දෙපාර්තමේන්තුව මගින් සැකකාර යුවළට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනුකර තිබිණි.

පක්ෂය හැර ගිය සියයට 90ක් යළි පක්ෂයට : එජාප බලය මැයි දිනයේ බලාගන්න !

විවිධ හේතූන් මත එක්සත් ජාතික පක්ෂය හැර ගිය පාක්ෂිකයින්ගෙන් 90%ක් පමණ යළි පක්ෂය සමග එක් වීමට සූදානමින් සිටින බවත් එම පාක්ෂිකයින් ඇතුළු වැඩකරන ජනතාව සමඟ සිය පක්ෂයේ බලය එළැඹෙන මැයි දින රැරැලියේ දී රටටම දැනගන්නට සලස්වන බවත් හිටපු මුදල් අමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක පවසයි .

රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනපති කරවා රට ගොඩනගා ජනතාව සවි බල ගන්වන ඉතිහාසයේ බලවත්ම සහ පුළුල්ම දේශපාලන සන්ධානය සුදුසුම වෙලාවේ දී එළි දක්වන බව ද ඒ මහතා සඳහන් කරයි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ ඊයේ (04) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

පටු දේශපාලන සහ බල අරමුණු වෙනුවෙන් මේ වන විට හතු පිපෙනවා වගේ බිහි වන ජන පදනමක් නොමැති දේශපාලන සන්ධානවලින් රටට-ජනතාවට කිසිදු ඵලක් නැති බවත් , එවැනි දේශපාලන සන්ධාන බිහි වන වේගයට වඩා වැඩි වේගයකින් බිඳ වැටෙමින් පවතින බවත් ඔහු සඳහන් කළේය .

එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව සහ බල සම්පන්නව බලයේ සිටි අවස්ථාවේ සෑම අවස්ථාවකදී ම රට සංවර්ධනය වූ අතර පක්ෂය දුර්වල වූ සියලු අවස්ථාවල දී රට බංකොලොත් වූයේ යැයි ද ඔහු පෙන්වා දුන්නේ ය.

ඇපකැප වී වැඩ කරමින් ,රට ගොඩනගා, ජනතාව සවි බල ගන්වන දක්ෂයින්ගෙන් යුතු දේශපාලන සන්ධානය මේ වන විට නිර්මාණය කරමින් සිටින බවත් , රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීමට නොහැකි, දැක්මක් සහ වැඩ පිළිවෙළක් නොමැති පාර්ශව සමඟ සන්ධාන ගොඩනගා තේරුමක් නැති බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

තලතා නිහඬ බව බිඳියි : සජබ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවයි !

සමගි ජනබලවේගය පක්ෂය තුළ සාමූහික සාකච්ඡාවක් තුළින් තීන්දු නොගැනීම නිසා යම් යම් ගැටලු ඇති වී තිබෙන බවත් එම ක්‍රමවේදයේ ගැටළු හේතුවෙන් තමන් මේ දිනවල යම් නිහඬතාවයක සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ පවසයි .

එක්සත් ජාතික පක්ෂයෙන් සමගි ජන බලවේගය දෙකඩ නොවුනානම් හොඳ යයි තමන් අදටත් කල්පනා කරන බව ද ඇය සඳහන් කරයි.

සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ මේ අදහස් දක්වා ඇත්තේ අන්තර් ජාල නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

සජබ - එජාප වෙන්වන මොහොතේ එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වූයේද දැඩි කලකිරීමකින් බවද ඇය එහිදී සඳහන් කර සිටියාය

සමගි ජන බලවේගයේ කළමනාකාර මණ්ඩලය මාස ගණනාවකින් රැස්ව නැති බවද පවසන මන්ත්‍රීවරිය පක්ෂයට විවිධ පිරිස් සම්බන්ධ කර ගනිද්දී එම මණ්ඩල සමඟ සාකච්ඡා කිරීම වඩා සුදුසු බවද සඳහන් කර සිටියි..

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේග එක් විය යුතු යන මතයේ තමන් 2020 වසරේ සිට සිටිය බවත් සජබ මන්ත්‍රීවරුන් 12-14ක පිරිසක් මේ වන විටත් එම මතයේ සිටින බවත් ඇය පවසයි .

ශ්‍රීලනිප සභාපති ධූරය රැකගන්න : සිරිසේනත් අධිකරණයට !

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඇමතිවරු දෙදෙනා සහ මන්ත්‍රීවරයා ඉවත්කිරීමට නිවැරදි හේතු අධිකරණණය හමුවට ගොස් පැහැදිළි කිරීමට සහ පාක්‍ෂිකයන්ට සහ සංවිධායකවරුන්ට සත්‍ය කරුණු අවබෝධ කිරීමට කටයුතු කරන බව හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන අද (4) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැවසීය .

හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ නිවසේදී මෙම මාධ්‍ය හමුව පැවැත්වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මෙවැනි අභියෝග අලුත් ඒවා නොවන බව සිහිපත් කළ හිටපු ජනාධිපතිවරයා , චන්ද්‍රිකා මැතිණිය, විජය කුමාරතුංග, අනුර බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් කැඩිලා යෑමේ ප්‍රතිඵලයෙන් වසර 17 ක් විපක්‍ෂයේ සිටීමට සිදුවූ බවද සඳහන් කළේය .

පක්‍ෂයේ තීරණයට පටහැනිව ගොස් නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 න් 11 ක් මේ වන විට ආණ්ඩුවට එකතු වී ඇති බව පැවසූ ඔහු සන්ධාන ලාංඡන වන පුටුව සහ බුලත් කොළය ආණ්ඩුවට එකතු වූ මන්ත්‍රීවරු සතුව තිබීම නිසා සන්ධාන පිහිටුවීමට ද නොහැකි වූ බව ද සඳහන් කළේය.

සන්ධාන ලාංඡන ආණ්ඩුවට ගිය අය නොදීමෙන් විනය නීතිවලට පටහැනිව කටයුතු කර ඇති යැයි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවත් කුමන ප්‍රශ්න සහ අභියෝග ආවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසිදු, දූෂණ සහ වංචාවෙන් තොර පිරිසක් හැටියට පිරිස හැටියට ආණ්ඩුවට සම්බන්ධ නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම මාධ්‍ය හමුවේ දී පැවසීය .

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අධිකරණයට කරුණු දැක්වීමකට අනුව පක්‍ෂ සභාපතිත්වය ලබන 18 වැනිදා දක්වා තහනම් නියෝගයක් පනවා ඇති බව මාධ්‍යවලින් දැනගත් බවත් කෙසේ වෙතත් ඒ පිළිබඳ කිසිඳු ලිඛිත දැනුම්දීමක් මේ දක්වා ලැබී නොමැති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

රජයේ උසස් නිලතල 08 ක පත්වීම් සඳහා අනුමැතිය හිමිවේ !

රජයේ උසස් නිලතල සඳහා පත්කළ 08 දෙනෙකු වෙනුවෙන් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව මෙම අනුමැතිය ලබාදුන් අතර ඒ නව තානාපතිවරුන් සිව්දෙනෙක්, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් සහ ආයතන සභාපතිවරුන් දෙදෙනෙක් පත් කිරීම සඳහා ය.

ඒ අනුව වියට්නාමයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඩබ්.ඒ.යූ.පී. පෙරේරා , පෝලන්තයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ටී.පී. ධර්මසේන , තායිලන්තයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ඊ.ඒ.එස්.ඩබ්. එදිරිසිංහ සහ මියන්මාරයේ නව ශ්‍රී ලංකා ලෙස පී.ඒ.පී. පොන්නම්පෙරුම පත්කිරීමට අනුමතිය හිමිවී ඇත.

එමෙන්ම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස (ඉංජිනේරු) ආර්.ජී. රූබසිංහ පත් කිරීමට සහ ධීවර අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස කේ.එන්.කේ. සෝමරත්න පත් කිරීමටද අනුමැතිය ලබාදී තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එස්.එම්.ඩී.එල්.කේ ද අල්විස් පත් කිරීමට සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පත් කිරීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී ඇත.

Page 95 of 474