පුවත්

ප්‍රයිවට් ජෙට් එකකුත් අරගෙන : ධම්මිකගේ ප්ලෑන් B මෙන්න !
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යෝජනාවී ඇති ව්‍යාපාරික ධම්මික පෙරේරා ඇතුළු සිවු දෙනා සම්බන්ධයෙන් , එන සතියේ තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව පොහොට්ටු පක්ෂ ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.
මේ අතරින් වැඩිම අවධානය යොමුවී තියෙන්නේ ධම්මික පෙරේරාට කියලයි ඒ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
පොහොට්ටු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් , මාධ්‍යට කියලා තියෙන්නේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවයි.
ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට තවම හදිසියක් නෑ කියලත් සාගර කියනවා.
මේ අතර ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටුවේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර තවත් හමුවක් 09 දා පැවැත්වුණා. මේ සාකච්චාව ඇමරිකාවට ගිය බැසිල් ලංකාවට අවට පස්සේ ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ හය වැනි සාකච්ඡාව.
ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට ප්‍රමාද වැඩියි කියලා , පොහොට්ටු මන්ත්‍රීවරුන් ගණනාවක්ම පසුගිය සතියේ දී බැසිල් හම්බවෙලා මැසිවිලි නැගලා... ඒක ඇත්ත කියලා බැසිල් රාජපක්ෂ ත් පිළිගෙන තියනවා කියලයි දැනගන්න තියෙන්නේ.
කොහොම වුනත් ධම්මික පෙරේරා මේ වෙනකොටත් ගේමට බැහැලයි ඉන්නේ. දිගට හරහට වැඩ .. හතර අතේ සල්ලි වියදම් කරනවා.
ජනාධිපතිවරණ කැම්පේන් එකට රුපියල් බිලියන 15කට වැඩිය දාන්න වෙයි කියලා, ධම්මික මේ වෙනකොට ගණන් හදල ලු තියෙන්නේ . ධම්මික මේ ළඟදී ප්‍රයිවෙට් ජෙට් එකක් ගන්නත් හොයලා බලන්න රට ගිහින් තිබුනා.
ධම්මිකගේ සමහර බිස්නස් යාලු මිත්‍රයෝ කියන විදියට, ධම්මිකගේ අදහස වෙලා තියෙන්නේ ආණ්ඩුව පැත්තේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න. ඒ කියන්නේ රනිල්ගෙත් සහය අරගෙන ජනාධිපති අපේක්ෂකයා වෙන්න.
Plan B රනිල් යටතේ අගමැතිකම.
ඒ නිසා ජනාධිපති රනිල් එක්ක වගේම, සාගල සමගත් සමීපතම හිතවත්කමක් පවත්ව ගෙන යන්න පටන් අරන්.
රනිලුයි ධම්මිකයි 10 වෙනිදා එකම වේදිකාවකට ගොඩවුනා. ඒ , ජනාධිපතිවරණය ගැන කතා කරන්න නෙමෙයි , කාන්තාවන්ගේ අයිතිය ගැන කතා කරන්න..
ඒ, නෙළුම් පොකුණේ පැවැති කාන්තා අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් වූ උත්සවයකදී..
පේන විදිහට , රටේ අංක එකේ ව්‍යාපාරිකයා වෙන්න ධම්මික ගහපු ගේම් සේරම , රටේ ඉහලම තැනට එන්නත් ගහන්න පටන් අරගෙන තියෙන බවක් තමයි පෙන්නුම් කරන්නේ. සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයන් වගේම සම්ප්‍රදායික දේශපාලනඥයන් ආමන්ත්‍රණය නොකරන කලාප වලට ධම්මික අත තියලා තියෙන්නේ. අංක එකේ ව්‍යාපාරිකයා වුනු ධම්මිකගේ මේ දේශපාලන වෑයම කොහොම වැඩ කරයිද කියලා අපිත් බලාගෙන ඉමු.
දේශපාලන වාර්තාකරු

පොහොට්ටුව තනියම වැඩ අරඹයි : එළඹෙන 18 වෙනිදා තීරණාත්මකයි !
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන තම පක්ෂයේ අපේක්ෂකයා තවත් නොබෝ දිනකින් ප්‍රකාශයට පත්කරනවා කියලා , පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ කියනවා.
ඊයේ, ඒ කියන්නේ මැයි (10) වෙනිදා එම පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි, බැසිල් එහෙම කියලා තිබුනේ.
ජනාධිපතිවරණය පමණක් නෙවෙයි, ඕනම මැතිවරණයක් සඳහා පොහොට්ටුව සූදානම් බවත්, ජයග්‍රහණය කළහැකි අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බවත්, ඔහු මෙහිදී අවධාරණය කරලා තිබුනා.
''ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්ථාවරය, එළඹෙන 18 දාට ඉස්සෙල්ලා දැනුම්දෙන බව දැනුම්දී තියනවා. අපි ඒ තීන්දුව එනතුරු බලාගෙන ඉන්නේ. ''
කෙසේ වෙතත් රට වෙනුවෙන් ඕනෑම අයෙකු සමඟ එක්ව කටයුතු කිරීමට මෙන්ම, වෙන්ව කටයුතු කිරීමටත් පොහොට්ටුව සූදානම් කියලත් බැසිල් කියනවා.
- ---
බැසිල් ගේ ඒ සූදානම වචනයෙන් විතරක් නෙමෙයි, ක්‍රියාවෙනුත් පෙන්නමිනුයි ඉන්නේ. ඔන්න පොහොට්ටුවේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලයකුත් පටන් අරගෙන.
පොහොට්ටු පක්ෂ මූලස්ථානයට අනුබද්ධව ස්ථාපිත කළ, පොහොට්ටු ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය, එම පක්ෂයේ නිර්මාතෘ හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කළා.
මේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පටන් අරගෙන තියෙන්නේ , බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පොහොට්ටු පක්ෂ මූලස්ථානය ආසන්නයේ ම...
එළඹෙන ජනාධිපතිවරණය සඳහා, මැතිවරණ කොමිසන් සභාව විසින් දින නියම කිරීමෙන් පසු දිනම, එම කාර්යාලය විවෘත කිරීමත් විශේෂ කාරණයක්.
14,000 ක් පමණ වන, මෙරට සෑම ග්‍රාම නිලධාරී වසමක්ම සම්බන්ධ කරගනිමින්, මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදුකරන අතර , පරිගණක 160 ක් ආධාරයෙන් සකස්කළ, දත්ත පද්ධතියක් ඔස්සේ එම මෙහෙයුම් කටයුතු සිදුකරන්නයි යන්නේ.
ඒ වෙනුවෙන් සැදුම්ලත් කාර්යය මන්ඩලයක්, මේ වැඩේට යොදවා සිටින අතර, දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරනවා.
සෑම ආසනයකටම පොහොට්ටුවේ එක් නියෝජිතයෙකු බැඟින්, මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට සම්බන්ධ කර ගන්නා බවත් , ඒ අනුව, ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරවීම වෙනුවෙන්, මෙම මෙහෙයුම් කාර්යාලය සක්‍රියව දායකකර ගන්නා බවත් බැසිල් කියනවා.
මෙම ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට, එම පක්ෂයේ ජාතික සංවිධායක, නාමල් රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම්, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, හිටපු ඇමැති චමල් රාජපක්ෂ, ඇමැතිවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, කාංචන විජේසේකර, රාජ්‍ය ඇමැතිවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, කනක හේරත්, ඩී.බී හේරත්, පියල් නිශාන්ත, ජානක වක්කුඹුර, තේනුක විදානගමගේ, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන, ඩී.වීරසිංහ, කෝකිලා හර්ෂණී, එස්.එම් චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහාචාර්ය රංජිත් බණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මේ මැතිවරණ කාර්යාල ප්‍රොජෙට් එකට රුපියල් මිලියන 500ක් ඇස්තමේන්තු කරලා තිබුනා කියලයි ආරංචි. ඒ ආරංචිවල හැටියට මන්ත්‍රී ධම්මික පෙරේරා දෙපාරකට ඒ මුදල දීලා.
දේශපාලන වාර්තාකරු

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු ලබන වසරේ !
බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කළද කෘත්‍රීම බුද්ධිය පාලනයට අවශ්‍ය නීති මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් එම කටයුතු ලබන වසරට කල් තැබීමට සිදු වූ බවද සඳහන් කළ ජනාධිපතිවරයා නව නීති සම්මත කර ගැනීමෙන් අනතුරුව ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (11) පස්වරුවේ මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ දී පැවති මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සිය වන සංවත්සර සැමරුමට එක්වෙමිනි.
1924 වර්ෂයේ මැයි මස 11 වන දින ආතර් වී දියෙස් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතිය යටතේ ඉදි කරන ලද මොරටුව බෞද්ධ මන්දිර ශාලාව සඳහා 1925 දී මුල් ගල තබන ලදී. එම ගොඩනැගිල්ල 1929 ජූනි මස 24 වන දින මොරටුව බෞද්ධයන්ගේ බෞද්ධ මුලස්ථානය ලෙස එවකට ලංකා ආණ්ඩුකාර හර්බට් ජේ. ස්ටැන්ලි මහතා අතින් විවෘත කෙරිණ. මොරටු මහා විද්‍යාලයට මුල් ගල තැබීමද එදින සිදු විය.
වසර සියයක් සපුරන මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ අලුත්වැඩියා කටයුතු රජයේ වියදමින් සිදු කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
අද පස්වරුවේ මොරටුව බෞද්ධ මන්දිරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වූ අතර මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සිය වන සංවත්සර සැමරුම සනිටුහන් කරමින් එම පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා එක් විය.
මොරටුව බෞද්ධ සමිතියේ උප සභාපති ධම්මික චන්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා විසින් සියවස් සමරු කලාපය මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීය.
මොරටුව බෞද්ධ සමිතියේ පැරණිතම සාමාජික රංජිත් ගමනායක, උප සභාපතිවරුන් වන ප්‍රදීප් ශ්‍රියන්ත ප්‍රනාන්දු, ධම්මික චන්ද්‍රනාත් ප්‍රනාන්දු, ගාමිනී පෙරේරා සහ ප්‍රාදේශීය ලේකම් කීර්ති පෙරේරා යන මහත්වරුන් විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
අනතුරුව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු යන මහත්වරුන් වෙත ද සමරු තිළිණ පිළිගැන්විණ.
මොරටුව මහා විද්‍යාලයේ ඩබ්ලිව්. ඒ ඉමාෂ ෂාවින්ද්‍ර ආශිංෂණ ශිෂ්‍යයා විසින් සිතුවම් කරන ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ රුව සහිත මොරටුව බෞද්ධ මන්දිරයේ චිත්‍රයක් ද මෙහිදී පිළිගන්වනු ලැබීය.
අනතුරුව පැවතී උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය
වර්තමානයේ දේශගුණික විපර්යාස නිසා මුළු ලෝකයම විශාල තර්ජනයකට මුහුණ දී සිටිනවා. මේ දිනවල අප මුහුණ දී තිබෙන දැඩි හිරු රශ්මිය මීට පෙර මුහුණ නොදුන් තත්ත්වයක් බවද කිවයුතුයි. මෙම දේශගුණික උණුසුම සීමාකර ගැනීම සඳහා ඉලක්කගතව කටයුතු කිරීමට අපහසු තත්ත්වයක් අද මතුවෙලා තිබෙනවා. මේ සමඟ ඌග්‍ර ජල ගැටලුවකට ද අපට මුහුණදීමට සිදු වෙනවා. අප බුද්ධ ධර්මයට අනුව මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කෙසේද කියා අවධානය යොමු කළයුතුයි.
ඉදිරි දශක දෙක තුන තුළ ලෝකයේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නයක් බවට දේශගුණික විපර්යාස පිළිබඳ ගැටළුව පත් වෙනවා. බුද්ධ දේශනාව අනුව සළකා බැලුවහොත් අපට මේ තත්ත්වයට මුහුණදිමට සිදුව තිබෙන්නේ ශිෂ්ටාචාරයේ තණ්හාව නිසයි. සියලුදෙනාට අවශ්‍ය වුණේ වේගවත් දියුණුවක් ලබා ගැනීමටයි. වාහන භාවිතය ඉහළ යාම නිසා පරිසරයට විශාල හානියක් සිදු වෙනවා. ඒ අනුව මානව සමාජයෙන් පරිසරයට විශාල හානියක් සිදුව තිබෙනවා. ඒ නිසා දේශගුණික විපර්යාස පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කළයුතුයි.
ඒ වගේම ලෝකය අද සීග්‍ර තාක්ෂණ දියුණුවක් කරා ගමන් කරමින් තිබෙනවා. විශේෂයෙන් 1945 පරමාණු බෝම්බය පුපුරා ගිය විට සිතුවේ ඉන් එහාට තාක්ෂණ දියුණුවක් සිදු නොවන බවයි. නමුත් දැන් සෑම ක්ෂේත්‍රයක් තුළම විශාල තාක්ෂණ දියුණුවක් සිදුව තිබෙනවා. තොරතුරු තාක්ෂණ අංශයේ විශාල දියුණුවක් ඇතිවී තිබෙනවා. අප පාසල් යන සමයේ පරිගණක සහ ජංගම දුරකථන තිබුණේ නැහැ. නමුත් මේ වන විට නවීන තාක්ෂණික දියුණුවත් සමඟ අද කෘත්‍රීම බුද්ධිය දක්වා පැමිණ තිබෙනවා.
මේ වන විට තිබෙන්නේ කෘත්‍රීම බුද්ධියේ ආරම්භක අවස්ථාවයි. තවත් දශක දෙකක් පමණ යන විට කෘත්‍රීම බුද්ධිය කොතනින් අවසන් වෙයිද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. කෘත්‍රීම බුද්ධිය සහ බුදු දහම අතර තිබෙන සම්බන්ධය කුමක්ද යන්න පිළිබඳ අප අවධානය යොමු කළයුතුයි.
සියල්ල පාලනය වනුයේ අපගේ මනසින් බව බුද්ධ දේශනාවේ පෙන්වා දෙනවා. මනස පාලනය කළහොත් අපට ඉදිරියට යා හැකියි. මනස පාලනය කර නොගතහොත් අපට අනාගතයක් නැහැ. මනස පාලනය කිරීම පැවරි තිබුණේ මිනිසාට පමණයි. බුද්ධ දේශනය මිනිස් සංහතිය වෙනුවෙන් සිදු කළේ ඒ නිසයි. අප මනස පාලන කරගතහොත් අපට තණ්හාව දුරු කර ගත හැකියි.
මෙම මිනිස් මනසට සමානව දැන් කෘත්‍රීම බුද්ධිය පැමිණ තිබෙනවා. කෘත්‍රීම බුද්ධියට විවිධ තොරතුරු ඇතුළත් කළ හැකියි. ඒ අනුව කෘත්‍රීම බුද්ධිය ක්‍රියාත්මක වෙනවා. එසේ නම් බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධය පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි.
කෘත්‍රීම බුද්ධිය වෙනත් දහමක් දේශනා කරයිද, එය බුදු දහමට තර්ජනයක් විය හැකියි. ඒ නිසා අප ඒ පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි. ඓතිහාසික අනුරාධපුර සමයේ මෙරටට බුදු දහම පැමිණි අතර එතැන් පටන් බුදු දහමට විවිධ බලපැම් එල්ල වී තිබෙනවා. හින්දු දහම, මහායාන ධර්මය මෙන්ම දේශපාලන තත්ත්වයන් ඊට බලපා තිබෙනවා. මේ කාලයේ සිට කෘත්‍රීම බුද්ධියද එක් වෙනවා. එවිට කෘත්‍රීම බුද්ධිය තවත් ධර්මයක් දේශනා කරයිද කියා සිතිය යුතුයි. ජනතාව අතේ තිබෙන ජංගම දුරකථනයෙන් ධර්මය ඇසුරු කරන විට එහි බලපෑම් කුමක් විය හැකිද කියා සිතිය යුතුයි. මෙය බුදු දහමට පමණක් නොව වෙනත් ආගම් ද මුහුණ දී සිටින ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.
ඒ නිසා කෘත්‍රීම බුද්ධිය පාලනය කිරීමටත් අප නව නීති රීති ගෙන එනවා. තාක්ෂණ වර්ධන නීති කෙටුම්පත තාක්ෂණ අමාත්‍යාංශය විසින් සකස් කර තිබෙන අතර ඒ යටතේ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ මධ්‍යස්ථානයක් ද ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. එක්සත් රාජධානයේ සහ යුරෝප සංගමය දැනමටත් කෘත්‍රීම බුද්ධිය පාලනය කරන නීති රොගුලාසි ඇතුළත් කර තිබෙනවා. අපත් එය සිදු කළයුතුයි.
ඒ වගේම බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් බිලියනයක් ලබන වසරේදී වෙන් කිරීමට අපේක්ෂා කරනවා. එය මෙම වසරේදී සිදු කිරීමට අපේක්ෂා කළද කෘත්‍රීම බුද්ධිය පාලනයට අදාළ නීති රෙගුලාසි තවමත් සම්මත කරගෙන නොමැති නිසා එය ලබන වසරට කල් දමනු ලැබුවා. ඒ අනුව නව නීති ඉදිරිපත් කර එම කටයුතු ආරම්භ කිරීමට අප අපේක්ෂා කරනවා.
මොරටුවැල්ල ධම්ම නිකේතන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අමරපුර කල්‍යානිවංශික ශ්‍රී සද්ධම්ම යුක්තික නිකායේ මහානායක පූජ්‍ය මාගාල්ලේ නාගිත හිමි, පානදුර සංඝ සභාවේ අධිකරණ සංඝ නායක කොරළවැල්ල වාළුකාරාම මහා විහාරාධිපති පූජ්‍ය නැහින්නේ අරියඥාන හිමි, මොරටුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති මොරටුව, ඉඳිබැද්ද ශ්‍රී සුධර්ම රත්නාරාම විහාරාධිපති පූජ්‍ය ගම්පොල සුගුණධජ හිමි, මොරටුව හොරේතුඩුව පුරාණ සාංඝිකාරාමයේ විහාරාධිපති, අඟුලානේ ඥානවිමල බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය උඩුගම විමලකිත්ති හිමි ඇතුළු මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ද, මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
https://newstube.lk/news?start=1746#sigProId10e35ad16e

රුසියාවේ සහ යුක්‍රේනයේ යුද්ධයට ගිය 17ක් අමාරුවේ !
රුසියානු - යුක්‍රේන යුද්ධයේ කුලී හමුදාවන්ට එක්වී සිටි ලාංකිකයින් 17 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇත .
මේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ කොට්ඨාසය විසින් වාර්තා කර ඇත .
මේ අතර රුසියාවට ගිය තවත් විශ්‍රාමික සෙබළුන් දෙදෙනකු අතුරුදන්වී ඇති බව අද (11) විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
මොවුන්ගේ ඥාතීන් පවසන්නේ, මාර්තු 29 වනදා සිට ඔවුන්ගෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවූ බවයි" .
විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වූ පදවිය ප්‍රදේශයේ පදිංචි අසංක චන්දන ද පසුගිය පෙබරවාරි මස 12 වනදා රුසියාව වෙනුවෙන් යුද වැදීම සඳහා රුසියාවට ගොස් තිබුණි.
ඔහු සිය නිවැසියන්ට අවසන් දුරකථන ඇමතුම ලබාදී තිබුණේ පසුගිය මාර්තු මස 29 වනදාය.
එදින සිට මේ දක්වා ඔහු පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැත.
මේ අතර මැදවච්චිය වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික කොමාන්ඩෝ නිලධාරියෙකු වන ප්‍රදීප් චන්දන මහතාද පෙබරවාරි මස 12 වනදා රුසියාව බලා පිටත්ව ගොස් තිබෙන අතර ඔහුද සිය අවසන් ඇමතුම නිවසට ලබාදී ඇත්තේ මාර්තු මස 29 වැනිදාය.

‘නිවාස සහ ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය – 2024’ නැරඹීමට ජනපති එක්වෙයි
ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සංවිධානය කළ නිවාස සහ ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය – 2024 (Housing & Construction International Expo – 2024) නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (10) එක්විය.
‘ශ්‍රී ලංකාව ගොඩනඟමු’ තේමාව ඔස්සේ මෙවර ප්‍රදර්ශනය සංවිධානය කර තිබූ අතර, එය මෙරට ඉදිකිරීම් කේෂ්ත්‍රයට සම්බන්ධ ප්‍රධාන සමාගම්වල වෙළෙඳ කුටි 300කින් සමන්විතය.
මෙම ප්‍රදර්ශනය සඳහා පළමු වරට එක්ව සිටින චීනයේ ප්‍රධාන සමාගම් 30කට අයත් නිෂ්පාදනවලින් සමන්විත වෙළෙඳ කුටි මෙන්ම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සතු ඉදිකිරීම් තාක්ෂණය විදහා දැක්වෙන ප්‍රදර්ශන කුටිවලින් ද සමන්විත මෙම ප්‍රදර්ශනය මේ මස 12 වැනිදා දක්වා පැවැත්වේ.
දෙස් විදෙස් වෙළෙඳ කුටි සහ ත්‍රිවිධ හමුදාවේ ප්‍රදර්ශන කුටි නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා, ප්‍රදර්ශනයේ සංවිධායකයන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ ජයන්ත පෙරේරා, මහ ලේකම්/ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
https://newstube.lk/news?start=1746#sigProId9ac2a98fc2

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොළිය ගැන ජනපතිගේ අවධානය
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා පිරිනමන පොලී අනුපාත ඉහළ දැමීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේදය ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් තමාට දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටියට උපදෙස් දී තිබේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලැබුණු ඉල්ලීම සහ උපදෙස් සලකා බලමින් ඉතා ඉක්මනින්ම ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලී අනුපාත ඉහළ දැමීම සඳහා ක්‍රමවේදයක් ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුද පැනනැඟීමට ප්‍රථම වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු සහ මූල්‍ය ආයතන ගිණුම් සඳහා වාර්ෂිකව 15% නොඉක්මවූ පොලී ප්‍රතිශත පිරිනමා තිබුණත් මේ වන විට එම පොලී ප්‍රතිශත තනි ඉලක්කමේ ප්‍රතිශත බවට පත් වී ඇත. මේ තත්ත්වය නිසා පොලී ආදායමෙන් ජීවත් වූ බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අපහසුතාවන්ට පත්ව ඇති බව සඳහන් කරමින් තමාද දැනුවත් කර ඇතැයි රංජිත් සියඹලාපිටිය මහතා කීය.
ඊට අමතරව ඔවුන් මේ සම්බන්ධයෙන් වරින් වර ජනාධිපතිවරයාද දැනුවත් කොට ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා මේ කරුණ පිළිබඳ සාවධානව සහ සානුකම්පිතව සලකා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සවිස්තර වාර්තාවක් දෙන්නැයි ඉල්ලා සිටි බවද සියඹලාපිටිය මහතා පැවැසීය.

CBK පාර්ශ්වය ශ්‍රීලනිප බලය අල්ලයි : සම්මේලනයත් කැඳවයි !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සම්මේලනය ජුනි මස 02 වනදා පැවැත්වීමට තීරණය කර තිබේ.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ එය පැවැත්වීමට නියමිත බවද දැනගන්නට ඇත.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ සමඟ හිටපු ජනාධිපති සිරිසේන ඇතුළු පාර්ශ්වයට ශ්‍රීලනිප බලය මුළුමනින්ම ගිලිහෙනු ඇති බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ සහාය මත ක්‍රියාත්මක අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා , මහින්ද අමරවීර , රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න , පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඇතුළු පාර්ශ්වය ශ්‍රීලනිප බලය තහවුරු කරගනු ඇති බවය.
එසේම මේ වන විට ශ්‍රීලනිප සියලු ආසන සංවිධායකයන් දිස්ත්‍රික් මට්ටමින් කොළඹ කැඳවා පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.

පක්ෂයත් අරගෙන ලකුණත් නැති කරනවා : සේනක සජිත්ගෙන් ගේම ඉල්ලයි !
සමගි ජන බලවේගය පක්ෂයේ බලය තමන් ලබා ගන්නා බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ සැමියා වන, අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපති සේනක ද සිල්වා පවසයි .
ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (10) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය .
කිසිදුවිටක දී සමගි ජන බලවේග පක්ෂයේ ලකුණින් සජිත් ප්‍රේමදාස ට මැතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ නොදෙන බවත් ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු ඉදිරියේ දී සිදුකරන බවත් එහිදී ඔහු සඳහන් කළේය.
"මේ පක්ෂයේ නායකයා හැටියට මම හිටියා. මම කිව්වා මම ඉල්ලා අස්වෙන්නම් කියලා. මම ඔබට නායකත්වය දෙන්නම් කියලා සජිත්ට කිව්වා. සභාපති ලෙස මම අත්සන් කරලා තියෙනවා. ලේකම් හැටියට ඩයනා මහත්මිය අත්සන් කරලා තියෙනවා. ඊට යටින් තමා සජිත් ප්‍රේමදාසයි, රංජිත් මද්දුමබණ්ඩාරයි අත්සන් කරලා තියෙන්නේ. අපි ලොකු කැප කිරීමක් කළා."
"ලොකු ගණන්වලට මිලියන 100ට 200ට පක්ෂ විකිණෙන්නේ. අපි එහෙම විකිණුන අය නෙමෙයි."
"සජිත්ගේ නායකත්වය පිළිනොගන්නා තත්ත්වයකට ගෙන එන්න පුළුවන්."
"අපිට අවශ්‍ය වෙලාවට ඒ තුරුම්පුව ගහන්නම්. මේ ඩයනාගෙන් පළිගන්න එක නවත්වන්න. අපි නඩු දලා තියෙන්නේ. හොඳ ලස්සන නඩු තීන්දු ටිකක් එයි ඉස්සරහට. අපේක්ෂකකමටත් විශාල ප්‍රශ්නයක් තියෙනවා එතුමාගේ. මේ ලකුණෙන් නම් ඉදිරිපත් වෙන්න දෙන්නේ නෑ මහත්තයෝ. එයාලට ඕනේ විදියට මේ පක්ෂය නටවන්න දෙන්නේ නෑ මේ පක්ෂයේ බලය ගන්නවා."

ධම්මිකගේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ජනපති රනිල් !
ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්, ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
අදාළ පනත් කෙටුම්පත් එළඹෙන ජූනි මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ මඟින් ස්ත්‍රී පුරුෂ සමානාත්මත්තාව හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම, කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් පිහිටුවීම සහ කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට හැකි වන බවද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ, DP Education විසින් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ අද (10) සංවිධාන කර තිබූ කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව "හිංසන විරෝධී ගෝලීය අභිනයන්" හස්ත මුද්‍රා එලිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
ධම්මික පෙරේරා මැතිතුමා වෙනසක් ආරම්භ කර තිබෙනවා. කාන්තා හිංසනයට එරෙහිව එතුමා මේ ආරම්භ කළ වැඩපිළිවෙල ප්‍රශංසනීයයි. DP Education වැනි ව්‍යාපාර අනාගත අධ්‍යාපනයේ කොටසක් විය යුතුයි. ඉතිහාසයේ අප අධ්‍යාපනය ලැබුවේ ගස් යට, ගල් ලෑලි භාවිතා කරමින්. ඉන්පසුව ගොඩනැගිලි, පොත් අධ්‍යාපනයට එකතු වුණා.වර්තමානයේ මෙන් ජංගම දුරතකන තිබුණේ නැහැ.
ඒ වගේම විටින් විට අධ්‍යාපනය වෙනස් වුණා. පිරිවෙන් අධ්‍යාපනයේ සිට පාසල් අධ්‍යාපනය ද වෙනස් වෙනවා. අද සුහුරු පංති කාමර පාසලට පැමිණ තිබෙනවා. ධම්මික පෙරේරා මහතා DP Education හරහා නව අධ්‍යාපන මානයක් හඳුන්වා දී තිබෙනවා.මේ පදනමේ වියදමින් පාසල් 600කට පහසුකම් සපයා දී තිබෙන බව මට දැන ගන්න ලැබුණා. මේ නිසා ටියුෂන් පංති කාමරයත් වෙනස් වෙනවා. මෙයට කෘතිම බුද්ධිය එකතු වූ විට අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකියි. දරුවන් මෙම අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගත යුතුයි.
අපේ අධ්‍යාපන ක්‍රමය දියුණු කර සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබා දිය යුතුයි. සෑම දරුවෙකුටම එකම මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීමට අපට හැකියාවක් නැහැ. නමුත් තාක්ෂණය හරහා සෑම දරුවෙකුටම එකම මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකියි.
කාන්තා හිංසනයට එරෙහිව සංඥා භාවිතා කරන්නේ කෙසේද යන්න අද මෙතනදි හඳුන්වා දුන්නා. කාන්තා හිංසනයට එරෙහිව නීතිය පාර්ලිමේන්තුවේ අප හඳුන්වා දෙනවා . කාන්තා හිංසනය නවත්වන්නේ කෙසේද යන්න මෙම හස්ත සංඥා මඟින් දැනුවත් කළ හැකියි. කාන්තා අයිතිවාසිකම් සුරකින්න අප කැපවී සිටිනවා. එය වචනයට සීමා කරන්න බැහැ. මේ ලබාදෙන සංඥා මඟින් කාන්තාවන්ට සිදුවන හිංසනය පිළිබඳ සමාජය දැනුවත් කර ඊට එරෙහි වීමට හැකියාව ලැබෙනවා.
මේ සඳහා පුළුල් ප්‍රචාරයක් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා. අපේ රටේ ධනපතියෝ සහ දානපතියෝ ඉන්නවා. දානපතියන් කියන්නේ මුදල් උපයාගෙන සමාජ සත්කාර කරන පිරිසක්. ධම්මික පෙරේරා මහතා සිදු කරන්නේ එවැනි ක්‍රියාවක්. කාන්තා හිංසනයට එරෙහිව කාන්තාවන් සවිබල ගැන්වීමට මේ වැඩපිළිවෙළ මඟින් හැකියාව තිබෙනවා. ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් විශාල ලෙස දුක් වින්දා. මා බලයට පත්වන කාලවකවානුවේදී කාන්තාවන් ආහාර නොමැතිව විශාල වශයෙන් පීඩාවට පත් වුණා. සමහර පවුල් ඉදිරියට ගෙන ගියේ කාන්තාවන් විසිනුයි. ඒනිසා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා අප කටයුතු කරනවා.
ස්ත්‍රී පුරුෂ සමානාත්මත්තාව හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම,කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම,කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් පිහිටුවීම සහ කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට මෙම පනත් කෙටුම්පත හරහා සිදුකළ හැකියි.
එමෙන්ම කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරකීමට කොමිසමක්ද ස්ථාපිත කරනවා. ඕනෑම ප්‍රදේශයක ඕනෑම ස්ථානයක කාන්තාවන්ට හිංසනයක් සිදුවනවා නම් කොමිසම මඟින් විසඳුම් ලබාදීමට කටයුතු කරනවා.
ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කාන්තාවන් සාර්ථකම කණ්ඩායම වෙමින් තිබෙනවා. කාන්තාවන්ට තිබෙන බාධාවන් ඉවත් කිරීම අපේ වගකීමක්. පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරුන්ගේ සංසදයක් මේ වන විටත් නිර්මාණය වී තිබෙනවා. ඔවුන්ට ද මෙහි විශාල වගකීමක් පවරනවා. කාන්තාවන් සහ ගැහැණු දරුවන් මුහුණ දෙන ගැටලු විසඳා සමාජ සාධාරණයක් ඇති කිරීමට අප කටයුතු කරනවා.
මෙම පනත් කෙටුම්පත් දෙකම ජූනි මාසයේදී සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
ජනාධිපතිවරණය සහ මහ මැතිවරයෙන් පසුව පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය වැඩි කිරීමට අගමැතිවරයා සමඟ මා දැනටමත් සාකච්ඡා කර තිබෙනවා. අවම වශයෙන් කාන්තා නියෝජනය මන්ත්‍රී සංඛ්‍යාවෙන් 25 %ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවද පැවසිය යුතුයි. ඒ වගේම පළාත් සභාවල කාන්තා නියෝජනය වැඩි කිරිමට බලාපොරොත්තු වෙනවා.
එපමණක් නොවෙයි, කාන්තාවන්ගේ දේශපාලන අයිතිවාසිකම් පිළිගැනීමටද කටයුතු කරනවා. 2030 වන විට කාන්තා දේශපාලන පක්ෂයක් පිළිගැනීමට නීතිය සංශෝධනය කළ යුතුයි.
ලංකාවේ කාන්තා අයිතිවාසිකම් තහවුරු කර කාන්තාවට හිමි ස්ථානය ලබාදීමට අප කටයුතු කරනවා
DP Education නිර්මාතෘ හා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා :
ධම්මික හා ප්‍රසිලා පදනම ගොඩනැගුවේ 2016 වසරේදීයි. අධ්‍යාපනයෙන් පොහොසත් රටක් නිර්මාණය කරන්නේ කෙසේදැයි කල්පනා කර මෙම පදනම නිර්මාණය කළා. අද වනවිට විනයගරුක පාසල් දරුවන් බිහිකිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට අපට හැකි වී තිබෙනවා. ලක්ෂ පහළොවක් පමණ පාසල් දරුවන්ට පහසුකම් සැලසීමට අපට හැකි වුණා. පෙර පාසල් දරුවන් වෙනුවෙන් වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපේ පදනම කටයුතු කළා.
ළමා මනෝ වෛද්‍යවරුන් පෙන්වා දුන් අකාරයට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායට ගැලපෙන වැඩපිළිවෙලක් දරුවන්ට ලබාදීමට අප කටයුතු කළා. පෙර පාසල් 1000ක් ඇති කර දරුවන්ගේ පූර්ණ ළමා විය සංවර්ධනය කිරීමට කටයුතු කර තිබෙනවා.
අපේ සංස්කෘතිය වැනි පොහොසත් සංස්කෘතියක් දකුණු ආසියාවේම තිබුණේ නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදයත් ඉතා ඉහළ මට්ටමක තිබුණා. මේ කාරණා දෙක සැලකිල්ලට ගෙන අපේ පදනම විසින් තොරතුරු තාක්ෂණය සහ භාෂා ඥානය ලබාදෙමින් ධර්මයෙන් හා තාක්ෂණයෙන් පිරිපුන් තාරුණ්‍යයක් බිහිකිරීමට කටයුතු කරන බව කිව යුතුයි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය පවිත්‍රා වන්‍නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන අනූප පස්කුවල්, ලසන්ත අලගියවන්න, අරවින්ද කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන , සංජීව එදිරිමාන්න, ඒ.එච්. එම්. ෆවුසි, අංගජන් රාමනාදන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, හිටපු අමාත්‍ය රවී කරුණානායක, එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නේවාසික නියෝජිත කුන්ලේ ඇඩේනියි (Kunle Adeniyi) මෙන්ම තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරුවරුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අධික රශ්මියෙන් යාපනයේ පස්දෙනෙක් ජීවිතක්ෂයට
අධික රශ්මිය හේතුවෙන් සතියක් ඇතුළත යාපනයේ පුද්ගලයින් පස් දෙනෙකු මේ වන විට මියගොස් ඇති බව යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය විශේෂඥ ආර්.පේරානන්දරාජා පැවසීය.
යාපනය ශීක්ෂණ රෝහලේ පැවති සාකච්ඡාවකදී මේ බව පැවසූ අධ්‍යක්ෂවරයා පවසා සිටියේ එම පස්දෙනාම ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවයි.
මේ දිනවල යාපනයේ ඌෂ්ණත්වය ඉතා ඉහළ මට්ටමක පවතින අතර ඌෂ්ණත්වය පසුගිය දිනවල සෙල්සියස් අංශක 40.5 දක්වා ඉහළ ගිය බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.
ඌෂ්ණත්වය ඉහළ යාමත් සමඟ යාපනය ශික්ෂණ රෝහලේ වයෝවෘද්ධ නිදන්ගත රෝගීන්ගේ මරණ අනුපාතය ඉහළ ගොස් ඇත්තේ එම රෝගීන්ට ‘උණුසුම් ආඝාතය’ වැලදීම නිසා බවද ඔහු සඳහන් කළේය.
දැනටමත් හෘද රෝග, මුත්‍රා ආසාදන, රුධිර නාල ආශ්‍රිත රෝග වැනි නිදන්ගත රෝග ඇති අය මෙම උෂ්ණ රෝගයෙන් මිය යාමට ඉඩ ඇති බව සඳහන් කළ අධ්‍යක්ෂවරයා මේ දිනවල වයෝවෘද්ධ පුද්ගලයින් එළිමහනේ යැවීමෙන් වැළකී සිටිය යුතු බවද පෙන්වා දුන්නේය.
ඒ හැරුණු විට මාංශපේශී රෝග, මාංශපේශී හිරිවැටීම, කායික රෝග රැසක් මේ උණුසුම නිසා වැඩි වීමට ඉඩ අති බැවින් වයෝවෘද්ධ අයගේ ශරීර උෂ්ණත්වය වැඩි වී ඔවුන්ට වැඩිපුර දහඩිය දැමීම නිසා ජලය වැඩිපුර පානය කළ යුතු යැයිද අධ්‍යක්ෂවරයා පැවසීය.
ජලය ශීතකරණවල නොතබා සිසිල් ස්ථානවල තබා නිතර පානය කිරීම, පලතුරු භාවිතය යන දේ මඟින් තාප ආඝාතය වළක්වා ගත හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
දිනමිණ

මූජිබර් දිවුරුම් දෙයි
මුජිබුර් රහුමාන් අද(10) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ ය.
ඒ, කතානායන මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේදී ය.
මුජිබුර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස තෝරා පත් කර ගත් බව ඊයේ රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළේ ය.
ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත් සමග එම මන්ත්‍රි ධුරය පුරප්පාඩු විය.

ජනපති රනිල් සජිත්ගේ කන අතගාලා !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (09) පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් පසුව ජනාධිපතිවරයා සහ විපක්ෂ නායක අතර ඇතිවූ අදහස් හුවමාරුව සම්බන්ධයෙන් දේශපාලන කරළියේ අවධානය යොමුව ඇත.
ජනාධිපතිවරයා ගේ විශේෂ ප්‍රකාශය අවසන් වීමත් සමඟ නැගීසිටි විපක්ෂ නායක සජිත් , අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විරෝධය පලකර අදහස් දැක්වීම ඇරඹීය.
ඒ සමග ක්‍රියාත්මක වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ පැවසීය .
“මේ කතාව ගැන විවාදයක් කරන්න පුළුවන් නම් හොඳයි. මම විපක්ෂ නායකතුමාට කියනවා මේ සියල්ලටම එතුමා වග කියන්න ඕන .මං මට පුළුවන් විදියට වැඩේ කළා.අප්‍රේල් දහ වෙනිදා ඔබතුමා අගමැතිකම ගත්තා නම් ඔය කියන එකක් වත් වෙන්නේ නෑ නේ”

බෙදපු මත්පැන් බලපත්‍ර ප්‍රමාණය පාර්ලිමේන්තුවේදී එළියට !
මෙම වසරේ මුල් මාස හතර තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නව මත්පැන් බලපත්‍ර 37ක් නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
එම ප්‍රමාණයෙන් 16ක්ම නිකුත් කර ඇත්තේ සුපිරි වෙළෙඳසැල්වලට බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කර සිටියේ ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.
2023 වසරේ මත්පැන් බලපත්‍ර 214ක් නිකුත් කර ඇති බවත් ඉන් 147ක් සංචාරක ක්ෂේත්‍රයට ලබා දී ඇති බවත් ජන අනුපාතය අනුව තවත් මත්පැන් බලපත්‍ර 474ක් නිකුත් කළ හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ ය.

රටින් පිටවීමත් තහනම් වූ ඩයනා දිගටම දේශපාලනය කරනවා කියයි !
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කළේය.
අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම නියෝගය නිකුත් කළේය .
එම නියෝගය පිටපත් ආගමන හා විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට යොමු කරන ලෙසත් නියෝග කෙරුණි.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ විසින් අද විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී ඇය පවසා සිටියේ තම දේශපාලනය මෙයින් අවසන් නොවන බවය.
නුදුරේදීම පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බවත් ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් තමන් ඉදිරිපත් වන බවත් ඇය සඳහන් කළාය .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද පැවසුවාය .
"මගේ දේශපාලනය මෙතැනින් නවතින්නේ නැහැ. වැඩිකල් යන්න කලින් මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ඉදිරි දේශපාලනයට මම අනිවාර්යයෙන්ම එනවා."
"ජනාධිපතිතුමාගේ සහයෝගයට මම හැමදාම ඉන්නවා. කොටලුවෝ හැංගෙච්ච වෙලාවේ රනිල් වික්‍රමසිංහ තමයි මේ රට භාර ගත්තේ."
"මේ තීරණය එහෙම නම් ඒ පක්ෂයත් අවලංගුයි. මොකද ඒ පක්ෂය පැවරුවේ මගේ අත්සනින්. ඒක ඇතුලේ අර්බුද ගොඩක් තියෙනවා. ඒවා මම ඉදිරියේදී කියන්නම්."
"ප්‍රශ්නයක් තියෙනවා නම් සජබයේ මාව තියාගත්තේ ඇයි. මගේ තියෙන්නේ දකුණේ ලේ. මගේ තාත්තා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් දීගෙට ගත්තා. ඒක මගේ වරද නෙමෙයි. ඒක හොඳයි. මම කැමතියි."
"මේ රටේ කාන්තාවන්ට මං වගේ චරිතයක් නැවත ඕනේ නම්... මං නැවත පාර්ලිමේන්තුවට එයි"

ජනපති අභියෝගය භාරගත් නිසා අවුරුදු දෙකෙන් රට ස්ථාවර වුණා - සාගල
රට ආර්ථික වශයෙන් කඩාවැටුණු අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය භාර ගත් නිසා වසර දෙකකට පසු රට යළිත් ස්ථාවර කිරීමට හැකිවී තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි දේශපාලන නායකත්වය හේතුවෙන් රටේ ආර්ථිකය යළිත් ස්ථාවර වී තිබෙන බවත්, ඉදිරියේ තිබෙන අභියෝග සඳහා ද මුහුණ දී රට තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් සාගල රත්නායක සඳහන් කළේය.
සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ රුපියල් බිලියනයකට වැඩි මුදලක් ආයෝජනය කරමින් කඩුවෙල, මාබිම ප්‍රදේශයේ ස්ථාපිත කළ ලිට්‍රෝ ගෑස් සමාගමේ නව ගෑස් පිරවුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (08) එක්වෙමිනි.
තිරසාර සංවර්ධනය සහ පොදුජන අවශ්‍යතා ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ලිට්‍රෝ සමාගම විසින් නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම ගෑස් පිරවුම් මධ්‍යස්ථානය ඉදිකර ඇති අතර, මෙමඟින් එක්ලක්ෂ අසූදහසකින් ගෑස් සිලින්ඩර් ධාරිතාව ඉහළ නැංවීමටත් සහ දෛනිකව ගෑස් සිලින්ඩර් 60000ක් නිකුත් කිරීමටත් සමාගම අපේක්ෂා කරයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මෙසේද පැවසීය.
මීට වසර දෙකකට පෙර මෙවැනි නූතන තාක්ෂණයෙන් යුත් අංගනයක් ලිට්‍රෝ සමාගමට ඉදිකරන්නට හැකිවෙයි කියා හිතන්න හැකියාවක් තිබුණේ නැහැ. ලිට්‍රෝ සමාගමට නරක කාලයක් තිබුණා. ගෑස් සිලින්ඩර් පිපිරීම් ඇති වුණා. ජනතාව ගෑස් ගන්න පෝලිමේ හිටියා. රජයට විදේශ විනිමය පමණක් නොව අපේම විනිමය පවා තිබුණෙත් නැහැ. එවැනි අසීරූ කාලයක් අප පසු කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිසි නායකත්වය නිසා විදේශ රටවලින් සහාය ලැබුණා.
එදා ලිට්‍රෝ සමාගම රජයට බරක්ව තිබූ සමාගමක්. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාර ගැනීමෙන් පසු සමාගමේ සභාපතිත්වය වෙනස් කළ නිසා සමාගම අද මේ තත්ත්වයට පත්වී තිබෙනවා. ලිට්‍රෝ සමාගමේ සාර්ථකත්වය හේතුවෙන් ලෝක බැංකුවෙන් ලබාගත් රුපියල් බිලියන 26ක ණය මුදල මාස හයක් ඇතුළත ගෙවන්න හැකියාව ලැබුණා. පසුගිය වසරේ රුපියල් බිලියන 3ක් ලිට්‍රෝ සමාගම විසින් රජයට ලබා දී තිබෙනවා.
දැන් ජනතාවට පෝලිම්වල ඉන්නේ නැතිව ගෑස් ලබාදීමට හැකියාව තිබෙනවා. ඉතා අභියෝගාත්මක කාලයක් පසු කරමින් සාර්ථකත්වයට පත්ව තිබෙන ලිට්‍රෝ සමාගමට නායකත්වය ලබාදෙන මුදිත පීරිස් මැතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට, කාර්ය මණ්ඩලයට, බෙදාහරින්නන්ට අපගේ ගෞරවණීය ස්තුතිය පුද කර සිටිනවා.
රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යහුගතකරණය කරන්න අවශ්‍යයි. රාජ්‍ය ව්‍යවසායන් රජයට බරක්. ලිට්‍රෝ සමාගමත් එදා පාඩු ලැබූ ආයතනයක්. නමුත් අද ලාභ ලබන තත්ත්වයට පත්ව තිබෙනවා. රටක් වශයෙන් අපි තව වේගයෙන් ඉදිරියට යා යුතුයි. රට කඩාවැටුණු අවස්ථාවේ ජනතාවගේ ජීවන වියදම වැඩි වුණා.
අද සියලුම සංඛ්‍යාලේඛන දෙස බැලීමේදී රටක් වශයෙන් හොඳ ආර්ථික වර්ධනයකට ලක්ව සිටිනවා. ආර්ථික අර්බුදයකට ලක්ව, අවුරුදු දෙකකට පසු ප්‍රාථමික ගිණුමේ ශේෂය අතිරික්තයක් ලෙස පරිවර්තනය වී තිබෙනවා. රුපියල වේගයෙන් ශක්තිමත් වෙමින් තිබෙනවා. රට ස්ථාවර වීම පමණක් නෙවෙයි උද්ධමනය පාලනය වෙමින් තිබෙනවා. ඒත් ඉදිරියට ද තවත් අභියෝග තිබෙනවා.
විදෙස් විනිමය තවත් වැඩි කර ගැනීමට සංචාරක වැඩසටහන් තව දියුණු කළ හැකියි. සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස අපේ වරායන් දියුණු කළ යුතුයි. නිෂ්පාදන කර්මාන්ත තුළින් අපට තවත් දියුණු විය හැකියි. විදුලි බලය පවා අපනයනය කළ හැකියි. කෘෂිකර්මාන්තය ද දියුණු කළ හැකියි. මෙවැනි අවස්ථා ගණනාවක් අපට තිබෙනවා. මේ සඳහා අවශ්‍ය මානව සම්පත ද අපට සිටිනවා.
ලිට්‍රෝ සමාගම නූතන ලෝකයට ගැළපෙන ලෙස කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. මේ විදිහට අනිත් ආයතනවලටත් කටයුතු කරන්න පුළුවන්. රජයට වැඩපිළිවෙළක් තිබුණත් මේ සඳහා සියලුම දෙනාගේ සහාය අවශ්‍යයි. රට නැවත යථා තත්ත්වයට පත් කිරීම උදෙසා අපි දැඩි තීන්දු තීරණ ගත්තා. ප්‍රශ්නවලට හැමෝම මුහුණ දුන්නා. ජනාධිපතිතුමා ප්‍රශ්නවලින් පැන නොගිය නිසා රට අද හොඳ තැනකට ඇවිත් තිබෙනවා. අඩුපාඩු තිබෙනවා නම් සාකච්ඡා කර නිවැරදි කර ගන්න අවශ්‍යයි.
මෙම අවස්ථාවට ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
https://newstube.lk/news?start=1746#sigProId5aced42207

රාජ්‍ය සේවක වැටුප වැඩිකිරීම ගැන ලබන වසරේ සලකා බලනවා - ජනපති
වැටුප් වැඩිකිරීම සඳහා විවිධ ඉල්ලීම් ලැබුණ ද ඒ පිළිබඳව 2024දී කටයුතු කිරීමට තරම් රාජ්‍ය ආදායම වර්ධනය වී නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා ඒ බව පැවසීය.
එහිදී ඔහු පැවසුවේ 2024 ආර්ථිකය වර්ධනය වන ස්වරූපය මෙන්ම රාජ්‍ය ආදායම් වැඩිවන ආකාරය පදනම් කරගෙන රාජ්‍ය අංශයේ වැටුප් පිළිබඳව යළි සලකා බැලීමක් කළ හැක්කේ ලබන වසරේදී බවයි.
"වැටුප් සංශෝධනයන් පිළිබදව විවිධ ඉල්ලීම් අපට ලැබුණ ද ඒ පිළිබඳව 2024 දී කටයුතු කිරීමට තරම් රාජ්‍ය ආදායම් වර්ධනයක් දැනට නැහැ. අතීතයේ වගකීම් විරහිත ලෙස විවිධ සහන ලබා දී අපගේ ආර්ථිකයත් ජන ජීවිතයත් බිඳ දැමුවා. එවැනි තත්ත්වයකට අපට යළිත් යන්න බැහැ. සමාජයේ සෑම කොටසකටම ආර්ථික අර්බුදයේ පීඩාව තිබෙනවා. සමාජයේ සෑම ජන කොටසක්ම ඉතා කටුක මාවතක පසුගිය වසර දෙක තිස්සේ ගමන් කොට තිබෙනවා. 2024 ආර්ථිකය වර්ධනය වන ස්වරූපය මෙන්ම රාජ්‍ය ආදායම් වැඩිවන ආකාරය පදනම් කරගෙන රාජ්‍ය අංශයේ වැටුප් පිළිබඳව යළි සලකා බැලීමක් කළ හැක්කේ ලබන වසරේ දී යී. ඒක තමයි ඇත්ත. දැන් අප ක්‍රියාත්මක කරන ආර්ථික වැඩපිළිවෙලින් පිට පැන්නොත් යළිත් අප ඇද වැටෙන්නේ මහා විනාශයකටයි. 2022 සැප්තැම්බර් මස සිට IMF වැඩසටහන යටතේ අප ක්‍රියාත්මක කරන ලද වැඩසටහන ඔස්සේ දැනට සාධනීය ප්‍රතිලාභ රැසක් අත්කරගෙන තිබෙනවා. ආර්ථික ස්ථායීකරණ හා ප්‍රතිවැටුප් වැඩිකිරීම සඳහා විවිධ ඉල්ලීම් ලැබුණ ද ඒ පිළිබඳව 2024දී කටයුතු කිරීමට තරම් රාජ්‍ය ආදායම වර්ධනය වී නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

මෛත්‍රීගේ වාරණය දීර්ඝ කෙරේ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (09) නියෝග කළේය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉදිරිපත් කළ පෙත්සම අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ යළි කැඳවනු ලැබීය.
එහිදී නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ දිසා විනිසුරුවරයා නඩුව නැවත ලබන 29 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන, ජ්‍යේෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, උප සභාපති වූ ෆයිසර් මුස්තාපා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

එදා රනිල් කියූ වැල් පාලමේ අද එල්ලෙන පිරිස් රටේ ආර්ථික ව්‍යුහය ගැන දැනුවත් ද කියලත් සැකයි !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදා කියූ වැල් පාලමේ කතාව අද සිහිපත් කරන පිරිස ඉතිහාසයේ පාලම් බිඳ දැමූවන් බවත් ඔවුන් ආර්ථිකය ගැන විවිධ කතා කියන්නේ රටේ ආර්ථික ව්‍යුහය ගැන නිසි දැනුවත් භාවයක් ඇතුවද යන්න ප්‍රශ්නයක් බවත් හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක අවධාරණය කරයි.
එදා ඉන්දීය විරෝධයක සිට රට ඇවිලවූ පාර්ශ්ව අද වන විට ඉන්දියාව තම මිතුරෙකු බව පවසමින් ප්‍රතිපත්තිය වෙනස් කරගෙන ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .
ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ ස්ථිර පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ජනාධිපතිවරයා සූදානම් වෙනවා. එයින් සියලු දෙනාට එකහා සමානව වැඩ කළ හැකි, ස්ථාවර තත්ත්වයක් ඇති වෙනවා.
ඒ වගේම තමයි රාජ්‍ය නිලධාරීන් රට වෙනුවෙන් ස්මාර්ට් සේවාවක් ලබාදීමට කටයුතු කළ යුතුයි. රට ඉදිරියට ගෙන යාමට නම් ආර්ථික නවීකරණය ද අත්‍යවශ්‍යයි. එසේම ව්‍යවසායකත්වය වර්ධනය කළ යුතුයි. ඒ සඳහා බැංකුවකින් ණයක් ලබාගැනීම ඉතා අපහසු තත්ත්වයක්ව තිබීම වෙනස් කළ යුතුයි.
මෙහිදී භාණ්ඩ මිල ගැනත් අදහසක් දැක්වීමක් අවශ්‍යයි . මගේ යෝජනාව නම් දැන් ආනයන සඳහා තිබෙන ලයිෂන් කෝටා ක්‍රමය වෙනුවට තරගකාරී ලෙස භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවස්ථාව දිය යුතුයි. එවිට අල්ලස් සහ දූෂණ නවත්වා ගැනීමට පුළුවන් .
මෙහිදී මාධ්‍යවේදියෙකු, හිටපු අමාත්‍ය රවී කරුණානායක වෙත ප්‍රශ්නයක් යොමුකරමින්, ජනාධිපතිවරයා ගෙන ඒමට නියමිත නව පනත මඟින් මූල්‍ය බලය එක් තැනකට ගැනීමේ සූදානමක් ගැන විමසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු මුදල් ඇමති රවී කරුණානායක සඳහන් කර සිටියේ මුදල් අමාත්‍යවරයා මූල්‍ය බලය කොහොමටත් පාර්ලිමේන්තුව සතු බවයි. ඒ අනුව සියලු මුදල් අනුමත කිරීම සිදුකරන්නේ පාර්ලිමේන්තුව මඟින් වන නිසා විවිධ පාර්ශ්ව සඳහන් කරන ආකාරයේ ගැටලුවක් ඇති නොවන බවද රවී කරුණානායක මහතා පැවසූ අතර තවදුරටත් මෙසේද සඳහන් කළේය.
ආයෝජකයන් පැමිණ තම ආයෝජන සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගන්නට යොමුවුවත්, නිලධාරීන් ෆයිල් මාරු කරමින් තීරණයක් ගැනීම සඳහා විශාල කාලයක් ගන්නවා. මේ පනත හරහා ඒ බාධක ද නැති වෙයි.
ඒ වගේම අපි එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් නිර්පාක්ෂික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරනවා. සියලු පාර්ශ්ව වල සහය ඒ සඳහා ගත යුතුව තිබෙනවා. කොහොම නමුත් මේ වෙලාව අපේක්ෂකයා කවුද කිය කියා යන්න අවස්ථාව නෙවෙයි. අපිට කරන්න වැඩ රැසක් තිබෙනවා. ඒ නිසා ස්ථිරව කියන්න තියෙන්නේ අපේ නිර්පාක්ෂික අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යි. සියලු පක්ෂ වලට පුළුවන් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් දායක වෙන්න.
එක පුද්ගලයෙකුට හැකි වුණා වැටී තිබු රට මේ ආකාරයට යළි ගොඩනගන්න . ඒ සාර්ථකත්වය ඉදිරියට ගෙන යාමට සහය දක්වන ලෙස අප සියලු පාර්ශ්ව වෙත ආරාධනා කරනවා.
මේ වන විට විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙනවා . මේ රට නියෝජනය කරමින් කණ්ඩායමක් ඊට අදාළ සාකච්ඡා සඳහා සහභාගි ව සිටිනවා. එහි ප්‍රතිඵල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවට දැනුම්දීමෙන් අනතුරුව අපට ණය බරතාවයකින් තොරව ඉදිරියට යාමට පුළුවන් වෙනවා.
මෙහිදී අවධානය යොමුකළ යුතු වැදගත් කාරණය වන්නේ ආර්ථිකයක් ගොඩනැගීමට අවුරුදු ගාණක් යනවා. නමුත් සතියෙන් දෙකෙන් ආර්ථිකය නැතිබංග කළ හැකි බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදා කියූ වැල් පාලමේ කතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහන සම්බන්ධ කර විවිධ කතා කියන පාර්ශ්ව මේ කතා කියන්නේ රටේ ආර්ථික ව්‍යුහය ගැන නිසි දැනුවත් භාවයක් ඇතුවද යන්න ප්‍රශ්නයක්. සැබවින්ම ඔවුන් පාලම් කඩපු පිරිසක්. එදා ඉන්දීය විරෝධයක සිට රට ඇවිලවූ මේ පාර්ශ්ව අද ඉන්දියාව හොඳ මිතුරෙක් කියන තැනට ප්‍රතිපත්තිය මාරු කරගෙන. එහෙම කරන්න වුණේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය එදා වැරදි නිසයි. ඒ අනුව අපේ ප්‍රතිපත්තිය නිවැරදි බව තහවුරුව තිබෙනවා .
පසුගිය සමයේ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව දැඩි පීඩනයකට මුහුණ දුන්නා. දැන් මේ පත්තු වෙලා තියෙන්නේ දේශපාලන බිම් බෝම්බයක්. ඔය දේවල් සිදුවුණේ දේශපාලන වාසි තකා කළ කී දේවල් නිසයි.
Page 98 of 487