පුවත්

සජබ රණවිරු සම්මේලනයට ෆොන්සේකා නෑ !
ඔන්න ජවිපෙ නායක අනුර කරන එකම කරන්න අරගෙන තියෙන , සජබ නායක සජිත් පහුගියදා සජබ රණවිරු සම්මේලනයකුත් පැවැත්වූවා. හරියටම කිව්වොත්, ජනවාරි 20 වෙනිදා , කළුතර පැනරාමා උත්සව ශාලාවේදී තමයි වැඩේ තිබුනේ.
ඔය රැස්වීමට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිළධාරීන් සැලකිය යුතු පිරිසක් ඇවිත් ඉඳලා තිබුනා. කළුතර රැස්වීම සංවිධානය කරලා තිබුණේ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් නායක අජිත් පී පෙරේරා..
නමුත් මෙම රැස්වීමේදී සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පෙනෙන්නට හිටපු නැති එක සජබේ සමහරුන්ටත් ප්‍රශ්නයක් වෙලා.
සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ නායකයා ළඟට සිටින ජ්‍යෙෂ්ඨතම තනතුර දරන්නා .. ඒ විතරක් නෙමෙයි, 30 වසරක යුද්ධය ජයග්‍රාහී ව නිමා කරන්නට නායකත්වය ලබා දුන් යුද හමුදා සෙන්පතියා .. එහෙව් එකේ රණවිරු සම්මේලනයට ෆොන්සේකා නෑ ..
මෙම රණවිරු බලවේගය හදලා තියෙන්නේ , සරත් ෆොන්සේකා යටතේ නෙමෙයි.. සජබ මහ ලේකම්වරයා යටතේ කියලයි ආරංචි.
යුධ සෙන්පතියෙකු ලෙස මහජනයා අතරෙ ෆොන්සේකාට ඇති ජන ප්‍රසාදය සජබ නායකයාට ප්‍රශ්නයක් වෙලා කියලයි සමහරු කියන්නේ.
කලක පටන් ෆොන්සේකා රැස්වීම් තියන්නේ වෙනම... සජිත්ගේ රැස්වීම්වලට ෆොන්සේකා එන්නේ නෑ . කොටින්ම ෆොන්සේකා, සජිත්ගේ නායකත්වය පිළිගන්නේ නැ..
ඒ අස්සේ ෆොන්සේකාත් ජනාධිපති අපේක්ෂකයෙක් විදියට එන්න යනවා කියලා කතාවකුත් යනවා.
- දේශපාලන වාර්තාකරු

රාජ්‍ය සේවක උපහාරය මාධ්‍යවේදීන්ටත් දෙන්න : ජනපති උපදෙස් !
මොබිටෙල් ආයතනය විසින් රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් වෙත ලබා දෙන උපහාර පැකේජය නව සහන සමගින් නැවත ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත උපදෙස් දී තිබේ.
ඒ අනුව සියලු දෙනාට මෙම ප්‍රතිලාභය ලබා දෙන ලෙසත්, එම සහන පැකේජය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සියලුම මාධ්‍යවේදීන් වෙත ද ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත වැඩිදුරටත් උපදෙස් දී ඇත.

සියලු මෝටර් රථ හිමියන්ට විශේෂ දැනුම්දීමක් !
තමන් භාවිතා කරන වාහනය තම නමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති නම් එය කඩිනමින් තම නමට ලියාපදිංචි කරගැනීමට කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.
විකුණුම්කරුවන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත සිය වාහනය විකුණා ඇති බවට දැනුම්දී ඇති රථවාහන නැවත ලියාපදිංචි කිරීමට යාමේදී මිලදීගෙන දින 14ක කාලය ඉකුත් වූ රථවාහන සඳහා දඩ මුදලක් අයකෙරෙන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් අනුරුද්ධ වීරසිංහ පවසයි.
දැනට පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇති CCTV කැමරා මඟින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය හමුවේ එලෙස තමන්ගේ නමට ලියාපදිංචි නොකර ඇති රථවාහනවල වත්මන් අයිතිකරුවන් මෙන්ම පැරණි අයිතිකරුවන් ද අපහසුතාවයට පත්විය හැකි බවද දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාව වෙත දැනුම් දී සිටින්නේ තමන් මිලදීගෙන ඇති වාහන තමන්ගේ නමට ලියාපදිංචිය සිදුකරගන්නා ලෙසටය.

සජිත්ගේ අවුල රාජිත පෙන්වයි : මහින්දානන්දගේ යෝජනාවත් රනිල් !
රනිල් ජනාධිපතිවරණයට එන්නේ නෑ ,, නෑ ... කිව්වට මොකද , රනිල්ගේ කැම්පේන් එකත් ඔන්න හීනියට පටන් අරන්.
ජනධිපතිවරනේදී රනිල් ජනාධිපති කරන්න ඕන කියලා, ඇමති ප්‍රසන්න රණතුංග, රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු ලාගෙන් පටන් ගත්තු පබ්ලිසිටි කැම්පේන් එකට අලුතින්ම එකතුවෙලා ඉන්නේ, පොහොට්ටු පක්ෂයේ නායකයෙක් වගේම ප්‍රධාන කතිකයෙක් වෙච්ච, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ...
පොහොට්ටුවේ බහුතරයකගේ මතය වන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාටම සහාය දීම බව මහින්දානන්ද අලුත්ගමගේ කියනවා.
දැනට තම පක්ෂය ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු නම්කර නොමැති වුනත්, රනිල්ට සහය දෙන්න පොහොට්ටුවට සිද්ධවෙනවා කියලයි මහින්දානන්ද කියන්නේ.
70%තිබු උද්ධමනය වත්මන් ජනාධිපතිවරයා යටතේ 5% ක් දක්වා අඩුවෙලා කියලත් මන්ත්‍රීවරයා කියනවා.
වත්මන් ජනාධිපතිවරයාගෙන් ඇමතිකමක් ඉල්ලීමට නොගියේ තමන් පමණක් බවත් ජනතාවට සේවය කිරීම සඳහා තනතුරු අවශ්‍ය නොවන බවත් අලුත්ගමගේ කියලා තියනවා.
පොහොට්ටුව පැත්තෙන් විතරක් නෙමෙයි , විපක්ෂය ඇතුලේ ඉන්න ට්‍රෝජන් අශ්වයෝත් ඔන්න දැන් දැන් ගේමට බැහැලා.
රනිල් පරද්දනවා නම් රනිල් පරද්දන්න ගේන වැඩපිළිවෙල මීට වඩා හොඳ වෙන්න ඕන කියලා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න කියනවා.
රාජිත සේනාරත්න ඊයේ (22) මැදියම් රෑ එහෙව් කතාවක් කිව්වේ රූපවාහිනි දේශපාලන සංවාද වැඩසටහනකට එක්වෙමින්
එහිදී දොස්තර රාජිත සේනාරත්න මෙහෙමත් කියල තිබුනා.
'' තරුණයන්ගෙ කොටසක් ඉන්නවා දේශපාලනය අවශ්‍ය නැහැ. ඒ අය ඉන්නෙ වෙනම ලෝකයක. ඒ ඝනය එන්න එන්න වැඩිවෙනවා ලංකාවේ. ලිබරල් විදියට හිතන තව කොටසක් ඉන්නවා. සමාජවාදය ධනවාදය මොකුත් ඒ අයට නෑ. ඒ අතරත් නරක සිතිවිල තියෙන අයත් ඉන්නවා. ඒ අය ජේ.වී.පී එකට දෙනවා කියලා මම හිතන්නෙ නැහැ. තවත් කොටසක් ඉන්නවා විරැකියාවෙන් පෙළෙනවා. කරන රැකියාවට වේතනයක් නෑ කියන කොටසක් ඉන්නවා. ජවිපෙට ආකර්ශනය වෙන්නේ අන්න ඒ අය. රාජපක්ෂලා ගියා, එයා යන කොට වික්‍රමසිංහ ගෙනවා. ඒ ඔක්කොටම ගහන්න අලුත් කෙනෙක් ගේන්න ඕන කියනවා. ගෝඨාභය ගෙනාවෙත් එහෙමයි. මේ එන අයගෙ වැඩපිළිවෙල මොකද්ද කියලා හිතන්නෙ නැහැ. අරයට ගහන්න මෙයා ගේනවා කියනවා.
එන සැරේ මැතිවරණය තනිකර ආර්ථිකය. දරුවට කන්න දෙන්නෙ කොහොමද? ඒ දරුවො ආස දේවල් අරන් දෙන්නෙ කොහොමද කියන තැන තියෙන්නෙ. දරුවන්ට මේ ආර්ථික අර්බුධය තේරෙන්නෙ නැහැ. දෙමාපියන්ට දරුවන්ට දේවල් දෙන්න ඕන. ඒක නැතිවෙනකොට කම්පාවක් වෛරයක් ඇතිවෙනවා. රට තියෙන්නෙ මේ වගේ ව්‍යාකූල තත්ත්වයක.
මොනව උනත් අපේ රටේ ගත්ත තීරණ තියෙනවා. අයි.එම්.එෆ් ගිහිල්ලා මෙච්චර ඉක්මනට බංකොලොත්භාවයෙන් අපි මිදෙමින් ඉන්නවා. නමුත් අපට කලින් බංකොලොත් වෙච්ච රටවල් ගොඩ ඇවිල්ලා නැහැ. අපි ගේනවා නම් මීට වඩා හොඳ වැඩපිළිවෙලක් තමයි ගේන්න ඕන. රනිල් වික්‍රමසිංහ පරද්දනවා නම් අපට මීට වඩා හොඳ වැඩපිලිවෙලක් තියෙන්න ඕන.'' .
රාජිත ඔය නොකිය කියන්නේ රනිල් පරද්දන්න , සජිත්ලට හරිහමන් වැඩපිළිවෙලක් නෑ කියන එක.
කොහොමටත් සජිත්ගේ ආර්ථික වැඩපිළිවෙල මේ වෙනකොට අවිනිශ්චිතයි. මොකද කාලයක් තිස්සේ හර්ෂ, එරාන්, කබීර් කරේ තියලා ඇදලා දුන්න බ්ලූ ප්‍රින්ට් එක සජිත් ප්‍රසිධියේ පැත්තකට විසිකරලා ඉවරයි. ඒ වෙනුවට සජබ ආර්ථික ප්‍රතිපත්තිය නැවත ලියමින් ඉන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකයා වුනු, නාලක ගොඩහේවා බව ප්‍රසිද්ධ රහසක්. ඒ නිසා ඉක්මනින් සජබ ආර්ථික වැඩපිළිවෙලක් එලියට නොදැම්මොත්, රාජිතලා කියන කතාව සජබ ඇතුලේ තවත් පිරිසක් කියන්න ඉඩ තියෙනවා.
- දේශපාලන වාර්තාකරු

GMOA ව වර්ජනය අත්හිටුවයි !
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (24) පෙරවරුවේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව එම සංගමය පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස වැටුප සමග ගෙවීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කළ ලිපිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිඛිත දැනුම්දීමත් සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
මේ අතර ජනවාරි මාසය සඳහා සාමාන්‍ය වැටුප් ලේඛනය මගින් DAT දීමනාව නොලැබෙන වෛද්‍යවරුන් සඳහා අදාළ දීමනාව විශේෂ වවුචරයක් මගින් ගෙවන ලෙස ආයතන ප්‍රධානීන් වෙත නියෝග කර ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
එසේම ඔවුන් මුදල් අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් ජනාධිපතිවරයාගේ උපදෙස් වලටත් ඉහළින් ගොස් කටයුතු කිරීමට යාම ගැනද සිය අප්‍රසාදය පළකර සිටියේය.

ඔන්ලයින් පනත් කෙටුම්පත විවාදයට ගැනීමටත් ජන්දයක් !
සමාජයේ දැඩි අවධානයක් යොමුව ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද ( 23 ) පාර්ලිමේන්තුවේදී ආරම්භ වුවත් ඊට පෙර සභාවේ කටයුතු අත්හිටුවා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කතානායකවරයාට සිදුවිය.
ඒ අදාළ පනත් කෙටුම්පත අද දින විවාදයට ගැනීම පිළිබඳ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමග වන අතර එහිදී අද දිනයේ පනත් කෙටුම්පත විවාදයට ගන්නේ ද ? නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට ඡන්ද විමසීමක්ද පැවැත්විණි.
එහිදී අද දින විවාදයට පක්ෂව ඡන්ද 83ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 50ක් පමණි.
ඒ අනුව පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ විය.
රජය විසින් කෙටුම්පත් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මඟින් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ක්‍රියාකරකම් කිහිපයක් වැරදි ලෙස අර්ථ ගන්වා ඇත.
ඒ අනුව,
ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම,
අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම
අසත්‍ය ප්‍රකාශ මඟින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම
අසත්‍ය ප්‍රකාශ මඟින් ආගමික රැස්වීමකට බාධා කිරීම
ආගමික හැඟීම්වලට රිඳවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම
ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම
මාර්ගගත ක්‍රම හරහා අසත්‍ය සන්නිවේදනය කිරීමෙන් වංචා කිරීම
අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම
සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මඟින් චේතනාන්විතවම නින්දා කිරීම
කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදුකිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම
හිරිහැර සිදුකිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම
ළමා අපයෝජන
වරදක් සිදු කිරීම සඳහා 'බොට්' සෑදීම හෝ අවභාවිතා කිරීම
කොමිෂන් සභාවේ විධානයකට අනුකූලව කටයුතු කිරීම පැහැර හැරීම
මෙම පනත යටතේ වැරදි ලෙස නම් කර තිබේ.

ඔන්ලයින් පනත් කෙටුම්පතට ආංශීක අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය !
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ සංශෝධනයන්ට යටත්ව මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය ලැබී ඇත.
මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මනිත්‍රී ලලිත් වර්ණකුමාර ගේ සභාපතිත්වයෙන් අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර එහිදී මෙම අනුමැතිය හිමිවී තිබේ.
කෙසේ වුවත් විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් වූ ගයන්ත කරුණාතිලක, ඉරාන් වික්‍රමරත්න සහ චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරුන් මෙම පනත් කෙටුම්පත පිළිබඳ අධ්‍යයනය කර සංශෝධන සිදු කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බවත් මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය කාරුණු සංශෝධන විය යුතු බවත් පෙන්වාදී ඇත.
මේ අනුව මෙම මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුවත් කිරීම කරන බව කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.
මෙම රැස්වීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ රාජ්‍ය නොවන සංවිධානවල ජාතික ලේකම් කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීහු සම්බන්ධව සිටියහ.

ටෙලිෆෝනයට පැනපු දෙන්නෙකුට විරෝධය !
ළඟදී ටැලිෆෝන් පාටියට එකතු වෙච්ච කළින් හිටපු ලොකු තැනගෙ න්‍යායාචාර්ය මට්ටමේ හිටපු වියත් මගක් අනුව ක්‍රියාකරපු දෙන්නෙක් ඉන්නවලු...
ඒත් ඒ දෙන්න ටැලිෆෝන් පාටියට එක්කර ගත්තට පස්සේ ක්‍රියාකරන පිළිවෙළ ගැන ඒ පාටියෙම ජ්‍යෙෂ්ඨ කස්ටියගෙ අසතුට ලොකු ලොක්කන්ට දන්වල කියල ආරංචියි...
ඊටත් වඩා මේ දෙන්න ගැන දැඩි විරෝධයක් දක්වල තිබෙන්නෙ ටැලිෆෝන් පාටියට සම්බන්ධ වෙලා ඉන්න සුළු ජාතික පක්ෂ දෙකක නායකයොලු...
මේ ගොල්ලත් එක්ක අපි කොහොමද රෙදි ඇඳගෙන එක වේදිකාවක ඉන්නෙ කියලලු එයාල ටැලිෆෝන් පාටියෙ ලොක්කන්ගෙන් අහල තියෙන්නෙ.
කොරෝනා කාලෙ එයාල ආණ්ඩුවෙ ඉන්ඳෙද්දි වඳ කොත්තු, වඳ බෙහෙත් විතරක් නෙවෙයි තමන්ගෙ උදවියගෙ අවසාන කටයුතු කරගන්නවත් ඉඩ නොදුන්න කියලලු එයාල මේ දෙන්නට දැඩි විරෝධය පළ කරන්නෙ... හැබැයි මේ විරෝධය ඒ වියත්තු දෙන්නට මිසක් පොහොට්ටුවෙන් ටැලිෆෝන් පාටියට සැට්වෙච්ච අනිත් අයට නැතිලු...
දේශය ගොසිප්

ඩොලරය තවත් පහළට !
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 315.50 ක් ලෙස දක්වා ඇත.
එහි රුපියලේ විකුණුම් මිල දක්වා ඇත්තේ රුපියල් 325.37 ක් වශයෙනි.
එසේම එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද දිනයේ දී රු. 320.52 ක් ලෙසින් වාර්තා වන අතර එය 2023 අගෝස්තු 11 දිනෙන් පසු වාර්තා වී ඇති අවම අගය වෙයි.

සුපිරි ක්‍රීඩිකා චමරිට ICCයෙන් ඉහළ තැනක් !
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරේ විස්සයි විස්ස පිටියේ හොඳම දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඇතුළත් කණ්ඩායම නම්කර තිබේ.
එහි වන විශේෂත්වය වන්නේ එම කණ්ඩායමේ නායිකාව ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වන සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්ත්තු නම්කර තිබීමය.
ICC ය විසින් නම් කළ පහත දැක්වෙයි.

සජබ IMF ගිවිසුම සංශෝධනය කරනවා : ජවිපෙ මීක් නෑ - මරික්කාර්
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සහ පවතින බදු ක්‍රමය ඉදිරි රජයකදී වෙනස් කරන බව සමගි ජන බලවේගය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් . එම් මරික්කාර් පැවැසීය.
මෙවැනි යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහ සමගි ජන බලවේගයට කොන්දක් තිබෙන බවත් මරික්කාර් සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ව මුණ ගැසී තිබෙන බවත් නමුත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර එම නියෝජිතයන්ව හමුවී නැති බවත් ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ කතා කළ දේවල් මාධ්‍යයට නිකුත් කර නැති බවත් මරික්කාර් මන්ත්‍රීවරයා පැවැසීය.
රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරිමට සහ යෝජනා ඉදිරිපත් කිරිමට හැකි වන්නේ දැක්මක් , සෘජු ප්‍රතිපත්තියක් , සැලැස්මක් තිබෙනවානම් පමණක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් . මරික්කාර් වැඩිදුරටත් සඳහන් කළේය.

කඩිනමින් ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කළ යුතුයි - ජනපති
ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය වඩාත් සුදුසු වන්නේ පැරිස් සමාජය සහ ලන්ඩන් සමාජය විසින් ගෝලීය ණය විසඳුම් පිළිබඳ ආධිපත්‍යය දැරූ ලෝකය සඳහා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අද වන විට, ගෝලීය ණය මෙන්ම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ණය, පැරිස් සමාජයේ සාමාජිකයින් නොවන ණය හිමියන් සහ ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොළ විසින් පාලනය කරනු ලබන බවද පෙන්වා දුන්නේය.
පවතින මූල්‍ය සම්පත්, ණය සේවාවක් ලෙස ලබා ගන්නා විට, අත්‍යාවශ්‍ය පොදු සේවා සහ මානව සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය වියදම් වෙනුවෙන් මූල්‍ය පහසුකම් සපයා ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට නොහැකි වන අතර, එය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම කෙරෙහි ද බලපාන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (21) උගන්ඩාවේ කම්පාලා නුවරදි ආරම්භ කෙරුණු “G77 සහ චීනය” කණ්ඩායමේ 3 වැනි දකුණු සමුළුව (3rd South Summit of the Group of 77 & China) අමතමිනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම සන්ධානය ලෙස, ගෝලීය දකුණේ රටවලට සිය සාමූහික ආර්ථික අවශ්‍යතා ප්‍රකාශ කිරීමට, ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ගෝලීය දකුණේ රටවල් අතර අන්තර් සහයෝගීතාවය ඇතුළුව එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ පවතින ජාත්‍යන්තර ආර්ථික ගැටළු පිළිබඳව එක්ව සාකච්ඡා කිරීම වෙනුවෙන් ඉඩකඩ සලසා දීම G77 සහ චීනය සමුළුවේදී සිදු කෙරේ.
එහි සාමාජික රටවල් 134 අතර වෙළඳාම, ආයෝජන, තිරසාර සංවර්ධනය, දේශගුණික විපර්යාස, දරිද්‍රතාවය තුරන් කිරීම සහ ඩිජිටල් ආර්ථිකය ඇතුළු ක්ෂෙත්‍රයන්හි සහයෝගීතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් 'කිසිවෙකු අත් නොහරිමු' යන තේමාව යටතේ එහි 3 වැනි දකුණු සමුළුව කැඳවා තිබිණි.
G77 සහ චීනය සමුළුවේ සභාපති ධූරය මෙතෙක් කියුබානු ජනරජය මගින් දැරූ අතර, මෙවර එය උගන්ඩා ජනරජය විසින් භාර ගනු ලැබීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමුළුව අමතා සිදු කළ සම්පූර්ණ කථාව මෙසේය,
3 වැනි දකුණේ සමුළුව සඳහා සත්කාරකත්වය දැක්වීම සහ “G77 සහ චීනය” කණ්ඩායමේ සභාපතීත්වය භාරගැනීම සම්බන්ධයෙන් උගන්ඩා ජනාධිපති යොවේරි මුසෙවේනි මහතාටත්, උගන්ඩා රජයටත් මාගේ සුභපැතුම් පිරිනමනවා.
ඒ වගේම පසුගිය වසර තුළ “G77 සහ චීනය” කණ්ඩායම වෙනුවෙන් ලබාදෙන ලද ඵලදායී සහ ස්ථීර නායකත්වය වෙනුවෙන් මම කියුබාවටද ස්තුති කිරීමට කැමතියි.
කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස්-කැනෙල් මහතා විසින් 2023 සැප්තැම්බර් මාසයේ හවානාහිදී 'වත්මන් සංවර්ධන අභියෝග' මැයෙන් කැඳවූ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට මෙන්ම හවානා ප්‍රකාශය සම්මත කර ගැනීමට සහාය වීමට ලැබීම පිළිබඳව ද මම සතුටු වෙනවා.
අප G77 සහ චීනය කණ්ඩායම පිහිටුවාගෙන වසර 60ක් සම්පුර්ණ වීම සමරන මේ මොහොතේ, බහුපාර්ශ්වික සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම කණ්ඩායම ලෙස එක්සත්ව කටයුතු කිරීම සහ අප මුහුණ දෙන බහුවිධ අභියෝග ජය ගැනීමට ගෝලීය දකුණේ ස්ථාවරය අඛණ්ඩව ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍යයි.
G77 සහ චීනය කණ්ඩායමේ ආරම්භක මූලධර්ම වන එකමුතුකම, අනුපූරකත්වය, සහයෝගීතාවය සහ තිරසාර ලෙස බාධක අවම කර ගැනීමට යන සංකල්ප අපට එකට වැඩ කළ හැකි ස්ථිර පදනමක් සකස් කරනු ලබනවා.
අද අපි මෙහි හමුවන්නේ ලෝකය අභියෝග රැසකට මුහුණ දී සිටින අවස්ථාවකයි. ගැටුම් උත්සන්න වීම, වසංගතයේ ප්‍රතිවිපාක, දේශගුණය ආශ්‍රිත ස්වාභාවික විපත් සහ ගෝලීය මූල්‍ය වෙළඳපොළ වෙනස්වීම් මෙන්ම තවත් බොහෝ හේතු නිසා මෙම තත්ත්වයන් නිරන්තරයෙන් වෙනස් වෙනවා. වර්ධනය වන මෙම තත්ත්වයන් G77 සාමාජික රටවල අවදානමට ලක්විය හැකි ආර්ථිකයන් කෙරෙහි අසමාන අන්දමින් මෙන්ම අහිතකර ලෙස ද බලපානු ලබනවා.
එසේම ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙනවා. නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය වඩාත් සුදුසු වන්නේ පැරිස් සමාජය සහ ලන්ඩන් සමාජය විසින් ගෝලීය ණය විසඳුම් ආධිපත්‍යය දැරූ ලෝකය සඳහායි. අද වන විට, ගෝලීය ණය මෙන්ම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ණය, පැරිස් සමාජයේ සාමාජිකයින් නොවන ණය හිමියන් සහ ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොලවල් විසින් පාලනය කරනු ලබනවා.
පවතින මූල්‍ය සම්පත් ණය සේවාවක් ලෙස ලබා ගන්නා විට, අත්‍යාවශ්‍ය පොදු සේවා සහ මානව සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය වියදම් වෙනුවෙන් මූල්‍ය පහසුකම් සපයා ගැනීමට අපට නොහැකි වන අතර, එය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම කෙරෙහි ද බලපානු ලබනවා.
පවතින පොදු රාමුව ඉක්මන් ණය විසඳුමක් ලබා දීමට ප්‍රමාණවත් වන්නේ නැහැ.මෙම රාමුව සහ යථාර්ථය අතර පවතින නොගැළපීම නිසා මගේ රට ද ඇතුළුව අපගේ රටවල් විශාල සංඛ්‍යාවක මෑත කාලීන රාජ්‍ය ණය අර්බුද විසඳා ගැනීම ප්‍රමාද වීමට හේතු වී තිබෙනවා.
දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කර ගැනීමට සහ ඒවාට අනුවර්තනය වීම සඳහා ගෝලීය දකුණේ රටවල අවශ්‍යතා සපුරාලීමේදී ගෝලීය මූල්‍ය සැලැස්මේ ප්‍රබල අසාර්ථකත්වයක් දක්නට ලැබෙනවා.දේශගුණික මූල්‍ය දායකත්වය පිළිබඳව විවිධ ගෝලීය සංසදවලදී සඳහන් වී ඇති නමුත් මේවා ලබා ගත හැකි මූල්‍ය පහසුකම් බවට පරිවර්තනය වී නැහැ.ෙ
ඩුබායි හී පැවති COP28 සමුළුවේදී ශ්‍රී ලංකාව විසින් නිවර්තන කලාපිය මුලපිරීම ඉදිරිපත් කළා. රාජ්‍ය මූල්‍යකරණයේ ඌනතාවය සැලකිල්ලට ගනිමින්, ජෛව විවිධත්වය මෙන්ම අපගේ සාගර සහ වන සම්පත් ඇතුළු ගෝලීය වශයෙන් පොදු සම්පත් පෝෂණය කිරීම සඳහා පුද්ගලික ආයෝජන උත්ප්‍රේරණය කිරීම එම නිවර්තන කලාපීය මුලපිරීම මගින් අපේක්ෂා කෙරෙනවා.
අද වන විට, ගෝලීය වෙළඳ අනුපිළිවෙල තුළ, ආර්ථික වර්ධනය ඇතිකිරීම සඳහා යොදාගන්නා සම්පත් ප්‍රමාණය අවම කිරීමත් සමගම පාරිසරික හානිය අවම කිරීම මෙන්ම අවදානම ඉවත් කිරීම පිළිබඳ සංකල්ප සමඟින් ආරක්ෂණවාදී ප්‍රවණතාවයෙන්ගේ නැගීමක් අපට දක්නට ලැබෙනවා.
ගෝලීය වෙළෙඳ ව්‍යුහයන් තුළ ඒකපාර්ශ්වීය පදනමක් මත එවැනි වෙනස්වීම් සිදු විය නොහැකියි. එවැනි නීති පිළිබඳ තීරණ ගත යුත්තේ බහුපාර්ශ්වික සංසදවල මිස අගනගර එකක හෝ දෙකක දී නොවෙයි.
අප ගෝලීය වෙළඳාමේ සහ ආයෝජනයේ පහසු බව මෙන්ම උපරිම කාර්යක්ෂමතාව ද සහතික කළ යුතුයි. G77 සංවිධානය මේ ක්‍රියාවලිය බ්‍රික්ස් සංවිධානයේ රටවල් සමග සම්බන්ධීකරණය කළ යුතුයි.
සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් මුහුණ දෙන තවත් අවාසියක් වන්නේ රැකියා නිර්මාණය කිරීමයි. "තාක්ෂණික වෙනස්කම් මගින් නිෂ්පාදන කුසලතා සහ ප්‍රාග්ධනය තීව්‍ර කර ඇති අතර අඩු ශ්‍රමයක් අන්තර්ග්‍රහණය කර ඇත." යන ජෝසප් ස්ටිග්ලිට්ස්ගේ වචන වලින් මෙය වඩාත් හොඳින් විස්තර කර තිබෙනවා.
එමනිසා, ගෝලීය මූල්‍ය ව්‍යුහයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින අතරම, G77 සහ චීනය කණ්ඩායම අපේ සාමාජික රටවලට, බලශක්ති පරිවර්තනය, ඩිජිටල් පරිවර්තනය, හරිත ආර්ථිකය සහ නව ගෝලීය ආර්ථිකයක් වෙනුවෙන් පුහුණු ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා සූදානම් වීමේ උපාය මාර්ග සකස් කළ යුතු වෙනවා.
ශ්‍රී ලංකාව, G77 සහ චීනය කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් සමඟ එක්වෙමින්, සාධාරණ, නීතිගරුක සහ සමානාත්මතාවයෙන් යුතු ලෝකයක් වෙනුවෙන් වන දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා බහුපාර්ශ්විකත්වය තුළින් සාමූහික අවශ්‍යතා ප්‍රවර්ධනය ඉදිරියට සිදුකරගෙන යාම වෙනුවෙන් නව සභාපතිත්වයට පත් යොවේරි මුසෙවේනි මහතාගේ දැක්ම සහ නායකත්වය පිළිබඳ අප විශ්වාසය තබා සිටිනවා.
උගන්ඩා නිල සංචාරය තුළදී උගන්ඩා ජනාධිපතිතුමා විසින් මම සහ මගේ දුත පිරිස වෙනුවෙන් දැක්වු මිත්‍රශීලි ආගන්තුක සත්කාර පිළිබඳ ස්තූතිය පිරිනමමින් මගේ කතාව අවසන් කරනවා.

කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත ලබාදී අවසන් !
මෙරට කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත මේ වන විට ලබාදී අවසන් කර ඇති බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය.
මෙරටින් සරම්ප රෝගය තුරන් කර තිබූ නමුත් පසුගිය සමයේ එම රෝගය යළි හිස ඔසවන තත්ත්වයක් පෙන්නුම් කළ බැවින් මේ ආකාරයේ එන්නත් වැඩසටහනක් ආරම්භ කළ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මෙසේ ද පැවසීය.
මෙම වසරේ ප්‍රධානම බලාපොරොත්තුව වන්නේ රෝග වළක්වා ගැනීම සම්බන්ධයෙන් වන කටයුතු ශක්තිමත් කිරීමයි. ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීම තුළින් රෝගීන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමට ද බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකාව බෝ නොවන රෝග සම්බන්ධයෙන් විශාල තර්ජනයකට මුහුණ දී සිටිනවා. මෙරට ජනගහනයෙන් 20% වැඩි ප්‍රමාණයක් දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. දකුණු ආසියානු කලාපයේ අවුරුදු 35ට වැඩි පුද්ගලයන්ගෙන් අධික රුධිර පීඩනය වැඩිම රට ලෙස ද ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා. අධික රුධිර පීඩනයට අදාළ සංකූලතා ලෙස හෘද රෝග, ආඝාතය ඇතුළු රෝග රැසක් හඳුන්වන්න පුළුවන්.
එමෙන්ම වේගයෙන්ම වයස්ගත වන ජනගහනයක් සිටින රටක් නිසාත් මතක ශක්තිය දුර්වල වීම, අක්ෂි රෝග, අස්ථි රෝග ඇතුළු රෝග තත්ත්වයන් රැසක් වර්ධනය වෙමින් තිබෙනවා. එබැවින් බෝ නොවන රෝග පිළබඳව අවධානය යොමු කරමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.
ඒ වගේම සීග්‍රයෙන් පැතිර යමින් පවතින ඩෙංගු රෝගය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර එය පාලනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවලින් සහයෝගය ලබුණ ද ඒ සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලැබෙන සහාය මීට වඩා අපේක්ෂා කරනවා.
තවද මේ වන විට වැඩිවෙමින් පවතින සරම්ප රෝගය අඩු කිරීම සදහා විශේෂ වැඩසටහන් කිහිපයක් අප විසින් සංවිධානය කර තිබෙනවා. පසුගිය සති කිහිපය තුළ දරුවන්ගෙන් 91% කට එන්තත් ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. ඒ මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිසඔසවන තත්ත්වයක් පෙන්නුම් කළ නිසයි.
ඒ වගේම පවතින ඖෂධ හිඟය මඟහැරවීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ විශාල ප්‍රමාණයක් මේ වන විට රටට ආනයනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. එසේම පැවති ඖෂධ හිඟය ක්‍රමානුකූලව අවම වෙමින් පවතින බව කිව යුතුයි. ඉදිරියේදී වෛද්‍ය සැපයුම් අංශයත්, ප්‍රසම්පාදන ක්‍රියාවලියත් විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට මාර්ගගත ක්‍රමවේදය යොදා ගැනීමට අප බලාපොරොත්තු වනවා. ඒ සඳහා මොරටුව සහ කොළඹ යන විශ්ව විද්‍යාලවල පරිගණක අංශ සමඟ දැනටමත් අමාත්‍යාංශය සාකච්ඡා කරමින් සිටිනවා.

උසස් පෙළ අවසන් සිසුන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපනයක්
තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිතව වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ න්‍යායාත්මක පෙරහුරුවක් සහිත වැඩසටහනක් පෙබරවාරි මාසයේ සිට මෙවර උසස් පෙළ හදාරා අවසන් කරන පාසල් සිසු සිසුවියන්ට ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
අපොස උසස් පෙළ අධ්‍යාපනය අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වෘත්තීය පුහුණු වැඩසටහන දිවයිනේ තෝරාගත් පාසල් 299ක දී ක්‍රියාවට නංවන බව ද අමාත්‍යවරයා පැවසී ය.
2024 ජනවාරි මස අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 2024. 02 .09 දිනට පෙර මෙම වැඩසටහනට ලියාපදිංචි විය හැකි බවත් මේ සම්බන්ධ වැඩිමනත් තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරීන්ගෙන් ලබාගත හැකි බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් අංශය විසින් සංවිධානය කරන මෙම විශේෂ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති වැඩසටහනක දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.

බෙලිඅත්තේ වෙඩි තැබීමෙන් පක්ෂ නායකයෙකු ඇතුළු 5ක් මරුට
අද (22) උදෑසන තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමෙන් මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ද සිටින බව වාර්තා වේ.
උදෑසන 8.30ත් 8.40ත් කාලයේ මෙම වෙඩිතැබීම සිදුව තිබූ අතර, වෙඩිතැබීම සිදුවු ස්ථානයේම පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබිණි.
වෙඩිවැදීමෙන් ඉලේකුට්ටිගේ සමීර මධුසංඛ, කුමාර විදාරණලාගේ හසිත චින්සුක, බයියාදුරයලාගේ බුද්ධික රාපක්ෂ සහ කන්නංගර කෝරළලාගේ නලින් චම්පික ජයතිලක යන අය ද මියගොස් තිබේ.
එක් පුද්ගලයෙක් තංගල්ල රෝහලට ඇතුළත් කර සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇත.
සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.

සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත්‍ර ගැන නිවේදනයක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2023/2024) විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අයදුම් පත්‍ර කැඳවීම ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 15 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
සම්පූර්ණ නිවේදනය පහතින්,

යුක්තිය දිගටම : පැය 24ට සැකකරුවන් 987ක් අත්අඩංගුවට !
මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති යුක්තිය මෙහෙයුම යටතේ අද (21) අලුයම අවසන් වූ පැය 24 තුළ සැකකරුවන් 987 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 663ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 324ක් ඊට ඇතුළත් ය.
ඊට අමතර ව පහත සඳහන් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් ද පොලිස් භාරයට ගෙන ඇත.
හෙරොයින් 270gක්
අයිස් 140gක්
ගංජා 18kgයි 358gක්
ගංජා පැළ 27,242ක්
මාවා 552gක්
මදන මෝදක 175gක්
තූල් 52gක්
මත්පෙති 1,080ක්
පොලිසිය සඳහන් කරන ආකාරයට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් 638 දෙනා අතරින් සැකකරුවන් 12 දෙනෙකුට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරයි.
එමෙන්ම වත්කම් විමර්ශන 05ක් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 14ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බවද පොලීසිය පවසයි.
මේ අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශය ලැයිස්තුවේ සිටි සැකකරුවන් 14ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 324 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත් ව සිටි සැකකරුවන් 90ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 222ක් ද සිටින බව පොලීසිය පවසයි.
ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට නොගෙන සිටි සැකකරුවන් 11ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 01ක් ද මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන තිබේ.

රට ගොඩදාන්න ජනපති දුන් නායකත්වය උගන්ඩා ජනපතිගේ ඇගයීමට
උගන්ඩාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවේනි (Yoweri Museveni) අතර නිල හමුව ඊයේ (20) පස්වරුවේ සිදු විය.
මෙහිදී උගන්ඩා ජනාධිපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව ඉතා මිත්‍රශීලි ලෙස පිළිගත් අතර නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.
තම ආරාධනය අනුව උගන්ඩා නිල සංචාරයට එක්වීම පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සතුට පළ කළ උගන්ඩා ජනාධිපති යොවේරි මුසෙවේනි වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබා දුන් නායකත්වය අගය කළ අතර ඊට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු බව ද කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ නව ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට එළැඹීමෙන් පසුව ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට යමින් සිටින බවත්, 2024 වසරේ නව වර්ධනයක් සමඟ අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කරමින් සිටින බවයි.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ද මෙහිදී අදහස් දැක්විය.
බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීම ඉතා සංකීර්ණ කාර්යයක් වූ අතර ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව ලබාදිය යුතු බව ශ්‍රි ලංකාවේ බොහෝ මධ්‍යස්ථ මතධාරීන්ගේ මතය වු බව ඒ මහතා සිහිපත් කළේය. ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපතිවරයා ඉතා කෙටි කලක් තුළ ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාව අද ආර්ථික ස්ථාවරත්වයක් උදා කර ගෙන ඇති බව පෙන්වා දුන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ජනාධිපතිවරයාගේ එම කාර්යභාරය අද බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක්ව ඇති බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සහ උගන්ඩාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, උගන්ඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වී. කනන්තන් ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
Page 106 of 459