පුවත්

රටපුරා මදුරු කීට ඝණත්වය පහළට
මේ වනවිට රටපුරා මදුරු කීට ඝණත්වය පහළ ගොස් ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන පවසයි.
පසුගිය වසරේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිටෝ දර්ශක අගය 20 - 25 අගයක් දක්වා ඉහළ ගිය අතර මේ වනවිට එම අගය 10 - 15 දක්වා පහත වැටී ඇති බව ඔහු පවසයි.
කෙසේ වෙතත් කාලගුණයෙහි පවතින ක්ෂණික වෙනස් වීම් හමුවේ බිටෝ ඝණත්වය නැවත ඉහළ යා හැකි බව ද නජිත් සුමනසේන පැවසීය.

ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල් ලිපිය.....
ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල් ලිපිය පිළිබඳව මූලික වාර්තාවක් ඒ සම්බන්ධයෙන් පත්කළ විශේෂ කමිටුව විසින් අද (08) එළිදැක්වීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදුවිය.
මෙම සෙල්ලිපිය කිස්තුපූර්ව දෙවන සියවසේ මුල් භාගයට හෝ ඊට පෙර සමයකට අයත් එකක් බවට තීරණය කළ බව එම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි පැවසීය.
සෙල්ලිපියේ බ්‍රාහ්මීය අක්ෂර පේළි 10ක් සහ ඇති බවත් මෙරට ඉතිහාසයේ මෙතෙක් ශිලා ලේඛනවල දැකගත නොහැකි අතිශය දුර්ලභ සංකේත 6ක් හාමුවී ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
එසේම අදාළ ශිලා ලේඛනයේ සැළකිය යුතු ප්‍රමාණයක් ගෙවී ගොස් ඇති බවත් එය සමස්ථ ලේඛනයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 60ක් පමණ වන බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව ඉතිරි සියයට 40කට කොටස අතරින් හඳුනාගෙන ඇති අක්ෂර පේළි අනුව දළ අර්ථයක් සකස්කරගැනීමට හැකි වූ බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එහි බ්‍රාහ්මීය අකුරු 24ක් උපයෝගී කරගනිමින් සකස් කර ඇති අතර මුළු ශිලා ලිපියේම අකුරු 1000කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.
භික්ෂූන් වහන්සේලාට ජලය අත්‍යවශ්‍ය වන බැවින් එම කඳු මුදුනට ජලය සැපයීමක් ගැනද එම ශිලා ලේඛනයේ සටහන්ව ඇති බව මහාචාර්යවරයා පැවසීය.
මේ අතර ස්වාමීන් වහන්සේලාට ලෙනක් පූජා කිරීම ගැනත් දාගැබක් කරවා පූජා කිරීම පිළිබඳවත් මෙම සෙල් ලිපියේ සඳහන් ව ඇති බව මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
2023 වසරේ ජූලි මස 10 වනදා මෙම සෙල්ලිපිය හඳුනාගනු ලැබීය.

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ඉහළට
ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.
ඒ අනුව රුපියල් 5,000ක්ව පැවැති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7,500ක් දක්වා ද, රුපියල් 2,000ක්ව පැවැති වැඩිහිටි දීමනාව රුපියල් 3,000 දක්වා ද ඉහළ නංවන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර දැනට අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුස්සන් මෙම වසරේ පළමු කාර්තුව තුළ හඳුනාගැනීමට නියමිත අතර ඉන් පසු ඔවුන්ට ද මෙම වැඩිකළ දීමනාව අප්‍රේල් මස 01 සිට ලබාදීමට නියමිතය.
මේ අතර මාර්තු මස 31 අවසන් වීමට නියමිතව තිබූ අස්වැසුම ප්‍රතිලාභ යටතේ අවදානමට ලක් වූ සහ සංක්‍රාන්තික කාණ්ඩයේ ගෙවීම් දෙසැම්බර් මස 31 දක්වා සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
දැනට සංක්‍රාන්තික කාණ්ඩය සඳහා රුපියල් 2,500ක් ද අවදානමට ලක් වූ කාණ්ඩය සඳහා රුපියල් 5,000ක දීමනාවක් හිමි වන අතර ඉදිරියේදී එම කාණ්ඩ දෙක එක්කොට පවුල් ලක්ෂ 8ක පිරිස එකම අවදානමට ලක් වූ කාණ්ඩය සේ සලකා රුපියල් 5,000ක දීමනාවක් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ස ඳහන් කළේය.

ජනපති ඔස්ට්‍රේලියාවට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ.
ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී පැවැත්වෙන 7 වැනි ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකිරීමට ජනාධිපතිවරයා අද (08) අලුයම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
ඉන්දියානු සාගර සමුළුව හෙට (09) සහ අනිද්දා (10) යන දෙදින තුළ ඔස්ට්‍ර්ලියාවේ පර්ත් නුවර දී පැවැත්වේ.
ඉන්දීය පදනමේ සහ ඔස්ට්‍රේලියානු රජයේ නිල ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයට එක්වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට ලබාගත හැකි ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපතිවරයා විසින් සොයා බැලීමට නියමිතය.

සජිත්ගේ වැරදුණු කුරුමානම පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි !
නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරයේ සමාරම්භක අවස්ථාව දේශපාලන වාසියක් කරගන්නට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැරූ ප්‍රයත්නය අසාර්ථක වූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරු 10.30ට ආරම්භ වූ අතර එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සැලසුම් කර ඇත්තේ ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට සැරසෙන විට එම අවස්ථාව වර්ජනය කර විපක්ෂයම පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටතට ගැනීමට ය.
ඒ වෙනුවෙන් ඔහු ඊයේ (06) සූම් තාක්ෂණය ඔස්සේ සමගි ජනබලවේගය සන්ධානයේ සාකච්ඡාවක් කැඳවා අදහස් දක්වා ඇති නමුත් ඊට අපේක්ෂා කළ ආකාරයේ ප්‍රතිචාරයක් ලැබී නැත.
විශේෂයෙන් සමගි ජනබලවේගය සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයන් , සුලු පක්ෂ නායකයන් ඒ සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා නොමැත.
එහිදී අදාළ යෝජනාව සම්බන්ධයෙන් අද (07) උදෑසන වැඩිදුරටත් සාකච්ඡා කිරීමට යෝජනා කර එම සූම් සාකච්ඡාව අවසන් කර ඇත .
අනතුරුව අද උදෑසන එකී සාකච්ඡාව ආරම්භ කර ඇතත් එම අවස්ථාව සඳහා සජබ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ද සහභාගි ව නැති අතර , තවත් පිරිසක් පාර්ලිමේන්තු පැමිණ නොමැති බවත් පෙනීගොස් ඇත.
කෙසේ වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ අවස්ථාවේ පැමිණ සිටි සජබ සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසෙන් කොටසක් සමග පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටතට යාමට විපක්ෂ නායක කටයුතු කර ඇත .
නමුත් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක, ඉෂාක් රහුමාන් සහ කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරුන් ජනපතිගේ කතාවට සවන් දෙමින් මැතිසබයේ රැඳී සිට ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇතැම් මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ තම නායකයාගේ කුරුමානම වැරදුණු බවය. එසේම පක්ෂ අභ්‍යන්තරයේ තිබෙන සජිත් විරෝධය අනාවරණය වූ බවය.
මේ ආකාරයට විපක්ෂ නායක ගේ වැරදුණු කුරුමානම මධ්‍යයේ වුවත් ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට (08) සහ අනිද්දා (09) දෙදින තුළ පැවැත්වීමට නියමිතය.

ඉන්දීය ආයෝජනවලට ජවිපෙ - මාලිමා විරෝධය අවසන් : නාමල් කියයි !
ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ගේ ඉන්දීය සංචාරයෙන් පසුව ඉන්දියානු ආයෝජන සඳහා එම පක්ෂ සිය එකඟතාව පළ කරනු ඇති බවට විශ්වාස කරන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි .
පසුගිය සමයේ ජවිපෙ දැක්වු ඉන්දීය විරෝධි ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරටට ආයෝජන ගණනාවක් අහිමි වු බව කී මන්ත්‍රීවරයා සාම්පුර් බලාගාරය ඊට නිදසුනක් බවද සඳහන් කරයි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ , පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන "සද් ජන රළ " රැස්වීම් මාලාවේ සමාරම්භක රැස්වීම අමතමිනි .
එම රැස්වීම ඊයේ (06) උදෑසන පොලොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේදී පැවැත්විණ.
අතීතයේ දී ඉන්දියානු ව්‍යප්තවාදය ගැන ජවිපෙ අද වන විට ඉන්දියානු සංචාර ගැන උදම් අනමින් සිටින බව ද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය .
එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය .
“ඉස්සර පන්ති පහේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරපු ජවිපෙ, අද ඉන්දියානු සංචාරයක් ගිහින් උදම් අනමින් ඒ ගැන කතා කරනවා. එනිසා ජනතා විමුක්ති පෙරමුණ මේ ඉන්දියානු සංචාරයෙන් පස්සෙ මේ රටට එන ආයෝජනවලට එකගත්වය පල කරයි කියලා හිතනවා.”
මෙම අවස්ථාව සඳහා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්, තිස්ස කුට්ටිආරච්චි, ඩී.වී.චානක, ඉන්දික අනුරුද්ධ, තේනුක විදානගමේ, ජගත් සමරවික්‍රම, චින්තක මායාදුන්න ඇතුළු පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

අනුරගේ ඉන්දීය සංචාරය සහ එට්කා ගිවිසුමේ සම්බන්ධයක් - විමල්ගෙන් චෝදනාවක් !
ඉන්දියාවේ වුවමනාව, අප පත්ව සිටින තීව්‍ර ආර්ථික අර්බුදය යොදාගෙන එට්කා ගිවිසුම ද අත්සන් කරවාගෙන ශ්‍රී ලංකාව තුළ තම දේශපාලන සහ ආර්ථික ආධිපත්‍ය පතුරුවාලීම බවත් ඊට අද ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන පක්‍ෂ ගැතිකම් කරන හෙයින් ඔවුන් ද මෙම සැබෑ අනතුර පෙන්වා නොදෙන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පෙන්වා දෙයි.
“ඉන්දියානු ව්‍යාප්තවාදය” ලංකාවට උගන්වනු ලැබූ දේශපාලන පක්‍ෂය ද අද නිහඬව සිටින්නේ, මේ ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීමේ ඉන්දියානු ක්‍රියාන්විතයේ ඔවුන් ද ඉතා ප්‍රබල සාමාජිකන් නිසා බවට වීරවංශ මන්ත්‍රීවරයා චෝදනා කරයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙසේ ද සඳහන් කළේය.
“මේ වන විට ලංකාව සහ ඉන්දියාව අතර එට්කා ගිවිසුම අත්සන් කිරීම සඳහා කඩිනම් සාකච්ඡා සිදුවෙමින් පවතිනවා. ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් මගින් විවිධ රටවල් අතර දේශපාලන-ආර්ථික ගිවිසුම් අත්සන් තැබීම් පිළිබඳ නිලධාරියෙකු පත් කිරීමට හා ඒ වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා. දැන් ඒ ඉහත කී නිලධාරියා සහ ඉන්දියානු නියෝජිතයන් අතර එට්කා පිළිබඳ සාකච්ඡා ඇරඹිලා තිබෙනවා. අපට වාර්තා වන ආකාරයට ඉතාම කඩිනමින් ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර එට්කා ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබෙනවා.

නමට සීමාවූ සිමෙන්ති සංස්ථාවේ ඉඩමෙන් ඩොලර් උපයන වැඩක් !
සිමෙන්ති සංස්ථාව සතු අක්කර 5000ක ඉඩමෙන් වසරකට ඩොලර් මිලියන 300ක් උපයා ගත හැකි සැලැස්මක් ඇති බවත් ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමට සූදානම් ආයතනයක් ද මේ වන විට තෝරාගෙන ඇති බවත් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පැවසීය.
කුමන ප්‍රශ්න පැමිණිය ද රටේ පවතින සම්පත්වලින් හැකි තරම් ප්‍රයෝජන ලබා ගෙන රට ගොඩ නැඟීමට කටයුතු කළ යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මෙසේ ද පැවසීය.
රට විශාල ආර්ථික අර්බුදයකට ලක්ව තිබූ අවස්ථාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ රට බාරගත්තා. දැන් ඔහු එම වගකීම සාර්ථකව ඉටු කරමින් සිටිනවා.
ඒ වගේම එවකට මට බාර දුන් අමාත්‍යාංශය සතු ආයතන ද දැඩි කඩා වැටීමකට ලක්ව තිබුණා. එම ආයතන අතර ලාබ ලබන තත්ත්වයක පැවතුණේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පමණයි. එය ඒ වන විට වසරකට ඩොලර් මිලියන 280ක පමණ අදායමක් උපයනු ලැබුවා. නමුත් පසුගිය වසර අවසන් වන විට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මඟින් ඩොලර් මිලියන 480ක පමණ මුදලක් උපයා ගැනීමට අප සමත්ව තිබෙනවා.
වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව ද අප නැවත ආරම්භ කළා. එම ආයතනය තවමත් ලාබ ලබන තත්ත්වයට පත්ව නොමැති නමුත් තිබෙන ණය ගෙවීමට හා සේවක වැටුප් ද ගෙවමින් පවත්වාගෙන යා හැකි මට්ටමට ගෙනවිත් තිබෙනවා.
ඒ වගේම පොස්පේට් ආයතනයේ මිලියන 24ක් පමණ වටිනා ඛනිජ සම්පත් තිබෙනවා. නමුත් රාජ්‍ය නොවන සංවිධාන විසින් ගොනු කර තිබෙන නඩු කටයුතු හේතුවෙන් එයින් ආදායම් උපයාගත නොහැකිව තිබෙනවා. එවැනි ප්‍රශ්න හමුවේ වුවත් යම් පොස්පේට් ප්‍රමාණයක් අලෙවි කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ හරහා සියලුම ණය මෙන්ම වැටුප් ගෙවීම් සිදුකර මහා භාණ්ඩාගාරයට ද රුපියල් මිලියන 350ක් ලබා දීමට හැකියාව ලැබුණා.
මෙවැනි ආයතන වගේම අලිමංකඩ, මන්නාරම ලුණු ලේවායන්වලින් ද ලාබ ලබා රුපියල් මිලියන 100ක් මහා භාණ්ඩාගාරයට ලබාදීමට අප කටයුතු කළා. අප රටේ පවතින සම්පත්වලින් ඕනෑ තරම් ප්‍රයෝජන ලබා ගත හැකියි. නමුත් ඒ සදහා ක්‍රියාත්මක වීමේදී විවිධ බාධා ගැටළු මතු වෙනවා.
සිමෙන්ති සංස්ථාව දැනට නමට පමණක් සීමා වී තිබෙනවා. එහි අක්කර 5000ක පමණ ඉඩමක් තිබෙනවා. ඒ වාගේම ඩොලර් මිලියන ගණනක ඛනිජ සම්පත් ද එහි තිබෙනවා. අප එය අදායම් උපයන මාර්ගයක් බවට පත් කර ගැනීමට සැළසුම් කර අවසන්. ඒ අනුව වසරකට ඩොලර් මිලියන 300ක පමණ අදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා ආයෝජනය කිරීමට සූදානම් ආයතනයක් ද තෝරා ගෙන අවසන්.
ඒ වගේම ඇල්ල නගරය සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යමින් තිබෙනවා. ඇල්ල නගරයේ පමණක් දෛනිකව සංචාරකයන් 3000ක් සිටිනවා නම් රට පුරා කොපමණ සංචාරකයන් සිටිය හැකි ද කියා තක්සේරු කළ හැකියි. මේ සියලු අවස්ථා රටේ සංවර්ධනය වෙනුවෙන් යොදා ගත යුතුයි.

උල්කා වේගයෙන් කඩා වැටුණු ආර්ථිකය රොකට් වේගයෙන් ඉස්සුවා !
විවිධ අදහස් පැවතියද, විවිධ ආගම් සහ ජාතීන්ට මෙන්ම විවිධ දේශපාලන පක්ෂවලට අයත් වුවද රටේ අනාගතය වෙනුවෙන් සියලුදෙනා පොදු එකඟතාවකට එක්වීමේ භාරදූර වගකීම ඉටු කිරීමට කාලය එළැඹ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
රට ගොඩනැඟීමට ආණ්ඩුව ආරම්භ කර ඇති වැඩපිළිවෙළ තවදුරටත් වේගවත් කළ හැක්කේ සියලුදෙනා සමගියෙන් ඒ සමඟ එක්වුවහොත් පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පදවි තානාන්තර පිළිබඳ සිහින මවන ඇතැමුන් තනතුරු වෙනුවෙන් රටට අසත්‍ය ප්‍රකාශ කරමින් සිටින බව ද පැවසීය.
යථාර්ථයට පිටුපා සිහින මාවතේ ගමන් කළහොත් යළි රට මහා අනතුරකට පත්වන බව අවධාරණය කළ ජනාධිපතිවරයා විවිධ පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් රට පිළිබඳ වගකීම පැහැර හැරියහොත් ඉතිහාසය විසින් අප ද්‍රෝහීන් ලෙස නම් කරනු ඇති බව ද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (07) නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සැසිවාරය විවෘත කරමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනි.
පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් විසින් පිළිගනු ලැබීය.
එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අභියස දී පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර ආශිර්වාද එක් කළේය.
වේත්‍රධාරී, නියෝජ්‍ය වේත්‍රධාරී ප්‍රමුඛ කරගත් ජනාධිපතිවරයා, කථානායකවරයා පාර්ලිමේන්තු මහලේකම්වරිය, නියෝජ්‍ය මහලේකම්වරයා ඇතුළු පිරිස පාර්ලිමේන්තු සභා ගර්භය වෙත ප්‍රවිෂ්ට වීම සිදු වූ අතර අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන ලදී.
තමන්ගේ පුද්ගලික සිහිනය වෙනුවෙන් නොව රටේ පොදු සිහිනය සැබෑ කරලීම වෙනුවෙන් අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට එක්වන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී සියලුදෙනාට ආරාධනා කළේය.
තමා දැඩිව විවේචනය කළ පොදුජන පෙරමුණේ බහුතරය රටේ යහපත වෙනුවෙන් පැරණි එදිරිවාදිකම් පසකෙලා රට වෙනුවෙන් පොදු ගමනකට එකඟ වූවා නම් තමා සමඟ බොහෝ කලක් සමීපව කටයුතු කළ සමගි ජන බලවේගයට එසේ කළ නොහැක්කේ මන්දැයි ජනාධිපතිවරයා මෙහිදී විමසා සිටියේය.
උල්කාපාත වේගයකින් කඩා වැටුණු මෙරට ආර්ථිකය රොකට් වේගයකින් යළි ඔසවා තැබීමට ආණ්ඩුවට හැකි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවත්, කඩා වැටුණු රටවල ආර්ථික ප්‍රතිසාධනය ඉතා දුෂ්කර හා වේදනාකාරී එකක් වුවත් වෙනත් රටවල මෙන් දීර්ඝ කාලීන දුෂ්කරතා සහ වේදනාවන්ගෙන් තොරව මෙරට ආර්ථිකය ප්‍රතිසාධනය කර ගැනීමට හැකි වූ බවද පෙන්වා දුන්නේය.
අසීරුවෙන් වුවද ඇතැම් අවස්ථාවල අකමැත්තෙන් වුවද ආණ්ඩුව ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා ස්ථාවර ආර්ථිකයක් රට තුළ ගොඩනැඟීමේ ගමනට අවතීරණ වීමට හැකි වූ බව පෙනවා දුන් ජනාධිපතිවරයා රටේ ආර්ථිකය තව තව ස්ථාවර වෙද්දී බදු බර අඩු කරමින් ජනතාවට සහන සැලසීමට හැකි වන බවද පැවසීය
එසේම මේ වසරේ මුල් මාස හය තුළ සංකීර්ණ ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්, ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමේ මූලික පදනම බවට මෙන්ම ණය පීඩනයෙන් මිදීමේ මාර්ගයේ සංධිස්ථානයක් බවට එය පත්වනු ඇති බවද පැවසීය.
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය
අතීතයේ සිට මේ දක්වාම ලෝකය විවිධ අර්බුදයන්ට මුහුණ දුන්නා. රටවල් අර්බුදයන්ට මුහුණ දුන්නා. පුද්ගලික ජීවිත අර්බුදයන්ට මුහුණ දුන්නා.
සමහර අවස්ථාවලදී අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් වුණා. තවත් සමහර අවස්ථාවන්වලදී අර්බුදයෙන් ගොඩ එන්න බැරි වුණා. අර්බුදයකින් ගොඩ එන්න පුළුවන් වෙන්නේ අර්බුදයකට සාප කර කර සිටීමෙන් නොවෙයි. අර්බුදයට හේතු කියමින් ඒවා විවේචනය කිරීමෙන් නොවෙයි.
ලෝකයේත්, රටවලත්, පුද්ගලික ජීවිතවලත් අර්බුද විසඳා ගත්තේ අර්බුදය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමෙන්.
අර්බුද කළමනාකරණයේ මූලික පියවර විය යුත්තේ කුමක්ද?
බුදුන් වහන්සේගේ දේශනාවක් මම මෙතැනදී උපුටා දක්වන්නට කැමතියි.
“අත්තදීපා - විහරත”
තමා තමාටම පහනක් කොට ජීවත් වෙන්න.
අර්බුද ජය ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළ යුත්තේ තමාගෙන්මයි. අනුන් විවේචනය කර කර සිටීමෙන් අර්බුද ජයගත් අවස්ථාවක් ලෝකයේ කිසි තැනක නෑ.
අප අපටම පහනක් වුණේ නැත්නම්, අපේ සිතිවිලි, අපේ අදහස් නිවැරදි කරගත්තේ නැත්නම් අපට යහපතකුත් නෑ. රටට යහපතකුත් නෑ. අර්බුදයට විසඳුමකුත් නෑ.
ක්‍රම වෙනසක් නැතිනම්, සිස්ටම් චේන්ජ් ගැන උගුර ලේ රහ වෙනකල් කෑ ගැහුවාට මුලින්ම අපි වෙනස් වුණේ නැතිනම් කිසි විටෙක ක්‍රමයක් වෙනස් කරන්න අපට පුළුවන් වෙන්නේ නෑ.
ඒ බවත් අවධාරණය කරමින් මම අතීතය, වර්තමානය සහ අනාගතය ගැන කරුණු ගණනාවක් මේ සභාව ඉදිරියේ ගෙනහැර දක්වන්නට කැමතියි.
2022 පෙබරවාරියේ මේ රට වැටී තිබුණ තත්ත්වය අප කාටත් මතකයි. 2023 පෙබරවාරි වෙද්දී ඊට වඩා යහපත් තත්ත්වයකට මේ රට ගෙන එන්න අපට පුළුවන් වුණා. මේ පෙබරවාරි වෙද්දී ගිය අවුරුද්දේ පෙබරවාරියට වඩා යහපත් මට්ටමකට අපේ රට ගොඩ නැංවී තිබෙනවා.
ගිය වසරේ පෙබරවාරියේ සහ මේ දක්වා අපේ ආර්ථික දර්ශක කිහිපයක් මම පෙන්වා දෙන්නම්.
ගිය වසරේ උද්ධමනය සියයට 50.6යි. අද එය සියයට 6.4 දක්වා පහළ වැටිලා.
ආහාර උද්ධමනය සියයට 54.4 සිට සියයට 3.3 දක්වා පහළ වැටිලා.
එදා ඩොලරයක අගය රුපියල් 362ක්. අද රුපියල් 314යි.
2022 අවසාන වෙද්දී අයවැය ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.7ක්. නමුත් 2023 වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගන්නට අප සමත් වුණා. නිදහසින් පසුව ගෙවුණු අවුරුදු 76 තුළම ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුණු 6 වැනි අවස්ථාව මෙයයි.
2022 අවසානයේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.9ක්. 2023 වසරේ අවසානයේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමෙහි අතිරික්තයක් ඇති කර ගැනීමට අපට පුළුවන් වුණා. 1977න් පසු ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමෙහි අතිරික්තයක් ඇති කර ගත් මුල්ම අවස්ථාව මෙයයි.
2023 දී සියයට 28ක් වූ පොලී අනුපාතය දැන් සියයට 12යි.
2022 අවසාන වෙද්දී ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය 52ක් රුපියල් බිලියන 745ක පාඩුවක් ලැබුවා. 2023 සැප්තැම්බරය වෙද්දී මේ රාජ්‍ය ව්‍යවසාය 52 රුපියල් බිලියන 313ක ලාභයක් ලබා තිබෙනවා. හැබැයි මේ ආයතනවල ණය බර උසුලන්නට බැරි තරම් අගයක පවතින බවත් සඳහන් කළ යුතුයි.
තෝරාගත් ණය ගෙවා ගැනීමට බැරි තත්ත්වයකට පත්ව ඇති බව ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රකාශ කළේ 2022 අප්‍රේල් 12 වැනිදා. ඒ වෙද්දි අපේ ද්‍රවශීල විදේශ විනිමය සංචිත බින්දුවටම වගේ වැටිලා තිබුණා. දැන් ඒ තත්ත්වය වෙනස්.
2023 දෙසැම්බර් වෙද්දී අපේ නිල විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.4ක්.
ගෙවුණු කෙටි කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් අප කැපී පෙනෙන ප්‍රගතියක් ලැබුවා. 2022 අපේ රටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 194,495ක්. 2023 වසරේ ඒ සංඛ්‍යාව 1,487,303ක් දක්වා ඉහළ නංවා ගන්න අපට පුළුවන් වුණා. මේ වසරේ ජනවාරියේදී 200,000කට අධික සංචාරකයන් පිරිසක් පැමිණියා.
ඒ වගේම 2023 වසර තුළ සාධනීය පියවර රැසක් අප ගත්තා. QR කේතය ඔස්සේ සිදු කළ ඉන්ධන සීමාව ඉවත් කළා. දැන් විදුලි බලය අඛණ්ඩව සැපයෙනවා. ගෑස් හිඟයක් නැහැ. කෘෂි කර්මාන්තය වෙනුවෙන් හිඟයකින් තොරව පොහොර ලබා ගන්න පුළුවන්. ධීවර ජනතාවට ඉන්ධන හිඟයක් නෑ. රථ වාහන හැරෙන්න අනෙකුත් සියලු භාණ්ඩ සඳහා ආනයන සීමාවන් දැන් ඉවත් කරලා. අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත් රටට ගෙන්වා ගැනීමේ කිසිදු ගැටලුවක් නැහැ. ඒ වගේම නිෂ්පාදන කර්මාන්ත සඳහා ද අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයුම් ජාලයට දැන් කිසිදු අවහිරයක් නෑ.
දළ දේශීය නිෂ්පාදිතය 2022 දී සියයට 7.8කින් හැකිළුණා. 2022 සිට එක දිගට කාර්තු 6ක් සෘණ වර්ධනයක් තිබුණේ. නමුත් 2023 තුන්වන කාර්තුවේදී සියයට 1.6ක වර්ධනයක් අප අත්පත් කර ගත්තා.
අපේ ආර්ථිකය කඩා වැටුණේ උල්කාපාත වේගයකින්. නමුත් දැන් අපිට එය ආපිට හරවන්න පුළුවන් වෙලා තිබෙනවා. එය රොකට් වේගයෙන් යළි ඔසවන්නට අප සමත් වුණා. වී (V) ෂේප් රිකවරි නැත්නම් වී (V) හැඩයේ ප්‍රතිසාධනයක් අප ලබමින් ඉන්නේ.
එය අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කඩා වැටුණු රටවල ආර්ථික ප්‍රතිසාධනය ඉතා දුෂ්කර හා වේදනාකාරී එකක් වුණා. නමුත් වෙනත් රටවල් වගේ දීර්ඝ කාලීන දුෂ්කරතා සහ වේදනාවන්ගෙන් තොරව අපේ ආර්ථිකය ප්‍රතිසාධනය කර ගැනීමට අපට පුළුවන් වුණා.
මම එක් උදාහරණයක් ගෙනහැර දක්වන්නම්. ග්‍රීසිය තමන්ට ණය ගෙවාගන්න බැරි තරමේ ආර්ථික කඩා වැටීමක් සිදුව ඇති බව 2009දී ප්‍රකාශයට පත් කළා. ඉන්පසු මුළු රටම වේදනා විඳිමින් යළි තමන්ගේ ආර්ථිකය ප්‍රතිසාධනය කර ගැනීමට වෙහෙසුණා. ඒ කාලය තුළ අනේක දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. යළිත් ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීමට ඔවුනට අවුරුදු 10කට වැඩි කාලයක් ගත වුණා.
නමුත් අපේ රටට කෙටි කාලයකදී සුවිශේෂී ජයග්‍රහණ ලබා ගැනීමට හැකිවීම ඇත්තෙන්ම ලෝක වාර්තාවක්. අපට ඒ ආකාරයේ වාර්තාගත පෙරළියක් කරන්න පුළුවන් වුණේ ඇයි?
2022 වසර පුරාම ආර්ථිකය කඩා වැටුණා. 2022ට වඩා 2023 වසරේ කිසියම් වාර්තාගත ආර්ථික ප්‍රගතියක් අපේ රටට ලබා ගන්න පුළුවන් වුණේ අහම්බයකින් නෙවෙයි. ඉතා පරිස්සමින් හා දුරදිග බලා සකස් කළ සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම නිසයි.
ඒ වගේම අප සකස් කරන ප්‍රතිපත්ති, අනුගමනය කරන ක්‍රියාමාර්ග හා සැලසුම් සියල්ලම වරින් වර, අවස්ථානුකූලව මම මේ පාර්ලිමේන්තුව ඉදිරියේත්, ජනතාව ඉදිරියේත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඒවා ගැන සාකච්ඡා කරන්න, විවාද කරන්න අවස්ථාවන් පාර්ලිමේන්තුව තුළදීත්, ඉන් පිටතදීත් ලබා දුන්නා. ඒ ප්‍රතිපත්ති කිසි විටෙකත් සඟවා තැබුවේ නෑ. හැම පියවරක්ම අප සිදු කළේ පාරදෘශ්‍යභාවයෙන් යුතුවයි.
මම කිසි විටෙක දේශපාලන වාසි තකා තීරණ ගත්තේ නෑ. මම හැම තීරණයක්ම ගත්තේ රටේ වාසිය ගැන හිතලයි. අපට අවාසි වුණත් රටට හිතකර තීන්දු තීරණ ගැනීමට අප පසුබට වුණේ නෑ. අප පුද්ගලික අභිලාෂ පසෙක ලා රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා.
පාර්ලිමේන්තුවේ සමහර කණ්ඩායම් ඒ තීන්දු තීරණවලට විරුද්ධ වුණා. නමුත් බහුතරය තම තමන්ගේ පුද්ගලික දේශපාලන වාසි සහ ඉලක්ක නොතකා, රට වෙනුවෙන් ඒ තීන්දු තීරණ වෙනුවෙන් අත් ඉස්සුවා. මතු යම් දවසක ඒ අයට ජාතියේ කෘතවේදීත්වය හිමිවන බව මට විශ්වාසයි.
අප මේ ගමන ඉදිරියට ගියේ පියවරෙන් පියවර. 2022 වසරේ ඉදිරිපත් කළ අතුරු අයවැය මඟින්, රටේ එවකට තිබුණු සැබෑ තත්ත්වය මම පෙන්වා දුන්නා. ආර්ථිකයේ කඩා වැටීම වළකාලීම ඒ අතුරු අයවැය ලේඛනයේ අරමුණ වුණා. 2023 වසරේ අයවැය ඔස්සේ ආර්ථිකය කිසියම් ස්ථාවර මාවතකට යොමු කරලීමේ යෝජනා කිහිපයක් මම ඉදිරිපත් කළා. 2024 අයවැය යෝජනා ඉදිරිපත් කළේ ආර්ථික සංවර්ධනය වේගවත් කරලීම උදෙසා අවශ්‍ය ප්‍රතිසංස්කරණවල ආරම්භක පියවරක් ලෙසයි.
අසීරුවෙන් වුණත්, සමහර අවස්ථාවල අකැමැත්තෙන් වුණත් අප ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති නිසා ස්ථාවර ආර්ථිකයක් ඇති කර ගැනීමේ ගමන් මාර්ගයට දැන් අප අවතීර්ණ වෙලා ඉන්නවා. ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපේ ඉලක්කගත ගමන ගැන ප්‍රසාදය පළ කරනවා.
අඳුරු ආර්ථික බිම් ගෙයක සිරවී සිටි අපි දැන් බිම් ගෙය කෙළවර ආලෝකය දකිනවා. දැඩි සත්කාර ඒකකයේ පණ අදිමින් සිටි ආර්ථිකය දැන් අසාධ්‍ය තත්ත්වයෙන් මුදවාගෙන තිබෙනවා.
ගෙවුණු කාලයේ පැවති දැඩි ආර්ථික අර්බුදය නිසා රටේ ජනතාවගෙන් බොහෝ දෙනකුට නොසිතූ විරූ දුක්ගැහැටවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. සමහරුන්ට රැකියා නැති වුණා. තවත් සමහරුන්ට ආදායම් මාර්ග නැති වුණා. තවත් සමහරුන්ට ව්‍යාපාර අවස්ථා අහිමි වුණා. තවත් සමහරුන්ට අයිතිය අහිමි වුණා. මේ බොහොමයක් දුක් කරදර උරුම වුණේ සාමාන්‍ය පන්තියේ ජනතාවටයි.
වර්තමානයේ අප උත්සාහ කරන්නේ මේ අහිමි වූ අවස්ථා ටිකෙන් ටික හෝ යළිත් ජනතාවට ලබා දීමටයි. ජනතාවට අහිමි වූ අයිතීන් යළි ලබාදීමේ වැඩපිළිවෙළ උරුමය නමින් පෙරේදා අප ආරම්භ කළා. උරුමය වැඩසටහන ඔස්සේ අප මූලික කරුණු දෙකක් ගැන අවධානය යොමු කරනවා. එකක් ඉඩම්. අනෙක නිවාස.
මෙතැනදී ඉඩම් අයිතිය මූලික ස්ථානයක් ගන්නවා. 1897 මුඩුබිම් පනත මඟින් ජනතාවගේ ඉඩම් අයිතිය බ්‍රිතාන්‍ය යටත්විජිත රජය ලබා ගත්තා. නිදහසින් පසුව බලයට ආ කිසිදු ආණ්ඩුවක් මේ පැහැර ගත් ඉඩම් අයිතිය යළිත් ජනතාවට ලබා දීමට කවරාකාරයේ හෝ පියවරක් ගත්තේ නෑ. අප ඒ ඉඩම් අයිතිය යළි ලබා දීමේ වැඩ කටයුතු ආරම්භ කළා. එමඟින් මිලියන දෙකකට අධික ජනතාවකට යළි ඉඩම් අයිතිය ලබා දෙනවා. ඉඩම් හිමියන් මිලියන දෙකක් අපේ සමාජයට එක් කරනවා. මෙය ඓතිහාසික මෙන්ම විප්ලවකාරී පියවරක්. ඒ වගේම සහලින් ස්වයංපෝෂණය ලබා දීම පිණිස දශක ගණනාවක් තිස්සේ ගොවි ජනතාව විඳි දුක් මහන්සිය වෙනුවෙන් කෙරෙන උපහාරයක්.
ඒ වගේම මේ රටේ ජනතාවගෙන් තුනෙන් එකකට පමණ හරිහමන් ආදායමක් නෑ. සුදුසු නිවසක් නෑ. මේ ජනතාවට ආදායම් මාර්ග සහ නිවාස උරුමය ලබා දීමට අප ඉදිරියේදී පියවර ගන්නවා. නාගරික අඩු ආදායම්ලාභී නිවාස 50000කට වැඩි ප්‍රමාණයක පූර්ණ අයිතිය ඒවායේ ජීවත් වන ජනතාවට ලබා දෙනවා.
සාර්ථක ආර්ථික සංවර්ධන මාවතකට පිවිසෙද්දී රටේ සියලු කොටස් වෙත විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. විශේෂයෙන්ම දිළිඳු හා අසරණ ජනතාව වෙත. බරපතළ ආර්ථික අර්බුද මැද්දේ වුණත් ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් අප පියවර ගත්තා.
මේ වසරේදී අස්වැසුම හරහා ලක්ෂ 24ක ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරනවා. මෙමඟින් රටේ පහළම තලයේ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අපට හැකි වෙනවා. මේ සා විශාල ප්‍රමාණයක මුදල් සහනාධාරයක් අපේ රටේ ඉතිහාසයේ කිසි කලෙක ලබා දී නෑ.
අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක් පවුලකට සහල් කිලෝ 20ක ප්‍රමාණයක් එළැඹෙන උත්සව සමයේ ලබා දෙනවා.
2022 අගෝස්තු මස වෙද්දී ජනාධිපති අරමුදල සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී තිබුණා. වෛද්‍යාධාර ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත් 9000කට අධික ප්‍රමාණයක් ගෙවීමකින් තොරව ගොඩ ගැසී තිබුණා. අගෝස්තු සිට දෙසැම්බර් දක්වා තවත් අයදුම්පත් 4000ක් පමණ ලැබුණා. අප ඒ සියල්ල සඳහා ගෙවීම් කළා. 2023 වසර පුරා රෝගීන් 4917 දෙනකු සඳහා රුපියල් මිලියන 915ක් ලබා දුන්නා. ඒ වගේම දැන් ගෙවීම් අපේක්ෂාවෙන් මාස ගණන් ළතැවෙන්නට අවශ්‍ය නෑ. රාජකාරි දින තුනත්, පහත් දක්වා කාලය තුළ ගෙවීම් සිදු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. මේ වසරේ සිට සියලු වෛද්‍යාධාර සියයට 50 සිට 100 දක්වා වැඩි කිරීමටත් පියවර ගන්නවා. මේ වෛද්‍යාධාරවලට අමතරව පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩපිළිවෙළක් ද ජනාධිපති අරමුදල හරහා ක්‍රියාවට නංවා තිබෙනවා.
අපි රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක් ලබා දුන්නා. විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩි කළා. 2016 සිට 2020 දක්වා විශ්‍රාම ලැබූ රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතාවක් තිබෙනවා. ඒ ගැටලුවට නොබෝ කාලයකින් විසඳුම් ලබා දීමට අප පියවර ගන්නවා.
රජයේ ආදායම් තහවුරු වෙද්දී ඊට අනුකූලව වැඩි වැඩියෙන් සහන ලබා දීමට අප පියවර ගන්නවා.
අප ලබමින් සිටින වර්ධනය සමාජයේ කතා බහ කරන මාතෘකාවලින්ම පිළිබිඹු වෙනවා. කලෙකට කලින් කතා කළේ විදුලිබල කප්පාදුව නිසා විඳින්නට වෙන කරදර ගැන. එදා ඉල්ලා සිටියේ කීය වුණත් කමක් නෑ අඛණ්ඩව විදුලි බලය ලබා දෙන්න කියලා. අද කතා කරන්නේ විදුලි බිල ගැන. කලෙකට කලින් කතා කළේ කළු කඩයේ පෙට්රල් ලීටරයක් රුපියල් 3000ක් වීම ගැන. තෙල් පෝලිම්වල දවස් තුන හතර රස්තියාදු වීම ගැන. අද කතා කරන්නේ ශ්‍රී ලංකාවේ අලුතෙන් ආයෝජනය කරන තෙල් සමාගම් ගැන. එදා කතා කළේ එළවළුවක් ගන්න විදිහක් නැති එක ගැන. අද කතා කරන්නේ කැරට් අලයක මිල ගැන. එදා කතා කළේ පොතක් පතක් මුද්‍රණය කරගන්න කඩදාසි නැති එක ගැන. අද කතා කරන්නේ වැට් බද්ද ගැන.
ඔව්. වැට් බද්ද බොහෝ අයට බරක්. අප ඒ ගැන නොදන්නවා නෙවෙයි. ඒ ප්‍රශ්නය අපට නොදැනෙනවා නෙවෙයි. අප ඒ ගැටලුවටත් පියවරෙන් පියවර විසඳුම් ලබා දෙමින් ඉන්නෙ. 2022 වසරේ ලියාපදිංචි සංඛ්‍යාව 437,547යි. 2023 අවසන් වෙද්දී එම සංඛ්‍යාව 1,000,029ක් දක්වා ඉහළ නැංවුණා. සියයට 130ක වැඩි වීමක්. බදු ජාලය පුළුල් වෙන්න වෙන්න තනි පුද්ගලයකුට හෝ තනි ආයතනයකට දරන්න වෙන බදු බර අඩු වෙනවා.
ඒ වගේම අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් ඉදිරියට යද්දී ආර්ථිකය තව තව ස්ථාවර වෙද්දී අප බදු බර අඩු කරනවා. ඒ සමඟම වැට් බදු ප්‍රතිශතය සංශෝධනය කරන්නත් අවකාශ සැලසෙනවා
අපි මේ සියල්ලම කරන්නේ ණය කන්දක බර දරමින්. පසුගිය කාලය පුරාම අප දැඩි ලෙස වෙහෙසුණේ මේ ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදය පිළිබඳව ප්‍රති සැලැස්මක් සකස් කර ගැනීම සඳහායි. පළමු පියවර ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම නිම කළා. දෙවන පියවර ලෙස ද්වීීපාර්ශවීය විදේශ ණය හිමියන් සමඟ ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාවකට එළැඹුණා. තුන්වැනි පියවර ලෙස පුද්ගලික ණය හිමියන් සමඟ දැනට සාකච්ඡා කරගෙන යනවා.
මේ වසරේ මුල් මාස හය තුළ මේ සංකීර්ණ ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම ක්‍රියාත්මක කරලීමට අප අපේක්ෂා කරනවා. මෙය අපේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමේ මූලික පදනම බවට පත්වේවි. ඒ වගේම ණය පීඩනයෙන් මිදීමේ මාර්ගයේ සංධිස්ථානයක් බවට පත්වේවි.
මේ වසරේදී සියයට 2ක, සියයට 3ක ධන ආර්ථික වර්ධනයක් අපට අත්පත් කරගන්න පුළුවන් බව ෂඵත්, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබෙනවා. 2025 වසරේ එය සියයට 5 දක්වා ඉහළ නංවා ගැනීමට අප ක්‍රියා කරනවා.
2022 වසරේ ගින්දරකට වැටී තිබුණු රට ඉන් මුදවා ගැනීමේ මෙහෙයුම් අප ආරම්භ කළා. 2022ට වඩා 2023 යම් යම් කාරණාවලින් යහපත් කරගත්තා. 2024 ඊටත් වඩා යහපත් වන බවට පුරෝකථනය කර තිබෙනවා. මේ මාර්ගයේම ඉදිරියට ගියොත් 2025 ඊටත් වඩා යහපත් වෙනවා.
නමුත් ඒ පමණින් අපට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද? අප තවමත් ද්වීපාර්ශවීය හා බාහිර වාණිජ පදනමෙන් ලබාගත් කිසිදු ණයක් ගෙවන්නේ නෑ. නමුත් ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු අප ණය ගෙවීම් ආරම්භ කළ යුතුයි. ණය ගෙවන්න රුපියල් වගේම ඩොලර් අප සතු විය යුතුයි.
2023 සැප්තැම්බරය වෙද්දී අපේ මුළු ණය බර ඩොලර් බිලියන 91ක් පමණ වෙනවා. මේ ණය ගෙවා අවසන් කරන්නට දීර්ඝ කාලයක් ගත වෙනවා. ණය ගෙවීමට මුදල් අප දේශීය වශයෙන් උපයා ගත යුතුයි. නැතිනම් වෙන්නේ නැවතත් අප ණය උගුලේ සිරවීම පමණයි.
ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා අපට වසරකට ගෙවිය යුතු ණය මුදල අඩු කර ගන්න හැකි වෙනවා. ඒ යටතේත් අප වසරකට ඩොලර් බිලියන 3ක පමණ ප්‍රමාණයක් ගෙවිය යුතුයි. මේ ආකාරයෙන් හැමදාමත් ණය ගෙව ගෙවා ඉන්නට බැහැ. දිගින් දිගටම ණය වෙන්නත් බැහැ.
ඒ වගේම අපේ ආදායම සහ වියදම අතර සමබරතාවක් ඇති කර ගැනීමට අප කඩිනම් පියවර ගත යුතුයි. අපේ අයවැය හිඟය බරපතළයි. මේ වසරේ රජයේ ආදායම රුපියල් බිලියන 4127ක්. වියදම රුපියල් බිලියන 6978ක්. මෙයින් රුපියල් බිලියන 2651ක් වියදම් වෙන්නේ පොලී ගෙවීම සඳහායි. අපේ ණය කන්දරාවේ බර එයින් පිළිබිඹු වෙනවා.
එක්දහස් නවසිය පනස් ගණන්වලින් පස්සෙ අපි කළේ ණය වෙන එක. හැමදේටම ණය ගන්න එක. පාලකයනුත් ණය ගන්න පුරුදු වුණා. ජනතාවත් මේ ණය ආර්ථිකයටම හැඩ ගැහුණා. හාල් නිකම් දෙනවාග විදුලි බිලට සහන දෙනවාග පඩි වැඩි කරනවාග රජයේ රැකියා ලක්ෂ ගණන් දෙනවාග ඔන්න ඔය වගේ මැතිවරණ පොරොන්දු දීලා බලයට පත් වුණාම ඒවා ඉෂ්ට කළේ ණය වෙලා.
මෙන්න මේ ණය මානසිකත්වයෙන් අප අත් මිදෙන්න ඕනෑ. ණය ආර්ථිකයෙන් ගැලවුණේ නැත්නම් මේ රටට අනාගතයක් නෑ. හෙට දවසක් නෑ.
එහෙනම් අප ණය ආර්ථිකයෙන් මිදී, අපටම කියා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනංවා ගැනීමට වෙහෙසිය යුතුයි.
අපනයන ආදායම් සහ විදේශ ආයෝජන කඩිනමින් ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ මෙන්න මේ කරුණු සාක්ෂාත් කර ගැනීමටයි.
ඒ සඳහා අවශ්‍ය පදනම සකසමින්, ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් දැන් අප ක්‍රියාත්මක කරමින් සිටිනවා. එහි අවසාන ප්‍රතිඵලය තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමයි. ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැංවීමයි. හරිත ආර්ථිකයක් සකස් කර ගැනීමයි. මේ ක්‍රියාවලියේ මූලික ගුණාංග වෙන්නේ දූෂණය තුරන් කිරීම සහ සමාජ නවීකරණයයි.
දූෂණය මෙරටට පිළිලයක් වී ඇති බව බොහෝ දෙනෙක් පිළිගන්නවා. ඒත් දූෂණය තුරන් කළ හැක්කේ ක්‍රමවත් හා විධිමත් නීතිරීති මාලාවකින් පමණක් බව හුඟ දෙනෙක් අවබෝධ කරගෙන නැහැ. හොරු අල්ලනවා, හොරු අල්ලනවා කියා කෑ ගැසුවාට හොරු අල්ලන්න බෑ. හොරු අල්ලන්න නම් ඒ සඳහා පදනම් කර ගත හැකි ශක්තිමත් නීති රීති පද්ධතියක් වගේම, විද්‍යාත්මක ක්‍රමවේදයක් ද අවශ්‍ය වෙනවා. ඒවා ක්‍රියාත්මක කළ හැකි පුහුණු නිලධාරීන් ද අවශ්‍ය වෙනවා.
බොහෝ අය හිතාගෙන ඉන්නේ දූෂිතයන් නීතිය ඉදිරියට පැමිණවීමෙන් ප්‍රශ්නය අවසන් කියායි. එය මිථ්‍යාවක්. දූෂණයක් සිදුවීම වැළැක්වීම සඳහා ද තදබල නීති රීති සකස් කළ යුතුයි. ඒ වගේම දූෂිතයන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. දූෂණ මැඬ පැවැත්වීමට මේ කරුණු දෙකම එකට සමාන්තරව ක්‍රියාත්මක කළ යුතුයි.
ඒ සඳහා අප දූෂණ විරෝධී පනත සම්මත කරගත්තා. දැන් ඒ පනත ක්‍රියාත්මකයි. එවැනි පනත් ක්‍රියාවට නැංවීමේදී අප කිසිවිට දේශපාලන හෝ වෙනත් බලපෑම් කරන්නේ නෑ. ඒ බව දැන් මුළු රට ඉදිරියේ සනාථ වී තිබෙනවා.
ආර්ථික හා සමාජ නවීකරණයේදී අප අවධානය යොමු කරන ප්‍රධාන කරුණු කිහිපයක් ගැනත් මම මේ ගරු සභාවට අවධාරණය කරන්නට කැමතියි.
සංචාරක ව්‍යාපාරය අපට පහසුවෙන් දියුණු කරගත හැකි ක්ෂේත්‍රයක්. ඒ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අවශ්‍ය මිනිස් සහ භෞතික සම්පත් දියුණු කරලීමටත්, රටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ නංවාලීමටත් අප පියවර ගනිමින් ඉන්නවා. වසරකට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය මිලියන 5ක් දක්වා ඉහළ නැංවීම අපේ අපේක්ෂාවයි.
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් අපේ රට පොහොසත්. ඒ අවස්ථාවෙන් අප උපරිම පල නෙළා ගත යුතුයි. ජාත්‍යන්තර තාක්ෂණය මෙරටට ලබාගෙන අපේ රටේ පුනර්ජනනීය බල ශක්තිය උත්පාදනය කළොත් බලශක්ති අපනයනය කරන රටක් ලෙස විදේශ විනිමය ඉපැයීමට අපට පුළුවන්.
හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා නිෂ්පාදනයෙන් ඉහළ තලයකට පත් වෙන්න අපට අවස්ථාව තිබෙනවා. මේ අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට දැනටමත් මූලික සැලසුම් සකස් කර හමාරයි.
දේශගුණික විපර්යාස සඳහා දැනටමත් අප දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. මේ පිළිබඳ පර්යේෂණ කාර්යයන් ඉටු කරලීම උදෙසා ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටු වීමේ මූලික පියවර දැනටමත් ගෙන අවසන්.
අතීතයේ සිට මේ දක්වාම අපි කෘෂිකර්මාන්තයේ යෙදෙනවා. වගා කරනවා. නමුත් තවමත් අප අනුගමනය කරන්නේ යල් පැන ගිය ක්‍රමවේදයන්ග දශක ගණනාවක් තිස්සේ කෘෂි නවීකරණ කාර්යයන් කිසිවක් අප සිදු කර නැහැ.
වියළි කලාපයේ කෘෂි ඉඩම්වල ඵලදායීතාව ඉදිරි කන්න තුන හතර තුළ දෙගුණ තෙගුණ කරලීමේ සැලසුම අප ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳ ප්‍රතිපත්ති තීරණ අප තීන්දු කර අවසන්. මේ මාසයේ සිට දිස්ත්‍රික්කයකින් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බැගින් තෝරා ගෙන මෙම වැඩපිළිවෙළ ආරම්භ කරනවා. මේ අයුරින් වියළි කලාපයේ කෘෂි භෝග ඵලදායීතාව වැඩි කර ගැනීමත් සමඟ තෙත් කලාපයේ ඉඩම් වෙනත් වාණිජ වගාවන්ට යොදා ගන්න අවස්ථාව ලැබෙනවා.
හැත්තෑ ගණන්වලදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ පවරා ගත් ඵලදායී ඉඩම් අක්කර ලක්ෂ ගණනාවක් මේ වෙද්දී නාස්තියට ගොස් තිබෙනවා. සමහර ඉඩම්වලින් නිසි ප්‍රයෝජන ගන්නේ නැහැ. සමහර ඉඩම් කිසිදු වැඩකට යොදාගෙන නෑ. ජනවසම, වැවිලි සංස්ථාව ආදී විවිධ රාජ්‍ය ආයතන සතු මේ ඉඩම් ඔහේ නාස්ති වෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ රාජ්‍ය ආයතන නඩත්තු කිරීම සඳහා මහජන මුදල් බිලියන ගණන් වැය වෙනවා. දෙපැත්තකින්ම රටට පාඩුවක්. මහා නාස්තියක්.
අප මේ ඉඩම්වලින් උපරිම ඵලදායීතාව ලබා ගැනීම උදෙසා ක්‍රියාත්මක වැඩපිළිවෙළක් සකසා තිබෙනවා. ස්වදේශීය ව්‍යවසායකයන්ට මේ ඉඩම් අපනයන වාණිජ වගාවන් උදෙසා දිගු කාලීන බදු පදනම මත ලබා දෙනවා. අවශ්‍ය නම් ඒ ව්‍යවසායකයන්ට විදේශ තාක්ෂණය හා ආයෝජන ලබා ගැනීමේ අවසරය ද අප ලබා දෙනවා. නිසි ලෙස භාවිතයට නොගෙන නාස්තියට යමින් තිබෙන ඉඩම් විදේශ විනිමය උල්පත් බවට පත් කර ගෙන ආර්ථික සංවර්ධනයට ශක්තිමත් ලෙස යොදා ගැනීම මෙහි අරමුණයි.
පසුගිය නිදහස් උළෙල සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස මෙහි පැමිණි තායිලන්ත අගමැතිතුමා එතුමාගේ රටේ කෘෂි විප්ලවය ගැන කරුණු සඳහන් කළා. සම්ප්‍රදායේ සිර නොවී නවීන තාක්ෂණය හරි හරියට ප්‍රයෝජන ගැනීම නිසා තායිලන්තය කෘෂිකර්මය ඔස්සේ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයනවා. මේවායින් අප පාඩම් ඉගෙන ගත යුතුයි.
අපේ අවධානය යොමු කෙරෙන තවත් ක්ෂේත්‍රයක් තමයි විදේශ ආයෝජන. අපේ ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කරලීමේදී විදේශ ආයෝජනවලින් ලැබෙන්නේ විශාල අනුබලයක්. නමුත් වර්තමානයේ විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවට එන්න මැලි වෙනවා. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම හිසරදයක්. කරදරයක්. අවසර ගැනීම් සඳහා නිල තහංචි ගණනාවක් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. සමහර පුද්ගලයන් සහ ආයතනවලට අල්ලස් දෙන්නත් සිද්ධ වෙලා තිබෙනවා.
ඒ සියල්ලට නැවතීමේ තිතක් තබමින් මහා පරිමාණයෙන් විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ වැඩ සැලැස්මක් දැන් අප සකස් කර අවසන්. සරල ක්‍රියාවලියක් ඔස්සේ ආයෝජන අවස්ථා සැලසීමට එමඟින් හැකි වෙනවා. දූෂණ වංචා කිරීමේ ඉඩකඩ එමඟින් ඇහිරෙනවා.
චීනය, වියට්නාමය වැනි රටවල ආයෝජන සඳහා සියලු අවසර සහ පහසුකම් දින දෙක තුනකට අඩු කාලයකදී එක වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම් සපයා තිබෙනවා. ඉඩම් පමණක් නොව, විදුලි බල සහ ජල පහසුකම් ද, ප්‍රවේශ මාර්ග ද ඉතා කඩිනමින් ලබා දෙනවා. මේ බොහෝ කාර්යයන් පරිගණක හරහා සිදුවන නිසා නීති විරෝධී ක්‍රියාවන් සිදු කිරීමේ හැකියාවක් නෑ.
මේ සියලු කරුණු සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් පදනම් කරගෙන වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන ආර්ථික කොමිසමක් පිහිටු වීමට මූලික කටයුතු දැන් සකස් කර අවසන්. පුළුල් පරාසයක ක්‍රියාත්මක වන ආයෝජන නීති සහ වැඩසටහන් මෙම කොමිසම හරහා ක්‍රියාවට නංවනවා.
අවධානය යොමු කළ යුතු තවත් ක්ෂේත්‍ර දෙකක් තමයි, අධ්‍යාපන හා සෞඛ්‍ය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල මූලික නීති සැකසුණේ 2 වන ලෝක යුද්ධ සමයේ. අප ඒ කාලයේ යටත්විජිතයක්. අප එවක බොහෝ දිළිඳු රාජ්‍යයක්. එවැනි සමාජයක් සඳහා සකස් කළ අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා පිළිවෙතක් පදනම් කරගෙන නූතන ලෝකයට ප්‍රවේශ වෙන්න බෑ. 21 වන සියවසේ අභියෝගයන් ජය ගන්නත් බෑ.
ඒ නිසා ජාත්‍යන්තර අත්දැකීම් හා ප්‍රවණතා පදනම් කරගෙන නව පිළිවෙත් හා නව නීති රීති මේ ක්ෂේත්‍රයන් දෙක සඳහාම හඳුන්වා දිය යුතු වෙනවා. නවීන පරිසරයට ඔබින ආකාරයට මානව සම්පත් පෝෂණය කරගත යුතු වෙනවා. සීග්‍ර ආර්ථික වර්ධනයක් මෙන්ම දිළිඳු සහ අවදානම් කොටස් ආරක්ෂා කර ගත හැකි පරිදි මෙම ක්ෂේත්‍රයන්හි ගැඹුරු නවීකරණ වැඩ පිළිවෙතක් ක්‍රියාවට නැංවීමට අප කටයුතු කරනවා.
විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගණනාවක් වහාම ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ලෝකයේ හෙට දවස රඳා පවතින්නේ නව තාක්ෂණ දැනුම මතයි. තොරතුරු තාක්ෂණ, කෘතිම බුද්ධිය ආදී ක්ෂේත්‍රයන්හි පරිපූර්ණ වශයෙන් සන්නද්ධ වූ තරුණ පරපුරක් අප නිර්මාණය කරගත යුතුයි. මෙන්න මේ නිසයි උසස් පෙළ සමත් වෙන හැම දරුවෙකුටම තෘතීය අධ්‍යාපනය ලබා දිය හැකි පිළිවෙතක් අප සකසමින් සිටින්නේ.
ඒ අනුව විද්‍යා හා තාක්ෂණ විද්‍යාල ගණනාවක් අලුතින් පිහිටුවීමට අප ක්‍රියා කරනවා. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් නොවන හැම දරුවකුටම වෘත්තීය අධ්‍යාපනය ලබා ගැනීමේ පිළිවෙතකුත් අප සකසනවා. ඒ සඳහා වෘත්තීය විද්‍යාල බිහි කරනවා.
මේ අයුරින් ක්‍රියා කරමින් අලුත් දැනුමෙන් හා අලුත් තාක්ෂණයෙන් සන්නද්ධ නව පරපුරක් බිහි කරන්න අවශ්‍ය පසුබිම අප සකස් කරනවා.
ඒ වගේම දූපත් රාජ්‍යයක් හැටියට අපේ රටේ ආරක්ෂාව තහවුරු වන ආකාරයේ වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඊට සරිලන පරිදි රටේ සියලු ආරක්ෂණ ජාලයන් නවීකරණය කරනවා. බුද්ධි අංශ, ආරක්ෂක උපකරණ, පුහුණු වීමේ ක්‍රමල භට පිරිස්, තාක්ෂණික උපාංගල ක්‍රමෝපායික කටයුතු ආදී සියලු අංශ රටට මතුවිය හැකි විවිධාකාර අභියෝගයන්ට ශක්තිමත්ව මුහුණ දිය හැකි ආකාරයට සකස් කරනවා.
අපේ විදේශ සම්බන්ධතා පිළිබඳව ද යළි සලකා බැලීම යුගයේ අවශ්‍යතාවක්. භූ දේශපාලනික ප්‍රවණතා මෙන්ම, ආර්ථික විභවතාවන්ගෙන් නිසි පල ලබා ගත හැකි ආකාරයට විදේශ සම්බන්ධතා ජාලය යළි නිර්මාණය කර ගත යුතුයි. ඒ නිසා නොබැඳි ප්‍රතිපත්තිය හා සියලු රාජ්‍යයන් සමඟ මිත්‍රශීලීත්වය පදනම් කරගෙන විදේශ සම්බන්ධතාවන් සකස් කර ගත යුතුයි. ඒ වගේම රටේ ආර්ථික විභවය ශක්තිමත් කරන ආකාරයේ නව ආරක විදේශ ප්‍රතිපත්ති අප අනුගත කර ගත යුතුයි. මේ අනුව අපේ විදේශ ප්‍රතිපත්තිමය දිශානතිය යුගයට ගැළපෙන පරිදි වෙනස් කරනවා.
අපේ නිෂ්පාදන විදේශ වෙළෙඳපොළ සඳහා ප්‍රවේශ කරලීමට අවකාශ සැලසෙන නව ආර්ථික සබඳතා ජාලයක් නිර්මාණය කර ගැනීමට ද අප ක්‍රියා කරනවා. ඒ අරමුණින් රටවල් ගණනාවක් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගැනීම අප ආරම්භ කළා. පසුගියදා අප තායිලන්තය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹුණා. ඉන්දියාව සමඟ අත්සන් කර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පරිපූර්ණ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක් දක්වා පුළුල් කරනවා. සිංගප්පූරුව සමඟ ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පූර්ණ ලෙස ක්‍රියාත්මක කරනවාග ඉදිරියේදී චිනයල ඉන්දුනීසියාවල බංග්ලාදේශය සමඟත් නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්වයට (ආර්-සෙප්) ඇතුළු වෙනවා. යුරෝපීය සංගමයේ වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය හා සම්බන්ධ වෙනවා.
විවිධ ක්ෂේත්‍ර මේ අයුරින් වෙනස් වීම් හා නවීකරණයට ලක් කිරීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ රටේ ජන ජීවිතය ඉහළ තලයකට පත් වීමයි. රටේ හැම ජන කොටසකටම ප්‍රතිලාභ බෙදී යන සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතරම, සංහිඳියාව සහ සමාජ සාධාරණත්වය තහවුරු කරලීමයි.
අපි තවත් කරුණක් ගැන විශේෂ අවධානය යොමු කරනවා. අද අපේ ආර්ථිකය කොළඹ නගරය හා බස්නාහිර පළාත වටා කේන්ද්‍රගතවයි තිබෙන්නේ. රටේ ආර්ථිකයෙන් සියයට 46ක් හසුරුවන්නේ බස්නාහිර පළාත තුළ.
මේ තත්ත්වය වෙනස් කරලීම අත්‍යවශ්‍ය කරුණක්. අපි බස්නාහිර පළාතෙන් පිටතට ආර්ථිකය ව්‍යාප්ත කරනවා. යාපනය, ත්‍රිකුණාමලය, බිංගිරිය, හම්බන්තොට, මහනුවර ආදී නගර කරා අපේ ආර්ථික ශක්තිය පුළුල් කිරීමේ වැඩ සැලසුමක් අප ක්‍රියාත්මක කරනවාග දැනටමත් ත්‍රිකුණාමලය ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය කිරීමේ වැඩපිළිවෙළ අප ඉන්දියාව සමඟ ආරම්භ කර තිබෙනවා.
ඒ වගේම පළාත් නවයේම ආර්ථිකය ශක්තිමත් කරලීමට පියවර ගන්නවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත් සභා බලතල පිළිබඳ සඳහන් තුන්වැනි ලැයිස්තුවේ අදාළ බලතල කීපයක් අප නිසි පරිදි පළාත් සභා වෙත ලබා දෙනවා. වෘත්තීය අධ්‍යාපනය, කෘෂිකර්මය, සංචාරක වැනි කේෂ්ත්‍ර උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්. එමඟින් ඒ ඒ පළාත් තුළ ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීමට අපට හැකි වෙනවා. එමඟින් පළාත් අතර ආර්ථික තරගයක් ඇති කිරීමෙන් පළාත් නවයම එකවර ඉදිරියට ගැනීමට අවකාශ සලසනවා.
අපේ රටේ භූගෝලීය පිහිටීමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සැලසුම් සකස් කරමින් පවතිනවා. වරාය තුනක් අපි අලුතෙන් සංවර්ධනය කරනවා. ඉන්දීය සාගරයේ සේවා මධ්‍යස්ථානයක් හා ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත් කරවීමට වෙහෙසෙනවා.
මේ සඳහා උත්තේජනයක් ලබා දීමේ අරමුණෙන් වරාය නගරය කොළඹ සුවිශේෂී මූල්‍ය කලාපයක් ලෙස නම් කරනවා. එම කලාපය තුළ එතෙර මූල්‍ය ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය නීති රීති හා අණ පනත් සම්මත කරනවා.
අපේ රටේ සැබෑ ජාතික සම්පත තරුණ පරපුර බව මම අවස්ථා කීපයකදීම පෙන්වා දී තිබෙනවා. ඒ ජාතික සම්පත ආරක්ෂා කර ගැනීමයි අපේ ඒකායන අරමුණ විය යුත්තේ. රට ආරක්ෂා වෙන්නේ තරුණ පරපුරේ ආරක්ෂාව තහවුරු වුණොත් විතරයි.
පසුගිය කාලයේ තරුණ පරපුර රට හැර ගියා. තවමත් ඒ ප්‍රවණතාව අප දකිනවා. ඒ නිසා අපේ තරුණ පරපුරට යහපත් අනාගතයක් උදා කර දීම අපේ වගකීම සහ යුතුකම. ඒ වගකීම සහ යුතුකම ඉටු කරන්න ඔබත්, මමත් ඇතුළු සියලු දෙනාම බැඳී සිටිනවා.
මතක තියාගන්න.මේ ආර්ථික අර්බුදයට දේශපාලන විසඳුම් නැහැග ආර්ථික අර්බුදයට ඇත්තේ ආර්ථික විසඳුම්. විද්‍යාත්මක විසඳුම්. නමුත් තවමත් අපේ සමහර දේශපාලන කණ්ඩායම් යල් පැන ගිය දේශපාලන විසඳුම් ඉදිරිපත් කරමින් ජනප්‍රිය වෙන්න බලනවා.
මෙතැනින් ඉදිරියට යෑමට නම් නවීන, ශක්තිමත් ආර්ථිකයක් කරා අප පරිවර්තනය විය යුතුයි. මම ඒ සඳහා ළඟදීම ආර්ථික පරිවර්තන පනත මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊට අදාළ ආයතන අලුතෙන් ස්ථාපිත කරනවා.
අපට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ දේශපාලන අභිලාෂයන් හිස මත තියාගෙන, මැතිවරණයකදී ලබන ඡන්දය ඉලක්ක කරගෙන, ඉටු කළ නොහැකි පොරොන්දු දීමෙන් හෝ ප්‍රලාප දෙඩීමෙන් නොවෙයි. අපේ අනාගත තරුණ පරපුර වෙනුවෙන්, රට ගොඩනැංවීමේ වැඩපිළිවෙළ තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමෙන්.
මෙම පරිවර්තනය කෙටි කලෙකින් කළ හැකි දෙයක් නොවෙයි. එය දීර්ඝකාලීන වෙහෙසකර ව්‍යායාමයක්. මේ මාර්ගයේම ගියොත් 2048 වෙද්දී සංවර්ධිත රාජ්‍යයක් විය හැකි බව මම පෙන්වා දුන්නේ ඒ නිසයි. කිසිදු අර්බුදයකට කෙටි කාලීන විසඳුම් නෑ. කිසිදු ඉලක්කයක් දවසින් දෙකෙන් ජය ගන්නට බැහැ.
බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීම සඳහා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් වෙහෙසුණාග පෙරුම් පිරුවා. බුද්ධත්වය ලැබූ ආත්මයේදීත් උන්වහන්සේට දුෂ්කරක්‍රියා කරන්නට සිදුවුණා. ඒ බව මෙනෙහි කරමින් අප සීරුවෙන්, ඉවසිල්ලෙන් සහ සැලසුම් සහගතව මේ ගමන ඉදිරියට යා යුතුයි.
මගේ අදහස් දැක්වීම ආරම්භයේ මම බුදුන් වහන්සේගේ දේශනාවක් ගැන සඳහන් කළා. බුදුන් වහන්සේගේ දේශනාවෙන් වසර ගණනාවකට පස්සෙ, ක්‍රිස්තු පූර්ව පන්සිය ගණන්වලදී චීනයේ ජීවත් වූ දාර්ශනික කොන්ෆියුසියස්තුමා මෙන්න මෙහෙම කියා තිබෙනවා.
“ලෝකය ගොඩනැංවීමට නම්, ඊට පළමුව දේශය ගොඩනැංවිය යුතුයි. දේශය ගොඩ නැංවීමට නම් ඊට පළමුව පවුල ගොඩනැංවිය යුතුයි. පවුල ගොඩනැංවීමට නම් ඊට පළමුව අපේ පුද්ගලික ජීවිත ගොඩ නැංවිය යුතුයි. පුද්ගලික ජීවිත ගොඩනැංවීමට නම් ඊට පළමුව අපේ හදවත් නිවැරදි කරගත යුතුයි.” ඒ නිසා මම මේ ගරු සභාවේ සිටින සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපි පළමුව අපේ හදවත් නිවැරදි කරගනිමු කියායි. අනාගත තරුණ පරපුරට රැකියා අවස්ථා නිර්මාණය කර දෙන්නට නම්, ඔවුන්ට යහපත් දේශයක් තනා දෙන්නට නම් අප සියලු දෙනාම නිවැරදි මඟට පිවිසිය යුතුයි. අපේ හදවත් නිවැරදි කරගත යුතුයි.
අපේ ගමන තවත් වේගවත් කරගන්න පුළුවන් වෙන්නේ අප සියලු දෙනා එකට එක් වී සමඟියෙන් මේ අභියෝගයට මුහුණ දුන්නොත් විතරයි. තම තමන්ට ලැබෙන පදවි තානාන්තර ගැන සිහින මවන සමහරු රටට වඩා ඒ තනතුරුවලට ආදරේ කරනවා. ඒ තනතුරු වෙනුවෙන් රටට අසත්‍ය ප්‍රකාශ කරනවා. රටත් ජනතාවත් රවට්ටනවා. යථාර්ථයට පිටුපා සිහින මාවතේ ගමන් කළොත් යළිත් අපි වැටෙන්නේ මහා අනතුරකට.
මම නැවතත් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ රට ගොඩනැංවීමේ සිහිනය සැබෑ කරගන්න එකට එකතු වෙන්න කියලයි. අපි එකට එකතුව සාකච්ඡා කරමු. අප මේ ක්‍රියාත්මක කරන පිළිවෙතට වඩා යහපත් විකල්ප ක්‍රමවේද ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්න. අපි ඒවා ගැන ගැඹුරින් සලකා බලමු. සාකච්ඡා කරමු. අපි එකට එක්වී සාකච්ඡා කර රටට වඩාත්ම යහපත් ක්‍රමවේදය ක්‍රියාත්මක කරමු. එවැනි සාකච්ඡාවන්ට අප නිරතුරුවම සූදානම්.
ඔබ එවැනි සාකච්ඡා මාලාවකට එකඟ නම්, ඒ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනයන්හි ඉහළම පෙළේ නිලධාරීන්ට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන්නත් මම සූදානම්.
දැන් මම පෙරදිගින් සහ අපරදිගින් උදාහරණ දෙකක් ගෙනහැර දක්වන්නට කැමතියි.
19 වැනි සියවසේ ඇමරිකාවේ විසූ ලේඛිකාවක සහ සමාජ ක්‍රියාකාරිනියක වන හෙලන් කෙලර් මෙසේ ප්‍රකාශ කළා.
“තනිවම අපට කළ හැක්කේ ටිකයි. එක් වූවොත් අපට බොහෝ දේ කළ හැකියි.”
19 වැනි සියවසේ දකුණු ඉන්දියාවේ විසූ දෙමළ මහා කවි භාරතී මෙන්න මෙහෙම කවියක් ලියා තිබෙනවා. මේ කවිය සිංහලට පරිවර්තනය කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න.
“තිස් කෝටියක් මුහුණු
අපේ භාරත මාතාව සතු වෙතත්
ඇයට ඇත්තේ එකම ආත්මයකි.
භාෂා දහ අටකින් ඇය කතාබහ කළත්
ඇයට ඇත්තේ එකම සිතුවිල්ලකි.”
මම ඔබ සැමගෙන් ප්‍රශ්න කරන්නේ අපට එහෙම හිතන්න බැරි ඇයි? විවිධ අදහස් තිබුණත්, විවිධ ජන වර්ගවලට අයත් වුණත්, විවිධ භාෂාවන් කතා කළත්, විවිධ පළාත්වල ජීවත් වුණත්, විවිධ ඇදහිලි, විවිධ විශ්වාස තිබුණත්, විවිධ දේශපාලන පක්ෂවලට අයත් වුණත් අපට රට වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් එක පොදු සිතිවිල්ලකට එක් වෙන්න බැරි ඇයි? අපේ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් පොදු එකඟතාවකට එන්න බැරි ඇයි? එකට එක් වී මහා කාර්යයක් කරන්න බැරි ඇයි?
මේ සභාව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතුරින් දශක ගණනාවක් තිස්සේ මාව තදින්ම විවේචනය කළ අය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන්නේ.
නමුත් රටේ යහපත වෙනුවෙන්, තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් පොදුජන පෙරමුණේ බහුතරය පැරණි එදිරිවාදිකම් අමතක කළා. පොදු මතයකට එකඟ වුණා.
සමගි ජන බලවේගයේ ඉන්නේ මා සමඟ බොහෝ කාලයක් එකට දේශපාලනය කළ අය. මම දේශපාලනයට හඳුන්වා දුන් අයත් එහි ඉන්නවා. රට වෙනුවෙන් පොදු ගමනකට එකතු වෙන්න පොදුජන පෙරමුණට පුළුවන් වුණා නම් සමගි ජන බලවේගයට එහෙම කරන්න බැරි ඇයි.
ජනතා විමුක්ති පෙරමුණ යහපාලන ආණ්ඩුව සමයේ අපත් සමඟ සමීපව වැඩ කටයුතු කළා.
දූෂණ විරෝධී කාර්යාලය මෙහෙයවීම සඳහා ආනන්ද විජේපාල මහතාගේ නම යෝජනා කළෙත් දිසානායක මහතාමයි. ඒ කාර්යාලයේ ලිපිගොනු පිටපත් තවමත් අනුර දිසානායක මහතා ළඟ තිබෙනවා. ඉතින් රට වෙනුවෙන් පොදු ගමනකට එකතු වෙන්න ජනතා විමුක්ති පෙරමුණට බැරි ඇයි.
අපි මැතිවරණවලදී වෙන් වී තරග කරමු. ඒත් රට ගොඩනැංවීමේදී එකට එක් වී කටයුතු කරමු.
ඒ නිසා රට වෙනුවෙන් පොදු සිතිවිල්ලකට - පොදු එකඟතාවකට එක්වෙන්න කියා නැවත නැවතත් මම ඔබ සැමට ආරාධනා කරනවා. වෙනස අපෙන්ම පටන් ගනිමු. අපේ හදවත් නිවැරදි කර ගනිමු. අපි අපටම පහනක් වෙමු.
අපි අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරමු. තමන්ගේ පුද්ගලික සිහිනය වෙනුවෙන් නොව රටේ පොදු සිහිනය සැබෑ කරලීම වෙනුවෙන් කැප වෙමු. තරුණ පරපුරේ, ඊළඟ පරම්පරාවේ ජීවිත සුගන්ධවත් කරන්නට කැපවෙමු. අපට පැවරී ඇති මෙම වගකීම ඉටු කරමු. විවිධ පුද්ගලික ප්‍රශ්න සහ අභිමතාර්ථ නිසා මේ වගකීම පැහැර හැරියොත් ඉතිහාසය විසින් අප ද්‍රෝහීන් හැටියට නම් කරාවි. ඒ නිසා අපි අලුත් ගමනක් යමු. අලුත් හෙටක්, අලුත් රටක් නිර්මාණය කරමු.
එන්න. එකට එක්වී අපි හදමු අලුත් රටක්...!

කෙහෙළිය අද පාර්ලිමේන්තුව වර්ජනය කරයි
ජනාධිපතිවරයා විසින් අද (07) දින පාර්ලිමේන්තු සභා වාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී නොවීමට කෙහෙළිය රඹුක්වැල්ල විසින් තීන්දුකර ඇති බව වාර්තා වෙයි.
09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (07) උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල ට අවසර ලබාදුන්නද ඔහු විසින් එලෙස සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති බවය.
කෙසේවුවද අනිකුත් දිනවල පාර්ලිමේන්තු කටයුතු සදහා සහභාගී නොවන බව ඔහු පවසා නොමැති බවද වාර්තා වේ.
රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වීමේ අවස්ථාවට සහභාගී කරවන ලෙස කථානායකවරයා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රක්ෂිත බන්ධනාගාරගත වූ අවස්ථාවල ඔවුන් පාර්ලිමේන්තුවේ කටයුතු වලට සහභාගී කරවීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීම සාමාන්‍ය ක්‍රමවේදයකි.
ප්‍රමිතියෙන් තොර ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටී.
කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (06) පරිසර අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්විය.

අවලෝකිතේෂ්වර බෝධි සත්ත්වයා ට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අවලෝකේතීෂ්වර බෝධිසත්වයන් ලෙස පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කළේය.
මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බැවින් ඇප නියම කරන බව අධිකරණය නියෝග කළේය.
ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරුණි.
සැකකරු සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එහි දැක්වුණේ මෙම තැනැත්තා මානසික රෝගි තත්ත්වයකින් පෙළෙන බැවින් ඔහුට අඛන්ඩව ප්‍රතිකාර ලබාදිය යුතු බවයි.

අනුර ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි
ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු දූත පිරිස ඊයේ (05) රාත්‍රියේ ඉන්දීය විදේශ ලේකම් විනායි මොහාන් ක්වත්‍රා (Vinay Mohan Kwatra) හමුවී තිබේ.
එහිදී දෙරටේ ආර්ථික සහ දේශපාලන සබඳතා පවත්වා ගැනීම සම්බන්ධයෙන් මෙන්ම වෙනස් වී ඇති භූ දේශපාලනික තත්වයන් සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
සාකච්ඡාවෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු පිරිස ඉන්දීය විදේශ ලේකම් සමග රාත්‍රි භෝජන සංග්‍රහයකටද එක්වී ඇත.
එම හමුව නව දිල්ලි නගරයේ Taj Mansingh හෝටලයේදී පැවැත්විනි.
අද (06) දිනයේදී එම දූත පිරිස ඉන්දියාවේ Observer Research Foundation සහ Unique Identification Authority of India (UIDAI) ආයතන නැරඹීමට සහ එම ආයතනයන්හි ක්‍රියාකාරිත්වයන් පිළිබඳ විශේෂ සාකච්ඡාවල නිරත වීමට නියමිතය.

බස්නාහිර ආණ්ඩුකාරවරයාට ලංකා ගුරු සංගමයෙන් දෝස් මුරයක්
බස්නාහිර පළාතේ අධ්‍යාපන පරිපාලන සේවයේ විශ්‍රාම යාමෙන් පසු බොහෝ දෙනෙකු හට සේවා දිගු ලබා දී හෝ කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් රඳවාගෙන සිටින බවට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත චෝදනා එල්ල වී තිබේ.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්ගේ අත්සනින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ අධ්‍යාපන පරිපාලන සේවයේ 1 පන්තියේ නිලධාරීන් 164 ක් අතරික්තව සිටින වාතාවරණයක් තුළ ආණ්ඩුකාරවරයා මෙසේ කටයුතු කර ඇති බවයි.
“බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙසේ සේවා දිගු ලබා දී හෝ විශ්‍රාම යාමෙන් පසු කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් රඳවාගෙන සිටින්නේ බස්නාහිර පළාත තුළ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 පන්තියේ නිලධාරීන් 164 ක් අතරික්තව සිටින වාතාවරණයක් තුළය. මේ වන විට බස්නාහිර පළාත් අධ්‍යාපන පද්ධතිය තුළ අධ්‍යාපන පරිපාලන සේවයේ 1 පන්තියේ අනුමත නිලධාරීන් සංඛ්‍යාව 244 ක් වන අතර, දැනට තනතුරුවල සිටින නිලධාරීන් ප්‍රමාණය 408 කි. ඒ අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් 164 ක් අතරික්තව සිටියි.”
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් අත්තනෝමතිකව දේශපාලන හා වෙනත් උවමනාවන් මත මේ ආකාරයට විශ්‍රාමික නිලධාරීන් බස්නාහිර පළාත් අධ්‍යාපන පද්ධතිය තුළ දිගින් දිගටම රඳවා ගන්නා බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
එමෙන්ම ඒ හරහා බස්නාහිර පළාත් අධ්‍යාපන පද්ධතිය තවදුරටත් පිරිහීමට ලක්වන බව මෙන්ම සක්‍රිය සේවයේ සිටින නිලධාරීන්ට එම තනතුරු ලැබීමට තිබෙන අවස්ථාව ද අහිමි වන බවයි ගුරු වෘත්තිය සමිතිය පෙන්වා දෙන්නේ.
මේ තත්වය පිළිබඳව අවධානය යොමු කර දැනට බස්නාහිර පළාත් අධ්‍යාපන පද්ධතිය තුළ සේවා දිගු ලබා සිටින හෝ කොන්ත්‍රාත් පදනම මත සේවයේ යොදවා සිටින නිලධාරීන් ඉවත් කර එම තනතුරු සඳහා සක්‍රිය සේවයේ නිලධාරීන් පත් කරන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා කලාපීය සහයෝගීතාව අත්‍යවශ්‍යයි !
දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම සඳහා කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් ගනු ලබන සහයෝගිතා ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය හිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ඒ වෙනුවෙන් ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත්, ආසියානු කලාපයේ මෙන්ම අප්‍රිකානු කලාපයේද දේශගුණික අභියෝගවලට මුහුණ දීම සඳහා එමඟින් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට හැකි වනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
එසේම පසුගියදා ඩුබායි හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ (COP 28) දී ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ “නිවර්තන කලාපීය මුලපිරීම” යෝජනාව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කර සිටියේ කොළඹ ගාලු මුවදොර හෝටලයේ අද (06) පැවති 2024 දකුණු ආසියානු හයිඩ්‍රොමෙට් සංසදයේ (South Asia Hydromet forum 2024) සමාරම්භක අවස්ථාව අමතමිනි.
ලෝක බැංකුව සහ RIMES අතර සහයෝගීතාවක් වන හයිඩ්‍රොමෙට් සංසදය කලාපීය සහයෝගීතාව සහ ධාරිතාව වැඩි දියුණු කිරීම හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “කලාපීය සහයෝගීතා විවර කිරීම" යන තේමාව යටතේ අද සිට පෙබරවාරි 08 වැනිදා දක්වා කොළඹදී පැවැත්වේ.
ආසියානු කලාපය කාබන් අවශෝෂක ප්‍රදේශයක් බවට පත් කිරීම මඟින් තිරසාර සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට පෞද්ගලික අංශය දිරිමත් කරනු ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පෙන්වා දුන්නේය.
ඒ සඳහා කලාපය පුරා පවතින අවස්ථාවන් ගවේෂණය කිරීම සඳහා ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) ක්‍රියාකාරීත්වය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අවධාරණය කළේය. ශ්‍රී ලංකාව සහ අදාළ රටවල් නිවර්තන කලාපයේ දේශගුණික විපර්යාස සම්බන්ධ මුලපිරීම පිළිබඳ වාර්තා කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් පිහිටුවන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
COVID-19 වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෑතකදී මුහුණ දුන් අභියෝග මධ්‍යයේ වුවද කාලගුණ විද්‍යා සංවිධාන වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. විශේෂයෙන් දකුණු ආසියාව, කාලගුණික විපර්යාසයන්හි අහිතකර බලපෑම්වලට දැඩිව මුහුණ දෙන බැවින් දේශගුණික විපර්යාස පිළිබඳ අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
දේශගුණික විපර්යාස හේතුවෙන් අඩු ආදායම්ලාභී රටවල දළ දේශීය නිෂ්පාදිතය 2% දක්වා අඩු විය හැකි බැවින් එම ආර්ථික ප්‍රතිවිපාක කෙරෙහි අවධානය යොමු කරමින් ඒ සඳහා පියවර ගැනීමේ හදිසි අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අනපේක්ෂිත වර්ෂාපතනය පිළිබඳ ශ්‍රී ලංකාවේ මෑත කාලීන අත්දැකීම් විස්තර කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ හිමාලයේ අයිස් කඳු දියවීමේ අවදානම ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ සියලුම රටවලට බලපෑම් ඇති කරන බවයි.
ඉතිරිව පවතින අභියෝගවලට මුහුණ දීම සඳහා ‘පාඩු හා හානි අරමුදල’ (The Loss and Damage Fund) පිහිටුවීම වැනි විභව අරමුදල් යාන්ත්‍රණයන් මෙන්ම අරමුදල් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් පවතින අභියෝගකාරී තත්ත්වය පිළිබඳවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදහස් දැක්විය.
නිවර්තන කලාපය තුළ දේශගුණික විපර්යාස අවම කිරීමේ උත්සාහයන් සඳහා ආයෝජනය කිරීමට කැමති රටවල් සඳහා ණය සහන ඇතුළු විකල්ප මාර්ග සොයාබැලිය යුතු බවත්, නිවර්තන කලාපයේ මේ සඳහා පවතින අවස්ථාවන් අවබෝධ කර ගැනීම සඳහා මෙම පියවර අත්‍යවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
හයිඩ්‍රොමෙට් සංසදය දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා වන නව්‍ය විසඳුම් සහ මුලපිරීම්වලට හේතු වනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය වීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා අදහස්වලින් සහ දැනුමින් දායක වන ලෙසද ඊට එක්ව සිටි සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.
දකුණු ආසියානු හයිඩ්‍රොමෙට් සංසදයේ සම සභාපති සහ භූතානයේ ජාතික ජල විද්‍යා හා කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කර්මා දප්චු, ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ දිනා උමාලි ඩෙයිනින්ගර්, ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානිය සඳහා මහකොමසාරිස් ඇන්ඩ්‍රෘ පැට්‍රික්, ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය ඒකාබද්ධතා අධ්‍යක්ෂ සිසිල් ෆෘමන් සහ ලෝක කාලගුණික සංවිධානයේ මහලේකම් සෙලෙස්ටෙ සවුලෝ යන මහත්ම මහත්මීන් ඇතුළු දෙස් විදෙස් නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

මෙරට ආර්ථිකය යළි නොවැටෙන තැනකට පත් කරනවා - අලි සබ්රි
රටවල් අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනිමින් මෙරට ආර්ථිකය යළි නොවැටෙන තැනකට පත් කරලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කර ඉදිරියට ගෙන යා යුතු බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසීය.
මෙම වසර අවසානය වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය හා චීනය සමඟ ද නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මෙසේ ද පැවසීය,
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ස්ථාවර ආර්ථිකයක් ඇති කිරීමේ දැක්මට අනුව තරගකාරී නව වෙළෙඳපොළවල් සමඟ ගිවිසුම් ඇති කරගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එය සෘජුව දායක කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
එහි ඓතිහාසික පියවරක් ලෙස තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට පසුගියදා ඇතුළත් වුණා. ශ්‍රී ලංකාව මේ වනවිට කෝටි විසි දෙකක වෙළෙඳපොළක් වෙනුවෙන් කටයුතු කර තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.
නමුත් ලෝකයේ විශාල වෙළෙඳපළවල් තිබෙනවා. දියුණු වූ ආර්ථිකයන් ඇති රටවල් එම විශාල වෙළඳපළවල් සමඟ ගනුදෙනු කරමින් තම ආර්ථිකය ශක්තිමත් කරගෙන තිබෙනවා. වියට්නාමය, බංග්ලාදේශය වැනි රටවල් අද වන විට ශක්තිමත් ආර්ථිකයක හිමිකම් කියන්නේ ලෝකයේ විශාල වෙළෙඳපළවල් සමඟ නිදහස් ආර්ථික ගිවිසුම් ඇතිකර ගනිමිනුයි. එමඟින් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකියි.
1991 වසරේ දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන තුනක් පමණ වුණා. බංග්ලාදේශය සහ වියට්නාමයත් එම කාල වකවානුවේදී ඊට ආසන්න අගයක පැවතුණා. නමුත් 2022 වසර වන විට වියට්නාමයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 373ක් බවට පත් වී තිබෙනවා. මේ සියල්ලටම හේතුව ඔවුන් අපනයන ආර්ථිකය ශක්තිමත් කර ගැනීමයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආසියාවේ රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගනිමින් ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමේ දිගුකාලීන වැඩපිළිවෙළක නිරතව සිටිනවා. එය සාර්ථක කර ගැනීමට හැකි වුණහොත් ශ්‍රී ලංකාවට නොවැටෙන ආර්ථිකයක් ඇතිකර ගත හැකියි.
පසුගියදා තායිලන්ත අගමැතිවරයා සමඟ පැමිණි දූත පිරිස ශ්‍රී ලංකාව සමඟ නිදහස් වෙළෙද ගිවිසුමට පමණක් නොව ආයෝජන අවස්ථාවන් රැසකට ද අත්සන් තබා තිබෙනවා. මෙහිදී එක් පැත්තකින් අපනයනය ශක්තිමත් වන අතරම ලංකාවේ ආයෝජන අවස්ථා ඉහළ යාම ද සිදු වෙනවා.
එම නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට ධීවර, සංචාරක, කෘෂිකර්ම හා පුනර්ජනනීය බල ශක්ති පිළිබඳ ආයෝජනයන් විශාල සංඛ්‍යාවක් ලැබීමට නියමිතයි.
තායිලන්තය විසින් තාක්ෂණික සේවාවන් සැපයීමටද එකඟතාව පළ කර තිබෙනවා. මේ වසර අවසානය වන විට ඉන්දියාව, චීනය, තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, මැලේසියාව හා වියට්නාමය සමඟත් නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමටත් සමෘද්ධිමත් ලංකාවක් ඇති කිරීමේ පළමු පියවර තැබීමටත් හැකියාව තිබෙනවා.
ලෝකයේ රටවල තිබෙන විශාල වෙළෙඳ පොළවල් සමඟ ගනුදෙනු සිදුකරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රසාරණය කිරීමට හැකියාව ද තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කෙහෙළිය ගේ ඉල්ලා අස්වීම ගැසට් කරයි !
මේ වන විට බන්ධනාගාර ගතකර සිටින කෙහෙලිය රඹුක්වැල්ල පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යවා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට කෙහෙලිය රඹුක්වැල්ල ගේ ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය ද නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි .
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි.

උරුමයේ අගය රවී පහදයි : පෞද්ගලීකකරණය බිල්ලෙක් නොවෙයි !
මෙතෙක් බලපත්‍රයට පමණක් සීමා වී තිබු මෙරට පවුල් ලක්ෂ 20 කට අධික ප්‍රමාණයකට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදෙන "උරුමය" වැඩසටහන අනාගත ආර්ථිකය වෙනුවෙන් කරන ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක් බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක, හිටපු මුදල් අමාත්‍ය, රවී කරුණානායක පවසයි.
එසේම ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණපා මේ වන විට පියවරෙන් පියවර එම තත්ත්වයෙන් මිදෙමින් සිටින රටේ ආර්ථිකය යළි නංවාලීම සඳහා වන වැඩපිළිවෙලට ජනතාවගේ සහභාගිත්වය තහවුරු කෙරෙන පියවරක් ලෙසද උරුමය වැඩසටහන හඳුන්වා දියහැකි බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක, හිටපු මුදල් අමාත්‍ය, රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ අද (05) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ සිදුකරන 'උරුමය' ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙසේද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත හරීන් ප්‍රනාන්දු ඇමතිතුමාගේ මූලිකත්වයෙන් දියත්වන මෙය කාලෝචිත වගේම ඓතිහාසික මුලපිරීමක් බව කිව යුතුයි. ස්වර්ණ භූමි, ජය භුමි ඇතුළු විවිධ නම් වලින් ඉඩම් බලපත්‍ර ජනතාව වෙත ලබාදී තිබුණත් ඊට විධිමත් ඔප්පුවක්, නැතිනම් සින්නක්කර ඔප්පුවක් නොමැතිකම හේතුවෙන් ලක්ෂ 20 කට අධික ප්‍රමාණයක්, දශක ගණනාවක සිට දැඩි පීඩාවට පත්ව සිටියා. දැන් ඒ තත්වයෙන් මිදීමට අවස්ථාව හිමිවී තිබෙනවා.
වැට ඉන්නට මිණී මරාගන්න සහෝදරයන් , අසල්වාසීන් ගැන අපි අහලා දැකලා තියෙනවා. භූමිය වෙනුවෙන් රටවල් ආක්‍රමණය කරනවා අපි අසා දැක තියෙනවා. ඒ ඉඩමට, බිම් කොටසකට තියෙන වටිනාකම නිසයි. කවුරුත් කැමතියි අඟලක හෝ බිම් කොටසක් තමන්ට තිබෙනවාට. මොකද ඉඩම කියන්නේ ප්‍රධාන නිෂ්පාදන සාධකයක්. ඒ අර්ථයෙන් එය වත්කමක්ද වනවා. නමුත් එවැන්නක් බලපත්‍රයකට සීමා වී තිබු විට එහි නියම අගය , වටිනාකම අත්විඳින්න ලැබෙන්නේ නෑ. ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ එය සින්නක්කර ඔප්පුවක් වශයෙන් තිබියදීයි. ඒ හරහා ජනතාවගේ පෞද්ගලික වත්කම වැඩි වෙනවා. මෙතෙක් යම් ගෙවීමක් සිදුකිරීමට වුණා නම් , ඒ මුදල් ඉතුරු වෙනවා. ඉඩම වෙනුවෙන් බැංකු ණයක් ගෙන , එය තවදුරටත් වත්කම් උපයන ආයෝජනයක් බවට පත්කර ගැනීමේ සිට ඕනෑම ආර්ථික කටයුත්තක් වෙනුවෙන් භාවිතා කරන්න හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ උරුමය හරහා බිලියන ගණනක වටිනාකමක් ආර්ථිකයට උරුම වෙනවා. එය ඉතාම වැදගත් කාරණයක්. එක් පසෙකින් ලක්ෂ 20 කට අධික ජනතාවක් දශක ගණනාවක් තිස්සේ මුහුණදුන් ගැටළුවකට ස්ථිරසාර විසඳුමක් ලැබෙනවා වගේම, අනෙක් පසින් මෙය අනාගත ආර්ථිකය වෙනුවෙන් කරන ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.
වැදගත්ම කාරණය තමයි නිදහසින් පසු මෙරට ජනතාවට ඉඩම් බලපත්‍ර වෙනුවට සින්නක්කර ඔප්පු ලබාදීමේ විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා නොතිබීම. ජනතාවට ඉඩම් කැබැල්ලක නීත්‍යානුකූල හිමිකම පිළිබඳ තිබුණේ සිහිනයක් පමණයි. ඉතිහාසය මතක් කර දුන්නොත්, යටත් විජිත සමයෙන් පසු රජය සතු ඉඩම් පිළිබඳ අයිතිය වෙනස් කිරීමේ මුල් පියවර තබන ලද්දේ 1933 වසරේ දීයි . ඒ එවකට කෘෂිකර්ම ඇමති ඩී.එස්. සේනානායක මහතා විසින් . රජයේ ඉඩම් අයිතිය ජනතා සන්තක කිරීමේ වැඩසටහන පුළුල් කරමින් ඒ මහතා 1934 මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කළා.
ඒ වගේම තමයි, 2002 වර්ෂයේත් එක්සත් ජාතික පක්ෂ රජය බලයට පැමිණි විට ගොවි ජනපද සහ දිළිදු පවුල් සඳහා ලබාදුන් ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය ඔවුන්ට ලබාදීමට සැලසුම් කළා. නමුත් ඒ ආණ්ඩුවේ ආයුෂ පැවතියේ වසර දෙකක් පමණයි. අනතුරුව 2015 වසරේදී බලය ලැබුණු විගස අපි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. අයවැය යෝජනා වලට ඇතුළත් කළා. නමුත් එවරද විපක්ෂය ඊට විරෝධය දැක්වූයේ මෙරට ඉඩම් බහුජාතික සමාගම් වෙත පවරන බවට ජාතික මුසාවක් සමාජගත කරමින්. ඒ නිසා ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පුවක් ලැබීමේ ඒ අයිතිවාසිකම උල්ලංඝනය වුණා. ඇත්ත වශයෙන් කිව්වොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සැළකුවද එය වැරදි ක්‍රියාවක්.
ඒ අනුව තමයි, නැවත බලය ලැබුණු මොහොතේ ක්‍රියාත්මකවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය යෝජනා සඳහා “උරුමය වැඩසටහන මඟින් 1935 දී ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ගොවින් වෙත බලපත්‍ර හා කොන්දේසි සහිත දීමනාපත්‍ර මත බැහැර කර ඇති රජයේ ඉඩම්වල පූර්ණ අයිතිය ගොවි ජනතාව වෙත ලබාදීමට අපේකෂා කර ඇත” යන්න ඇතුළත් කළේ. ඒ වෙනුවෙන් රුපියල් බිලියන 2ක ප්‍රතිපාදන වෙන්කොට තියෙනවා .
මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුකළ විශාලම පුද්ගලීකරණය මේ අයවැයෙන් සිදු කෙළේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා මාධ්‍ය ප්‍රධානීන් අමතා කියා සිටියේ ද ඒ ගැනයි. පෞද්ගලීකරණය ගැන මේ රටේ කාලයක් තිස්සේ විවිධ පාර්ශව බිල්ලන් මැව්වා. ඒ කතා සියල්ල මේ හමුවේ අසත්‍යක් බවට පත්වෙනවා.
අපේ රටේ මෙතෙක් තිබුණේ, දෙන්නම් කාසි දේශපාලනයක් සහ හැමදේම නිකං දෙන්න පොරොන්දු පිට ජන්දය ගන්න අල්ලස් සංස්කෘතියක්. ඒ නිසා තමයි රට මූලිකවම ආර්ථික අගාධයකට ගියේ. ඒ වෙනුවට ජනතාවට දෙපයින් නැගී සිටීමට දැන් අවස්ථාව ලැබී තිබෙනවා. තමන්ගේ වත්කම සමඟ ආර්ථිකයට බද්ධ වීමට අවස්ථාව හිමිව තිබෙනවා. දැන් ඒ ඉඩම ආයෝජනයක් බවට පත්කර ගන්නවාද ? පරිභෝජනය කරන්නේ කොහොමද යන්න ගැන තීන්දුව ගන්න ජනතාවට අවස්ථාව හිමිවෙනවා.
ඒ අනුව මෙය රට ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇති මොහොතක, එම තත්වයෙන් අමාරුවෙන් මිදෙමින් සිටින මොහොතක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට ගොඩනැගීම සඳහා ගෙන යන දැවැන්ත වැඩපිළිවෙලට ජනතාවද තමන්ට හැකි අයුරින් සහභාගී වෙමින් ඊට දායක වීමක් මේ හරහා සිදුවෙනවා.
එසේම ඉඩම් අනිසි ලෙස රජය යටතේ තබාගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පටහැනියි. ඒ අනුව මෙය අනාගත ආර්ථිකය වෙනුවෙන් කරන ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක් ලෙස දැක්විය හැකියි.

කෙහෙළිය ඉල්ලා අස්වෙයි
පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහට යොමුකර තිබේ.
ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි.
කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී එල්ල වූ අදාල චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශ්වාස භංගයන් ද ඉදිරිපත් කෙරිණි.
Page 100 of 459