පුවත්

මඩු වන්දනාකරුවන්ට බාධාවකින් තොරව සිය වන්දනා කටයුතුවල නිරතවීමට අවස්ථාව සලසා දෙනවා !
මඩු වන්දනාකරුවන්ට බාධාවකින් තොරව සිය වන්දනා කටයුතුවල නිරතවීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
මඩු දේවස්ථානයට පැමිණෙන මාර්ගය සහ ශ්‍රී පාදයට පැමිණෙන මාර්ගය තිබෙන්නේ වන්දනාකරුවන් සඳහා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම වන්දනාකරුවන් අත්අඩංගුවට ගෙන දඩ නියම කිරීම සාධාරණ කටයුත්තක් ලෙස තමා නොදකින බවද සඳහන් කළේය.
මඩු වන්දනාකරුවන් ඉදිරියේදී යළි අත්අඩංගුවට පත්වුවහොත් වහාම ඒ පිළිබඳ ජනාධිපති කාර්යාලය දැනුවත් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (16) පැවති මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.
ප්‍රශ්න මතුව ඇත්නම් සියලුදෙනා එක්ව සාකච්ඡා කර ඒවාට විසඳුම් සෙවීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මඩු දේවස්ථානය සඳහා පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව සඳහා දැනට තිබෙන මඩු මාර්ගය දෙපස කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ද යුද හමුදාවට උපදෙස් දුන් ජනාධිපතිවරයා එම කටයුතු සඳහා මන්නාරම රදගුරු හිමියන්ගේ නියෝජිතයෙකු, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ කර ගන්නා ලෙසද දැනුම් දුන්නේය.
මඩු දේවස්ථානයේ ඉදිරියේ දී පැවැත්වෙන වාර්ෂික මංගල්‍යයට පෙර මෙම සංවර්ධන කටයුතු නිම කරන ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ සොයා බැලීමේ අරමුණින් කැඳවා තිබු මෙම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම සඳහා ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද එක්ව සිටියහ.
දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය, අධ්‍යාපන, වාරිමාර්ග ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හි මතුව ඇති ගැටළු මෙහිදී සෘජුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුනු අතර එම බොහෝ ගැටළුවලට එම අවස්ථාවේ විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.
එමෙන්ම මන්නාරම රෝහලට දිගු කලක සිට අඩු පාඩුවක්ව පවතින CT ස්කෑන් යන්ත්‍රයක් ලබාදෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා කළ ඉල්ලීම පිළිබඳව ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා එය කඩිනමින් ඉටු කර දෙන බවද පැවසීය.
මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ මන්නාරම දිස්ත්‍රික්කයට අහිමි වූ සංවර්ධනය නැවත ලබා දෙන බවත් එම වැඩපිළිවෙළ මෙම වසරේදි ආරම්භ කරන බවත්ය.
ඉදිරි දශක පහ තුළ වෙනස්වන කාලගුණයට අනුරූපව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි විසඳුම් දැන් සිට සොයා බැලීමේ අවශ්‍යතාවය ද පැහැදිළි කළ ජනාධිපතිවරයා ඉදිරි වසර පනහක කාලය තුළ තෙත් කලාප වලට වැඩියෙන් වැසි ලැබෙන අතර වියළි කලාපවලට වැසි නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවට පුරෝකථනය කර ඇති බවද පෙන්වා දුන්නේය. වෙනස් වන ලෝකයට ගැලපෙන ආකාරයෙන් ආර්ථික, සාමාජීය අධ්‍යාපන හා කෘෂිකාර්මික ක්ෂේත්‍ර තුළ නව පරිවර්තනයක් ඇති කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය :
දශක තුනක යුද්ධයකට මුහුණ දීමෙන් පසු මන්නාරම දිස්ත්‍රික්කය අද නැවත ගොඩනැගෙමින් තිබෙනවා. මෙම දිස්ත්‍රික්කය තුළ පුළුල් සංවර්ධනයක් ඇති කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ගත හැකියි. සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය මෙන්ම පුනර්ජනනීය බල ශක්තිය සඳහා ද මෙම දිස්ත්‍රික්කය තුළ ඉහළ විභවතාවක් පවතිනවා.
මෙම ප්‍රදේශ තුළ සුළං සහ සූර්ය බල ශක්තිය නිපදවීමට ඇති හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතිනවා. එම බලශක්තිය නිෂ්පාදනය කර ඉන්දියාවට විකිණීමේ ක්‍රමවේදයක් පිළිබඳව ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කර තිබෙනවා.
හරිත බලශක්තිය උත්පාදනය කිරීම සඳහා උතුරු පළාතේ විශේෂ හැකියාවක් තිබෙනවා. වැව් මත සූර්ය පැනල බලාගාර ඉදිකිරීම සහ සුළං බලාගාර ඉදිකිරීම මගින් විශාල බල ශක්තියක් උත්පාදනය කළ හැකියි. එම බලශක්තිය ඉන්දියාවට සහ අනෙක් රටවලට අළෙවි කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාගත හැකියි. හරිත බලශක්තිය සහ හරිත හයිඩ්‍රජන් මඟින් හරිත ආර්ථිකයක් ඇති කිරීමට හැකියාව තිබෙනවා.
මන්නාරම නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් ඉදිරියේදී ලබා දීමට කටයුතු කරනවා. පුත්තලම හරහා මන්නාරමට පැමිණීමේ මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කර පිළිතුරක් ලබාදිය හැකියි. මන්නාරම රෝහලට අදාල CT ස්කෑන් යන්ත්‍රයක්ද ලබාදීමට කටයුතු කරනවා. නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අප ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට සංවර්ධන කමිටුව රැස්ව සාකච්ඡා කර යෝජනා ලබා දෙන ලෙස දන්වා සිටීමට කැමතියි. මේ ප්‍රදේශයේ තිබෙන වැව් ආරක්ෂා කිරීම හා මල්වතු ඔය ව්‍යාපාරයෙන් මන්නාරමට පැමිණෙන ජලය සුරක්ෂිත කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි.
ඉදිරි දශක පහ ඇතුළත තෙත් කලාපවල වැසි වැඩිවීමත් වියළි කලාපවල වැසී නොමැති තත්ත්වයක් ඇතිවන බවටත් පුරෝකථනය කර තිබෙනවා. එම තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා දැන් සිට අප ක්‍රියාත්මක විය යුතුයි.
මඩු දේවස්ථානයට පැමිණෙන මාර්ගය පවතින්නේ එම වන්දනාකරුවන් සඳහායි. ශ්‍රී පාදයට පැමිණෙන මාර්ගයේ තිබෙන්නේ ශ්‍රී පාදස්ථානයට පැමිණෙන වන්දනාකරුවන් සඳහායි. එබැවින් වන්දනාකරුවන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර ලක්ෂ තිහක දඩයක් පනවනවා නම් එය සාධාරණ කටයුත්තක් ලෙස මා දකින්නෙ නැහැ. එම නිසා මන්නාරම රදගුරු පදවියේ නියෝජිතයෙක්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය සහ යුද හමුදාව එක්ව මෙම මාර්ගය පවිත්‍ර කර සංවර්ධනය කර දෙන්න. මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට පෙර මෙම කටයුතු අවසන් කර දෙන ලෙස දන්වා සිටීමට කැමතියි.
මන්නාරම නගරයට ඇතුළුවන ස්ථානයේ ආරක්ෂක අංශ යොදා තිබෙන මුරකුටිය ඉවත් කිරීම එකවර සිදු කිරීමට නොහැකියි.
ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර අදාළ පියවර ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. මන්නාරම දිස්ත්‍රික්කයට අවශ්‍ය සංවර්ධනය අප ඉදිරියේ දී ලබා දෙනවා. මෙම වසරේදි එහි මූලික අඩිතාලම තැබීමට බලාපොරොත්තු වෙනවා.
මට අවශ්‍ය වුණේ මන්නාරම අවට සිදුවන මෙම පුළුල් සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ ඔබව දැනුවත් කිරිමටයි. ඒ නිසා ඔබ කිසිවෙකුට හසු විය යුතු නැහැ. අප සියලුදෙනා එක්ව මෙම ප්‍රදේශයේ පුළුල් සංවර්ධනයක් සිදු කර මෙරට ආර්ථිකයට ප්‍රධාන දායකත්වයක් ලබා දෙන දිස්ත්‍රික්කයක් බවට මන්නාරම දිස්ත්‍රික්කය පත් කරමු.
රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන් , සෙල්වම් අඩෙක්කලනාදන්, චාර්ල්ස් නිර්මලනාදන්, කුලසිංහම් තිලීපන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස් යන මහත්ම මහත්මීන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රිෂාඩ් සජිත්ගෙන් ගැලවෙන ලකුණු : ප්‍රසිද්ධියේ ජනපති රනිල්ව අගයයි !
මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය කටයුතු සඳහා මෙතෙක් ලබා දුන් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ප්‍රශංසා කරන බව හිටපු අමාත්‍ය , සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසයි .
ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ(16) පැවති මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් ය.
මඩු පල්ලිය මාර්ගයේ මාර්ග බාධක ගැටළුව විසඳීම ඇතුළු ගැටළු විසඳමින් දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා ජනාධිපතිවරයා ලබා දෙන නායකත්වය ද ඔහුගේ ඇගයීමට ලක් විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මෙසේද පැවසීය .
ජනාධිපතිතුමා අද මන්නාරමට පැමිණ මෙහි ජනතාවගේ ගැටලු රැසකට විසඳුම් ලබා දුන්නා. ඒ වගේම මන්නාරම දිස්ත්‍රික්කය පුළුල් සංවර්ධනයකට ලක් කිරීමට අවශ්‍ය සැලසුම් එතුමා සතුව තිබෙනවා. ඒ වෙනුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙන් මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා.
යහපාලන ආණ්ඩුව සමයේ මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල් වෙන් කළා. නමුත් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක නොවූ අතර වුවමනාවෙන්ම එය මඟහැර දැමුවා. ඒ වගේම පසුගිය වසර 04ක කාලය තුළ දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් කිසිදු මුදලක් වෙන් කර නැහැ. මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර මෙම වසරේ දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීම පිළිබඳ මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ බොහෝ නිහැඩියාවකට පසුව උනුසුම් දේශපාලන පසුබිමක ප්‍රබල මුස්ලිම් දේශපාලන නායකයකු වන රිෂාඩ් බදියුදීන් ගේ මේ ප්‍රසිද්ධ ප්‍රකාශය බොහෝ දුරට ඉදිරි දේශපාලන තීන්දුවක සංඥාවක් ලෙස සැලකිය හැකි බවය.
මෙතෙක් සමගි ජනබලවේගය පක්ෂය සමඟ සන්ධානගතව සිටි රිෂාඩ් මන්ත්‍රීවරයා ප්‍රමුඛ ඔහුගේ මන්ත්‍රී කණ්ඩායම පසුගිය සමයේ සජබ නායක සජිත් ප්‍රේමදාස ගේ දේශපාලන හැසිරීම පිළිබඳව දරුණු කළකිරීමක සිටි බවද විචාරකයන් සිහිපත් කරයි. රාජපක්ෂ කඳවුරට සම්බන්ධව සිටි උග්‍ර ජාතිකවාදීන් කිසිදු හිරිකිතයකින් තොරව සජබ ට එක්කර ගැනීම ඊට හේතු වූ බවත් ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව ඉදිරියේදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ප්‍රමුඛ ඔහුගේ පක්ෂය එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සහාය පිණිස ගොඩනඟන සන්ධානයට එක්වීමේ වැඩි ඉඩක් ඇති බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

සජබ මන්ත්‍රීවරුන් 4ක් නව සන්ධානයට !
සමගි ජන බලවේගයේ ප්‍රබල මන්ත‍්‍රීවරුන් සිවු දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "සිරිපාල" පාර්ශ්වය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායමක් විසින් පිහිටුවා තිබෙන නව සන්ධානයට එක්වීම සඳහා සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙම සජබ මන්ත්‍රීවරුන් සිව්දෙනා ඒ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස සමඟ පසුගියදා බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයකදී මේ පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම හමුව සඳහා සජබ මන්ත්‍රීවරුන් පැමිණ තිබෙන්නේ ඔවුන්ගේ ආරක්ෂකයින් ද නොමැතිව බවත් දැනගන්නට ඇත.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට නව සන්ධානයේ මීළඟ රැලිය පැවැත්වෙන මොණරාගල වේදිකාවට ඔවුන් ගොඩවීම සම්බන්ධයෙන් සාකච්ඡා තවදුරටත් පැවැත්වෙයි .
නව සන්ධානය සමග එක්වන්නේ කුමන ලෙසකින්ද යන්න මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාව වී තිබේ.
ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් සිව් දෙනා ඉදිරි නව සන්ධාන රැලියට ගොඩවීම සඳහා බොහෝ ඉඩකඩ ඇති බවද දැනගන්නට ඇත.

රනිල් : පැරදුණත් දිණුම් ලාංකික දේශපාලනයේ නාකියා..!
දැන් ගොඩක් අය විලාසිතාවට කියන්න අරගෙන තියෙන දෙයක් තමයි චන්දෙ තිබ්බේ නැත්නම් ඒ තමයි රනිල්ගේ අවසානය කියන එක. චන්දෙ තිබ්බේ නැත්නම් ඒක තමයි යූඇන්පියේ අවසානය කියන එක. ජනමත විචාරණයකට ගියොත් බලාගන්න පුළුවන්, අපි රනිල්ට හොඳ පාඩමක් උගන්වනවා, වගේ පාරම්බාන වාක්‍යවලින් හැමදාම හැම මාධ්‍ය සාකච්චාවක්ම පිරිල ඉතිරිලා යනවා. ඒ වගේම රනිල් විරෝධීන් ඒවාගෙන් සෑහෙන ආතල් එකක් ගන්න බවකුත් පේනවා. රැඩිකල් බව උතුරනවා. විව්ස් වැඩි වෙනවා.
සාමාන්‍යයෙන් මිනිසා අවසානය ගැන ෆැන්ටසි වලට ආශාකරනවා (end fantasy). අපි මැරෙන හැටි ගැන උණත් අපිට ෆැන්ටසි එකක් තියනවා. උදාහරණයක් හැටියට ඉස්සර පරම්පරාව කිව්වේ සිරිමහා බෝධිය වැඳ පුදාගෙනවත් මැරෙන්න ඕනි කියල. දුටුගැමුණු රජ්ජුරුවෝ මැරුණේ රුවන්වැලි සෑය දිහා බලාගෙන කියල සඳහන් වෙනවා. ඒ අපේ අවසානය ගැන තියන යම් ෆැන්ටසි එකක්. ඒක සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙන්න පුළුවන්. සමහරු මක්කම ගිහිල්ල මැරෙනවා. ඒ පැත්ත බලාගෙන මැරෙනවා. ඒ වගේ එක් එක් විදි තියනවා.
ඒ විදියට දැන් තියන එක පරාජිත ෆැන්ටසි එකක් තමයි රනිල් මැරෙනකල් ඉන්න එක. ඒ කියන්නේ දේශපාලන තලයේ භෞතිකව එයාව පරද්දන්න බැරි වෙනකොට, නැත්නම් රනිල් එක් එක් විදියට ඉත්තෝ අදිනකොට සහ අපිට ඒ ඒ විදියට වැඩ කරන්න වෙනකොට අපි හිතින් මවාගන්නවා ''අනේ මූ මැරිලවත් යන්නේ නැහැනේ'' කියල. සමහර විට පහුවෙන හැම පෝයක් ගානෙම මේ ෆැන්ටසි එක අපිට එනවා. නමුත් එහෙම හිතෙන්නේ අපි පරාජිත නිසා. මේ නාකි දේශපාලඥයා එක්ක ගේම් එක අපිට තවමත් ගහන්න බැරි නිසා. කෙක්කෙන් හරි කොක්කෙන් හරි රනිල් ගේම තවමත් ගහමින් ඉන්න නිසා.
අපි එයා මැරෙනකල් පෝය ගණන් කරනවා. එයා දිගටම එයාගේ වැඩේ කරගෙන යනවා.
ඊයේ පෙරේදා ටවුමට ආපු කතාව තමයි ජනමත විචාරණේ ගැන කතාව. හැමෝම ඒකට බණින්න ගත්ත. අවුරුදු දෙකක් තමයි දික්කරන්න ගියේ. එහෙම උනානම් අපිට පොරොත්තු වෙන්න තිබ්බ කාලය පෝය තුනේ ඉඳන් පෝය විසිහයක් දක්වා දික්වෙන්න තිබ්බ.
දැන් කතාව තමයි ජනාධිපතිගේ ධූරකාලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ චන්දෙන් අඩුකළා සේම ඒක තව අවුරුද්දකින් වැඩි කරන්නත් ඒ තර්කයම පාවිච්චි කරන්න පුළුවන් නේද කියන ඒක. ඒකටත් සෑහෙන්න ඉඩක් තියනවා. එහෙම උනොත් පෝය කාලය පහළොවක් වෙනවා.
ඒ විදියටම ඕනිනම් තව අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් ධූරකාලය දික්කරන්නත් පුළුවන් වෙයි. එතකොට පෝය කාලය අනන්තයක් වෙනවා. හයිපතිටිකලි මේ ඕනෑම දෙයක් සිද්දවෙන්න පුළුවන්.
ඒ වගේම මේකේ තියන අනික් දේ තමයි එන ඕනෑම චන්දයකට පරදින්න හරි රනිල් ඉදිරිපත් වෙන්න උනත් පුළුවන් වීම. ඒක සමුරායි වැඩක්. ගොඩක් අය දැන් දැන් අහන දෙයක් තමයි ඕනිනම් වැඩිම රනිල් චන්ද ලක්ෂ දහයක් ගනී. ඒ දහය ගන්න ඉල්ලන්නේ ඇයි කියන එක.
මට හිතෙන්නේ මෙහෙම දෙයක්. ගිය මැතිවරණෙදී චන්ද ලක්ෂයක් දෙකක් ගත්ත කෙනෙක් තමයි අද ලක්ෂ දහයක් ගනී කියල අපි හිතන්නේ. තව පහක් ගියාම එයා හතළිහක් පනහක් ගනී. ඒ එක පැත්තක්.
අනික අපි දන්නේ නැහැ මැතිවරණයක අන්තිම මොහොතේ මිනිස්සු මොනවගේ තීරණයක් ගනීද කියල. සමහර විට රටේ මිනිස්සු මේ නාකියා දිගටම තියාගන්න උනත් පුළුවන්.
ඒ සියල්ල කෙසේ වෙතත් රනිල් චන්දෙන් පරාජය උනත් ඇත්තටම දේශපාලනය ඇතුලේ දිනුම්. ඒ තමයි එයාගේ 'වැල්පාළමේ ව්‍යාපෘතිය'. කවුරු බලයට ආවත් එයා දැන් අරන්යන වැල්පාළමේ වැඩේ තවදුරටත් කරන්න ඕනි කියල හැමෝම එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් පිළිගනිමින් තියනවා. ඒ වැඩේ ඉස්සරහට යනවා කවුරු ආවත්. ඒ නිසා ව්‍යාපෘතියක් ලෙස රනිල් පැරදුණත් දිනුම්.
ඒ වැල් පාළමේ ව්‍යාපෘතිය එයා කරගෙන යන විදියට අළුතෙන් ආපු කෙනෙකුට කරන්න බැරිඋණොත් ආයේ එයාට එන්න කියන්න වෙන්නේ වැඳවැටිලා...
ඒත් පොර දිනුම්.
('නාකියා' කියල යෙදුවේ ටවුමේ කතාව නිසා. ඔක්කොම නාකි එලවපු - අනෙකා නැති - තරුණයෝ විතරක් කටකපල ඉන්න පාර්ලිමේන්තුවක තරුණයින්ට මාර පාළුවක් දැනෙයි). ❤
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

ජනාධිපතිට සහාය දිය යුතුයි : රට ගොඩගත් නායකයා ඔහුයි - පවිත්‍රා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන මත කඳවුරු දෙකක උවත්, ආර්ථික අර්බුදය අවසන් කර, රටේ ආර්ථිකය ශක්තිමත්ව යළි ගොඩ නැඟීමේ ගෞරවය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හිමිවන බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කරයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමඟ එදා දේශපාලණික වශයෙන් මතවාදීව ගැටලු පැවති බවත්, එහෙත් වර්තමානයේ රටේ ආර්ථිකය නැවත ප්‍රකෘතිමත් කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන්, විදේශ සංවිධාන සමඟ සම්බන්ධතා පවත්වමින් විශිෂ්ට නායකයෙකු ලෙස රට ගොඩ නැඟීමට ඔහු දියත් කර තිබෙන වැඩපිළිවෙලට තම සහාය ලබාදී තිබෙන බවත් අමාත්‍යවරිය පවසයි.
අමාත්‍යවරිය මේ බව කියා සිටියේ ඇඹිලිපිටිය නගරයේ, මොරකැටිය ප්‍රධාන මාර්ගයේ සිට මොරකැටිය බෙදුම් ඇළ දක්වා කිලෝමීටර් භාගයකට ආසන්න විකල්ප මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමේ උත්සව අවස්ථාව ට සහභාගි වෙමිනි.
රට ධාර්මික , සශ්‍රීක දේශයක් බවට පත්කිරීමේ වගකීම අප සියළු දෙනා ට පැවරී ඇති බවත් අවධාරණය කරන අමාත්‍යවරිය ඒ සඳහා කුමන දේශපාලන කඳවුරක සිටියත් රට වෙනුවෙන් එක මතයක සිට වැඩ කළයුතු බව ද සඳහන් කරයි.
” වසර 70 තිස්සේ රටට මොනව ද කළේ කියා සමහර දේශපාලන කණ්ඩායම් ප්‍රශ්න කරන බව පෙන්වා දුන් පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය , ගමට විදුලිය, වතුර ටික , ගමේ පාරවල් හැදුණු හැටි පමණක් ම නොව රටේ දරුණු යුද්ධයක් තිබුණා කියලත් දැන් බොහෝ දෙනෙකුට අමතක යැයි ද පැවැසුවාය.
ඇතැම් කණ්ඩායම් රටට ඩොලර් නොයෙවන ලෙස විදේශ ගත ශ්‍රමිකයන් අතර මතයක් ව්‍යාප්ත කළ බවත්, ඒ අතර තුර කෝවිඩ් 19 වෛරස වසන්ගතය හේතුවෙන් රටට සංචාරකයින් ද නොපැමිණීම හේතුවෙන් රටේ ඩොලර් හිගයක් ඇතිවූ බවත් අමාත්‍ය වරිය කියා සිටියාය.

ජනපති මන්නාරම රදගුරු හිමිපාණන් හමු වෙති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් අතර හමුවක් අද (16) පෙරවරුවේ මන්නාරම රදගුරු නිල නිවසේ දි සිදු විය.
රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ජනාධිපතිවරයා සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙහිදී අගය කළ මන්නාරම රදගුරු හිමියන් මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළහ.
මන්නාරමේ සිට පේදුරුතුඩුව සහ මුලතිව් පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර පරිසර හිතකාමී අයුරින් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
අතිරික්ත පුනර්ජනනීය බලශක්තිය ඉන්දියාවට අළෙවි කිරීම සඳහා සාකච්ඡා කරමින් පවතින් බවත්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි රැහැන් සම්බන්ධතාවයක් ඇති කිරීම පිළිබඳ මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් පවතින බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී සිදුවන ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම සඳහා වන පූර්ව ශක්‍යතා අධ්‍යයනය මේ වන විට සිදු කර අවසන් බවත්, සම්පූර්ණ ශක්‍යතා අධ්‍යයනය ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මන්නාරම සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර මන්නාරම බලකොටුව කෲස් සංචාරකයන් සඳහා සංවර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ මෙම කටයුතු සමඟ ඉදිරියේ දී මන්නාරම දිස්ත්‍රික්කයේ සියලු ක්ෂේත්‍රවල පුළුල් සංවර්ධනයක් සිදු වනු ඇති බවයි.
මන්නාරම ධීවර ජනතාවගේ ගැටළුව කෙරෙහි අවධානය යොමු කරන ලෙසද මන්නාරම රදගුරු හිමිපාණන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
මන්නාරම දියෝකිසියේ විකාර් ජනරාල් (Vicar General) පියතුමා වන පී. ක්‍රිස්තුනායගම් පියතුමා, මඩු පල්ලියේ පාලක පියතුමා වන ඒ. ඥානප්රගාසම් පියතුමා, පෙප්පි සෝසෙයි පියතුමා, මන්නාරම දියෝකිසියේ හිටපු විකාර් ජනරාල් පියතුමා (Vicar General) ඇතුළු පියතුමන්ලා මෙම අවස්ථාවට එක්ව සිටියහ.
https://newstube.lk/news?start=1314#sigProId0958a9f960

ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල අඩු වෙයි
සිමෙන්ති, කම්බි ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල ගණන් පහත වැටෙමින් පවතින බැවින් යළිත් වරක් ඉදිකිරීම් කටයුතු අරඹන ලෙස ජාතික ඉදිකිරීම් සේවක සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාව පසුගිය සමයේ මුහුණ දුන් ආර්ථික අර්බුදයත් සමග රුපියලේ අගය පහත වැටීම සහ තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සහ අමුද්‍රව්‍ය රැසක මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණි.
කෙසේ වෙතත්, ආර්ථිකය යළි ප්‍රකෘතිවීමත් සමග ඒවායේ මිල ගණන්වල අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙන බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඉදිකිරීම් සේවක සංගමයේ ලේකම් සුපුන් අබේසේකර,
"පසුගිය කාලසීමාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් වැටිලා තිබුණේ. අද වෙනෙකොට යම් ප්‍රකෘතිමත්වීමක් මේ ක්ෂේත්‍රයේ තියෙනවා. සිමෙන්ති, යකඩ, තීන්ත ඇතුළු අමුද්‍රව්‍යවල මිල ගණන් යම් මට්මකින් අඩුවෙලා තියෙනවා. සමස්තයක් විදිහට ගත්විට සතුටුවෙන්න පුළුවන් බැංකු පොලිය අඩුවෙලා තියෙනවා. අපි අදහස් කරනවා අපේ සේවාදායකයින්ට බැංකු ණයක් අරගෙන ගෙයක් හදාගන්න පුළුවන් වාතාවරණයක් යම් මට්ටමකට හැදිලා තියෙනවා කියලා."
adaderana.lk

'උරුමය' යටතේ මන්නාරම ජනතාවට ඉඩම් ඔප්පු 5,000ක්
ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දේපළ වටිනාකම වැඩි කිරීමට “උරුමය” වැඩසටහන මඟින් හැකිවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
කොරෝනා වසංගතය මෙන්ම ආර්ථික අර්බුදය නිසා පහළ ගිය දේපල වටිනාකම “උරුමය” වැඩසටහන නිසා නැවත ඉහළ ගොස් ඇති බවත් එමඟින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාව තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ “උරුමය ” සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික් ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් මන්නාරම නගර ශාලා ශ්‍රවණාගාරයේ දී අද (16) පැවති උත්සවයට එක්වෙමිනි.
මෙම වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 5000ක් ලබාදීමට නියමිත අතර ඉඩම් ඔප්පු 442ක් ප්‍රදානනය කිරීම අද දින සංකේතවත්ව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට පොහොර ලබාදීම වෙනුවෙන් මුදල් ලබාදීමට අදාළ චෙක්පත් ප්‍රදානයද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.
පසුගිය අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ මන්නාරම දිස්ත්‍රික්කයේ කෘෂි වගාවන් වෙනුවෙන් කෘෂි රක්ෂණ වන්දි ප්‍රදානය කිරීම සහ ප්‍රදේශයේ ධීවර ජනතාවට ධීවර ආම්පන්න මිලදී ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමද මෙහිදී සිදු කෙරිණි.
මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනකේස්වරන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
පසු ගිය මාසයේ මා උතුරට පැමිණි අවස්ථාවේදී මන්නාරමට පැමිණෙන බවට පොරොන්දු වුණා. මන්නාරම සංවර්ධනය පිළිබඳ අපට වැඩපිළිවෙළක් තිබෙනවා. උතුරු ප්‍රදේශයේ ඉඩම් අයිතිය ඉල්ලා සිටින පවුල් 90,000ක් පමණ සිටිනවා. එයින් පවුල් 45,000කට කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ඔප්පු ලබාදීමේ හැකියාව තිබෙනවා. අනෙකුත් පවුල් 45,000 පිළිබඳ කඩිනමින් කටයුතු කරන ලෙස මම ආණ්ඩුකාරතුමියට හා උතුරු පළාත් සභාවට උපදෙස් ලබා දී තිබෙනවා .
1935 වසරේ සිට මේ දක්වා පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සෑම ජනකොටසකටම ඉඩම් ලබා දී තිබුනේ බලපත්‍ර වශයෙන් පමණයි. එනිසා මේ බලපත්‍ර ඕනෑම වෙලාවක අහෝසි කළ හැකියි. බලපත්‍ර ඉඩම්වලට සුරක්ෂිතභාවයක් නැහැ. ගොවීන් ගොවිතැන් කටයුතු කළත් ඔවුන්ට ඉඩම් හිමිකම ලැබුණේ නැහැ.
ඇතැම් ගොවි ජනතාව අවුරුදු 85ක් තිස්සේ ඉඩම් භාවිතා කර තිබෙනවා. මේ රටේ ඉඩම් අයිතිය නොමැති පවුල් ලක්ෂ 20ක් පමණ සිටිනවා. උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළේ ඔවුන් වෙනුවෙනුයි.
කොවිඩ් වසංගතය නිසා වැඩිපුරම පීඩාවට පත් වුණේ සාමාන්‍ය ජනතාවයි. රට බංකොලොත්භාවයෙන් මිදෙන විට එහි වාසිය ජනතාවට ලබාදිය යුතුයි. විශේෂයෙන්ම, උරුමය වැඩසටහන නිසා යළිත් ජනතාවගේ දේපළවල වත්කම වැඩි වෙනවා. ආසියාවේ කිසිඳු රටක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදී නැහැ. ඒ නිසා උරුමය වැඩසටහන රට තුළ සිදු කළ විප්ලවයක් ලෙස හඳුන්වා දිය හැකියි.
මීට අමතරව බස්නාහිර පළාතේ මහල් නිවාසලාභීන් දෙලක්ෂ පනස්දහසකට නිවාස හිමිකම ලබාදීමට ද අප පියවර ගන්නවා. ඒ වගේම ආර්ථික කඩා වැටීම හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජයක් ලෙස කළ හැකි සෑම දෙයක්ම කරනවා.
එදා උතුරේ ජනතාවට යුද්ධය නිසා නිවාස, දේපළ හා ඉඩම් අත්හැර යාමට සිදුවුණා. එම ජනතාවට ජීවිතයේ පළමු වතාවට සින්නක්කර ඉඩම් අයිතිය හිමි වීමත් සමඟ සාමාන්‍ය ලෙස ජීවත් වීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා. ඔබට ලැබෙන මෙම ඉඩම් අයිතිය ආරක්ෂා කර ගන්නා ලෙස ද මා සියලුදෙනාගෙන් ඉල්ලනවා. එවිට ආර්ථිකමය වශයෙන් ඉදිරියට යාමට ඔබටත්, රටටත් අවස්ථාව ලැබෙනවා.
රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්,
ජනතාවගේ ඉඩම් අයිතිය පිළිබඳ ගැටළුව විසඳීම සඳහා මෙහි පැමිණීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිවන්ත වෙනවා. ඉඩමක නීත්‍යානුකූල අයිතිය ලැබීම සෑම පුරවැසියෙකුගේම සිහිනයක් බව කිවයුතුයි. මෙතැන් සිට එම සිහිනය සැබෑ වෙනවා.
ජනාධිපතිතුමා සියලු සැලසුම් සකස් කරන්නේ පැහැදිළි දැක්මක් ඇතිවයි. මේ රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැඟීමට හැකි එකම පුද්ගලයා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ජනාධිපතිතුමා දේශපාලන අරමුණු පසෙකලා රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරනවා. ඒ නිසා අප එතුමාට කළගුණ සැලකීය යුතුයි. ඒ සඳහා ඔහු නැවත බලයට පත් කිරීමට අවශ්‍යයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන්,
අඳුරු යුගයකට ගමන් කරමින් තිබූ රට බේරාගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ ඉඩම් ගැටළු ඇතුළු අනෙකුත් ප්‍රශ්න විසඳීමට කටයුතු කරමින් සිටිනවා. සාකච්ඡා කර ගැටළු විසඳාගත හැකි ජනාධිපතිවරයෙක් අපට ලැබී තිබෙනවා.
මන්නාරම ජනතාවගේ ගැටළු සොයා බැලීමට අද මෙහි පැමිණීම පිළිබඳව ජනාධිපතිතුමාට මගේ කෘතඥතාව පළ කරනවා.
ජනාධිපතිතුමාගේ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීම අවශ්‍යයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන් ,
මන්නාරම දිස්ත්‍රික් රෝහල ද සංවර්ධනය කළයුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් ඉන්දීය රජය මඟින් රුපියල් මිලියන 60ක් හිමිවන බවද සඳහන් වෙනවා. ඒ වගේම මුලතිව් දිස්ත්‍රික් රෝහල ද තවදුරටත් දියුණු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස අප ඉල්ලා සිටිනවා.
එසේම වනජීවී දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටළු රැසක් මතුව තිබෙනවා. ඒ පිළිබඳ සොයා බැලීමට අද ජනාධිපතිතුමා මෙම ප්‍රදේශයට පැමිණීම පිළිබඳ අප ස්තූතිවන්ත වෙනවා.
උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස්,
පසුගිය කාලයේ මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවලට නිසි සංවර්ධනයක් නොලැබීම පිළිබඳ දේශපාලන නියෝජිතයන් සහ ජනතාව මැසිවිලි නගමින් සිටියා. A9 මාර්ගයේ පිහිටි අනෙකුත් දිස්ත්‍රික්කවලට මෙන් මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක කෙරෙහි සංවර්ධන හවුල්කරුවන්ගේ අවධානයක් ලැබුණේ නැහැ. එබැවින් එම කටයුතු සොයා බැලීමට ජනාධිපතිතුමා අද මෙහි පැමිණිම පිළිබඳ මම එතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.
ඒ වගේම උතුරේ ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමට ජනාධිපතිතුමා නිරන්තරයෙන් උතුරට පැමිණෙනවා. එතුමාගේ පැමිණීම පළාතේ රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම ජනතාවට ද මහත් ශක්තියක් වන අතර එමඟින් ඔවුන්ගේ ගැටලු සෘජුව ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා.
රජයේ සේවකයන්ගේ වගකීම වන්නේ ජනතාවට සේවය කිරීමයි. ජනාධිපතිතුමා සඳහන් කරන පරිදි ඒ වෙනුවෙන් ඔවුන්ගේ ආකල්පමය වෙනසක් අවශ්‍ය වෙනවා. අප සියලුදෙනා එකතුවී මේ ප්‍රදේශයේ ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ අත්කර දීමට කැපවෙමුයැයි මා ඉල්ලා සිටිනවා.
මන්නාරම දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විශ්වවිද්‍යාල අනධ්‍යයන වර්ජනය ඇදෙයි : මේ වසරේ වැටුප් වැඩි කළ නොහැකියි - රජය
විශ්වවිද්‍යා අනධ්‍යන සේවකයන්ට මේ වසර තුළ වැටුප් වැඩිවීමක් සිදුකළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත දැනුම්දී ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය විසින් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇත.
ඒ අනුව කොමිසම විසින් රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් 14 දෙනා දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවද දැනගන්නට තිබේ.
රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් ඉදිරියට විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති කැඳවා සාකච්ඡා කිරීමට තීරණය වී බවද වාර්තා වන අතර එය එළැඹෙන අඟහරුවාදා (18) පැවැත් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.
වැටුප් ඉහළ දැමීම ඇතුළුව තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් දියත් කර ඇති වැඩවර්ජනය තවදුරටත් පැවැත්වෙයි.

IMF යෝජනා කරන තවත් බද්දක් මෙන්න !
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ පියවරක් වශයෙන් 2025 අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පදිංචිව සිටින සහ හිස්ව තිබෙන නේවාසික දේපොළ සඳහා ආරෝපිත කුලී ආදායම් බද්දක් හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කර ඇති නවතම සවිස්තරාත්මක වාර්තාවක මේ පිළිබඳව දක්වා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන සිව් අවුරුදු විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනේ දෙවන සමාලෝචනයෙන් අනතුරුව IMF Country Report 24/161 වාර්තාව ප්‍රකාශයට පත් කෙරුණු අතර මෙවැනි බද්දක් හඳුන්වා දීමේ වැදගත්කම එම වාර්තාවෙහි දැක්වෙයි.
රජයේ ආදායම ඉහළ දැමීම සඳහා මෙවැනි බද්දක් හඳුන්වා දීම ඉතා වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.
මෙම බදු ක්‍රමය 2026 වසර වනවිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.
ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් යනු නිවසක හිමිකරුවෙකු සිය නිවස කුලියට ලබාදුන්නේ නම් ඔහුට හෝ ඇයට ලබාගත හැකි ආදායම ඇස්තමේන්තු කර ඒ සඳහා බදු මුදලක් අය කිරීමය.
මෙම බද්ද නිවසේ වටිනාකම මත නොව ඉන් ලැබිය හැකි අදායම මත පදනම් වේ.
මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් පාලන ආයතන මට්ටමින් දත්ත ගබඩාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාව අවධානය යොමු කළයුතු බවත් එම දත්ත ගබඩාවට මෙරට දේපොළ හිමියන් සතුව ඇති දේපොළ සම්බන්ධයෙන් යාවත්කාලීන කළ ඇස්තමේන්තුවක් ඇතුළත් විය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.
එම දත්ත ගබඩාව නිර්මාණය කිරීම මෙම වසරේ අගෝස්තු මාසය වන විට අවසන් විය යුතු බවද එම වාර්තාවේ සඳහන් වේ.
මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වාදීමට සූදානම් වූ දේපොළ බදු සහ තෑගි හා ප්‍රවේණි බදු ක්‍රමය ක්‍රියාවට නැංවීම විවිධ ව්‍යවස්ථාමය සීමාකම් හේතුවෙන් ප්‍රමාදවීම හේතුකොට ගෙන මෙලෙස නව ‘ආරෝපිත කුලී ආදායම් බද්දක්‘ හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන ඇත.

ක්‍රිකට් ආයතනයට සැකසූ නව ව්‍යවස්ථා කෙටුම්පත ජනාධිපතිට !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්‍රසිරි කමිටුව විසින් සකස්කළ පනත් කෙටුම්පත අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බාර දෙනු ලැබීය.
කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි විසින් පනත් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත භාර දුන් අතර කමිටුවේ සෙසු සාමාජිකයන් ද ඊට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙන ගැටළු පිළිබඳ සොයා බලා ඒ පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2023.11.06 දින විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍ගේ ප්‍රධානත්වයෙන් හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන අමාත්‍යවරුන්ගෙන් සමන්විතව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරන ලදී. එම අනුකමිටුව විසින් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියළු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු සිය නිර්දේශ ඇතුළත් වාර්තාව 2024.01.08 දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
එම නිර්දේශ මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය හා ව්‍යූහය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවත්, ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම්, 19න් පහළ හා 17න් පහළ වයස් කාණ්ඩ ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණුව හා සමස්ත යහපැවැත්ම පිළිබඳවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ විනිවිදභාවය, වෘත්තීයභාවය වගවීම ආදී යහපාලනයන් හා යහ භාවිතයන් ප්‍රවර්ධනය පිළිබඳවත්, කුසලතාවය, සමානාත්මතාවය හා සාධාරණත්වය වැළඳ ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හි පෝෂණ ව්‍යූහය එනම් පාසල්, දිස්ත්‍රික්,
පළාත් හා සමාජ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳවත් යෝජනා ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ සහිත වාර්තාව පදනම් කරගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් 2024 පෙබරවාරි 13 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටි. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර, නීතිඥ ආචාර්ය අරිත්ත වික්‍රමනායක, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව යන මහත්වරු සහ අධිකරණ අමාත්‍යවරයා විසින් නාම යෝජිත පරිදි නිතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහකාර නීති කෙටුම්පත් සම්පාදක ශමිලා ක්‍රිෂාන්ති මහත්මිය යන පිරිසගෙන් සමන්විතව විද්වත් කමිටුවක් පත් කරන ලදී.
ජනාධිපති ලේකම් විසින් එම කමිටුවේ ලේකම්/කැඳවුම්කරු ලෙස ජනාධිපති අතිරේක ලේකම් ලෝෂිණී පීරිස් පත්කරන ලදී.
පනත් කෙටුම්පත භාරදීමේ අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති සහකාර ලේකම් (අමාත්‍ය මණ්ඩල කටයුතු) සමිත් තලකිරියාව යන මහත්වරුන් ද එක්ව සිටියහ.

මෝටර් රථ ගෙන්වීමට ජනවාරි මස සිට අවසර
වාහන ආනයනය පිළිබඳව රජයේ සැලසුම් මෙම සතිය තුළ රජය විසින් ඉදිරිපත් කරනු ඇති බව ත් ඒ අනුව ශ්‍රී ලංකාවට මෝටර් රථ ගෙන්වීමේ අවසරය 2025 ආරම්භයේදී ලබා දෙනු ඇති බව ත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද වාර්තාව පෙන්වා දෙයි.
එම අරමුදල සිය විස්තීරණ මූල්‍ය පහසුකම යටතේ ලබා දුන් ණය වාරිකය පිළිබඳව සමාලෝචන වාර්තාව එළිදක්වමින් මේ බව සඳහන් කර තිබේ.
ඒ අනුව, රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.9කට ආසන්න මට්ටමකින් ඉහළ නංවා ගැනීම සඳහා අනුගමනය කළ යුතු බවට එකඟ වී ඇති පියවර අතර වාහන ඇතුළු ආනයන භාණ්ඩ සඳහා පවතින ආනයන සීමා ඉවත් කිරීම ද ඇතුළත් කර ඇත.
ඒ අනුව සියලු ම වාහන සඳහා සම්පූර්ණ ආනයන අවසරය ජනවාරි මාසයේ සිට හිමිවනු ඇති බව සඳහන් වේ.
මුදල් අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් නිර්දේශ කිරීම සඳහා පත් කරන ලද කමිටුව සිය වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අතර ඒ අනුව නුදුරේදී ම වාණිජ වාහන සඳහා ආනයන සීමා ඉවත් වනු ඇති බවත් දෙවනුව පොදු ප්‍රවාහන සේවා සඳහා එම සීමා ඉවත් වනු ඇති බව ත් වාර්තා වේ.

දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කරනවා !
අනාගතයට ගැළපෙන දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැඟිල්ලේ පළමු අදියර සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට අද (14) පස්වරුවේ එක්වෙමිනි.
දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද අධ්‍යාපනය වෙනුවෙන් ලබාදිය යුතු ප්‍රතිපාදන වෙන් කිරීමට රජය කටයුතු කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රටේ ශක්තිය අධ්‍යාපනය වන බවද අවධාරණය කළේය.
අද පස්වරුවේ කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසල වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.
විදුහල් භූමියේ පිහිටි බුදු මැදුර වෙත ගොස් මල් පූජාකර ආශිර්වාද ලබා ගත් ජනාධිපතිවරයා අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළේය.
නව පන්තිකාමර නිරීක්ෂණය කිරීමට ද එක් වු ජනාධිපතිවරයා සිසු දරුවන් සමඟ සුහද කථා බහක ද නිරත විය.
අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළ දක්ෂතා දැක්වූ විද්‍යාලයේ සිසුවියන් වෙත තිළිණ ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්විණ.
මෙම නව ගොඩනැඟිල්ලේ පළමු අදියර වෙනුවෙන් රුපියල් මිලියන 450ක මුදලක් වැය කර තිබෙන අතර, එම මුදල රජය සහ දෙමාපියන් විසින් ලබා දී තිබිණි.
ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ කර දෙන ලෙස සිසුවියන් කළ ඉල්ලීම අනුව අදියර දෙකක් යටතේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ කර දීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ආණ්ඩුවක වගකීම වන්නේ රට සංවර්ධනය කිරීම බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙය සටන් පාඨ කියමින් කාලය ගත කිරීමට හැකි යුගයක් නොවන බවද අවධාරණය කළේය.
රට දියුණු කිරීමට නම් අලුත් මාර්ගයක ගමන් කළයුතු බවත් ඒ සඳහා අවශ්‍ය ආර්ථික පරිවර්තනය ඇති කරමින් රට සීග්‍ර දියුණුවක් කරා ගෙන යාමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙල සමඟ දේශපාලනයෙන් තොරව සියලුදෙනා එක්විය යුතු බව ද සඳහන් කළේය.
මාදම්පේ ආර්ථික කලාපය නැවත ආරම්භ කිරීමටත්, සංචාරක, ආර්ථික සහ තොරතුරු තාක්ෂණ නගරයක් ලෙස එම ප්‍රදේශය සංවර්ධනය කිරීමටත් රජය සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය :
දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද රටේ දරුවන් වෙනුවෙන් නවීන අධ්‍යාපනයක් ලබා දීමට රජය කැපවී කටයුතු කර තිබෙනවා. අතීතයේ අධ්‍යාපන ක්‍රම පිළිබඳ දැන් කථා කර ඵලක් නැහැ. අප අනාගතය දෙස බලමින් දකුණු ආසියාවේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් මේ රට තුළ ඇති කළයුතුයි. අපේ රටේ ශක්තිය අධ්‍යාපනයයි. සෑම විටම අපේ රට තුළ හොඳ අධ්‍යාපන ක්‍රමයක් පැවතුණා. පසුගිය කාලය තුළ අධ්‍යාපනය වෙනුවෙන් අප හැකි අයුරින් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා.
මම භාරගනු ලැබුවේ බංකොළොත් රටක්. ඒ වන විට දේශපාලන පක්ෂ කැඩී ගොස් තිබුණා. ඒ නිසා අප කණ්ඩායමක් එක් වී ආණ්ඩුවක් නිර්මාණය කර රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවා. දැන් අප අනාගතය පිළිබඳව සිතිය යුතුයි. දැන් අපි ආර්ථික ප්‍රශ්න ක්‍රමයෙන් විසඳා ගනිමින් ඉදිරියට පැමිණෙමින් සිටිනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ සිදු කළ ප්‍රකාශය අනුව අපට සාර්ථක ලෙස ඊළග කාර්තුවේ මුදල් ලැබී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට නිල වශයෙන් ණය ලබා දී තිබෙන රටවල කමිටුව ලබන සතියේ රැස් වෙනවා. එම රැස්වීමෙන් පසු අපට බංකොළොත්භාවෙයන් ඉවත්වීමට හැකියාව ලැබෙනවා. වසර දෙකක් ගතවීමට පෙර මෙම තත්ත්වය උදාකර ගැනීමට හැකිවීම පිළිබඳ මම ආඩම්බර වෙනවා.
අපට එයින් සෑහීමකට පත් විය නොහැකියි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවත් සමඟ ඉදිරියට යා යුතුව තිබෙනවා.
තව වසර දෙකකින් විරැකියාව 5%ක් දක්වා අඩු කරගත යුතුයි. ඒ වගේම අපේ ආදායම් ද වැඩිකර යුතුයි. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට වැඩසටහනක් ඉදිරිපත් කර තිබෙනවා. මේ රට දියුණු කළ හැකිවන්නේ එම වැඩසටහන ඉදිරියට ගෙන ගියහොත් පමණයි. අපි අලුතින් සිතිය යුතුයි. එහිදී අලුත් තාක්ෂණය අධ්‍යාපනයට ඇතුළත් කිරීමට අප කටයුතු කර තිබෙනවා.
ආණ්ඩුවක වගකීම වන්නේ රට සංවර්ධනය කිරීමයි. සටන් පාඨ කියමින් කාලය ගත කළ යුගය දැන් අවසන්. අපට නැවතත් එම යුගයකට යන්න බැහැ.
මාදම්පේ ආර්ථික කලාපය නැවත ආරම්භ කිරීමට අප තීරණය කර තිබෙනවා. ඒ වගේම වෙළඳ කලාපයක් සහ ආයෝජන කලාපයක් ආරම්භ කිරීමට බිංගිරිය ප්‍රදේශයේ අක්කර දාහක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම ඉරණවිල සංචාරක කලාපයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එවිට සංචාරක ආර්ථිකය සහ කර්මාන්ත ආර්ථිකය මේ ප්‍රදේශයට ලැබෙනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ලැබුවන්ට අවස්ථාව ලබාදීම වෙනුවෙන් තොරතුරු තාක්ෂණ නගරයක් මාදම්පේ ප්‍රදේශයේ ඇති කිරීමට ද බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම රජය ආරම්භ කර ඇති කෘෂි නවීකරණ වැඩපිළිවෙළ අනුව ගම්මානවලට නවීන කෘෂිකර්මාන්තය හදුන්වා දෙනවා වගේම එම කටයුතු කරගෙන යාමට තරුණ තරුණියන්ට අවශ්‍ය මුදල් ලබා දෙනවා. ඒ සමග ධීවර කර්මාන්තය ද දියුණු කළ විට මේ ප්‍රදේශයේ නව ආර්ථිකයක් ඇති කළ හැකියි. අප 1977 දී ගම්පහ ප්‍රදේශයට අලුත් ආර්ථිකයක් ලබා දුන්නා. දැන් එම වැඩසටහන මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව හලාවත සිට කුලියාපිටිය දක්වා විශාල දියුණුවක් ඇති වෙනවා.
රට දියුණු කිරීමට නම් අප අලුත් මාර්ගයක ගමන් කළයුතුයි. ඒ සඳහා අවශ්‍ය ආර්ථික පරිවර්තනය ඇති කර, රට තුළ සීග්‍ර දියුණුවක් ඇති කිරීම වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතිය ගෙනවිත් තිබෙනවා. ඒ නිසා දේශපාලනයෙන් තොරව මෙය සම්මත කර ගැනීම සඳහා සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරනවා. මේ කාලයේ සාම්ප්‍රදායික දේශපාලනය කරන්න බැහැ. කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවත් සියලුදෙනා එකතු වී රටේ සහ දරු පරපුරේ අනාගතය වෙනුවෙන් මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට වැඩ කළයුතුයි.

හමුදා කටයුතු සඳහා යොදාගෙන ඇති ලාංකිකයින් ගෙන්වා ගන්න රුසියාවේදී විශේෂ සාකච්ඡාවක් !
රුසියාවේ හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ශ්‍රී ලාංකික හිටපු හමුදා සාමාජිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ප්‍රමුඛ දූත පිරිසක් රුසියාවේ සංචාරය කිරීමට නියමිත බවත් ඊට අදාළ සාකච්ඡා ජූනි මස 26 සහ 27 යන දිනවල පැවැත්වෙන බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පැවසීය.
බ්‍රික්ස් සංවිධානයට ශ්‍රී ලංකාව සම්බන්ධ විය යුතු ද යන්න පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට නිලධාරීන් පිරිසක් පත්කර තිබෙන අතර ඔවුන්ගේ වාර්තාව මෙම මස ලැබීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පදවි ප්‍රාප්තියට සහභාගී වුණා. ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇති බවට අප බලාපොරොත්තු වනවා. අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය නුදුරේදීම සිදුවනු ඇති බවට විශ්වාස කරනවා.
ඒ වගේම අප රජයට මෙම කාලය තුළ විශාල ජයග්‍රහණයන් ප්‍රමාණයක් අත්කර ගැනීමට හැකි වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළ දෙවන සමාලෝචනය සාර්ථක නිම කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රසාදය පල කෙරුණා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ තුන්වන වාරිකය නිකුත් කෙරුණා. ඉන් අදහස් කෙරෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වු කරුණු සම්බන්ධයෙන් අප විසින් ඉතා නිවැරදිව කටයුතු කර තිබෙන බවයි.
එමෙන්ම විදේශිය ණය කළමනාකරණය කිරීම සහ ප්‍රතිව්‍යුහගත කරගැනීම අවසන් අදියරට පැමිණ තිබෙනවා. විදේශිය රටවල් සමඟ ණය කළමනාකරණය පිළිබඳව අවබෝධතා ගිවිසුම අත්සන් කරගත හැකි බව අප විශ්වාස කරනවා. විදේශීය බැඳුම්කර හිමියන් සමඟ සිදුකළ සාකච්ඡා ඉතාමත් ධනාත්මකයි. එය සාර්ථක වුවහොත් ලංකාව නැවත ණය නොගෙවන තත්ත්වයෙන් මිදී ණය ගෙවන තත්ත්වයේ රටක් බවට පත්වීමට හැකි වනවා.
ඒ වගේම ජපාන විදේශ අමාත්‍යවරියගේ ඉල්ලීමක් මත මා ලබන මාසයේ දී ජපානයේ සංචාරයක නිරත වනවා. ද්වී පාර්ශ්වීය නිල ණය හිමියන් සමඟ එකඟතාවයකට පැමිණි පසු ජපානයේ සහාය ඇතිව මෙරට ආරම්භ කර තිබූ නමුත් මේ වන විට වැඩ නවත්වා තිබෙන සංවර්ධන ව්‍යාපෘති සියල්ලම යළි ආරම්භ කරන බව ජපානය අපට පොරොන්දු වී තිබෙනවා.
රුසියාවේ පැවති බ්‍රික්ස් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් පසුගියදා මම සහභාගී වුණා. බ්‍රික්ස් සංවිධානයට ශ්‍රී ලංකාව සම්බන්ධ විය යුතු ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ සම්බන්ධව සළකා බැලීමට විදේශ අමාත්‍යංශය, මහා භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව නියෝජනය වන පරිදි නිලධාරීන් පිරිසක් පත්කර තිබෙනවා. එහි වාර්තාව මෙම මස ලැබීමෙන් පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.
ඒ වගේම රුසියානු හමුදාවට බඳවාගෙන සිටින හිටපු හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් අප විසින් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් මහතා සමඟ වැඩිදුරටත් සාකච්ඡා කළා. එම ගැටළුව විසදීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු පිරිසක් රුසියාවේ සංචාරය කිරීමට නියමිතයි. ඊට අදාළ සාකච්ඡා ජූනි මස 26 සහ 27 වනදා රුසියාවේ දී පැවැත්වෙනවා. මේ අතර මියන්මාරයේ සිරවී සිටින ශ්‍රි ලාංකිකයන් බේරා ගැනීම සඳහා ද මේ දිනවල සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

දකුණේ කවුරු විරුද්ධ වුණත් 13 දෙනවා - සජිත්
දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දකුණේ කොතරම් විරෝධතා ක්‍රියාත්මක වුවත් තමන් එය ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
තමා මෙම ප්‍රකාශය කරන්නේ මැතිවරණය ඉලක්ක කරනු නොව තම ප්‍රතිපත්තිය මත පිහිටා බවද ඔහු සඳහන් කර ඇත.
විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ යාපනයේ ප්‍රදේශයේදී පැවති සාකච්ඡාවකදීය.
වෙනත් අපේක්ෂකයන්ද දහතුන්වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන බව පැවසුවද ජනතාව විශ්වාස කරන්නේ තමන් කියන දේ පමණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජනාධිපතිවරණය පවත්වන දවස මෙන්න !
එළැඹෙන ජනාධිපතිවරණය ඔක්තෝබර් මස 5 වන දින පැවැත්වෙන බව සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
අද (14) ගාල්ලේ දී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
එම ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන බව මෙන්ම ඔහුව ජයග්‍රහණය කරවා පෙන්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කරන්න බැරි බොහෝ දේවල් මේ වනවිට ලංකාව තුළ සිදුකර ඇති බවත්, ඒ පිළිබඳව බුද්ධිමත්ව සිතා ජනාධිපතිවරණයේ දී ජනතාව කටයුතු කරනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව ජනපති ප්‍රධානත්වයෙන් දියත් කෙරේ !
ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව (Public Learn Education Platform) www.publiclearn.lk නිල වශයෙන් එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
“Public Learn” යනු ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල වලින් නොමිලේ පාඨමාලා හැදෑරීම සඳහා පරිශීලකයින් යොමු කරවනු ලබන වේදිකාවකි.
මෙම වේදිකාව රීජන්ට් ග්ලෝබල් ආයතනය (Regent Global) විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර එය ශ්‍රී ලංකාව සඳහා හඳුන්වා දීමට එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව විසින් අරමුදල් සපයා තිබේ.
ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව (Public Learn Education Platform) www.publiclearn.lk නිල වශයෙන් දියත් කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ශ්‍රී ලංකාවද ඩිජිටල්කරණය සමඟ වේගයෙන් ඉදිරියට යා යුතු බවයි.
මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟ බිහි වූ මෙරට අධ්‍යාපනය අදියර 03ක් යටතේ ක්‍රමිකව විකාශය වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ වන විට ඩිජිටල්කරණය සමග විවෘත වේදිකාවක දැනුම බෙදා හදා ගැනීම දක්වා එය ඉදිරියට පැමිණ ඇති බවද සඳහන් කළේය.
ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මෙම ප්‍රතිලාභය හිමි කර දීම වෙනුවෙන් රීජන්ට් ග්ලෝබල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සෙල්වා පන්කජ් ඇතුළු පිරිස වෙත සිය ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය :
ආචාර්ය සෙල්වා පන්කජ් මහතා ශ්‍රී ලංකාවට ලබා දී ඇති මෙම ත්‍යාගය වෙනුවෙන් පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා. අප අද ජීවත් වන්නේ දැනුමෙන් පිරුණු සමාජයකයි. එම සමාජය තුළ තරගකාරීව ඉදිරියට යා යුතුව තිබෙනවා. අප අධ්‍යාපනය අතින් ඉදිරියෙන් සිටින රටක් බැවින් එය අසීරු කාර්යයක් නොවන බව මම විශ්වාස කරනවා.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අඩු පාඩු කඩිනමින් නිවැරදි කර ගැනීමට අප මේ වන විට කටයුතු කරමින් සිටින බව කිවයුතුයි. මෙම නව වැඩසටහන එම වැඩපිළිවෙළට මනා දායකත්වයක් සපයනු ඇතියි. ශ්‍රීමත් ගැවින් මහතා මෙවන් වැඩපිළිවෙලක ඇති වැදගත්කම සහ එහි අරමුණු පිළිබඳ හොඳින් විස්තර කළා.කෙසේ නමුත්, නව ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් අපේ ආකල්පමය වෙනසක් අවශ්‍යයි. නිසැකවම අපට එය කළ හැකි දෙයක් බව කිවයුතුයි.
පන්ති කාමර නොමැතිව සහ බිත්ති නොමැතිව පාසලෙන් පිටත වැඩි වැඩියෙන් ඉගෙනීමේ අවස්ථා සඳහා යොමු වීමට ඉදිරියේදී අපට සිදු වෙනවා. අද මේ ආරම්භ වන්නේ එම වැඩපිළිවෙළයි. පන්ති කාමර තුළ පවතින අත්දැකීම් සහිත දක්ෂ ගුරුවරුන්ගේ හිඟය පිළිබඳ අභියෝගය ද ජය ගැනීමටද මෙය අවස්ථාවක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.
එසේම මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත ඉදිරියට ගෙන යාමේ මෙන්ම රටේ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීමේ ගමන් මගේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇතියි.
අපේ රටේ අධ්‍යාපනයේ විකාශය අදියර 03ක් යටතේ සිදු වී තිබෙනවා. පළමුව මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම රැගෙන මෙරටට පැමිණිමත් සමඟ පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ කෙරුණා. සෙනරත් පරණවිතාන මහතා පැවසුවේ රහත් වීමට අසමත් වූවන් ඇළ මාර්ග, දාගැබ්, සීගිරිය සහ අප සතු අනෙකුත් ගොඩනැගිලි මෙන්ම සෞඛ්‍ය පද්ධතිය සැලසුම් කිරීමට කාලය ගත කළ බවයි.
දෙවනුව බ්‍රිතාන්‍යයන් පැමිණ රජයේ පාසල් පද්ධතිය ආරම්භ කළා. එය දැන් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒවා අප මහ විද්‍යාල, මධ්‍ය මහා විද්‍යාල යනාදී වශයෙන් හඳුන්වනවා. ඉන් පසුව අප කීර්තිමත් සහ ජාතික පාසල් සංකල්පය ගෙන ඒමෙන් පසුව සමස්ත පාසල් පද්ධතිය අද පවතින තත්ත්වයට වැඩි දියුණු වී තිබෙනවා.
දැන් අප අධ්‍යාපනයේ තුන්වන අදියරට පැමිණ තිබෙනවා. ඒ තමයි අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කර විවෘත වේදිකාවක දැනුම භාවිතා කිරීම. අප ඩිජිටල් ආර්ථිකයක් පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. එහිදී නවීන දැනුම භාවිතා කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට හැකි වන්නේ දැනුම භාවිතා කිරීම තුළින් පමණයි.
රීජන්ට් ග්ලෝබල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සෙල්වා පන්කජ් :
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නව ආර්ථික පරිවර්තනයක් ඇති කිරීමට ගෙන යන වැඩපිළිවෙළ වෙනුවෙන් සහාය ලබාදීමට මෙහි පැමිණීමට ලැබීම පිළිබඳ සතුටු වෙනවා. හිටපු අග්‍රමාත්‍යවරයෙකු ලෙස මෙන්ම වත්මන් ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලාංකීක ජනතාවට සේවය කිරීමට තම ජීවිතයෙන් වැඩි කාලයක් කැප කළ ජනාධිපතිතුමා අපට ආදර්ශයක් බව කිවයුතුයි.
2022 දී වසරේදී වාර්තා වූ 70%ක උද්ධමනයේ සිට අප සැවොම දුටු කැළඹිලි සහිත තත්ත්වය හරහා ශ්‍රී ලංකාව සාර්ථකව ඉදිරියට මෙහෙයවීමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට සුළු වශයෙන් හෝ දායක වීමට ලැබීම ගැන අප ආඩම්බර වෙනවා. මා සහ මගේ බිරිඳගේ ජීවිතයේ මුල් කාලය ගත කළේ ශ්‍රී ලංකාවේ බවද මෙහිදී සිහිපත් කළ යුතුයි.සිවිල් යුද්ධයට පෙර අපට වයස අවුරුදු 13 සහ 19 දී එක්සත් රාජධානියට බලා යාමට අපට සිදු වුණා. නමුත් අපි අපේ මාතෘභූමිය කිසිදා අමතක කළේ නැහැ. ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධියට දායක වීමට අපට සැමවිටම අවශ්‍ය වුණා. ඉතින් ජනාධිපතිතුමා අද අපට ඒ සඳහා අවස්ථාවක් උදා කර දී තිබෙනවා.
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙම අවස්ථාවට එක් වූ එක්සත් රාජධානියේ හිටපු අධ්‍යාපන ලේකම් ශ්‍රීමත් ගැවින් විලියම්සන් (Sir Gravin Williamson) :
පොදු ඉගෙනීමේ සංවර්ධනය සෑම වයස් කාණ්ඩයකම ප්‍රජාවට අවශ්‍ය රැකියා සඳහා අවශ්‍ය කුසලතා ගොඩනඟා ගැනීමට, ඔවුන්ට වැඩි මුදලක් උපයා ගැනීමට මෙන්ම ගෝලීය වශයෙන් පුළුල් ලෙස සමාජයට වඩාත් ඵලදායී දායකත්වයක් ලබා දීමට අවශ්‍ය අධ්‍යාපනය වැඩිදියුණු කර ගැනීමට මහගු අවස්ථාවක් සපයනවා.
ජන ජීවිතයේ පරිවර්තනයක් ඇති කරමින් අනාගත දියුණු ශ්‍රී ලංකාව ගොඩනැඟීම සඳහා අවශ්‍ය වේදිකාව අද ශ්‍රී ලාංකික ජනතාවට මෙමගින් සපයා දී තිබෙනවා.
ඒ අනුව ගෝලීය වේදිකාවේ තරග කිරීමට අවශ්‍ය දැනුම් සම්භාරය ඔබ සතුව ඇති බවට ඔබ වග බලා ගත යුතුයි.
මෙම අවස්ථාවට එක්වීමට අවස්ථාවක් ලබාදීම පිළිබඳ මම සියලුදෙනාට ස්තූතිවන්ත වන අතර ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත නව පරිවර්තනයක් කරා ගෙන යාමට මෙම වැඩපිළිවෙළ ඉවහල් වේවායි කියා ප්‍රාර්ථනා කරනවා.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම, ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් (Andrew Patrick), නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොන්ඩමන්, හිටපු අමාත්‍ය ජොන් අමරතුංග, ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි, ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ තීක්ෂණ අබේවර්ධන, තර්ශනී පංකජ් යන මහත්ම මහත්මීන් ඇතුළු විදෙස් රටවල තානාපතිවරු මහ කොමසාරිස්වරුන් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කෙහෙළිය ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
ආන්දෝලනයකට තුඩු දී ඇති ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 07 දෙනෙකු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ජුනි 28 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
Page 74 of 474