V2025

පුවත්

වෛද්‍ය ආඥා පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය !

වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත .

විශේෂඥ වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමට අදාළව පවතින විධිවිධාන සංශෝධනය කිරීම සඳහා 1927 අංක 26 දරණ වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව 2023 -8-7 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන නිර්දේශ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කෙරිණි.

එම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාවේ සඳහන් නිර්දේශ මත පදනම වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ජාතික රූපවාහිනීය සහ ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් කිරීමේ සූදානමක් !

අඛණ්ඩව පාඩුපිට පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි .

අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ පසුගියදා පැවති ජනමාධ්‍ය අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේදී අදහස් දක්වමින් ය.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 28 ක පමණ පාඩුවක්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 46 ක පමණ පාඩුවක්ද ලබා තිබෙන බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය .

මහ භාණ්ඩාගාරයට මෙම නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන තවදුරටත් ලබාදීමට අපහසු බව පෙන්වා දුන් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එම ආයතන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව ද සඳහන් කළේය .

2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් දැනුවත් කෙරේ !

2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

වෘත්තීය සමිති නායකයන්, ජාතික තරුණ සේවා සභාවේ නියෝජිතයන්, තරුණ සංවිධාන සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් ඊට එක්ව සිටියහ.

වර්ෂ 2048 වන විට ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරීම අරමුණු කර ගනිමින් දිගුකාලීන ප්‍රතිසංස්කරණ රැසක් මෙවර අයවැයට ඇතුළත් කර තිබෙන බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මෙහිදී පැවසීය.

රට තුළ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සහ ලෝක ආර්ථිකය සමඟ තරග කළ හැකි අන්දමින් මෙරට ආර්ථිකය ප්‍රතිස්ථාපනය කිරීම ප්‍රමුඛ අරමුණක් බවත් එය සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සකච්ඡා කර වසර හතරක වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවත් ඔහු සඳහන් කළේය .

රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් ලබාදීම, ගොවි ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීම,රාජ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය, දේශීය ව්‍යවසායකයන් නගා සිටුවීම යන යෝජනා හරහා මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් වන ආකාරය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් පැහැදිළි කෙරිණි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ද 2024 අය වැය යෝජනා සහ ඉන් රටට ලැබෙන කෙටිකාලීන සහ දිගුකාලීන ප්‍රතිලාභ පිළිබඳ කරුණු පැහැදිළි කළේය.

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක ඇතුළු නිලධාරීන් පිරිසක් මීට එක්ව සිටියහ.

IMG 20231128 WA0003

රොෂාන්ගෙන් ගැලවූ වාරිමාර්ග පවිත්‍රාට - හරීන්ට ක්‍රීඩා හා යෞවන කටයුතු !

ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහ ගේ ඉවත් කිරීමත් සමඟ පුරප්පාඩු වූ විෂය පථ සඳහා අමාත්‍යවරුන් පත්කර ඇත.

ඒ අනුව වාරිමාර්ග අමාත්‍ය ලෙස පවිත්‍රා වන්නිආරච්චි ද , ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ලෙස හරීන් ප්‍රනාන්දු ද අද (27) මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූහ.

ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහ දිගින් දිගටම කැබිනට් සාමූහිකත්වය බිඳදමමින් රජය අපහසුතාවට පත්වෙන ආකාරයට හැසිරීම හේතුවෙන් අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කටයුතු කළේය .

IMG 20231127 WA0004

IMG 20231127 WA0005

සෞදියේ ආර්ථික හා සැලසුම් අමාත්‍ය සහ ජනාධිපති අතර හමුවක් !

මෙරටට පැමිණ සිටින සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍ය ෆයිසාල් එෆ්. අලිබ්‍රහීම් (Faisal F.Alibrahim) අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර විශේෂයෙන් ඇඟළුම් සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර පවතින සබදතා වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කරන බව සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍යවරයා පැවසීය.

එසේම කලාපය තුළ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට සෞදි අරාබි රජයේ අවධානය යොමුව ඇති බව ද පැවසූ ෆයිසාල් එෆ්. අලිබ්‍රහීම් මහතා එහිදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමි වන බව නිරීක්ෂණය වී ඇති බව සඳහන් කළේය.

බටහිර ආසියාව ඇතුළු ආසියානු කලාපය තුළ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කලාපීය කටයුතු පිළිබඳවද අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළේය.

තවද සංචාරක සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර නවීකරණය කිරීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ පැහැදිළි කළ ජනාධිපතිවරයා එම ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා පිළිබඳවද අමත්‍යවරයා දැනුවත් කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20231127 WA0008

ජලය විකුණන්නේ හෝ පෞද්ගලීකකරණය කිරීමක් නෑ - ජීවන්

ජලයේ ගුණාත්මකභාවය රැකගැනීම සහ පිරිවැය අඩු කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇති කිරීමට රජය සැලසුම් කර ඇති නමුත් ජලය විකිණීමට හෝ පෞද්ගලීකරණය කිරීමට කිසිඳු අදහසක් නොමැති බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පැවසීය.

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ තිරසරභාවය පවත්වාගෙන යාම සඳහා ජල ගාස්තු සඳහා සූත්‍රයක් අවශ්‍ය බවත් එම සූත්‍රය සැකසීම පිළිබඳ සාකච්ඡා දැනට සිදුවෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

යෝජිත ජල ගාස්තු සූත්‍රයේ අවසන් කෙටුම්පත දෙසැම්බර් මාසයේදී සකස් කර අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් එමඟින් පුණ්‍ය ආයතන, රෝහල් සහ පාසල් සඳහා සාධාරණ මිල ගණන් යටතේ ජල සැපයුම සහතික කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වාණිජ ආයතන සඳහා ජල ගාස්තු සූත්‍රය බලපාන ආකාරය පිළිබඳ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන අමාත්‍යවරුන් හමුවී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙන බව ද ජීවන් තොණ්ඩමන් මහතා පැවසුවේය.

ආර්ථික අර්බුදයේ බලපෑම හේතුවෙන් විදේශීය මෙන්ම දේශීය අරමුදල් සපයා ගැනීම දුෂ්කර වී ඇති නමුත් අතරමැද නැවතී තිබෙන ව්‍යාපෘති අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බව ද සඳහන් කළ ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා සැලසුම් කර තිබෙන නව ව්‍යාපෘති ජනවාරි මාසයේදී ආරම්භ කරන බව ද පැවසීය.

පිරිසිදු ජලය සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයක් නොමැති ප්‍රදේශවල කාර්යක්ෂම ජල සංරක්ෂණයක් ඇති කිරීම සඳහා රජය කැපවී සිටින බව අවධාරණය කළ අමාත්‍යවරයා යාපනයේ ලවණ ඉවත් කිරීමේ කම්හලක් සැලසුම් කර තිබෙන බව ද සඳහන් කළේය.

ජල සම්පාදන මණ්ඩලය දේශපාලනීකරණය වී තිබෙන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ ජීවන් තොණ්ඩමන් මහතා ආයතනයේ ප්‍රධාන තනතුරු සඳහා පත්කිරීම් සිදු කිරීමේ ක්‍රියාවලිය විධිමත්ව සිදුවන ආකාරය ද පැහැදිලි කළේය.

පන්නන්න පෙර ජනාධිපති අහපු ප්‍රශ්න 2කට රොෂාන් නිරුත්තර වෙලා !

රොෂාන් රණසිංහ අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කිරීමට පෙර අද (27) පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අමාත්‍ය මණ්ඩල හමුවට කැදවා ප්‍රශ්න කිහිපයක් යොමුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

එහිදී අදාළ ප්‍රශ්න දෙක සඳහා ම පිළිතුරු ලබාදීමට නොහැකිව හිටපු අමාත්‍යවරයා නිරුත්තරව ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පළමු ප්‍රශ්නය ලෙස ජනාධිපතිවරයා විමසා ඇත්තේ ක්‍රිකට් අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනු කමිටුවක් පත් කර තිබිදී, ඒ නොතකා ක්‍රිඩා ඇමතිවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ කාර්යාලය වෙත ගොස් විපක්ෂ නායක හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වන ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සමඟ ක්‍රිකට් අර්බුදය විසදීම සඳහා ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට කතා කළේ ඇයිද යන්නය.

දෙවැනි ප්‍රශ්නය වන්නේ මහවැලි ඉඩම් බෙදා දීම වෙනුවෙන් ඇමතිවරයා ලෙස ඔහු ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබූ පිරිසෙන් බහුතරයක් ඔහුගේ දේශපාලන හිතවතුන් සහ ඥාතී මිත්‍රාදීන් වූවේ ඇයි ද යන්නයි. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ ඉඩම් හිමි අහිංසක ජනතාව සිටියදී මෙලෙස කටයුතු කිරීම ගැටළුවක් බවයි.

නමුත් මේ ප්‍රශ්න දෙක සඳහා පිළිතුරු ලබාදීමට හිටපු අමාත්‍යවරයා සමත්ව නොමැති බවත් ඒ අනුව අමාත්‍ය මණ්ඩල හමුවට කැඳවා ධූරයෙන් ඉවත් කළ අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහ ඉතිහාසයට එක්ව ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .

හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුවේ කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය !

හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීම වෙනුවෙන් වන කොන්ත්‍රාත්තුව චීන SINOPEC සමාගමට පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

මේ බව සඳහන් කරමින් ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබා ඇත.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ අදාළ ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවය.

අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැලඳවීම ගැන විමර්ශනයක්

අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැලඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් අරඹා ඇතැයි බුද්ධශාසන,

ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවය.

ඒ අනුව අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා සහ කලාප නිලධාරීවරයා සිද්ධිය පිළිබඳ තොරතුරු රැස්කිරීමට පුදබිම වෙත පිටත්කර යවා ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, පුරාවිද්‍යා ආඥා පනතට අනුව පුරාවිද්‍යා ස්මාරකයක හෝ ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවය. එමෙන්ම ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනුරාධපුර යුගයේ ඉදිකෙරුණු අවුකන බුද්ධප්‍රතිමාවට මෙරට ''හිටි බද්ධ ප්‍රතිමා වහන්සේ ''අතුරින් හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ ධාතුසේන රජතුමන් මෙම ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරවූ බව ඉතිහාසයේ සඳහන්ය.

ප්‍රතිමාවේ සිවුරේ රැලි ඉතා පැහැදිලිව දිස් වන අයුරින් ඉතා සියුම්ව විශිෂ්ට ලෙස කැටයම් කර තිබීමත් එහි සමබරතාවත් හේතුවෙන් එය සැලකෙන්නේමෙරට අතීත කලාශිල්පයේ අද්විතීයබව පෙන්නුම් කෙරෙන නිර්මාණයක් ලෙසය.

පුරාවිද්‍යාත්මක වටිනාමකමක් සහිත දෙස් විදෙස් සැදැහැවතුන්තේ වන්දනාවට පාත්‍රවන අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීමට පිරිසක් කටයුතු කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් අද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණි.

ඇතැම් පුද්ගලයින් ප්‍රතිමා වහන්සේ මතට නැඟී එම වස්ත්‍රය පළඳවන ආකාරය ද එහි දක්නට ලැබුණි.

(adaderana.lk)

405764241 673996214866647 3664779914174161034 n

ඉන්න බැරි ඕන කෙනෙක් ආණ්ඩුවෙන් යන්න - චාමර

ආණ්ඩුවේ ඉන්න බැරි ඕනෑම අයෙකුට ඉන් ඉවත්වීමට අවස්ථාව තිබෙන බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අද (27) සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ආණ්ඩුවෙන් ඉවත් වන පිරිසට යාම සඳහා ඕනෑතරම් ආසන විපක්ෂයේ තිබෙන බවත් ආණ්ඩුවේ කැබිනට් ඇමතිකම් ලබාගැනීම සඳහා පෝලිමක් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

එහිදී වැඩිදුරටත් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය .

මාසයක් තිස්සේ මේ රටේ ක්‍රිකට් කියමින් ආණ්ඩුව අපහසුතාවයට පත්කරන ක්‍රියාවලියක් සිදු වුණා. මේ ආණ්ඩුව හැදුණේ කවුරුත් එකතුවෙලා .ආණ්ඩුව පණ ගහලා යන්න තියෙන වෙලාවේ ආණ්ඩුව කඩලා දාන්න වැඩපිළිවෙළක් තියෙනවා.

තමන්ට ඇමතිකම දුන්න නම් ඒකෙ කොන්ද පණ ඇතිව වැඩ කරන්න ඇමතිට පුළුවන්කම තියෙන්න ඕන.

ජනාධිපති ගැන සැකයක් තිබෙනවා නම් කැබිනට් එකේ ඉන්න බෑ.ඒක ගෙදර ගෑනිටයි මිනිහටයිද අදාළ යි. විශ්වාසයක් නැතිනම් ඉවත් වෙන්න ඕන.

සීමාව පනියි : රොෂාන් දොට්ට !

ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර ඇති බව වාර්තා වන අතර ඒ අද (27) පාර්ලිමේන්තු ශාලා අංක තුනෙහි පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට රොෂාන් රණසිංහ අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට අදාළ මෙම තීන්දුව අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගෙන ඇති නමුත් ඒ අවස්ථාව සඳහා ඔහුව සහභාගී කරගෙන නොමැත.

අනතුරුව අදාළ ලිපිය හිටපු අමාත්‍යවරයා වෙත ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත .

මේ සමඟ පුරප්පාඩු වන ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග යන අමාත්‍ය විෂය පථ වෙනුවෙන් වන නව අමාත්‍යවරුන් පත්කිරීම ඉදිරි පැය කිහිපය තුළ සිදුකිරීමට නියමිත බවත් වාර්තා වෙයි .

දිගින් දිගටම අමාත්‍ය මණ්ඩල සාමුහිකත්වය බිඳහෙළමින්, රජය ද අපහසුතාවට පත්කරන හිටපු අමාත්‍යවරයාගේ හැසිරීම සම්බන්ධව තීන්දුවක් ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් වෙතින්ද ජනාධිපතිවරයා වෙත පැමිණිලි ලැබී තිබිණ.

ඒ අනුව කැබිනට් සාමුහිඛත්වය රැකගනිමින් මහජන සුබසිද්ධිය පිණිස වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීන්දුව ගෙන ඇත.

දෙසැම්බර් 08 ඇරඹෙන වැඩ ගැන ලලිත්ගේ ජන්ම දින සැමරුමේදී රවී කියයි!

දිවංගත හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේ 87 වැනි ජන්ම දින සැමරුම් වැඩසටහනක් අද (26) උදෑසන කොළඹ 07 කේම්බ්‍රිජ් පෙදෙසේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසලදී පැවැත්විණ.

ඒ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ගේ ප්‍රධානත්වයෙනි . එහිදී රවී කරුණානායක මහතා විසින් ලලිත් ඇතුලත්මුදලි පිළිරුවට පුෂ්පෝපහාර දක්වනු ලැබිණ .

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු අමාත්‍ය රවී කරුණානායක සඳහන් කර සිටියේ , අද දේශපාලනයට අවශ්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා වැන්නන් බවත් අද ඒ හිස්තැන පේන්න තිබෙන බවත් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මෙසේද සඳහන් කළේය.

අද ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා වැන්නන් ගේ අඩුව දැනෙමින් පවතිනවා. එම නිසා එම වැඩපිළිවෙළ අප අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා.

පෝලිම් යුගයක් තිබුනා.රට බංකොලොත් වූ විට නැවත යථාතත්වයට පත් කිරීම ලේසි වැඩක් නොවෙයි.

මේ අවස්ථාවේ කල යුත්තේ දේශපාලන පොරපිටියක් ඇති කිරීම නොවෙයි.

මේ අය වැයෙන් මීට වැඩිය දෙයක් කරන්න තිබුනා නම් හොඳයි. නමුත් මේ අය වැය හොඳයි.

නිදහස ලැබුණු දා සිට කරගෙන එන්න නොහැකි වූ අවශ්‍ය කටයුතු දැන් ඉදිරියට කරගෙන යනවා. එදා කරන්න බැරි වෙච්ච දේවල් අද කලයුතුයි.

IMF වාරිකය ලැබෙන ස්වරූපයක් තිබෙනවා .ඒ අනුව දෙසැම්බර් 8 වැනිදා රටේ බංකොලොත්භාවය නැති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ වනු ඇතියි.

දේශපාලනය වෙන්දේසි නොකර හැම දේම නිකන් නොදී සිටිය යුතුයි. බංකොලොත්භාවය ඇතිවුනේ පොරොන්දු දේශපාලනය නිසයි.
දේශපාලකයන් ලෙස ඕනෑම වෙලාවක අප මැතිවරණයක් සඳහා සූදානම්.

බොහෝ දේ අහිමි උනා නේ.අද එක්සත් ජාතික පක්ෂයේ පරිණත භාවය පේන්න තිබෙනවා."

lalith 1

lalith 2

lalith 3

lalith 4

බණ්ඩි පොහොර මිල පහළට !

මෙවර මහ කන්නයේ දී බණ්ඩි පොහොර හෙවත් MOP රුපියල් 9,000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය .

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (26) පෙරවරුවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී පැවැති වගා හානි වන්දි පිරිනැමිමේ අවස්ථාවට සහභාගි වෙමිනි .

යල කන්නයේ දී වළව කලාපයේ වගා හානි සිදු වූ ගොවීන්ට වගා හානි සඳහා අද දින රුපියල් ලක්ෂ 1,000ක මුදලක් රජය විසින් පිරිනමනු ලැබූ අතර ඒ අනුව බණ්ඩි පොහොර මිටියක මිල රුපියල් 9,000 දක්වා අඩු කිරීමට නියමිත අතර, රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් එම මිලට බණ්ඩි පොහොර ලබා දීම සිදු කරනු ඇති බවද අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් පැවසීය.

අගමැති ධුරය : දිනේෂ් හොඳටම කරලා !

2022ට සාපේක්ෂව 2023 ඔක්තෝබර් මාසය වනවිට අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 46%කින් අඩු කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේය.

ඒ අනුව 2021 වර්ෂයට සාපේක්ෂව 2022 දී 21%කින් හා 2023 ඔක්තෝබර් වනවිට 46%කින්, අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සිමාකර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

එසේම 2021 වර්ෂයේදී රුපියල් මිලියන 1661.7ක් වූ අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම 2022දී 1310.4ක් වූ බවත් 2023 ඔක්තෝබර් වනවිට එම අගය රුපියල් මිලියන 705.7ක් දක්වා අඩු කර ඇති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පෙන්වා දුන්නේ ය.

අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබෙන ලිපිවලට පිළිතුරු සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණයට ලක්කිරීම හේතුවෙන් තැපැල් හා සන්නිවේදන වියදම 36%කින් අඩුකර ගැනීමට හැකිවී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

2022දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහන 178ක් පැවතියත්, 2023 වර්ෂය අවසන් වනවිට ඇත්තේ සේවා අවශ්‍යතාවට ප්‍රමාණවත් වාහන 125ක සංචිතයක් පමණක් බවද ඒ අනුව 2022දී පැවති රුපියල් මිලියන 239.2ක වාහන නඩත්තු වියදම 2023දී රුපියල් මිලියන 72.3 දක්වා70%කින් අඩුකරගෙන තිබෙන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි .

උරුමය පැවරීම ජනාධිපති නොච්චියාගමින් අරඹයි !

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම් කර තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කර සිටියේ 2024 අයවැය යෝජනාවක් වන "උරුමය" වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර අනුරාධපුර නොච්චියාගම දී අද (26) ආරම්භ කරමිනි.

ෂැංග්‍රිලා හෝටලය සතු ඉඩම සින්නක්කරව පැවරීමට හැකියාව තිබුණේ නම් පරම්පරා ගණනක් අපේ රටේ ගොවිතැන් කළ ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීමේ වරද කුමක්දැයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

ෂැංග්‍රිලා සතු ඉඩමෙන් ශ්‍රී ලංකාවට ද විදේශ විනිමය ලැබෙනවා සේම නවීන කෘෂි කර්මාන්තය තුළින් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

රටේ ගොවිතැන් කරන ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීම ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ උරුමය ලබාදීමක් මෙන්ම රජයේ ස්තුතිය පුදකිරීමක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

"උරුමය" සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා 2024 අයවැයෙන් රුපියල් බිලියන දෙකක මුදලක් වෙන් කර තිබේ.

විදේශිකයන් ශ්‍රී ලංකාවේ ඉඩම් ඔවුන්ගේ යටතට පත්කර ගැනීමෙන් පසුව එම ඉඩම්වල වගා කිරීම සඳහා මෙරට ස්වදේශික ජනතාව වෙත බලපත්‍ර ලබාදීම සිදු කර තිබිණි.

නමුත් 1935 වසරේ ඉඩම් සංවර්ධන ආඥා පනත මගින් ස්වදේශිකයන් වෙත ඉඩම් ඔප්පු ලබා දීම සඳහා තවත් බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දී තිබූ අතර එහිදී ඉඩම් හිමි ජනතාවට වගා කටයුතු කිරීම සහ නිවාස ඉදිකර ගැනීමට හැකියාව තිබේ. නමුත් එම ඉඩම පැවරීමේ හෝ විකිණීමේ බලයක් ඉඩම් හිමි ජනතාවට නොතිබිණි.

මෙතෙක් කල් පැවති ජයභූමි ,සෞම්‍ය භූමි,ස්වර්ණභූමි ඇතුළු සියලු ඔප්පු වෙනුවට සින්නක්කර ඔප්පු ජනතාවට ලබා දීම 2024 අය වැයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කර තිබේ.

ඒ අනුව මෙම ඔප්පු ලබා ලබාදීමේ වැඩපිළිවෙල 2024 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

අද මෙතනට රැස්වුණේ මෙම ප්‍රදේශයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම පිළිබඳව සාකච්ඡා කිරීමටයි. පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව සියලුදෙනා අද මෙතනට රැස්වී සිටිනවා. අද අපට තිබෙන්නේ රටට වැඩ කිරිමටයි.

මම ආණ්ඩුව බාරගන්නා විට රට කඩා වැටිලා තිබුණේ. අද තිබෙන තත්ත්වයට අපට රට ගෙන ඒමට හැකි වෙයි කියා කිසිවෙකුත් සිතුවේ නැහැ. ලබන මාසය වන විට අප රට බංකොළොත්භාවයෙන් නිදහස් වීමට නියමිතයි. අදාළ රටවලින් ඊට අවශ්‍ය ප්‍රතිචාරය මේ වන විට දක්වා තිබෙනවා. එය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අපට තව විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා.

මීට පෙර ආණ්ඩු හැදුවේ එක් පක්ෂයක සහාය මතයි. නමුත් මට සෑම පක්ෂයකින්ම සහාය ලබා ගැනීමට සිදු වුණා. එලෙස කණ්ඩායමක් සමග අප මෙම ගමන ආවා. ඒ පිළිබඳ අප සියලු දෙනාට සෑහීමකට පත්විය හැකි අතර, වරද කාගේ වුණත් අප දැන් අපේ වගකීම ඉටු කර තිබෙනවා.
මෙම ආර්ථික අර්බුදය හමුවේ අපට සංවර්ධන කටයුතු නැවැත්වීමට සිදුවුණා. දැන් බංකොළොත්භාවය අවසන් වන නිසා අපට එම නවතා තිබු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනවා.

ඒ වගේම මෙම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මල්වතු ඔය සහ මහා විහාරයේ වැඩකටයුතු ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන් ලුම්බිණියේ මායා දේවි විහාරස්ථානයේ කැණීම් කටයුතු සිදු කළ විශ්වවිද්‍යාලය සමඟ මහා විහාරයේ කැණීම් කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරනවා. මල්වතු ඔය කියන්නේ සිංහල ශිෂ්ටාචාරය ආරම්භ වූ තැනයි. මහා විහාරය කියන්නේ ථෙරවාද බුදු දහමේ කේන්ද්‍රස්ථානයයි. මේ ස්ථාන දෙක ආරක්ෂා නොකර කුමන සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කළත් වැඩක් නැහැ.

ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන එකහමාරක් මෙවර අයවැයෙන් ලබා දී තිබෙනවා. මෙහි අරමුණ වන්නේ ගම්බද පාසල් වල ක්‍රිකට් දියුණු කිරීම මගින් අනාගතයට අවශ්‍ය ක්‍රීඩකයන් නිර්මාණය කිරීමයි.

අප ආර්ථික ක්‍රමයේ වෙනසක් ඇති කළා.ඒ වගේම සමෘද්ධිය වෙනුවට අස්වැසුම ඇතිකර ජනතාවට ලබාදෙන මුදල් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කළා. කෘෂි කර්මාන්තය වෙනුවෙන් ලබාදෙන මුදල් ගොවි ජනතාවගේ බැංකු ගිණුම් වෙතම යොමු කළා.

ගොවි ජනතාවට ඉඩම් සින්නක්කරව ලබා දෙනවා වගේම නාගරික ප්‍රදේශවල කුලී පදනම මත මහල් නිවාසවල සිටින ජනතාවගේ නිවාස සින්නක්කරව එම ජනතාවට ලබාදීමටත් යෝජනා කර තිබෙනවා. මෙතන සිටින ගොවි ජනතාවගේ දෙමව්පියන් 60 දශකයේ දී මැලේරියාව නිසා දුක් වින්දා. ඉන් පසුව තස්තවාදී කරදර නිසා දුක් වින්දා. නමුත් ඔවුන් ගොවිතැන අමතක කළේ නැහැ. රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය ඔවුන් දිගටම සිදුකරගෙන ගියා. එයට කරන ජාතියේ ස්තුතියක් ලෙස තමයි මෙම සින්නක්කර ඔප්පු ප්‍රදානය සිදු කරනු ලබන්නේ.

තමන්ට ස්වර්ණභූමී, ජය භූමී ඔප්පු තබා ගැනීමට අවශ්‍ය නම් එලෙසම සිටිය හැකියි. අවශ්‍ය කෙනෙකුට සින්නක්කර ඔප්පුව ඉල්ලුම් කළ හැකියි. මෙම සින්නක්කර ඔප්පු ලබා දීම ලබන වසරේ මුල් කාර්තුවේ සිට ක්‍රියාත්මක කරනවා.

ලෝකය දියුණු වන විට නවීන ක්ෂේත්‍රයන් වෙත යොමු විය යුතුයි. එහිදී අපගේ අපනයන ක්ෂේත්‍රය දියුණු කළ කෘෂිකර්මාන්තය පිළිබඳවත් නැවත නවීන ලෙස සිතිය යුතුයි. 1972 අපනයන කෘෂි කර්මාන්තය බිඳ වැටුණා. දැන් මෙවර ලබා දෙන සින්නක්කර ඔප්පු සමඟ අපනයන කෘෂිකර්මාන්තය දියුණු කිරීමට වැඩ කළ යුතුයි.

මෙහිදී වගා කරන නිෂ්පාදන බෙදා හැරීමට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙනුවට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කළ යුතුයි. වගා කරන බෝග කල් තබා ගැනීමේ හැකියාව සහ අවශ්‍ය නම් අපනයනය කිරීමට ඇති හැකියාවත් එහිදී තීන්දු කළ හැකියි. ඊළඟ වසර දහය තුළ ලෝක ජනගහණය සීඝ්‍රයෙන් වැඩිවෙනවා. ඊට අවශ්‍ය ආහාර සැපයීම සිදු කිරීමෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකියි. මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා.සෑම ගමක්ම අපනයන ගම්මානයක් ලෙස දියුණු කර අපනයන ආර්ථිකයට එක් කිරීම මඟින් විශාල විදේශ විනිමයක් ලබාගත හැකියි.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් :

ලංකාවේ නීතිය වල් වැදිලා තිබුණු වෙලාවක එම අභියෝගය භාරගෙන ආර්ථික අභියෝගයෙන් රට මුදවා ගැනීමට ජනාධිපතිවරයා ගෙන ගිය කාර්යභාරය ප්‍රශංසනීයයි. අද වැව්බැඳි රටට ජනාධිපතිවරයා පැමිණ සිදුකරන උරුමය වැඩසටහනෙන් මේ රටේ ගොවි ජනතාවගේ ඉඩම් වල අයිතිය කොන්දේසි විරහිතව ලබාදීමක් සිදු වෙනවා. ජනාධිපතිවරයා මෙරට ආර්ථිකය නිසි දිශානතියකට ගෙන ආවා වගේම ලෝකයෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ස්ථානය නැවත ලබාදීමට කටයුතු කළා. එතුමාගේ දේශපාලන ජීවිතයේ පරිණතභාවය එයින් පැහැදිළි වෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ :

ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබාදීම පිළිබඳව ජනාධිපතිතුමා මෙවර අයවැය ලේඛනය තුළ ඇතුළත් කර තිබෙනවා. මේ රටේ සියලු ජන කොටස් වෙත ඉඩම් අයිතිය ලබාදීමේ අවශ්‍යතාවය එතුමාට තිබුණා. එතුමා ඒ පිළිබඳව සෑම අවස්ථාවකම සාකච්ඡා කළා වගේම 2023 අයවැය ලේඛනය සකස් කරද්දි ඊට එය ඇතුළත් කිරීමට ද උත්සාහ කළා. නමුත් එදා රට තුළ තිබු තත්ත්වය නිසා එම යෝජනාව ඉදිරියට ගෙන ඒමට නොහැකි වුණා.

මේ ප්‍රදේශවල ගොවි ජනතාවට තිබු විශාල අවශ්‍යතාවයක් තමයි ගොවිතැන් කටයුතු කිරීමට අවශ්‍ය පොහොර නොලැබීම. නමුත් ජනාධිපතිතුමා මේ රට භාර ගැනීමෙන් අනතුරුව එම පොහොර අවශ්‍ය පරිදි ගොවි ජනතාවට ලබාදීමට කටයුතු කළා. ඒ අනුව මේ වසර වන විට දෙකන්නයට අවශ්‍ය සම්පූර්ණ පොහොර අවශ්‍යතාවය ද සපුරා, අසීරුතා මැද වුවත් ගොවියාට අස්වනු වෙනුවෙන් ස්ථාවර මිලක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ජනාධිපතිතුමාගේ නිවැරදි වැඩපිළිවෙළ නිසා අද අප රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති වී තිබෙනවා. සමාජ ස්ථාවරත්වය ඇති වෙමින් තිබෙනවා. ඒ හරහා රටේ ආර්ථික ස්ථාවරත්වය ගොඩනැගෙමින් තිබෙනවා. ඒ වගේම ජනාධිපතිතුමාගේ අධිෂ්ඨානයක් වු, දැනට ඉඩමක් භුක්ති වින්දද, ඊට අයිතියක් නොමැතිවීම නිසා ජනතාව මුහුණ දෙන මුලික ගැටලුවට විසදුම් ලබාදීමට හැකිවීම පිළිබඳව අප සතුටු වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක :

උරුමය වැඩසටහන යටතේ ගොවි ජනතාවට ඔවුන්ගේ මී මුත්තන්ගේ උරුමය ලබා ලබා දීම වෙනුවෙන් ජනාධිපතිවරයාට ස්තූතිය පළ කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනය පරිණතභාවයක් ඇති නායකයෙක් . එතුමා හෝම් වර්ක් හොඳටම කළ නායකයෙක් බව මෙවර අයවැයෙන් ඔප්පු කර තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට රුපියල් දසදහසක දිමනාවක් ලබාදීම, ගොවි ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීම, කුලී පදනම මත මහල් නිවාස වල සිටින ජනතාවගේ නිවාස සින්නක්කරව එම ජනතාවට ලබාදීමත් මගින් ජනාධිපතිවරයා සිය දේශපාලන පරිණතභාවය පෙන්වා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන :

අනුරාධපුර දිස්ත්‍රික්කයට මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම මල්වතු ඔය ව්‍යාපාරයට සහ මහා විහාරයට මේ වන විට මුදල් ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. ඒ වගේම ගොවි ජනතාව වෙනුවෙන් සින්නක්කර ඔප්පු ලබා දීමටත් මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙනවා.

ආර්ථික අර්බුදයකට මුහුණ දුන් රටක් නැවත යථා තත්ත්වයට පත්කර මෙවැනි සහන රැසක් ලබාදීමට කටයුතු කිරීම මගින් ජනාධිපතිතුමාගේ නිවැරදි දේශපාලන වැඩපිළිවෙළ රටට පෙන්වා තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න, උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්.එම්. රංජිත්, හිටපු අමාත්‍ය පී. හැරිසන්, නීතිඥ කස්තුරි අනුරාධනායක, ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ යන මහත්වරු ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්, ගොවිජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20231126 WA0001

IMG 20231126 WA0002

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ CCTV කැමරාවලට හානි කිරීම ගැන විමර්ශන !

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ CCTV කැමරා කිහිපයකට රැඳවියෙකු විසින් හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ සැකකරු‍වෙකු ඊයේ (25) උදෑසන ව්‍යායාම කටයුතු සඳහා යොදවා සිටි අවස්ථාවක මෙලෙස CCTV කැමරා කිහිපයකට හානි සිදු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු යටතේ විමර්ෂණයක් ආරම්භ කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති අතර පොදු දේපොළවල හානිකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා රත්ගම පොලිස් ස්ථානය දැනුවත් කිරීමට ද නියමිත බවත් බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම රැඳවියා මීට පෙර ද කළහකාරී ලෙස හැසීරීම හේතුවෙන් විවිධ බන්ධනාගාරයන් තුළ රඳවා ඇති අතර පොදු දේපොළවලට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් ද පවතින බවත් වාර්තා වෙයි .

විමර්ෂණයෙන් අනතුරුව සිදුවීම පාලනය කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් එම අංශයේ රාජකාරියේ යොදවා සිටි නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

බලය ඩැහැගැනීමට උත්සාහ නොකර රට ගොඩනැගීමට එක්වන්න - ජනපති

බලය ඩැහැගැනීමට උත්සාහ නොකර රට ගොඩනැගීමට එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයට ඇරයුම් කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (25) පැවැති හමුවකට එක්වෙමිනි.

මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සමඟ පැවති හමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (26) පැවැත්විණි.

මාතලේ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ කම්කරු කොංග්‍රසයේ පළාත් පාලන නියෝජිතයන් මීට එක්ව සිටි අතර තමන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව ද ඔවුහු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළහ. එම ඇතැම් ගැටලුවලට එම අවස්ථාවේදී ම විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබීය.

"අපිට මේ ආර්ථික ක්‍රමය වෙනස් කරන්න තියෙනවා. නැතිනම් තව අවුරුදු 5,6කින් මේ ගැටලු එනවා. මේ සැරේ වගේ නෙමෙයි ඊට වඩා දරුණු විදියට බලපෑම් කරයි. පෙට්‍රල් නෑ, මොකුත් තියෙන්නේ නැහැ. ඊළඟ සැරේට අපි IMF ගියොත් කියන කොන්දේසි මම දන්නවා. මගේ මීළඟ ව්‍යායාමය නව ආර්ථිකයක් ඇතිකිරීමයි. මේ රටේ මතු පරපුරට අනාගතයක් දිය යුතුයි. ඔබට නෙමයි ඔබේ දරුවන්ට. ඒ අය වෙනුවෙන් මේක හදමු. විපක්ෂය බලන්නේ තමන් ගැන කොහොමද බලය ගන්න. මම ඒ අයට කියන්නේ බලය ලබාගැනීමේ හොඳම ක්‍රමය අපිත් සමඟ එකතු වීමයි. අපෙන් පළපුරුද්ද වෙන්න ඊට පස්සේ බලය ලබාගන්න අපි හැමෝම එකතුවෙලා මේ ගමන යමු."

අලි එක්ක කාලය ගත කරන්න මහනුවරට එන්න.....

අලි ඇතුන් එක්ක කාලය ගත කරන්න සහ එම සතුන්ට කෑම කවන්න, නාවන්න වගේම අලි ඇතුන් එක්ක ඡායාරූප ලබා ගැනීම ආදි ක්‍රියාකාරකම් රැසක් සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාව නව අවස්ථාවක් උදාකර දී තිබේ.

මේ සඳහා මාලිගාවේ ඇත් පන්තියේ ක්‍රියාකරකම් සිදුවන , ශ්‍රී දළදා මාලිගාවේ ඇත්ගාල සංචාරකයන්ට නවමු අත්දැකීම් ‍රැසක් සමඟින් විවෘත කිරීමට පියවර ගෙන ඇත.

දළඳා මලිගාවට පැමිණෙන සංචාරයකන්ගේ ආකර්ෂණය වැඩි කිරීම උදෙසා මෙම වැඩසටහන ආරම්භ කර තිබේ.

ඒ පිළිබඳ වැඩි විස්තර ශ්‍රී දළදා මාලිගාවේ ''ඇත්ගාල'' ෆේස්බුක් පිටුවෙ සඳහන් කර ඇත.

වැඩි විස්තර සඳහා 081 - 223 4 556 අංකය අමතා තොරතුරු ලබා ගැනීමටත් හැකියාව පවති.

75830e6f 47e2 4ab8 af2a 7cce5dd2f0ca

Page 110 of 443