V2025

පුවත්

පුංචි ජන්දයේ නාම යෝජනා කැන්සල් ?

පළාත් පාලන මැතිවරණය සඳහා ලබාගත් නාමයෝජනා අවලංගු කිරීමට ඊයේ (13) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී සාකච්ඡා වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

එසේම , එළැඹෙන වසරේදී පළාත් පාලන මැතිවරණය පැවත්වීම සඳහා අදාළ පාර්ශව සමග සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට දැනුම්දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය .

එහිදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය .

"ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට දැනුම්දුන්නා මේ පළාත් පාලන ඡන්ද වීමසීමේ නාම යෝජනා භාර අරගෙන, ඒ නාම යෝජනා භාර ගත්ත සමහර රජයේ සේවකයෝ එහෙම ඉන්න නිසා ඔවුන්ට රැකියාවට නිරතවීම සහ වෙනත් කටයුතුවලදී විවිධ දුෂ්කරතා පිළිබඳ විටින් විට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් කරුණු ඉදිරිපත් වෙන නිසා නීතිපතිතුමාගෙන් අහලා දැනගෙන හා අනෙක් පක්ෂ සමග සාකච්ඡා කරලා නාමයෝජනා භාගෙන තිබෙන පළාත් පාලන ඡන්දයේ නාම යෝජනා අවසන් කරන්න. ඒ කියන්නේ ඒක අවලංගු කරන්න. දෙවනුව එතුමා සඳහන් කළා, පළාත්සභා ඡන්දය මේ තියෙන ආරවුල් ක්‍රමවේද නැතුව කලින් පැවතුන ක්‍රමවේදයට කාන්තා නියෝජනයත් ඇතිවන ආකාරයට පැවැති ක්‍රමවේදයට පළාත් සභා ඡන්දය ලබන වර්ෂය තුළ පවත්වන්න නීතිපතිතුමත්, මැතිවරණ කොමසාරිස්තුමත් පක්ෂ නායකයින් සමගත් සාකච්ඡාවක් ආරම්භ කරන්න කියලා, අග්‍රාමත්‍යවරයාට දැනුම්දීමක් කළා."

විජේදාස ගැන තීන්දුව හෙට !

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නේ ද ? නැද්ද ? යන නියෝගය හෙට (15) දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද (14) නිවේදනය කර ඇත .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ගොනු කළ පැමිණිල්ලක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ විසින් මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇත.

පැමිණිල්ල සලකාබැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවකු වශයෙන් නම්කර සිටින විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ,

"ඉකුත් 12 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව විසින් ගනු ලැබූ තීරණයට අනුව විජයදාස රාජපක්ෂ මහතා එම පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. එම කරුණට අදාළව ගොනු කළ පැමිණිල්ලක් සලකාබැලූ කඩුවෙල දිසා අධිකරණය විසින් විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට බාධා කිරීම වළක්වාලමින් ඊයේ දින වාරණ නියෝගයක් නිකුත් කළා. එම වාරණ නියෝගයට පටහැනිවයි මෙම පෙත්සම අද දින ඉදිරිපත් කර තිබෙන්නේ."

ඒ අනුව පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කිරීමට මෙම අධිකරණයට හැකියාවක් නැහැ. මෙම නඩුව ගොනුකර තිබෙන්නේ අධිකරණ බලය අවභාවිතා කරමින්." යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය සලකා බැලීම සම්බන්ධයෙන් තමා විරුද්ධ වන බවත් සඳහන් කළේය.

ඉන් අනතුරුව පෙත්සම්කාර දුමින්ද දිසානායක  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර  අධිකරණය හමුවේ කරුණු දක්වමින්,

"කඩුවෙල දිසා අධිකරණය විසින් නිකුත් කළ බව කියන වාරණ නියෝගය හෝ ඊට අදාළ නොතීසි කිසිවක් මාගේ සේවාදායකයාට ලැබී නෑ. එම නිසා එම වාරණ නියෝගය මාගේ සේවාදායකයාට අදාළ නොවන බව සඳහන් කළ යුතුයි. එමෙන්ම කඩුවෙල අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය මගින් කොළඹ දිසා අධිකරණයේ බලය සීමා කිරීමට හැකියාවක් නෑ. ප්‍රශ්නගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීම යැයි කියන රැස්වීමක් ඉකුත් 12 වනදා පැවැත් වුණේ ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ."

"එසේ තිබියදී කඩුවෙල දිසා අධිකරණය හමුවේ අදාළ නඩුව පවරනු ලැබුවේ කෙසේ ද? කියා ප්‍රශ්නයක් මතු වෙනවා. මේ ආකාරයෙන් නඩු පැවරීමට ගියහොත් මාතර, යාපනය, ත්‍රිකුණාමලය වැනි අධිකරණවලට ගොස් නඩු පැවරීමට හැකියාවක් තිබෙනවා. මාගේ සේවාදායකයාට ඕනෑම අධිකරණයක නඩු පැවරීමට හිමිකමක් තිබෙනවා. ඒක ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකමක්. එම මූලික අයිතිය සීමා කිරීමට හැකියාවක් නෑ." යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා සිය නියෝගය හෙට දින ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය.

අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවලට අදාළ චක්‍රලේඛය ළඟදීම !

අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඊට අදාළ චක්‍රලේඛය ඉදිරියේ දී නිකුත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

මා අධ්‍යාපන අමාත්‍යාංශය වසර දෙකකට පෙර බාර ගන්නා අවස්ථාව වන විට ඉන්ධන පෝලිම් නිසා දරුවන්ට පාසල් යාමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබුණා. පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ට ඒ සඳහා ගමන් පහසුකම් සපයා ගැනීමටවත් ඉන්ධන තිබුණේ නැහැ. ඒ වගේම පැය 14ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක වූ නිසා දරුවන්ට අධ්‍යාපන කටයුතුවල නිරතවීමට නොහැකි වුණා. ඒ අතර වරින් වර පාසල් වැසීමට සිදුවුණා.

කොවිඩ් - 19 වසංගතය හමුවේ පාසල් වසා දැමීම නිසා ද අධ්‍යාපන කටයුතු අඩාල වුණා. විභාග පැවැත්වීමට සහ ප්‍රථිපල නිකුත් කිරීම ද නිසි වේලාවට සිදු කරගත නොහැකි වුණා. ඉන් පසු ආර්ථික අර්බුදය උග්‍ර වීමත් සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වුණා.

නමුත් මේ වන විට එම තත්ත්වය බොහෝ දුරට සමනය කිරීමට හැකි වී තිබෙනවා. ඒ අනුව මේ වර්ෂයට අදාළ පෙළ පොත් සහ නිල ඇඳුම් සියල්ල බෙදා අවසන් කර තිබෙනවා. විභාග කටයුතු ක්‍රමානූකූලව සාමාන්‍ය තත්ත්වයට ගෙන එමින් තිබෙනවා. ඒ සඳහා සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාසයේ සහ උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ දී පැවැත්විය යුතුයි. මේ සම්බන්ධයෙන් පළාත් බලධාරීන් සහ අදාළ පාර්ශ්ව ගණනාවක් සමඟ අප සාකච්ඡා කළා.

එහි දී ඉදිරිපත්පත් වූ යෝජනා අනුව අප දැන් කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව දෙසැම්බර් මාසයේ පැවැත්වීමට තිබූ සාමාන්‍ය පෙළ විභාගය හෙට දිනයෙන් අවසන් වනවා. උත්තර පත්‍ර පරීක්ෂා කිරීම ඒ සමඟ ආරම්භ කෙරෙනවා.

ප්‍රථිපල නිකුත් කිරීමට පෙර සාමාන්‍ය පෙළ අවසන් කළ දරුවන් වෙනුවෙන් උසස් පෙළ පන්ති ආරම්භ කරනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් 452,000ක් පමණ පෙනී සිටිනවා. ඉන් 388,000ක් පාසල්වල ප්‍රථම සහ දෙවන වතාවට පෙනී සිටින දරුවන් බව පැවසිය යුතුයි. ඒ අනුව එම සිසුන් පිරිසට ජූනි මාසයේ පළමු සතියේ දී උසස් පෙළ පන්තිවලට ඇතුළත්වීමට අවස්ථාව හිමි වනවා. ඒ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැති මේ වන විටත් ලබා ගෙන තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛය 15 වනදා නිකුත් කරනවා. එම විභාග අවසන් කිරීමෙන් පසුව සාමාන්‍ය පාසල් කටයුතු මැයි මස 20 වනදා ආරම්භ කරනවා.

ඒ වගේම අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියරට අප පැමිණ සිටිනවා. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කොට එහි චක්‍රලේඛය ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතයි. ඊට අනුව දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කෙරෙන අතර ඒවායේ අධීක්ෂණය සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය වනවා. ඉදිරියේ දී පවතින අධ්‍යාපන කළාප 100 ක්‍රමානුකූව වැඩි වීමට ද නියමිතයි. පාසල් පර්ෂ ද මුල්කරගනිමින් 01 වසර සිට 11 වසර දක්වා පන්ති තිබෙන පාසල්වල සිසුන් උසස් පෙළ සඳහා ඒ පර්ෂදයේ විෂය ධාරා පවතින ප්‍රමුඛ පාසල් සඳහා අනුයුක්ත කිරීමට හැකි වන පරිදි පාසල් බලධාරීන්ට බලය ලබා දීමක් ද මෙහිදී සිදු වනවා.

එමෙන්ම ගුරු පුරප්පාඩු පිරවීම සඳහා රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය සහ තාක්ෂණ විෂය ධාරාව මෙන්ම විදේශ භාෂා පිළිබඳ උපාධිධාරීන්ට සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබෙනවා. එම සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වූ 7000ක පමණ පිරිස අතුරින් 3000කට වැඩි පිරිසකට විෂය ගැලපීම මත පත්වීම් ලබාදීමේ කටයුතු ද මේ මේ වන විට සකස් කෙරෙමින් තිබෙනවා. ඔවුන් පුහුණුවකින් පසුව ජූනි පළමු වනදා වන විට පාසල්වලට යොමු කෙරෙනවා. මේ හරහා විද්‍යා හා තාක්ෂණ විෂය ධාරවන්වල ගුරු ඌනතාවය යම් ප්‍රමාණයකට විසඳෙන බව පැවසිය යුතුයි. අධිකරණ නියෝග මත අත්හිටුවා තිබූ පළාත් ගුරු පත්වීම් ආශ්‍රිත ගැටළු ද මේ වන විට විසඳෙමින් පවතිනවා.

ඒ වගේම විදුහල්පති ගැටළු විසඳීම සඳහා අප විසින් කමිටුවක් පත් කළා. විදුහල්පති වෘත්තීය සංගම් එකඟ වූ නිර්දේශ ඇතුළත් ප්‍රධාන කරුණු පිළිබඳව අමාත්‍ය මණ්ඩල සංදේශය මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. විදුහල්පති දීමනා, අධි ශ්‍රේණි ඇති කිරීම සහ තවත් ප්‍රායෝගික කරුණු කිහිපයක් එම අමාත්‍ය මණ්ඩල සංදේශයේ ඇතුළත් බව ද පැවසිය යුතුයි.

තවද අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු රාශියක් පැවතුණා. ඉන් 404ක් සඳහා සීමිත තරග විභාග ප්‍රථිපල අනුව බඳවා ගැනීමට නියමිත සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ ආරම්භ කරනවා. එමෙන්ම ගුරු අධ්‍යාපනඥ සේවයේ 800ක් බඳවා ගැනීම සඳහා වන දෙවන සම්මුඛ පරීක්ෂණය ද ඉදිරියේ දී පැවැත්වීමට නියමිතයි. ගුරු විද්‍යා පීඨ, විශ්ව විද්‍යාල බවට පත් කිරීමේ කෙටුම්පතෙහි ද නීති කෙටුම්පත් සම්පාදක කටයුතු අවසන් කර තිබෙනවා.

අපනයන ආර්ථිකයට අවශ්‍ය නීති කෙටුම්පත් සඳහා කැබිනට් අනුමැතිය !

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රට තුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එහිදී අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරන බවද පැවසූ ජනාධිපතිවරයා නව තාක්ෂණික කළමනාකරණය වැවිලි ක්ෂේත්‍රයට හඳුන්වා දීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (14) පෙරවරුවේ එක් වෙමිනි.

වැවිලි ක්ෂේත්‍රයට අවශ්‍ය නව නිපුණතාවලින් හෙබි උපාධිධාරීන් බිහි කිරීම වෙනුවෙන් සහ තරුණ තරුණියන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් ජාතික වැවිලි කළමනාකරණ ආයතනය ස්ථාපිත කර තිබේ.

උපාධි අපේක්ෂකයන් සඳහා පර්යේෂණාගාර, දේශන ශාලා, පරිගණක විද්‍යාගාර හා වෘත්තීය උපදේශන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන අතර AI හා GIS තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය මධ්‍යස්ථානයක් ද මෙහි ස්ථාපිත කිරීමට නියමිතය.

මෙම නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 750කි.

සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබූ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාවට සහභාගිවීම වෙනුවෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ මෙරට ග්‍රාමීය ජනතාවගේ දිළිදුකම තුරන් කළ හැක්කේ කෘෂිකර්මාන්තයේ දියුණුව තුළින් පමණක් බවයි.

ශ්‍රී ලංකාව ආශ්‍රිතව ඇති රටවල ජනගහනය බිලියන ගණනින් වැඩි වන බවට පුරෝකථනයක් සිදුකර ඇති හෙයින් එම රටවල මධ්‍යම පාන්තිකයන්ගේ ආහාර අවශ්‍යතාවයට සරිලන කෘෂිකර්මාන්තයක් නිර්මාණය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ අපනයන කෘෂි කර්මාන්තය නොවැටෙන තැනකට ඔසවා තැබිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙරට ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් ඊයේ (13) කැබිනට් මණ්ඩලයේදී අනුමත කළ බවද ජනාධිපතිවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

වැවිලි කර්මාන්තය සඳහා පුහුණු ආයතනයක අවශ්‍යතාව තිබුණෙ 1978 වසරේ සිටයි. එදා එම්.ඩී.එච්. ජයවර්ධන මහතාගේ ආසනය වන මේ ප්‍රදේශයේ මෙවැනි පුහුණු ආයතනයක් ඇති කිරීමට අවශ්‍ය ඉඩම ලබා දුන්නා. එදා මේ ප්‍රදේශය මේ තරම් නාගරික කරණය වී තිබුණේ නැහැ. මෙම ආයතනය ස්ථාපිත කිරීම සඳහා 2016 වසරේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස නවීන් දිසානායක මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඉදිකිරීම් ආරම්භ කළා. ඉන්පසුව පත් වූ වැවිලි කර්මාන්ත අමාත්‍යවරුන් මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ආවා.

මෙම ආයතනය දියුණු කරන අතරම මෙහි එක් මණ්ඩපයක් වැවිලි කලාපයට ගෙන යාම ඉතා කාලෝචිත බව කිව යුතුයි. මහනුවර, මාතලේ වැනි ප්‍රධාන බෝග සියල්ලම වගා කෙරෙන දිස්ත්‍රික්කයක මෙහි මණ්ඩපයක් විවෘත කිරීම ඉතා වැදගත් වෙනවා. මට මතකයි මෙම ක්ෂ්ත්‍රයේ කටයුතු කළ මගේ මිත්‍රයන්ට පුහුණුව ලැබීමට නුවරඑළියට යාමට සිදු වුණා. අපේ කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේදී මෙවැනි ආයතන තවදුරටත් ව්‍යාප්ත කළ යුතුයි.

රටේ කඩාවැටුණු ආර්ථිකය අද යළි ගොඩනැගෙමින් තිබෙනවා. මෙම තත්ත්වයට පත්වීමට අපට අවස්ථාව ලැබුණේ කෘෂිකර්මාන්තය නිසයි.
මම රට භාරගනිද්දි රටේ කෘෂි නිෂ්පාදනයක් සිදු වුණේ නැහැ. ඒ වගේම යුරෝපා ආර්ථිකය ද පහත බැස තිබු නිසා අපේ ඇඟළුම් කර්මාන්තයට අපනයන අවස්ථා තිබුණේ නැහැ.
ඒ නිසා පළමුව අපි මෙරට වී වගාව දියුණු කිරීමට කටයුතු කළා. 2022, 2023 යන වසරවල යල කන්න සහ 2023 වසරේ මහ කන්නය සාර්ථක වීම නිසා මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට අපට අවස්ථාව ලැබුණා. ඒ අනුව කෘෂිකර්මය නිසා මූලික වශයෙන් රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට හැකි වු බව කිවයුතුයි.

දැන් අප මෙරටට ණය ලබාදුන් රටවල් සහ අනෙකුත් පුද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. එම පළමු සාකච්ඡා වටය අවසන් වීමෙන් පසුව රටේ ආර්ථිකය දියුණු කිරීමේ අභියෝගයට අප මුහුණ දිය යුතුයි. ඒ වගේම අප ලබාගත් ණය ආපසු ගෙවිය යුතුව තිබෙනවා. අපට ලැබී ඇත්තේ ණය ගෙවීමට සහන කාලයක් පමණයි. ඒ නිසා එයින් ඈත්වීමට හැකියාවක් නැහැ. ඒ වගේම අපට හැමදාම ණය ලබාගෙන ජීවත් වෙන්න බැහැ. ඒ නිසා මෙරට ආර්ථිකය අපනයන ආර්ථකයක් බවට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙරට අපනයන ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් ඊයේ (13) කැබිනට් මණ්ඩලයේදී අනුමත කළා. දැන් අප මෙම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කළයුතුයි.
ඓතිහාසිකවම අපේ කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මාන්තයක් බවට පත්ව තිබුණා. සිංහල රජ සමයේ ධාන්‍ය වර්ග වගා කළා. ඒ වගේම තෙත් කලාපයේ කුළු බඩු වගා කළා. සුදු ජාතිකයන් පැමිණීමෙන් පසු තේ, පොල්, රබර් වගා කළා. නමුත් නිදහසින් පසු අප රටක් ලෙස එතනින් ඉදිරියට ගියේ නැහැ. නිදහසින් පසු සිදු වුණේ ඩී.එස්. සේනානායක මැතිතුමා ආරම්භ කළ වැඩපිළිවෙළ යටතේ අප සහලින් ස්වයංපෝෂිතවීම පමණයි.

දැන් අප කටයුතු කරන්නේ රට තුළ කෘෂිකර්ම නවීකරණයක් සිදු කර අපනයන කෘෂි කර්මාන්තයක් ඇති කිරීමටයි. තේ, රබර්, පොල් මෙරට ප්‍රධාන අපනයන බෝග බවට පත්ව තිබුණා. නමුත් සුදු ජාතිකයන් පන්නා දමා අප වතු අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුන් කෙන්නියාවට ගොස් තේ වගා කර දැන් අපට තරගයක් ලබා දී තිබෙනවා. වියට්නාමයේ රබර් වගා කර අප රට සමඟ තරග කරනවා. ඒ නිසා මෙම තරගකාරිත්වයට මුහුණදීම සඳහා අප වැවිලි කර්මාන්තය පරිවර්තනයකට ලක් කළයුතුයි.

දැන් අපට අවශ්‍ය වතු හා වැවිලි කර්මාන්ත නොවෙයි, කෘෂි ව්‍යාපාරයක්. අපේ වතු කෘෂි ව්‍යාපාර බවට පත් කර නිෂ්පාදන ඉහළ නංවා ගත යුතුයි. තේ, රබර් බෝග වගාවන් දියුණු කළ යුතුයි. ඒ සඳහා වන වෙළෙඳපොළ ජය ගත යුතුයි. අද අපේ තේ කර්මාන්තය විවිධාංගීකරණය වෙලා තිබෙනවා. සමාගම් රැසක් එහි සාර්ථකව කටයුතු කරනවා.

අප මෙරට සම්ප්‍රදායික බෝග වගාව දියුණු කළයුතුයි. කොකෝවා , කුරුඳු ඇතුළු අනෙකුත් කුළු බඩු ද නැවත වගා කළයුතුයි. ඒ වගේම නව බෝගවලට යොමු විය යුතුයි. එහිදී පළමුව නව තාක්ෂණික කළමනාකරණය මෙම ක්ෂේත්‍රයට ගෙන ආ යුතුයි. දෙවනුව කුඩා වතු හිමියන් ද මෙම නවීකරණ වැඩපිළිවෙළ සමඟ එක් කර ගනිමින් එම නිෂ්පාදනය ඉහළ නැංවිය යුතුයි.

ග්‍රාමීය ජනතාව අතර දුප්පත්කම නැති කළ හැක්කේ කෘෂිකර්මාන්තයේ දියුණුව තුළින් පමණයි. ඒ නිසා අප දැනට තිබෙන බෝගවලින් සහ භූමියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට මෙන්ම නව ඉඩම් අක්කර ලක්ෂ 05ක වගා කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා අපට නවීන කෘෂිකර්මාන්තයක් සහ නවීන කෘෂි ව්‍යාපාරයක් අවශ්‍යයි. කෘෂිකර්මාන්තය මෙරට ප්‍රධාන අපනයන අංශයක් බවට පත් කළයුතුයි.

ඉදිරියේ දී ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින රටවල ජනගහනය බිලියන ගණනින් වැඩි වන බවට පුරෝකථනය කර තිබෙනවා. එම වැඩිවන ලෝක ජනගහණයට අවශ්‍ය ආහාර වෙළෙඳපොළට සැපයීම සඳහා අප සුදානම් විය යුතුයි. එසේ නම් පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට අලුත් කෘෂි ව්‍යාපාරයක් ඇති කරමින් අප රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන ආ යුතුයි. මෙහිදී අදාළ ආයතන අතර තිබෙන බාධක සියල්ල නව නීතියකින් ඉවත් කර සියලුදෙනා එකට වැඩකරන පරිසරයක් ඇති කිරිමට මම බලාපොරොත්තු වෙනවා.
.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ,

අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රජ්‍ය අමාත්‍යවරුන් වන ඩී. බී .හේරත්, කාදර් මස්තාන්, සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක , ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සභාපති පුෂ්පික සමරකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාව ට එක්ව සිටියහ.

IMG 20240514 WA0005

O/L අවසන් වූ වහා ම A/L පන්ති අරඹන්න කැබිනට් අනුමැතිය

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහා ම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සිසුන්ගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගෙන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව, උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට ගුරුවරුන්ට ප්‍රමාණවත් කාලයක් සලසා දීමට හැකි වන පරිදි සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමත් සමග පාසල්වල උසස් පෙළ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නියමිත ය.

ජනපති රනිල් ගේ කැපවීම : ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්ගේ පැසසුමට !

මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය.

ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ කැපවීම ඩොනල්ඩ් ලූ මහතාගේ ඇගයීමට ලක් විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලි චංග්, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන  ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ක්‍රිකට් සහ රග්බි ජාතික කණ්ඩායම් ජනපති හමුවෙති !

ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය.

වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (14) උදෑසන දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ක්‍රීඩකයන් දිරිමත් කරමින් ඔවුන් සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා රට වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සිය සුබපැතුම් ද පිරිනැමීය.

මේ අතර ශ්‍රී ලංකාවේ පැවැති පළමු කොටසේ ආසියාතික රග්බි ශූරතාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමද අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය.

වසර ගණනාවකට පසු රග්බි ක්‍රීඩාව තුළ අත්කරගත් මෙම විශිෂ්ට ජයග්‍රහණය රටට මහත් ආඩම්බරයක් බව පැවසු ජනාධිපතිවරයා ක්‍රීඩකයන්ගේ දක්ෂතා අගයමින් ඔවුන් වෙත ද සිය සුබපැතුම් පිරිනැමීය.

සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
https://newstube.lk/news?start=1494#sigProIdcc008603b5

 

විදුලි බල පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නිවේදනය මෙන්න !

මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි නිත්‍යානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමුකරන බව අද (13) නිවේදනය කළේය.

විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත්වුණි.

විනිසුරු මඩුල්ල මෙම නිවේදනය නිකුත්කර සිටියේ පුරා දින තුනක් තිස්සේ පැවැති මෙම පෙත්සම් විභාගය අද අවසන් කරමින් ය.

වතු සමාගම්වල අභියෝගය ඇමති භාරගනියි !

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් පැවසීය.

එසේම වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියලකින් හෝ ඉහළ දැමීමට නොහැකි බව මීට පෙර වතු සමාගම් පැවසුවත් රජය රුපියල් 1700ක දෛනික වැටුප නිවේදනය කිරීමත් සමඟ වතු කම්කරු මූලික වැටුප රුපියල් 200කින් ඉහළ දැමීමට වතු සමාගම් ඉදිරිපත් වූ බව සඳහන් කළ අමාත්‍යවරයා ඉන් පෙන්නුම් කරන්නේ වතු කම්කරු වැටුප් ඉහළ දැමීමේ හැකියාව සමාගම් සතු බව යැයි ද සඳහන් කළේය.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

කාලයක් තිස්සේ යාපනය අර්ධද්වීපයේ පානීය ජල අවශ්‍යතාව සම්බන්ධව බරපතල ගැටළුවක් පවතිනවා. මෙම ගැටළුවට කඩිනමින් විසඳුම් සැපයීමට අවශ්‍යයි. දැනට යාපනය අර්ධද්වීපයේ පිරිසිදු පානීය ජලය සඳහා පහසුකම් ඇත්තේ 11% ක පමණ ප්‍රමාණයකටයි. නමුත් මේ වන විට ඉදි කෙරෙමින් පවතින ලවණ ඉවත් කිරීමේ බලාගාරය විවෘත කිරීමෙන් පසු යාපනය අර්ධද්වීපයෙන් 40% කට ආසන්න ප්‍රමාණයකට පිරිසිදු පානීය ජලය ලබා ගත හැකි වනවා. එබැවින් මෙය ඉතා හොඳ ප්‍රවණතාවක් ලෙස සැලකිය හැකියි.

පසුගිය සමයේ පැවති දරුණු ආර්ථික අර්බුදයට රටේ සියලුම ජනතාව මුහුණ දුන්නා. එහිදී වඩාත් පීඩාවට පත්වූ ජන කොටසක් ලෙස වතු කම්කරු ජනතාව හඳුන්වා දිය හැකියි. ඔවුන් කාලයක් තිස්සේ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිනවා. එහිදී වැටුප් ප්‍රශ්නය මූලිකයි. කාලයක් තිස්සේ සාකච්ඡා කළත් වතු කම්කරු ජනතාවගේ වැටුප් ප්‍රශ්නයට විසඳුමක් ලැබුනේ නැහැ. ඒ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය වතු කම්කරු ජනතාව සඳහා රුපියල් 1700ක දෛනික වැටුපක් ගැසට් කළා. දැන් එම ගැසට් නිවේදනයට අනුව වතු සමාගම් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.

වතු කම්කරු ප්‍රජාවගේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට අප සූදානම් බව ද මෙහිදී අවධාරණය කළ යුතුයි.

වතු සමාගම් මීට ඉහත සඳහන් කළේ වතු කම්කරු ජනතාවගේ මූලික වැටුප රුපියලකින් හෝ ඉහළ දැමීමට නොහැකි බවයි. නමුත් රජය වතු කම්කරු ප්‍රජාවගේ දෛනික වැටුප රුපියල් 1700ක් ලෙස ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමඟ වතු කම්කරු ප්‍රජාවගේ මූලික වැටුප රුපියල් 200කින් ඉහළ දැමීමට වතු සමාගම් ඉදිරිපත් වුණා. එයින් පෙන්නුම් කරන්නේ වතු කම්කරු ප්‍රජාවගේ වැටුප් ඉහළ දැමීමේ හැකියාව සමාගම් සතුව තිබූ බවයි.

මේ ආකාරයට රජය එක් පසෙකින් වතු කම්කරු ප්‍රජාවගේ නිවාස ගැටළුව විසඳමින්, අධ්‍යාපන ඇතුළු අනෙකුත් අවස්ථා පුළුල් කරමින් අප ප්‍රජාවගේ ජන ජීවිතය ඉහළ දැමීමට කටයුතු කරන අතර අනෙක් පසින් වැටුප් ද වැඩිකර තිබෙනවා. ඒ අනුව පැහැදිලි සේවාවක් අපේ ජනතාවට ඉටුකර තිබෙනවා.

නමුත් මැතිවරණ සමය ළඟාවන විට ඇතැම් පක්ෂ අප ජනතාවට විවිධ පොරොන්දු ලබාදෙනවා. වතු ජනතාව කුඩා වතු හිමියන් කරන බවට ඇතැමුන් පවසනවා. නමුත් එම කටයුත්ත සිදුකරන යාන්ත්‍රණය කුමක් ද කියා ඔවුන් පවසන්නේ නැහැ.

විජයදාසට බාධා නොකරන්නැයි අධිකරණයෙන් නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ  ඊයේ (12) දින පත් කර ගැනීමට සහ විධායක සභාව විසින් ගත් තීරණවලට බාධා කිරීම සියලු පාර්ශවයන්ට වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්‍රමසූරිය  විසින් අද (13) දින නියෝග කලාය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අදාල එම තීරණ මත පක්ෂයේ සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂ වැඩ බලන ලේකම් නීතිඥ කීර්ති උඩවත්තට සහ දේශපාලන මණ්ඩලයට අදාල කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවස්ථාව ලබා දෙන ඉල්ලමින් ඉසුරු අබේවර්ධන සහ සුමිත් විජයමුණි සොයිසා යන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයන් දෙදෙනකු විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

අදාල පත් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 20 දෙනකු නම් කර ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ්  ඇතුළු නීතිඥ කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගය මැයි මස 27 දින පැවැත් වේ.

මෙවර සාපෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේදී, දරුවන්ට අසාධාරණයක් නොවෙන ආකාරයට මාර්කින් ස්කීම් සකස් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  අද(13) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ, විද්‍යාව ප්‍රශ්න පත්‍රයෙහි උගන්වපු නැති විෂය කාරණා ඇතුල් කිරීම සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයෙහි ව්‍යුහය වෙනස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න  යොමු කළ වාචික ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

''විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් සහ බහුවරණ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් ගැටලුවක් මතුවී ඇති බවත්, ඊයේ දිනයේදී මෙම ප්‍රශ්න පත්‍රය සකස් කළ ආචාර්යවරු පිරිස රැස් වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.සාමාන්‍යයෙන් සෑම විභාගයකම ප්‍රශ්න පත්‍රය ලබා දී අවසානයේ දී, සාම්පල් මාර්කින් සිදු කරන බවත් ඒ අනුව සාම්පල් මාර්කින් අවසානයේ යම් යම් වෙනස්කම් සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එම දරුවන්ට අසාධාරණයක් සිදු නොවන ආකාරයට මාර්කින් ස්කීම් සකස් කිරීම සිදුවන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයේදී ප්‍රමිතිය පවත්වාගෙන යා යුතු බවත් අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.

ගුරුවරු බඳවාගැනීම සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, 2021 ඩිප්ලෝමාධාරින් බඳවා ගැනීමට තිබූ විභාගයේ පත්වීම් ලබා දීමට සම්මුඛ පරීක්ෂණ පවත්වාගෙන යන බවයි.

ග්‍රාමීය මට්ටමේ සහ පළාත් මට්ටමේ පාසල්වලට ගුරුවරු ලබා දීම ඉදිරියේදී සිදුකරන බවද හෙතෙම පැවසීය.

යම් කිසි ප්‍රශ්න පත්‍රයක ප්‍රමිතිය පවත්වාගෙන යා යුතුයි. ගුරුවරු නැති පාසල් සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. නමුත් ප්‍රශ්න පත්‍රයක ප්‍රමිතිය අඩු කරන්න බැහැ. මෙම කරුණු සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරනවා''

සජිත්ගේ තවත් කෙරුවාවක් ප්‍රසන්න ප්‍රසිද්ධ කරයි !

වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍යවරයා වශයෙන් සිටියදී දිවයින පුරා අවිධිමත් ලෙස වැඩ ආරම්භ කර අවසන් නොකළ ඉදිකිරීම් අතරමඟ නතරවී ඇති නිවාස 44,053ක වැඩ අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 15,244.58 ක මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග රජයෙන් ඉල්ලයි.

මෙම ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව පවසන ඇමතිවරයා එම නිවාසවල ඉදිකිරීම් මේ වසර තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බවද අවධාරණය කරයි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස නිවාස විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2015-2019 කාලසීමාව තුළ නිවාස වැඩසටහන් 07ක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කර තිබේ.

ආදර්ශ ගම්මාන වැඩසටහන, විසිරි ණය (ආධාර) වැඩසටහන, ග්‍රාම ශක්ති විසිරි ආධාර, විසිරි ණය වැඩසටහන, විරු සුමිතුරු, වකුගඩු ආධාර, ගංවතුරෙන් හානි වූ උතුරේ නිවාස ඉදිකිරීම මෙම ව්‍යාපෘති 07 වෙයි.

මෙම වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වෙන්වූ මුදල් ප්‍රතිපාදන සීමාව ඉක්මවා නිවාස ඉදිකිරීමට එවකට නිවාස ඇමතිවරයා වූ සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත. අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා මෙම නිවාස ඉදිකිරීම තාවකාලිකව නතර කෙරුණු බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ එක් උදාගම්මාන වැඩසටහනක් සඳහා වෙන් කළ මුදල කොටස් වශයෙන් උදාගම්මාන කිහිපයක් සඳහා වෙන්කිරීම මෙයට හේතුව බවයි.

තමන් අමාත්‍යධූරය දැරූ සමයේදී නිවාස ගම්මාන රැසක් ඉදිකළ බව පෙන්වීමේ අරමුණින් ඔහු මෙලෙස කටයුතු කර ඇති බවද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ ඇමති ප්‍රසන්න රණතුංග මෙම නිවාස ඉදිකර අවසන් කරන තුරු නව නිවාස ව්‍යාපෘති ආරම්භ නොකිරීමට තීරණය කළ අතර ඒ අනුව මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ නිවාස 28,537ක්, විසිරි ණය ව්‍යාපෘතිය යටතේ නිවාස 7,063ක්, විසිරි ණය ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 1,036ක්, ග්‍රම ශක්ති ව්‍යාපෘතිය යටතේ නිවාස 1,318ක්, විරු සුමිතුරු ආධාර ව්‍යාපෘතිය යට‍තේ නිවාස 53ක්, වකුගඩු ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 1,416ක්, ගංවතුර ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 4,630ක් වශයෙන් නිවාස 44,053ක වැඩ අවසන් කිරීමට නියමිතය.

– ප්‍රදීප් අනුර කුමාර

විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඉහළට !

මෙම වසරේ ගතවු පළමු මාස 04 තුළ පමණක් විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල බැංකු ක්‍රමය හරහා අමෙරිකානු ඩොලර් බිලියන 2ක ඉක්මවු මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කරයි.

අප්‍රේල් මාසයේදී පමණක් විදෙස් ශ්‍රමිකයින් ඩොලර් මිලියන 543ක් පමණ මුදලක් මෙරටට යොමුකර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

පසුගිය වසරේ මුල් මාස හතර හා සන්සන්දනය කරන විට එය සියයට 11.4ක ඉහළ යාමක් බවද අමාත්‍යංශය පවසයි .

පසුගිය වසරේ අප්‍රේල් මාසය සමග සන්සන්දනය කරන විට මේ වසරේ අප්‍රේල් මාසයේදී පමණක් මෙරටට ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සියයට 19.7කින් ඉහළ ගොස් ඇති බව ද අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මහින්දගෙන් සූසයිඩ් නිවේදනයක් !

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය සමනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව වැටුණු රට යළි ගොඩනගන සාර්ථක වැඩපිළිවෙළ විවේචනය කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත්කර ඇත .

එමඟින් ඔහු පෙන්වා දෙන්නේ රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු මහජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවය.

වත්මන් ආණ්ඩුවේ මෙම පියවරට පාදක වී ඇත්තේ පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා වන වියදම් අවම කිරීමට‍ සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි සපුරාලීමට බවද පෙනෙන්නට තිබෙන බවය.

තවද වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලින වැඩපිළිවෙළක් බවත් හිටපු ජනාධිපති මහින්ද සිය නිවේදනයේ සඳහන් කරයි.

මෙවන් අවස්ථාවක රාජ්‍ය දේපොළ කඩිමුඩියේ විකුණා දැමීමෙන් රටට වැඩදායක ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි බව පුද්ගලීකරණයට පක්ෂපාත පාර්ශ්වවලට පවා අවබෝධ විය යුතු බවද එහිදී සඳහන් කර ඇත .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ වත්මන් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ සංශෝධනය කළහොත් යළිත් ආර්ථික අර්බුදයක් ඇතිවීම අනිවාර්යයක් වන බවයි.

මෙවැනි සංකීර්ණ දේශපාලන පසුබිමක මෙවැනි නිවේදනයක් නිකුත්කරමින් සිටින්නේ රට යළිත් වතාවක් බංකොලොත් කර මෙරට මිලියන 22 ක ජනතාව වෙතින් පළිගැනීමේ චේතනාවෙන්ද යන පැනය මතුවෙන බවද විචාරක අදහස වී තිබේ.

එසේම වත්මන් වැඩපිළිවෙළට විකල්පයක් කිසිදු පාර්ශ්වයක් ඉදිරිපත් කර නොතිබීම මෙන්ම වත්මන් වැඩපිළිවෙළ සාර්ථක ලෙස ඉදිරියට කරගෙන යාම සඳහා පොදුජන පෙරමුණේ සහය ලැබීඇති පසුබිමක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිසියම් නොමගයෑමක සහ පොහොට්ටු පක්ෂයේ බෙදීමක් නිර්මාණය කිරීමේ පෙළඹවීමක නියැලි ඇති බවද දේශපාලන විචාරකයන් ගේ නිරීක්ෂණය වී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි .

1

2

ලබන වසරේ රාජ්‍ය සේවක වැටුප් තවත් ඉහළට !

2025 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඊට සමගාමීව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසිය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් අද (12) අරලියගහ මන්දිරයේ දී සංවිධානය කර තිබූ ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමිනි.

අපනයන ආර්ථිකයක් සමඟ රටේ ආර්ථිකය සීග්‍ර දියුණුවක් කරා ගෙන යාම වෙනුවෙන් ප්‍රධාන නීති හතරක් හඳුන්වා දෙන බවද මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ඉන් පළමුවැන්න ලෙස මහබැංකුවට ස්වාධීනත්වයක් ලබා දීමේ මහබැංකු නීතිය මේ වන විටත් සම්මත කර ගෙන ඇති බවත් රාජ්‍ය ණය කළමනාකරණ නීතිය, රාජ්‍ය මුදල් පනත සහ ආර්ථික පරිවර්තන නීතිය ඇතුළත් පනත් කෙටුම්පත් මෙම ජූනි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් පැවසීය.

රට ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙම නව නීති සම්මත කර ගැනීමට සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මෙරටට ණය ලබාදුන් අනෙකුත් රටවල් සමඟ ඇතිකරගෙන තිබෙන කොන්දේසි සියල්ලම ඉදිරියේ දී නීතියක් ලෙස ගෙන එන බවත් රටේ අනාගතය රැඳී පවතින එම නීතිය සම්මත කර ගැනීම වෙනුවෙන්ද සෑම දේශපාලන පක්ෂයකම සහාය අපේක්ෂා කරන බවත් පැවසීය.

රට ආර්ථික වශයෙන් අස්ථාවර වූ අවස්ථාවක සෑම පක්ෂයකම පිරිස් එක් කර ගනිමින් තමා ආණ්ඩුවක් නිර්මාණය කළේ රට ගොඩගැනීමට බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා අද එම වැඩපිළිවෙල සාර්ථක වී ඇති බවත්, නව නීති සම්මත කර ගනිමින් රටේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම වෙනුවෙන්ද සියලුදෙනා එක් විය යුතු බවත් අවධාරණය කළේය.

ඉදිරියේදී රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීමට සිදුවනු ඇති බවද සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය සිදු කළ හැක්කේ නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් පමණක් බවද කියා සිටියේය.

සෑම වසරකම මැයි 12 වනදා ජාත්‍යන්තර හෙද දිනය ලෙස සමරනු ලබන්නේ හෙද සේවයේ නිර්මාතෘවරිය වන ෆ්ලෝරන්ස් නයිටිංගේල් ආර්යාවගේ ජන්ම දිනය නිමිති කර ගනිමිනි.

‘අපේ හෙදියන්- අපේ අනාගතය, හෙද සාත්තුවේ ආර්ථික බලය’ යන්න මෙවර ජාත්‍යන්තර හෙද දිනයේ තේමාවයි.

ශ්‍රී ලංකා හෙද විශ්වවිද්‍යාලයේ සමරු ඵලකය නිරාවරණය කර එය ආරම්භ කිරීම ද මේ හා සමගාමීව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිල වෙබ් අඩවිය දියත් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතින් සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.

අද විශේෂ දිනයක්. අද අප ෆ්ලෝරන්ස් නයිටිංගේල් මැතිණියගේ උපන්දිනය සමරනු ලබන්නේ හෙද විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමෙන් පසුවයි. අපේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේගේ විශාල සටනක ප්‍රතිඵලයක් ලෙසයි මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ. කෙසේ නමුත් අප එම වැඩකටයුත්ත සාර්ථකව ඉටුකර තිබෙනවා. දැනට පවතින ගොඩනැගිල්ලේ මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කර පසුව එය දියුණු කිරිමට කටයුතු කළහැකියි.

අපේ පූජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේගේ ජීවිත කතාවේ ප්‍රධාන කොටසක් බවට මෙම විශ්වවිද්‍යාලය පත් වෙනවා. හෙද විද්‍යාවට අමතරව විදේශ භාෂා ඉගැන්වීමට ද මෙම විශ්වවිද්‍යාල මගින් කටයුතු කළයුතුයි. ඉංග්‍රීසි, ජර්මන්, ජපන්, කොරියන්, චීන ඇතුළු සෑම භාෂා දැනුමක්ම මෙහිදී ලබාදිය යුතුයි. මෙම දැනුම ලැබු විට හෙදියින්ට විදේශ රටවල සේවා අවස්ථා ලබාගත හැකියි. විශේෂයෙන් එංගලන්තය සහ ජර්මනිය වැනි රටවල වැඩිහිටියන් සඳහා නිවාස ඇති කර තිබෙනවා. ඒ වගේම ලංකාවෙත් එවැනි ආයෝජන අවස්ථා පිළිබඳ කැමැත්ත පළ වී තිබෙනවා. ඒ නිසා මෙය ඉතා වැදගත් කටයුත්තක් වෙනවා.

අද මෙහිදී භාණ්ඩාගාරය පිළිබඳ කථා කළා. භාණ්ඩාගාරය පිළිබඳ කථා කරන විට මට සිහිපත් වන්නේ අලගියවන්න මුකවේටි කවියාගේ කොන්ස්තන්තීනු සටනයි. කොන්ස්තන්තීනු ද සා වගේ සෑම පැත්තෙන්ම දැන් වට කරගෙන ගහනවා. කෙසේ නමුත් අප භාණ්ඩාගාරය රැකගෙන ඉදිරියට යා යුතුයි.

කෙසේ හෝ මෙම කාලය තුළදී අපි හැකි අයුරින් රාජ්‍ය සේවකයන්ට සහන ලබාදී තිබෙනවා. ලබන වසරේදී වැටුප් වැඩි කිරිමක් සිදු කිරීම පිළිබඳවද අපේ අවධානය යොමුව තිබෙනවා. පසුගිය වසර 04 දී අප ඉතා අසීරු තත්ත්වයකයි සිටියේ. මෙරට ආර්ථික වර්ධනය ආරම්භ වූණේ පසුගිය වසරේ අවසන් කාර්තු දෙක තුළයි. 2020 වසරේ සිට වසර තුන හමාරක් මේ රටේආර්ථික දියුණුවක් සිදුව තිබුණේ නැහැ. කොවිඩ් වංසගතය මෙන්ම ආර්ථික අර්බුදය හමුවේ රටේ ආර්ථිකය කඩා වැටී තිබුණා.

ඒ වගේම රට තුළ මන්දපෝෂණය පැතිර යාම විශාල ගැටලුවක් බවට පත්ව තිබුණා. දිළිදුකම සහ මන්දපෝෂණය නිසා අතැම් දරුවන්ගේ වර්ධනය සිමා වී තිබුණා. මෙම තත්ත්වය අනාගතයේදී විශාල බලපෑමක් විය හැකියි. ඒ නිසා මේ තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් මුදල් වෙන් කිරීමට සිදු වුණා. අපි ඒ වෙනුවෙන් ලෝක බැංකුව සමග සාකච්ඡා කර සමෘද්ධිය මෙන් තුන් ගුණයක මුදලක් අස්වැසුම හරහා ජනතාවට ලබාදීමට කටයුතු කළා. ඒ වගේම එම ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 18 සිට ලක්ෂ 24 දක්වා ඉහළ දැමුවා. ඒ අනුව මූලික වශයෙන් මෙම අංශය වෙනුවෙන් මුදල් වැය කිරිමට සිදු වුණා.

ඒ වගේම රජයේ සේවකයන්ගේ අසීරුතා හඳුනාගෙන ඔවුන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබා දීමට කටයුතු කළා. එමඟින් පුද්ගලික අංශයේ සහ වැවිලි අංශයේ වැටුප් වැඩි කිරීමට සංඥාවක් ලබා දීම සිදු වුණා.

පසුගිය යල සහ මහ කන්නවල අපට සාර්ථක වී අස්වැන්නක් ලැබුණා. පසුගිය සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ මෙන්ම මෙම වෙසක් උත්සවයේදීත් එම මුදල් නැවත ආර්ථිකයට එක් වෙනවා. මෙවන් තත්ත්වයක් තුළ ලබන වසරේ 3%ක ආර්ථික වර්ධනයක් ලබාගත හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. එහිදී නැවත රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිදු කිරීම කෙරෙහි අපගේ අවධානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අවබෝධයකින් කටයුතු කිරීම පිළිබඳ මම රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. ලබන වසරේදී මීට වඩා ආර්ථික දියුණුවක් රට තුළ ඇතිකරගත යුතුයි. එම ආර්ථික වර්ධනය ඇති කර නොගතහොත් අපට මෙම ඉලක්කයන්ට යාම අසීරු වෙනවා.

දැන් අපට මුදල් මුද්‍රණය කරන්න බැහැ. අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කොන්දේසියකට පැමිණ තිබෙනවා මුදල් මුද්‍රණය කරන්නේ නැහැ කියලා. එසේ නම් අපට තිබෙන එකම මාර්ගය ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීමයි. අපට ණය ලබා දුන් රටවල් සමඟ සාකච්ඡා අප දැන් අවසන් කරගෙන යනවා. ඊළගට පුද්ගලික ණයකරුවන් සමඟ සාකච්ඡා කරනවා. ඒ අනුව මේ වසර තුළදී අප බංකොළොත්භාවයෙන් සම්පුර්ණයෙන් නිදහස් වෙනවා. නමුත් මෙම ආර්ථික ගැටලුව එතනින් අවසන් වන්නේ නැහැ. අපට ණය සහනයක් ලැබුණත් ඉතිරි මුදල් ගෙවිය යුතුයි.

ඒ නිසා අප ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ද සාකච්ඡා කර අපේ ආර්ථිකය වෙනස් කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. ආනයන පදනම් කරගත් ආර්ථිකය වෙනුවට අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයකට අප ගමන් කළයුතුයි. අපි එම කොන්දෙසිවලට එකඟ වෙලා තිබෙනවා. අපට එයින් ඈත් වෙන්න බැහැ. එයින් ඉවත් වුණහොත් මෙම සහන නැති වෙනවා. ඒ නිසා මේ සමඟ ඉදිරියට යා යුතුයි.

එහිදී අප සෑමවිටම අයවැය අතිරික්තයක් පවත්වාගෙන යා යුතුයි. නැත්නම් ණය ගෙවීමට නොහැකි වෙනවා. අපි මෙම සියලු තීරණ ගත්තේ රට වෙනුවෙන් බව කිවයුතුයි. දැන් අපට තිබෙන්නේ අපනයන ආර්ථිකයක් සමග සීග්‍රයෙන් ඉදිරියට යාමටයි. මේ වෙනුවෙන් අප නීති කිහිපයක් සකස් කර තිබෙනවා. ඉන් ඇතැම් නීති සම්මත කර තිබෙන අතර අනිත් ඒවා සම්මත කර ගැනීමට තිබෙනවා.

ඉන් පළමුවැන්න ලෙස අප මහ බැංකු නීතිය සම්මත කළා. මුදල් මුද්‍රණය කිරීම සහ රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගැනීම තහනම් කර මහ බැංකුවට ස්වාධීනත්වයක් ලබා දීමට එමගින් කටයුතු කළා. ඒ වගේම තවත් නීති 03 ක් සකස් කර තිබෙනවා. එයින් රාජ්‍ය ණය කළමනාකරණ නීතිය මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. අපට ණය ලබාගත හැකි යම් සීමාවක් තිබෙනවා. එසේ නම් කොන්දේසි ගණනාවක් අනුව ණය ලබා ගැනීමටත්, ණය ආපසු ගෙවීමේදීත් අප එම නීතිය අනුව කටයුතු කළයුතු වෙනවා.

ඒ වගේම රාජ්‍ය මුදල් පනත ඉදිරිපත් කරනවා. මෙතෙක් කල් මුදල් පාලනය කළේ FR අනුවයි. අපි දැන් නීතියෙන් මුදල් පාලනය කිරීමට කටයුතු කළයුතුයි. රජයේ මුදල් හැසිරීම, ආදායම් එකතු කිරීම, මුදල් බෙදා හැරීම ඉදිරියේ දී මෙම නව නීතියට අනුව සිදුවන අතර අප එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.

අප දැනටමත් පාර්ලිමේන්තුවේ අය වැය කාර්යාලය ආරම්භ කර තිබෙනවා. භාණ්ඩාගාරයට අමතරව තවත් ස්වාධීන වාර්තා පාර්ලිමේන්තුවට ලබාදීම වෙනුවෙන් ආයතනයක් ඇති කර තිබෙනවා. ඒ අනුව එම ආයතන මෙම නීති දෙක යටතේ ක්‍රියාත්මක වෙනවා.

ඒ වගේම ආර්ථික පරිවර්තන නීතිය අප ඉදිරිපත් කරනවා. මේ රටේ ආර්ථිකය අපනයන පදනම් කරගත් නව ආර්ථිකයක් බවට පත්කළයුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් රටවල් සමඟ අප එකඟ වූ කොන්දේසි සියල්ලම නීතියක් ලෙස ගෙන එනවා. මෙම නීතිය සම්මත කර ගැනීම වෙනුවෙන් සහාය ලබා දෙන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයකින්ම මම ඉල්ලනවා. මොකද මෙම නීති මත තමයි අපේ රටේ අනාගතය රඳා පවතින්නේ.

විශේෂයෙන් අද අපේ සෞඛ්‍ය අංශය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කළයුතුව තිබෙනවා. අපේ රටේ වැඩිහිටි ජනතාව වැඩි වී තිබෙනවා වගේම මන්දපෝෂණය වළක්වා ගැනීමට කටයුතු කළයුතු වෙනවා. ඒ සඳහා ආර්ථිකයේ සීග්‍ර දියුණුවක් ඇති කළයුතුයි.

එක් එක් පක්ෂවලින් එකතුකරගෙන අපි ආණ්ඩුවක් නිර්මාණය කළේ මේ රට ගොඩගැනීමටයි. අද අප එය ඉටු කර තිබෙනවා. දැන් රට ඉදිරියට ගෙන යන මෙම ප්‍රධාන නීති 03 ඉදිරිපත් කර ජූනි මාසයේ ඒ පිළිබද විවාදයක් සිදු කරනවා. මම සිතනවා සියලුදෙනා මේ සමග එකඟ වෙයි කියලා. කිසිවෙක් මීට විකල්පයක් ඉදිරිපත් කර නැහැ. ඒසේ නම් අප මෙම නව නීති සම්මත කරගෙන රට දියුණු කරමින් ඉදිරියට යමු කියා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරිමට අවශ්‍යයි. මෙම නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් පමණයි එය සිදු කළ හැක්කේ. ඒ නිසා මෙම වැඩපිළිවෙළට ඔබ සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන :

අපේ රටේ සහ ලොව පුරා විශ්වාසය නිසාම මෙම ජාත්‍යන්තර හෙද දිනය ගෞරවයෙන් සිහිපත් කරනවා. හෙද හෙදියන් ළගට ජනතාව පැමිණෙන්නේ මහත් විශ්වාසයෙන්. නිරෝගී බවේ සහතිකය ලබාගෙන ඔවුන් යළි නිවසට යනවා. එය ඉටුකරන හෙදියන් සමාජයේ සුවිශේෂ අවස්ථාවක වගකීම් බාරගෙන තිබෙනවා. ඒ නිසාම මේ උතුම් දිනයට විශාල පිරිසක් එක් වෙනවා. ඒ අනුව අපේ රටේ හෙද සේවය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දිගු ගමනක් පැමිණ තිබෙනවා.

වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා ද මේ වෙනුවෙන් විශාල සහායක් ලබාදෙනවා. විශ්වාසයෙන් කටයුතු කරනවා. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා මේ වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකරනවා.

හෙද විශ්ව විද්‍යාලයක් නිර්මාණය වී තිබෙන්නේ දීර්ඝ සාකච්ඡා රැසකින් පසුවයි. අපේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ දැඩි උත්සාහය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිෂ්ඨානයෙන් යුතුව ගනු ලැබු තීරණය අනුව අද හෙද විශ්වවිද්‍යාලය ඇති කිරීමට හැකිවී තිබෙනවා.

ඒ සඳහා සෞඛ්‍ය ඇමතිවරයා සහ අදාළ අමාත්‍යාංශ නිලධාරීන් විශාල කාර්යභාරයක් ඉටු කළා. හෙද හෙදියන් දහස් ගණනක් ආඩම්බරයෙන් යුතුව එම සතුට භුක්ති විදින අවස්ථාවේ සමස්ත හෙද සේවයට මගේ කෘතවේදීත්වය පිරිනැමීමට කැමැතියි.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ :

මෙම මාසය මම සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරන හයවන මාසයයි. ඒ මාස හය තුළ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාලතම සහ විශිෂ්ඨතම වෘත්තිය කණ්ඩායමක් වන හෙද සේවය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් සිදු කළ හැකි වූ කටයුතු කිහිපයක් ඉටු කිරීමට හැකිවීම පිළිබඳව මම නිහතමානීව සතුටට පත් වෙනවා.

ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකාවේ පළමු හෙද විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය ඇති කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

ආර්ථික අපහසුතා මැද අප ගත කළ කාලය ක්‍රමානුකූලව වියැකෙමින් තිබෙනවා. 2024 වසරේදී ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයට වැටුප් වැඩිකිරීමක් සිදු කළා. ඉන් ඔබ්බට ගොස් ඔබ වෙනුවෙන් කොතරම් ආර්ථික අපහසුතා තිබුණත් ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙද සේවාවේ විශිෂ්ඨත්වය අගයමින් නිළ ඇඳුම් දීමනාව වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා.ඒ වගේම මැයි මාසයේ සිට ඔබේ විශේෂ රාජකාරි දීමනාව දෙගුණ කර ලැබෙන බව මේ අවස්ථාවේ දී සඳහන් කිරීමට කැමතියි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ එක් ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් සේවය කරනවා. මෙරට දේශපාලනඥයන්ට වගේම රාජ්‍ය සේවකයන්ටත් විවිධ චෝදනා එල්ල වන පරිසරයක ශ්‍රී ලංකාවේ හෙද සේවයට එවන් කිසිදු චෝදනාවක් එල්ල නොවන බව ඉතා ගෞරවයෙන් හා සතුටින් ප්‍රකාශ කරනවා. හෙද සේවාවේ විශිෂ්ඨත්වය එයයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි :

අද ජාත්‍යන්තර හෙද දිනය සමරනු ලබන්නේ ෆ්ලෝරන්ස් නයිටිංගේල් ආර්යාවගේ ජන්ම දිනය සිහිපත් කරමිනුයි. අද දිනයේ මම සමස්ත හෙද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ නයිටිංගේල් ආර්යාව ගිය මඟ යන ලෙසයි. අද පොඩි දෙයටත් අරගල කිරීමට පෙළඹී සිටිනවා. ඒත් මම කියන්න කැමතියි අපි දැන් සියලු දේ දිනාගෙන අවසන්. ඉදිරියේදී සිදු කළ යුත්තේ දිනා ගත් දේ ආරක්ෂා කර ගැනීමයි. යුතුකම් ඉටු කර වැටුප් වැඩි කර ගනිමු. කුමන බලපෑම් පැමිණියද උතුම් හෙද සේවාවේ ගෞරවය රැක ගන්නා ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. අරගල තුළින් නොව සාකච්ඡා තුළින් අයිතීන් දිනා ගනිමු.

හෙද විශ්වවිද්‍යාලයක් ලබා ගැනිම සුළු පටු ජයග්‍රහණයක් නොවෙයි. එය හෙද ඉතිහාසයේ අප ලැබූ විශාලතම ජයග්‍රහණයයි. එම ජයග්‍රහණය අප කිසිදා අමතක නොකළ යුතුයි. හෙද නිලධාරීන් වෙනුවෙන් ඩිප්ලෝමා සහතිකය ලබා දුන්නේත් එවකට අග්‍රාමාත්‍යවරා වශයෙන් කටයුතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. ඒ වාගේම අද නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරය ලබා දුන්නේත් එතුමායි.

අභියෝග හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී ජනාධිපතිතුමා ගත් තීන්දු තීරණවලින් තමයි මේ අයිතීන් අපට හිමි වන්නේ. විෂ පොවන අයට අවශ්‍ය වන්නේ අයිතීන් දිනා දීමට ‍නොවෙයි. ඔබව පාරට දමන්නයි. අපට ඕනෑම ගැටලුවක් සාකච්ඡා කළ හැකි ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් සහ අමාත්‍යවරයෙක් සිටින බව අප මතක තබා ගත යුතුයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, යදාමිනී ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, හෙද විදුහල්පතිවරුන්, හෙද නිලධාරීන්, හෙද සිසුන්, විශ්‍රාමික හෙද නිලධාරීන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
https://newstube.lk/news?start=1494#sigProId727e84b12a

මෛත්‍රී ශ්‍රීලනිප සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ වනවිට කෝට්ටේදී පැවැත්වෙන එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය වී ඇත්තේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පක්ෂ සභාපති ධුරයට පත් කිරීමටය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයේ වැඩබලන මහලේකම්වරයා ලෙස නීතිඥ කීර්ති උඩවත්ත පත්කර ඇත.

ප්‍රයිවට් ජෙට් එකකුත් අරගෙන : ධම්මිකගේ ප්ලෑන් B මෙන්න !

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යෝජනාවී ඇති ව්‍යාපාරික ධම්මික පෙරේරා ඇතුළු සිවු දෙනා සම්බන්ධයෙන් , එන සතියේ තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව පොහොට්ටු පක්ෂ ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

මේ අතරින් වැඩිම අවධානය යොමුවී තියෙන්නේ ධම්මික පෙරේරාට කියලයි ඒ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පොහොට්ටු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් , මාධ්‍යට කියලා තියෙන්නේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවයි.

ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට තවම හදිසියක් නෑ කියලත් සාගර කියනවා.

මේ අතර ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටුවේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර තවත් හමුවක් 09 දා පැවැත්වුණා. මේ සාකච්චාව ඇමරිකාවට ගිය බැසිල් ලංකාවට අවට පස්සේ ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ හය වැනි සාකච්ඡාව.

ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට ප්‍රමාද වැඩියි කියලා , පොහොට්ටු මන්ත්‍රීවරුන් ගණනාවක්ම පසුගිය සතියේ දී බැසිල් හම්බවෙලා මැසිවිලි නැගලා... ඒක ඇත්ත කියලා බැසිල් රාජපක්ෂ ත් පිළිගෙන තියනවා කියලයි දැනගන්න තියෙන්නේ.

කොහොම වුනත් ධම්මික පෙරේරා මේ වෙනකොටත් ගේමට බැහැලයි ඉන්නේ. දිගට හරහට වැඩ .. හතර අතේ සල්ලි වියදම් කරනවා.

ජනාධිපතිවරණ කැම්පේන් එකට රුපියල් බිලියන 15කට වැඩිය දාන්න වෙයි කියලා, ධම්මික මේ වෙනකොට ගණන් හදල ලු තියෙන්නේ . ධම්මික මේ ළඟදී ප්‍රයිවෙට් ජෙට් එකක් ගන්නත් හොයලා බලන්න රට ගිහින් තිබුනා.

ධම්මිකගේ සමහර බිස්නස් යාලු මිත්‍රයෝ කියන විදියට, ධම්මිකගේ අදහස වෙලා තියෙන්නේ ආණ්ඩුව පැත්තේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න. ඒ කියන්නේ රනිල්ගෙත් සහය අරගෙන ජනාධිපති අපේක්ෂකයා වෙන්න.

Plan B රනිල් යටතේ අගමැතිකම.

ඒ නිසා ජනාධිපති රනිල් එක්ක වගේම, සාගල සමගත් සමීපතම හිතවත්කමක් පවත්ව ගෙන යන්න පටන් අරන්.

රනිලුයි ධම්මිකයි 10 වෙනිදා එකම වේදිකාවකට ගොඩවුනා. ඒ , ජනාධිපතිවරණය ගැන කතා කරන්න නෙමෙයි , කාන්තාවන්ගේ අයිතිය ගැන කතා කරන්න..

ඒ, නෙළුම් පොකුණේ පැවැති කාන්තා අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් වූ උත්සවයකදී..

පේන විදිහට , රටේ අංක එකේ ව්‍යාපාරිකයා වෙන්න ධම්මික ගහපු ගේම් සේරම , රටේ ඉහලම තැනට එන්නත් ගහන්න පටන් අරගෙන තියෙන බවක් තමයි පෙන්නුම් කරන්නේ. සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයන් වගේම සම්ප්‍රදායික දේශපාලනඥයන් ආමන්ත්‍රණය නොකරන කලාප වලට ධම්මික අත තියලා තියෙන්නේ. අංක එකේ ව්‍යාපාරිකයා වුනු ධම්මිකගේ මේ දේශපාලන වෑයම කොහොම වැඩ කරයිද කියලා අපිත් බලාගෙන ඉමු.

දේශපාලන වාර්තාකරු

පොහොට්ටුව තනියම වැඩ අරඹයි : එළඹෙන 18 වෙනිදා තීරණාත්මකයි !

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන තම පක්ෂයේ අපේක්ෂකයා තවත් නොබෝ දිනකින් ප්‍රකාශයට පත්කරනවා කියලා , පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ කියනවා.

ඊයේ, ඒ කියන්නේ මැයි (10) වෙනිදා එම පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි, බැසිල් එහෙම කියලා තිබුනේ.

ජනාධිපතිවරණය පමණක් නෙවෙයි, ඕනම මැතිවරණයක් සඳහා පොහොට්ටුව සූදානම් බවත්, ජයග්‍රහණය කළහැකි අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බවත්, ඔහු මෙහිදී අවධාරණය කරලා තිබුනා.

''ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්ථාවරය, එළඹෙන 18 දාට ඉස්සෙල්ලා දැනුම්දෙන බව දැනුම්දී තියනවා. අපි ඒ තීන්දුව එනතුරු බලාගෙන ඉන්නේ. ''

කෙසේ වෙතත් රට වෙනුවෙන් ඕනෑම අයෙකු සමඟ එක්ව කටයුතු කිරීමට මෙන්ම, වෙන්ව කටයුතු කිරීමටත් පොහොට්ටුව සූදානම් කියලත් බැසිල් කියනවා.

  • ---

බැසිල් ගේ ඒ සූදානම වචනයෙන් විතරක් නෙමෙයි, ක්‍රියාවෙනුත් පෙන්නමිනුයි ඉන්නේ. ඔන්න පොහොට්ටුවේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලයකුත් පටන් අරගෙන.

පොහොට්ටු පක්ෂ මූලස්ථානයට අනුබද්ධව ස්ථාපිත කළ, පොහොට්ටු ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය, එම පක්ෂයේ නිර්මාතෘ හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කළා.

මේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පටන් අරගෙන තියෙන්නේ , බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පොහොට්ටු පක්ෂ මූලස්ථානය ආසන්නයේ ම...

එළඹෙන ජනාධිපතිවරණය සඳහා, මැතිවරණ කොමිසන් සභාව විසින් දින නියම කිරීමෙන් පසු දිනම, එම කාර්යාලය විවෘත කිරීමත් විශේෂ කාරණයක්.

14,000 ක් පමණ වන, මෙරට සෑම ග්‍රාම නිලධාරී වසමක්ම සම්බන්ධ කරගනිමින්, මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදුකරන අතර , පරිගණක 160 ක් ආධාරයෙන් සකස්කළ, දත්ත පද්ධතියක් ඔස්සේ එම මෙහෙයුම් කටයුතු සිදුකරන්නයි යන්නේ.

ඒ වෙනුවෙන් සැදුම්ලත් කාර්යය මන්ඩලයක්, මේ වැඩේට යොදවා සිටින අතර, දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරනවා.

සෑම ආසනයකටම පොහොට්ටුවේ එක් නියෝජිතයෙකු බැඟින්, මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට සම්බන්ධ කර ගන්නා බවත් , ඒ අනුව, ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරවීම වෙනුවෙන්, මෙම මෙහෙයුම් කාර්යාලය සක්‍රියව දායකකර ගන්නා බවත් බැසිල් කියනවා.

මෙම ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට, එම පක්ෂයේ ජාතික සංවිධායක, නාමල් රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම්, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, හිටපු ඇමැති චමල් රාජපක්ෂ, ඇමැතිවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, කාංචන විජේසේකර, රාජ්‍ය ඇමැතිවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, කනක හේරත්, ඩී.බී හේරත්, පියල් නිශාන්ත, ජානක වක්කුඹුර, තේනුක විදානගමගේ, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන, ඩී.වීරසිංහ, කෝකිලා හර්ෂණී, එස්.එම් චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහාචාර්ය රංජිත් බණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මේ මැතිවරණ කාර්යාල ප්‍රොජෙට් එකට රුපියල් මිලියන 500ක් ඇස්තමේන්තු කරලා තිබුනා කියලයි ආරංචි. ඒ ආරංචිවල හැටියට මන්ත්‍රී ධම්මික පෙරේරා දෙපාරකට ඒ මුදල දීලා.

දේශපාලන වාර්තාකරු

Page 84 of 474