V2025

පුවත්

IMF සාකච්ඡාව ප්‍රතිකේෂ්ප කර : සජිත් ආයෙත් පැන යයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් එහි නියෝජිතයින් සමඟ පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන්ට මුහුණට මුහුණ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා විසින් කැඳවු සාකච්ඡාව සඳහා සහභාගී නොවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇති බව වාර්තා වෙයි .

විපක්ෂ නායකයා ගේ මේ තීරණය ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී සජ් ජාතික සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා අනාවරණය කර සිටියේ ය.

මේ සම්බන්ධයෙන් පක්ෂයේ මතය නිල වශයෙන් දැනුම් දෙනු ඇති බව ද ඔහු පැවසිය.

මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ආකාරයට විපක්ෂ නායක ගේ අදහස වී ඇත්තේ ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහාය පළ කරමින් ඔවුන් කැඳවන සාකච්ඡාවට සහභාගී වීමේ අපේක්ෂාවක් සිය පක්ෂයට නොමැති බව ය.

කෙසේ වුවත් මේ සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සූදානම් කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේදී මුදල් කාරක සභාවේ සභාපති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ය.

මෙහිදී විපක්ෂ නායක සජිත්‍ට තමන් සමග ඕනෑම නියෝජිතයකුද ඒ අවස්ථාව සඳහා එක්කර ගැනීමට අවස්ථාව සලසාදී තිබිණ .

මේ සම්බන්ධයෙන් වන දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ සජිත්ගේ නවතම ආර්ථික උපදේශක වන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ උපදේශක වූ නාලක ගොඩහේවා බැවින් , සජබ තිබෙන අභ්‍යන්තර අර්බුදය එළියට ඒම වලක්වා ගැනීම සඳහා මෙම අවස්ථාව වර්ජනය කිරීමට තීන්දු කර ඇති බවයි.

විපක්ෂ නායක සජිත් කිසිසේත් අභියෝග සඳහා මුහුණ නොදෙන බව මේ හරහා යළිත් තහවුරු කර ඇති බව දේශපාලන විචාරකයන් ගේ ද මතය වී තිබේ.

එසේම ජවිපෙ ප්‍රමුඛ මාලිමාව පක්ෂයේ නායක අනුර දිසානායක මන්ත්‍රීවරයා ඇතුළු විපක්ෂයේ කිහිපදෙනෙකු ට මේ සඳහා සහභාගී වීමට අවස්ථාව සලසාදී තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාව යාපනයේ අක්කර 100කට වැඩි භූමි ප්‍රදේශයක් සාමාන්‍යය ජනතාවට නිදහස් කරයි

යුද සමයේ පවරාගත් තවත් අක්කර 100කට වැඩි යාපනය අර්ධද්වීපයේ ඉඩම් නීත්‍යානුකූල හිමිකරුවන් වෙත නැවත ලබා දීම 2024 මාර්තු 10 වන දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යිලයේ දී සිදුකෙරිණ. යුද්ධ හමුදාව විසින් භාවිතා කරන ලද ඉඩම් සාමාන්‍ය ජනතාවගේ භාවිතාව සදහා නිදහස් කළ 24 වැනි අවස්ථාව මෙයයි.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් කටටි පහක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉඩම් කට්ටි හතක් ඇතුළුව අක්කර 109.56ක් ඒවාහි මුල් අයිතිකරුවන්හට ආපසු ලබා දෙන ලදී.

මේවන විට යාපනයේ සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඉඩම්වලින් ආරක්‍ෂාව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය යැයි සැලකෙන 0.5% ඉතාකුඩා ඉඩම් ප්‍රමානයක් පමනක් හමුදාව විසින් භාවිතා කරනු ලබයි.

යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ මගපෙන්වීම සහ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ ගේ පූර්ණ් අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි.

මෙම අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක ‍, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික්ක දෙකෙහිම දිසාපතිවරු මෙන්ම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

View the embedded image gallery online at:
https://newstube.lk/news?start=1584#sigProId48501f49d5

රම්‍යා වනිගසේකරට ජනපති අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී හා ගුවන් විදුලි නිවේදිකා රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවසන් ගෞරව දැක්වීය.

දේහය තැන්පත් කර ඇති බොරැල්ල පෞද්ගලික මල් ශාලාව වෙත අද (10) දහවල් පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් සහ සහෘද කලාකරුවන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

භාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී හා ගුවන් විදුලි නිවේදිකා රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10)පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

පවතින කාලගුණය හේතුවෙන් අඛණ්ඩ ජල සැපයුමට බාධා

මේ දිනවල  පවතින වියළි කාලගුණය හමුවේ දෛනික ජල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන්  අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇතැයි, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංවර්ධන, අනෝජා කලුආරච්චි සඳහන් කළේ , ඇතැම් ප්‍රදේශෙවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබා දීම හෝ සීමා කිරීමට සිදුව ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 1939  දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබේ.

සා.පෙළ/ උ.පෙළ ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සැලසුම්

11 වසරේදී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේදී 10 වසරේදී පැවැත්වීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්  පවසයි.

දැනට 13 වසරේදී පැවැත්වෙන උසස් පෙළ විභාගයද ඉදිරියේදී 12 වසරේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය. 

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ ය.

එසේම කුඩා දරුවන් සඳහා පළමු ශ්‍රේණියට පෙර “පූර්ව ශ්‍රේණිය” ආරම්භ කිරීමටද සූදානමින් සිටින බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්  සඳහන් කළේ ය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව 120 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසුවේය.

 

IMF සමඟ කෙලින් කතාවට : ජනපති අනුරට සජිත්ට දින දෙයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත අවස්ථාව සලසා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ.

ඒ අනුව එළැඹෙන සඳුදා (11) ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, දෙමළ ජාතික සන්ධානයේ නායක සිවඥානම් ශ්‍රීධරන් යන මහත්වරුන්ට ආරාධනා කර තිබෙන අතර ඔවුන් සමඟ කැමති ඕනෑම අයෙකුට ද සහභාගිවීමට අවස්ථාව සලසා දී ඇත.

තවද පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාට ද මේ සඳහා සහභාගීවන ලෙස දැනුම් දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩපිළිවෙළෙහි යෝජනා සම්බන්ධව එහි නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව සළසා දෙන ලෙස පසුගියදා පාර්ලිමේන්තුවේ දී හර්ෂ ද සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතින් ඉල්ලීමක් කර තිබු අතර, රට යළි ගොඩනැගීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙනයා යුතු බවත්, ඒ සඳහා සියලු පක්ෂවල සාමුහික වගවීම අවශ්‍ය බවත් ජනාධිපතිවරයාගේ ද ස්ථාවරයයි.

මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග යන මහත්වරුන්ද සහභාගී වීමට නියමිතය.

කාන්තා දිනයට ජනපතිගෙන් කඩනොවන පොරොන්දුවක් !

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් කෙටුම්පත් දෙක ලබන මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනතට අනුව වෙනම කොමිෂන් සභාවක් ස්ථාපිත කිරිමට අපේක්ෂා කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය හඳුන්වා දීම මඟින් කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම එහි අරමුණ බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (08) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය අමතමිනි.

කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත ඊයේ(07) දිනයේදී ගැසට් කළ අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත එළැඹෙන සතියේ දී ගැසට් කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මීට අමතරව ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් අයවැයකරණය ද ඉදිරියේදී ගෙන ඒමට කටයුතු කරන බවත්, එය ආසියාවේ පළමු වරට සිදු කෙරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

දිවයින පුරා සෑම පොලිස් ස්ථානයකම කාන්තා හා ළමා කටයුතු ඒකකයක් ස්ථාපිත කරන බවත් ඒ සඳහා පොලිස් නිලධාරීන් පුහුණු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසීය

මෙතෙක් අපේ රටේ කාන්තා දින සැමරුම් උත්සවවලදී සිදු වූයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කතා කර විසිර යාම පමණක් වුවත්, කාන්තා අයිතිවාසිකම් කතාවට පමණක් සීමා නොකළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය නීති සහ අණ පනත් ගෙන ඒමේ කටයුතු රජය මේ වන විට සිදු කරමින් සිටින බවද කියා සිටියේය.

මෙම සියළු කටයුතු පිළිබඳ ජාතික වගකීමක් ලෙස සළකා රට පුරා කාන්තාවන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස මෙහිදී ඉල්ලා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ නොමැතිව මෙම නීති සහ අණ පනත් ගෙන ඒම පමණක් ප්‍රමාණවත් නොවන බව ද පැවසීය.

2024 ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය “ඇයට ශක්තිය- දැයට ප්‍රගතිය” තේමාව යටතේ අභිමානවත්ව පැවැත්වුණු අතර දිවයින පුරා කාන්තා සංවිධාන නියෝජනය කරමින් කාන්තාවන් විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථානයන්ට අදාල මාර්ගෝපදේශය සහ කාන්තා කාර්ය සංවිධාන සහ කාන්තා බල මණඩල ව්‍යවස්ථාව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ප්‍රදානය කළාය.

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන වෙත ත්‍රිරෝද රථ, පරිගණක හා මුද්‍රණ යන්ත්‍ර සංකේතාත්මකව පිරිණැමීම ද මෙහිදී සිදු කෙරිණි.

තවද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ පාඨමාලා සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමක් ද සිදු විය.

නියාමනය නොකල අංශවලින් ලබා ගන්නා ලද ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් නිදහස් වීම වෙනුවෙන් ලබා දෙන “ලිය සවිය” ණය වැඩසටහන යටතේ ණය ලබා දීම සංකේතාත්මකව ආරම්භ කිරීම ද මෙහිදී සිදු කෙරිණ.

එසේම කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ බෝල වලාන යහපත් එඬේරා කන්‍යාරාමය මඟින් පවත්වන ලද හෙද සත්කාර සේවා වෘත්තීය පුහුණු පාඨමාලාව NVQ 3 මට්ටම සාර්ථකව හදාරනු ලැබූ තරුණියන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු විය.

ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සිදු කළ සම්පුර්ණ කතාව මෙසේය.

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ දී අපේ රටේ සිදු වන්නේ උත්සවයක් පවත්වා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කථා කර නැවත නිවසට යාමයි. වාර්ෂිකව එය සිදු වෙනවා. නමුත් මෙවර එහි වෙනසක් සිදුව තිබෙනවා. මෙම කාන්තා හඬ නැඟීම ක්‍රියාත්මක කිරිමට අප තීරණය කර තිබෙනවා.

පසුගිය වසරේ මම පාර්ලිමේන්තුවේ කාන්තා සංසදය මුණ ගැසුණු අවස්ථාවේ කාන්තාවන් වෙනුවෙන් අවශ්‍ය පනත් සකස් කර දෙන ලෙස දන්වා සිටියා. ඒ අතරින් වැදගත්කම පනත් දෙකක් දැන් සකස් කර තිබෙනවා. ඉන් එකක් නම් කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතයි. ඒ සඳහා වෙනම කොමිෂන් සභාවක් පත් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය හඳුන්වා දීම මඟින් කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම එහි අරමුණයි. ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ දී එය විෂයභාර අමාත්‍යවරයා විසින් මෙම කොමිසමට භාර දීම සිදු වෙනවා.

මෙම කෙටුම්පත ඊයේ අප ගැසට් මඟින් නිවේදනය කළා. ඒ වගේම එළැඹෙන සතියේ තවත් කෙටුම්පතක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරනවා. ඒ තමයි ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත.

මේ මඟින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන අතර සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික සහ තාක්ෂණික ප්‍රතිපත්ති සකස් කිරිමේ දී ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාවය පිළිබඳ මූලධර්ම ස්ථාපිත කිරීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සිදු වෙනවා.

ඒ වගේම විෂයභාර අමාත්‍යවරයාගේ බලතල සමඟ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ සභාවක් පිහිටුවීමට ද කටයුතු කෙරෙනවා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ තැනැත්තන් පිළිබඳ කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන අතර, එම ආයතනය මඟින් අමාත්‍යාංශ මට්ටමින් ඉදිරිපත් වන ප්‍රශ්න විසදා ගැනීමට ද හැකියාව ලැබෙනවා.

මෙම සියලු කටයුතු ක්‍රියාත්මක කළ විට කාන්තාවන් වෙනුවෙන් ශක්තිමත් ආයතන දෙකක් ඇති වෙනවා. දැන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් කතාවට පමණක් සීමා කළ යුතු නැහැ. ඒ සඳහා අවශ්‍ය නීති ගෙන ආ යුතුයි. වසර ගණනාවක් අප එය සිදු කළේ නැහැ. අද අපි එම වැඩකටයුතු කරගෙන යනවා.

මේ පිළිබඳ අනෙක් කණ්ඩායම් සමඟ සාකච්ඡා කර තවත් සංශෝධන අවශ්‍ය නම් දැනුම් දීමට මම පාර්ලිමේන්තවේ කාන්තා සංසදයට භාර දෙනවා. අප්‍රේල් අවුරුදු සමයෙන් පසුව අපට එම සංශෝධන දැනුම් දිය යුතුයි. පසුව මැයි මාසයේදී මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙතනින් මෙම කටයුතු අවසන් වන්නේ නැහැ. අප හඳුන්වාදුන් මෙම පනත් දෙක අපේ කලාපය තුළ හඳුන්වාදී තිබෙන්නේ පළමු වරටයි. දකුණු ආසියාවේ වෙනත් රටක මෙවන් පනත් ක්‍රියාත්මක වනු ඇතැයි මම සිතන්නේ නැහැ.

ඉන් පසුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගන්නා අයවැයකරණය ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. දැනටමත් එය සකස් කර තිබෙන අතර භාණ්ඩාගාර ලේකම්වරයා සමඟ සාකච්ඡා කර එම කෙටුම්පතත් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙය ආසියාව තුළ සිදුවන්නේ පළමු වරටයි.මෙය දැනට සිදු කර ඇත්තේ කැනඩාව ඇතුළු රටවල් දෙක තුනක පමණයි.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම පිළිබඳ මම විපක්ෂනායකවරයාව සිටියදී වාර්තාවක් සකස් කළා. අප 2018 වසරේදී මෙය ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබුණද එය කිරීමට නොහැකි වුණා. ඉන්පසුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සමග එම කටයුතු ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

පාර්ලිමේන්තුවේ කාන්තා සංසදය කැඳවා මේ පිළිබඳවත් සාකච්ඡා කර තවත් සංශෝධන අවශ්‍ය නම් ඒ සමඟ මෙම නීතිය ගෙන ඒමටත් අප පියවර ගන්නවා. මේ තමයි අප කාන්තාවන් වෙනුවෙන් ගෙන ඇති මුලික පියවර.මීට අමතරව තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශය ඉදිරිපත් කිරිමට අද කටයුතු කර තිබෙනවා.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

ලෝකය මත වැදගත්ම භූමිකාව මවන්නේ කාන්තාවයි. ඇයට එක් දිනකට පමණක් සීමා නොවී වසරේ දින 365 තුළදීම ගෞරවය මෙන්ම ශක්තිය ලබා දිය යුතුයි. කාන්තාවට දෙපයින් නැඟී සිටීමට ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි.

අද රටේ විශ්වවිද්‍යාවල අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ කාන්තාවන් වුවත් විශ්වවිද්‍යාල අධ්‍යාපය අවසන් කර විවාහ වීම සහ දරුවන් ලැබීමෙන් අනතුරුව ඔවුන්ගේ ගමන නතර වෙනවා. දරුවන් බිහි කරමින් මව්වරුන් බවට පත් වීම මිල කළ නොහැකි වටිනාකමක්. නමුත් ඔවුන්ගේ ගමන එතැනින් නතර විය යුතු නැහැ.

අපේ රටට වැඩිම විදේශ විනිමය උපයා දෙන්නේ කාන්තාවන් බව ආඩම්බරයෙන් සිහිපත් කළ යුතුයි. ඒ වගේම කෘෂි කර්මාන්තයේත්, ඇඟලුම් කර්මාන්තයේත් වැඩිම දායකත්වය ලබා දෙන්නේ කාන්තාවන්. මේ රටේ 52%ක් කාන්තාවන් වුවත් ඔවුන්ගේ දේශපාලන දායකත්වය 6%ක් පමණයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ කාන්තාවන් 13 දෙනකු පමණයි. අනාගතයේදී මේ තත්ත්වය වැඩි කළ යුතුයි. රටක දේශපාලනය වගේම ආර්ථිකයත් වෙනස් කරමින් අනාගතය විසඳන්න කාන්තාවට හැකියාව තිබෙනවා.

මේ තත්ත්වය වටහා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කාන්තාව වෙනුවෙන් වැදගත් තීරණ කිහිපයක්ම ගෙන තිබෙනවා. ඒ අනුව මෙවර කාන්තා දිනයේදී කාන්තා ඔබට නීතියේ බලයත් රැකවරණයත් හිමි වෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය අනූෂා එදිරිසිංහ මහත්මිය විසින් මෙහි ආරාධිත දේශනය සිදු කරනු ලැබීය.

අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත්, පවිත්‍රා වන්නිආරච්චි, මනූෂ නානායක්කාර , රාජ්‍ය අමාත්‍යවරුන් වන අනූප පස්කුවල්, සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, කොළඹ හිටපු පුරපතිනි, පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශිකා රෝසි සේනානායක යන මහත්ම මහත්මීන්, විදෙස් තානාපතිවරුන්, මහ කොමසාරිස් වරු, රාජ්‍ය හා රාජ්‍ය නොවන දෙස් විදෙස් සංවිධානවල නියෝජිතයන්, දිවයින පුරා කාන්තා නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව ට එක්ව සිටියහ.

WhatsApp Image 2024 03 08 at 16.13.04

ලංකාවේ කැපවීම IMF ඇගයීමට !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන ක්‍රියාත්මක කිරිමේ දී ශ්‍රී ලංකා රජය දක්වන දැඩි කැපවීම අගය කරන බවත්, එවැනි කැපකිරීම් ධනාත්මක වෙනසක් ඇති කිරීමට උපකාරි වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) දහවල් මුදල් අමාත්‍යාංශයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී පැවති සාකච්ඡාවේදීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ශ්‍රී ලංකාවේ වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක වන බව පෙන්නුම් කරන බවත්, එහි යහපත් ප්‍රතිඵල දක්නට ලැබෙන බවත් බෘවර් මහතා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වනු දැකීම සතුටට කරුණක් බව සඳහන් කළ ඒ මහතා ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන කැපවීම ද ප්‍රශංසාවට ලක් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙරට බිඳ වැටුණු ආර්ථිකය නැවත ගොඩනැඟීම වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යාමට කැපවී සිටින බවයි.

ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මෙලෙස පිළිගැනීමට ලක්වීම මගින් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින ආර්ථික වර්ධනය උදා කර ගැනීමේ හවුල් දැක්ම අවධාරණය කෙරෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන් මෙහිදී ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ අනාගත දැක්ම කෙරෙහි ද සාකච්ඡාවට ලක් වූ අතර මෙරට ආර්ථික ක්‍රියාකාරිත්වයේ විවිධ අංශ පිළිබඳව ද විමසා බැලිනි.

ආර්ථික අභියෝගයන්ට මුහුණ දීමේදී සහ තිරසර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමේ දී දෙපාර්ශ්වය අතර අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරණය කෙරණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, කාර්ය මන්ඩල ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ශිරන්ත හේරත් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී කත්‍යා ස්විරිඩ්සෙන්කා (Katya Svirydzenka), නේවාසික නියෝජිත ආචාර්ය සරවත් ජහාන් ( Dr. Sarwat Jahan), සොෆියා සැංග් (Sophia Zhang) , සන්දේශ් ධුන්ගනා (Sandesh Dhungana), හොදා සෙලිම් (Hoda Selim), දිමිත්‍රි රොස්කොව් (Dmitriy Rozhkov), මාර්ක් ඇඩම්ස් ( Mark Adams), හුයි මියෝ ( Hui Miao), සැම්සන් ක්වාලිංගන (Samson Kwalingana) සහ මානවී අබේවික්‍රම යන මහත්ම මහත්මීන්ගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සමන්විත විය.

රනිල් -රවී කජීමාවත්ත නිවාස ප්‍රශ්නය විසඳයි !

කොළඹ කජිමාවත්තේ පදිංචි, නිවාස අහිමි සියලු පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නිවාස ලබාදීමේ රජයේ ප්‍රතිපත්ති හා නිර්ණායකයන්ට අනුකූලව එම කටයුතු සිදු කරන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ කජීමා වත්ත නිවාස ගැටලුව පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ පවතින ඌන උපයෝජිත රජය සතු ගොඩනැගිලි සහ ඉඩම් පිළිබඳව සොයා බලා එම ඉඩම් වාණිජ කටයුතු සඳහා සංවර්ධනය කර ලබාදීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එම වැඩපිළිවෙළ රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් පෞද්ගලික ආයෝජන මගින් ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම කොළඹ නගර සීමාව ආශ්‍රිතව දැනට ක්‍රියාත්මක වන රජයේ නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා රජය මගින් තවදුරටත් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පැහැදිළි කළ අතර පවතින ආර්ථික තත්ත්වය හමුවේ එය දුෂ්කර වුවද ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ද, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි, කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානී ජයවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු අදාළ ආයතනවල නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
https://newstube.lk/news?start=1584#sigProId310188b725

ජනපති දුන් පොරොන්දුවක් ඉටු කරයි !

මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයට සියවසක් සපිරීම නිමිත්තෙන් පසුගිය වසරේ සැප්තැම්බර් 06 වනදා විද්‍යාලයේ පැවති උත්සවයට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී දරුවන්ට ලබා දුන් පොරොන්දුව අනුව විද්‍යාලයේ අංග සම්පුර්ණ ශ්‍රවණාගාරයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන ගේ සහභාගිත්වයෙන් පසුගියදා සිදු විය.

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මෙම ශ්‍රවණාගාරය ඉදිකිරීම සඳහා කඩිනමින් ප්‍රතිපාදන වෙන් කෙරුණු අතර එකවර සිසුන් 5000කට පමණ එක්රැස් විය හැකි සියලු පහසුකම්වලින් සමන්විතව මෙම නව ශ්‍රවණාගාරය ඉදි කිරීමට නියමිතය.

නව ශ්‍රවණාගාරයට මුල්ගල් තැබීම වෙනුවෙන් විද්‍යාලයේ පැවති උත්සවයේ දි අදහස් දැක්වූ රුවන් විජේවර්ධන සඳහන් කළේ නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගනිමින් ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් කඩිනමින් නිමකර, සිසු අයිතියට පවරා දීමට කටයුතු කරන බවයි.

රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ එදා සිටම විශාල වැඩකොටසක් ඉටු කළ බව මෙහිදී පෙන්වා දුන් රුවන් විජේවර්ධන මහතා ජනාධිපතිතුමා බියගම ජනතාවට ලබාදුන් පොරොන්දුවක් අනුව එම ප්‍රදේශයේ නව රෝහලක් ඉදිකිරීමේ කටයුතු ද ලබන මාසයේදී ආරම්භ කරන බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රුවන් විජේවර්ධන මෙසේ ද පැවසීය.

මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගි වීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පසුගිය වසරේ මෙම විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට සහභාගි වූ අවස්ථාවේ මෙම විද්‍යාලයට ශ්‍රවණාගාරයක් ලබා දෙන බවට පොරොන්දුවක් ලබා දුන්නා.
ඒ අනුව අද එතුමා මෙම විද්‍යාලයට අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයක් ඉදිකර දීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙනවා නාවික හමුදාවේ ද ශ්‍රම දායකත්වය ඇතිව මෙම ශ්‍රවණාගාරය ඉතා ඉක්මණින්ම ඉදිකර සිසු අයිතියට පවරා දෙන බවට මම මේ අවස්ථාවේ පොරොන්දු වෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා සහ මේ මල්වාන ප්‍රදේශය අතර විශාල බැඳීමක් තිබෙනවා. එදා බියගම ආසන සංවිධායකවරයා වශයෙන් කටයුතු කළ එතුමා මේ ප්‍රදේශයට විශාල සේවාවක් ඉටු කළා. විශේෂයෙන්ම මේ මල්වාන ප්‍රදේශයේ දූ දරුවන්ගේ මෙන්ම රටේම දරුවන්ගේ අධ්‍යාපනය නඟාසිටුවීමට එතුමා විශාල වැඩකොටසක් සිදු කළා. එතුමා සමග සුරනිමල රාජපක්ෂ මහතාත් මේ ප්‍රදේශයේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල සේවාවක් සිදුකර තිබෙනවා.

නව ශ්‍රවණාගාරය ඉදිකිරීමෙන් පසුව එයින් මෙම පාසලට පමණක් නොව ප්‍රදේශයටම විශාල සේවාවක් ඉටුවනු ඇතැයි මම විශ්වාස කරනවා. අනෙක් පාසල්වලට ද මේ ශ්‍රවණාගාරය භාවිතා කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයට රෝහලක් ලබා දෙන බවට ද රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මහ මැතිවරණයේදී පොරොන්දුවක් ලබා දුන්නා. ඒ අනුව එම රෝහල ඉදිකිරීම සඳහා ද ලබන මාසය වන විට මුල්ගල තැබීමට හැකිවනු ඇති බව මම මෙම අවස්ථාවේ සතුටින් ප්‍රකාශ කරනවා.

ඒ වගේම මේ ආසනයට තවත් එක් ජාතික පාසලක් ලබා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම මගේ තවත් බලාපොරොත්තුවක්. රනිල් වික්‍රමසිංහ මහතා මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට සැම විටම කැපවී සිටිනවා. මේ ප්‍රදේශයේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නඟාසිටුවීම වෙනුවෙන් එතුමා සිදු කරනු ලබන කැපවීම පිළිබඳ අප ආඩම්බර විය යුතුයි.

ජනාධිපතුතිමාගේ නායකත්වය යටතේ මේ ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමට අප සියලු දෙනාම කැපවී සිටිනවා. මේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආදි ශිෂ්‍ය සංගමය මෙම ශ්‍රවණාගාරය පාසලට ලබාදීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළා. එම සියලුම දෙනාට ද මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා.

මල්වාන අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එස්. එච්. එම්. නයිම් ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

WhatsApp Image 2024 03 07 at 10.23.37

හූති ප්‍රහාරයට ලක්වූ නැවේ සිටි 21ක් මුදාගනී : ප්‍රහාරයෙන් 03ක් මරුට

යේමනයේ ඒඩ්න් වරායට ඔබ්බෙන් ඒඩ්න් බොක්කේ යාත්‍රා කරමින් පැවති වාණිජ නෞකාවකට හූති කැරලිකරුවන් එල්ලකළ මිසයිල ප්‍රහාර හමුවේ තුවාල ලැබූ සහ නිරුපද්‍රිතව සිටි පුද්ගලයින් 21 දෙනෙකු මුදාගෙන තිබේ.

ඉන්දීය නාවික හමුදාව විසින් එම පිරිස මුදාගෙන තිබේ.

INS කොල්කටා නෞකාව, හෙලිකොප්ටර් යානා සහ බෝට්ටු යොදාගනිමින් එම පිරිස මුදාගත් බව ඉන්දීය නාවික හමුදාව මේ බව සඳහන් කළේය.

අනතුරුව පිරිස ජිබුටි රාජ්‍යය වෙත රැගෙනයාමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.අනතුරුව පිරිස ජිබුටි රාජ්‍යය වෙත රැගෙනයාමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මේ අතර, නෞකාවකට හූති කැරලිකරුවන් විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් එම නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නෞකාවේ ආරක්ෂක නිලධාරීන් ලෙස ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සහ නේපාල ජාතිකයකු ද සේවයේ යෙදී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ගාසා තීරයේ පවතින ඊශ්‍රායලය සහ හමාස් යුද ගැටුම්වල දී පලස්තීනුවන්ට සහය පළකිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කළ බව හූති කැරලිකරුවන් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් එහි කාර්යය මණ්ඩල සාමාජිකයින් මියගිය පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

හෙට ප්‍රදේශ රැසක උණුසුම් තත්වයක්

හෙට (08) දිනයේ ප්‍රදේශ රැසක උණුසුම් තත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එම නිවේදනය පහත සදහන් වේ.

download 6

 

කෝප් සභාපති පුටුව රෝහිතට : කෝපා සභාපති ලසන්ත

මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධුරයට පත් කර ඇත.

 ඔහු එම තනතුරට පත්වී ඇත්තේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙනි.

මේ අතර, රජයේ ගිණුම් කාරක සභාවේ (කෝපා) සභාපති ධුරයට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න බහුතර ඡන්දයෙන් තේරී පත්ව තිබේ.

සැබෑව රැලියෙන් ජනාධිපති රනිල් ජනාධිපතිවරණ සටන අරඹයි !

එළඹන ජනාධිපතිවරණ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පළමු ජනාධිපතිවරණ ප්‍රචාරක රැළිය කුලියාපිටියදී පැවැත්වෙයි.

එළැඹෙන 10 වනදා ‘සැබෑව’ යන තේමාවෙන් කුලියාපිටියේදී පස්වරු 2.00 ට පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පත් වීමෙන් පසුව දේශපාලන රැලියකට සහභාගි වන පළමු අවස්ථාව මෙය බවද පැවසූ ඔහු මෙය එක්සත් ජාතික පක්ෂයේ රැලියක් බවත් පක්ෂ නායකයා ලෙස ඊට සහභාගී වන ලෙස ජනාධිපතිට ආරාධනා කළ බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ නමුත් ජනාධිපතිවරයා නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස ජරාධිපතිවරණයට තරග කරන බවද පැවසූ ඔහු විවිධ දේශපාලන පක්ෂ සන්ධාන වශයෙන් පවත්වන සියලු රැළි අවසානයේ ජනාධිපතිවරයාට සහාය පල කරනු ඇති බවත් කියා සිටියේය.

ජනාධිපති ධුරයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය : බැසිල් ආපු ගමන් ගෝඨාගේ පොත එළියට !

මාර්තු 05 වෙනිදා දවසේ චරිතය වුණේ ඇමරිකාවේ ගිහින් හිටපු පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ. තව දවස් කිහිපයක් දුවන්න තරම් දේවල් බසිලාගමනය ගැන තිබුණත්, පැය 24න් බැසිල්ව යට කරගෙන ඔන්න තවත් රාජපක්ෂවරයෙක් කරලියට ඇවිත්. ඒ වෙන කවුරුත් නෙවෙයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ.

ගෝඨා ඒ ආවේ හිස් අතින් හෝ තුවක්කුවක් එහෙම අරගෙනත් නෙවෙයි. ගෝඨා ආවේ පොතක් අරගෙන. පොතේ නම ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය. ගෝඨා මෙහෙම පොතක් ලියන බව මෙතෙක් තිබුණේ රහසක් විදිහට. වැඩිය නෙවෙයි, කොහෙත්ම හාහෝවක් ඒ ගැන තිබුණේ නෑ. ගෝඨා සද්ද නැතුව අවුරුද්දක් විතර කල් අරගෙන පොතේ වැඩේ ඉවර කරලා. ඔය ගෝඨා ජනාධිපති කාලේ අන්තිම මොහොතේ වගේ උපදේශක තනතුරක් ලබපු එරන්ද ගිනිගේ ඇතුළු ඉතාම කිහිපදෙනෙක් තමයි වැඩේට සපෝර්ට් කළා කියන්නේ.

ගෝඨා සඳහන් කරන විදිහට මෙම කෘතියේ අන්තර්ගතය එහි පිට කවරයේ මෙහෙම සඳහන් වෙනවා. "ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වූ ජනාධිපතිවරයකු විදේශීය පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් සහ ශ්‍රී ලාංකේය සමාජයේ විශේෂිත කොටස් ගණනාවක සහභාගීත්වයෙන් දියත් කරන ලද කුමන්ත්‍රණ සහ ප්‍රචණ්ඩකාර් උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳ වෘත්තාන්තයයි.

1931 සිට සර්වජන ඡන්ද බලය භුක්ති විද, 1948 දී නිදහස ලැබීමෙන් පසු සාමකාමී සහ ව්‍යවස්ථානුකූල ආණ්ඩු වෙනස්කම් පමණක් අත්දැක තිබුණු ශ්‍රී ලංකාවේ දේශපාලනයට 2022 සිදුවීම් නව මානයක් එක් කළේය. 2009 දී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය අවසන් වීමෙන් පසු හේතූන් ගණනාවක් නිසා ශ්‍රී ලංකාව තුළ විදේශීය මැදිහත්වීම් උත්සන්න විය. ශ්‍රී ලංකාව නව යටත්විජිතවාදී ග්‍රහණයට හසු කර ගැනීමේ උපාය මාර්ගය වූයේ රට තුළ වාර්ගික හා ආගමික දේශපාලනය මෙහෙයවීම සහ රටේ ආර්ථිකය බිඳ දැමීමයි. මේ ලියවිල්ලට පාදක වී ඇත්තේ එම දේශපාලන කුණාටුවේ කේන්ද්‍රස්ථානයේ සිට ලැබූ අත්දැකීමයි."

2019 නොවැම්බර් මාසයේදී ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ ගෝඨාභය , 2022 ජුලි මාසයේදී එම ධුරයෙන් ඉල්ලා අස්වෙනවා. ගෝඨාභය ගේ ඉල්ලා අස්වීම වගේම ඒ ආශ්‍රිත සිදුවූ සිදුවීම් ගැන එක එක අය විවිධ ප්‍රකාශ කළා. නමුත් ගෝඨාභය නෙවෙයි වචනයක් කතා කලේ. ගෝඨා කිසිම දෙයක් කිව්වේ නෑ. හැබැයි සද්ද නැතුව ඉඳලා කියන්න තියෙන කතාව ලියලම දීලා.

වැඩේ කියන්නේ ඊයේ බැසිල් ආවා. මාර්තු 07 වෙනිදා " ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය" මැයෙන් " ගෝඨාභය ලියපු පොත එළිදක්වනවා කියලා අද ඒ කියන්නේ මාර්තු 06 නිව්ස් එක එලියට එනවා. මේ එක්කම ජනාධිපතිවරණය නිසා උණුසුම් වෙමින් තිබුන දේශපාලන කරලිය හොඳටම උණුසුම් වෙලා. සමහරු තක්බීර් වෙලා. ආරංචි විදිහට රාජපක්ෂ පවුලේ උදවියවත් මේ පොතේ අන්තරගතය දැකලා නෑ. ඒ සේරම රහසක් හැටියට තමයි තියාගෙන තියෙන්නේ. එහෙම තියාගෙන ඉඳලා බැසිල් ආපු ගමන්ම මේකත් එලියට දැම්මේ රාජපක්ෂ පවුලේ එකඟතාවයක් අනුවද ? නැද්ද ? කියලා සමහරු හොයන්න අරගෙන. සේරටම වඩා කලබල වෙලා තියෙන්නේ පොහොට්ටු පක්ෂයේ සමහර නායකයන්ලු. තම තමන් ගැන ගෝඨා මොන මොනවා ලියලද දන්නේ නෑ කියලා. සමහර බෙබිලත් ඇස් ලොකු කරගත්තළු බාප්පා එලියට දාන්න යන පොත ගැන අහලා.

ඒ එක්කම යන කතාවක් තමයි මේ වැඩේ පිටිපස්සෙත් ඉන්නේ ගෝඨාව ජනාධිපති ධූරයට ගේන්න මරාගෙන මැරෙන ගේමක් ගහපු දිලිත් කියලා. ඒ වගේම දිලිත් මහින්ද - බැසිල් කඳවුර ප්‍රතික්ෂේප කළත් ගෝඨාට තවමත් ලැදියි කියලත්. සමහරු ඒ අස්සේ කියන්න අරගෙන දිලිත් ජනාධිපතිවරණයට එනවා කියලා , පක්ෂයකුත් අරගෙන රට වටේ යන්නේ ආයෙත් ගෝඨාව දේශපාලනයට ගේන්න කියලා. ඒ වගේම පහුගිය ටිකේ හාමුදුරුවරුන් කිහිප නමක්මත් කියලා තියෙනවාලු, ආයෙත් ගෝඨාභය මහත්තයා ගේන්න වෙනවා. නාමල්ලා බැසිල්ලා පොහොට්ටු දේශපාලනය කරන විදිහට නම් මෙදා කපේ ආගමට දහමට හිතවත් පාලනයක් පිහිටවා ගන්න ලැබෙන්නේ නෑ කියලා. ඒ අහන කියන කතා ඇහුවාම නම් ගෝඨා වැරදි අඩුපාඩු හදාගෙන ආයෙත් වෙනම ගමනකට ලෑස්ති වෙනවද කියලත් එහෙ මෙහෙ කතා යනවා.

  • දේශපාලන වාර්තාකරු

රජය යන ගමන් මඟෙහි සාර්ථකත්වය මේ වන විට සනාථ වී තිබෙනවා !

රජය ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බවත්, ඒ අනුව ඉදිරියේ දී ජනතාවට තව තවත් සහන ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එම සියලු කටයුතු ක්‍රියාවට නංවා ඇත්තේ ක්‍රමානුකූලව විද්‍යාත්මක සැලැස්මකට අනුව බව පෙන්වා දුන් ජනාධිපතිවරයා බලය වෙනුවෙන් කිසිදා අසත්‍ය ප්‍රකාශ නොකළ තමා අද වෙහෙසෙන්නේ බලය ලබා ගැනීමේ අරමුණ වෙනුවෙන් නොව, රට යළි ගොඩනැගීමේ අරමුණ වෙනුවෙන් බව ද අවධාණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (06) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදු කරමිනි.

බොහෝ දේශපාලන කණ්ඩායම් බලය උදෙසා සුරංගනා කතා පැවසුවද මහ පොළවේ යථාර්ථය ඔවුන් අමතක කර දමා ඇති බව පැවසූ ජනාධිපතිවරයා අද රට හමුවේ ඇති ආර්ථික ගැටළුවට සිල්ලර විසඳුම් නොමැති බවත්, එවැනි දේ වලින් රටක ආර්ථිකය යථා තත්වයට පත් කළ නොහැකි බව කිසියම්ම හෝ ආර්ථික දැනුමක් තිබෙන අයට වැටහිය යුතු බවත් පැවසීය.

රජය යන ගමන් මඟෙහි සාර්ථකත්වය මේ වන විට සනාථ වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම මාර්ගයේ ඉදිරියට යෑම සඳහා අවශ්‍ය අණපනත් හා නීතිරීති පාර්ලිමේන්තුව ඉදිරියේ සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඒ වෙනුවෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ පනත ළගදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සඳහන් කළේය.

එබැවින් මේ යන මගෙහිම ඉදිරියට ගොස් ආර්ථිකය ශක්තිමත් විමේ යහ ප්‍රතිඵල රටක් ලෙස භුක්ති විඳිනවාද, එසේ නොමැතිව එම සැලැස්මෙන් ඉවත් වී වසර එකහමාරකට පෙර රට වැටී තිබූ අදුරු යුගයට ඇද දමනවාද කියා තීරණය කළ යුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

පාර්ලිමේන්තුව අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය,

අද අපේ රට කිසියම් ආර්ථික ස්ථාවරත්වයකට පත්ව ඇති බව හැමෝම පිළිගන්නවා. නමුත් එසේ පිළිගන්නා බවක් නොපෙන්වා අප ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල විවේචනය කරන අයත් ඉන්නවා.
ආර්ථිකයේ ශක්තිමත් බවක් පෙනෙන්න තිබුණත් එය ජනතාවට දැනෙන්නෙ නෑ කියලා සමහරු චෝදනා කරනවා. ජනතාවට අනවශ්‍ය ලෙස බදු බර පටවලා තියෙන බවත් කියනවා. විදුලි බිල, ඉන්ධන මිල ඕනෑවට වඩා ඉහළ දමා ඇති බව ද කියනවා.

සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා, මල නොතලා රොන් ගන්නවා වගේ තමයි ජනතාවගෙන් බදු අය කරගත යුත්තේ කියලා. හැබැයි අප ඒ පිළිවෙත රකින්නේ නෑ කියලා අපව විවේනය කරනවා. හැබැයි ඒ විවේචකයන් අමතක කරන දෙයක් තියෙනවා. මල් තලමින් රොන් ගන්න අවස්ථාවනුත් තියෙන බව.

මේක අපට අපූරු පාඩමක්. සාමන්‍ය තත්වයකදී මල් නොතලා රොන් ගන්න පුළුවන් වුණාට අතුරේ යද්දි එහෙම බෑ. එතැනදී තත්වය වෙනස්.අද අපිත් යන්නෙ අතුරේ. පහුගිය කාලයේ අපිට සිද්ධ වුණේ ආර්ථික වැල් පාලමක් තරණය කරන්න. අතුරේ ගමනක් යන්න.

අප එවැනි අනතුරුදායක තත්වයකට පත් වුණේ ඇයි? අපේ ආර්ථිකය බංකොලොත් තත්වයකට කඩා වැටුණේ ඇයි? අතීතයේ සිට විවිධ ආණ්ඩු අදූරදර්ශී තීරණ ගැනීම එක හේතුවක්. අනෙක් හේතුව විවිධ දේශපාලන පක්‍ෂ රජයේ සාධනීය වැඩ සැලසුම් ගණනාවකට විරුද්ධ වෙලා ඒවා කඩාකප්පල් කර දැමීම. රාජ්‍ය දේපල විනාශ කර දැමීම.

මේ නිසා රටට විධිමත් ආර්ථික සැලැස්මක් අවශ්‍ය වෙලා තිබුණා. පරිපූර්ණ ආර්ථික සැලැස්මක්. අප අවස්ථා ගණනාවකදී මෙවැනි සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට උත්සාහ ගත්තා. නමුත් අඛණ්ඩව එවැනි සැලසුමක් ක්‍රියාත්මක කරන්නට අවකාශ සැලසුණේ නෑ.

මම මෙහිදී ආචාර්ය චන්දිම විජේබණ්ඩාර 1989 දී බුදුසරණ පත්‍රයට ලියූ ලිපියකින් කොටසක් උපුටා දක්වන්න කැමතියි. එතුමා බුදුන් වහන්සේ දේශනා කළ කූඨදන්ත සූත්‍රය ගැන ඒ ලිපියේ මෙන්න මෙහෙම සඳහන් කරනවා.

"සංවර්ධනය සැලැස්මකින් තොරව කළ නොහැකි ය. දීඝ නිකායේ කූඨදන්ත සූත්‍රය සංවර්ධනය පිළිබඳ මෙම සැලසුම්වල අවශ්‍යතාවය පැහැදිලි කරන්නෙකි. ඌන සංවර්ධිත රටක නිර්ධන පන්තිය, රාජ්‍ය විරෝධී අර්බුදයක් උද්ගත කළ අවස්ථාවේ, රජය සැලැස්මක් මගින් රට සංවර්ධනය කළ අයුරු එහි දැක්වේ. එය රාජ්‍ය මූලික ආර්ථික සැලැස්මකි. එය සාර්ථක වූ බවත්, ජනයා ආර්ථික අංශයෙන් පමණක් නොව සාරධර්ම අංශයෙන් ද පොහොසත්ව, මනා සමාජ සබඳතා ඇතිව, සොම්නසින්, සැණකෙළි සිරියෙන් විසූ බව ද එම සූත්‍රයෙහි දැක්වේ."
අප එවැනි විද්‍යාත්මක හා සැලසුම් සහගත මගක් අනුගමනය කළේ නෑ. සමහර කණ්ඩායම් එහෙම වැඩ සැලසුමක් ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නේ නෑ. ඒ නිසා රට පත්වුණු තත්වය ගැන ඔබ සැවොම දන්නවා. රට බංකොලොත් වුණා. ණය ගෙවා ගන්න බැරි වුණා. ආර්ථික පීඩනය දරා ගන්න බැරි වුණා.


සාමාන්‍ය පුරවැසියාගේ සිට මහා ව්‍යාපාරිකයා දක්වා සියළු දෙනාම බරපතල ලෙස දුක් වින්දා. විදුලිය කප්පාදු වුණා. පෝලිම් යුගයක් නිර්මාණය වුණා. රැකියා අහිමි වුණා. ව්‍යාපාර, කර්මාන්ත කඩා වැටුණා. සමහරු රට හැර ගියා. මුළු රටම ගිනි ගත්තා. ආර්ථික අපායකට රට ඇද වැටුණා.

මේ අවස්ථාවේ රට අරාජික වෙමින් තිබුණෙ. පාලනය ගිලිහෙමින් තිබුණෙ. ආර්ථික වශයෙන් පමණක් නොව සමාජයීය හා දේශපාලන වශයෙන් බරපතල අනතුරකට වැටෙමින් තිබුණෙ.

කිසි කෙනෙක් මේ තත්වය ආපසු හැරවීමේ අභියෝගය බාර ගන්න ඉදිරිපත් වුණේ නෑ. ආරාධනා ලද හැම කෙනාම පස්ස ගැහුවා. ඒ කිසි කෙනෙකුට මේ ගිනි ගොඩ මැදට පැනලා ගින්න නිවන්න ධෛර්යයක් තිබුණේ නෑ. හැබැයි මම රට වෙනුවෙන් ඒ අභියෝගය බාර ගත්තා. ගිනි ගොඩ මැදට ගිහින් මම ගින්න නිවන්න පටන් ගත්තා. අද මුළු රටම ඒ වෙහෙසකර උත්සාහයේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. ඒ වෙහෙසකර ව්‍යායාමයට මට සහය වුණු සියළු දෙනාම මම මේ අවස්ථාවේ කෘතවේදීව සිහිපත් කරනවා.

අපි ක්‍රමවත් හා විධිමත් ගමනකට මුල පිරුවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එක්වී ආර්ථික සැලැස්මක් සකස් කළා. ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලය ලෙස දවසින් දවස රට සාමාන්‍ය තත්වයට පත්වුණා. පීඩනය අඩු වුණා. දුක් කරදර හෙමින් හෙමින් සංසිඳෙන්න පටන් ගත්තා.

ඒ බව පැහැදිලි වෙන ආර්ථික දර්ශකයන් කීපයක් මම මේ සභාව හමුවේ තබන්නට කැමතියි.
2022 සිට 2023 දෙවන කාර්තුව දක්වා දිගින් දිගටම කාර්තු 6 ක් පුරා හැකිළුණු අපේ ආර්ථිකය 2023 තුන්වැනි කාර්තුවේ සිට පිබිදෙන්නට පටන් ගත්තා. මේ වසරේ දී අපට සියයට 2 ක 3 ක වර්ධනයක් ලබා ගත හැකි බව ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන පුරෝකථනය කර තියෙනවා.
රාජ්‍ය ආදායම 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ දී සියයට 50 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ නංවා ගැනීමට අපට පුළුවන් වුණා.

ගිය වසරේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලබා ගැනීමට අපට පුළුවන් වුණා. මේ නිසාම රජයට සේවා සැපයූ කොන්ත්‍රාත්කරුවන්ට වසර තුන හතරක් තිස්සේ ගෙවීමට බැරිව තිබූ සියළු හිඟ මුදල් අප ගෙවා අවසන් කළා.

2022 වසරේ පළමු මාස අට තුළ, රජය සතු ප්‍රධාන ව්‍යවසායයන් 52 හි සමස්ත පාඩුව රු. බිලියන 720 ක් වුව ද, 2023 වසරේ සමාන කාල පරිච්ඡේදය තුළ එය රු. බිලියන 313 ක ලාභයක් බවට පරිවර්තනය කරගැනීමට අප සමත් වුණා.

ආර්ථික අර්බුදය නිසා ව්‍යාපාරික ආයතන ගණනාවක් වැසී ගිය බව අප දන්නවා. නමුත් ආර්ථිකය යළි පිබිදී ඒමත් සමග ව්‍යාපාරික ආයතන ගණනාවක් අලූතෙන් ආරම්භ වුණා. 2022 වසරේ ආයතන 17,819 ක් සමාගම් රෙජිස්ටාර් ආයතනයේ ලියාපදිංචි වී තියෙනවා. 2023 වසරේ ආයතන 22,376 ක්. 2024 ජනවාරි මාසයේ නව සමාගම් 1,995 ක් ලියාපදිංචි වී තියෙනවා.
මහ බැංකුව සහ රජය සම්බන්ධීකරණයෙන් සිදු කළ සාර්ව ආර්ථික ඉල්ලූම් කළමනාකරණ ප්‍රයත්නයන් හේතුවෙන් 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී සියයට 70 ක්ව තිබූ උද්ධමනය 2024 වසරේ පෙබරවාරි මාසයේ දී සියයට 5.9 දක්වා පහළ වැටුණා.

උද්ධමනය අඩුවීමත් සමගම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ පාරිභෝගිකයින්ට සහනයක් ලබා දෙමින්, 2023 වසරේ දී සියයට 30 ඉක්ම වූ පොලී අනුපාත සියයට 10 කට වඩා අඩු අගයකට මේ වන විට පහත වැටී තියෙනවා.

2022 වසරේ අප්‍රේල් මස මැද භාගයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ට වඩා අඩු අගයක පැවැති, භාවිතා කළ හැකි විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3 කට වඩා වැඩි අගයකට ඉහළ නැංවී තියෙනවා. පෞද්ගලික මෝටර් වාහන හැර අනෙකුත් ආනයන සීමා ඉවත් කර තියෙනවා.

1977 වසරෙන් පසු ප්‍රථම වතාවට 2023 වසරේ දී ගෙවුම් ශේෂයේ, ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීමට හැකි වුණා. මේ හේතුවෙන් පසුගිය වසරේ මෙම කාලයේ දී රුපියල් 363ක්ව පැවති ඇමෙරිකානු ඩොලරය ඊයේ වන විට රුපියල් 308 ක පමණ අගයක් කරා අවප්‍රමාණය වෙලා තිබෙනවා. රුපියල ශක්තිමත් වී තිබෙනවා. මේ ආර්ථික ප්‍රගතියේ ප්‍රතිඵල මුළු මහත් සමාජය පුරාම අද දකින්න තිබෙනවා.

අත් ට්‍රැක්ටරයේ ඉඳන් විශාල බස් රථ දක්වා විවිධ වාහන වලින් අනුරාධපුරේ, සිරීපාදේ වඳින්න යන ජනතාව කොයි තරම් ද? තලවිල, මඩුපල්ලි වන්දනාවේ යන ජනතාව කොයි තරම් ද? නුවරඑළියේ විනෝද ගමන් යන සෙනඟ කන්දරාව කොයි තරම්ද? වාහන මිළදී ගත්තු ණය ගෙවා ගන්න බැරිව, පාරෙ අයිනෙ ඒවා නවත්තගෙන, ඒවායේ ඩිකිය ඇරගෙන පොඩි පොඩි බිස්නස් කරපු අය කී දෙනෙක්, අද හිතේ බරක් නැතිව ඉන්නවද? දුර ගමන් කෝචිචියක ආසනයක් වෙන් කරගන්න කොයි තරම් අමාරුද? ආසන වෙන් නොකළ පෙට්ටිවල මොන තරම් සෙනඟක් ඉන්නවද? රටේ හැම තැන සංචාරකයො මොන තරමක් ඉන්නවද?

අද මෙහෙම ගමන් බිමන් යන්නෙ, විනෝද වෙන්නෙ, ගෙදරින් එළියට බහින්න විදියක් නැතිව හිටපු ජාතියක්. ලෙඩෙක් ඉස්පිරිතාලෙට ගෙන යන්න, මරණයක් සුසාන භූමියට ගෙන යන්න වාහනේට තෙල් ටිකක් ගහගන්න බැරුව හිටපු ජාතියක්. ගෙදර උයාපිහා ගන්න ගෑස් නැතුව, එළියෙ දරලිප් බැඳගෙන කෑම උයාගත්තු ජාතියක්. ළමයෙකුට අසනීපයක් හැදුණාම පැරසිටමෝල් පෙත්තක් හොයාගෙන මහ රෑ ගෙන්ගෙට ගිය ජාතියක්. ඒ තත්වය දැන් සම්පූර්ණයෙන්ම පාහේ කණපිට හැරෙමින් පවතිනවා.

වර්තමානයේ අපට පෙනෙන, අපට දැනෙන ආර්ථික දියුණුව ගැනත් සමහරු විවේචනය කරනවා. මෙහෙම තත්වයක් ඇති වෙලා තියෙන්නේ ණය ගෙවීම් අත්හිටුවලා තියෙන නිසා බව ඔවුන් කියනවා. ණය ගෙවන්න පටන් ගත්තු ගමන් රට ආපහු නරක තත්වයකට ඇද වැටෙන බවට ඔවුන් තර්ක කරනවා. අප මේ ගත කරන්නේ අපායේ ඉන්ටවල් එකක් කියලයි ඔවුන් කියන්නෙ. ඒ විවේචනයේත් කිසිදු පදනමක් නැති බව මම අවධාරණය කරන්න කැමතියි.
අප මේ වන විට විදේශ ණය ඇතුළු සියළු ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන සාකච්ඡා කරමින් ඉන්නෙ. අපේ බලාපොරොත්තුව මේ සාකච්ඡා නුදුරේදීම සාර්ථකව අවසන් කර ගැනීමයි.

2023 සිට 2027 දක්වා ණය නොගෙවා සිටීමේ තාවකාලික සහනයක් ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ 2023 ජනවාරි මාසයේ සිට 2027 දෙසැම්බර් මාසය දක්වා.ඉන් පසු 2027 සිට 2042 දක්වා කාලය තුළ ණය ආපසු ගෙවීමට අප ක්‍රියා කරනවා.
ශ්‍රී ලංකාව ණය බරින් පීඩිත වූ රටක්. 2022 වෙද්දී අපට වසරකට අමෙරිකානු ඩොලර් බිලියන හයක් පමණ විදේශ ණය ගෙවන්න නියමිතව තිබුණා. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.5 ක පමණ ප්‍රමාණයක්. රටකට දරන්න අමාරු ප්‍රතිශතයක්.

ණය ප්‍රතිව්‍යූහගත කරන සාකච්ඡා සාර්ථක කර ගැනීම මගින් වසරකට ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.5 සිට සියයට 4.5 දක්වා අඩු කර ගැනීමට අපට පුළුවන් වෙනවා. බාගෙට බාගයක් අඩු කර ගැනීමක්.

2022 සහ 2023 වසරවල අප ලබා ඇති ආර්ථික වර්ධනය මේ ආකාරයෙන්ම ඉදිරියට රැගෙන ගියොත් රාජ්‍ය ආදායම ඉහළ ප්‍රතිශතයක රඳවා ගන්න හැකි වෙනවා. එහෙම වුණොත් ණය ගෙවීම රටට බරක් වෙන්නේ නෑ.

වර්තමානයේ රාජ්‍ය ආදායම, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11 කට ආසන්න මට්ටමකට වැඩි කර ගැනීමට අපට හැකි වෙලා තියෙනවා. ඒ සඳහා අපට වැට් බද්ද පනවන්න සිද්ධ වුණා. ඒ තීරණය ඉතා කටුක තීරණයක්. අසීරු තීරණයක්. එවැනි බද්දක් පැනවීමේ තීරණය අප ගත්තේ ඉතා අමාරුවෙන්. නමුත් මේ ආර්ථික රෝගය සුවපත් කර ගැනීම සඳහා වෙන විකල්පයක් නෑ. අපට කෙටි කාලයක් මේ වේදනාව විඳින්න වෙනවා.

වැට් බද්ද පැනවීම නිසා රාජ්‍ය ආදායම ශක්තිමත් වුණා. ණය ගෙවා ගැනීමේ ශක්තිය අපට ඇති බව ජාත්‍යන්තරය ඉදිරියේ තහවුරු වුණා.

රාජ්‍ය ආදායම් වැඩි වී, ආර්ථිකය පිබිදීම නිසා රුපියල ශක්තිමත් වුණා. රුපියල ශක්තිමත් වෙන්න වෙන්න ඉන්ධන ඇතුළු ආනයන භාණ්ඩවල මිල අඩු වෙනවා. වැට් බදු ගෙවන සියළු ආයතනත් දැන් රුපියල ශක්තිමත් වීමේ වාසිය ලබනවා. මුළු රටටම ඒ වාසිය ලැබෙනවා. ඉදිරියට මීටත් වඩා වාසියක් ලැබේවි.

මේ මාර්ගයේම සාර්ථක ලෙස ඉදිරියට ගියොත් මේ අවුරුද්ද අවසන් වෙද්දී අපේ ආර්ථිකය තව තවත් ස්ථාවර තත්වයකට පත් වෙනවා.
ඒ වගේම අපි රාජ්‍ය ආයතනවල පාඩුව ජනතා බදු මුදලින් පියවීමේ ක්‍රමය නවතා තිබෙනවා. ඒ ආයතන ප්‍රතිව්‍යූහගත කර ආයෝජකයන්ට ලබා දෙනවා.

බදු ජාලය පුළුල් කරනවා. ඒ වැඩපිළිවෙල යටතේ සමස්ත බදු ලිපිගොනු ගණන 2023 වසරේ දී මිලියන 1 ට වඩා වැඩි ප්‍රමාණයකට ඉහළ නංවා ගත්තා. මෙය සියයට 130 ක ඉහළ යෑමක්.

මුදල් අච්චු ගැසීම සම්පූර්ණයෙන්ම නවතා දමා තියෙනවා. රාජ්‍ය මුදල් හා ආර්ථික කළමනාකරණය වැඩි දියුණු කිරීමට හා ඒ සඳහා පහසුකම් සැලසීමට නෛතික රාමුව, පද්ධති හා ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සහ නවීකරණය කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යමින් තියෙනවා.

දකුණු ආසියාවේ පළමු වරට පාලනය පිළිබඳ විනිශ්චයාත්මක වාර්තාව (Governance Diagnostic Report) පළ කර ඇති අතර, පාලනය වැඩි දියුණු කිරීමට හා දුෂණ අවදානම්වලට එරෙහිව කටයුතු කිරීමට පියවර ක්‍රියාත්මකයි.

ආයෝජන ආකර්ශනය කරගන්නවා. ඒ සඳහා නව ආයතනයක් ස්ථාපිත කරනවා. විදේශ මූල්‍ය අංශ වෙත අඛණ්ඩ ප්‍රවේශය සහතික කරනවා.

කෘෂිකර්මාන්තය නවීකරණය කරනවා. ආහාර සුරක්‍ෂිතතාවය යටතේ මහා පරිමාණ ගොවිපල ඇරඹීමට මේ වන විටත් විදේශ රටවල් කිහිපයක් කැමැත්ත පළ කර තියෙනවා.

අපනයන සඳහා විදේශ වෙළඳපොල ක්‍රමක්‍රමයෙන් විවෘත කරගන්නවා. මෙහිදී සාම්ප්‍රදායික නොවන අපනයන සඳහා දැඩි අවධානයක් යොමු කරනවා.
අපේ රට හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කරමින් කලාපීය ආර්ථික හා සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කරනවා. වරාය නගරය ජාතන්තර මුල්‍ය කේන්ද්‍රයක් බවට පත් කරනවා. හැබැයි ඒ සියල්ල කළ හැක්කේ මේ සැලසුම ඔස්සේ ඉදිරියට ගියොත් පමණයි.

අප මෙතෙක් අනුගමනය කළ පිළිවෙත් නිසා රටේ බහුතර ජනතාවකට පහසුකම් සහ සහන ගණනාවක් ලබා දෙන්න අපට හැකි වෙලා තියෙනවා.
උරුමය වැඩසටහන යටතේ පවුල් ලක්‍ෂ විස්සක් ඉඩම් හිමිකරුවන් බවට පත්වෙනවා. පරම්පරා ගණනාවක් තිස්සේ අහිමි කර තිබුණු ඉඩම් උරුමය ඔවුන්ට යළිත් ලැබෙනවා.

දිළිඳු හා අවදානමට ලක් විය හැකි පිරිස් ආර්ථික අර්බුදයේ බලපෑම්වලින් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණය සඳහා වන වියදම තුන් ගුණයකින් ඉහළ දමන්න අපට පුළුවන් වුණා. මේ නිසා අඩු ආදායම් ලබන පවුල් ලක්‍ෂ 24 කට අස්වැසුම හිමිවෙනවා.

පාසැල් දරු දැරියන් ලක්‍ෂ 45 ක පමණ පිරිසකට සුරක්‍ෂා රක්‍ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ ලැබෙනවා.

තොරතුරු තාක්‍ෂණය විෂයයක් ලෙස උගන්වන සෑම පාසලකටම ස්මාර්ට් පංති කාමර ලබා දෙනවා.

ජනාධිපති අරමුදල යටතේ පාසල් දරුවන් ලක්‍ෂයකට ශිෂ්‍යත්ව ලබා දෙනවා.

ජනාධිපති අරමුදලෙන් රෝගීන්ට ලබා දෙන මුදල් දෙගුණ කර තියෙනවා.

කඳුකර දශකය යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 89 ක් පුරා ගම්මාන දහස් ගණනක සංවර්ධන කටයුතු ආරම්භ කර තියෙනවා. මේ සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට රුපියල් මිලියන 100 බැගින් ලබා දී තියෙනවා.

විමධ්‍යගත අයවැය මගින් මැතිවරණ කොට්ඨාශවල සංවර්ධනය කටයුතු දැන් ක්‍රියාත්මකයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල 25 ක් මූලික කරගෙන කෘෂි නවීකරණ කටයුතු ආරම්භ කර තියෙනවා.

සංචාරක ව්‍යාපාරය දැන් ඉහළටම එසැවී තියෙනවා. විශාල පිරිසක් එයින් ප්‍රතිලාභ ලබනවා. ඒ ක්ෂේත්‍රය තව තවත් දියුණු කරලීම උදෙසා අප පියවර ගනිමින් ඉන්නවා.

හැකිලී තිබුණු ආර්ථිකය දැන් හෙමින් හෙමින් පිබිදෙනවා. විහිදෙනවා.

මේ සියල්ලේ ප්‍රතිඵලයක් හැටියට පියවරෙන් පියවර ජනතාවට සහන ලබා දීමේ හැකියාව අපට ලැබෙනවා.

ව්‍යාපාරික ආයතන සඳහා පරාටේ නීතිය අත්හිටුවීමට අප පියවර ගත්තා. ඇත්ත වශයෙන්ම අපට තිබුණේ බැංකු ක්‍රමය ශක්තිමත් කරන්නයි. එසේ නොකළහොත් බැංකු ක්‍රමය කඩා වැටෙනවා. කොහොම වුණත් පරාටේ නීතිය තාවකාලිකව ඉවත් කර මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා ආරක්ෂා කළා. මේ සතියේ අපට විදුලි බිලට සහනයක් ලබා දෙන්න පුළුවන් වුණා.

ඒ වගේම ඉදිරියේදී පොත්, පාසැල් උපකරණ, සෞඛ්‍ය උපකරණ, බේත් හේත් වැනි අංග වැට් බදු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අනාගතයේදී වැට් බදු ප්‍රතිශතය තවත් අඩු කිරීමටත් අපට හැකියාව ලැබෙනවා.

අපි දවසින් දවස, ඉතා අසීරුවෙන් නමුත් ආර්ථිකය ශක්තිමත් කරනවා. ආර්ථිකය ශක්තිමත් වෙන්න වෙන්න ජනතාවට තව තවත් පහසුකම් ලබා දීමට ක්‍රියා කරනවා. මේ සියල්ල කරන්නේ සැලසුමකට අනුවයි. ආර්ථිකයට බරක් වන ආකාරයේ සහන ලබා දීමෙන් නැවත අපායකට රට ඇද දමන්න අපට බැහැ. ඒ නිසා අප සියල්ල සිදු කරන්නේ ක්‍රමානුකූලවයි. විද්‍යාත්මක සැලසුමකට අනුවයි.

සමහරු සිල්ලර විසඳුම්වලින් මේ ගැටළුව විසඳන්න පුළුවන් කියා කල්පනා කරනවා. පිටරටවල සිටින ලාංකිකයන්ගෙන් ඩොලර් 10 බැගින් හෝ 100 බැගින් ලබාගන්න සමහරු යෝජනා කරනවා. ඒක හරියට ඉස්කෝලයක් වටේ ඉන්න අයගෙන් සල්ලි ලබා ගෙන ඒ ඉස්කෝල දියුණු කරන්න පුළුවන් වගේ අමනෝඥ යෝජනා. ඒ වගේ දේවල්වලින් රටක ආර්ථිකය යථා තත්වයට පත් කරන්න බැරි බව කිසියම්ම හෝ ආර්ථික දැනුමක් තියෙන අයට වැටහෙනවා.

ඉතින් මේ අවස්ථාවේ අප ඉදිරියේ තියෙන්නේ එක ප්‍රශ්නයයි. අප මේ දැන් මේ යන මගෙහිම ඉදිරියට යනවාද, නැද්ද? මේ මගෙහිම ඉදිරියට ගිහින් ආර්ථිකය ශක්තිමත් වීමේ යහ ප්‍රතිඵල අපි රටක් විදියට භුක්ති විඳිනවාද? එහෙම නැතිව මේ සැලැස්මෙන් ඉවත් වෙලා, වසර එකහමාරකට දෙකකට කලින් රට වැටී තිබුණු අසහනකාරී, බංකොලොත් තත්වයට යළි ඇද දමනවාද? තීරණය කරන්න. අපායට යළි ඇද වැටෙනවාද? නැතිනම් මේ මාර්ගයේ පාරාදීසය කරා ගමන් ගන්නවාද?
මේ ගමන් මගම හැර අන් මගක් අපට නැහැ. අප මෙතෙක් ලබා ඇති සාර්ථකත්වය මගින් ඒ බව සනාථ වී තියෙනවා. ඉතින් මේ මාර්ගයේම ඉදිරියට යෑම සඳහා අවශ්‍ය අණ පනත් හා නීතිරීති පාර්ලිමේන්තුව ඉදිරියේ සම්මත කර ගැනීමටත් මා බලාපොරොත්තු වෙනවා. ඒ අරමුණින් ආර්ථික ප්‍රතිසංස්කරණ පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

මම මේ සියල්ල කරන්නේ ජනප්‍රිය වෙන්න නෙවෙයි. බොහෝ දේශපාලන කණ්ඩායම් ජනප්‍රියත්වය තකා සුරංගනා පොරොන්දු දෙනවා. සිහින මාළිගා මවන්න උත්සාහ කරනවා. ඒ අය මහ පොළොවේ යථාර්ථය අමතක කරනවා. බලය වෙනුවෙන් බොරු කියනවා.

හැබැයි මම කවදාවත් බලය වෙනුවෙන් බොරු කිව්වේ නෑ. මම වැඩ කරන්නේ මගේ අනාගතය වෙනුවෙන් නෙවෙයි. රටේ අනාගතය වෙනුවෙන්. මම වෙහෙසෙන්නේ බලය ලබා ගැනීමේ අරමුණ වෙනුවෙන් නෙවෙයි. රට යළි ගොඩ නැංවීමේ අරමුණ වෙනුවෙන්.

අද අප අනුගමනය කරන පිළිවෙත නිසා සමාජයේ තනි තනි පුද්ගල කොටස්වලට යම් යම් පීඩාවන් ඇතිවී තියෙනවා. ඒ බව අප අවබෝධ කරගෙන තියෙනවා.

හැබැයි තනි තනි පුද්ගලයන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳීම නිවැරදි ක්‍රමයක් නොවෙයි. එවැනි ක්‍රමයක් කිසි දිනෙක පූර්ණකාලීන විසඳුමක් වෙන්නේ නෑ. තිරසාර විසඳුමක් වෙන්නේ නෑ. අප මේ වෙහෙසෙන්නේ මුළු මහත් සමාජයම ඉහළට ඔසවා තබන්නයි. පිබිදෙන ආර්ථිකයේ ප්‍රතිලාභ මුළු මහත් සමාජයටම සාධාරණ ලෙස බෙදී යන ආර්ථිකයක් නිර්මාණය කරන්නයි.

ඒ බවත් අවධාරණය කරමින් මහාචාර්ය හේන්පිටගෙදර ඤාණවාස මාහිමියන් 1983 වසරේ ‘අපට බෞද්ධ පාලන ක්‍රමයක් අවශ්‍ය ඇයි’ නමින් ලියූ කෘතියේ සටහනක් ගෙනහැර පාමින් මම මගේ අදහස් දැක්වීම අවසන් කරන්නට කැමතියි.

"එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතා සපුරාලීමෙන් ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නැත. ඒ වෙනුවට ඒවා තවත් උග්‍ර වී අධර්මය හා දූෂණය පැතිරී, සමාජයෙහි සාමය, සතුට බිඳ වැටෙන අයුරු බුදුන් වහන්සේ කූඨදන්ත හා චක්කවත්ති සිහනාද සූත්‍රයන්හි පෙන්වා දී ඇත. පොදු හේතුව සොයා ඊට පිළියම් යෙදීම නිවැරදි ප්‍රතිකර්මය බව බෞද්ධ චින්තනය පෙන්වා දෙයි. ඵලයක් දැක ඒ එක් එක් ඵලයට හේතුව වෙන් වෙන් වශයෙන් සොයා යොදන පිළියම අණ්ඩ දැමීමකි. එබඳු ක්‍රමයකින් ප්‍රශ්න උග්‍ර වේ."

ඉතින් අපි සමස්ත ආර්ථික සැලැස්ම මේ අයුරින්ම ඉදිරියට ක්‍රියාත්මක කර ප්‍රශ්න විසඳා ගනිමු. මුළු මහත් සමාජයම ඉහළට ඔසවා තැබීමේ ආර්ථික පිළිවෙත ශක්තිමත් කරමු. ඒ නිවැරදි ගමනට එක්වෙන්න කියා මේ ගරු සභාවේ ඔබ සැම දෙනාගෙන් ද, සියළු ලාංකේය ජනතාවගෙන් ද මම ඉල්ලා සිටිනවා.

අලි සබ්‍රි රහීම්ට මැති සබයේ තහනමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ පාර්ලිමේන්තු සේවය අද සිට මාස 01ක කාලයක් සඳහා අත්හිටුවා තිබේ.

ඒ රත්‍රං තොගයක් සමග කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් සිද්ධිය සම්බන්ධවයි.

ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත මෙම තීරණය ගත් බව කථානායකවරයා දැනුම් දුන්නේය.

මීට අමතරව මෙවැනි ක්‍රියා මින් ඉදිරියට සිදුනොකරන ලෙසට ද කථානායකවරයා විසින් තරවටු කර සිටියේය.

පාර්ලිමේන්තු එන්නේ නෑ : බැසිල් කියයි !

ඉදිරි මහ මැතිවරණයකින් පාර්ලිමේන්තු පැමිණීමේ අදහසක් තමන්ට නොමැති බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසයි .

නිල වශයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය බවත් ඊට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට නම් ඒ බව තීන්දුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගතයුතු බවත් ඔහු පවසයි .

බැසිල් රාජපක්ෂ මේ බව සඳහන් කර සිටියේ ඇමරිකාවේ සිට ඊයේ (05) මෙරටට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට ප්‍රතිචාර දක්වමින් ය.

බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණෙනු ලබන්නේ ඉදිරි මැතිවරණ කටයුතු සංවිධානය කිරිමට බවත් ඔහු පැමිණි වහාම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනු ලබන බවටත් හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග යූටියුබ් සාකච්ඡාවට එක්වෙමින් කියා තිබු අතර මාධ්‍යවේදින් ඒ පිළිබඳව ද බැසිල් රාජපක්ෂගෙන් විමසන ලදි.

“මොන මැතිවරණය තිබ්බත් මම සංවිධානය කරනවා.” යන්න ඊට බැසිල් රාජපක්ෂ දැක්වූ ප්‍රතිචාරය විය.

ඉදිරි ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව අපේක්ෂයකු ඉදිරිපත් කරනවාද වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහට සහාය ලබා දෙනවා දැයි මාධ්‍ය දිගින් දිගටම ඔහුගෙන් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු මෙසේ පැවසීය .

“ඒකට අපි තාම තීන්දුවක් අරගෙන නෑනේ. අපේ දේශපාලන මණ්ඩලය රැස්වෙලා, අපේ නායකතුමාගෙයි, ජනතාවගෙයි, පක්ෂිකයන්ගෙයි අදහස් අරගෙන ඉදිරි දින කිහිපය තුළ අපි ගන්නවා. කලබල වෙන්න ඕනේ නෑ.”

Page 89 of 459