V2025

පුවත්

විදුලිබල පනත් කෙටුම්පත සම්මතයි !

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ අතර ඒ ඡන්ද විමසීමකින් ද තොරවය.

කෙසේ වුවත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අද (06) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් සිදුකෙරුණි.

ජාතික  ජනබලවේගය , නිදහස ජනතා සන්ධානය සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

නමුත්  අනුර පියදර්ශන යාපා, ප්‍රියංකර ජයරත්න, නිමල් ලන්සා, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න සහ අලි සබ්රි රහිම් යන මන්ත්‍රීවරුද පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

මේ අනුව  පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් සහ විරුද්ධව ඡන්ද 59ක් හිමිවිය.

ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 44කින් සම්මත වූ බවය. 

ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේ කටයුතු ආරම්භ කෙරුණි. 

පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන සහිතව ජන්ද විමසීමකින් තොරව  සම්මත වූයේ එහිදී ය.

රවී – සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

ප්‍රවීණ රංගනවේදී රවින්ද්‍ර රන්දෙණිය මහතා දශක 5ක් පුරා ශ්‍රී ලාංකේය සිනමාව උදෙසා සිදු කළ විශිෂ්ට සේවාව අගයමින් “රවී – සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

1974 වසරේදී තිරගත කෙරුණු ‘තරංගා’ සිනමා පටයෙන් සිනමාවට එක්වන රවීන්ද්‍ර රන්දෙණිය නම් වූ රංගන ශිල්පියා විශිෂ්ට රංගන පෞරුෂයකට හිමිකම් කියමින් තමාට රඟපාන්නට ලැබුණු සෑම චරිතයකටම උපරිමයෙන් සාධාරණය ඉටුකළ අතර පසුගිය දශක 5 පුරාවට ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂක හදවත් තුළ සදා නොමැකෙන මතක සටහන් රැසක් තබන්නට සමත් විය.

දුහුලු මලක්, පොඩි මල්ලි, වීරපුරන් අප්පු, ජනේලය, මායා, ආරාධනා, දඩයම, මංගල තෑග්ග, සාගර ජලය, සෛලම, සිරිමැදුර, අනන්ත රාත්‍රිය, කළුදිය දහර ඇතුළු සිනමාපට 100කට අධික ප්‍රමාණයකට තම රංගන ප්‍රතිභාව මුසු කරමින් ප්‍රේක්ෂකයා සිනමාශාලාව තුළට කැඳවා ගනිමින් සිංහල සිනමා කර්මාන්තය ඉහළට ඔසවා තැබීමට විශාල දායකත්වයක් ලබා දුන් ඔහු ශ්‍රී ලංකාව තුළ පැවති සරසවිය, ජනාධිපති, ස්වර්ණ සංඛ ඕ.සී.අයි.සී. සහ විචාරක සම්මාන උළෙල රැසකදී පහළොස්වතාවකට වැඩි අවස්ථා ගණනාවකදී හොඳම නළුවාගේ සම්මානයෙන් පිදුම් ලැබූ අතර ජීවිතයට එක්වතාවක් පමණක් ලැබෙන Life time Achievements Awards සම්මාන 07කින් ද හොඳම සහාය නළුවා හා ඇගැයීම සම්මාන රැසකින් ද පිදුම් ලබා ඇත. ඔහු සිනමාව උදෙසා කළ සේවාව වෙනුවෙන් සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයෙන් පිරිනැමෙන දර්ශන සූරී සම්මාන උපාධියෙන් ද පිදුම් ලබා ඇත. මීට අමතරව ජාත්‍යන්තර සිනමාපට රැසකට තම රංගන දායකත්වය ලබාදුන් මේ ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියා Street Child (ප්‍රධාන චරිතය), Mother Thresa, Jungle Heat, Sandokan හා තිරගත වීමට නියමිත Distant Tear Drop සිනමාපටයේ (ප්‍රධාන චරිතය) ඇතුළු සිනමාපට රැසකට රංගන දායකත්ව ලබා දී ඇත.

සිනමා විචාරක ගාමිණී වේරගොඩ මහතා සිංහල බසින් හා උදිත දේවප්‍රිය මහතා ඉංග්‍රීසි බසින් රචිත රවින්ද්‍ර රන්දෙණිය චරිතාපදානය ග්‍රන්ථ ද්විත්වය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර රවින්ද්‍ර රන්දෙණිය මහතා විසින් එහි පළමු පිටපත ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

රවින්ද්‍ර රන්දෙණිය මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ එතුමා ක්ෂේත්‍ර ගණනාවකට දායකත්වය ලබා දිය හැකි දක්ෂ රංගධරයෙක් බවයි.

දේශපාලන වශයෙන් රවින්ද්‍ර රන්දෙණිය මහතා තමා සමඟ සමීපව කටයුතු කළ අන්දමද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා සිය දේශපාලන කටයුතුවලට ඔහුගෙන් ලැබුණු නොමඳ සහායද කෘතවේදීව සිහිපත් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේද පැවසීය,

මම පළමු වරට රවින්ද්‍ර දුටුවේ 1975 කළුදිය දහර චිත්‍රපටය තුළින්. මම එක්සත් ජාතික පක්ෂ සංවිධායකයා ලෙස කැළණියට පැමිණියේද එම වර්ෂයේදීයි. එහිදී මට දළුගම සිටින රවින්ද්‍රගේ පවුලේ අයව හඳුනා ගැනීමට ලැබුණා. ඔවුන් නිරතුරුව අප පක්ෂය වෙනුවෙන් සහයෝගය ලබාදෙමින් කටයතු කරමින් සිටියා. ඒ අනුව ඔහු සමඟ මා දේශපාලන වැඩ කටයුතු කළා.

ඒ වගේම විවෘත ආර්ථිකය සමඟ මෙරට චිත්‍රපට කලාවේ විශාල දියුණුවක් ඇති වුණා. රවින්ද්‍ර රන්දෙණිය මහතාත් ඒ සමඟ ඉදිරියට පැමිණෙන අයුරු අප දුටුවා. ඔහු එම සමයේ ප්‍රධාන චිත්‍රපට ගණනාවකට රංගන දායකත්වය ලබා දුන්නා. ඒ සමඟම දේශපාලනයට ද එක් වුණා. මගේ දේශපාලන කටයුතුවලට එතුමාගේ නොමද සහායක් හිමි වූ අතර අවසානයේ මාගේ ඉල්ලීම මත එතුමා 2001 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත් වුණා.

නමුත් එතුමාගේ කැමැත්ත තිබුණේ දේශපාලනය සඳහා නොවෙයි, කලා ක්ෂේත්‍රය සඳහායි. එතුමා දක්ෂ රංගධරයෙක්. අපි එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමාට තවත් ක්ෂේත්‍ර ගණනාවකට සිය දායකත්වය ලබාදීමට හැකියාව තිබෙන බව සඳහන් කළයුතුයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, හිටපු කථානායක කරු ජයසුරිය යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන නියෝජිතයන් ද, සිනමා කර්මාන්තයට සම්බන්ධ සියලු අංශයන් නියෝජනය කරමින් ඔහුගේ සමකාලීනයන් හා සම්භාවනීය ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

රයිස්, කොත්තු ඇතුළු ආහාරවල මිල පහළට

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 25කින් අඩු කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසයි.

එසේ ම, කෙටි ආහාර වර්ගවල මිල ගණන් රුපියල් 10කින් අඩු කර ඇති අතර ප්ලේන්ටි එකක් රුපියල් 5කින් අඩු කළ බව ඔහු සඳහන් කළේ ය.

ඔහු තවදුරට ත් සඳහන් කළේ, එළවළු, බිත්තර සහ ගෑස් මිල අඩු වීම නිසා පාරිභෝගික ජනතාවට එම සහනය ලබා දුන් බව ය.

කිරි තේ එකක මිල අඩු ගණන් සංශෝධනය නොකරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරට ත් පැවසීය.

කිරි පිටි මිල ගණන් රජයට තව අඩු කිරීමට හැකි අතර කිරි පිටි සූරාකෑම නිසා කිරි තේ එකක මිල අඩු කිරීමට නොහැකි බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

අලුතින් පත්ව පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයන් 14ක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු 05 දෙනෙක් සහ තානාපතිවරු 09 දෙනෙක් අද (05) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

නවසීලන්තය, සයිප්‍රස් ජනරජය, මාලදිවයින, සියෙරා ලියොන් ජනරජය සහ මොරිෂස් ජනරජය සඳහා නව මහකොමසාරිස්වරුන් ද ගෝතමාලා ජනරජය, ඇල්ජීරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, එස්තෝනියා ජනරජය, ලාඕස් මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කොලොම්බියා ජනරජය, තුර්කි ජනරජය, අයර්ලන්තය, හෙලනික් ජනරජය (ග්‍රීසිය) සහ බල්ගේරියානු ජනරජය සඳහා නව තානාපතිවරුන් ද මෙලෙස පත්ව සිටී.

මෙම නව මහකොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් පිළිගැනීම සඳහා කෙටි උත්සවයක් කොටුව ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබිණි.

image 8b18c05a8c

අද දින අක්තපත්‍ර භාර දුන් නව මහකොමසාරිස්වරුන්ගේ සහ තානාපතිවරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

01. Mr. Omar Castañeda Solares - Ambassador of the Republic of Guatemala 
ඔමර් කැස්ටනේඩා සොලරෙස් මහතා - ගෝතමාලා ජනරජයේ තානාපති 

02. Mr. Ali Achoui – Ambassador of the People’s Democratic Republic of Algeria 
අලි අචෝයි මහතා - ඇල්ජීරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තානාපති 

03. Ms. Marje Luup – Ambassador of the Republic of Estonia 
මාර්ජ් ලූප් මහත්මිය - එස්තෝනියා ජනරජයේ තානාපති 

04. Mr. Bounmy Vanmany – Ambassador of the Lao People’s Democratic Republic 
බෞන්මි වන්මෙනි මහතා - ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තානාපති 

05. Mr. Victor Hugo Echeverri - Ambassador of the Republic of Colombia 
වික්ටර් හියුගෝ එචෙවෙරි මහතා - කොලොම්බියා ජනරජයේ තානාපති (නවදිල්ලිය)

06. Mr. David Gregory Pine High Commissioner of the New Zealand 
ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා - නවසීලන්ත මහකොමසාරිස් 

07. Mr. Semih Lütfü Turgut – Ambassador of the Republic of Türkiye 
සෙමි ලූට්ෆූ ටර්ගට් මහතා - තුර්කි ජනරජයේ තානාපති

08. Mr. Evagoras Vryonides - High Commissioner of the Republic of Cyprus 
එවගොරාස් ව්‍රියොනිඩෙස් මහතා - සයිප්‍රස් ජනරජයේ මහ කොමසාරිස් 

09. Mr. Kevin Kelly - Ambassador of Ireland b
කෙවින් කෙලී මහතා - අයර්ලන්ත තානාපති 

10. Mr. Masood Imad - High Commissioner of the Republic of Maldives 
මසූඩ් ඉමාඩ් මහතා - මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස්

11. Ms. Aliki Koutsomitopoulou - Ambassador of the Hellenic Republic 
අලිකි කොට්සොමිටොපෝලෝ මහත්මිය - හෙලනික් ජනරජයේ (ග්‍රීසිය) තානාපති 

12. Mr. Abu Bakarr Karim - High Commissioner of the Republic of Sierra Leone 
අබු බකාර් කරීම් මහතා - සියෙරා ලියොන් ජනරජයේ මහ කොමසාරිස්

13. Dr. Nikolay Yankov - Ambassador of the Republic of Bulgaria 
ආචාර්ය නිකොලායි යන්කොව් මහතා - බල්ගේරියානු ජනරජයේ තානාපති 

14. Mr. Haymandoyal Dillum - High Commissioner of the Republic of Mauritius 
හේමන්ඩොයාල් ඩිලුම් මහතා - මොරිෂස් ජනරජයේ මහ කොමසාරිස්

ආදීවාසීන් වෙනුවෙන් නව පනත් කෙටුම්පතක්

මෙරට ආදීවාසී ජනතාවට පවතින ගැටළුවලට විසදුම් ලබාදීම සදහා නව පනතක් සකස් කිරීමට හා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම සදහා රෙගුලාසි පද්ධතියක් සකස් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂගේ උපදෙස් පරිදි කටයුතු කර ඇත.

එම රෙගුලාසි පද්ධතිය පිළිබදව අදාළ පාර්ශ්ව සමග විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ ( 04) පස්වරුවේ පැවැත්විණි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහ වනජීවි හා වන සංරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය, නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාව සිදු විය.

ආදිවාසී ජනතාවට පවතින ගැටළු විසදීම සදහා සකස් කළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා විසින් මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, පනත සදහා ඇතුළත් කිරීමට නොහැකි කරුණු රෙගුලාසි යටතේ නීතිගත කිරීමට පියවර ගෙන තිබේ.

වනාන්තරවල ඇති ඖෂධ වර්ග ආදිවාසී ජනතාව විසින් නෙලා ගැනීමේදී එම ඖෂධ ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු ආකාරය පිළිබදව වනජීවි දෙපාර්තමේන්තුව විසින් රෙගුලාසි පද්ධතියක් සකස් කරමින් පවතින අතර, ඒ පිළිබදව තවදුරටත් අධ්‍යනය කිරීම සදහා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

විශේෂයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින වනාන්තර ආශ්‍රිතව ජීවත් වන ආදිවාසී ජනතාවට වනාන්තරවල ඖෂධ වර්ග නෙලීමේදී නව රෙගුලාසී පද්ධතියක් කඩිනමින් සකස් කිරීමට මෙහිදී තීරණය වු අතර, සති තුනක් තුළ අදාල රෙගුලාසි පිළිබදව නිර්ණායක ලබාදීමට නියමිතව තිබේ. අදාල ඖෂධ වර්ග නිශ්චිතව නම් කර ඇති අතර, ඖෂධ වර්ග නෙලීම සිදු කළ හැකි ආදිවාසී ජනතාව පිළිබදව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් විසින් අවසර පත්‍රයක් නිකුත් කිරීමට නියමිතව ඇත.

වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරිය බණ්ඩාර  ඇතුළු නිතිපති දෙපාර්තමේන්තුව, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය, වනජීවි දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාශය හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාව සදහා එක්ව සිටියහ.

ලාෆ් ගෑස් මිළත් පහළට

ලාෆ්ස් ගෑස් සමාගම ද අද (04) සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160කින් පහළ දැමුණු අතර එහි නව මිල වන්නේ රුපියල් 3,680කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් පහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 1,477ක් වෙයි

ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට කැබිනට් අනුමැතිය

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ගංවතුර ඇතුළු ආපදා තත්ත්වයන්ගේ බලපෑමට ලක්වූ කොළඹ, කොළොන්නාව ප්‍රදේශයේ මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට ආහාර පාන සැපයීම සහ අත්‍යාවශ්‍ය සේවාවන් සලසා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ඊයේ (03) රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ජනාධිපතිවරයා ඊයේ දිනයේ කොළඹ කොළොන්නාව ඇතුළු තදාසන්න ප්‍රදේශවල ගංවතුරින් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසීම සඳහා සිදු කළ නිරීක්ෂණ චාරිකාවේදී ප්‍රදේශවාසීන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබිණ.

කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිගු කාලයක් පුරා පවතින ගංවතුර ගැටලුවට පිළියම් යෙදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් ද මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව කොළඹ, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කැලණි ගං මිටියාවතේ සිදු කෙරෙන නව ඉදිකිරීම් සඳහා අවසර ලබා නොදීම, සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, දැනට සිදුකෙරෙන ඉඩම් ගොඩකිරීමේ කටයුතු නැවැත්වීම, ජලාපවාහන පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සහ ඕනෑම ක්ෂණික අලුත්වැඩියා කටයුත්තක් සිදු කිරීමට හැකිවන සේ පවතින ජල පොම්පාගාරවල වත්මන් තත්ත්වය තක්සේරු කිරීම ඇතුළු කඩිනම් පියවර ගැනීම සඳහා ද අමාත්‍ය මණ්ඩලය විසින් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බලධාරීන්ට නියෝග කර තිබේ.

එමෙන්ම, කොළඹ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට බලපෑ මූල හේතුන් හඳුනාගනිමින් ඉදිරියේදී එවැනි තත්ත්වයන් නැවත ඇතිවීම වලක්වා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට මෙන්ම, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවතින ඉඩම් ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගනිමින් කොළොන්නාව නගරය නැවත සැලසුම් කිරීම පිණිස සවිස්තරාත්මක සංවර්ධන සැලැස්මක් සකස් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්, ඊට අදාළ නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් ආයතනවල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මෙම කමිටුවේ වාර්තාව අදාළ නිර්දේශ ද සමඟ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට හැකි වන සේ මාසයක කාලයක් තුළ ජනාධිපතිවරයා වෙත භාර දීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.

ආචාර්ය හේමාලි කොතලාවලට ජාත්‍යන්තර තනතුරක්

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානයේ (World Organization for Animal Health)ආසියා පැසිෆික් කලාපීය කාර්යාංශයේ උප සභාපති ධුරයට පත් කර තිබේ.

පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැති ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික මහා සමුළුවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම මහත්මිය සහභාගී වුවාය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර  ප්‍රමුඛ නියෝජිත පිරිසක් මෙම සමුළුවට සහභාගි වූ අතර ශ්‍රී ලංකාවේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය ප්‍රවර්ධනය සම්බන්ධව ගෙන ඇති වැඩ පිළිවෙළ පිළිබඳව එම සමුළුවේ දී අමාත්‍යවරයා දේශනයක් ද ඉදිරිපත් කළේය.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවකි.

ආචාර්ය හේමාලි කොතලාවල  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියකි.

එමෙන්ම විද්‍යාපති උපාධිය ඉන්දියාවේ පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් ද, ආචාර්ය උපාධිය ජපානයේ ඔබිහිරෝ විශ්වවිද්‍යාලයෙන් ද ලබා ගෙන ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන් හෙට වැසෙන පාසල් මෙන්න.....

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයට අයත් පාසල් සඳහා ද හෙට දිනයේ නිවාඩු ලබාදී  ඇති අතර, ගම්පහ, කැලණිය අධ්‍යාපන කලාපවල සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් සඳහා හෙට දිනයේ නිවාඩු ලබාදී ඇත.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ රත්නපුරය, කැගල්ල, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බවය.

සනත් ජයසූරියගේ මව අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ මව වන බ්‍රීඩා ජයසූරිය අභාවප්‍රාප්ත වී තිබෙයි.

මිය වන විට ඇය වයස අවුරුදු 80 වැනි වියේ පසුවිය.

ඇය සිය උපන් ගම වන මාතර පෞද්ගලික රෝහලකදී මිය ගොස් තිබෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් ඇමරිකාවට ගොස් සිටි සනත් ජයසූරිය එම පුවත සැලවීමත් සමඟ යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළේ මෙම දුෂ්කර අවස්ථාවේදී ඔහු නැවත සිය පවුලේ අය සමඟ සිටින බවයි.

අවසන් කටයුතු ලබන බදාදා මාතරදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

ගෑස් මිල පහළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව ඇත.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ සංශෝධිත මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත්කරන බවය.

සිමෙන්ති මිල අඩු වෙ​යි

සිමෙන්ති කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රුපියල් 150කින් අඩු කළ බව සිමෙන්ති සමාගම් පැවසීය.

එම මිල අඩු කිරීම මේ මස 01 වැනිදා සිට ක්‍රියාත්මක බවත් ඒ අනුව කිලෝග්‍රෑම් 50 බෑගයක උපරිම සිල්ලර මිල රුපියල් 2250 ක් බවත් සිමෙන්ති සමාගම් වැඩි දුරටත් සඳහන් කරයි.

දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම්

ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ උපරිම අයුරින් ලබාදීම සඳහා මාර්ග සම්බන්ධතාව වැඩිදියුණු කරමින් දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  බව සඳහන් කර සිටියේ නෙදර්ලන්ත ජැන්සන් බ්‍රිජිං සමාගම විසින් 2014 – 2024 කාලය තුළදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ග්‍රාමීය පාලම් 750ක් සාර්ථකව නිම කිරීම වෙනුවෙන් අද (03) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සැමරුම් උළෙල අමතමිනි.

මෙම පාලම් මඟින් එකිනෙකට සම්බන්ධ වන ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීම සඳහා රජය කැපවී සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය දියුණු වන විට, ඉතාම දිළිඳු මට්ටමේ ජනතාවට ද එමඟින් ප්‍රතිලාභ හිමිවීම සහතික කළ යුතු බව ද අවධාරණය කළේය.

ග්‍රාමීය ප්‍රදේශවල සිටින ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් බහුමාන දරිද්‍රතාවය 10% දක්වා අඩු කර ගැනීම රජයේ ආපේක්ෂාව බවත්, එම ඉලක්කය කරා ළගා වීමේ දී ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙන මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් දායකත්වය ලබාදීම පිළිබඳ නෙදර්ලන්ත රජයට සිය ස්තූතිය ද පුද කර සිටියේය.

ජැන්සන් බ්‍රිජිං සමාගමෙහි 10 වන සංවත්සරය සහ එම සමාගම විසින් ශ්‍රී ලංකාවේ පාලම් 750ක ඉදිකිරීම් සාර්ථකව නිම කිරීමේ අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අතින් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝබාක් ( Bonnie Horbach) මහත්මිය වෙත විශේෂ සමරු තිළිණ පිළිගැන්වීම ද සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේද පැවසීය,

ජැන්සන් බ්‍රිජිං සමාගම විසින් මෙරට ඉදිකරන ලද පාලම් ප්‍රමාණය 750ක් සම්පූර්ණ වීමේ අවස්ථාව සැමරීමට අද අප එක්ව සිටිනවා. මෙය එම සමාගම විසින් සාර්ථකව ඉටුකළ දැවැන්ත කාර්යයක් බව කිවයුතුයි. මෙම ග්‍රාමීය පාලම් ඉදිකරන ලද ප්‍රදේශ පිළිබඳ මා දන්නවා. ඒවා ඉදිකර ඇත්තේ ඉතා දුෂ්කර ස්ථානවලයි.

මෙම පාලම් මඟින් එකිනෙකට සම්බන්ධ කරන ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්වයන් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය කැපවී සිටිනවා.

ඒ වගේම මෙම පුළුල් මාර්ග ජාලය මගින් අපට ප්‍රධාන අධිවේගී මාර්ග දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සහ ඒවා කොළඹට හෝ වෙනත් ප්‍රධාන නගරවලට යැවීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් ව්‍යාපෘතියක් බව සඳහන් කළ යුතුයි. එසේම අපි තවත් මෙවැනි පාලම් 250ක් ඉදිකිරීමට ද බලාපොරොත්තු වෙනවා.

අප රටේ දරිද්‍රතා අනුපාතය 2019 වසරේදී 15%ක් වූ අතර එය මේ වන විට 25% දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2032 වසර වන විට එය 10% දක්වා අඩු කර ගැනීම රජයේ අපේක්ෂාව බව කිවයුතුයි.

රටේ ආර්ථිකය දියුණු වන විට, ඉතාම දිළිඳු මට්ටමේ ජනතාවටත් එයින් ප්‍රතිලාභ ලැබෙන බව සහතික කළ යුතුව තිබෙනවා. අපගේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල සිටින ජනතාව කෙරෙහි අවධානය යොමු කරමින් බහුමාන දරිද්‍රතාවය 10% දක්වා අඩු කර ගැනීමයි. එම ඉලක්කය කරා ගමන් කිරීමට මෙවැනි ව්‍යාපෘති අපට උපකාරී වෙනවා. එබැවින් මෙම ව්‍යාපෘති සඳහා දායක වීම පිළිබඳ මම නෙදර්ලන්ත රජයට ස්තුතිවන්ත වෙනවා. උතුරු පළාතේ ජනතාවගේ සෞඛ්‍ය සේවා පුළුල් කරමින් නව රෝහල් 04ක් විවෘත කිරීමට ද නෙදර්ලන්ත තානාපතිනිය පසුගියදා අප සමඟ එක් වුණා.

මෙම ව්‍යාපෘති දෙක මඟින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාව ශක්තිමත් කෙරෙනවා. මම ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෙම ව්‍යාපෘතිවල වැදගත්කම හඳුනා ගනිමින් ඒවා ඉදිරියට ගෙන යාමට කටයුතු කළා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වගේම ලෙව්කේ දිසාවට අයත්ව පැවති කාලතුවක්කු ද යළි ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳ නෙදර්ලන්ත රජයට නැවතත් මගේ ස්තූතිය පුද කරනවා. මෙම කටයුතු සමඟ දෙරට අතර සබඳතා ඉදිරියේ දී ඉතා ශක්තිමත් වනු ඇති බවට ද කිසිදු සැකයක් නැහැ.

අයහපත් කාලගුණය නිසා අපට ගංවතුර තත්ත්වයට මුහුණදීමට සිදුව තිබෙනවා. දැනට ජීවිත ගණනාවක් අහිමි වී තිබෙනවා. මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් විනාශ වූ සියලු නිවාස යළි ඉදිකරදීම ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සිදු කිරීමට රජය භාරගෙන තිබෙනවා. අර්ධ හානි සිදු වූ ගොඩනැඟිලි පිළිබඳ වාර්තා ලැබීමෙන් පසුව ඊට අදාළ තීරණ ගැනීමට ද බලාපොරොත්තු වෙන බව සඳහන් කළයුතුයි. මීට අදාළව හිදිසි කැබිනට් පත්‍රිකාවක් අග්‍රාමාත්‍යවරයා විසින් අද සවස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම විපතට පත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය සියලු සහන සැලසීමට දැනට තිබෙන මුදල් නිදහස් කරන ලෙස මා උපදෙස් දී තිබෙනවා. ඒ වගේම අවශ්‍ය සියලු ප්‍රතිපාදන පිළිබඳ අදාළ ඇස්තමේන්තු කඩිනමින් සකස් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙනවා.

2017 වසරේ ඇති වූ ආපාදා තත්ත්වයට මුහුණදීම වෙනුවෙන් එදා රජය රුපියල් බිලියන 170ක් වැයකළා. පසුගිය වසරේ දිස්ත්‍රික් 13ක් ආපදා තත්ත්වයට පත් වුණා. මෙවර ඇතැම් පළාත්වල විශාල හානියක් සිදුව නැහැ. කෙසේ හෝ ආපදා හානි පියවීම වෙනුවෙන් අවශ්‍ය සියලු මුදල් මෙම වසරේත් ලබන වසරේදීත් ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා.

නෙදර්ලන්ත තානාපතිනිය බොනී හෝබාක් ( Bonnie Horbach) ,

ජැන්සන් බ්‍රිජිං සමාගමෙහි 10 වන සංවත්සරය සහ පසුගිය වසර 10 තුළ ඔවුන් ශ්‍රී ලංකාවේ පාලම් 750ක් සාර්ථකව ඉදිකිරීම සැමරීම වෙනුවෙන් ජනාධිපතිතුමා සමඟ අද මෙම අවස්ථාවට සහභාගිවීමට ලැබීම මම ගෞරවයක් ලෙස සලකනවා.

ජැන්සන් බ්‍රිජිං සමාගම පසුගිය වසර 10 තුළදී ශ්‍රී ලංකාව පුරා පාලම් ඉදිකිරීම සඳහා කටයුතු කර තිබෙනවා. ඒවා බොහෝවිට අප දන්නා අලංකාර පාලම් නොවෙයි. නමුත් ඒවා ජන ජීවිතය ජාතික සංවර්ධන ව්‍යාපෘති සමඟ සම්බන්ධ කරන සහ ග්‍රාමීය ජනතාවට සෘජු ප්‍රතිලාභ සලසන ව්‍යාපෘති බව කිව යුතුයි.

නායකත්වය යනු ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් නව අවස්ථා විවෘත කිරීමයි. මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයකින් පීඩා වින්දා. එම අවස්ථාවේ දී නායකත්වයේ ගුණාංග මැනවින් පිළිඹිබු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළා.

දැන් එතුමා රට සංවර්ධනය කිරීම වෙනුවෙන් කැපවී සිටිනවා. එහිදී සියලු ජනතාවට ප්‍රතිලාභ හිමිවන ව්‍යාපෘති කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දී තිබෙන අතර එම සංවර්ධනයේ ප්‍රතිලාභ අඩු ආදායම්ලාභී ජනතාවට ලැබෙන බවද සහතික කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, නෙදර්ලන්ත නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි ඉවන් රූජන්ස් (Iwan Rutjens), ඇක්සස් සමූහ ව්‍යාපාරයේ සභාපති සුමල් පෙරේරා, ෆෝසයිට් ඉංජිනියරින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තියෝ ප්‍රනාන්දු, ජැන්සන් බ්‍රිජිං ඉන්ටර්නැෂනල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඩර්ක් ෆ්‍රැන්සෙන් (Dirk Fransen) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙරට ප්‍රථම වරට ළමා සිනමා ශාලාවක්

ළමයින් උදෙසා සිනමා ශාලාවක් ශ්‍රී ලංකාව තුළ ඇති කරලීම සඳහා යෝජනා කර, ඒ සඳහා මහජන මුදල් ප්‍රතිපාදන ලෙස වෙන්කර දීමෙන් අනතුරුව, පා.ම. යදාමිණි ගුණවර්ධන 05.30 දින එහි ප්‍රගතිය විමර්ශනය කළේය.

මෙරට මුල්වරට ළමා සිනමා ශාලවක් ආරම්භ කිරීමේ පූර්ණ වගකීම කොළඹ මහ නගර සභාව බාරගෙන ඇත.

ප්‍රගති සමාලෝචනයේදී අදහස් දැක්වූ යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා, “අපේ සංස්කෘතික පාරිසරික උරුමයන් පිළිබඳ හැඟීම, රටෙහි ප්‍රගතිය උදෙසා අවශ්‍ය ආකල්ප දියුණුව, මෙන්ම යහපත් මානව සාරධර්ම වර්ධනය සඳහා ළමා සිනමාව විශාල දායකත්වයක් සපයන බව” පැවසීය.

කොළඹ මහ නගර සභා ප්‍රධාන පුස්තකාලාධිපතිනිය වරුණී ගඟබඩආරච්චි , වාස්තු නිර්මාණ ශිල්පීහු, ඇතුළු මහ නගර සභා නිළධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. පාර්තමේන්තුවෙන් තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද උදෑසන 8.30 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 152ක වර්ෂාවක් ලැබී ඇත්තේ කිරිඳිවැල ප්‍රදේශයටය.

දිවයිනේ සියළුම පාසල් හෙට වැසේ

පවතින වැසි සහිත කාලගුණ තත්වය නිසා ගංවතුර සහ කඳු නාය යෑම් හේතුවෙන් හෙට දින දිවයිනේ සියලු පාසල් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීහු  පවසති.

කාලගුණ තත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි දිනවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ද නිලධාරීහු පවසති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම අප බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතුයි - ජනපති

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම අප බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට ද පැවරෙන බවත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ කිසිවෙකුට විවාද කළ නොහැකි බව ද පැවසීය.

එය වෙනස් කිරීමට කිසිවෙකුට අවශ්‍ය නම් වහාම ගොස් ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස තමා ඔවුන්ට දැනුම් දෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ හෝමාගම, කිරිවත්තුඩුවේ ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය” විවෘත කිරීමේ අවස්ථාවට අද (01) පස්වරුවේ එක් වෙමිනි.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුනම මේ රටේ බෞද්ධ ධර්මයට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බව පිළිගැනීම අවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඊට සහයෝගය ලබා නොදී සිටීම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් බවත් ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු බැඳී සිටින බවත් අවධාරණය කළේය.

ජනතා පරමාධිපත්‍ය, බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම සහ භෞමික අඛණ්ඩතාව සුරැකීම මෙරට ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රධාන මූලධර්ම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අප සෑම විටම ඉදිරියට යා යුත්තේ එම මූලධර්ම ආරක්ෂා කර ගනිමින් බවත් ඊට විරුද්ධව කථා කිරීම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් බවත් අවධාරණය කළේය.

එසේම මරණසන්නව සිටි රෝගියෙකු සුව කිරීමේ වගකීම තමාට පැවරුන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා එම මරණාසන්න රෝගියා දැන් ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බවත් එම වැඩපිළිවෙළේදී මෙරට මහා සංඝරත්නයෙන් ලැබෙන මගපෙන්වීම සහ සහයෝගය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පිරිනමන බවත් සඳහන් කළේය.

කොහුවල ශ්‍රී ධාතුමළු විහාරාධිපතිව වැඩ විසු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී අපවත් වී වදාළ ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත පූජ්‍ය මාපලගම සිරි සෝමිස්සර නායක හිමිපාණන් වහන්සේගේ සංකල්පයකට අනුව කොහුවල ශ්‍රී ධාතුමළු වත්මන් විහාරාධිපති පූජ්‍ය පිටිගල සෝනුත්තර නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකාවේ සහ විදෙස් හි සිට මෙරටට පැමිණ වැඩවසන භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් මෙම “ගුරුදෙව් සුව අරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය” ඉදි කර තිබේ.

පස්මහල් ගොඩනැගිල්ලකින් සහ තුන්මහල් ගොඩනැගිල්ලකින් යුත් මෙම භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ එකවර භික්ෂුන් වහන්සේ පනස් නමකට නේවාසිකව ප්‍රතිකාර ලබා ගත හැකි අතර කාමර 20ක්, වාට්ටු අංගනයක්, දාන ශාලාවක්, බෙහෙත් ගබඩාවක්, හදිසි ප්‍රතිකාර අංශ, කාර්යාල කාමර සහ වෛද්‍යවරුන් සඳහා නේවාසිකාගාර ඇතුළු පහසුකම්වලින් මෙය සමන්විතය.

සුදුසුකම් ලත් වෛද්‍යවරුන් යටතේ රෝගී භික්ෂුන් වහන්සේට ප්‍රතිකාර ගැනීමට පහසුකම් සලසා තිබෙන අතර භික්ෂුන් වහන්සේ පන්සිය නමකට භාවානායෝගීව වැඩ විසීමට සුදුසු පරිසරයකින් යුක්තය.

දෙස් විදෙස් දායකකාරකාදීන්ගේ සහයෝගයෙන් යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකර ඇති මෙම භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ වෛද්‍ය උපකරණ සඳහා දකුණු කොරියාවේ හේතු නුවර ශ්‍රී ලංකාරාමාධිපති දකුණු කොරියාවේ සංඝනායක පූජ්‍ය කටුවන විජිතවංශ හිමිපාණන් වහන්සේ අරාධනයෙන් දකුණු කොරියාවේ උල්සාන් නුවර බෞද්ධ රෝහලේ ප්‍රධානී ගරු Neunghaeng භික්ෂුණියගේ සහ තායිවානයේ කෞෂොන් Long Fong ආරාමයේ සින්දාවෝ (SinDaw) භික්ෂුණියගේ දායකත්වය ලබා දී තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර ගුරුදෙව් සුව අරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

කොහුවල ශ්‍රී ධාතුමළු වත්මන් විහාරාධිපති පූජ්‍ය පිටිගල සෝනුත්තර නායක හිමිපාණන් වහන්සේ ඉටුකරන විශිෂ්ඨ ජාතික, ආගමික සහ ශාසනික සේවාව සහ දෙස් විදෙස් භික්ෂුන් වහන්සේ වෙනුවෙන් මෙම ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය ඉදිකරමින් සිදු කළ මෙහෙවර උදෙසා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රසාදය උන්වහන්සේ වෙත පළ කරමින් සිරි සෝමේස්වර වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී ලෝකත්ථකාරී යන සම්මානෝපාධි ගෞරව නාමය පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

එම ගෞරව නාමයට අදාළ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානයෙන් පසු උන්වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

එසේම මෙම භික්ෂු ගිලන් මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය උපකරණ ප්‍රදානය කළ දකුණු කොරියාවේ උල්සාන් නුවර බෞද්ධ රෝහලේ ප්‍රධානී ගරු Neunghaeng භික්ෂුණින් වහන්සේ වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙම භික්ෂු ගිලන් මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ඉඩම පරිත්‍යාග කළ සන්ධ්‍යා කාන්තිලතා  වෙත ද ජනාධිපතිවරයා අතින් සමරු තිළිණයක් පිළිගැන්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේද පැවසීය,

ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ඉදිකර තිබෙන පළමු රෝහල මෙයයි. අපේ රටේ රෝහල්වල භික්ෂු වාට්ටු පැවතුණා. නමුත් මෙය භික්ෂු වාට්ටුවක් නොවෙයි.

රෝගාතුරුව වැඩවසන භික්ෂුන්වහන්සේ වෙනුවෙන් මෙම රෝහල වෙන් කර තිබෙනවා. මේ සඳහා සහයෝගය ලබාදුන් ආධාර උපකාර කළ දකුණු කොරියාවේ Neunghaeng භික්ෂුණින් වහන්සේ ප්‍රමුඛ සියලුදෙනාට රජයේ ස්තුතිය පිරිනමනවා.

මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහාය ඉල්ලා තිබෙන අතර එම සහාය ලබාදීමට කටයුතු කරන බවත් මෙම රෝහල දියුණු කරමින් ඉදිරියට ගෙන යාමට රජයේ ආධාර උපකාර ලබාදෙන බවත් මම ප්‍රකාශ කිරීමට කැමතියි.

ඒ වගේම ඉතා සුන්දර පරිසරයක මෙම රෝහල ඉදිකර තිබෙන අතර මෙම පරිසරයත් අප ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතු බවද සිහිපත් කළයුතුයි.

ආණ්ඩුවයි, බුද්ධාගමයි වෙන් කිරීමට අවශ්‍යයි කියා දැන් එක් තර්කයක් ඉදිරිපත් වී තිබෙනවා. එහි නීතිමය තත්ත්වය පිළිබඳව සඳහන් කළහොත් අපේ රටේ සෑම පුරවැසියෙකුටම තමන් කැමති ආගමක් ඇදහීමට අයිතිය තිබෙනවා. ඒ වගේම ආගමක් අදහන්නේ නැතිව සිටීමටත් අයිතිය තිබෙනවා.

ඊට අමතරව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා ඕනෑම රජයක් බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතුයි කියලා. එම වගකීම ආණ්ඩුවට පමණක් නොවෙයි රාජ්‍යයට පැවරෙනවා. එසේනම් රාජ්‍යයට අයත් අංශ තුන වන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වු විධායකය, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් වූ පාර්ලිමේන්තුව සහ අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් වු අධිකරණය යන ආයතන තුනේම සහයෝගය මේ සඳහා හිමි විය යුතුයි.

මෙම සහයෝගය ලබා නොදී සිටීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. මන්ත්‍රීවරු ලෙස අප සියලුදෙනා ව්‍යවස්ථාව අනුගමනය කිරීමට දිවුරුම් දී තිබෙනවා. එසේනම් අප සියලුදෙනා එම ව්‍යවස්ථාව අනුගමනය කළ යුතුයි. මේ රටේ යුද්ධය තිබුණත් කිසිවිටෙක මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත්ව තිබුණේ නැහැ. ඒ ගැන සාකච්ඡා කළේ ද නැහැ.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුනම මේ රටේ බෞද්ධ ධර්මයට ප්‍රමුඛස්ථානයක් ලබාදිය යුතු බව පිළිගැනීම අවශ්‍යයි. ලබාදෙන ප්‍රතිපාදන පිළිබඳ අපට වාද විවාද කළ හැකියි. නමුත් මුලධර්මය ගැන අපට විවාද කරන්න බැහැ. ආණ්ඩුවක් ලෙස අප එය පිළිපැදිය යුතුයි. කිසිවෙකුට මෙය වෙනස් කිරීමට අවශ්‍යනම් ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි.

ජනතා පරමාධිපත්‍ය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම සහ රට බෙදිය නොහැකි බව එනම් භෞමික අඛණ්ඩතාව අපේ ව්‍යවස්ථාවේ සඳහන් වන මූලික කරුණු තුනයි. අප මෙය පදනම් කරගෙන ඉදිරියට යා යුතුයි. මේ එකකට හෝ විරුද්ධව කථා කිරීම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් ලෙස සැලකෙනවා.

අද මෙම රෝහලේ රෝගීන් ගණනාවක් සිටිනවා වගේම එක රෝගියෙකු සුව කිරීමේ වගකීම මට පැවරී තිබෙනවා.

මරණාසන්නව සිටි රෝගියාව අප දැන් ටිකෙන් ටික සුව කරගෙන යනවා. නිරන්තරයෙන් අප ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. ලෝකයේ කිසිදු රෝගියෙකු එකවර සුව වෙන්නේ නැහැ. මෙම රෝගියා සුව කිරීමට තව වසර තුන හතරක් ගත වෙනවා. නමුත් මෙම වැඩකටයුතු කරගෙන යාමට අපට අවස්ථාව ලැබී තිබෙනවා. එම වැඩපිළිවෙළ වෙනුවෙන් ගෞරවණීය මහා සංඝරත්නයෙන් ලැබෙන සහයෝගය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සහිත ස්තූතිය පිළිගැන්විමට ද මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

කොහුවල ශ්‍රී ධාතුමළු වත්මන් විහරාධිපති පූජ්‍ය පිටිගල සෝනුත්තර නායක හිමිපාණන් වහන්සේ,

රටේ බොහෝ අපහසු යුගයක් පැවතුණා. එමෙන්ම පෝළිම් යුගයක් පැවතුණා. නමුත් ජනාධිපතිතුමා මේ රට භාර ගැනීමෙන් පසු අපට අද මෙම තත්ත්වයට පැමිණීමට හැකි වී තිබෙනවා. එය සියලුදෙනා නිතර්කයෙන් පිළිගත යුතු කරුණක්. එතුමා රට මේ තත්ත්වයට ගෙන ආ නිසා තමයි අද මෙම ආගමික උත්සවය සිදු කිරීමට අපට අවස්ථාව ලැබී තිබෙන්නේ. එය අප සෑමවිටම කෘතවේදීව සිහිපත් කරනවා. විශේෂයෙන් ඉතා කාර්ය බහුල තත්ත්වයක වුවද අද ජනාධිපතිතුමා මෙම කාර්යය වෙනුවෙන් සහභාගීවීම පිළිබඳ මගේ කෘතවේදීත්වය පළ කරනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන,

මේ රටේ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පවත්වාගෙන යාම සඳහා සුවිශේෂී කැප කිරීමක් කරන මහා සංඝ රත්නය වෙනුවෙන් විශේෂිත රෝහල් පුරානයේ ඉදිකර තිබු බව ඉතිහාසයේ සනිටුහන් වෙනවා. මෑත ඉතිහාසය තුළත් නිදහසින් පසු විවිධ රජයන් විසින් දේශීය හා විදේශීය රෝහල්වල භික්ෂූන් වහන්සේ සඳහාම වෙන්වු වාට්ටු සකස් කර තිබෙනවා. ආයුර්වේද රෝහල් තුනකත් දේශීය බටහිර රෝහල්වලත් ගෞරවණීය භික්ෂූන් වහන්සේ සඳහා භික්ෂු වාට්ටු තිබුණත් භික්ෂූන් වහන්සේලා සඳහාම වෙන්වු රෝහලක් අප රටේ මෑත ඉතිහාසයේ ඉදිවී නොතිබු බව සඳහන් කළ යුතුයි. ඒ නිසා කොහුවල ශ්‍රී ධාතුමලු විහාරාධිපති පූජ්‍ය පිටිගල සෝනුත්තර නායක ස්වාමීන් වහන්සේ අනේක විද දුක්ඛ දොම්නස්සයන් මැද විශාල කැපකිරීමක් කරමින් රාජ්‍ය හමුදා හා වෙනත් දෙස් විදෙස් ධන පරිත්‍යාගශීලීන්ගේ ආධාර ඇතිව මේ මහා පුණ්‍ය කර්මය සිදු කර තිබෙනවා.

උන්වහන්සේගේ අරමුණ ජනාධිපතිතුමාට පැහැදිලි කිරීමෙන් පසු අපේ රටේ ආණුඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බුද්ධාගම පෝෂණය කොට සුරක්ෂිත කිරීම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වගකීමක් වන හෙයින් මේ සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දී කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අපට උපදෙස් ලබා දුන්නා.

මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන නායක ස්වාමින් වහන්සේ, මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ අනුනායක ආචාර්ය අතිපුජ්‍ය නියංගොඩ විජිතසිරි නායක ස්වාමීන් වහන්සේ,

නිකවැරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත අතිපුජ්‍ය ගලපිටියාගම විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ, මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමාධාපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක රාජකීය පණ්ඩිත අතිපුජ්‍ය මාතලේ ධම්ම කුසල නායක හිමිපාණන් වහන්සේ, තලංගම මයුරපාද පිරිවෙන් මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ආචාර්ය අතිපුජ්‍ය වලේගොඩ ගුණසිරි නායක ස්වාමීන් වහන්සේ, තඹුත්තේගම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක අග්ගමහා පණ්ඩිත මහාචාර්ය අතිපුජ්‍ය අත්තංගනේ රතනපාල නායක ස්වාමීන්වහන්සේ , උඩරට අමරපුර නිකායේ වැඩබලන මහානයක අතිපුජ්‍ය නිකපෝත චන්දජෝති නායක ස්වාමීන් වහන්සේ, බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති ශ්‍රී ලංකා අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහානායක සහ අනුනායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ද දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලනඥයන් ද, විදෙස් තානාපතිවරු, මහකොමසාරිස්වරු ඇතුළු ආරාධිත පිරිසක් ද, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර යන මහත්වරුන් සහ දකුණු කොරියාවේ බෞද්ධ දූත පිරිස ඇතුළු දෙස් විදෙස් සැදැහැවත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නීතිපතිට සේවා දිගුවක් !

නීතිපති සංජේ රාජරත්නම්ට මාස 06ක සේවා දිගුවක් ලබා දීමට තීරණය කර තිබේ.

එම සේවා දිගුවට අදාළ ජනපතිගේ නිර්දේශ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සඳහා යොමු කර ඇත.

නීතිපතිවරයාට සේවා දිගුවක් දීමට තීන්දු කළේ පාස්කු ප්‍රහාර පරීක්ෂණවලට අදාලව ඉදිරි කටයුතු රදගුරු මණ්ඩලය සමඟ සම්බන්ධීකරණය කිරීමේ කමිටුවේ නියෝජිතයකු ලෙස ඔහු ප්‍රධාන කාර්ය භාරයක් කරන බැවින් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.

Page 78 of 474