පුවත්
රට ගොඩනගන්න එක්වන්න : තරුණ පාර්ලිමේන්තුවට පණිවිඩයක් !
ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ 05වන සැසිවාරය නොවැම්බර් 18 සහ 19 දෙදින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී පැවැත්විණි.
මෙවර සැසිවාරයේ තේමාව වූයේ “වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා 2024 අයවැය යෝජනා ඵලදායී ලෙස යොදා ගැනීම වෙනුවෙන් තරුණ අදහස් හා යෝජනා ලබා ගැනීම” යන්නයි.
මෙහි පළමු දින ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න සහභාගී වූහ.
වේත්‍රධාරී විසින් සෙංකෝලය රැගෙන සභා ගර්භයට පිවිසීමෙන් අනතුරුව ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ 05වන සැසිවාරය ආරම්භ කෙරුණු අතර එහි අග්‍රාමාත්‍ය පැතුම් රණසිංහ සැසිවාරය ආරම්භ කරමින් පිළිගැනීමේ කතාව සිදු කළේය.
තරුණ පාර්ලිමේන්තු පනත, දේශපාලන ඇකඩමිය සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල කාර්යභාරය මෙන්ම තරුණ පාර්ලිමේන්තුව ඩිජිටල්කරණය යන කරුණු පිළිබඳව ද මෙවර සැසිවාරයේ දී අවධානය යොමු කෙරිණි.
එමෙන්ම 2024 අයවැය වෙනුවෙන් තරුණ යෝජනා සහ අදහස් ලබාදීම අගය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අත්සනින් යුත් ලිපියක් ද මෙහිදී තරුණ පාර්ලිමේන්තු සාමාජික සාමාජිකාවන් වෙත පිරිනැමිණි.
මෙහිදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ ජනප්‍රිය තීන්දු තීරණ ගෙන රටේ ආර්ථිකය නැවත කඩාවැටුණ යුගයකට ගෙන යෑමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි.
2022 වසරට පෙර රටේ තිබූ තත්ත්වය සහ අද පවතින තත්ත්වය අතර විශාල වෙනසක් ඇති බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ රට ගොඩනඟන එම වැඩපිළිවෙළට තරුණ ප්‍රජාවගේ ද දායකත්වය අවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙසේද පැවසීය.
මේ වන විට ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනය පිළිබඳව තරුණ පාර්ලිමේන්තුවේ සාමාජිකයන් යම් අවබෝධයක් ලබා ඇති බව අප විශ්වාස කරනවා. දැනට ස්ථාවරත්වයට පත්ව තිබෙන රටේ ආර්ථිකය, පූර්ණ ස්ථාවරත්වයකට ගෙන ඒම මෙවර අයවැයේ ප්‍රධාන අරමුණ බව කිවයුතුයි.
ඒ වගේම 2024 වසර ආර්ථික වර්ධනයක් ලැබූ වසරක් බවට පත් කිරීමත් මෙවර අයවැයේ තවත් අරමුණක් වෙනවා. මේ සඳහා රටේ සියලු ජනතාව විශාල කැප කිරීමක් සිදුකළා. විශේෂයෙන්ම 2022 වසර දෙස නැව හැරී බැලුවොත් ඒ කටුක, අමිහිරි අත්දැකීම් නැවත මේ රටේ ඇති වෙනවා දැකීමට කිසිවෙක් කැමති නැහැ. ඒ නිසා අර්බුදය ඇති වීම සහ එම අර්බුදය ඇති වීමට බලපෑ හේතු පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව රට ඉදිරියට ගෙන යෑමේ අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙනවා.
ඒ සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉතාම අධිෂ්ඨානශීලීව නායකත්වය ලබාදී තිබෙනවා. ඒ නායකත්වයට මේ රටේ ජනතාව සහයෝගය ලබා දී තිබෙනවා. එතුමා කොතෙක් අධිෂ්ඨානශීලී වුවත්, ඒ අධිෂ්ඨානශීලීත්වය පිළිබඳව විශ්වාසයක් මහජනතාවට නොතිබුණා නම් මාස 15කට කලින් තිබූ රටත්, අද මේ අත්විඳින රටත් අතර පරතරය පියවා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ජනාධිපතිතුමාගේ සිට මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, ජනාධිපති කාර්යාලය, විවිධ අමාත්‍යාංශ සහ මේ රටේ ජනතාව එකට අත්වැල් බැඳගෙන ලබා ගත් ආර්ථික ස්ථාවරත්වයක් අද අප සියලුදෙනා මෙලෙස භුක්තිවිඳිනවා. මේ ගමන් මඟ පහසු වුණේ නැහැ. මෙම තත්ත්වයට පරිවර්තනය වීමේදී අප විශාල වේදනාත්මක කාලපරිච්ඡේදයක් පසු කළා.
මේ ආකාරයට ආර්ථිකය කඩාවැටුණු එකම සහ පළමු රට ශ්‍රී ලංකාවත් නෙමෙයි. නමුත් කෙටි කාලයක් තුළ ආර්ථික අර්බුදයෙන් මිදීම සදහා නිවැරදි ගමන්මඟකට පිවිසි රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. මේ ආර්ථිකය නැවත යහපත් මට්ටමකට ගෙන ඒම දේශපාලන කෝණයෙන් බැලිය යුතු දෙයක් නොවෙයි. මෙහිදී ජනාධිපතිතුමා ඇතුළු රජය ජනප්‍රිය වූ තීන්දු තීරණ අරගත්තේ නැහැ. රජය ජනප්‍රිය වීමට තීන්දු තීරණ ගත්තා නම්, මේ රටේ තත්ත්වය 2022 වසරට පෙර තිබූ තත්ත්වයට වඩා තවත් බරපතල වෙන්න තිබුණා.
මේ ආකාරයට රට ඉදිරියට ගෙන යෑමේදී තරුණ දායකත්වය ද අපට අවශ්‍යයි. ප්‍රාදේශීය සංවර්ධන කටයුතුවලදි තරුණ ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීමට අප කටයුතු කරනවා. තරුණ ඔබගේ අදහස් හා යෝජනා අපට ලබා දෙන්න. පිළිගත හැකි තිරසර යෝජනාවලියක් ලබාදීමට තරුණ ඔබ කටයුතු කළහොත් අදාළ සංශෝධන කිරීමට අප සූදාම් බව සඳහන් කරන්න කැමතියි.
අයවැයේ හොඳ කරුණු සහ තවදුරටත් ප්‍රවර්ධනය විය යුතු කරුණු කාරණා පිළිබඳව අධ්‍යයනය කරන්න. එකිනෙකා දකින අන්දමින් තීන්දු ගන්නවා වෙනුවට, දත්ත සහ ඉලක්කම් මත පදනම්ව, නිසි ඇගයීමකට ලක්වන තීන්දු තීරණ ගැනීමේ ප්‍රතිපත්තියක් මේ වන විට ජනාධිපතිතුමා සහ රජය ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ අනුව ලෝකයේ හොඳ භාවිතාවන් සමඟ රට ඉදිරියට ගෙන යෑමේ වැඩපිළිවෙළට තරුණ ප්‍රජාවගේ ද සහාය අවශ්‍යයි.
තරුණ කටයුතු හා තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්යක්ෂවරුන් වන රන්දුල අබේධීර, සතිර සරත්චන්ද්‍ර ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
http://newstube.lk/news?start=2016#sigProIdbe0396e995
ලෝක ප්‍රසිද්ධ නාස් ඩේලි ලංකාව සමග ගිවිසුමකට එළැඹෙයි
ලොව පුරා මිලියන ගණනක රසික ප්‍රජාවගේ ජනාදරයට පත් ව්ලොග් නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි (Nas Daily) ශ්‍රී ලංකාවට පැමිණ සිටී.
සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයකට අනුව ඔහු ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇත.
ලෝක ප්‍රසිද්ධ ‘ව්ලොග්’ නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි මෙරට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග ගිවිසුමකට එළැඹ තිබේ.
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මහත් පිටුවහලක් වනු ඇති බවය.
ඊශ්‍රායල - අරාබි ජාතික ව්ලොග් නිර්මාණකරුවා විසින් මින් පෙර නිර්මාණය කරන ලද This is Made of Poop, My Biggest Money Mistake, The Key Board Warrior යනුවෙන් නම් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වීඩියෝ පට තුනක් අන්තර්ගත කර තිබුණි.
2020 වසරේදී නාස් ඩේලී, කොවිඩ් වසංගත සමය තුළ වඩාත්ම නිර්ලෝභීව කටයුතු කළ රට වශයෙන් (The Most Generous Country During Covid) ශ්‍රී ලංකාව නම් කරමින් නිකුත් කළ වීඩියෝ පටයක් නිර්මාණය කර තිබුණි.
කාරක සභා සභාපතිවරුන්ට කථානායකගෙන් විශේෂ ප්‍රකාශයක්
කාරක සභා පැවැත්වෙන අවස්ථාවේදී වෙනත් කිසිදු බාහිර පුද්ගලයෙකු එම රැස්වීම් කාමර තුළට ඇතුළු විය නොහැකි බව කතානායකවරයා විසින් අද (20) දින විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.
ඔහු මේ බව සඳහන් කළේ, අද (නොවැ. 20) පාර්ලිමේන්තුවේදී ය.
කාරක සභා සභාපතිවරුන් තමන්ගේ විෂය සීමාව ඉක්මවා කාරක සභාවේ වැඩ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් තමා වෙත විවිධ අවස්ථාවලදී කරුණු වාර්තා වී ඇති බව ත් පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් පුරා පැවති සාම්ප්‍රදායන් ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට සියලු ම කාරක සභා සභාපතිවරුන් ස්ථාවර නියෝග අනුව බැඳී සිටින බව කතානායකවරයා සඳහන් කළේ ය.
”පාර්ලිමේන්තුවේදී දැනට ක්‍රියාත්මකව පවතින විවිධ කාරක සභා රැස්වීම් සඳහා සාමාජික මන්ත්‍රීවරයන් හෝ සභාපතිවරයාගේ විධිමත් අවසරය මත පැමිණෙන සාමාජික මන්ත්‍රීන් නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අදාළ කාරක සභාවේ වැඩකටයුතු සඳහා කැඳවීමක් කරන ලද වෙනත් බාහිර ආයතන නිලධාරීන්ට ද එකී කාරක සභාවේ කටයුතු ඉටු කරනු ලබන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මියන්ට පමණක් එම කාරක සභා සහභාගී විය හැකි බව ත් වෙනත් කිසිදු හෝ බාහිර පුද්ගලයෙකුට එම කාරක සභා රැස්වීමේ පැවැත්වීමේ අවස්ථාවේදී කාරක සභා කාමර තුළට පැමිණීමට හෝ කිසිදු අවසරයක් නොමැති බව ත් මෙයින් අවධාරණය කරමි. මීට අමතරව කාරක සභා සභාපතිවරයා තමන්ගේ විෂය සීමා ඉක්මවා කාරක සභාවේ වැඩ කටයුතු කිරීමේ ප්‍රවණතාවක් පිළිබඳ මා වෙත විවිධ අවස්ථාවලදී කරුණු මා වෙත ඉදිරිපත් වී ඇති බැවින් ඒවා සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේ චිරාත් කාලයක් පුරාවට පැවති සම්ප්‍රදායන් සහ පරිචයන් ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට සියලු ම කාරක සභා සභාපතිවරුන් පාර්ලිමේන්තු ස්ථාවර විධි විධාන ප්‍රකාරව බැඳී සිටින බව අවධාරණය කරමි”
එසේ ම ඔහු තවදුරට ත් සඳහන් කළේ, කාරක සභා සභාපතිවරයන් වශයෙන් වැඩ කටයුතු කිරීමේදී සම්බන්ධීකරණය සහ උපදේශන කාර්යයන් සඳහා කිසියම් බාහිර පුද්ගලයෙකුගේ සේවය සඳහා ස්වෙච්ජාවෙන් හෝ ලබා ගැනීමට කතානායකවරයාගේ ලිඛිත අවසරයක් ගත යුතු බව ය.
”පාර්ලිමේන්තුවේ කාර්යයය මණ්ඩලයේ නිලධාරීන්ට අමතරව කාරක සභා සභාපතිවරයන් විසින් කාරක සභාවේ වැඩ කටයුතු කිරීම සම්බන්ධීකරණය සහ උපදේශන කාර්යයන් සඳහා කිසියම් බාහිර පුද්ගලයෙකුගේ සේවය ස්වෙච්ජාවෙන් හෝ වෙනත් ආකාරයකින් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා මාගේ පූර්ව ලිඛිත අවසරයක් ගත යුතු බව අවධාරණය කරමි”
කාරක සභා වැඩකටයුතු කරගෙන යාමේදී විවිධ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල ව්‍යවස්ථාපිත හෝ ව්‍යවස්ථාපිත නොවන ආයතනවල රජයේ නිලධාරීන් කැඳවීමේදී ඔවුන් අපහසුතාවට පත් නොවන ආකාරයෙන් කාරක සභාවේ වැඩකටයුතු කිරීම සිදු කළ යුතු බව ත් ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.
”තව ද කාරක සභා වැඩකටයුතු කරගෙන යාමේදී විවිධ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල ව්‍යවස්ථාපිත හෝ ව්‍යවස්ථාපිත නොවන ආයතනවල රජයේ නිලධාරීන් කැඳවීමේදී ඔවුන් අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් කාරක සභාවේ වැඩකටයුතු කිරීමටත් පාර්ලිමේන්තුවේ ගෞරවයට අභිමානයට හානි නොවන ආකාරයෙන් සමබරව කාරක සභාව විසින් අනුමත කරන ලද කාරණා සම්බන්ධයෙන් පමණක් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමට ත්, ලිපි ගනුදෙනු කිරීමේදී අදාළ කාරක සභා නාමය සහිත නිල ලිපි ශිර්ෂ අදාළ කාරක සභා විසින් අනුමත කාරණා සන්නිවේදනය කිරීම සඳහා පමණක් භාවිතා කිරීමට ත් එම කාරක සභා නිල ලිපි ශිර්ෂ කිසිම අවස්ථාවක පෞද්ගලික හෝ දේශපාලනික කාරණා වෙනුවෙන් භාවිතා කිරීම නොකළ යුතු බවට ත් එලෙසම කාරක සභා වැඩකටයුතු සම්බන්ධයෙන් වාර්තා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමේදී ද මෙතෙක් අනුගමන කරන ලැබූ ක්‍රමවේදයන්ට අනුව කටයුතු කිරීමටත් සියලු ම කාරක සභා සභාපතිවරයන් විසින් වග බලා ගත යුතු බවට මෙයින් අවධාරණය කරමි”
මේ අතර, කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ පුත් කනිෂ්ක බණ්ඩාර කෝප් කමිටු රැස්වීමට පැමිණීම සම්බන්ධයෙන් විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් පසුගිය දා දැඩි විරෝධය පළ කළහ.
විනිසුරු පත්කිරීම් ගැන ව්‍යවස්ථා සභාවෙන් අගවිනිසුරුට ලිඛිත දැනුම්දීමක් !
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අභියාචනාධිකරණයේ සභාපති ඇතුළු විනිසුරුවරුන් පත් කිරීමේ දී එම විනිසුරුවරුන්ගේ ක්‍රියා කලාපය පරීක්ෂා කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ට ලිපියකින් දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කරන යෝජනා අනුව සිදු වන පත් කිරීම්වලට අදාලව මෙම ලිපිය යොමු කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අගවිනිසුරුවරයාට යොමු කරන ලද ලිපියෙන් තවදුරටත් දක්වන්නේ නව පත් කිරීම් ලබන විනිසුරුවරුන් පසුගිය වසර කිහිපය ඇතුලත ලබා දුන් විනිශ්චයන් සංඛ්‍යාව සහ අදාල විනිසුරුවරයාගේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බවයි.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරන ලද අදාල විනිසුරුවරුන්ගේ විනිශ්චයන් සංඛ්‍යාව සහ ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නිරීක්ෂණ පිළිබඳවත් අදාල විනිසුරුවරයාගේ හැසිරීම සහ ඔහු නීතිමය අධිකරණ විද්‍යාවේ දියුණුව සඳහා කිසියම් කැපී පෙනෙන දායකත්වයක් ලබා දීම යනාදී කරුණු සම්බන්ධයෙන් විමසා බැලිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අගවිනිසුරුවරයාට යැවූ ලිපියේ දක්වා තිබේ.
- lankadeepa
පොලිස්පතිගේ සේවා දිගුව ව්‍යවස්ථා සභාව ප්‍රතිකේෂ්ප කරලා !
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ගේ තෙවැනි සේවා දිගුවද ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පොලිස්පති සී. ඩී වික්‍රමරත්න ට තුන්වැනි සේවා දිගුව ලබා දුන්නේ පසුගිය 3 වැනිදාය.
ඔහුට මෙලෙස තුන්වැනි සේවා දිගුව දුන්නේ සති තුනක කාලයක් සඳහා වන අතර ඒ අනුව පොලිස්පතිගේ සේවා කාලය ලබන 24 වැනිදා අවසන්වීමට නියමිතයි .
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ගේ සේවා දිගු අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් දිගටම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවත් වාර්තා වෙයි .
මේ අතර තුන්වෙනි සේවා දිගුව අවසන් වීමෙන් පසු පොලිස්පති සිරි වික්‍රමරත්න ට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේද එසේ නැත්නම් නව පොලිස්පතිවරයකු පත් කරන්නේද යන්න සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් වාර්තා වෙයි .
පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිවු දෙනකුගේ නම් රජයට දැනටමත් යෝජනා වී ඇත.
ජනපති රනිල් ගෝලීය දකුණේ හඬ සමුළුව අමතයි !
ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වූවද රටේ ජනතාවගේ ජීවන තත්ත්වය, සහ අවදානමට ලක්විය හැකි ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඉදිරි වසර සඳහා වන අයවැය රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ "ගෝලීය දකුණේ හඬ" සමුළුවේ රාජ්‍ය නායක සැසිය පසුගිය 17 වනදා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අමතමිනි.
දෙවැනි වරට පැවැත්වූ මෙම සමුළුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේදි ආරම්භ වූ අතර සංවර්ධනය වෙමින් පවතින රටවල රාජ්‍ය නායකයින් රැසක් ඊට එක්ව සිටියහ.
සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් කළ ආරාධනයට සිය ස්තූතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සමුළුව සංවිධානය කරමින් ඉන්දියාව සිදු කරන කාර්යභාරය ද අගය කළේය.
පළමු වරට පැවැත්වූ ගෝලීය දකුණේ හඬ සමුළුවේ වැදගත්කම පිළිබිඹු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නායකත්වය සහ සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ ප්‍රමුඛතා කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු කිරීම සඳහා එමඟින් ඇති වූ ධනාත්මක බලපෑම අගය කළේය.
ඉන්දියාවේ සභාපතිත්වය යටතේ පැවති G20 සමුළුවේ සාර්ථකත්වය සිහිපත් කළ ජනාධිපතිවරයා, සංවර්ධනය වෙමින් පවතින රටවලට අදාළ ප්‍රධාන ප්‍රමුඛතා සහ විවිධ ගැටළු හඳුනාගැනීමට එමගින් හැකි වූ බව ද සඳහන් කළේය.
පසුගිය වසරේ පැවති පළමු සමුළුවේදී, ආර්ථික ගැටළු, එනම් ණය පියවීමේ දුෂ්කරතා සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ සඳහා පවතින සීමිත ප්‍රවේශය වැනි ගෝලීය දකුණ විසින් මුහුණ දෙන පොදු අභියෝග පිළිබඳව තමා දැක්වූ අදහස් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සිහිපත් කළේය.
මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සහ G20 රටවල් අතර පාලමක් ලෙස ඉන්දියාව ක්‍රියාකිරීම සහ බහුපාර්ශ්වික ආයතනවලින් හා සංවර්ධිත ආර්ථිකයන් සහිත රටවලින් මේ සඳහා බාහිර ආධාර අවශ්‍ය බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබිණි.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ප්‍රගතිය පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලැබීම සහ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය පිළිබඳ නිල ණය හිමියන්ගේ කමිටුව විසින් අත් කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ද සඳහන් කළේය.
මෙහිදී ණයගැතිභාවය පිළිබඳ ගැටලුවේ සංකීර්ණත්වය වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපතිවරයා, මේ සඳහා තිරසාර විසඳුම් සෙවීම වෙනුවෙන් ණයහිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන අතර සහයෝගීතාවක් ඇති කර ගත යුතු බව ද සඳහන් කළේය.
අනාගතය දෙස බලමින් දිගුකාලීන වර්ධනයක් සඳහා විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ සහ සම්බන්ධතා වර්ධනය කර ගැනීම වැදගත් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.
තමා පසුගියදා ඉන්දියාවේ සිදු කළ නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ එක්ව එළිදක්වන ලද හවුල්කාරීත්ව දැක්ම තුළ අන්‍යෝන්‍ය වශයෙන් ප්රතිලාභ සැලසෙන අයුරින් සියලු ක්ෂේත්රයන් ඔස්සේ දෙරට අතර සබඳතා ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඩිජිටල්කරණයේ දී අද ඉන්දියාව ඉහළ සාර්ථකත්වයක් ලබා ඇති බවත්, එම ක්ෂේත්රයට අදාළව දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට විශේෂ අවධානයක් යොමු කළ යුතු බවටත් ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.
ආර්ථික වර්ධනයේ දී මෙන්ම ඵලදායී රාජ්‍ය සේවාවක් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ ඩිජිටල්කරණයේ දියුණුව අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය ලේකම් ඇතුළු 09කට රට ගමන් තහනම්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු අමාත්‍යාංශ ප්‍රධානීන් 9 දෙනෙකුට විදේශගත වීම තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ, ව්‍යාජ ලේඛන සකස් කර මිලියන 130ක වටිනාකමකින් යුත් ප්‍රමිතියෙන් තොර මානව ප්‍රතිදේහ (ඉමියුනොග්ලොබියුලීන්) එන්නත් ගනුදෙනුවට සම්බන්ධ බවට සැක කරමිනි.
එලෙස මානව ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රාජ්‍ය රෝහල් වෙත බෙදා හැරීමේ වංචාවට මේ පුද්ගලයන් සම්බන්ධ බවත්, ඔවුන් අධිකරණය මගහැර විදේශගත වීමට හැකි බවත් සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය ඉදිරියේ කරුණු පැහැදිලි කර ඇත.
එකී ඉල්ලීම සලකා බලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම්, තාක්ෂණික ඇගයීම් කමිටුවේ ප්‍රධානී, වෛද්‍ය සැපයීම් ඒකකයේ අධ්යක්ෂ, වෛද්‍ය සැපයීම් ඒකකයේ සහකාර අධ්යක්ෂ ඇතුළු පහත සඳහන් උසස් නිලධාරීන් 9 දෙනෙකුට මෙම තහනම් නියෝගය පනවා තිබේ.
1 - සීමාහේවගේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත
2 - අත්තනායක මුදියන්සේලාගේ සමන් කුසුම්සිරි රත්නායක
3 - හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්
4 - බුත්පිටිය ලේකම්ලාගේ දොන් ජයනාත්
5 - යූ. එස්. කේ. දෙනාවත්ත
6 - ඩී.එච්.ආර්. එන්. ප්‍රේමතුංග
7 - ටී. ඩී. සොලමන්
8 - මරක්කල මානගේ නිරාන් ධනංජය
9 - එම්. සුජිත් වසන්ත කුමාර
මෙම පුද්ගලයන් විදේශගත වීමට ක්‍රියා කළහොත් හෝ විදේශගතව සිට මෙරටට පැමිණියහොත් එම ගමන නවතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය ඒ පිළිබඳ දැනුවත් කරන ලෙස මාලිගාකන්ද අධිකරණය ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
ඒ, 1948 අංක 20 දරන ආගාමික විගාමික පනතේ 1993 අංක 16 දරන පනතින් සංශෝධිත ආගාමික විගාමික පනතේ 51 (ඇ) (1) වගන්තිය සමග කියවිය යුතු 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වගන්තිය අනුව බව ද අධිකරණ නියෝගයේ දක්වා තිබේ.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබා දෙන අවස්ථාව වන විටත් තාක්ෂණික ඇගයීම් කමිටුවේ ප්‍රධානී විදෙස්ගත වී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයේ අනුමැතියකින් තොරව, සහකාර ලේකම්වරයාගේ අනුමැතිය යටතේ විෂය භාර ඇමැතිවරයාගේ අවසරය මත ඔහු විදෙස්ගත වී ඇති බව ද හෙතෙම කීය.
ව්‍යාජ ලිපි ලේඛන භාවිත කරමින් ප්‍රසම්පාදන කටයුතුවලට සම්බන්ධ වී මිල දී ගත් මානව ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මාලිගාකන්ද අධිකරණයේ නඩු ගොනු කර ඇත.
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් කුප්පි 22,500ක තොගයක් මෙරටට ගෙන්වන ලදැයි කියන සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් 'අරුණ දීප්ති', ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක යන තිදෙනාට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මිට ඉහත දී විදෙස් ගමන් තහනමක් පනවා තිබිණ.
මෙම හියුමන් ඉමියුනොග්ලොබියුලීන් වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය බුද්ධි අංශය විසින් වෙන වෙනම විමර්ශන සිදුකරමින් පවතී.
මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කරන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට අධිකරණය නියෝග කර තිබුණ ද මෙතෙක් ඔවුන් ඉදිරිපත් කර නොතිබිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත නොවැම්බර් 18 වන දා සිට සේවයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබිණ.
දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරුවේ වැසි
දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ මන්නාරමටත් මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති වේ.
උතුර බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේ තද වැසි ඇති වේ.
ඉමියුනොග්ලොබියුලින් ඖෂධ මගඩියේ විමර්ශන ගැන සෞඛ්‍ය ඇමති කියයි !
ප්‍රශ්නගත ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා කිසිදු දේශපාලන බලපෑමක් සිදු කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කරයි.
අදාළ විමර්ශන කටයුතු වෙනුවෙන් කිසියම් කාල සීමාවක් අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මේ බව සඳහන් කර සිටියේ ඉමියුනොග්ලොබියුලින් ඖෂධය මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.
එම ප්රශ්නය යොමුකරමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමක් පනවා ඇති පුද්ගලයෙකු මෙරටින් පළා ගොස් ඇති බවය.
මේ අතර, අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු පුද්ගලයන් 09 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පැනවීමට මාලිගාකන්ද අධිකරණය නියෝග කර තිබේ.
එසේම මෙම සිදුවීමට අදාළ තවත් තිදෙනෙකුට මීට ඉහත දී විදෙස් ගමන් තහනමක් පනවා තිබිණි.
VAT බදු අය කිරීම ගැන කෝපාවෙන් දේශීය ආදායමට උපදෙස් !
ජනතාව ගෙවනු ලබන VAT බද්ද රජයට නිසියාකාරව ලැබෙන්නේ ද යන්න තහවුරු කරගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස කෝපා කමිටුව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2019, 2020, හා 2021 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධනය පරීක්ෂාව සඳහා කෝපා කමිටුව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව සඳහන් කර ඇත.
ඊට ප්‍රතිචාර දක්වමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් පවසා ඇත්තේ වර්තමානය වනවිට VAT බද්ද සඳහා ආයතන 13,000ක් පමණ ලියාපදිංචි වී ඇති අතර එම ආයතන මඟින් අදාළ බද්ද රජයට ගෙවීම පිළිබඳව විමර්ශන කරන බවය.
කෙසේ වුවත් කෝපා කමිටුව අවධාරණය කර ඇත්තේ ජනතාවගෙන් VAT අය කරන ආයතන එම බදු නිවැරදිවම රජයට ලැබෙන ක්‍රමවේදයක් සකස් කළ යුතු බවය.
තවද ,RAMIS පද්ධතිය තවමත් භාරගත නොහැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එහිදී කෝපා කමිටුවට දැනුම් දී ඇති අතර එහිදී RAMIS පරිගණක පද්ධතියට සම්බන්ධ වීමට වහාම තමන්ගේ පරිගණක පද්ධතියේ අදාළ යාවත්කාලීන කිරීම් සිදුකරන ලෙස කෝපා කමිටුව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.
එසේම 2023 වසරේ මේ වනතෙක් නව බදු ගෙවන්නන් 198,000කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙහිදී පවසා ඇත .
කෝප් සභාපතිට බාල්දි පිට බාල්දි !
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට බාර දීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි .
අදාළ විශ්වාස භංග යෝජනාව එළැඹෙන සඳුදා (20) කතානායකවරයා වෙත භාරදීමට නියමිත බවත් දැනගන්නට ඇත .
ඊට නිමිත්ත වී තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර අතර ඇතැයි පැවසෙන ළබැදියාවන් අතර ගැටුම බවත් එබැවින් ඔහු එම කමිටුවේ මුල් පුටුවේ තබා ගෙන ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කතාබස් කිරීම ඵලදායි කරුණක් නොවන බව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය වී ඇති බවත් වාර්තා වෙයි .
එබැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර ගේ මූලිකත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා විමර්ශනය කිරීමට එකඟ නොවීමට ද ඔවුන් තීරණය කර ඇත .
මේ අතර කෝප් කමිටුවේ රැස්වීම් දින නියමයක් නොමැතිව නතර කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (17) තීන්දු කළේය .
මහින්දගේ ජන්ම දින සැමරුමේ මැති ඇමති හිඟයක් !
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ජන්ම දිනයට සමගාමීව අභයාරාමයේදී අද (18) උදෑසන කිරිඅම්මාවරුන්ගේ දානමය පිංකමක් පැවැත්වු අතර ඒ සඳහා අපේක්ෂා කළ තරම් පිරිසක් සහභාගීව නොමැති බව වාර්තා වෙයි .
මෙම කිරිඅම්මාවරුන්ගේ දානමය පිංකම අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පවත්වා ඇති අතර ඒ අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගි වී ඇතත් මැති ඇමතිවරුන් ගේ සහභාගිත්වයේ අඩුවක් කැපීපෙනී තිබේ.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඒ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කර ඇත .
"මම මේ පිංකම කරන්නේ රට බේරාගත් නායකයා වෙනුවෙන් යුතුකමක් වශයෙන්. නමුත් ඔබතුමාට පේනවා ඇති අද මෙතන තත්ත්වය එදා මෙතන අපිට ඉන්නවත් ඉඩ නෑ. ඒ තරම් ඇමති මැතිවරු. අද බලන්න තත්ත්වය කොච්චර වෙනස් වෙලාද කියලා. බලය තියෙනදාට ඕන තරම් අය ඉන්නවා. බලය නැතිදාට කිසිකෙනෙක් නැහැ. ඔබතුමාට මේවා හොඳ පාඩම්"
ඉමියුනෝග්ලොබින් එන්නත නිසා සෞඛ්‍ය ලේකම්ට සේවා දිගුව අහිමිවෙයි : අලුත් ලේකම් පාලිත !
සෞඛ්‍ය සේවා හිටපු අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස දැනට කටයුතු කරන්නේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත වන අතර ඔහුගේ සේවා කාලය අද (18) අවසන් වෙයි. ඒ අනුව විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස අනිද්දා (20) පත්කිරීමට නියමිතය.
කෙසේ වුවත් අද විශ්‍රාම යන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා තවත් වසරක සේවා දිගුවක් ඉල්ලා ඇති නමුත් ඒ සඳහා අනුමැතිය නොලැබී ඇති බවත් දැනගන්නට ඇත. ඒ ව්‍යාජ ලේඛන භාවිතා කරමින් ප්‍රමිතියෙන් තොර මානව ප්‍රතිදේහ හෙවත් හියුමන් ඉමියුනෝග්ලොබින් එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීමේ කුප්‍රකට සිද්ධියට ඔහුගේ නම ද ගෑවි වී ඇති නිසාය.
මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අමාත්‍යංශයේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගේ නමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරය සඳහා නම් කර ජනාධිපතිවරයා වෙත නිර්දේශ කර තිබුනද ආන්දෝලනාත්මක ඉමියුනෝග්ලොබියුලින් එන්නත් ගණුදෙනුව සම්බන්ධ විමර්ශන වලදී මේවනවිට ඔහුවද ප්‍රධාන සැකකරුවකු ලෙස හඳුනාගෙන ඇති බැවින් ඒ සඳහා ද අවසර දී නොමැති බවත් වාර්තා වෙයි.
එසේම මේ වන විට පරිසර අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ගේ නමද අද පුරප්පාඩු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරය සඳහා යෝජනා වී ඇතත් පරිසර අමාත්‍යංශයේ වැදගත් ව්‍යාපෘති කිහිපයක් ඔහුගේ අධීක්ෂණය යටතේ ඇරඹි ඇති බැවින් ඔහුව නිදහස් කිරීමට විෂය භාර අමාත්‍යවරයා ප්‍රතිකේෂ්ප කර ඇති බවත් වාර්තා වෙයි .
ඒ අනුව විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත්කිරීමට නියමිත බවත් ඔහු මීට පෙර ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධාන රැසකද නිලතල හොබවා ඇති නිලධාරියෙකු බවත් වාර්තා වෙයි .
දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඇතුළු කෙටුම්පත් 4ක් බලාත්මක වෙයි !
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරකට කතානායකවරයා අද (17) සහතිකය සටහන් කළේය.
මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ අතර කතානායකවරයා ගේ සහතික කිරීම සමඟ අදාළ පනත් කෙටුම්පත් හතර මෙතැන් සිට බලාත්මක වෙයි.
ඒ අනුව මෙසේ බලාත්මක වූයේ ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත, දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් හතරය.
දයාසිරිගේ ඉල්ලීම විසිවෙයි !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ හිටපු මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉදිරිපත් කල අභියාචනය බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (17) ප්‍රතික්ෂේප කළේය.
එහිදී පක්ෂ ව්‍යවස්ථාව යටතේ පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමට පක්ෂයේ සභාපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන ට බලය ඇතැයි පෙන්වා දෙමින් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා කළ ඉල්ලීමක් පිළිගනිමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඉදිරිපත් කල අභියාචනය ප්‍රතික්ෂේප කිරරීමට අධිකරණය තීන්දු කර ඇත.
බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ෆ්රෑන්ක් ගුණවර්ධන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබිණ .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයේ කටයුතු කිරීම අත්හිටුවීමට සහ තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට පක්ෂය ගත් තීරණය අභියෝග කරමින් තමන් කොළඹ දිසා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභ කරමින් දුන් තීන්දුව ඉවත දමන්නැයි ඉල්ලමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයට මෙම අභියාචන පෙත්සම ඉදිරිපත් කොට තිබිණී.
හිටපු CID ප්‍රධානියා පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ආන්දෝලනාත්මක අනාවරණයක !
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන හිටපු රජයේ බලපෑම මත අඩාල වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න ඔස්ට්‍රේලියානු රූපවාහිනි සේවාවක් වෙත ප්‍රකාශ කර තිබේ.
ABC ප්රවෘත්ති සේවාව වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන්නේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වීමත් සමඟ අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලය පත්කිරීමට පෙරම සිය විමර්ශන කණ්ඩායම පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කටයුතුවලින් ඉවත් කළ බවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ වාර්තාමය වැඩසටහනක් ඔස්ට්‍රේලියානු ABC ප්රවෘත්ති සේවය විසින් ඊයේ (16) විකාශය කර තිබිණි.
එම වැඩසටහන මඟින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා ඇතුළු කණ්ඩායම අදාළ විමර්ශනවලින් වහා ඉවත් කළේ, කිසිදු දැනුම්දීමකින් තොර බව ඔහු පවසයි.
එහි දී ඇතැම් බුද්ධි අංශ නිලධාරින් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වීම එම පරීක්ෂණවලට බාධාවක් වූ බව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කරයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 06කට පෙර නැගෙනහිර වවුනතිව්හී දී පොලිස් මුරපොළක කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද නිසි තොරතුරු ලබාදුන්නේ නම්, මෙම මෙම ප්‍රහාරය වැළැක්වීමට හැකියාව තිබූ බවයි.
එමෙන්ම අමෙරිකානු FBI ඔත්තු සේවාවේ සහායෙන් අනාවරණය කරගත් එක් කරුණක් වන්නේ, පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ජාතික තවුහිද් ජමාත් ත්රස්තවාදීන් සමඟ රහස්‍ය හමුදා බුද්ධි අංශ මෙහෙයුම් අන්තර්ජාල ලිපිනයක් ඔස්සේ නිරන්තර සන්නිවේදනයක් සිදු ව ඇති බවයි.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගේ සමීපතයන් හෝ ප්‍රශ්න කිරීම් ජාතික ආරක්ෂක මෙහෙයුම්වලට බලපාන බව පවසා බුද්ධි අංශ නිලධාරින් දෙවරක්ම වැළැක්වූ බව ද ඔහු ප්‍රකාශ කරයි.
- Derana
IMF දෙවැනි වාරිකය ලැබෙන දවස ඇමති නිමල් හෙළිකරයි !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන දෙවන ණය වාරිකය නිදහස් කිරීම දෙසැම්බර් මාසය වන විට සිදුවනු ඇතැයි විශ්වාස කරන බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.
2024 සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ අයවැය කෙටි කාලීන ලාභ අපේක්ෂාවලින් තොර කඩා වැටුණු ජාතික ආර්ථිකය ගොඩ නැගීමේ දිගු කාලීන වැඩපිළිවෙලක ආරම්භයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙසේද පැවසීය.
මෙවර ඉදිරිපත් කළ අයවැය කෙටි කාලීන ලාභ අපේක්ෂාවකින් තොරව කඩා වැටුණ ජාතික ආර්ථිකය ගොඩනැගීමේ දිගුකාලීන වැඩපිළිවෙළක තවත් ආරම්භයක් සනිටුහන් කරනවා. ඒ සඳහා අවශ්‍ය වැඩසටහන් ඇතුළු ප්‍රතිපත්ති මේ අයවැයේ ඉතා පැහැදිලිව ඉදිරිපත් කර තිබෙනවා. ඇතැමුන් එය මැතිවරණ අයවැයක් ලෙස හඳුන්වනවා. නමුත් මෙය එවැනි මැතිවරණ අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ අයවැයක් නොවෙයි.
එය මැතිවරණ ඉලක්ක කර ඉදිරිපත් කළ අයවැයක් නම් සංවර්ධනයට අදාළ යෝජනා හා ප්‍රතිපත්ති සියල්ල අමතක කර ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ගත යුතු අසීරු තීන්දු තීරණ නොගෙන සිටීමට තිබුණා. ඒ වගේම මුදල් මුද්‍රණය කර හෝ සාමාන්‍ය ජනතාවට තවත් සහන සැලසීමට ඉඩ තිබුණා.
පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධතා හේතුවෙන් රටේ දේශපාලන හා සමාජ ස්ථාවරත්වය නැති වී ගොස් තිබුණා. දේශපාලන සහ සමාජ ස්ථාවරත්වයක් නැති රටකට මූල්‍ය ආධාර, ණය පහසුකම්, ආයෝජන ලැබෙන්නේ නැහැ. මේවා නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට පැවති පාලනය අසමත් වුණා. එම තත්ත්වය කළමනාකරණය කිරීමේ වගකීම භාරගැනීමට විරුද්ධ පක්ෂයට ආරධනා කළත් ඔවුන් එය පිළිගත්තේ නැහැ.
ඒ අවස්ථාවේදී තමයි රනිල් වික්‍රමසිංහ මහතා මේ දුෂ්කර වගකීම භාර ගත්තේ.
එතුමා තම ප්‍රතිපත්තිය පැහැදිලිව ඉදිරිපත් කළා. තමන් ක්‍රියාත්මක කරන්නේ කෙටි කාලීන ජනප්‍රිය ව්‍යාපෘති නොව දීර්ඝ කාලීනව රට ගොඩනගන ව්‍යාපෘති බව ද ඔහු අවධාරණය කළා. මෙම ප්‍රතිපත්තිය සමඟින් ජාතිය ගොඩනැගීමේ ගමනේ ඉදිරියට යාමේදී ඉහත සඳහන් කළ පරිදි ජනතාවට ජනප්‍රිය සහන සැලසීමක් අපේක්ෂා කළ නොහැකියි. නමුත් ජනාධිපතිවරයා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඒ සමග ජාතික ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ ද ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම රටේ සංවර්ධනයට බාධාවක් වූ විවිධ ප්‍රශ්න විසඳමින් රට සංවර්ධනය කරා ගෙන යාමට අවශ්‍ය පසුබිම අප මෙවර අයවැයෙන් නිර්මාණය කර තිබෙනවා.
2024 අයවැයෙන් ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් අත්වී නැති බව ඇතැමුන් පවසනවා. නමුත් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, වැඩිහිටි හා ආබාධිත දීමනා වැඩි කිරීම මෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රාදේශීය සංවර්ධනය, ඉඩම් අයිතිය සින්නක්කරව ජනතාවට ලබාදීම ඇතුළු විවිධ සහන රැසක් මෙවර අයවැයෙන් ජනතාවට ලබාදී තිබෙනවා. මේ සියල්ල ලබාදීමට රජයට ආදායමක් ද අවශ්‍යයි.
අප වියදම් කරන ප්‍රමාණය අනුව ආදායම ද ලැබිය යුතුයි. අය වැය කියා කියන්නේ එයයි. රජයන් බොහෝවිට මෙවැනි සහන ලබාදීමට වියදම් දරන්නේ ජනතාව වෙතින් එකතු කරගන්නා බදු ආදායමයි.
ඒ නිසා අප වියදම් සහ ආදයම් අතර සමබරතාවයක් පවත්වා ගත යුතුයි. පවතින තත්ත්වය යටතේ ජනතාවට තවත් සහන ලබාදීමට නම් බදු අයකිරීම වැඩි කරන්න සිදුවෙනවා. මේ යාන්ත්‍රණය ජනතාව තේරුම් ගත යුතුයි. වැටුප 10,000 කින් වැඩි කළත් ඇතැම් පාර්ශ්ව වැටුප තවත් වැඩිකරන ලෙස ඉල්ලමින් සටන් පාඨ කියනවා. අපි ප්‍රායෝගිකව හිතුවොත් ඒවා ආණ්ඩු විරෝධී සටන් පාඨ පමණයි. ඒවා ප්‍රායෝගිකව කළ නොහැක්කක් බව අද මේ රටේ ජනතාවට වටහා ගත යුතුයි.
ඒ වගේම ආර්ථික පරිහානියට හේතුව ලෙස පසුගිය රජය දැවැන්ත බදු සහන ලබාදීම බව විරුද්ධවාදීන් පවසනවා. ඒ විවේචනය තුළ බදු වැඩි කළ යුතුය යන්න ඔවුන් පිළිගෙන තිබෙනවා. නමුත් බදු වැඩි කළත් ඊට එරෙහිව ද සටන් පාඨ මතු කරනවා. මේ අනුව ඔවුන් එකිනෙකට පරස්පර මත දෙකක් ඉදිරිපත් කරනවා. ජනතාව මෙය තේරුම් ගත යුතුයි.
ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය දෙසැම්බර් මාසය වන විට අප වෙත නිදහස් කරනු ඇතැයි අප විශ්වාස කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදලට වඩා අපට වැදගත් වන්නේ ඒ හරහා අනෙකුත් ණය දෙන්නන් අප කෙරෙහි තබන විශ්වාසයයි. ඒ හරහා වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කිරීමේ අවස්ථාව අපට හිමි වනවා. ඒ වගේම අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කරගත් පසු රටේ ඇනහිට ඇති සියලුම සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමට හැකි බවද සඳහන් කළ යුතුයි.
පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ද මේ වනවිට සිදු කෙරෙමින් පවතිනවා. එමෙන්ම අදායම් එකතු කරගැනීමේ දී ගැටළු පවතින ආයතන කිහිපයක් ප්‍රතිසංවිධානය කිරීම ද කළ යුතුව තිබෙනවා. ඒ අනුව රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ආදායම් බදු දෙපාර්තමේන්තුව වැනි ආයතනවල පවතින දූෂණ අවම කොට ඒවා රජයට විධිමත් ලෙස එකතු කර දෙන ආයතන බවට පත් කර ගත යුතුයි.
මේ වන විට රජය ආරම්භ කළ ආර්ථික වැඩසටහන් සාර්ථක ලෙස ඉදිරියට යමින් තිබෙනවා. ඒ අනුව අද වන විට මෙරට සංචිතවල ඩොලර් බිලියන 3.5ක් පවතින බව මහ බැංකුව පවසනවා.
නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් බිඳ වැටෙයි
නොරොච්චෝලේ තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීම හේතුවෙන් ජනන යන්ත්‍රය අද (17) රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ වන විට එය යථාතත්ත්වයට පත්කිරීම සදහා අවශ්‍ය මුලික කටයුතුබලාගාරයේ කාර්ය මණ්ඩලය විසින් ආරම්භ කර ඇති බවත් නිවේදනයේ සඳහන් වෙයි.
කෙසේ වුවත් මේ හේතුවෙන් විදුලිබල සැපයුමට බාධාවක් නොවන අතර, මෙම නඩත්තු කාලය තුළ උපරිම ලෙස ජල විදුලි නිෂ්පාදනය සිදුකරමින් අඛණ්ඩව විදුලිය සැපයීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරන බව ද නිවේදනයේ දැක්වෙයි .
තවද මෙම බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් කර ඇති අතර, මේ වනවිට එහි පරීක්ෂණ ධාවන කටයුතු සිදුකරන බවත් විදුලි බල මණ්ඩලය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත .
ඒ අනුව මෙම තෙවන ජනන යන්ත්‍රය ඉතා ඉක්මනින් විදුලිය නිෂ්පාදනය සඳහා යොමුකිරීමට හැකි බව ද එහි සඳහන් ය.
Page 113 of 443