V2025

පුවත්

මහී - ගුණේ ගැටුම දුරදිග යන හැටි මෙන්න !

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව පහරදීම සිදුවු බව කියන අවස්ථාවේදී ඒ අසල රැඳී සිටි මන්ත්‍රීවරුන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මෙම සිදුවීමට අදාළ විමර්ශන සිදුකරන කොටුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තු සංකීර්ණයට ගොස් අදාළ ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

පසුගියදා පැවති ආණ්ඩුවේ  මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ  විසින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට පහරදුන් බවට ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ විසින් පසුගියදා කොටුව පොලීසිය හමුවේ පැමිණිල්ලක් සිදුකළේය.

එම සිද්ධියට අදාළව ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා ද ලිඛිත පැමිණිල්ලක් කොටුව පොලිස් ස්ථානයට භාරදී ඇති බවද වාර්තා වෙයි.

කොටුව පොලීසිය මෙලෙස විමර්ශන ආරම්භ කර තිබෙන්නේ මෙම පැමිණිලි පදනම් කරගෙනය .

විජේදාසත් වෙන්ඩ ජනාධිපති ලැයිස්තුවට !

ඉදිරි ජනාධිපතිවරණය සඳහා  අපේක්ෂකයෙකු ලෙස තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය .

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ  හෝමාගම පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධාකවරුන් සමඟ වූ  සුහද හමුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

තමන් සම්බන්ධයෙන් ගන්නා විනය ක්‍රියාමාර්ගවලට මුහුණ දෙන බවත් ඒවාට මුහුණ දිය නොහැකි නම් මෙවැනි තීරණ නොගන්නා බවත් පසුගිය කාලයේදී වෙනත් පක්ෂ වලින්ද තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත් බවත්  මෙහිදී අමාත්‍යවරයා  පැවසීය.

තමන්ගේ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් අවශ්‍ය අයට ඉදිරියේදී කරුණු ඉදිරිපත් කරන්නට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය .

කෙසේ වුවත් මීට පෙර දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැතිර ගියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙනවා නම් තමන් ඉදිරිපත් නොවන බව විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පවසා ඇති බවය. නමුත් එම තීන්දුව මේ වන විට සංශෝධනය වී ඇති බව තහවුරු වෙයි.

අද සිට ආයෙත් වැස්ස වැඩි වෙයි : කාලගුණයෙන් නිවේදනයක් !

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (08) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට   බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකිය.

එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසා තිබේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව එම ඉංජිනේරුවරු සඳහන් කරයි.

මෙම ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමග විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදුකෙරෙන බව සඳහන්ය.

ගංවතුර ආපදාව කෙසෙල් ගෙඩියෙන් ඔබ්බට !

"දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග" කියන්නේ අපේ ජන වහරේ ජනප්‍රිය කියමනක්. ඒ කියමනේ විදිහට අපි යන්නේ කොහෙද යන්න ගැන වගේම ගමනාන්තය ගැනත්  නිවැරදි අදහසක් තියෙන්න ඕන. නැත්නම් යන්න ඕන තැන දැනගෙන හිටියත් නිවැරදි තැනට යන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා තමයි අපි ගමනක් යනකොට ඉබේටම වගේ ලොකේෂන් චෙක් කරගන්නේ. හරි කියලා හිතාගෙන යන පාරත් සමහර වෙලාවට වරදින්න ඉඩ තියෙනවා. ප්‍රාග්ධනයෙන් සවිමත් අභිමානවත් පුරවැසියන් සිටින ශිෂ්ට සම්පන්න රටක් වෙනුවෙන් ඉදිරියට යන්න, මගේ අදහස් අකුරු බවට පත්වෙන "හරි පාර" දිගහැරෙන්නේ ඒ වගේ ගමනකට. දැනගෙන යන, ඒ තැන නිශ්චිත, නිවැරදි ගමනකට.

ජුනි මාසය ආරම්භ වුණේ දේශගුණික විපර්යාස පිළිබඳ බරපතළ ලෙස සිතීමේ අවශ්‍යතාව යළි යලිත් තහවුරු කරමින්. පසුගිය දින කීපය තුළ ඇද හැළුණු අධික වර්ෂාපතනය සමඟ ඇතිවූ අපදා හමුවේ  ජුනි 5 වනදා වන විට පුද්ගල මරණ 30ක් වාර්තා වෙලා තිබුණා. දිවයිනේ  දිස්ත්‍රික්ක 13 පවුල් 65,777 අයත් පුද්ගලයින් 247,406 ක් බලපෑමට ලක් වී තිබුණා.

ගංවතුර, ජලගැලීම්, නායයාම්, සුළි කුණාටු, අකුණු සැර වගේම නියඟ වැනි ආපදා තත්ත්වයන් සැළකෙන්නේ  ස්වාභාවික ආපදා ලෙසයි.

අපේ රට සම්බන්ධව  අවධානය යොමු කළොත් ස්වාභාවික අපදා අපේ දෛනික ජීවිත අත්දැකීමක් කිව්වත් වැරදි නෑ. ඒ වගේම ස්වාභාවික ආපදා අපට නවත්වන්නත් කොහෙත්ම හැකියාවක් නෑ. නමුත් මූලික ආපදාවලට ලක්වී ඇති ප්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා අත්‍යවශ්‍ය ආහාර සහ ජලය වගේම,  ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම සඳහා කටයුතු  කිරීම රජයේ වගකීම වෙනවා.  ඒ නිසාම මේ මොහොතේද රජය විශේෂ කැබිනට් සංදේශයක් පවා අනුමත කරගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මකයි. මේ හමුවේ   සුපුරුදු පරිදි සම්ප්‍රදායික විපක්ෂය රජයේ මැදිහත්වීම විවේචනය කරමින් සිටිනවා. ඒ හැර විකල්පයක් විපක්ෂය වෙතින් ඉදිරිපත් නොවීම ජාතික අවාසනාවක්.

විපතටපත් ජනජීවිතය යථා තත්ත්වයට ගෙන ඒම  රජයේ වගකීම වුවත්  ඒ සඳහා මුදල්  කොහෙන්ද ?  කවුරු රට පාලනය කළත් මේ සඳහා වෙන්කරන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල්. ඒ අනුව  ස්වාභාවික ආපදා වෙනුවෙන් අප රට වාර්ෂිකව රුපියල් බිලියන ගණනක් මහජන ධනය වැය කරනවා.  යළිත් ව්‍යසනයක් ඇති වූ විට ඒ ආකාරයටම ජනතා මුදල් යළි වියදම් කරනවා. මේක "අපි කෙසෙල් ගෙඩියක් කාලා  ලෙල්ල බිම දමා, ඊටම ලිස්සා වැටීම"ට සමානයි. අපි හැමදාම ගෙඩිය කාලා, ලෙල්ල බිම දමා ලිස්සා වැටෙනවා. එසේ නම් අපි , දියුණු ප්‍රතිපත්තියක් වෙත අවධානය යොමුකළ යුතුයි. එය මෙරට සිදුවන ස්වාභාවික ආපදා වල ප්‍රමාණය සහ හානියේ තීව්‍රතාවය තක්සේරු කිරීමේදී එය ජාතික අවශ්‍යතාවක් වෙනවා. එනිසාම මේ සම්බන්ධව මා සතු අත්දැකීමක් මේ මොහොතේ ඔබ සමඟ බෙදා ගැනීමට අදහස් කළා.

 ඒ 2015 වසර. යහපාලන ආණ්ඩු සමය.මම මුදල් ඇමති. ඒ කාලේ නැගෙනහිර ඇතිවූ මෙවැනි ස්වාභාවික ආපදා තත්ත්වයකට අතිවිශාල මුදලක් වෙන් කිරීමට සිදුවුණා. රාජ්‍ය සේවක වැටුප රුපියල් 10000කින් ඉහළ දැමීම ඇතුළු විශේෂ ආර්ථික සහන පැකේජයක් ලබාදී තිබූ ඒ අවස්ථාවේ එම මුදල වෙන් කිරීම ඉතා දුෂ්කර කටයුත්තක් වුවත්, විපතටපත් ජනතාව වෙනුවෙන් එම මුදල් වෙන් කිරීම අත්‍යවශ්‍ය වුණා. ඒ මොහොතේදී මා කල්පනාකරා මෙවැනි තත්ත්වයකට මුහුණදීමට තිරසර විසඳුමක්. එහිදී මගේ අදහස වුණේ රටම ආවරණය වන ආකාරයට ස්වාභාවික ආපදා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමයි. මම ඒ යෝජනාව සමඟ එවකට අග්‍රාමාත්‍යවරයා වූ , වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළා. ඔහු එය ඉහළින් ඇගයීමට ලක්කළා වගේම, කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත් උපදෙස් දුන්නා. ඒ අනුව ක්‍රියාත්මක වූ මා 2016 අයවැය යෝජනා සඳහා එය ඇතුළත් කළා. මා එය හඳුන්වා දුන්නේ ජාතික රක්ෂණ භාර අරමුදල යටතේයි. එහිදී එම අරමුදල සඳහා සිදුවිය හැකි අලාභ  අවධානම වැළක්වීමට ප්‍රතිරක්ෂණයක් ගෙන ඒමත් සැලසුම් කළා. ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර දෙස් විදෙස් රක්ෂණ සමාගම් වෙත ඊට ආරාධනා කළා. එහිදී වරලත් ගණකාධිකාරවරයකු වන ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු විසින් මැදිහත්ව ඉදිරිපත් කළ විදෙස් සමාගමක් වෙත ප්‍රතිරක්ෂණ අවස්ථාව ලබාදුන්නා.

2016 අයවැයේ දී මා  ස්වාභාවික ආපදා රක්ෂණය වෙනුවෙන් රුපියල් මිලියන 330 ක් වෙන්කළා. නමුත් ස්වාභාවික ආපදා රක්ෂණ වන්දි ලෙස රුපියල් මිලියන 15800ක් 2016 වසරේ දී අප ලබාගෙන ජනතාවට නිකුත්කර තිබුණා. ඒ වගේම තමයි 2017 වසරේ දී රුපියල් මිලියන 590ක් වෙන්කර වන්දි ලෙස රුපියල් මිලියන 17000ක් ලබාගෙන තිබුණා. ඒ වන්දි, ගංවතුර, සුළි සුළඟ , නායයාම් හමුවේ අවතැන් වන ජනතාවට විතරක් නෙවෙයි, නියඟයෙන් පීඩාවටපත් ගොවියාටත්, ධීවර කටයුතු වලදී ස්වාභාවික ආපදාවකට ලක්වන ධීවරයටත් හිමිවුණා. මෙහිදී  තවත් වැදගත් කාරණයක් සිදුවෙනවා. ඒ තමයි  ප්‍රතිරක්ෂණය අවස්ථාවේ අදාළ සමාගම ඔවුන්ගේ පිරිවැය අවම කිරීම වෙනුවෙන් ස්වාභාවික ආපදාවට මුහුණදීමට අදාළ අපේ සූදානම ගැනත් උනන්දුවීම. එහිදී ඔවුන්  ස්වාභාවික ආපදා පාලනය කර ගැනීමට මෙන්ම ආපදාවෙන් පසු තත්ත්වය කළමනාකරණය කරගැනීමට අදාළ අපේ පෙර සූදානම ගැනත් අවධානය යොමුකරනවා. ඒ තුළ දිස්ත්‍රික් මට්ටමින් ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් සක්‍රීයව නිර්මාණය වෙනවා. එවකට ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපා මහතා එම කටයුතු  සාර්ථක කරගන්න මාහැඟි සහයක් ලබාදුන් බවත් මේ වෙලාවේ සිහිපත් කල යුතුයි.

සැබවින්ම ඒ වන්දි  මුදල් අපි රක්ෂණ වන්දි ලෙස එදා ලබා නොගත්තා නම්, මේ සඳහා වියදම් කරන්න සිදුවෙන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන්. ඒ කියන්නේ ජනතා බදු මුදල් වලින්. ඒ මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වැයකළ විට එම වියදම පියවා ගන්න නැවත බදු අය කරගන්න සිද්ධ වෙනවා. ඒ සඳහා ගෙවන්නෙත් ජනතාව. කවුරු රට පාලනය කළත් යතාර්ථය එයයි. එසේ නම්  ජනතා නියෝජිත වගකීම  ජනතාව පීඩාවට පත්නොවන ආකාරයට ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමයි.

නමුත් අවාසනාව වන්නේ, අපේ රටේ හොඳ දේට නිතර සිදුවන ඉරණම එම කටයුත්තටද සිදුවීමයි. ඒ කියන්නේ මගෙන් පසුව එම කටයුත්ත ඉදිරියට නොයාම. පසුව පැමිණි පාලනයන් එම ජාතික වැදගත්කමකින් යුතු ප්‍රතිපත්තිය අත්හැර දමා තිබෙනවා. ඒ වෙනුවට ඔවුන් කෙසෙල් ගෙඩිය කා ලෙල්ල බිම දමන , පසුව ඊටම ලිස්සා වැවීම තෝරාගෙන තිබුණා.

නමුත්  මා ආසියා ෆැසිපික් කළාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස සම්මානයට පාත්‍ර වූ 2017 වසරේදී මෙහි පැමිණි ලෝක බැංකු නියෝජිතයන් රටම ආවරණය වන ආකාරයට දියත්කළ ස්වාභාවික ආපදා රක්ෂණ ක්‍රමය ඉහළ ඇගයීමකට ලක්කලා. ඒ වගේම ඔවුන් මට සඳහන් කළා "මේ වගේ අත්දැකීමක් අපි ලැබුවේ ලෝකයේම පළමු වතාවට බව. ඇත්තටම මම පෞද්ගලිකව එවැනි  ඇගයීමකට ලක්වීම සතුට දනවන කරුණක්.  නමුත් ලෝකයෙන් පැසසුම් ලද එවැනි ප්‍රතිපත්තියක් අප විසින් අහිමිකර ගැනීම ජාතික අවාසනාවක්. මෙවැනි මොහොතක හෝ යළි එවැනි තිරසාර ප්‍රතිපත්තියක් ගැන සිතීම ජාතික අවශ්‍යතාවක්.

[මුදල් හා විදේශ කටයුතු හිටපු අමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් , රවී කරුණානායක විසින් මොනරා පුවත්පතට සතිපතා ලියන හරි පාර කොලමෙනි ]

hari para

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කර මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ ‍පළමු පියවර තැබුවා

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ ‍පළමු පියවර රජය විසින් තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

කුමන ආණ්ඩුවක් බලයට පැමිණිය ද, කුමන නායකයෙක් රට භාරගත්තද එම එකඟතාව සමඟ ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැඟිය හැකි වනුයේ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කිරීමෙන් පමණක් බව ද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ  ඒකල ප්‍රදේශයේ ඉදි කෙරුණු Cephalosporin එන්නත් හා මෙල්ඩෝල් නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමිනි.මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් සඳහන් කළේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයෙන් පෙළෙන තරුණ තරුණියන්ට හොඳ රටක් නිර්මාණය කර දීමට ඉදිරි වසර තුන තුළදී කටයුතු කරන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

අද, Sands Active පුද්ගලික සමාගම මෙල්ඩෝල් නමින් නව ඖෂධයක් එළිදක්වා තිබෙනවා. මෙය හිසරදය සඳහා භාවිතා කරන ඖෂධයක් බව ද සඳහන් කෙරුණා. අද මේ කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ තවත් ඖෂධ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම වෙනුවෙන් සිදු කළ ආයෝජනය පිළිබඳ අප ඔබට ප්‍රශංසා කළ යුතුයි.

ඒ වගේම හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ඖෂධ ප්‍රති මිලදී ගැනීමේ පහසුකමක් තිබිය යුතුයි කියන පදනම මත ගත් තීරණය අප එදා අනුමත කළා. එම තිරණයේ ප්‍රතිඵලයක් ලෙස අද මේ ආයතනය තිබෙනවා. ඒ තුළින් මේ කර්මාන්තයට උපකාරයක් සිදුවන අතර එය යහපත් තත්ත්වයක් බවද සඳහන් කළයුතුයි.

ඇත්ත වශයෙන්ම මේ හරහා දේශීය වෙළෙඳපොළට ඖෂධ සපයන කර්මාන්ත ශාලාවක් ආරම්භ වී තිබෙනවා. නමුත් අපනයන හැකියාව මත Sands Active සමාගම දැනටමත් තමන්ගේ නිෂ්පාදනයෙන් කොටසක් අපනයනය කිරීමට යොමුව තිබෙනවා.

විශාල කර්මාන්තශාලා ප්‍රමාණයක් මේ වන විට ඔවුන් විවෘත කර තිබෙනවා. ඔවුන් අපනයනය සඳහා තවදුරටත් යොමු විය යුතු බව අප ඔවුන්ට මතක් කර දී තියෙනවා. මෙය එක් උදාහරණයක් පමණයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වන තවත් බොහෝ නිෂ්පාදන, බොහෝ ව්‍යාපාර මෙල්වා සමාගම විසින් ආරම්භ කර තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ මෙම සමූහය වේගයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. ඒ වගේම එය ඉතා සාර්ථක වී තිබෙනවා.

අද මෙම සමාගම මඟින් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රැසක් නිර්මාණය කර දී තිබෙනවා. අප ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. මෙවැනි හොඳ රැකියා අද මේ රටට අවශ්‍යයි. අද විරැකියාව මේ රටේ විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම අඩු ආදායම්ලාභීන් ද විශාල පිරිසක් සිටිනවා. කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ මේ රටේ නව රැකියා අවස්ථා බිහි වුණේ නැහැ. වසර 04ක විරැකියාවක් අද මේ රටේ තිබෙනවා.

ඒ අනුව විරැකියාව සහ ජිවන බර අඩු කිරීමේ ප්‍රශ්නයට අප අද මුහුණ දී සිටිනවා. 2019 වසරේදී සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ විග්‍රහය අනුව රටේ බහුමාන දරිද්‍රතාවය 15%යි. පසුව එය 25%ට වැඩි වුණා. මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් මේ රටේ තරුණ තරුණියන්ට අනාගතයක් නැති වෙනවා. අපේ ප්‍රධාන කාර්ය වන්නේ තරුණ පරපුරට හොඳ අනාගතයක් ගොඩනඟා දීමයි. ඒ වෙනුවෙන් රට තුළ සීග්‍ර සංවර්ධනයක් ඇති කළ යුතුයි.

මම ජනාධිපති ධූරයට පත්වන විට මේ රට ආර්ථික වශයෙන් විශාල කඩා වැටීමකට ලක්ව තිබුණා. ඇතැමුන් සිතුවේ මේ තත්ත්වයෙන් ගොඩ ඒමට වසර 05ක්, 06ක් ගතවනු ඇති බවයි. අනාගතයක් නොමැති බව පවසමින් ඇතැම් පිරිස් රටින් පිටවෙලා ගියා. නමුත් වසර දෙකකින් රටේ ආර්ථිකය හොඳ තත්ත්වයට ගෙන ඒමට හැකි බව මම විශ්වාස කළා. කෙතරම් අසීරුතා තිබුණත්, අපට යම් කිසි ආර්ථික බරක් දරා ගැනීමට සිදු වුණත්, එය කෙටි කාලයකට සීමා කර රටේ ආර්ථිකය ශක්තිමත් කර ජීවන මාර්ග ගොඩනඟා ගත යුතුයි. ඒ වෙනුවෙන් වැට් බද්ධ ඉහළ දැමීමට සිදුවුණා, ඒ නිසා ජනතාවගේ දෝෂාරෝපණයට ලක්වීමට ද සිදු වුණා. නමුත් වසර දෙකක් ගතවීමට පෙර රුපියල ශක්තිමත් වී අද රටක් ලෙස ඉදිරියට යාමට අපට හැකි වී තිබෙනවා.

පසුගිය කන්නවලදී අපට හොඳ අස්වැන්නක් ලැබුණා, රටට සංචාරකයන් පැමිණීම ආරම්භ වුණා. රටේ ජනතාවගේ හැකියාව සහ දක්ෂතාව අනුවත්, රජයේ නිවැරදි සැලසුම් නිසාත් අද රටේ ආර්ථිකය ඉදිරියට පැමිණ තිබෙනවා. අද අප කථා කළ යුතුව තිබෙන්නේ රටේ සැබෑ තත්ත්වය පිළිබඳ අවබෝධයක් ඇතිවයි. එසේ නොමැතිව ඕපා දූප කථා කර ඵලක් නැහැ.

රටේ සැබෑ දේශපාලන ප්‍රශ්නය පිළිබඳ කථා කළ නොහැකි නිසා සහ ඒවාට විසදුම් සෙවිය නොහැකි නිසා අද තරුණ තරුණියන් පක්ෂ දේශපාලනයෙන් ඉවත් වී සිටිනවා. එය අප සියලුදෙනා පිළිගත යුතුයි. අප මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට ඉදිරියට යා යුතුයි.

තව මාස කිහිපයකින් අපි රටක් ලෙස බංකොළාත්භාවයෙන් ඉවත් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පමණක් නොව ණය දුන් රටවල් සහ පුද්ගලික සංවිධාන සමඟ ද අප දැන් ඊට අදාළ සාකච්ඡා පවත්වාගෙන යනවා. නමුත් මෙතනින් සියල්ල අවසන් වන්නේ නැහැ. එක තැන සිටියහොත් අප නැවත වැටෙනවා. එසේනම් අප ඉදිරියට යා යුතුයි. අප ඉදිරියට යන විට බොරු පොරොන්දු දී වැඩක් නැහැ. හැම දෙනාම බොරු පොරොන්දු දෙනවා. නමුත් අද අප වෙත පැවරී ඇති වැඩකොටසක් තිබෙනවා. ඒ නිසා නිකරුනේ වේදිකා මත පොරොන්දු දෙන්නේ එපා.

මේ වන විට ආණ්ඩුව ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා. එහි ඉලක්ක ගණනාවක් තිබෙනවා. 2027 වන විට මෙරට දළ දේශීය නිෂ්පාදනය 5%ක වේගයෙන් වර්ධනය විය යුතුයි. එය මෙතෙක් කල් පැවතුනේ සෘණ අගයකයි. 2027 න් පසු අප 8%ක ආර්ථික වර්ධන වේගයක් කරා යා යුතුව තිබෙනවා. රට සංවර්ධනය වන විට එහි ආර්ථික වර්ධන වේගය වසර 15ක්වත් 8%ක මට්ටමේ තබා ගත යුතුයි. ලොව බොහෝ රටවල් එම දියුණුව උදා කරගත්තා. චීනය, වියට්නාමය, මැලේසියාව, තායිලන්තය, සිංගප්පුරුව, බංගල්දේශය මේ සියලු රටවල් එම දියුණුව ලබා ගත්තා. අප රටද එම තත්ත්වයට ළඟා විය යුතුයි.

මෙරට විරැකියාව 2025 වසර වන විට 5%ක් දක්වා අඩු කළ යුතුයි. 2040 වන විට මේ රටේ අපනයන ආර්ථිකයක් තිබිය යුතුයි. රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මේවා සිදු කළ හැකි දේ බවට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා. එම එකඟතාව නීතියක් සම්මත කර ගැනීමට අප කටයුතු කරනවා. කුමන ආණ්ඩුවක් බලයට පැමිණියක් කුමන නායකයෙක් මේ රට භාරගත්තත් මේ එකඟතාවන් සමඟ ඉදිරියට යා යුතුයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිවැරැදි කරන පළමු පියවර අප තබා තිබෙනවා. තරුණ තරුණියන්ට හොඳ රටක් පිළිබඳ නව බලාපොරොත්තුවක් ලබාදීමට ඊළඟ වසර දෙක, තුනක කාලය තුළ කටයුතු කළයුතුයි.

එහිදී ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කළ යුතුයි. නව රැකියා අවස්ථා බිහි කළයුතුයි. ඒ වෙනුවෙන් කෘෂි නවීකරණ වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කර තිබෙනවා. අද ග්‍රාමීය ජනතාවගේ ආදායම පහළ මට්ටමක තිබෙනවා. නවීන කෘෂිකර්මාන්තය තුළින් කෘෂි අපනයන ආර්ථිකයක් ඇති කර ග්‍රාමීය ආදායම වර්ධනය කළ යුතුයි. මෙම වැඩපිළිවෙළ පෞද්ගලික අංශය ද දායක කර ගනිමින් සිදු කිරිමට අප බලාපොරොත්තු වෙනවා.

දැන් රට තුළ නව රැකියා අවස්ථා බිහි වෙමින් තිබෙනවා. සංචාරක ව්‍යාපාරය හරහා වසරකට සංචාරකයින් ලක්ෂ 25ක් මෙරටට ගෙන්වා ගැනීමට අප අපේක්ෂා කරනවා. ඒ වෙනුවෙන් දැනට තිබෙන හොටල් කාමර ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා නව හොටල් ඉදි කළ යුතුයි.

ඒ වගේම සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය ණය පහසුකම් ලබාදීමට ද කටයුතු කර තිබෙනවා. රජයේ වෘත්තීය පුහුණු අංශ පෞද්ගලික අංශ සමඟ ඒකාබද්ධ කර වර්තමානයට ගැළෙපෙන වෘත්තිකයන් බිහි කිරීමට කටයුතු යුතුයි. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ අංශයට, ඩිජිටල් අංශය දියුණු කිරීම සඳහා රජයෙන් මුදල් ලබාදිය හැකියි. මේ සඳහා ඉදිරිපත් වන තරුණ තරුණියන්ට අප උදව් කළ යුතුයි.

තොරතුරු තාක්ෂණ දැනුමින් සන්නද්ධ 23,000ක පිරිසක් වසරකට බිහිවෙනවා. මේ පිරිස 50,000ක් දක්වා වැඩි කළ යුතුයි. නව කර්මාන්ත ශාලා ඇති කළ යුතුයි. විදේශ ආයෝජනද මෙරටට කැඳවා ගත යුතුයි. ඒ වෙනුවෙන් ආයෝජන කලාප අක්කර 10,000ක් ඇති කරනවා. මේවා පාලනය කරන්න වෙනම අධිකාරියක් බිහි කරනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 3000ක්, යාපනයේ දිස්ත්‍රික්කයේ අක්කර 1500ක්, ත්‍රිකුණාමලයේ අක්කර 4000ක් ආයෝජන කලාපයක් ලෙස සංවර්ධනය කරනවා. ඒ ආකාරයට අක්කර 10,000ක වෙළඳ කලාප රට තුළ ඇති කරනවා. මෙමඟින් විශාල ආර්ථික දියුණුවක් ඇති කරනවා.

යුද්දයකින් පසුව ආර්ථිකය දියුණු කරන්න වියට්නාමයට හැකි වුණා. ඉන්දුනිසියාවට සහ මැලේසියාවට ද මේ ආර්ථික ගමන යන්න පුළුවන් වුණා. අපට හැමදාම හිඟන ජාතියක් ලෙස ජීවත් වෙන්න බැහැ. තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් සකස් කර දිය යුතුයි. ඒ වෙනුවෙන් අප රටක් ලෙස ස්වශක්තියෙන් නැගී සිටිය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය රාජිත සේනාරත්න, ඉෂාක් රහුමාන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, මෙල්වා සමූහයේ සභාපති පෙරියසාමිපිල්ලෙයි ආනන්දරාජා, මෙල්වා ආයතනයේ අධ්‍යක්ෂවරුන් වන අනුපර් ෂෙගර්, විකාෂන් මුරුගානන්දන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විදේශ ප්‍රේෂණ ඉහළට

විදේශ ප්‍රේෂණ ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

2024 මැයි මාසයේ දී විදේශ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 544.4ක් වූ බව එම නිවේදනය සඳහන් වේ.

එමෙන්ම 2024 ජනවාරි සිට මැයි දක්වා සමුච්චිත අගය අමෙරිකානු ඩොලර් මිලියන 2,624.4 කි.

එය 2023 වසරේ ජනවාරි හා මැයි මාසය අතර කාලය සමග සැසදිමේ දී 11.8%ක වැඩිවීමක් බව මහ බැංකුව සඳහන් කරයි.

දුම්රිය වර්ජනය තවදුරටත් ....

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකය.

උසස්වීම් ලබා නොදීම සහ බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය මෙම වර්ජනය පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ අතර ඒ හේතුවෙන් ඊයේ දුම්රිය ගමන් වාර 80කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇත.

දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියැදුරන් මෙම වර්ජනයට එක්ව සිටින අතර තම ගැටළුවලට විසඳුම් නොලැබෙන්නේ නම් වර්ජනය අඛණ්ඩව සිදුකරන බවඑහි ලේකම් එස්.ආර්.සී.එම්.සේනානායක  කියා සිටියේය.

හර්ෂට එල්ල වන තර්ජන හොයන්න ඇමති ටිරාන්ගෙන් පොලිස්පතිට නියෝගයක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට එල්ල වන බව කියන තර්ජන සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නියෝග කර තිබේ.

අද (ජූනි 7) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ, තම ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි වගකීම කතානායකවරයා ද භාර ගත යුතු බව ය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරය නැවතත් ජෙනරාල් ශවේන්ද්‍රට

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නැවත වතාවක් පත්කර තිබේ.

ජනාධිපතිවරයාගේ අනුමැතිය මත අදාළ පත්කිරීම සිදුකර ඇති අතර එයට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත.

ඒ අනුව ජූනි මස 1 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා එම පත්කිරීම වලංගු වේ.

ඔහු ප්‍රථම වරට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කරනු ලැබුවේ 2022 ජුනි 1 වැනිදාය.

යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා 2022 මැයි 31දා යුද හමුදාපති ධුරයෙන් ඉවත්ව යාමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කරනු ලැබිය.

දුම්රිය රියැදුරු වර්ජනයෙන් දුම්රිය ධාවනයට බාධා

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය එන්ජින් රියැදුරන් ඊයේ (ජූනි 06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

2015 හා 2017 වර්ෂවලදී සේවයට බැඳුණු දුම්රිය රියැදුරන් 84 දෙනෙකුගේ උසස්වීම් ගැටලුවක් මුල් කර ගනිමින් හා වැටුප් කේතාංකයක් ලබා නොදීම, බඳවා ගැනීම් සිදු නොකිරීම ඇතුලු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර  ඇත.

වර්ජනය හේතුවෙන් උදෑසන ධාවනය වන කාර්යාල දුම්රියවලට වැඩි බලපෑමක් එල්ල නොවුණ ද අද පස්වරුවේ ධාවනය වන දුම්රිය සඳහා එය බලපෑ හැකි බව දුම්රිය බලධාරීන් අනතුරු අඟවා තිබේ.

ගංවතුර බලපෑමට ලක්වූ නිවාස පිරිසිදු කර ගන්න රු.10,000ක්

ගංවතුර බලපෑමට ලක්වූ නිවාස පිරිසිඳු කරගැනීම සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 10,000ක මුදල ලබාගත හැකි ක්‍රමවේදය පිළිබඳ අද (07) ජනතාව දැනුවත් කෙරුණි.

එහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ ඒ සඳහා ග්‍රාම නිලධාරී සහතිකය අවශ්‍ය බවය.

"ගංවතුරෙන් හානි වූ නිවාස පිරිසිඳු කරගැනීම සඳහා රජයෙන් රුපියල් 10,000 බැගින් ලබාදීමට කටයුතු කරනවා. එය ලබාගැනීමේදී ග්‍රාම නිලධාරී සහතිකය සහ ඊට අදාළ නිර්දේශ අවශ්‍ය වෙනවා."

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉකුත් 01 වනදා සිට මේ දක්වා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 113ක එනම් දිස්ත්‍රික්ක 13ක ජනතාව පීඩාවට පත්වී ඇති බවද ඔහු පැවසීය.

පුද්ගලයන් 239,000කට අධික පිරිසක් අවතැන්වී ඇති බවද ප්‍රදීප් කොඩිප්පිලි  සඳහන් කළේය.

රනිල් වෙනුවෙන් නව සන්ධානයෙන් : රාජපක්ෂ බලකොටුවේ රැළියක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධාන පාර්ශවය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට නගර මධ්‍යයේ ජන රැළියක් සංවිධානය කර ඇති අතර එය ජුනි මස 08 වනදා පස්වරු 2.00 ට පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබේ.

මෙම ජන රැළිය අමාත්‍ය මහින්ද අමරවීර විසින් සංවිධානය කර ඇති අතර ඒ සඳහා හම්බන්තොට ජනතාව පමණක් සහභාගී කිරීමටද තීරණය වී තිබේ.

එසේම මෙම ජන රැළියට නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න යන මැති ඇමතිවරුන් ඇතුළුව ඔවුන් සමඟ එක්ව සිටින පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් ක්‍රියාකාරීන් රැසක් සහභාගි වීමට නියමිතව ඇති බවත් වාර්තා වෙයි.

පොදුජන පෙරමුණේ රාජපක්ෂ පාර්ශ්වය එළඹෙන ජනාධිපතිවරණය අවස්ථාවේ ගනුලබන තීන්දුව මෙතෙක් ප්‍රකාශ කර නොමැති පසුබිමක රාජපක්ෂවරුන්ගේ බලකොටුව වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙවැනි රැළියක් සංවිධානය කිරීම සම්බන්ධව දේශපාලනය පිළිබඳ උනන්දු පිරිස්වල අවධානය යොමුව ඇත.

ITN විවාදයට අනුර එයි : සජිත් සැඟවෙයි !

එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් ලෙස මේ වන විටත් ඉදිරිපත්ව සිටින සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේග නායක අනුර දිසානායක අතර විවාදයට ස්වාධීන රූපවාහිනි සේවය අද (06) පැවැත්වෙන තුලාව සජීවී දේශපාලන සංවාදාත්මක වැඩසටහනේ ගුවන් කාලය ලබාදී ඇත.

ඒ සඳහා තමන් සහභාගී වන බව ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර දිසානායක සහභාගී වන බව මේ වන විට ස්වාධීන රූපවාහිනිය වෙත තහවුරු කර ඇති නමුත් සජබ නායක සජිත් ප්‍රේමදාස දුරකථනයෙන් හෝ සම්බන්ධ කරගැනීමට නොහැකි වී ඇතැයි ස්වාධීන රූපවාහිනි ආරංචිමාර්ග පාසි.

රූපවාහිනි සේවය විසින් යොමු කරන ලද ලිපියටද මෙතෙක් ඔහු විසින් ප්‍රතිචාර දක්වා නැති බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කරන්නේ තම පක්ෂය විවාද දෙකටම සූදානම් නමුත් ජාතික ජන බලවේගය ආර්ථික කමිටු විවාදය මගහැරීමට දැඩි උත්සාහයක් දරනා බවයි. එම විවාද දෙකටම නිශ්චිත දින වකවානු යොදාගෙන සහභාගි වීමට සූදානම් බවද මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පවසා ඇත.

මේ සුබ පණිවිඩය පාසල් සිසුවියන්ට !

පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමේ තිළිණපත් ලබාදීමේ සමාරම්භක වැඩසටහන අද (06) නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයෙන් ආරම්භ වුණි.

පාසල් තුළ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක ව පවත්වාගැනීම සඳහා අත්‍යවශ්‍ය  සාධකයක් වන දරුවන්ගේ පෞරුෂ වර්ධනයට හා සෞඛ්‍යවත් යහ පැවැත්මට ඉහවහල් වන පහසුකම් ලබා දීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම සනීපාරක්ෂක වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ. 

සිසුවියන්ගේ පාසල් පැමිණීම දිරිගැන්වීමත් ආර්ථව සමය තුළ ඔවුන් මුහුණදෙන ගැටලු‍ හා සෞඛ්‍යමය නොදැනුම්වත්භාවය හේතුවෙන් අධ්‍යාපනය සඳහා නිසි අවධානයක් යොමු නොවීම වැනි අහිතකර තත්ත්වයන් වළක්වා ගැනීමත් මෙමඟින් අපේක්ෂිත ය.

ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනයෙන් වැඩිවියට පත් ශිෂ්‍යාවන් සමස්තය අතරින් වතු පාසල් කාණ්ඩයට අයත් ජාතික පාසල් 07 සහ සියලු‍ පළාත් පාසල්වලට අයත් වැඩිවියට පත් ශිෂ්‍යාවන් සඳහා 2024 වර්ෂයේ ජුනි මාසයෙන් ආරම්භ කර මාස 06ක් සඳහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපතක් නොමිලේ ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාශය පියවර ගෙන ඇත. 

ඒ අනුව එක් සිසුවියකට රු. 1,200ක් වටිනා තිළිණපතක් ලබා දෙනු ලබන අතර එම තිළිණපත පාසල් හරහා සිසුවියන් වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබේ.
 
මෙම තිළිණපත භාවිත කර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙළෙඳසැලක් මඟින් සනීපාරක්ෂක තුවා මිල දී ගත හැකි ය. 

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරන ලද ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලත් සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සිසුවියන්ගේ වගකීමකි.

සිසුවියන් වෙත ලබා දෙන අදාළ තිළිණපත කොටස් දෙකකින් යුක්ත ය. 

එය රු. 600.00ක වටිනාකමින් යුත් 'A' හා 'B' ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර පළමුව එහි 'A'කොටස භාවිත කළ යුතු අතර එහි වලංගු කාලය 2024.06.10 - 2024.07.10 දක්වා වේ. 

අනෙක් 'B'කොටස භාවිත කළ හැකි වන්නේ 2024.09.01 - 2024.09.30 අතර කාල සීමාවේ දී ය. එම කාල සීමාවන් තුළ සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සිදුකළ යුතු වේ.

ඊලෝන් මස්ක්ගේ “Starlink” ට TRC අනුමැතිය !

ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා “Starlink” ස්ටර්ලින්ක් ආයතනය වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය හිමිව ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්  පැවසීය .

මෙම අන්තර්ජාල සේවා පහසුකමට අනුමැතිය ලබාදීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට දින 14ක කාලයක් වෙන් කර ඇති බවත් ඉන්පසුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් මෙම අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට හැකිවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (06) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

අධ්‍යාපන, පර්යේෂණ හා ධීවර ක්ෂේත්‍ර සඳහා වේගවත් අන්තර්ජාල සේවාවක් මෙමඟින් සැපයීය හැකි බවත් ලෝකයේ ඕනෑම තැනක සිට මෙම අන්තර්ජාල පහසුකම ලබා ගැනීමට ඇති හැකියාව ද තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය දා ඉන්දුනීසියාවේ පැවැති 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ලොව ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඊලොන් මස්ක් (Elon Musk)  අතර හමුවවේදී “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම පිළිබඳ සාකච්ඡා කර තිබිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා “Starlink” ස්ටර්ලින්ක් ආයතනයට අනුමැතිය හිමිව තිබේ.

“Starlink” ජාල මධ්‍යස්ථාන ලොවපුරා 2000ක් පමණ ස්ථාපිත කර ඇති අතර, රටවල් 32ක් මේ වන විටත් වේගවත් අන්තර්ජාල පහසුකම ලබයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්  මෙසේද පැවසීය,

තාක්ෂණ ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් සිදු කරමින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට අද සිට ස්ටාර්ලින්ක් ආයතනය සමඟ කටයුතු කරනවා. මෙතෙක් පැවැති කුළුණු මඟින් සීමිත අන්තර්ජාල පහසුකම් වෙනුවට ඕනෑම තැනක සිට අන්තර්ජාලයට එක්වීමට මෙම චන්ද්‍රිකා තාක්ෂණ අන්තර්ජාල පහසුකම ඔස්සේ හැකියාව තිබෙනවා. මෙමඟින් තාක්ෂණ ක්ෂේත්‍රයේ වෙනසක් ඇති වෙමින් පවතිනවා. අධ්‍යාපනය හදාරන දරුවන්ට, පර්යේෂණ කරන විද්වතුන්ට, ධීවර ජනතාවට මෙම අන්තර්ජාල පහසුකම මඟින් විශාල පහසුවක් සැලසෙනවා. වේගවත්ම අන්තර්ජාල පහසුකමක් මෙම තාක්ෂණය ඔස්සේ ලබා දිය හැකියි. ස්ටර්ලින්ක් සමාගමට චන්ද්‍රිකා තාක්ෂණ අන්තර්ජාල පහසුකම ලබාදීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබෙනවා. එයට මහජන අදහස් දැක්වීම සඳහා දින14ක් කාලයක් ලබා දී තිබෙනවා. මහජන අදහස් විමසූ පසුව සති දෙකක් කාලයක් තුළ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා.

විදුලි සංදේශ නියාමන පනතේ 22 වගන්තිය යටතේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මේ ආකාරයට අන්තර්ජාල පහසුකම් ලබාදීමට කටයුතු කළා. මෙම අන්තර්ජාල සේවාව ලබාගැනිම සඳහා පාසල් දරුවන්ට, ධීවර ජනතාවට හා පර්යේෂකයන්ට සහන පැකේජයක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  උපදෙස් ලබාදී තිබෙනවා. ඒ පිළිබඳ ඉදිරියේදී සැලසුම් සකස් කරනවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මධුසංක දිසානායක :

“starlink” ආයතනය මෙරට තුළ දුරකථන ජාලා සමාගමක් ලෙස ස්ථාපිත කෙරෙන්නේ නැහැ.මේ ආයතනයට විදුලි සං‍දේශ නියාමන කොමිසම විසින් අනුමැතිය ලබාදුන්නේ පනතේ 17 වන හා 22 වගන්තිය අනුවයි. නමුත් ඊට සංඛ්‍යාත බලපත්‍රයක් ලෙස ලබාදී තිබෙනවා. එබැවින් පවතින විදුලි සංදේශ නියාමන පනත සංශෝනය කර සේවා බලපත්‍රයක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරනවා. මෙම සබඳතාව ලබාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් 400 – 600ත් අතර මුදලක් වැය වෙනවා. මාසික ගෙවීම ඩොලර් 99ක් වෙනවා. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ‍ලබාදෙන අන්තර්ජාල පහසුකම හරහා ලෝකයේ කුමන ප්‍රදේශයේ සිටියද අන්තර්ජාලයට පිවිසිමේ හැකියාව තිබෙනවා. ‍ශ්‍රී ලංකාවේ දැනට පවතින ‍ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාව මෙන් කිහිපගුණයකින් මෙම අන්තර්ජාල සේවාව වේගවත් වෙනවා. ඒ නිසා ඉදිරියේදී තාක්ෂණ ක්ෂේත්‍රයට වඩා යහපත් පරිසරයක් නිර්මාණය වන බව විශ්වාස කළ හැකියි.

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ධර්ම ශ්‍රී කුමාරතුංග ද මෙම අවස්ථාවට එක්විය.

ජනපති සටන අරඹයි !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන කාර්යාලය අද (06) පෙරවරුවේ කොළඹ දී සුබ මොහොතින් විවෘත කළේය.

නව කාර්යාලය කොළඹ, සර් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටා ඇති අතර ඉදිරි දේශපාලන මෙහෙයුම් කටයුතු මෙම කාර්යාලය මඟින් සිදු කෙරෙයි.

නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ, කොල්ලුපිටිය වාලුකාරාම මහා විහාරය ඇතුළු පංච මහ විහාරාධිපති, කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළ අතර සෙසු ආගමික නායකයන් ද ආගමික වතාවත් සිදු කර ආශිර්වාද පළ කළහ.

කාර්යාලය පිහිටුවීමේ මුලික කටයුතු එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ මූලිකත්වයෙන් සිදුකර ඇත.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරු සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජූඩ් ශමන්තට දුන්න ජනාධිපති සමාව ව්‍යවස්ථාවට පටහැනියි : ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් !

රාජගිරිය, රෝයල් පාක් ඝාතන සිදුවීම  සම්බන්ධයෙන් වරදකරුවී මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කර තිබේ.

 එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මඩුල්ලක් යටතේ මෙම පෙත්සම විභාගයට ගෙන තිබිණ .

ජූඩ් ශමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමෙන් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවී ඇති බවද එහිදී  ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

රනිල්ට සහාය දෙන්න ශ්‍රීලනිප සූදානම් - දුමින්ද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය දැක්වීම පිළිබඳව පක්ෂය තුළ කිසිදු  විරෝධයක් නැති බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසයි .

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ  කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ  අද (06) පැවති මාධ්‍ය හමුවකදී ය.

කෙසේ වුවත්  ඉදිරි ජනාධිපතිවරණයේදී ගනුලබන තීන්දුව   පිළිබඳව පක්ෂය තවමත් අවසාන තීරණයකට පැමිණ නැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට සියලුම ප්‍රශ්න  අවසන් කරගෙන ඇති බවත්  ගම් මට්ටමේ සිට පක්ෂය නැවත ශක්තිමත් කර ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වෙමින් සිටින බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසූ අතර මේ වන විට නොයෙකුත් සන්ධාන  බිහිවෙමින් තිබුණත් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව විශාලම සන්ධානය ගොඩනගාගෙන තිබෙන බවත් පැවසීය .

තවද  විශාලම සන්ධාන බිහිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීර්ඝ  ඉතිහාසයක් ඇති හෙයින් එය අලුත් දෙයක් නොවන බවද මන්ත්‍රීවරයා පැවසීය .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයා තනතුරෙන් ඉල්ලා අස්වන බව ප්‍රසිද්ධියේ  ප්‍රකාශයට පත් කර ඇති  අතර එහි වැඩ බලන සභාපති වැඩ බලන ලේකම් සඳහා මේ වන විට අධිකරණය මගින් දිගින් දිගටම වාරණ නියෝග ය පනවා ඇති බවද ඔහු මෙම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේය .

පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා නව නිලධාරි මණ්ඩලයක් පත්කරගෙන  ඇති  බවත් ඒ අනුව වැඩ බලන  සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය .

පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය  ලසන්ත අලි ගෙවන්න ද මේ අවස්ථාවට එක්ව සිටියේය .

Page 77 of 474