V2025

පුවත්

මහ බැංකුවේ වැටුප් ප්‍රශ්නය - නිර්පාක්ෂික අපේක්ෂක ගැන : රවී කෙලින්ම කියයි !

එළැඹෙන ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වෙන අතර ඒ සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසීය.

සියලු දෙනාටම වියදම් සීමාකර මූල්‍ය පාලනයක් ඇතිකර ගන්නා ලෙස රජය අවධාරණය කර ඇති පසුබිමේ ශ්‍රී ලංකා මහ බැංකුව ඒ කිසිත් නොතකා ඔවුන්ගේ වැටුප් වැඩිකර ගැනීමේ කිසිදු සාධාරණයක් නොමැති බවද ඒ මහතා අවධාරණය කළේය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ අද (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

රට කඩාවැටීමට අදාළව නිලධාරීන් වෙතද වගකීමක් ඇති බව පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා රට ඉදිරියට ගෙනයාමට නම් නිලධාරීන් ද සැළසුම් සහගතව මීටවඩා මැදිහත්වීමක් කළ යුතු බවත් මේ මොහොතේ නම් එවැනි තත්ත්වයක් පෙන්නුම් නොකරන බවත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙසේද පැවසීය .

රට මීට මාස 22 කට පෙර තිබූ තත්ත්වය අනුව සළකා බැලීමේදී යම් ස්ථාවරත්වයකට පැමිණ තිබෙනවා. නමුත් තව සිදුකළ යුතු දේ බොහෝ තිබෙනවා . කඩාවැටුණු රට යම් කළමනාකරණයකට ලක්කර ගැනීමට එක පුද්ගලයෙන් ඉදිරිපත් වුනා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ඔහු බාරගත් වගකීම ඉටුකරන්න සමත් වූ බව කවුරුත් පිළිගත යුතුයි.

එදා රටේ වගකීම ගන්න කෙනෙක් හිටියේ නෑ . බයේ හැංගිලා හිටියේ. ඒ හැංගිලා හිටපු අය අද ඇවිත් විහිලු කතා කියනවා. ඔය විහිලු කතා අහන්න කාලය මිඩංගු කිරීමත් අපරාධයක් .

රට තිබුන තත්ත්වය වගේම මේ ගෙනයන වැඩපිළිවෙළ කඩාකප්පල් වුවහොත් පත්වෙන අවධානම ජනතාව තේරුම් ගන්න ඕන . මේ වැඩේදී ෂොර්ට් කට් නෑ .

එක එක අය විවිධ ප්‍රකාශ කරනවා. මාධ්‍ය ජාල විවිධ ලෙස ඒවා වාර්තා කරනවා. නමුත් ජනතාව පීඩාවට පත්නොවන ආකාරයට රට ගොඩගැනීම ගැනයි අවධානය යොමුකරන්න අවශ්‍ය. ඒක සියලු දෙනා එකතුව කළ යුතුයි. විහිලු කාරයන් විවිධ කතා කිව්වත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළැඹෙන ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා. එතුමා ජයග්‍රහණය කරවීමට අපි සියලු දෙනා කැපවෙනවා.

ඒ වගේම තමයි ජනතාව දැනගන්න ඕන , රටේ පසුගිය සමයේ සිදුවූ කඩා වැටීමට රාජ්‍ය නිලධාරීන් ද වගකිවයුතු බව. ඒ නිසා ඔවුන් ජනතාව ගේ පැත්තෙන් සිතා තීන්දු තීරණ ගන්න අවශ්‍යයි.

මේ රටේ ආර්ථික ප්‍රශ්නවලට මුලික ප්‍රශ්න ඇතිකරන්නෙ මහා බැංකුව කියලා මම කලින්ම කිවුවා. මුල්‍ය ආයතන කඩා වැටිලා තියෙන්නෙ ඔහුන් නිවරදිව වැඩ නොකළ නිසයි.

දැන් බලන්න , සියලු දෙනාටම රජය කියනවා මුල්‍ය පාලනයක් කරන්න, වියදම් සීමා කරගන්න කියලා. නමුත් මහා බැංකුව ඔවුන්ගේ වැටුප් වැඩි කරගන්නවා. එය ඉතාම අසාධාරණයි.

මගේ කාලෙත් ඔහොම විවිධ යෝජනා ආවා. විවිධ දේ ගැන සාකච්ඡා කළා. නමුත් අපි එදා අවස්ථාව දුන්නේ සාධාරණ යෝජනා සඳහා පමණයි .

මේ රට බංකොලොත් කියලා කිවුවේ ව්‍යාපාරිකයන් නෙමෙයි. බංකොලොත් කිව්වා මහා බැංකුවෙන් , අඩුමගානේ පාර්ලිමේන්තුවේ අවසරයවත් නොමැතිව.

ඒ වගේම තමයි , පේයි ටැක්ස් එකෙන් 35% වඩා අරන් නෑ. ඒ කියන්නේ ඒ බදු වලින් කිසිම වාසියක් වෙලා නෑ .

මම ඒකයි කියන්නේ , නිලධාරීන් මීට වඩා දෙයක් කරන්න ඕන . එදිනෙදා වැඩටික අතගගා ඉඳලා තේරුමක් නෑ . ඔවුන් මීට වඩා සැළසුම් සහගතව , කාර්‍යක්ෂම ලෙස ක්‍රියාකළ යුතුයි. නමුත් දැනට නම් එවැනි තත්ත්වයක් පේන්න නෑ .

ඒ වගේම විදුලි බිල අඩු කරන්න පුලුවන් කියලා දැන් කියනවා. එම නිසා 20% අඩු කරන්න පුලුවන්නම් වඩා හොදයි.

මුල්‍ය විනයක් ඇති නොවිමේ ප්‍රති විපාක තමයි imf එකට 16 වතාවක් අපිට යන්න වුණේ. ඒ නිසා මේ ආර්ථිකය තිබෙන තැනින් ඉදිරියට ගොඩනැගීමට
ආර්ථික නවන්න නම් දිර්ග කාලින වැඩපිලිවෙලක් අවශ්‍යයි.

මෙරට නිෂ්පාදනය වර්ධනය කළ යුතුයි. ඒ එක්කම මේ බදු ක්‍රමය සහා රුපියල පාවිම නිසා ආනයනය කරලා වෙලදාම් කිරිම ලබදායි වෙලා තියනවා.

ඩොලරය ස්ථාවර වෙලා තියෙන්නෙ. නමුත් අපි තවමත් විශාල ණය ගෙවීම් සිදුකිරීම ආරම්භ කර නෑ . ඒ නිසා
මේ කාලයේදි අපි ඩොලර් ඉතුරු කරගන්න උත්සහා කළ යුතුයි. අපේ අපනයන ඩොලර් බිලියන 20 පමන වැඩි කරගතයුතුයි...

වැඩ කරන රජයේ නිලධාරීන් මුදල් අමාත්‍යාංශය මෙක දැන ගත යුතුයි. හැබැයි දැනගෙන ඔටුවො වගේ ඉඳලා වැඩක් නෑ. ඒ සදහා වැඩ කරන්න අවශ්‍යයි .

ඒ වගේම බලන්න , ගෝඨාභය ශක්තිමත් කරන්න ගිය අය දැන් විපක්ශ නායක ශක්තිමත් කරන්න යනවා. එදා ෆීල්ඩ් මාර්ෂල් නැතුව මුකුත් කරන්න බෑ කියපු අය, දැන් එලව එලවා පහරදෙනවා ...

මේ හමුවේ රටට ඔබින වැඩපිලිවලක් සහ එකට හිතන්න පුලුවන් කන්ඩායමක් එකතු කරගන්න අවශ්‍යයි. මේ මොහොතේ එවැන්නක් සිදුවෙමින් තිබෙනවා . ඒ හමුවේ විපක්ෂය මැතිවරණයක් නෑ කියමින් පොඩි ජොලියක් ගන්නවා . නමුත් ජනාධිපතිවරණය තියෙනවා වගේම එහි නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරනවා.

හම්බන්තොට, මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක්  ලෙස ගොඩනැඟීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි !

හම්බන්තොට ප්‍රදේශයේ යටිතල පහසුකම් සඳහා දැනටමත් සිදුකර ඇති පුළුල් ආයෝජන ජාතික ආර්ථිකයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සක්‍රීයව භාවිතයට ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

හම්බන්තොට වරාය මියන්මාර වරාය සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බවත්, එය නැගෙනහිර චීනයේ චොංකිං වරාය දක්වා සහ අප්‍රිකාව දක්වා තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට හම්බන්තොට පත් කිරීමේ හැකියාවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පෙන්වා දුන්නේ බස්නාහිර, නැගෙනහිර සහ හම්බන්තොට නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාතේ, නැගෙනහිර පළාතේ මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ සංචාරක කලාප ආශ්‍රිත ක්‍රමෝපායික සංවර්ධන සැලසුම් සහ නාගරික සංවර්ධන සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනය කෙරුණු අතර ඊට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව ද විමසා බැලිණි.

මොණරාගල ප්‍රදේශයේ පවතින අමතර ඉඩම් අක්කර දහස් ගණනක් ප්‍රයෝජනයට ගනිමින් නව ආයෝජන කලාප ඇති කිරීමේ සැලසුම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.

එපමණක් නොව, නාගරික තදබදය අවම කිරීම වෙනුවෙන් අවිස්සාවේල්ල සහ ඇහැළියගොඩ ඇතුළු ප්‍රදේශ සතු උපායමාර්ගික හැකියාවන් භාවිතයට ගනිමින් නව නගර සංවර්ධනය කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නව ආයෝජන අවස්ථා ආකර්ෂණය කර ගැනීම සහ ආර්ථික වර්ධනය වේගවත් කිරීම ඉලක්ක කර ගනිමින් උතුරු කොළඹ වරාය පුළුල් කිරීම සහ කාර්මික හා තොරතුරු තාක්ෂණ උද්‍යාන ඉදිකිරීමේ සැලසුම් ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

ඉන්දියාවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය ප්‍රධාන ආයෝජන කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය. ත්‍රිකුණාමල නගර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඒකාබද්ධ කණ්ඩායමක් පත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ආර්ථික වර්ධනය සහ කලාපීය ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම උදෙසා ඉන්දු - ලංකා ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරණය කළේය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු ප්‍රමුඛ අමාත්‍යාංශ ලේකම්වරු ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග  සහ අදාළ දිස්ත්‍රික් ලේකම්වරු, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනපති නියෝගයෙන් විශේෂ පරීක්ෂණයක් !

පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ට දින 14ක් ඇතුළත රටින් පිටවිය යුතු බවට සිදු කළ දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය අද (25) විශේෂ කෙටි පණිවිඩයක් නිකුත්කර මේ බව සඳහන් කර ඇත .

අදාළ සංචාරකයින් සඳහා මීට පෙර ලබා දී ඇති වීසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කර නොමැති බවත් එහි සඳහන් කර ඇත .

මේ අතර අතර මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ට දින 14ක් ඇතුළත රටින් පිට වන ලෙස දැනුම්දීම සඳහා රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත්කරමින් පවසයි. මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන බවද එහි සඳහන් කර ඇත .

මහ බැංකු සේවක වැටුප් වැඩිවීම ගැන මහ බැංකුවේ මතය මෙන්න !

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පසුගිය පාර්ලිමේන්තු සැසිවාරවල දී මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සිදුකළ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් සිය අවධානය යොමුවූ බව නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරයි.

අදාළ නිවේදනයේ සඳහන් ආකාරයට මෙම වැටුප් වැඩි කිරීම ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව වෘත්තිය සමිති හා එළැඹ ඇති එකඟතා ගිවිසුමට අනුකූලව සිදුකර ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ලිඛිතව අවස්ථාව ඉල්ලන ලෙස පාලක මණ්ඩලය කළ දැනුම්දීම අනූව මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපතිවරයා වෙත 22 වනදා මහ බැංකු අධිපති ලිපියක් යොමු කළ බවද අදාළ නිවේදනයේ සඳහන් කර ඇත .

එම අවස්ථාව ලැබුණු පසු සුදුසු පාර්ලිමේන්තු කමිටුවක් ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කිරීමට මහ බැංකුව සූදානමින් පසුවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

1

ජනපති උපදෙසින් වසරකට පාසල් සිසුන් ලක්ෂයකට “ජනාධිපති ශිෂ්‍යත්ව” !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයක් මත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීමේ “ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත.

ඒ අනුව මෙරට 10,126ක් වූ සමස්ත පාසල් සංඛ්‍යාව ආවරණය කරමින් පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් (100,000) වෙනුවෙන් වාර්ෂිකව මෙම ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර සමස්ත වැඩසටහන සදහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 3600ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

වර්තමානයේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ අඩු සහ මධ්‍ය ආදායම්ලාභී පවුල්වල දරුවන් මුහුණ දෙන පාසල් උපකරණ සහ අභ්‍යාස පොත් සපයා ගැනීම මෙන්ම ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම වැනි කටයුතුවල දුෂ්කරතාවයන් සැලකිල්ලට ගනිමින් ඒ සඳහා යම් අස්වැසිල්ලක් සැලසීම මෙම වැඩසටහනේ අරමුණයි.

සෑම පාසලකම සිටින ඉතා අවම පහසුකම් යටතේ අධ්‍යාපනය හදාරන දක්ෂ සිසු දරුවන් තෝරාගෙන එම දරුවන් සඳහා පහසුකම් සැලසීම මගින් රටේ දරුවන්ට අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබාදීමත්, එමඟින් රටේ මානව සම්පත වැඩි දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අපේක්ෂාවයි.

ඒ අනුව මෙම ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය සහ මීට අදාළ සියලු තොරතුරු ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව වන www.facebook.com/president.fund ඔස්සේ ඉදිරි දින කිහිපයේදී දැනුම් දීමට නියමිතය.

මහ බැංකුවේ වැටුප් ප්‍රශ්නය : රාජ්‍ය මුදල් ඇමතිගේ මතය මෙන්න !

ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවීමට යෝජනා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි .

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ආන්දෝලනාත්මක කතාබහක් ඇති කළ, මහ බැංකුවේ වැටුප් වැඩි කිරීමේ සිද්ධිය පිළිබඳ කරුණු දැක්වීමක් සිදු කරමිනි.

මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට මහ බැංකුවේ වගකිවයුතු පාර්ශ්ව කැඳවා අදාළ වැටුප් වර්ධක සම්බන්ධ ව මෑත කාලීන ව ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා ගැනීම සුදුසු බව අමාත්‍යවරයාගේ අදහස වී තිබේ.

කැබිනට් තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කමිටුවක් !

නිවාස හා නාගරික සංවර්ධන අමාතංශයට අදාලව කැබිනට් අනුමැතිය හිමි වූ යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඉහළ පෙළේ කමිටුවක් පත්කර ඇත.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත ආයතන විසින් ඉදිරිපත් කරනු ලැබු කැබිනට් මණ්ඩල පත්‍රිකාවල වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

එහිදී සඳහන් කෙරුණු ආකාරයට අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර ඇති අතර අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඇතුළු තවත් නිළධාරීන් 4 දෙනෙකු එහි සෙසු සාමාජිකයින් ලෙස පත්කර ඇත.

සති දෙකකට වරක් රැස්වී කැබිනට් යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කර තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙසද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රමුඛ කමිටුවටට උපදෙස් දී තිබේ .

කැබිනට් පත්‍රිකා ප්‍රමාදයකින් තොරව ඉදිරිපත් කිරීමේ වගකීමද මෙම කමිටුවට පැවරෙන බව ඇමතිවරයා පවසයි .

ලංකාවට කෝටි 1750ක ඖෂධ : අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට ලියන : ජනපති e කොලම !

විවේචන හා ප්‍රහාර මිසක් රට හදන හැටි කවුරුත් කියන්නෙ නෑ....?

රනිල් දේශපාලනයට කිරීමට වැඩි තැනක් නොදීමේ හේතුව....?

එජාප වැඩවලදී රනිල් ට මළ පනී....?

රනිල් ට ඔප්පු මෙනියාව...?

මහ බැංකු අය තමන්ටම බෙදා ගැනීම ගැන රනිල් ගේ මතය....?

පෑනක්වත් නැති දුගී ඇමති....?

ඇමෙරිකන් මහින්ද ගේ උපායශීලී වැඩ....එරටින් රු කෝටි 40,000 ක සහාය...!

රට බංකොලොත් වූවිට වැඩිපුර උදව් කළේ ඇමෙරිකාව ද ඉන්දියාව ද...?

ඩො මිලි 500 ක කැන්ගරු ආයෝජනය...?

රනිල් ගේ පියා දකුණේ බද්දේගම නිසාදෝ ඔහු කවදත් දකුණු මුහුදු තීරයට ලව් ය. පසුගියදා එහි සංචාරක ගැටලු වලට විසදුම්දීමට ක්‍රියාකලා පමණක් නොව සංචාරකයන් හා කතා කරමින් සෙල්පි ද ගත්තේය.

රනිල් ත්‍රිමලේ ගියේ බාලදක්ෂ ජම්බරියටය. ඊට රටවල් 28 ක හා ලංකාවෙන් 11,500 ක් එක්ව තිබිණ. ඔවුන් හා කතා කිරීම හා සෙල්පි ගැනීමේ නිමක් නොවිණ. ඉන්දීය දරුවන් සමග ඡායාරූප ගැනීමේදී එම ජාතික කොඩිය හරහරට තිබීම ගැටලුවක් වූ හෙයින් එය තම අතේ රදවා ගැනීමට ද ජනපති ක්‍රියා කළේය.

ඉන්දියාව වතුකරයට දුන් නිවාස ව්‍යාපෘතියක් සූම් හරහා විවෘත කල ජනපති එහි සිව්වන අදියරට අත්සන් තැබීය. ඇමති තොණ්ඩමන් ද ඊට එක්විය.

කඩවත මහාමායා දරුවන් ජනපති ලේකම් කාර්යාලයේ ඔවුන්ගේ පාර්ලිමේන්තුව පැවැත්වීය. එදින සවස ජනපති කැබිනට් යන අතරේ එම දරුවන් ද රැගෙන ගොස් නිළධාරීන් ලවා කැබිනට් ක්‍රියාවලිය පැහැදිලි කළහ. එම පාසැලට පසුදා නිවාඩු දෙන කැබිනට් පත්‍රිකාවක් සම්මත කර එහි පිටපත් දරුවන් අතට පත්කල පසු ඔවුහු මවිත වූහ.

අගහරුවාදා ආරක්ෂක මණ්ඩලය නිමවා ජනපති කුරුණෑගල ගියේ ජයවික්‍රම පෙරේරාට අවසන් ගෞරව දක්වන්නටය.

"සති 02 කට කළිනුත් ඔබතුමා ඇවිත් පියා බලල ගියා. හැමෝම ඒ ගැන ප්‍රසංශා කරනවා" ඔහුගේ ප්‍රත්‍රයා කීවේය.

එජාප ප්‍රවර්දනයට මහලේකම් රංගෙ හා සෙසු අය කැප වෙද්දී ගම්මට්ටමේ අය ගේ කටයුතු ගැන ජනපති කණස්සල්ල පළ කළේය.

"එයාලගෙ කතාව විතරයි. වැඩ නෑ" රනිල් කීවේ මළ පැනලාය.

පරිසර රාජ්‍ය ඇමතිකම වක්කුඹුරට ලැබුණේ පොහොට්ටු තීන්දුවකිනි. ඒ ගැන පොහොට්ටු අයම පක්ෂ ප්‍රබලයන්ට දෙහි කපන පසුබිමක් තිබිණ.

දිව්රුම අත්සන් කරන්නට වක්කුඹුර ලඟ පෑනක් තිබුණේ නැත. සමන් ඒකනායකගේ පෑන ඉල්ලා අත්සන් තබන විට ජනපතිගේ නළල රැළි ගැන්වින.

"ඔයා විවාහ සහතිකේට අත්සන් කළෙත් කාගෙන් හරි පෑන ඉල්ලගෙන ද" රනිල් සිනහවක් දමා කීවද ඒ තුළ සියුම් ප්‍රහාරයක් හා ආදර්ශයක් ද තිබිණ.

අයවැයේ ඉලක්ක අතර පඩි වැඩි කිරීම , අස්වැසුම හා සින්නක්කර ඔප්පු දීම මූලිකය. ඉඩම් අමාත්‍යාංශයට නිතර කතා කර එය දිරිගැන්වීම රනිල්ගේ ප්‍රධාන කාර්යවී තිබේ. ඔප්පු ලක්ෂ 20 ක් බෙදීම ඉලක්කය වුවද මුලින් ලක්ෂ 10 ක් බෙදීම අරමුණය.එය ජනතාවට සහනයක් සේම ඡන්ද ඉලක්ක ද සැගව තිබේදැයි දන්නේ ඔහුය.

නයි මුගටින් වන ඊශ්‍රායල හා ඉරානයේ ප්‍රවාහන හා විදේශ ඇමකිවරු එකවර හමුවීම ගැන බොහෝ දෙනා ප්‍රශ්න කළ ද කපටි නරියා හිනාවුණා පමණය.
ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු පාසැලේ දීද දරුවන් ජනපති හා සෙල්පි ගැසීමට පොරකෑහ.

"ගිණිගත්ත රට නිවුවෙ ඔබතුමා බව මේ දරුවොත් දන්නවා. ඒකයි පොරකන්නේ" තරුණ සේවා සභාපති කීවේය.

රනිල් බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යාංශයට ආවිට මහබැංකුව 70% කින් පඩි වැඩිකර ගැනීම ගැන කතා විය.

"රටේම අය පීඩනයෙන් ඉන්නෙ. මහබැංකුව එයාලට වැඩිපුර බෙදා ගත්ත එක හරි නෑ" ඇමතිවරයෙකු කීවේය.

"ගිණිගත්ත රට ගොඩ ගන්න ජනාදිපතිතුමාට මහබැංකුවත් ලොකු සහායක් දුන්නා. ඒ පසුබිම නිසා එයාලට ලෝකෙ රටවල් වලින් ලොකු ඉල්ලුමක් ඇවිත්. අනික නව බැංකු පනත නිසා ආණ්ඩුවට මොකුත් කරන්න බෑ" ඇමති සියඔලාපිටිය උත්තර බැන්දේය.

කපටි නරියා නෑසූ කණින් සිටීම ගැන කවුරුත් මවිත විය. ඒ මහබැංකු නිළධාරීන් තමන්ගේ නැති ශක්තියක් ගැන පවා ඇමතිට කතා කියලාදැයි සිතූ නිසාදැයි දන්නේ නැත.

"මහබැංකුවේ අය රට බංකොළොත් වෙනකම් බලං හිටියා. කාටවත් කිව්වෙත් නෑ. එනිසා ලොකු දීමනා දෙන්න එයාල සුවිශේෂ අය වෙන්නෙ කොහොමද" කිරිඇල්ල මේ ගැන පාර්ලිමේන්තුව දෙවනත් කල හැටි කපටි නරියාටත් මතක් වුණාදැයි දන්නේ නැත.

"ඔබතුමා දේශපාලනය කරනව මදි කියල සමහරු කියනවා" රනිල්ට ගුග්ලියක් වැටින.

"හැමෝම කරන්නෙ විවේචන විතරයි. රට හදන හැටි කවුරුත් කියන්නෙ නෑ.මගේ ක්‍රමය බලය ගන්න එක නෙවෙයි රට හදන එක" රනිල් යෝද පහරක් ගැසුවේය.

රට බංකොලොත් වූවිට ලංකාවට වැඩිපුර උදව් කළේ ඇමෙරිකාව හා ඉන්දියාව ය. IMF හා ලෝක බැංකුවය. වොෂින්ටන් හි පිහිටි IMF ලෝක බැංකුව හා US ඒඩි වෙතින් මෙන්ම විශේෂයෙන් DFC හරහා ඩො බිලියනයක ආයෝජන ද ලංකාවට ලැබුණේය. තවද ඇමෙරිකානු ආයතන සමග කතා කොට ඩො මිලි 54 ක එනම් රු කෝටි 1750 ක නොමිලේ ඖෂධ යැවීම ද සිදුවිය. ගොවියාගේ හිස ගිණිගත් මොහොතේ එය නිමාදැමූ පොහොර දීමනාව දුන්නේ ද US ඒඩ් වලින් ලැබුණු මුදලිනි. එය කෝටි 40,000 ට ආසන්නය. දැන් මේවා සිදුවන්නේ දෙරට අතර විදේශ සබදතා විශේෂයෙන් ඇමෙරිකන් මහින්ද ගෙ කාලයේ සීග්‍රයෙන් වඩාත් තහවුරු කිරීමට ඔහු දරන උත්සාහයත් සමගය.

දඔුලුත් ගිහින් තලගොයිත් මරාගෙන ආපු රනිල් ඔ්‍ස්ට්‍රෙලියාවෙන් ගෙනා ඩො මිලි 500 ක ආයෝජනයට පසුගියදා අත්සන් කෙරිණ.

"සාධාරණව ලංකාවට දැනෙන වැඩක් කරනවා" තම පෞද්ගලික ජෙට් එකෙන් පැමිණ ගිවිසුම ගැසූ කැන්ගරු දේශයේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ප්‍රධානියා කීවේය.

(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට)

යාපනයේ අධි ආරක්ෂිත කලාපයේ කෝවිල් 07කට සතිපතා වන්දනා කරන්න සිවිල්වැසියන්ට අවසර

ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපයේ පිහිටි කෝවිල් 07ක් සතිපතා පූජා පවත්වා වන්දනා කිරීම සඳහා අවසරය ලබාදීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කර ඇත.

ඒ අනුව කඩ්ඩුවාන් මුත්තුමාරි අම්මාන් කෝවිල‍, වාසවිලාන් මනම්පිරායි කෝවිල‍, වාසවිලාන් ශිවම් කෝවිල‍, වාසවිලාන් නාග කෝවිල‍, පලාලි රාජ රාජේශ්වරී කෝවිල‍, පලාලි නාග තම්පිලාන් කෝවිල‍, පලාලි ශක්තිවේලි මුරුගන් කෝවිල යන කෝවිල්වල සතිපතා පූජාවන් සදහා සිවිල් ජනතාවට අවසර හිමිවිය.

මීට පෙර එම කෝවිල්වල මාසික පූජාවන් සහ විශේෂ පූජාවන් සඳහා අවසර ලබාදී තිබුණත් කෝවිල් භාරකාර මණ්ඩල සහ සිවිල් සංවිධාන විසින් සතිපතා පූජාවන් සඳහා අවසර ලබාදෙන ලෙස කරනු ලැබූ ඉල්ලීම් සලකාබැලීමෙන් අනතුරුව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරාල් වන්දන වික්‍රමසිංහගේ පූර්ණ මැදිහත්වීම මත මෙම අවසරය සිවිල්ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන ලදී.

කෙසේ වෙතත් පසුගිය සිකුරාදා (23) දින ආරම්භ වුණු සතිපතා පූජාව සඳහා සිවිල්වැසියන් 291 දෙනෙකු සහභාගීවන බවට තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත දැනුම්දී තිබුණද ඒ සඳහා සහභාගී වූයේ පුද්ගලයින් 50 දෙනෙකු පමණි. එසේම ඔවුන් වන්දනාමාන කිරීම සඳහා ගොස් තිබුණේ කඩ්ඩුවාන් මුත්තුමාරි අම්මාන් කෝවිල‍, වාසවිලාන් මනම්පිරායි කෝවිල‍, වාසවිලාන් ශිවම් කෝවිල‍ සහ වාසවිලාන් නාග කෝවිල‍ යන කෝවිල් හතරට පමණි.

මෙලෙස පූජාවන් සඳහා එක්වූ පිරිසට අවශ්‍ය සෞඛ්‍යය‍, ප්‍රවාහන‍, සනීපාරක්ෂක ඇතුළු සියලුම පහසුකම් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සපයා තිබුණු අතර මෙම අවස්ථාවට තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම්වරයාද එක්ව සිටියේය.

View the embedded image gallery online at:
https://newstube.lk/news?start=1674#sigProIdfde2efa2a8

හයිඩ් පාර්ක් පිටියේ ලංසලා හයිය පෙන්නයි !

''ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගනිමින් නව සන්ධානයේ දෙවන ජන රැළිය කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී අද (24) පස්වරු ඇරඹි අතර ඊට අතිවිශාල ජනසහභාගීත්වයක් දකින්නට ලැබිණ .

නව සන්ධානයේ මහජන රැළි මාලාවේ දෙවන රැළිය අරඹමින් පැවති මෙම කොළඹ හයිඩ් පාර්ක් රැළියට රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක, බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය, බස්නාහිර පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස්, හිටපු නගරාධිපතිවරුන්, කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන් 58 ක් එක්ව සිටීමද විශේෂත්වයකි.

මේ අතර නව සන්ධාන කොළඹ දිස්ත්‍රික් නායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, නව සන්ධාන මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා, නව සන්ධාන ගම්පහ දිස්ත්‍රික් නායක අමාත්‍ය නලින් ප්‍රනාන්දු, කොළඹ දිස්ත්‍රික් සංවිධායක සූගීෂ්වර බණ්ඩාර, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ,සහ අසංක ශ්‍රීනාත් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

ගරුතර මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, වෘත්තිය සමිති නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, නීතිඥවරුන්, වෘත්තීයවේදීන් ඇතුළු වෘත්තීය සමිති 38 කට අයත් සාමාජිකයින්, අනුබද්ධ සංවිධාන 19 ක්, ආධාරකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

විදුලි ගාස්තු අඩු කිරීම ගැන තීන්දුව ගන්න දිනය මෙන්න !

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් ව ඇති යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබන 28 වැනි දා රැස්වීමට නියමිත බව වාර්තා වෙයි .

එහි ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එහිදී විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.

විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාවලිය පසුගිය 22 වැනි දා උපයෝගිතා කොමිසම වෙත භාර දී තිබිණි.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ වැඩි කළ විදුලි ගාස්තු මෙවර සංශෝධනයේ දී අඩු කිරීමට මෙමඟින් යෝජනා කර ඇති බව ය.

වැටුප් ප්‍රශ්නය දුරදිග යයි : මහ බැංකු නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවයි !

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවීමට මුදල් කමිටු කිහිපයක් තීරණය කර තිබෙන බව වාර්තා වෙයි .

ඒ මහ බැංකු සේවකයින්ගේ වැටුප ඔවුන් විසින් සියයට 70කින් ඉහළ නංවාගෙන ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා බවද වාර්තා වෙයි .

මහ බැංකු නිලධාරීන් විසින් ඔවුන්ගේ වැටුප ඉහළ නංවාගෙන ඇති බවට පසුගියදා තොරතුරු වාර්තා වුණි.

එම සිද්ධිය රට තුළ මහත් ආන්දෝලානාත්මක තත්ත්වයක් ඇති කළ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් නොව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පවා පාර්ලිමේන්තුව තුළ පවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියහ.

චම්පික ජනපති හමුවෙයි !

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (24) පෙරවරුවේ සිදු විය.

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක ඇතුළු නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ස්ථාවර කර ගැනීමට පසුගිය දෙවසරක කාලය තුළ රජය මහත් පරිශ්‍රමයකින් කටයුතු කළ බවයි.

ප්‍රතිසංස්කරණමය තීන්දු තීරණ සමඟ රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒමට රජය මේ වන විට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනාගේ සහාය ඇතිව එය ඉදිරියට ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවද පැවසීය.

දේශපාලන බේදයකින් තොරව රට වෙනුවෙන් පොදු වැඩපිළිවෙළකට එක්වන ලෙස තමා සෑම අවස්ථාවකදීම සියලු දේශපාලන පක්ෂ වෙත සිදු කරන විවෘත ආරාධනය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ අනෙකුත් දේශපාලන පක්ෂවල ද සියලු සාධනීය යෝජනා රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට එක් කර ගැනීමට තමා පසුබට නොවන බවයි.

විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ලබන මාසයේ දී පැවැත්වෙන සාකච්ඡා සඳහා අනෙකුත් දේශපාලන පක්ෂවලටද සහභාගි වීමට අවස්ථාව සලසා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මෙහිදී කළ ඉල්ලීමට ද, ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වනු ලැබීය.

මැතිවරණ පැවැත්වීම පිළිබඳව ද මෙහිදී කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරන අතර මහ මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරමින් කරූ පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නීතිඥ ශිරාල් ලක්තිලක යන මහත්වරුන් එක්ව සිටියහ.

IMG 20240224 WA0008

බන්ධනාගාර තදබදයට අධිකරණ ඇමතිගෙන් විසඳුමක්

මේ වන විට  බන්ධනාගාර දෙපාර්තමේත්ව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් වන බන්ධනාගාර රැඳවියන් රඳවා තබගැනීමට ඇති ධාරිතාවය අවම වීම හේතුවෙන් නැගෙනහිර පළාතේ පිහිටා ඇති මාන්තිව් දූපත අක්කර සියයක පමණ වපසරියකින් යුක්ත භූමියෙහි නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පලකලේ නැගෙනහිර පළාතේ මඩකලපුව නගරයට ආසන්න මුහුදු තීරයේ පිහිටා ඇති මාන්තිව් දූපතෙහි   පසුගියදා නිරීක්ෂණ චාරිකාවකට (23) එක්වෙමිනි.

 මෙහිදී මාධ්‍ය වෙත අදහස් පලකරමින් ඔහු සඳහන් කලේ පසුගිය කොවිඩ් සමය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාරයට ගෙන කොවිඩ් වැලඳුන ගුවන් හමුදා නිළධාරීන් නිරෝධායනය කිරීමට පහසුකම් සලසාදී තිබූ අතර මාන්තිව් ගොඩබිමේ මේ වන විට ළාදුරු රෝගීන් දෙදෙනෙකු පමණක් රඳවා සිටින දූපත ඉන් එහා ගිය මාතෘභූමියට ඵලදායී වැඩක් ලබාගත හැකි ස්ථානයක් වන බවයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙ වන විට සිරකරුවන්ගේ වැඩිවීම හේතුවෙන් අධික තදබදයකට ලක්ව දැනට ඒම ගොඩබිමෙහි රඳවාසිටින ළාදුරු රෝගීන් දෙදෙනා සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර බෝවන රෝගීන් සිටින ස්ථානයක් කරා මාරුකිරීමේ හැකියාව පවතින බව සඳහන් කල අමාත්‍යවරයා පවසා සිටියේ අදාල බලධාරීන් සමග සාකච්ඡා කර මෙම ස්ථානයේ බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා මෙම නිරීක්ෂණ චාරිකාව අවස්ථාවක් කරගන්නා බවයි.

මෙම අවස්ථාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ යන අය එක්විය.

manthiu

වසර මිලියන 240ක් පැරණි සත්ත්වයකුගේ ෆොසිලයක් සොයා ගැනේ

වසර මිලියන 240ක් පමණ පැරණි මකරෙකු වැනි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන අවසන් කිරීමට විද්‍යාඥයන් සමත් ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

2003 වසරේ දී පළමුවෙන්ම මෙම ෆොසිලයේ කොටස් හමු වී ඇත්තේ, දකුණු චීනයේ පැරණි හුණු ගල් නිධියකිනි.

පසු ව විද්‍යාඥයන් විසින් සිදු කළ පර්යේෂණ අනුව මේ වන විට සම්පූර්ණ ෆොසිලය මතුකර ගෙන ඇත.

එහි දිග අඩි 16ක් එනම් මීටර් 05ක් පමණ වන බවත් එම ෆොසිලය ඉතා අතීතයේ ජීවත් වූ බවට විශ්වාස කෙරෙන ජලජ උරගයකුගේ බවත් විද්‍යාඥයෝ පවසති.

මෙම සත්ත්වයාගේ අතිශයින් දිගු බෙල්ල හේතුවෙන් එම සත්ත්වයා මකරෙකු විය හැකි බවට අනුමාන කෙරේ.

එම සත්ත්වයා "Dinocephalosaurus orientalis" නම් විද්‍යාත්මක නමින් හඳුන්වයි.

මෙම ෆොසිලය අධ්‍යයනය කළ ජාත්‍යන්තර කණ්ඩායමේ සාමාජිකයකු වූ ස්කොට්ලන්තයේ ආචාර්ය නික් ෆ්‍රේසර් පවසා ඇත්තේ, මෙම සත්ත්වයාගේ බෙල්ල, උගේ සිරුර සහ වලිගය යන දෙකෙහිම එකතුවට වඩා දිගින් යුක්ත වන බවයි.

adaderana.lk

රියදුරු බලපත්‍රයට වඩා බර කඳුළු කතාව !

2021 වසරේ බ්‍රිතාන්‍යයේ පුද්ගයෙක් තමන්ගේ රියදුරු විභාගය (Theory Test) සමත් වී තිබුණේ 157 වැනි වතාවේදියි. ඒ සඳහා ඔහු වැය කර තිබූ මුදල £3200 ක්. (පවුමක් රුපියල් 400 ක් ලෙස සැලකුවහොත් රුපියල් 1,280,000) ඒවගේම 117 වන වතාවටත් විභාගයට මුහුණ දුන් කාන්තාවක්ද එවක සිටියා. පසුගිය දෙසැම්බර් මාසයේ තවත් අයෙක් සමත්ව තිබුණේ 60 වැනි අවස්ථාවේදී.

මේ ආකාරයටම රියදුරු ප්‍රායෝගික පරීක්ෂණයත් (Practical Test) අසමත් වීම සිදුවෙනවා. එක් පුගලයෙක් 42 වතාවක් ඊට මුහුණදීම වාර්තාවක්. දැනට මුළු රටේම සමත්වීම 49% ක්. දැනට එක්සත් රාජධාණියේ 40% කට වැඩි පිරිසක් ප්‍රායෝගික පරීක්ෂණය සමත් වන්නේ අවස්ථා 6 කට හෝ ඊට වැඩි ගානකට මුහුණ දීමෙන් අනතුරුවයි. මෙය කාලය සහ මුදල් අධික ලෙස වැයවන තත්ත්වයක්.

මේ කරුණු ටික මෙහෙම ලියන්න හිතුනේ කොළඹ විශ්ව විද්‍යාලයේ තරුණ කථිකාචාර්යවරියක් රිය අනතුරකට ලක්ව මිය යාමත් සමග පළවන අදහස් දැකීමත් සමගයි. ඇය යම් සමාජ මට්ටමක සිටි යෞවනියක් නිසා වැඩි කතා බහක් ඇති වීම සංකේතාත්මකව හෝ ඉතා හොඳ දෙයක්. එහෙත් දරුවන්, පවුල් අසරණ කරමින් දිනපතා මෙලෙස මහමග ජීවිත රැසක් අහිමි වෙනවා.

මේ තත්ත්වයන් යම් මට්ටමකට හෝ සමහන් කර ගැනීමට මෙතෙක් ප්‍රමාණවත් සාධනීය පියවර ගෙන ඇති ආකාරයක් දක්නට නැහැ.

මගේ නම් අදහස මේ වැඩේ රියදුරු බලපත්‍රය ලබාදීමේ සිට ආරම්භ විය යුතු බවයි. බ්‍රිතාන්‍ය, යුරෝපය හෝ වෙනත් දියුණු රටවල් මීට උදාහරණ. මහමග කෝටි ගණන් වාහන තිබුණද අනතුරු අවම කරගන්නා ශික්ෂණයක් ඇති රියදුරන් බිහිවී ඇත්තේ එකී මූලාරම්භය නිසයි.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මීට මාස කිහිපයකට පෙරත් රියදුරු වැරදි සම්බන්ධ දඬුවම් සහ දඩ සංශෝධනයක් එළිදක්වන අයුරු දුටුවා. මූලයට පිළියම් නොදී වැරදි කරන තෙක් සිට දඬුවම් කිරීමෙන් පමණක් ආරක්ෂිත රිය පැදවීමට පෙළඹවීම පහසු නැහැ. ඒත් හැමදාම මඩේ දාමින් සෝදන බවක් පමණයි පේන්න තිබෙන්නේ.

ලංකාවේ බහුතරයක් රිය පදවන්නේ හදිස්සිය සමගයි. අනෙකා කෙරෙහි ඇති ආකල්පය ඇත්තේ ඉතා නරක තැනක. බංග්ලාදේශයේ හෝ අප්‍රිකානු නොදියුණු රටකට පමණයි ලංකාවට දෙවැනි වන්නේ. පුද්ගලිකව ගතහොත් මා ලංකාවේ රියදුරු බලපත්‍රය ලබා ගත්තේ විනාඩි 30 බැගින් පුහුණුවීම් දෙකකට පමණක් සහභාගි වීමෙන්. අද මම පුදුමයට පත් වෙනවා.

ලංකාවේ සංවර්ධනය ගැන කතා කරන ගොඩක් නායකයන් මේ වගේ අත්‍යාවශ්‍ය ක්ෂේත්‍රයක මිනිස්සුන් හික්මවීමේ අවශ්‍යතාව හඳුනා ගෙන නැහැ. නිසි පුහුණුවකින් අනතුරුව රියදුරු බලපත්‍රයක් ලබා දී විනයගරුක රියදුරෙකු බිහිකර ගැනීමට තරම් අප අසමත්ද? නැත්නම් ඕනෑකමක් නැති කමද?

සාමාන්‍යයෙන් නවකයෙක් බ්‍රිතාන්‍යයේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමේදී උපදේශකයෙක් (Instructor) යටතේ අඩුම වශයෙන් පැය 45 ක පුහුණුව ලැබිය යුතු බව රජයේ (DVSA - Driving Standards Agency) යෝජනාවයි. ඊට අමතරව පුද්ගලිකව පැය 20 ක්වත් පුහුණුවීම වැදගත් බව DVSA කියනවා. මේ වන විට පැයකට £35-45 දක්වා අයකෙරෙනවා. මෙකී රටවල රියදුරු බලපත්‍රය සිය හැඳුනුම්පත හා විදෙස් ගමන් බලපත්‍රය තරම්ම වටින දෙයක්.

ලංකාවේ රිය ධාවනය කිරීමේ අවදානම ගැන කීමට උදාහරණයක් දැක්වීමට කැමැත්තෙමි. ලංකාවේ සිටියදී රිය පදවා මේ වනවිට වෙනත් රටක සිටින බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි. "අම්මෝ ලංකාවේ ගිහින් වාහන එලවන එක තමයි ප්‍රශ්නේ". එදා තමන්ට නොදැනුනු භය වගේම වගකීමත් විදෙස් රටක අත්දැකීම් සමග දැන් අපට/ඔවුන්ට තේරෙනවා. ජීවිතවල වටිනාකම දැනෙනවා.

මේ තත්ත්වය හරියට තේරුම් ගතහොත් ආකාලයේ මහමග මිය යන ජීවිත බේරා ගන්න පුළුවන්. මගේ නම් යෝජනාව රියදුරු බලපත්‍රය දෙන තැනින්ම මෙය පටන් ගත යුතු බවයි.

|මහින්ද රුබසිංහ ගේ ෆේස්බුක් ගිනුමෙනි

FB IMG 1708762041558

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම ලබා දීමට එරෙහිව නීතිමය පියවර

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක  අදාළ විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එක් එක් නිශ්චිත නිර්නායක පදනම් කරගනිමින් විධිමත් ක්‍රමවේදයකට අනුව තෝරාගනු ලබන සුවිශේෂී ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන ජාතික සම්මාන හා ගෞරව නාම සඳහා යොදාගන්නා නාමයන් භාවිතා කරමින් විවිධ පුද්ගලයන් සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් සම්මාන, සන්නස් පත්‍ර හා සහතික ලබා දෙන අවස්ථා ජනාධිපති කාර්යාලයේ නිරීක්ෂණයට ලක්ව ඇත.

 මෙවැනි ආකාරයේ අසංවිධිත සම්මාන ප්‍රදානයන් මගින් මේ දක්වා ගෞරව ප්‍රණාමයට පත් සුවිශේෂී ශ්‍රි ලාංකිකයන් හට දැඩි අසාධාරණයක් හා අගෞරවයක් සිදුවන බව පෙන්වා දෙන ජනාධිපති ලේකම්වරයා ජාතික සම්මාන සඳහා යොදා ගනු ලබන එවැනි ගෞරව නාමයන් වෙනත් පාර්ශ්වයන් විසින් වැරදි ආකාරයට භාවිතා කිරීම වහා නතර කළයුතු අතර, එවැනි ක්‍රියාවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළයතු බවද අවධාරණය කරයි.

1986 වර්ෂයේදී එවකට ජනාධිපතිවරයා විසින් අංක 387/3 හා 1986.02.03 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ජාතික සම්මාන හඳුන්වා දී ඇත. ඉන්පසුව, අංක 627/8 හා 1990-09-12 දිනැති රජයේ අති විශේෂ ගැසට් පත්‍රය, අංක 863/4 හා 1995-03-20 දිනැති රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය සහ අංක 1535/12 හා 2008-02-08 දිනැති රජයේ අතිවිශේෂ ගැසට් පත්‍ර මඟින් ජාතික සම්මාන පිරිනැමීමේ පටිපාටිය සංශෝධනය කර තිබේ.

තවද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් 2023-02-18 දිනැතිව ඉදිරිපත් කරන ලද අංක PS/NC/ACD/95/2023 දරන අමාත්‍ය මණ්ඩල සටහන මඟින් “විශිෂ්ට කෞශල්‍යාභිමානී” හා “විශිෂ්ට ජනරජ අභිමානී” යන නව සම්මාන ද්විත්වය හඳුන්වා දීමට කටයුතු කෙරිණි.

 පළාත් ආණ්ඩුකාරවරුන් සහ කැබිනට් අමාත්‍යවරුන් මඟින් ජාතික සම්මාන සඳහා නාම යෝජනා ලබා ගැනීම සිදු කෙරෙන අතර ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති ශ්‍රී ලංකාව වෙනුවෙන් අතිවිශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකිකයන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයන්ට ජාතික සම්මාන පිරිනැමීම සඳහා තේරීම් කමිටුවේ නිර්දේශ මත, ජාතික සම්මාන ලබා ගැනීමට අපේක්ෂා කරන, සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයන්ගෙන් අයදුම්පත් කැඳවිම සඳහා නව ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබේ.

මේ අනුව ජනාධිපතිවරයාගේ එකඟතාවය අනුව ජනාධිපති ලේකම් විසින් පත්කරනු ලබන විද්වත් සාමාජිකයන්ගෙන් සමන්විත තේරීම් කමිටුවක් මඟින් සම්මානලාභීන් තේරාගැනීම සිදු කරනු ලබයි.

තෝරාගන්නා ලද එම සම්මානලාභීන්ගේ නාමයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත්කරනු ලබන අතර, පසුව නියම කර ගන්නා ලද දිනයකදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සම්මාන ප්‍රදානය කරනු ලැබේ.

 

නිදහස් අනුස්මරණ දිනය, ජාතික වීර දිනය ඇතුළු සම්මාන ප්‍රදානයට සුදුසු දිනයන් ජනාධිපතිවරයාට තීරණය කළ හැකි අතර ශ්‍රී ලාංකිකයන් නොවන පුද්ගලයන් සඳහා ජාතික සම්මාන ප්‍රදානය ද සිදු කෙරේ.

ඇමරිකා නියෝජ්‍ය රාජ්‍ය ලේකම් හා ජනපති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා  අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (23) පෙරවරුවේදී සිදු විය.

ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට රජය ප්‍රමුඛ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ගනු ලබන පියවර මෙහිදී නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා ගේ ඇගයීමට ලක් වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාවේ මේ වන විට සිදු කෙරෙන ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙහි ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා දැනුවත් කළේය.

හුති කැරලිකරුවන් සම්බන්ධයෙන් සෞදි අරාබියේ ස්ථාවරත්වයට සහාය පළ කරමින් ඉන්දීය සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් කැපවී සිටින බව මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Page 94 of 459