V2025

පුවත්

බදු අභියාචනා කොමිසම අහෝසියි !

බදු අභියාචනා විමසීම අකාර්යක්ෂම තත්වයක පවතින හෙයින් බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීමට කටයුතු කරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවැසීය.

මෙම කොමිසම අහෝසි කිරීමට විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

තවද මෙම කොමිසම පසුගිය අවුරුදු දෙකටම එකම නඩුවක් හෝ පවරා නැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා එය බරපතළ කාරණයක් බවද පෙන්වා දුන්නේය.

අභියාචනා විමසීම ප්‍රමාදවීම හේතුවෙන් රුපියල් කෝටි 11,700 කට වැඩි හිඟ බදු අයකර ගැනීමට නොහැකිවී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය .

සක්‍රීය කාර්යභාරයක් ඉටු නොකරන මෙවැනි කොමිෂන් සභා විශාල මුදලක් වැය කරමින් නඩත්තු කිරීම සුදුසු නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

2023 උසස් පෙළ විභාගයට අයදුම්පත්‍ර කැඳවීම අද (07) සිට

2023 - අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා, මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම අද (07) සිට ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැකවෙන්නේ, ලබන 28 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට, අයදුම්පත්‍ර යොමු කිරිමට අපේක්ෂිකයින්ට අවස්ථාව පවතින බවයි.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් තමන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති මගින් හා, පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින්ම අයදුම්පත්‍ර යොමු කළ යුතු බව, විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අයදුම්පත්‍ර ඉදිරිපත් කිරිමෙන් පසු එහි මුද්‍රිත පිටපතක් අපේක්ෂිකයින් සන්තකයේ සුරක්ෂිතව තබා ගත යුතුයි.

වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය වන්නේ නම්, 1911 හෝ

0112 78 42 08
011 2 78 45 37 හෝ

011 2 78 66 16 දුරකථන අංකවලට ඇමතුමක් ලබා දෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

exam23

ශ්‍රී ලංකාවට ණය ගෙවීමට ඉන්දියාවෙන් වසර 12ක්

ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය නැවත ගෙවීම සඳහා ලබාදී ඇති කාලය දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර ඇත.

සීමාසහිත ඉන්දීය අපනයන ණය ඇපකර සංස්ථාවේ (Export Credit Guarantee Corporation (ECGC) Ltd’s) සභාපති එම්. සෙන්දිල්නාදන් මහතා පවසන්නේ ඒ අනුව එම ණය ගෙවීම සඳහා වසර 12ක පමණ කාලයක් ලබාදීමට නියමිත බවය.

මෙම වසර මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ එහි ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කිරීමට ඩොලර් බිලියන 3 ක ණය වැඩසටහනක් අනුමත කළේය.

ඉන්දියාව මීට පෙර ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක ණය මාර්ගයක් වසරකින් ගෙවීම දීර්ඝ කර ඇත.

එසේම පසුගිය වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදයේ උච්චතම අවස්ථාවේ දී ඉන්දියාව විසින් ලබා දුන් ඩොලර් බිලියන 4 ක හදිසි ආධාරයේ කොටසක් වන ණය වාරිකය මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතව තිබුණි.

මෙරට නිල සංචිත ඉහළට !

මෙරට දළ නිල සංචිත පසුගිය ජූනි මස අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටියි.

මෙම මුදලට චීන මහජන බැංකුව ලබා දුන් විදේශ මුදල් හුවමාරු පහසුකමද ඇතුලත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

තවද අයවැය පරතරය අඩු කර ගැනීම සඳහා බහු ජාතික මූල්‍ය ආයතන රජයට මූල්‍ය සහාය සපයා තිබෙන බව මහ බැංකුව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මෙම වසරේ ඉතිරි මාස 06 ක කාලයේදී බහු ජාතික මූල්‍ය ආයතනවලින් ශ්‍රී ලංකාවට තවත් මූල්‍ය සහාය බලාපොරොත්තු විය හැකි බවද මහ බැංකුව සඳහන් කරයි.

පාර්ලිමේන්තුව කැඳවූ විට අමාත්‍යංශ ලේකම්වරුන් යන්න ඕන විදිහ ජනපති ලේකම් පහදයි !

පාර්ලිමේන්තුවේ ඕනෑම කාරක සභාවක රැස්වීම්වලට සහභාගි වන නිලධාරීන් සාකච්ඡාවට භාජනය වන විෂයයන් පිළිබඳ අදාළ දැනුමෙන් සන්නද්ධ විය යුතු අතර කාරක සභාව විසින් ඉල්ලා සිටින විට තොරතුරු සැපයීමට සූදානම් විය යුතු බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක  විසින් දැනුම් දී තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක  විසින් කතානායකවරයාට සහ පාර්ලිමේන්තු මහලේකම් වෙත පිටපත් සහිතව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත අද (06) ලිඛිතව මෙම දැනුම් දීම සිදු කර තිබේ.

න්‍යාය පත්‍රයේ ඇති කරුණු සම්බන්ධයෙන් කාරක සභාවේ සාමාජිකයින් විසින් මතු කරන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට අවශ්‍ය කරුණු ගොනු කිරීම සඳහා පූර්ව රැස්වීම් පැවැත්වීම නිර්දේශ කෙරේ.

කෙසේ වෙතත්, න්‍යාය පත්‍රයට ඇතුළත් නොවන ප්‍රශ්න නිලධාරීන්ගෙන් අසන අවස්ථා වලදී, ඒ සඳහා පිළිතුරු දීමට සහ ප්‍රතිචාර දැක්වීමට සාධාරණ කාල සීමාවක් ඉල්ලා සිටිමින් එම එකඟ වූ කාලය තුළදී ප්‍රතිචාර දැක්විය යුතුය.

අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ආරාධනා කර ඇති රැස්වීමකට ලේකම්වරයාට සහභාගි විය නොහැකි අවස්ථාවක, අදාළ කමිටුවේ සභාපතිවරයාගේ අවසරය ඇතිව නියෝජිතයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට රැස්වීමට සහභාගි විය හැකිය.

තවද, සිය අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව ආංශික අධීක්ෂණ කමිටු රැස්වීම් සඳහා නිලධාරීන් සහභාගි විය යුතුය. කෙසේ වෙතත්, සාකච්ඡා කිරීමට නියමිත කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයාට ගැටළු තිබේ නම්, ඒවා අමාත්‍යවරයා විසින් ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දිය යුතුය.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන රැස්වීමකට විපක්ෂ නායකවරයා රාජ්‍ය නිලධාරීන් කැඳවීමට අදහස් කරන්නේ නම්, ඔහු විසින් එම විෂයට අදාළ අමාත්‍යවරයාව ලිඛිතව දැනුවත් කළ යුතු අතර, ඊට අනුකූලව එම රැස්වීම්වලට සහභාගී වීමට නිලධාරීන්ට අවසර ලබා දෙනු ඇත.

මුදල් හා සම්බන්ධ අධීක්ෂණ කාරක සභා සඳහා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවූ විට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව රැස්වීම්වලට සහභාගි විය යුතුය.

නීති විරෝධී මිනිස් සංක්‍රමණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මඩින්න දැඩි නීති !

ඉන්දියන් සාගරය ඔස්සේ සිදුවන නීති විරෝධී මිනිස් සංක්‍රමණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්  පැවසීය.

මේ දිනවල පවතින අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු ක්‍රියාවට නංවා තිබෙන බවත්, ආපදා සහන සැලසීමේදී පවතින චක්‍රලේඛ අවභාවිත වීම වළක්වාලීම සඳහා අවශ්‍ය සංශෝධන ගෙන එන බවත් අමාත්‍යවරයා පැවසීය

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (06) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මෙසේද පැවසීය .

ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව මෙන්ම ලංකාව ද දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් නාවික හමුදාව ඉතා වගකීමෙන් යුතුව පුළුල් කාර්යභාරයක් ඉටු කරනවා.

රාජ්‍යයක් ලෙස රටේ ආරක්ෂාව වෙනුවෙන් සෑම වසරකදීම ඉදිරි වසර පහක කාලය සම්බන්ධයෙන් වූ තක්සේරු වාර්තාවක් ලබා ගන්නවා. ත්‍රස්තවාදය, අන්තවාදය, නීතිවිරෝධී ක්‍රියා, භූගෝලීය දේශපාලන සහ අපරාධ මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් වූ සමස්තය මෙම තක්සේරුවේදී ආවරණය කෙරෙනවා. මෙම තක්සේරුව අනුවයි රජය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනු ලබන්නේ.

ඒ වගේම රටක නීතියේ ආධිපත්‍ය, එරට ආර්ථික ස්ථාවරය පවත්වා ගැනීමට ප්‍රධාන සාධකයක් වෙනවා. නීතියේ ආධිපත්‍යය තහවුරු නොවු කිසිදු රටක දියුණුවක් අපේක්ෂා කළ නොහැකියි.

2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසුව ආරක්ෂක අංශ සාමාජිකයන් ප්‍රමාණාත්මක වෙනස්කම් සිදු කෙරුණා. පසුගිය කාලයේ ආරක්ෂක අංශ සඳහා නව බඳවා ගැනීම් සිදු නොකළත් ඉදිරියේදී යම් සීමාවන් තුළ බඳවා ගැනීම් සිදු කිරීමට පියවර ගන්නවා. මෙම විධිමත් කිරීමේ ක්‍රියාවලියේ දි ආරක්ෂක අංශවල කිසිවකුත් ඉවත් කිරීමක් සිදු වන්නේ නැහැ. මේ වන විටත් හමුදාව හැරයන පිරිස් සහ ඉවත් වී යන පිරිස් සම්බන්ධයෙන් සංගණනයක් සිදුකර තිබෙනවා.

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 11ක පවුල් 594ක පුද්ගලයන් 2247ක් පමණ පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ අංශ සමඟ එක්ව ඔවුන්ට සහන සැලසීමේ කටයුතු මේ වන විට සිදු කරනවා.

ආපදා සහන සැලසීමේදී පවතින චක්‍රලේඛ අවභාවිත වීම වලක්වාලීම සඳහා අවශ්‍ය සංශෝධන සිදුකළ යුතු බව නිරීක්ෂණය වී තිබෙනවා. එබැවින් ඒවා කඩිනමින් සංශෝධනය කළ යුතුයි. 2016 සිට 2021 වසර දක්වා කාලය තුළ ආපදාවලින් විපතට පත් පුද්ගලයන්ට සහන සැලසීමට රජය බිලියන 60ක් වැය කර තිබෙනවා.

ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ වන විට සාමාජිකයන් 33,000කින් සමන්විතයි. ඔවුන්ගෙන් විශාල පිරිසක් රටේ විවිධ ප්‍රදේශවල ඉදිකර ඇති අලිවැට ආරක්ෂා කිරීමට යොදවා තිබෙනවා. දැනට මෙරට වන අලි ගහණය 6,000ක් පමණ සිටිනවා. එම වන අලින්ගෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා අලිවැට ඉදිකිරීම වෙනුවෙන් මේ වන විට රුපියල් බිලියන 10ක් පමණ වැය කර තිබෙනවා.

උතුරු නැගෙනහිර ප්‍රදේශ නියෝජනය වන පරිදි ජාතික ශිෂ්‍ය භට ව්‍යාපාරය සඳහා සාමාජිකයන් 20%ක් බඳවා ගැනීම රජය සැලසුම් කර තිබෙනවා. එම පිරිස් සමාජ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන අතර, එමගින් ඒ ඒ ප්‍රදේශවල සමාජ බුද්ධි ඒකක ලෙස ඔවුන් යොදවා ගැනීම අපේක්ෂාවයි.

ආරක්ෂක අංශ සාමාජිකයන් විවිධ ආයතන සහ සේවාවල යොදවා ගැනීම මෙතෙක් සිදු වුණා. එම තත්ත්වය ඉදිරියේදී වෙනස්කර ආරක්ෂක අංශවල ගෞරවය ආරක්ෂා වන පරිදි ඔවුන්ගේ සේවාව ලබා ගැනීමට රජය පියවර ගෙන තිබෙනවා.

අන්තවාදී දේශපාලන පක්ෂයක පිරිසක් උතුරේ පූජනීය ස්ථාන මූල් කර ගනිමින් නොවිය යුතු දේ සිදු කරමින් සිටිනවා. ඒවා රටක සිදු නොවිය යුතු දේවල්. උතුරු නැගෙනහිර ඉඩම් ලබාදීමේ කටයුතු විධිමත්ව සිදු වෙනවා. කවුරුන් හෝ සතුටු කිරීමේ අදහසින් ඒවා ලබාදීම සිදු නොවන අතර ඒවා සුදුසු හිමිකරුවන්ට ලබාදීමට පියවර ගනිමින් සිටිනවා.

මේ සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට රජය කමිටුවක් ද පත් කර තිබෙනවා. මේ වන විටත් උතුරේ ඉඩම්වලින් 80%ක් යළි ජනතා අයිතියට පවරා දී අවසන්. ඒ වගේම කිසිවිටෙකත් කිසිවෙකු සතුටු කිරීම වෙනුවෙන් හමුදා කඳවුරු ඉවත් කිරීමට රජය කටයුතු කරන්නේ නැහැ. නමුත් නිසි විමර්ශනයකින් අනතුරුව අවසන් තීන්දු තීරණ ගැනීමට රජය කටයුතු කරනවා.

අද රටේ ආර්ථිකය ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. මතවාදීව වෙනස් වුවද මෙම අවස්ථාව සියලුදෙනා එකට එක්ව කටයුතු කළයුතු අවස්ථාවක් බව කිවයුතුයි.

බැංකු පොලිය පහළ දමයි

බැංකු පොලී අනුපාත තීරණය කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පොළී අනුපාතය 2% කින් පහළ දමා තිබේ.

 ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (05) පැවැත්වූ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

මේ අනුව මහ බැංකුව, බැංකු වෙත ලබා දෙන ණය වෙනුවෙන් අය කරන පොළිය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SDFR) 14% සිට 12% දක්වා පහළ යනු ඇත.

මහ බැංකුව බැංකුවල තැන්පතු සඳහා ගෙවන පොළිය හෙවත් නිත්‍ය තැන්පතු අනුපාතිකය 13% සිට 11% දක්වා පහළ දමා තිබේ.

ඊට සමගාමීව ඉදිරියේදී බැංකුවල ණය අනුපාතික හා තැන්පතු අනුපාතික ද පහළ යනු ඇත.

ශ්‍රී ලංකා ආර්ථිකයේ වත්මන් වර්ධනයන් සහ අපේක්ෂිත වර්ධනයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.

මෙලෙස සිය ප්‍රතිපත්ති පොළී අනුපාතික පහළ දැමීමට හේතුව ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ පුරෝකථනය කළ මට්ටමටත් වඩා බඩු මිල වැඩි වීමේ වේගය හෙවත් උද්ධමනය අඩු වීම බවයි.

ලාෆ්ස් ගෑස් මිල පහළට......

ලාෆ්ස් ගෑස් සමාගම සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩර්වල මිල ගණන් පහළ දමා තිබේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට නව මිල ගණන් ක්‍රියාත්මක බව එම සමාගම පවසයි.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රු. 300කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු. 3,690ක් දක්වා පහළ යනු ඇත.

එමෙන් ම, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 120කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු. 1,476ක් දක්වා පහළ ගොස් තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගම ද අඛණ්ඩව සිව්වන වරටත් සිය ගෑස් මිල පහළ දැමීමට පසුගිය දා පියවර ගත්තේ ය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල : ෆිච් රේටින්ග්ස් ඇගයීමට !

ශ්‍රී ලංකා රජය විසින් මෑතකදී සිදුකල දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සාධනීය බව ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් සඳහන් කර ඇත.

මෙම පියවර ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ අවදානම තුරන් කිරීම සඳහා කැපී පෙනෙන ඉදිරි පියවරක් බවත් එහි සඳහන් වෙයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී ශ්‍රී ලංකා මුදලින් පවතින බැංකු සතු භාණ්ඩාගාර බිල්පත් අදාල නොවූ බවත් ඊට අදාල වූ විදේශ මුදල් බැඳුම්කර සමස්ත බැඳුම්කර බැංකුවල සමස්ත වත්කම්වලින් සියයට 5.5 ඉක්මවන්නේ නැති බව ද එහි පෙන්වාදී තිබේ.

කෙසේ වෙතත් අවිනිශ්චිත තාවයන් මගහැරුණද වෙනත් ගැටලු නිර්මාණය විය හැකි බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි.

ආගමික සංහිඳියාව රකින්න නව නීති !

ආගමික සංහිඳියාවට තර්ජනයක් වන සියලු ක්‍රියාවන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නව නීති ගෙන එන බව බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක  ප්‍රකාශ කළේය.

භාෂණය හෝ ආගමික නිදහසට මුවාවී කිසිඳු ආගමකට අපහාස කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක  මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍යය කේන්ද්‍රයේ අද (05) පැවති "ස්ථාවර රටකට සැවොම එක මගකට" ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුර වික්‍රමනායක  මෙසේද පැවසීය

ස්ථාවර රටක් යනුවෙන් බොහෝ දෙනා අදහස් කරන්නේ ආර්ථිකය දියුණු තත්ත්වයකට පැමිණීමයි. නමුත් අප දිගටම ආර්ථික වර්ධනය ගැන කතා කර අවසානයේ දී බංකොලොත් කියන තැනට පත්වී තිබෙනවා. අපට මහා සංස්කෘතියක් උරුම වී තිබුණා. එම සංස්කෘතියට වටිනාකම් ලබා නොදී රුපියල් ශතවලට එම වටිනාකම් ලබා දීම නිසා අද මේ තිබෙන තත්ත්වයට රට වැටී තිබෙනවා.

මේ වන විට අපට උරුම වූ සංස්කෘතියෙන් සහ ආහාර රටාවන්ගෙන් ඉවත්වීම නිසා රෝගී ජාතියක් බවට අප පත් වෙමින් සිටිනවා. රුපියල් ශතවලට මුල්තැන දෙන වටපිටාවක් තුළ ජාති වශයෙන් සහ ආගම් වශයෙන් ගැටුම් නිර්මාණය වීම සුලබ දෙයක්. මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නය එතැනට වේගයෙන් පැමිණ තිබෙනවා. රුපියල් ශතවලට තිබෙන ප්‍රමුඛතාව නිසා ආගමික නිදහසට මුවා වෙලා අනෙකුත් ආගම් හෙලා දකින්න පවා ඇතැම් ජනතාව පෙළඹෙමින් සිටිනවා. ආගමික නිදහසට මුවා වෙලා කිසිම ආගමක් පීඩාවට පත් කරන්න, ආගමික සංහිඳියාවට තර්ජනයක් එල්ල කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. ඒ සම්බන්ධව නීතිමය කටයුතු කරන්න අවශ්‍ය නව නීති පද්ධතියක් පැනවීමට අප බලාපොරොත්තු වෙනවා. කිසිම ආගමකට අපහාස කළ නොහැකි ආකාරයට අදාළ නීති පද්ධතියක් සකස් කරනවා වගේම නව පනතක් කෙටුම්පත් කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

ඉතිහාසයේ අපට අහිමි වූ සංස්කෘතික මිනිසා කරුණු සීයක් යටතේ නැවත නිර්මාණය කිරීමට අමාත්‍යංශයක් හැටියට ශක්තිමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. මේ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වයත් ලබා ගන්න අප බලාපොරොත්තු වෙනවා.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ අමාත්‍ය විදුර වික්‍රමනායක  ලබා දුන් පිළිතුරු පහත දැක්වෙයි.

මාධ්‍යවේදියා,

ජාතික උරුමයන් තිබෙන ස්ථාන හා ඒ ආශ්‍රිත ජනතාවගේ ඉඩම් හිමිකම අතර ගැටලු නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යංශය වශයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?

අමාත්‍යවරයා,

පුරාවස්තු පිළිබඳ ගැටලුවේ දී පුරාවස්තු ආඥා පනතට ඉහළින් කිසිවෙකුට කටයුතු කරන්න බැහැ. එම නිසා පුරාවිද්‍යා ආඥා පනතට අනුව නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. පුරාවිද්‍යා ආඥා පනතේ යම් අඩුපාඩුවක් තිබුණොත් පාර්ලිමේන්තුවට යොමු කර එය සංශෝධනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. එතෙක් ක්‍රියාත්මක වන්නේ පුරාවිද්‍යා ආඥා පනතයි.

මාධ්‍යවේදියා,

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිකුත් කරන ශාසනික හැඳුනුම්පත මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් ලබා නොදෙන බවට චෝදනාවක් තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

අමාත්‍යවරයා,

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක් පත්වී කෙටි කාලයයි. එතුමා මෙම හැඳුනුම්පත ලබා දීමට ඉදිරියේදී කටයුතු කරාවි. නමුත් මෙම හැඳුනුම්පත ලබා දීමේදී මහා නායක ස්වාමින් වහන්සේලාගේ උපදෙස් මත ඉදිරි කටයුතු සිදු වන බව කියන්න කැමතියි.

මාධ්‍යවේදියා,

කුල දරුවන් පැවිදි කිරීමේ වයස් සීමාව පිළිබඳ මේ දිනවල කතාබහට ලක්වෙනවා. බුද්ධ ශාසන ඇමැතිවරයා විදියට මේ පිළිබඳ ඔබතුමාගේ අදහස කුමක්ද?

අමාත්‍යවරයා,

ශාසනාරක්ෂක බල මණ්ඩලයේ විධායක සභාව මේ පිළිබඳ සාකච්ඡා කරලා අවශ්‍ය තීරණයක් ගෙන තිබෙනවා. එය මහා නායක ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරලා අවසන් තීරණයකට එළැඹීමට බලාපොරොත්තු වෙනවා.

මාධ්‍යවේදියා ,

මේ දිනවල සමහර ස්වාමීන් වහන්සේලා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් බැලුවොත් ශාසනයට අපහාස වන බවක් පෙනෙන්නට තිබෙනවා. ශාසනයට අපහාස කරන මෙම භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගන්නා පියවර කුමක්ද?

අමාත්‍යවරයා,

සෑම ස්වාමීන් වහන්සේ කෙනෙකුටම ගුරු ස්වාමීන් වහන්සේ නමක් සිටිනවා. මහා නායක ස්වාමීන් වහන්සේලා ඉන්නවා . එම නිසා විනය විරෝධී ක්‍රියාවන්ට එළැඹෙන හෝ සාසනයට අපහාස වන අයුරින් කටයුතු කරන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් මහ නායක වහන්සේලා කටයුතු කළ යුතුයි.

මාධ්‍යවේදියා,

වෙහෙර විහාරස්ථානවල වෙසෙන අලි ඇතුන් සම්බන්ධයෙන් මේ දිනවල කතා බහක් ඇතිවී තිබෙනවා. එම අලි ඇතුන්ට පමුණුවන වද හිංසා පිළිබඳව ඔබ අමාත්‍යාංශයෙන් ගෙන ඇති පියවර කුමක් ද?

අමාත්‍යවරයා,

අපි ගෙදරක සතෙක් ඇති දැඩි කළත් ඔවුන්ට කරුණාව දැක්විය යුතුයි. නමුත් මෙවැනි ගැටලුවක් පැමිණියේ පළවෙනි වතාවටයි. මුතු රාජාගේ සිදුවීමත් එක්ක අපි වෙහෙර විහාරස්ථානවල සිටින අලි ඇතුන් සංගණනයක් ආරම්භ කර තිබෙනවා. ඉන්පසුව එම අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීමට කටයුතු කරනවා.

මාධ්‍යවේදියා,

මුහුද අවට තිබෙන පුරාවිද්‍යා වටිනාකමකින් යුත් කොටස් සංරක්ෂණය කිරීමට අමාත්‍යංශය ගෙන තිබෙන පියවර මොනවාද?

අමාත්‍යවරයා,

නාවික හමුදාපතිතුමා සමඟ සාකච්ඡා කර මුහුද පතුළෙහි තිබෙන පුරාවිද්‍යා වස්තූ එලෙසම තබාගැනීමට සහ එම ස්ථාන සංචාරක ආකර්ෂණයක් ඇති වන ලෙස සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ වගේම අපේ රටින් නෙදර්ලන්තය, එංගලන්තය, ජර්මනිය වැනි රටවලට ගෙන ගොස් තිබෙන පුරාවිද්‍යා පුරාවිද්‍යා වටිනාකමින් යුත් වස්තුන් නැවත ලබා ගැනීමට අමාත්‍යංශයක් හැටියට අපි සාකච්ඡා කර තිබෙනවා. එහිදී නෙදර්ලන්ත රජය ඔවුන් සතුව ශ්‍රී ලාංකික උරුමයන් ලබා දීමට එකඟත්වය පළකර තිබෙනවා. ඒ වගේම එංගලන්තය ද ඔවුන් සතු පුස්කොළ පොත් ලබා දීමටද එකඟතාව පළ කළා. නමුත් මෙ පමණ කාලයක් එංගලන්තය, නෙදර්ලන්තය යන රටවල ආරක්ෂා කර තිබුණු මෙම ශ්‍රී ලංකික උරුමයන් මෙරටට ගෙන ඒමෙන් පසුව එම රටවල පැවැති තත්වයෙන්ම ආරක්ෂා කර ගැනීමට හැකිවේද යන ප්‍රශ්නය තිබෙනවා. ඒ නිසා එංගලන්තයේ පුස්කොළ පොත්වල ඩිජිටල් පිටපත් ලබාගැනීමට යෝජනා කර තිබෙනවා.

IMG 20230705 WA0005

කොටස් වෙළඳ පොළ අදත් ඉහළට !

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් අඛණ්ඩව තෙවන ගනුදෙනු දිනයටත් අද (05) දිනයේ දී වාර්තා විය.

අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 99.49 ක ඉහළ යාමක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 10,176.13 ක් ලෙසින් සටහන් වුණි.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 40.25 කින් ඉහළ ගොස් ඒකක 3,013.37 ක් ලෙසින් සටහන්ව තිබුණි.

සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට හේලීස්, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, එයිට්කන් ස්පෙන්ස් සහ NDB බැංකුව ඇතුළුව සමාගම් 137 කින් ධනාත්මක දායකත්වයක් ලැබී තිබුණු බව කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කරයි.

ASPI 05.07.2023රු. බිලියන 4.94 ක පිරිවැටුමක් දිනය තුළ වාර්තා වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 4.36 ක් ලෙසත් දේශීය විකිණුම් රු. බිලියන 4.80 ක් ලෙසත් වාර්තා විය.

මේ අතර විදේශීය මිල දී ගැනීම් අද දිනයේ දී රු. මිලියන 578 ක් සහ විදේශීය විකිණුම් රු. මිලියන 137 ක් ලෙසින් සටහන් වුණි.

අද දින සාමාන්‍ය ගනුදෙනු හරහා දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් අතර කොමර්ෂල් බැංකුව (රු. මිලියන 386), හේලීස් (රු. මිලියන 287), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (රු. මිලියන 250), කැපිටල් එලායන්ස් (රු. මිලියන 221), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් (රු. මිලියන 192) පෙරමුණේ විය.

මීට අමතරව අද දින සමාගම් 7ක ගිවිසා ගනු ලැබූ ගනුදෙනු වාර්තා වූ අතර එහිදී NDB බැංකුව (රු. මිලියන 355), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 352), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් (රු. මිලියන 282) සහ කොමර්ෂල් බැංකුව (රු. මිලියන 154) දෛනික පිරිවැටුමට වැඩි දායකත්වයක් ලබා දී තිබුණි.

derana biz

මුතු රාජා ආයෙත් එන්නේ නෑ !

මුතුරාජා හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති අතර ඒ මෙරට ස්වාමීන් වහන්සේ නමක් හස්තියා යළි ලබාදෙන්නැයි කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්ය.

එහිදී තායිලන්ත පරිසර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මුතුරාජා නැතහොත් සක් සුරින් තායි රජුගේ භාරයට ගැනීම හේතුවෙන් ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමට පවා නොහැකි බවය.

තායිලන්ත රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට හිමිව වසර විසිදෙකක් මෙරට රැඳී සිටි මුතුරාජා හස්තියා පසුගිය 02 වැනිදා තායිලන්තයට රැගෙන යාමට එරට රජය පියවර ගත් අතර ඒ අසනීප තත්ත්වයෙන් පසුවූ හස්තියාට වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහාය.

එලෙස රැගෙන ගිය මුතුරාජා හස්තියා එරට ලම්පන් ප්‍රාන්තයේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ මේ වන විට නිරෝධායනයට ලක් කර තිබේ.

තායිලන්ත මාධ්‍ය වාර්තා පවසන්නේ ප්‍රතිකාර ලබමින් පසුවන මුතුරාජා ප්‍රකෘතිමත් වෙමින් සිටින බවය.

මුතුරාජාගේ ඇසක සුද මතුවී ඇති අතර ඉදිරිපස වම් පාදය නැවීමට නොහැකි බවත් එරටදී සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

ඊට අමතරව පිටකොන්දේ ආසාදිත තුවාල සහිත බවත්, පතුල්වල සහ නියපොතුවල ආබාධ පවතින බවත් හඳුනාගෙන ඇතැයි එරට වාර්තා සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් මුතුරාජා ශ්‍රී ලංකාවෙන් ගෙන යාමට පැමිණි පශු වෛද්‍ය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම වෛද්‍යවරයා මුහුණු පොතේ සටහනක් තබමින් අද සඳහන් කර තිබුණේ මුතුරාජා මෙරටින් රැගෙන යන අවස්ථාව වන විට මුතුරාජාගේ සැරව ගෙඩි 90% ක් පමණ සුව අතට පත්කර තිබූ බවය.

එමෙන්ම යටිපතුල්වල හෝ වලිගයේ කිසිදු තුවාලයක් නොතිබූ බවද එහි සඳහන් කර තිබේ.

ඔහු ඒ වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරීන්ට ස්තූතිය පළකර තිබුණි.

මේ අතර තායිලන්තය මෙරටට පරිත්‍යාග කළ තවත් හස්තීන් දෙදෙනකු සම්බන්ධයෙන්ද එරට රජයේ අවධානය යොමුව තිබේ.

එම හස්තීන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පශු වෛද්‍යවරු ඇතුළු කණ්ඩායමක් එළඹෙන සැප්තැම්බර් මාසයේදී මෙරටට එවීමට නියමිත බවත් තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.

ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය !

ජපාන රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) නැවත සක්‍රීය කිරීමට රජය තීරණය කර තිබේ.

ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ඊයේ (04) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර ඇති අතර ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අදාළ යෝජනාවේ කොළඹ ජපාන රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය සමග සාකච්ඡා නැවත සක්‍රීය කරමින් අදාළ ගිවිසුමට එළැඹීම සඳහා උචිත කාලරාමුවක් සකස් කිරීමට අදාළව කරුණු ඇතුළත්ව ඇත.

මේ සම්බන්ධව අමාත්‍ය මණ්ඩල කාර්යාලය නිකුත්කළ නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.

ජපන් රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතිය

  • යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකි වනු පිණිස කොළඹ පිහිටි ජපාන රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය සමඟ සාකච්ඡා නැවත සක්‍රීය කරමින් අදාළ ගිවිසුමට එළඹීම සඳහා උචිත කාලරාමුවක් සකස් කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.

ජල සම්පාදනය නංවන්න : ADB තාක්ෂණික සහාය !

මෙරට ජල සම්පාදන ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ මෙහෙයුම් වැඩසටහන මෙන්ම ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ධාරිතාව ඉහළ නංවා ගැනීමේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණික සහාය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළ කර ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක  සහ ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂ ටකෆුමි කඩොනො  (Takafumi kadono) අතර අද (05) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙරට ජල සම්පාදන ක්ෂේත්‍රෙයේ සැලසුම්, අධීක්ෂණ රාමුව සහ ඊට අදාළව මේවන විට ගෙන ඇති ඉදිරි පියවර පිළිබඳ එහිදී පුළුල් ලෙස විමසා බැලිණි.

මෙම කටයුතුවල ප්‍රගතිය මාසිකව සමාලෝචනය කිරීමට මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් සාගල රත්නායක  වැඩසටහන සාර්ථක කර ගැනීමට ආසියනු සංවර්ධන බැංකුව මගින් ලබාදෙන සහාය පිළිබඳ ස්තූතිය පළ කළේය.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්. එස් . සමරතුංග යන මහත්වරු ඇතුළු අදාළ ආයතනවල රාජ්‍ය නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

IMG 20230705 WA0002

නතාෂා එදිරිසූරියට මහාධිකරණයෙන් ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නතාෂා එදිරිසූරිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඒ, ඇයට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව අද (ජූලි 5) දහවල් කොළඹ අංක 4 මහාධිකරණයේදී විභාගයට ගැනුණු අවස්ථාවේදී ය.

ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මෙම නියෝගය නිකුත් කර ඇත.

එම ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කළ දැනුම්දීමෙන් පසුව විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, ඇය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට විනිසුරු ආදිත්‍ය පටබැදිගේ නියම කර ඇත.

එයාර් චයිනා ආයෙත් ඇවිල්ලා !

චීන ජාතික ගුවන් සේවය වන ” එයාර් චයිනා ” ගුවන් සේවය යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි.

එම සේවාවන් ආරම්භ කරමින් එයාර් චයිනා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඊයේ (03) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වූ බවත් වාර්තා වෙයි.

චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට දිවයිනට පැමිණි එම ගුවන් යානයේ මගීන් 142 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 09 දෙනෙකු පැමිණ ඇති බවත් වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට සෑම සතියකම සදුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල චීනයේ චෙන්ඩු නගරයේ සිට රාත්‍රී 08.55ට කටුනායක ගුවන් තොටුපොළ වෙත එම ගුවන් සේවයට අයත් යානයක් පැමිණීමට නියමිතය. එම දින වල රාත්‍රී 10.15 ට කටුනායක සිට චීනයේ චෙන්ඩු බලා එම ගුවන් සේවයට අයත් යානයක් පිටත්ව යාමට ද කටයුතු යොදා ඇත.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වසර තුනක පමණ කාලයක් එම ගුවන් සේවය මෙරටට සිදුකළ ගුවන් ගමන් තාවකාලිකව නතර කර තිබිණ.

පොලිස්පති පත්කිරීම : කාදිනල් හිමිගෙන් රහස් ලිපියක් !

අභිනව පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් කතානායකවරයා ප්‍රමුඛ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ට පිටු තුනක අතිශය රහස්‍ය ලිපියක් යොමුකර තිබේ.

එමගින් උන්වහන්සේ ඉල්ලා ඇත්තේ එහි නම් සඳහන් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනාගේ නම් පොලිස්පති ධුරය සම්බන්ධ යෝජනා වුවහොත් ඒ ගැන සලකා බැලීමක්වත් නොකරන ලෙසයි.

මෙම නිලධාරීන් දෙදෙනා පාස්කු ප්‍රහාරය ඇතුළු කාරණා ගණනාවකදී වගකීම් පැහැර හැර ඇත. එනිසාම තමන්ගේ වෘත්තීය ගරුත්වය හා පොලීසියේ කීර්තිනාමය රැකගන්නට නොහැකි වූ මේ අයගේ නම් සලකා බැලීමක් හෝ නොකළ යුතු බව මෙරට සමස්ත කතෝලික ජනතාවගේ නාමයෙන් ඉල්ලා සිටින බව කාදිනල් හිමිපාණන් සඳහන් කර තිබේ.

උන්වහන්සේගේ මෙම ලිපිය කතානායකවරයා ප්‍රමුඛ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් 9 දෙනාටම යොමුකර තිබේ. එම ලිපියට පෙර මේ ගැන මෙරට කතෝලික රදගුරු සමුළුවද විශේෂ ලිපියක් යොමුකරන ලද බවත් එහි සඳහන් කර ඇත.

දේශය මේ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුගෙන් විමසූ විට ඔවුහු එම තොරතුරු සනාථ කළහ. ඒ අතරම ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා පත් කරන්නේ ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවට යොමුකරන නාමයෝජනා ස්වාධීනව සලකා බැලීමෙන් පසුව පමණක් බවය. ඒ සඳහා බාහිර පාර්ශ්වයක උපදෙස් හෝ මැදිහත්වීම ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වයට බාධාකාරී වන බවද ඔවුහු සඳහන් කළෝය.

  • deshaya

ලෝක පිතිකාරියන් අතර චමරි පළමු තැනට !

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව මෙන්ම සුපිරි පිතිකාරිය වන චමරි අතපත්තු ඉතිහාසයේ පළමුවරට අන්තර්ජාතික ක්‍රිකට් සභා (අයි.සී.සී.) එක්දින පිතිකාරියන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව ඇත.

නවසීලන්තයට එරෙහිව ඊයේ (3) අවසන් වූ එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශතක දෙකක් රැස්කිරීමට සමත් වීම පමඟ මෙසේ චමරිට පළමු ස්ථානයට ඒමට අවස්ථාව උදාවූ අතර ඇය පළමු තරගයේදී නොදැවී ලකුණු 108 ක් සහ දෙවැනි තරගයේදී නොදැවී ලකුණු 140 ක් රැස් කළාය.

ඒ අනුව චමරි අතපත්තු ප්‍රසාද ලකුණු 758 ක් හිමිකරගනිමින් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත්ව සිටින අතර ඕස්ට්‍රේලියාවේ බේත් මූනි ප්‍රසාද ලකුණු 754 ක් ලබා දෙවැනි ස්ථානයේ ද, දකුණු අප්‍රිකාවේ පිතිකාරී ලයුරි වොල්වර්ඩ්ට් ප්‍රසාද ලකුණු 732 ක් සමගින් තෙවැනි ස්ථානයේ ද, පසුවෙති.

චමරි අතපත්තු මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 95 කදී ශතක 8 ක් සහ අර්ධ ශතක 15 ක් සමගින් ලකුණු 3,199 ක් රැස්කරමින් වර්තමාන ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ පිතිකාරියන් අතර පෙරමුණේ සිටින්නීය.

Page 99 of 388