පුවත්

සියලු පුරවැසියන්ගේ දේපළ පිළිබඳ තොරතුරු රැස්කරයි !
රජයේ අංශයේ ඇතුළුව මෙරට සියලු පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු ජුලි මස පළමු වනදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනිවාර්යෙන්ම ලබාදිය යුතු බවට නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනය මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනයට අනුව මෙරට පුද්ගලයින්ගේ ලියාපදිංචි කළ ඉඩම්වල, දේපොළවල අයිතිය හිමිකම් පිළිබඳ තොරතුරු, ලියාපදිංචි කළ බදු ගිවිසුම් පිළිබඳ තොරතුරු, ලියාපදිංචි සමාගම් පිළිබඳ තොරතුරු සහ කොටස් වෙළෙඳපොළේ කොටස් අයිතිය පිළිබඳ තොරතුරු නිතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබා දිය යුතු වෙයි.
එමෙන්ම මෙරට පුරවැසියන්ගේ ලියාපදිංචි කළ වාහන සහ වාහන හිමිකම් පැවරීම් පිළිබඳ තොරතුරු නිලධාරීන් විසින් පරිශීලනය කරන ලද තොරතුරු ආදිය ද නිතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබා දිය යුතු බවද ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.
තවද බැංකු හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරන බැංකු නොවන මූල්‍ය ආයතන ද ඇතුළත්ව ඕනෑම මූල්‍ය ආයතනයක් විසින් පවත්වාගෙන යන සියලුම ජංගම ගිණුම් පිළිබඳ තොරතුරු සහ ණය හා අත්තිකාරම් පිළිබඳ තොරතුරු ද ලබාදිය යුතුය.
එමෙන්ම ආයෝජන පිළිබඳ තොරතුරු සහ කොටස් ගනුදෙනු සහ වෙනත් ගනුදෙනු කළ හැකි සාධන පත්‍ර පිළිබඳ තොරතුරු ද නිතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබාදිය යුතු බව ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් නියම කර ඇත.
යම් තැනැත්තෙකු හෝ රජයේ ආයතනයක් විසින් මෙම නිවේදනයේ සඳහන් අප්‍රේල් 01 වන දිනට පෙර යම් තොරතුරක් පවත්වාගෙන ගොස් නොමැති නම් මේ වසරේ ජුලි 01 වනදා සිට එම තොරතුරු පවත්වාගෙන යාම ආරම්භ කළ යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

කිලිනොච්චිය රෝහලේ ඉදිකළ කාන්තා සෞඛ්‍ය සේවා විශිෂ්ටතා මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ !
දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ අරමුදල් මත රුපියල් මිලියන 5,320ක වියදමින් කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre of Excellence for Women’s Healthcare) අද (25) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කෙරිණි.
2006 වසරේ ඉදි කරන ලද කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහල කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා පහසුකම් ලබාදෙන ප්‍රධානතම රෝහල වන අතර මෙම රෝහල මඟින් දිස්ත්‍රික්කයේ 150,000 අධික පිරිසකට සෞඛ්‍ය පහසුකම් සලසයි.
අද විවෘත කෙරුණු කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය මඟින් උතුරේ මාතෘ සහ අලුත උපන් බිළිඳු රැකවරණය සැලසීම වැඩි දියුණු කරන අතර, අලුත උපන් දරුවන් සහිත කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල්වල අවශ්‍යතා සපුරාලමින් උතුරු පළාත් සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කරනු ඇත.
සමරු ඵලකය නිරාවරණය කර කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි කටයුතු නිරීක්ෂණය කිරීමට ද එක් විය.
අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ 2017 වසරේ යහපාලන රජය යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළද කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ එහි කටයුතු අවසන් කිරීමට නොහැකි වූ නමුත් අද එය සාර්ථකව නිම කර කාන්තාවන් වෙනුවෙන් ලබාදීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවයි.
කාන්තා අයිතිවාසිකම් සුරුකීම වෙනුවෙන් රජය විශේෂ පියවර රැසක් ගෙන ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා කාන්තාවන් නීතියෙන් බල ගැන්වීමට අවශ්‍ය කොන්දේසි ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙනම කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.
එසේම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ පනත් කෙටුම්පත මෙම ජුනි මාසය අවසන් වීමට පෙර සම්මත කර ගන්නා බවද පැවසූ ජනාධිපතිවරයා ඊට පාර්ලිමේන්තුවේ කිසිවෙකු එරෙහි නොවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
2017 වසරේ යහපාලන රජය යටතේ ආරම්භ කළද කොරෝනා වසංගතය සහ ආර්ථික ගැටලු හේතුවෙන් මෙම කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයේ කටයුතු අවසන් කිරීමට නොහැකි වුණා. නමුත් අද එය සාර්ථකව නිමා කර කාන්තාවන් වෙනුවෙන් ලබාදීමට හැකිවීම පිළිබඳ මම සතුටු වෙනවා.
අද කිලිනොච්චි නගරයේ විශාල දියුණුවක් ඇතිවෙමින් තිබෙනවා. මාන්කුලම ප්‍රදේශයේ ආයෝජන කලාපයක් ඇති කරමින් මේ ප්‍රදේශ දියුණු කිරීමට අප සැලසුම් කර තිබෙනවා.
ඒ වගේම මෙම ප්‍රදේශයේ පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් අවස්ථාව ලැබී තිබෙනවා. කිලිනොච්චියේ ද එවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම වෙනුවෙන් මේ වන විටත් අනුමැතිය ලබා දී තිබෙනවා.
මෙම ප්‍රදේශවල තිබෙන ඉඩම් ගැටළු මෙන්ම අතුරුදන් වු පුද්ගලයන්ගේ ගැටලුව පිළිබඳවද අප අවධානය යොමු කර තිබෙනවා.
අද විවෘත කළ කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය මෙරට කාන්තාවන් වෙනුවෙන් කළ විශිෂ්ට කාර්යයක් ලෙස හඳුන්වාදිය හැකියි. ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් විශේෂ පියවර රැසක් අප මේ වන විට ගෙන තිබෙනවා.
අපේ රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් නීති තිබුණේ නැහැ. ඒ වෙනුවෙන් මෙතෙක් ක්‍රියාත්මක වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන මූලික අයිතිවාසිකම් පදනම් කර ගනිමිනුයි. ඒ නිසා අප දැන් කාන්තාවන් වෙනුවෙන් නව කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
කාන්තාවන් බල ගැන්වීමේ පනත යටතේ කාන්තාවන් නීතියෙන් බල ගැන්වීමට අවශ්‍ය කොන්දේසි ඉදිරිපත් කර තිබෙනවා. එම කොන්දේසි ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙනම කොමිසමක් පත් කරනවා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද කෙටුම්පත මෙම ජූනි මාසය අවසානයට පෙර සම්මත කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. එම කෙටුම්පත දැනට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර එම කටයුතු අවසන් වීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊට කිසිවෙකු විරුද්ධ වනු ඇතැයි මා සිතන්නේ නැහැ.
කාන්තා ආයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අප කැපවී කටයුතු කරනවා. කාන්තා හිංසනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙමඟින් අවස්ථාව ලැබෙනවා. රැකියා ස්ථානවලදී උසස්වීම්, ස්ථාන මාරුවීම්වලට අදාළව කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් හිමි විය යුතුයි.
කාන්තා අයිතිවාසිකම් නීතිගත කිරීමට අප අපේක්ෂා කරන අතර ඒ සඳහා එම නීතිය යටතේ කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම නිවසේදී කාන්තාවගේ ආරක්ෂාව පිළිබඳව ද සැලකිලිමත් විය යුතුයි. මෙම කාන්තා අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත් මේ වන විටත් වෙබ් අඩවියට ඇතුළත් කර තිබෙනවා. එම පනත් කෙටුම්පත් කියවා බලන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම කාන්තාවන්ට හිමි අයිතිවාසිකම් පිළිබඳ ඔවුන්ව දැනුවත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද අප අපේක්ෂා කරනවා.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා
අද කිලිනොච්චියේ සහ ඊයේ යාපනයේ විවෘත කෙරුණු ගොඩනැඟිලි මඟින් ජනතාවට විශිෂ්ට සේවාවක් ලබාදීමට හැකියාව තිබෙනවා. මෙම පහසුකම් ලබා දීම පිළිබද උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් මම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම යාපනය රෝහල ජාතික රෝහලක් බවට උසස් කිරීමේ යෝජනාව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා මට දැනුම් දුන්නා.
2005 ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව එතුමාට සහයෝගය ලබා දුන්නා නම් එයින් දෙමළ ජනතාවට විශාල වාසියක් අත්වෙන්න තිබුණා.පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රට භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. එහි වගකීම භාර ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව මුහුණ දුන් පෝලිම් යුගය , භාණ්ඩ හිඟය, ඉන්ධන හිඟය ඇතුළු ගැටලුවලට කෙටි කාලයක් තුළ විසඳුම් ලබා දුන්නා. අප එතුමාට තවත් කාලය ලබා දී එතුමා සමඟ ඉදිරියට ගියහොත් මේ රට ගොඩනැගීමට හැකියාව තිබෙනවා.
උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්
මීට වසර දෙකකට පෙර රටේ ජනතාව ගෑස් සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදීගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටියදී ඛේදජනක ලෙස සමහරු මිය ගියා. ඔවුන්ගේ ජන ජීවිත කඩා වැටුනා. මෙවැනි තත්ත්වයන් නිසා බොහෝ දෙනෙක් රෝහල් ගත කිරීමටත් සිදුවුණා. විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙම පුවත ඇසීමෙන් මහත් කම්පාවක් ඇති වුණා. රටේ පවතින දරුණු තත්ත්වය හමුවේ අපගේ ඥාති මිත්‍රාදීන් බොහෝ දෙනෙක් අපගේ සුවදුක් විමසා සිටියා. නමුත් අද අපි ඒ අතීතය අමතක කර තිබෙනවා.
අද රටට අවශ්‍ය වන්නේ ලෝකය පිළිගත් නායකයෙක්. වත්මන් ආර්ථික අර්බුදය අභ්‍යන්තර ප්‍රයත්නයන්ගෙන් පමණක් විසඳිය නොහැකියි. ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව අවශ්‍යයි. අපේ වත්මන් නායකයාට තිබෙන ගෝලීය පිළිගැනීම සහ නායකත්ව ගුණාංග නිසා මේ අර්බුදයෙන් රට යහමගට ගැනීමට සමත් වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්
යාපනය රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමට ජනාධිපතිතුමා ගන්නා උත්සාහයට අප ස්තුතිවන්ත වෙනවා. සෞඛ්‍ය සේවාව ඕනෑම ප්‍රජාවක පැවැත්මේ මූලික අංගයක් වන අතර, මෙම කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ඉදිකිරීම වෙනුවෙන් කැපවු සියලුදෙනාට මගේ අවංක ස්තූතිය පිරනමනවා.
සෞඛ්‍යය හා අධ්‍යාපන යන ක්ෂේත්‍ර රජයේ බලය සම්පූර්ණයෙන්ම බෙදා හැරිය යුතු ක්ෂේත්‍ර දෙකක් බව අප දන්නවා. එසේම අර්ථවත් බලය බෙදා හැරීමක් පිළිබඳ අප උනන්දුවකින් කටයුතු කරන බවද සඳහන් කළයුතුයි.
ජනතාවට ඉඩම් අයිතිය ලබාදී ඔවුන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා ජනාධිපතිතුමා දරන උත්සාහයට උතුරේ ජනතාවගේ ප්‍රාණමය එතුමාට හිමි වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්
ප්‍රදේශයේ කාන්තාවන් වෙනුවෙන් විශේෂ ගොඩනැඟිල්ලක් විවෘත කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. මෙය ඉතා ප්‍රමිතියෙන් උසස් ව්‍යාපෘතියක් බව සඳහන් කළ හැකියි.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසත්, වත්මන් ජනාධිපති ලෙසත් මෙම කටයුතු වෙනුවෙන් සිදු කරන කැපවීමට මම ස්තුතිවන්ත වෙනවා.
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝබැක්
කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය විවෘත කිරීමට ලැබීම පිළිබඳ පිළිබඳව මම ඉතා සතුටු වෙනවා.
මෙම ව්‍යාපෘතිය නෙදර්ලන්තයේ VAMED සංවිධානය සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර පවතින සහයෝගීතාවයේ සංකේතයක් ලෙස පෙන්වාදිය හැකියි. 2018 ජුනි 12 වන දින විධිමත් කරන ලද මෙම හවුල්කාරිත්වය මගින් ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල නවීනතම රෝහල් හතරක් ඉදිකිරීමට සැලසුම් කළා.
ඒ සඳහා ඇස්තමේන්තුගත මුළු මුදලින් 75%ක් නෙදර්ලන්ත රජයෙන් පිරිනමනු ලබන සහන ණයක් ලෙසත් ඉතිරි 25%ක මුදල නෙදර්ලන්ත රජයේ ප්‍රදානයක් ලෙසත් ලබාදීමට කටයුතු කළා.
පසුව ඇතිවූ COVID-19 වසංගත තත්ත්වය සහ 2022 දී ශ්‍රී ලංකාවේ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් නෙදර්ලන්ත රජයේ ප්‍රදානය, මුළු මුදලින් 35%ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බවද සඳහන් කිරීමට කැමතියි.
පූජ්‍ය පක්ෂය ද, හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ ජනතාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සජිත් එන්නේ නෑ - මම එන්නම් : දිලිත් අනුරට අභියෝග කරයි !
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ලබන 06 වැනිදා පවත්වන ලද විවාදයට විපක්ෂ නායකවරයා නොපැමිණෙන බැවින් ඒ වෙනුවට තමන් සහභාගී වීමට සුදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවසීය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ පසුගියදා ලයිට්හවුස් දේශන ශාලාවේ ඊයේ (22) පැවති ජනරජ දින සැමරුම සදහා එක්වෙමින්ය.
එහිදී දිලිත් ජයවීර මෙසේද පැවසීය.
"එම විවාදයේදී අනුර කුමාර දිසානායකට මගෙන් අහන්න පුළුවන් නයා ගැන, පැණිය ගැන, ඇන්ටිජන් ගැන. මට ඒවාට උත්තර දෙන්නත් පුළුවන්."
"දැන් අනුර කුමාර ආරාධනා කරලා තියෙනවා රාජකීය විද්‍යාලයේ අහිංසක ආදී ශිෂ්‍යයෙක් වෙච්ච සජිත් ප්‍රේමදාස මහතාට. එතුමා අහිංසකයෙක්. ඇයි එතුමාට කරදර කරන්නේ. එතුමාට ඉන්න දෙන්න. දැන් මමත් අනුර කුමාරත් සමකාලීනයෝ. ඔහු උපාධිය ගත්තේ ටිකක් පරක්කු වෙලා. හැබැයි අපි දෙන්නා එක වයසේ. මමත් සමාජයේ යම්කිසි දෙයක් ලබා ගත්ත පුද්ගලයෙක් හැටියට සලකන්න පුළුවන්.
ඒ නිසා මාත් එක්ක ලබන 6 වැනිදා දාපු සජිත් නොඑන විවාදයට, දිලිත් ජයවීර එන්න කැමති කියලා පොඩ්ඩක් දා ගන්න. මම එතුමාගෙන් අමාරු ප්‍රශ්න කිසිවක් අහන්නේ නැති බවත් එතුමාගේ ඇදුම් පැළදුම් ගැනවත්, එතුමාගේ ව්‍යාපාරික පන්තිය ඒ චාරිකා ගැනවත්, පුද්ගලික ජීවිතය ගැනවත් මම අහන්නේ නැහැ."

යාපනය රෝහල ජාතික රෝහලක් බවට පත් කරනවා - ජනපති
උතුරු පළාත තුළ උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම වෙනුවෙන් යාපනය රෝහල නුදුරේදීම ජාතික රෝහලක් බවට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
දකුණු පළාත තුළ පැවති දීර්ඝකාලීන අවශ්‍යතාවයක් ඉටු කරමින් කරාපිටිය රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කර සිටියේ යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉදිකළ සායනික පුහුණු සහ පර්යේෂණ අංශ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (24) පෙරවරුවේ එක් වෙමිනි.
ඉංජිනේරු පීඨ, වෛද්‍ය පීඨ, විද්‍යා පීඨ සහ කෘෂිකර්ම පීඨ ඇතුළු විද්‍යා විෂයන් මත පදනම් වූ මෙරට ඇති සියලු පීඨවල දැනට පවතින්නේ පැරණි තාක්ෂණය බවත්, මෙම තාක්ෂණය නව ලෝකයට ගැළපෙන පරිදි සකස් කළ යුතු බවටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මෙහිදී පෙන්වා දුන්නේය.
විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික දරුවන් දක්ෂතා පෙන්වන්නේ මෙම තාක්ෂණය හදාරා නොව ,ඔවුන්ගේ දැණුම මත පමණක් බව පෙන්වා දුන් ඒ මහතා නව තාක්ෂණය හඳුන්වා දීමෙන් මෙරට විශාල දියුණුවක් කරා ගෙන යා හැකි බවද සඳහන් කළේය.
ඒ පිළිබඳ යෝජනාවලිය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව කඩිනමින් සකස් කර තමා වෙත ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
අද විවෘත කෙරුණු සායනික පුහුණු සහ පර්යේෂණ අංශ ගොඩනැගිල්ල වසර 46 කට පසුව යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකළ පළමු ගොඩනැගිල්ල වන අතර ඒ සඳහා රුපියල් මිලියන 942 ක් වැය කර තිබේ. සායනික පුහුණු හා පර්යේෂණ අංශ ගොඩනැගිල්ල සිසුන් 1200 කට උපාධි හා පශ්චාත් උපාධි සායනික පුහුණුව ලබා ගැනීම සඳහා පහසුකම් සලසා තිබෙන අතර ජාත්‍යන්තර පර්යේෂණ සහයෝගීතා සඳහා ද පහසුකම් සපයයි.
වර්ග මීටර් 6000 කින් යුත් මෙම ගොඩනැගිල්ල දේශන ශාලා කිහිපයක්, සායනික කුසලතා විද්‍යාගාර සහ ශ්‍රවණාගාරයකින් සමන්විත වේ. ශල්‍යාගාර, ප්‍රතිසාධන කාමර, පිරිසිදු කිරීමේ ප්‍රදේශ, බැහැර කිරීමේ කලාප, වන්ධ්‍යාකරණ ඒකක, සූදානම් කිරීමේ කාමර සහ ගබඩා පහසුකම් ද මෙහි ඇතුලත්වේ.
එසේම රෝගීන් රඳවා සිටින කාමර, උපදේශන කාමර සහ එන්ඩොස්කොපි, සනාල සැත්කම් සහ මැමෝග්‍රැෆි සඳහා විශේෂිත ඒකක, පර්යේෂණ රසායනාගාර, අධිකරණ වෛද්‍ය විමර්ශන ඒකකය සහ කෞතුකාගාරයක් ද මීට අයත් ය.
ප්‍රසව හා නාරිවේද දෙපාර්තුමේන්තුව විසින් කළමනාකරණය කරනු ලබන සාඵල්‍යතා සත්කාර ඒකකය විශේෂඥ උපදේශන, රෝග විනිශ්චය සේවා සහ ප්‍රතිකාර පහසුකම් ඇතුළු පුළුල් සේවාවන් සපයනු ඇත. සායනික අත්හදා බැලීමේ ඒකකය (CTU) දේශීයව අනුවර්තනය කරන ලද රෝගීන්ට නැඹුරු වූ, ලාභදායී ප්‍රතිකාර ක්‍රම පිළිබඳ සායනික පර්යේෂණ සඳහා පහසුකම් සපයයි. සායනික ප්‍රවේණික ඒකකය (CGU) ජානමය රෝග විනිශ්චය සහ රෝග කළමනාකරණය සඳහා පහසුකම් සපයන අතර රෝග නිවාරණය සඳහා දැනුම ලබා දෙනු ඇත.
සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
යාපනය දිස්ත්‍රික්කයට ජාතික රෝහලක් ලබා දෙන ලෙස ඔබ සියලු දෙනා රජයෙන් ඉල්ලීමක් කළා. කරාපිටිය රෝහල ජාතික රෝහලක් ලෙස උසස් කිරීමට පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේදී අපි අනුමැතිය ලබාදුන්නා. ඒ වගේම යාපනය රෝහල මීළග ජාතික රෝහල බවට පත් කිරීමට අප කටයුතු කරනවා.
යාපනය දිස්ත්‍රික්කය තුළ උසස් සෞඛ්‍ය සේවාවක් සහතික කිරීමට අවශ්‍යයි. එවිට කොළඹ පමණක් නොවෙයි දකුණ, උතුර සහ මධ්‍යම පළාත්වලද හොඳ රෝහල් පද්ධතියක් ඇති වෙනවා. අප එතනින් නතර නොවිය යුතු අතර දියුණු කළයුතු අනෙකුත් ක්ෂේත්‍ර පිළිබඳව ද සොයා බැලිය යුතුයි.
මම නිතරම යාපනය දිස්ත්‍රික්කයට පැමිණෙන බව මෙහිදී සඳහන් වුණා. ඇත්ත වශයෙන්ම මම මෙවර මෙහි පැමිණියේ රෝහල් කිහිපයක් විවෘත කිරීම සඳහායි. මම පැමිණියේ දීර්ඝ නිවාඩුවක් පවතින සති අන්තයකයි. ඒ පිළිබඳ මම ඔබගෙන් සමාව ඉල්ලනවා.
මම පසුගිය වර මෙහි පැමිණි අවස්ථාවේ, මෙම නව රෝහල් දෙක විවෘත කිරීම වෙනුවෙන් මෙහි පැමිණෙන ලෙස ඔබ සියලුදෙනා සහ නෙදර්ලන්ත තානාපතිනිය මගෙන් ඉල්ලීමක් කළා. ඉතින් යාපනයට ඇවිත් යනවා වෙනුවට මේ සති අන්තයේ මෙතැනට පැමිණ මෙම කටයුතු අවසන් කිරීමට මා තීරණය කළා.
ඇතැම් අය මගෙන් අහනවා ඔබ නිතරම මෙහි පැමිණෙන්නේ ඇයි කියලා. අගමැති ලෙස සිටියදීත් ජනාධිපති ලෙසත් මම නිතරම මෙහි පැමිණෙන්නේ යුද්ධය නිසා උතුරු නැගෙනහිරට බලපෑ ප්‍රශ්න කඩිනමින් අවසන් කර සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළ යුතු බව මා විශ්වාස කරන නිසයි.
යාපනය දිස්ත්‍රික්කයට දිගු කලක් සංවර්ධනයේ ප්‍රතිලාභ හිමි වූයේ නැහැ. කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව රැකියා සොයන පිරිසක් මෙහි සිටිනවා. යාපනය දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා.
යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඉඩම් ගැටළු ඇතුළු ඇතැම් ප්‍රශ්න විසඳිමට අපට හැකි වී තිබෙනවා. රැඳවුම් භාරයේ සිටින සිරකරුවන් සම්බන්ධයෙන් බොහෝ ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර ඒ හා සම්බන්ධ අනෙකුත් ගැටළු බොහොමයක් පවතිනවා. තවමත් අපට මෙය අවසානයක් කරා ගෙන යාමට නොහැකි වී තිබෙන අතර අදාළ විසදුම් පවතින දේශපාලන ප්‍රශ්න වටා කැරකෙමින් පවතිනවා.
සංහිඳියාව ගොඩනැඟීම, අතුරුදන් වූවන්ගේ ගැටළුව, වන්දි ගෙවීම්, සත්‍ය හා ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් අප ගත යුතු පියවර රැසක් තිබෙනවා. මෙම සියලු ගැටලුවලට විසදුම් ලබාදිය යුතු කාලය මෙය බව මා විශ්වාස කරනවා.
ඒ වෙනුවෙන් සියලු දෙනාම සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. මම මේ ප්‍රශ්න විසඳීමට උත්සාහ කරමින් සිටින අතර ඒ පිළිබඳ ගතයුතු ක්‍රියාමාර්ග මොනවද යන්න පිළිබඳව උතුරු නැඟෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.
පෙර පැවති සියලුම කොමිෂන් සභා වාර්තා පිළිබඳ සොයා බැලීම සිදුවනවා. නවාස් කොමිසමේ වාර්තාව පසුගියදා අපට ලැබුණා. එය මෙම සියලුම කොමිෂන් සභා වාර්තාවල මව් වාර්තාව ලෙස මම සලකනවා. ඒ වගේම එය මේ පිළිබඳ අවසන් කොමිෂන් සභා වාර්තාව වනු ඇතැයි මා විශ්වාස කරන අතර තවත් කොමිෂන් සභා වාර්තාවක් අවශ්‍ය නොවනු ඇතැයි මා සිතනවා.
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය වෙනස්කම්වලට භාජනය විය යුතු බවට ඔවුන් ලබා දී ඇති නිර්දේශය මා පිළිගන්නවා. එය එසේ සිදු කළ යුතුයි. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සම්බන්ධයෙන් සිදු කළ යුතු වෙනස්කම් වගේම ඒ සමඟම මතුවන වන්දි ලබාදීමේ සමස්ත ප්‍රශ්නය පිළිබඳව අප සියලුදෙනා එක්ව සොයා බැලිය යුතුයි.
ආර්ථික අර්බුදය නිසා පසුගිය අවුරුදු දෙකේදී අපට බොහෝ ප්‍රමාණයක් වන්දි ගෙවීම් සිදු කිරීමට හැකියාව ලැබුණේ නැහැ. නමුත් ඒ සඳහා මුදල් වෙන් කිරීමට අපට සිදු වෙනවා.
ඒ වගේම සත්‍ය, සිදු වූ දේ සහ සංහිඳියාව වෙනුවෙන් අපි සිදු කරන්නේ මොනවාද යන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාව (TRC) ගෙන ඒමට රජය කැපවී සිටින නමුත් එහිදී ප්‍රධාන ප්‍රශ්නය වන්නේ අධිකරණ බලතලයි.
සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාව මඟින් අධිකරණ බලතල ක්‍රියාත්මක කළ යුතුද නැතහොත් එම කොමිෂන් සභාව විසින් සිදු කරන ලද නිර්දේශ මත පදනම්ව අධිකරණ බලතල ක්‍රියාත්මක කරනු ලබන වෙනම අධිකරණයක් අපට තිබිය යුතුද යන්න පිළිබඳව අප තීරණය කළ යුතුයි. ඒ වගේම මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඒ නිසා රජය ඒ පිළිබඳ තීරණයක් ගත යුතුව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතැළු සියලු පාර්ශ්වයන් මෙන්ම සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාව නීතිගත කිරීමට අපට සහාය ලබා දුන් තානාපතිවරුන් තිදෙනා සමඟ ද සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙස මම ඇමතිවරුන් දෙදෙනාට දැනුම් දී තිබෙනවා.
මේ සමඟ ප්‍රශ්න බොහොමයකට විසඳුම් ලැබෙන බව මා විශ්වාස කරනවා. ඒ නිසා මේ පිළිබඳ සාකච්ඡා කර ක්‍රියාත්මක කළ හැකි විසඳුම් සමඟ එකඟතාවයකට පැමිණෙමු කියා මා ඇමතිවරුන්ට දැනුම් දුන්නා.
ඒ වගේම උතුරු පළාත ඉහළ සංවර්ධන විභවයක් පවතින පළාතක් බව කිව යුතුයි. මෙම පළාත තුළ ඉතා ඉහළ පුනර්ජනනීය බලශක්ති හැකියාවක් තිබෙන අතර නියත වශයෙන්ම යාපනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගිය හැකියි. අප තවම උතුරු පළාතේ තිබෙන මෙම හැකියාව භාවිතා කර නොමැති අතර එම හැකියාව පවතින්නේ මෙගාවොට් වලින් නොව ගිගාවොට් වලින් බව සඳහන් කළයුතුයි.
ඒ වගේම අපට අවශ්‍ය වන්නේ තරගකාරී, ඉහළ වටිනාකමක් ඇති අපනයන කෘෂිකර්මාන්තයක් රට තුළ ඇති කිරීමටයි. උතුරු පළාත එහිදී වැදගත් පළාතක් බවට පත් වෙනවා. ඒ වගේම මෙම පළාතේ ගොවි ජනතාවට ඒ සඳහා හැකියාවක් තිබෙනවා. මේ තුළින් ජනතාවගේ ආදායම් මට්ටම මෙන්ම උතුරු පළාත තුළත් විශාල දියුණුවක් ඇති කළ හැකියි.
ඒ වගේම කර්මාන්ත සම්බන්ධයෙන් සැලකූවිට කන්කසන්තුරේ පළමු ආයෝජන කලාපය පිහිටුවීමටත්, පසුව පරන්තන් සහ මාන්කුලම් හි කර්මාන්තපුර ආරම්භ කිරීමටත් අප සාකච්ඡා කරමින් සිටිනවා.
ඒ වගේම අප ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. එසේම උතුරේ සංචාරක ව්‍යාපාරය සඳහා ඇති හැකියාව පිළිබඳව අප සොයා බලමින් සිටිනවා. ඉදිරි කාලය තුළ ඇතිවන ගොඩබිම් සම්බන්ධතාව තුළ යාපනය ඇතුළු මුළු පළාතම විප්ලවීය ලෙස වෙනස් වනු ඇතියි.
මෙම කටයුතු සමඟ උතුරු පළාත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්කරමින් සංවර්ධනය කිරීමට හැකියාව ලැබෙනවා.
යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ සිසුන්ගේ නර්තන අංග කිහිපයක් මෙහිදී ඉදිරිපත් කෙරුණා. මම ඔවුන්ට ප්‍රශංසා කරනවා. ඔවුන් බොහෝදෙනෙකු වයස අවුරුදු 21 සීමාවේ සිටින අයයි. ඒ කියන්නේ 2002, 2003 වසරවල ඉපදුණ දරුවන්. ඔවුන්ට හොඳ අනාගතය නිර්මාණය කර දිය යුතුයි.
ඔවුන් අප Gen Z ලෙස හඳුන්වන අය. ඔවුන් ඔවුන්ගේ අනාගතය ගැන වැඩි උනන්දුවක් දක්වනවා. අප ඔවුන්ට එම අනාගතය ගොඩනගා දිය යුතුයි. නව ආර්ථික රාමුවක් තුළ වේගවත් සංවර්ධනයක් කරා යාමට නීති ගෙන ඒමට අප කටයුතු කර ඇත්තේ එම නිසා බව ද කිවයුතුයි.
අමාත්‍ය ඩග්ලස් දේවානන්දා
“2003 වසරේ සිට යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය මෙම ගොඩනැගිල්ල ඉදිකර දෙන ලෙස ඉල්ලා සිටියා. මේ වනවිට එම ඉල්ලීම ඉටුවී තිබෙනවා. එසේම කෘෂි පීඨය ඇතුළු අනෙන් ඉල්ලීම් සඳහා ද කඩිනමින් විසඳුම් ලබා දෙනවා. පසුගිය සමයයේ රටම විරෝධතාකරුවන්ගේ ග්‍රහණයට හසුව තිබියදී රට භාර ගැනීමට විපක්ෂ නායකවරයා ඇතුළු කිසිවකු ඉදිරිපත් වූයේ නැහැ. එදා ඒ වගකීම භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි. අද රට තුළ සංවර්ධනය කටයුතු රැසක් සිදු වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ධාවනය කළ නොහැකි වාහනයක් භාරගෙන එය ප්‍රවාහනයට සුදුසු තත්ත්වයට අලුත්වැඩියා කර තිබෙනවා. ඉදිරියේදී එම වාහනය ඉතා හොඳින් ධාවනය කිරීමට එතුමාට හැකියාව තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය කැපවීම එතුමා තුළ තිබෙනවා. ජනාධිපතිතුමා එය ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙන නිසා ඔහු ගැන විශ්වාසයක් අපට තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්න්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්ව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළදි උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදුකළා. අද යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ලබාදෙන මෙම ගොඩනැගිල්ල උතුරට ලබා දෙන සංවර්ධනයේ තවත් එක් උදාහරණයක් ලෙස මා දකිනවා.
විශේෂයෙන් ඉඩම් ලබාදීමේ සංවේදී කාරණාව සම්බන්ධයෙන් එතුමා උතුරේ ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගත්තා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයාව සිටියදී ද උතුරු, නැගෙනහිර පළාත්වල සංවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ.සුමන්තිරන්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ සිටම උතුරේ මෙන්ම නැගෙනහිර සංවර්ධනය සදහා කැප වී කටයුතු කළා. අද මේ විවෘත කරන යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල උතුරට පමණක් නොව රට වෙනුවෙන්ම කළ හොඳ ආයෝජනයක් ලෙස පෙන්වා දිය හැකියි. එමෙන්ම අනාගතයේ ශ්‍රී ලංකාවේ විද්‍යාර්ථයන් බිහිවන තෝතැන්නක් බවට මෙය පත්වනු ඇතැයි මා විශ්වාස කරනවා.
මීට පෙර මේ සභාව ඇමතූ කථිකයන් ප්‍රකාශ කළ පරිදි ජනාධිපතිතුමා යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධනයත්, එහි ජනතාව පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඇතැම් විට 2005 වසරේදී ඔබතුමාගේ ගමනට බාධා කළේ උතුර විය හැකියි. මේ වන විට උතුරේ ජනතාව එය පසුතැවිල්ලෙන් සිහිපත් කරනු ඇතැයි මම සිතනවා.
මෙම ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කර ගැනීම පිළිබඳ මම යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සුබ පතනවා.
මෙම ආයෝජනය සැබවින්ම ඉතා ඵලදායී එකක් වනු ඇතියි. යාපනය දිස්ත්‍රික්කයට පැමිණි ජනාධිපතිතුමාව ඉතා උණුසුම් ලෙස පිළිගනිමින් මෙම සංචාරයේ දී එතුමා උතුර වෙනුවෙන් ඔබ කරන සෑම කටයුත්තක්ම අප අගය කරනවා.
උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස්
වසර 46කට පසු යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශයේ පළමු ඉදිකිරීම් සනිටුහන් කරමින් එහි සායනික පුහුණු හා පර්යේෂණ අංශයේ වැඩකටයුතු අවසන් කළ බව ප්‍රකාශ කිරීමට ලැබීම පිළිබඳ මම ආඩම්බර වෙනවා.
මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමට සහභාගි විය හැකිද කියා පසුගිය මාර්තු මාසයේ දී මම ජනාධිපතිතුමාගෙන් ඇහුවා. මැයි මාසයේ පැමිණෙන බවට එතුමා පොරොන්දු වුණා. ඔහු පොරොන්දු වූ පරිදි මෙහි පැමිණ තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය රාජේන්ද්‍ර සුරේන්ද්‍රකුමාරන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීහු සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මධුසංක දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කාලගුණයෙන් රතු නිවේදනයක්
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව ගිනිකොණදිග අරාබි මුහුද සහ බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන ධීවර සහ නාවික ප්‍රජාවට වඩාත් සැලකිලිමත් වන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය හෙට (25) උදේ 5.30 වනවිට ඊසාන දෙසට ගමන් කර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැක.
ඉන්පසුව තවදුරටත් එය උතුරු දෙසට ගමන් කරමින්, හෙට රාත්‍රී 11.30 පමණ වන විට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත.
දිවයින වටාවන මුහුදු ප්‍රදේශවලත් ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලත් ඉතා තද පැ.කි.මී 60 - 70 අතර සුළං සහ තද වැසි ඇති වේ.
මේ අතර මුහුදු ප්‍රදේශ ද ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජනපති කොළඹ නගරයේ වෙසක් වැඩසටහන් කිහිපයකට !
වෙසක් සිරියෙන් රටම ඒකාලෝක වෙද්දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ නගරයේ පැවති වෙසක් වැඩසටහන් රැසකට ඊයේ (23) එක් විය.
කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) ආරම්භ කෙරිණි.
ගංගාරම විහාරස්ථානයේ සීමා මාලකය වෙත පැමිණි ජනාධිපතිවරයා බුදුපිළිම වහන්සේ වෙත මල් පූජා කර ආගමික වතාවත්වල නිරත විය.ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ එහිදී ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලි ආලෝකය දල්වා “බුද්ධ රශ්මි වෙසක් කලාපය” විවෘත කළේය.
විදෙස් තානාපතිවරු, මහ කොමසාරිස්වරු ඇතුළු දෙස් විදෙස් ආරාධිත විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර ජනාධිපතිවරයා ඔවුන් සමඟ ද සුහද කතා බහකට එක් විය.
බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය එක්ව ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 23,24,25 සහ 26 දිනයන්හි දී වෙසක් තොරණ, වෙසක් කූඩු ප්‍රදර්ශනය, බොදු බැති ගී, වෙසක් දන්සල්, තොවිල් සහ දෙවොල්මඩු ශාන්තිකර්ම, මල් පෙරහර, සතිමත්භාවය වැඩසටහන, විරිදු ගායනා, විදුලි පහන් අලංකරණය ඇතුළු සංස්කෘතිකාංග රැසක් සංවිධානය කර තිබේ.
එම වෙසක් වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් විදුලි පහන් ආලෝකය දැල්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතින් සිදු වූ අතර අනතුරුව ජනාධිපති කාර්යාලයීය පියගැටපෙළ ඉස්මත්තේ දී විචිත්‍රවත් භක්ති ගීත ප්‍රසංගය ආරම්භ කෙරිණි.
මේ හා සමගාමීව ෂැංග්‍රිලා හරිත භූමියේ ආරම්භ කෙරුණු මහා බත් දන්සැල විවෘත කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිනි.
මේ අතර පෑලියගොඩ ප්‍රජා සංවර්ධන පදනම, පෑලියගොඩ නගර සභාව සහ වෙළෙඳ ප්‍රජාව එක්ව ප්‍රථම වරට සංවිධානය කර තිබූ වෙසක් කලාපය විවෘත කිරීමට ද ඊයේ (23) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය..
පූජ්‍ය බෙංගමුවේ නාලක අනුනායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පූජ්‍ය කොටපොල මංගල ස්වාමින් වහන්සේගේ සහ පූජ්‍ය වෙළඟේපොල ධම්මික ස්වාමින් වහන්සේගේ මගපෙන්වීමෙන් මැයි 23,24 සහ 25 යන දිනයන්හි දී සංවිධානය කර තිබෙන මෙම වෙසක් කලාපය වෙසක් පහන් කූඩු තරගයක්, භක්ති ගීත ප්‍රසංගයක් හා නාට්‍ය සංදර්ශනයක් මෙන්ම බත් දන්සැලක් ඇතුළු විවිධාංග රැසකින් සමන්විතය.
විදුලි පහන් ආලෝකය දල්වා වෙසක් කලාපය විවෘත කළ ජනාධිපතිවරයා වෙසක් කලාපය වෙත පැමිණ සිටි ජනතාවගේ ද තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, සිසිර ජයකොඩි ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර මරදාන – සුදුවැල්ල එක්සත් බෞද්ධ සංගමය මඟින් වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ වෙසක් කලාපය සහ දර්ශනීය වෙසක් තොරණ ඊයේ (23) පස්වරුවේ විවෘත කෙරුණේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිනි.
ශ්‍රි ධර්මාලෝක දයා මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය යටිහේන සද්ධාලෝක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි හිටපු නාගරික මන්ත්‍රි කිත්සිරි රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කර තිබූ මෙම වෙසක් කලාපය විශේෂාංග රැසකින් සමන්විත අතර මණිකාර කුලුපගතිස්ස ජාතික කතාව රැගත් දර්ශනීය වෙසක් මහා තොරණ මරාදන මන්සන්ධියේ දී මැයි 27 වනදා දක්වා ප්‍රදර්ශනය කෙරේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ යන මහත්වරු සහ දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

සහන පොළිය යටතේ විශේෂ ණය ක්‍රම කිහිපයක්
විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
එම ණය යෝජනා ක්‍රම මෙරට කර්මාන්තකරුවන් වෙනුවෙන් වෙන අතර, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන වාණිජ බැංකු හරහා සහන පොලී යටතේ ණය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව කර්මාන්ත අමාත්‍යංශය පවසයි.
කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මේ පිළිබද අදහස් දක්වමින් පැවසූවේ, විශේෂයෙන් මෙහිදී 7%, 8% වැනි සහන පොලී මත ණය ලබාදීමට කටයුතු කරන බවයි.

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.
එම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තුමේන්තුව සඳහන් කරන්නේ සංඥා දෝෂ ඇති වීම සහ මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් මෙම ප්‍රමාදය හට ගෙන ඇති බවයි.
මේ අතර, කොළඹ – බදුල්ල තැපැල් දුම්රියද අද (24) අවලංගු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

විද්‍යාව හා තාක්ෂණය සමඟ ඉදිරියට යන ලෝකයට මුහුණ දීමට සිදුවන ගැටළු සඳහා ථෙරවාද බුදු දහම තුළ විසඳුම් තිබෙනවා - ජනපති
විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථෙරවාද බුදු දහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
එබැවින් ථෙරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගනිමින් එය ලෝකය වෙත ගෙන යාමට කටයුතු කළයුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (23) පෙරවරුවේ මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය විද්‍යුත් තාක්ෂණය ඔස්සේ අමතමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය වෙසක් උත්සවයට සහභාගිවීමට නියමිතව තිබුණද, අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා ඊට සහභාගි නොවූ අතර විද්‍යුත් තාක්ෂණය ඔස්සේ රාජ්‍ය වෙසක් උත්සවය සමඟ සම්බන්ධ වෙමින් සියලු බෞද්ධ ජනතාව වෙත සුබ වෙසක් මංගල්‍යයකට සුභාශිංසන එක් කළේය.
“අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච (අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාව යටකේ මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය මෙවර පැවැත්වේ. 21 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සදහා රටවල් 12ක බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩම කර සිටිම ද විශේෂත්වයකි
මෙම වැඩසටහනේදී පූජා භූමි සන්නස් පත්‍ර ප්‍රදානය හා විදේශ දූත පිරිස් විසින් තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරිණි. වෙසක් සමරු මුද්දරයක් නිකුත් කිරීම, විහාරස්ථාන සංවර්ධන ආධාර ප්‍රදානය, බුද්ධශාසන අරමුදලේ ආධාර ප්‍රදානය, දහම් පාසල් ප්‍රතිපාදන ලිපි ප්‍රදානය, සාමණේර ස්වාමීන් වහන්සේලා සඳහා සංකේතාත්මක පොත් කට්ටල ප්‍රදානය, බුදුපුත් මාපිය උපහාර චෙක්පත් ප්‍රදානයද මෙහිදී සිදු කෙරිණි.
මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය බෞද්ධ විහාර 22ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 22ක් ද, රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව වැඩසටහන් පැවැත්වෙන විහාරස්ථාන 05ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 2.6ක් ද, ආපදාවට ලක්වූ විහාරස්ථාන 03ක් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 0.4ක් ද, දහම් පාසල් 12ක් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 5ක් ද, බුද්ධශාසන අරමුදල යටතේ දුෂ්කර විහාරස්ථාන 32ක් සඳහා සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන 32ක් ද වෙන් කර තිබේ. මීට සමගාමීව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 25කට වැඩි ප්‍රමාණයක සංවර්ධන කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බළකායේ ශ්‍රම දායකත්වයෙන් ආරම්භ කර තිබේ.
සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව රාජ්‍ය වෙසක් උත්සව වැඩසටහන සංවිධානය කර තිබේ.
විද්‍යුත් තාක්ෂණය ඔස්සේ රාජ්‍ය වෙසක් උත්සවය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
මාතලේ දිස්ත්‍රික්කයේ පැවැත්වෙන ජාතික වෙසක් උත්සවයට අයහපත් කාළගුණික තත්ත්වය නිසා සහභාගිවීමට අවස්ථාව නොලැබීම පිළිබඳව මම කණගාටු වෙනවා. මාතලේ දිස්ත්‍රික්කය අපේ ථෙරවාද බුදු දහමේ වැදගත් ස්ථානයක් බව කිවයුතුයි. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම සිදු වූයේ මේ මාතලේ අළුවිහාරයේදීයි. ඒ නිසා බුදුන් වහන්සේගේ ධර්මය ආරක්ෂා වෙලා තිබෙනවා. අප ථෙරවාද බුදු දහම පිළිබඳ වැඩි වැඩියෙන් අවධානය යොමු කළයුතුයි.
අනුරාධපුර යුගයේ පැවති පිරිවෙන්වලින් බිහි වුණේ මහා සංඝයා වහන්සේලා පමණක් නොවෙයි. ලෝකයේ ප්‍රධානම වාරි ක්‍රමයක් ශ්‍රී ලංකාවේ අරම්භ කිරීමට එම අධ්‍යාපනය නිසා අවස්ථාව ලැබුණු බව සෙනරත් පරණවිතාන වැනි වියතුන්ගේ මතය වුණා.
අද ලෝකය මිථ්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙමින් සිටිනවා. වැඩි වැඩියෙන් විද්‍යාව පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. නව තාක්ෂණය සමග ශත වර්ෂ ගණනාවක අපගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය අංශය සහ තාක්ෂණ අංශය දියුණු වී තිබෙනවා. තාරකා ලෝකය පිළිබද ඇති නව දැනුම මෙන්ම කෘත්‍රීම බුද්ධි තාක්ෂණය මඟින් ලැබෙන දැනුම දියුණුවීමත් සමග අපට තවත් ප්‍රශ්න කිහිපයකට මුහුණදීමට සිදු වෙනවා.
නමුත් ථෙරවාද බුදු දහම අනුගමනය කරන සහ එහි නියම අර්ථය පිළිබද දැනුවත් අයට මෙය ගැටළුවක් වන්නේ නැහැ. ථෙරවාද බුදු දහම තුළින් මෙම ගැටළුවලට විසඳුම් සෙවිය හැකියි. එබැවින් ථෙරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගැනීමට අප අවධානය යොමු කළයුතුය.
ඔබ සියලුදෙනාට සුබ වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරනවා.
සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය තුන්මුල්ලේ සීලක්කන්ද, ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ යන ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයද, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝ, රෝහණ දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක කෝට්ටේගොඩ , උදයන කිරිදිගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වෙසක් පොහොය වෙනුවෙන් සිරකරුවන් 278කට ජනපති සමාව
වෙසක් පොහොය වෙනුවෙන් සිරකරුවන් 278 දෙනෙකුට ජනාධිපති සමාව පිරිනමා තිබේ.
බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පැවසුවේ, ඔවුන් අද (23) නිදහස් කිරීමට නියමිතව ඇති බවයි.
නිදහස් කිරීමට නියමිතව ඇති කාන්තා රැඳවියන් ගණන 10කි.
ජනාධිපතිවරයා විසින් එම සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාව පිරිනමා තිබේ.
මේ අතර වෙසක් පොහොය දිනය නිමිත්තෙන් අද හා හෙට දින බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේනතුව විසින් සලසා ඇත.
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක පැවසුවේ, රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපරක්ෂක ද්‍රව්‍ය පමණක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත්වන පරිදි පමණක් ලබාදීමට අවස්ථාව ලබා දී ඇති බවයි.
සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරනු ඇත.

කරාපිටිය රෝහල ජාතික රෝහලක් කිරීමට කැබිනට් අනුමැතිය
කරාපිටිය ශික්ෂණ රෝහල ගාල්ල ජාතික රෝහල ලෙස ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
කරාපිටිය ශික්ෂණ රෝහල දකුණු පළාතෙහි සහ යාබද පළාත්වල රෝගීන් හට මාතෘ සත්කාර සේවා හැර තෘතීයක සේවා සපයන ප්‍රධානතම සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන අතර එකී පළාත්වල ප්‍රාථමික හා ද්විතීයික සෞඛ්‍ය සත්කාරක සේවා ආයතන මගින් විශේෂඥ සේවා සඳහා මෙම රෝහල වෙත රෝගීන් යොමු කරනු ලබයි.
ඒ අනුව මෙරට තෙවැනි ජාතික රෝහල කරාපිටිය ශික්ෂණ රෝහල බවට පත් වේ.
අද (23) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළේය.
මේ වනවිට ලංකාවේ සංවර්ධිත ජාතික රෝහල් ලෙස ඇත්තේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් පමණි.
රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ඉගැන්වීම් කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය ස්ථාපනය කර ඇත.
මෙම වසර අවසන් වන විට රෝහලෙහි ඇඳන් ධාරිතාව 2,858ක් දක්වා වැඩි කිරීම මත එය කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලට පමණක් දෙවන වන තෘතීයක සේවා සෞඛ්‍ය මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇතැයි රජය කියයි.
තවද පොතුවිල් මුලික රෝහල මධ්‍යම රජයට පවරාගෙන සංවර්ධනය කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේදී
රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ නගරය කේන්ද්‍ර කර ගනිමින් පෙරේදා (21) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මාතලේ ශ්‍රී ධර්මරාජ පිරිවෙනේදී ආරම්භ විය.
“අත්තනො ච අචෙක්ඛෙය්ය කතානිඅඛතානි චÓ – “අනුන් කළ දේ ගැන නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු”. යන්න මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ තේමාවයි.
ලබන 27 වෙනිදා දක්වා රාජ්‍ය වෙසක් උත්සව සතිය ක්‍රියාත්මක වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංගේ ප්‍රධානත්වයෙන් අද (23) වන දින වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ ආගමික වැඩසටහනක් ධර්මරාජ පිරිවෙනෙහි පවත්වනු ලබයි.
රාජ්‍ය වෙසක් උත්සවය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ අතින් වෙසක් උත්සවය වෙනුවෙන් පැවති අධ්‍යාපනික ප්‍රදර්ශන කුටිය විවෘත කළ අතර රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් සමරු මුද්දර නිකුත් කිරීම ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර අතින් සිදු කෙරුණි.
විහාරස්ථාන සඳහා ආධාර මුදල් පරිත්‍යාග කිරීම, භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබාදීම, දහම් පාසල් සඳහා ඩෙස් පුටු ලබාදීම මෙහිදී සිදු කෙරුණි.
ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නා හිමි, ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නාහිමි, සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නා හිමි, ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක මල්වානේ පඤ්ඤාසාර හිමි, සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක කොස්ගොල්ලේ සීලරතන නා හිමි, ඇතුළු ත්‍රෛයි නිකායික මහා සංඝරත්නය අන්‍යාගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා, දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, යදාමිණි ගුණවර්ධන, ගුණතිලක රාජපක්ෂ, රෝහිණී කවිරත්න, ඇතුළු මැති ඇමැතිවරු, තානාපතිවරු, බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ ඇතුළු රාජ්‍ය නිලධාරින්, සැදැහැවතුන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ග්‍රාමනිලධාරී වැටුප් දීමනා ඉහළට !
මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත කිරීම සඳහා එම සේවා ව්‍යවස්ථා කෙටුම්පත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා අද (22) මේ බව සඳහා කර සිටියේ පාර්ලිමේන්තුවේදී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.
රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත එහිදී සඳහන් කළ ආකාරයට GN නමින් නව වැටුප් කේතයක් ග්‍රාම නිලධාරිවරුන් සඳහා හිමිවන අතර, අලුතින් එම සේවයට එක්වන ග්‍රාම නිලධාරිවරයෙකුගේ මූලික වැටුප රු. 28,940 සිට රු. 30,140ක් දක්වා ඉහළ යනු ඇත. ග්‍රාම නිලධාරී සේවයේ 2 ශ්‍රේණියේ නිලධාරියෙකුගේ මූලික වැටුප රු.33,690 දක්වාත්, 3 ශ්‍රේණියේ අයෙකුගේ මූලික වැටුප රු.38,590ක් දක්වාත් ඉහළ යාමට නියමිතය.
අදාළ ප්‍රාදේශීය සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රු. 1000 සිට 2000 දක්වාත්, නගර සභා සීමාව තුළ රු. 1500 සිට 3000 දක්වාත්, වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව රු. 1500 සිට රු. 3000 දක්වාත් ඉහළ නංවා 2024.04.01 සිට ක්‍රියාත්මක කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. මීට අමතරව අනෙකුත් නිල ඇඳුම්, ගමන්, සන්නිවේදන දීමනා වැඩි කිරීම සඳහා, 2025 අය-වැය පිළියෙළ කිරීමේදී, මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර පියවර ගැනීමටද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාට නියම කර තිබේ.

IMF සමඟ ඉදිරියට යනවා : හරිනි මාලිමාවේ මතය කියයි !
ආර්ථිකය සිර නොකර ණය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණීම සඳහා සාකච්ඡා කළ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි, ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
මන්ත්‍රීවරිය මේ බව සඳහන් කර ඇත්තේ මහනුවර පැවති ජන හමුවක අදහස් දක්වමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය මෙසේද සඳහන් කර ඇත.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන එකඟතා ජාතික ජන බලවේගයට ඉදිරියේදී ලැබෙන ජනවරම අනුව සමාලෝචනයට ලක්කර නව යෝජනා ඉදිරිපත් කරනවා. මේ වන විට ජනතාව මත අසීමිත ලෙස පටවා තිබෙන බර සම්බන්ධයෙන් මෙන්ම ණය කළමනාකරණය කිරීමේදී අපේක්ෂා කරන සහාය පිළිබඳව ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කතා කළ යුතුයි. ආර්ථිකය වර්ධනය කිරීමට සහ නිෂ්පාදන ආර්ථිකය ගොඩනැඟීමට ක්‍රියාමාර්ග රැසක් ගත යුතුව තිබෙනවා. එයට බාධා වන ලෙස ණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ රටේ ආර්ථිකය සිර කිරීමට ජාතික ජන බලවේගය සූදානම් නෑ. ජනතාවට බරක් නොවන ලෙස මේ ක්‍රියාවලි දෙකම සිදු කරගෙන යෑම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණිය යුතුයි.
දිගින් දිගටම සමඟි ජන බලවේගය සමඟ කරන විවාදයේ එල්ලී සිටීමට නොහැකියි. එම විවාදය ජාතික ජන බලවේගය ඉල්ලූ එකක් නොවේ. ඔවුන් කළ යෝජනාවට අනුව අනුර සහෝදරයා වෙනුවෙන් පක්ෂය දින දුන්නා. සජබ ආර්ථික කවුන්සිලය හා විවාදයක් පැවැත්වීම ජාතික ජන බලවේගය ප්‍රතික්ෂේප කර නෑ. ජනතාවට මේ අවස්ථාවේ වඩා වැදගත් වන්නේ ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අදහස් නිසා එයට ප්‍රමුඛතාව දීමට තීරණය කළා.”

විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනයට : රජයෙන් විශේෂ වැඩපිළිවෙළක් !
සේවයෙන් විශ්‍රාම ලබන ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ඒ වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් නොතිබීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර කටයුතු කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට, ආරක්ෂක අමාත්‍යාංශයට සහ රණවිරු සේවා අධිකාරියට උපදෙස් දී ඇති බව ද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්‍ල, අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශ මාවතේ ‘ප්‍රවීණයන්ගේ නිවහන’ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මුලස්ථාන සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (22) පෙරවරුවේ එක් වෙමිනි.
විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය විශේෂ අවධානයකින් කටයුතු කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රණවිරු ගම්මානවල ජීවත්වන රණවිරුවන්ට උරුමය ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.
ආරක්ෂක විශේෂ විධිවිධාන පනත ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්, ජාතික ආරක්ෂක සභාව නීතිගත කිරීම හා සන්නද්ධ හමුදා කමිටුව පත් කිරීමටත් කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
එසේම සන්නද්ධ සේවයේ නිරත වන පිරිසට, විශ්‍රාම ලැබුවන්ට සහ සිවිල් පුරවැසියන්ට ද යුද උපක්‍රම පිළිබඳ අධ්‍යයනය කිරීමට අවස්ථාව සලසා දෙමින් Sri Lanka Institute of strategic studies ආයතනය ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා පැවසීය.
සමරු ඵලකය නිරාවරණය කර ‘ප්‍රවීණයන්ගේ නිවහන’ විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
විශ්‍රාමික ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ සුබසාධක කටයුතු වෙනුවෙන්, දෙවන ලෝක සංග්‍රාමය අවසන් වකවානුවේ හමුදා සේවයෙන් ඉවත් වූ හා විශ්‍රාම ගිය හමුදා සාමාජිකයන් පිරිසක් විසින් 1944 වසරේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයට අඩුපාඩුවක්ව පැවති මුලස්ථාන ගොඩනැගිල්ල එම සංගමයේ සහ ත්‍රිවිධ හමුදාවේ මුල්‍ය දායකත්වයෙන් ඉදි කරනු ලැබීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
විශ්‍රාම ලැබූ ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ කටයුතු වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. එම සාමාජිකයන් බොහෝ දෙනෙක් 1983 සිට 2009 වන තෙක් රටේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට විශාල කැපවීමක් සිදු කළා.
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයන්ට මෙන්ම විශ්‍රාම ලැබූ අනෙකුත් රජයේ සේවකයන්ට තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට රජය අවධානය යොමු කර තිබෙනවා. අප තවම සිටින්නේ ආර්ථික වශයෙන් අසීරු තත්ත්වයකයි. ඉදිරි වසර දෙක තුළදී එම තත්ත්වයෙන් ගොඩඒමට අපට හැකියාව තිබෙනවා.
රණවිරු ගම්මානවල ජිවත්වන රණවිරුවන්ට තවම එම ඉඩම් අයිතිය ලැබී නැහැ කියා මට දැන ගන්න ලැබුණා. ඇතැම් අය පොරොන්දු ලබා දුන්නට එම පොරොන්දු ඉටු කර නැහැ. ඒ නිසා ඉදිරි මාස දෙක තුළ මෙම වැඩකටයුතු අවසන් කර එම සියලුදෙනාට උරුමය ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබා දීමට ජනාධිපති ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ ඉඩම් කොමසාරිස්වරයාගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව මෙම ජුලි මාසය වන විට උරුමය ජාතික වැඩසටහන යටතේ එම කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.
ඒ වගේම සන්නද්ධ හමුදාව සහ ජාතික ආරක්ෂාවේ අනාගතය පිළිබඳ අපගේ අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව 2030 දක්වා අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳ වෙනම උපදේශක කමිටුවක් පත් කර තිබෙනවා. ඉදිරියේ දී එම වාර්තාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වන අතර සියලුදෙනාට ඒ පිළිබඳ සාකච්ඡා කර අදහස් ලබා දීමට අවස්ථාව සැලසෙනවා.
2030 වන විට මෙරට ජාතික ආරක්ෂාව තුළ ඇති වන තත්ත්වයන්ට මුහුණ දීමට අප සූදානම් විය යුතුයි. එහිදී ත්‍රිවිධ හමුදාවේ වගකීම් හදුනාගෙන නිසි සැලැස්මක් අනුව රටේ සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ඉදිරියට යා යුතුයි. ඒ සමඟම ආරක්ෂක විශේෂ විධිවිධාන පනත ඉදිරිපත් කිරිමට ද මම බලාපොරොත්තු වෙනවා.
විශේෂයෙන්ම ජාතික ආරක්ෂක සභාව නීතිගත කිරීමට පාස්කු ඉරිදා කොමිෂමේදීත් සඳහන් කළා. එය කිරීම අවශ්‍යයි. එය නීතිගත කිරීමට වගේම සන්නද්ධ හමුදා කමිටුව පත් කිරීමටත් කටයුතු කරනවා.
ඒ වගේම සන්නද්ධ සේවයේ නිරත වන පිරිසටත්, විශ්‍රාම ලැබු පිරිසට වගේම සිවිල් පාර්ශ්වයන්ටත් යුද උපක්‍රම පිළිබඳ අධ්‍යයනය කිරීමට Sri Lanka Institute of strategic studies නමින් වෙනම ආයතනයක් ඇති කරනවා. ඒ අනුව කැමති පිරිසට එම වැඩකටයුතු සඳහා සහභාගි විය හැකියි.මෙම ආරම්භ කර තිබෙන වැඩකොටස සමග ආරක්ෂක හමුදාව ප්‍රතිව්‍යුගත කිරීම සිදු වෙනවා.
පසුගිය දුෂ්කර කාලපරිච්ඡේදය තුළ වැඩිපුරම පීඩාවට පත්වූයේ විශ්‍රාම ලැබු පිරිස බව පිළිගත යුතුයි. මෙම එක් එක් අංශ වෙනුවෙන් ලබාදිය යුතු සහන මොනවාද කියා අප සාකච්ඡා කළයුතුයි.
එක් නිලයකට, එක් විශ්‍රාම වැටුපක් ලබාදීමේ ක්‍රමවේදය දැනටමත් ක්‍රියාත්මක වෙනවා. අනෙක් වැඩකටයුතු පිළිබඳ අප අවධානය යොමු කර තිබෙන අතර මෙම සංගමයේත්, රණවිරු සේවා අධිකාරියේත් සුබසාධන කටයුතු පිළිබඳ අදහස් සහ යෝජනා ලබා ගැනීමට මම කැමතියි. රණවිරු අධිකාරිය තුළ එම සුබසාධන වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා.
ඒවගේම සේවය අවසන් කරන අය පිළිබඳ අප ගත යුතු පියවර කුමක්ද කියා අවධානය යොමු කර තිබෙනවා. ඔවුන්ට නව ආදායම් මාර්ගයක් සළසා ගැනීමට තිබෙන අවස්ථා මොනවාද කියා සොයා බැලිය යුතුයි. එම අවස්ථාව නොතිබීම නිසා ඇතැමුන් රුසියාවට යාමට තීරණය කළා.
තමන්ගේ හැකියාව අනුව රට තුළ හෝ විදේශගතව හොඳ ආදායම් මාර්ගයක් උපයා ගැනීම සඳහා අවස්ථාව සලසා දිය යුතුයි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යාංශය සහ රණවිරු සේවා අධිකාරිය ඒකාබද්ධව ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් යෝජනා කරන ලෙස මම උපදෙස් දී තිබෙනවා.
හමුදා සේවයෙන් විශ්‍රාම ලබන පිරිස් තුළ විශේෂ දක්ෂතා තිබෙනවා. රටේ ආර්ථික දියුණුවත් සමඟ අප ඔවුන්ට නව අවස්ථා සලසා දිය යුතුයි. අද රටේ ආර්ථිකය දියුණුව කරා ගෙන යාමට අපට අවස්ථාව ලැබී තිබෙන්නේ එදා රණවිරුවන් රට ආරක්ෂා කර දුන් නිසයි.
ඒ වගේම අද අප මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙන්නේ තවත් යුද්ධයක් අවසන් කිරීමෙන් පසුවයි. රටේ ඒකීයභාවයට එක් තර්ජනයක් වුණේ ත්‍රස්තවාදයයි. ඒ වගේම රට තුළ සිදු වූ දරුණු ආර්ථික කඩා වැටීම රටේ ඒකීයභාවයට තවත් තර්ජනයක් වුණා. මෙම තත්ත්වය තවදුරටත් පැවතියා නම් අපේ රට ආර්ථිකයක් නැති රටක්, එනම් තවත් ලිබියාවක් බවට පත් වෙනවා.
රට භාර ගැනීමෙන් පසු මගේ පළමු කාර්ය බවට පත් වුණේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි. ඒ වගේම ඉදිරි වසර 04, 05 ට අදාළව රටේ ආර්ථිකය වෙනුවෙන් ගත යුතු තීරණ කඩිනමින් ගැනීමට සිදු වුණා. යුද්ධයේදී ප්‍රකාශ කරනවා “යුද්ධය ඇදගෙන යාමට හොඳ නැහැ, උපක්‍රමශීලිව වහා අවසන් කළයුතුයි කියලා. යුද්ධයේදීත්, ආර්ථිකය ගොඩනැගීමේදීත් ඒ අනුව කටයුතු කළයුතුව තිබෙනවා.
අපේ රට දැන් ආර්ථික වශයෙන් ගොඩ එමින් තිබෙනවා. බංකොළොත්භාවයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීමට අදාළව අප දැන් ණය ලබා දුන් රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. එම කමිටුවත්, චීනයත් අපේ යෝජනා සාකච්ඡා කර පිළිගැනීමට සූදානමින් සිටිනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනටමත් එය පිළිගෙන අවසන්. ඉන්පසුව එම රටවල් සමඟ වෙන වෙනම ගිවිසුම් අත්සන් තැබීමට කටයුතු කරනවා.
ඒ වගේම පුද්ගලික ණයකරුවන් සහ බැංකු, විශ්‍රාම වැටුප් අරමුදල් ඇතුළු සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව තිබෙන නිසා අපට ඉදිරියට යා හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙම ජුනි මාසයේ මෙරටට පැමිණීමෙන් පසු අප ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. ඉන්පසුව 2025 අය වැය සමඟ මෙම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කරනවා. මැතිවරණ පැවැත්වෙන නිසා එම අය වැය ජනවාරි මාසයේ නැත්නම් පෙබරවාරි මාසයේ දී ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මේ කටයුතු සමඟ ඇතිවන ආර්ථික දියුණුව සමඟ ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ නැංවීමට හැකියාව ලැබෙනවා. මේ වෙනුවෙන් ඉවසීමෙන් කටයුතු කළ විශ්‍රාම ලැබූ සියලුදෙනාට මගේ ස්තූතිය පිරිනමමින් සේවා මුක්ත භට කණ්ඩායමට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයන් ඇතුලු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අවුරා ලංකා තාඹුගල ඇතුලේ !
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල ලබන 27 දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ අද (22) නියෝග කළාය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ රුපියල් මිලියන 70ක මූල්‍ය වංචාවක් සම්න්ධයෙන් ය.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළාය.

පළමුව පවත්වන මැතිවරණය : ජනපති කැබිනට් මණ්ඩලයට දන්වයි !
මෙම වසරේ පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.
වාර්තා වන ආකාරයට අද (22) පෙරවරුවේ පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති අතර ඒ සඳහා සූදානම් වන ලෙසද පවසා ඇත.
මහ මැතිවරණයක් සඳහා මුදල් වෙන් කර නොමැති බවත් 2024 අයවැයෙන් මුදල් වෙන් කිරීමක් සිදුකර ඇත්තේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළ බවද වාර්තා වෙයි.

news -ok -SL - ඉරාන ජනාධිපතිගේ අභාවයට ශෝකය පළ කිරීමට : ජනපති ඉරාන තානාපති කාර්යාලයට !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) පෙරවරුවේ කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි ගේ හදිසි අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කළේය.
තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලි රීසා ඩෙල්කොෂ් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය.
අනතුරුව ඉරාන තානාපතිවරයා ඇතුළු පිරිස සමඟ කෙටි කථා බහකට එක් වූ ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබු ශෝක සටහන් පොතේ සටහනක් ද තබමින් ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් ඉරාන රජයටත්, ජනතාවටත් තමාගේ සහ ශ්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් බලවත් ශෝකය පළ කර සිටියේය.
Page 81 of 474