පුවත්
ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක්
ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ගුවන් තොටුපළට හෝ වෙනත් ස්ථානයකට පැමිණීමේදී අත්අඩංගුවට නොගන්නා ලෙසට අභියාචනාධිකරණය අද (17) පොලිසියට නියෝගයක් නිකුත් කර තිබේ.
ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් ගොනු කරන ලද රිට් පෙත්සමකට අනුව අභියාචනාධිකරණ විනිසුරු (සභාපති) නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායිස් යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.
දිවයිනට පැමිණීමෙන් අනතුරුව දේවගැතිවරයා පැය 48 තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවත් අධිකරණ නියෝගයේ සඳහන් ය.
ඇමති සුසිල්ට ඉහළ පුටුවක් !
ප්‍රංශයේ පැරිස් හි යුනෙස්කෝ (UNESCO )මූලස්ථානයේ පැවති අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වන ඡන්ද විමසීමේ දී යුනෙස්කෝ අධ්‍යක්ෂක මණ්ඩලයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඡන්ද හිමි රටවල් 188න් 144ක (76% ක) ඡන්ද ලබාගෙන ආසියානු ශාන්තිකර කලාපයෙන් තේරී පත්වී ඇත.
ඒ අනුව, 2024 සිට 2027 වසර දක්වා යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි විය.
අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර 2008 වර්ෂයේ දී ද මේ සඳහා ඉදිරිපත් වූ අතර, මෙවර දෙවැනි වතාවටත් යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට ඡන්දයෙන් තේරී පත් වීම විශේෂත්වයකි.
කෝප් කමිටු සභාපතිට එරෙහිව කතානායකට ලිපියක් !
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ( කෝප්) වර්තමාන සභාපතිවරයා එම ධුරයෙන් ඉවත්කර එම තනතුරේ වගකීම් නිසිලෙස ඉටුකිරීමට හැකි මනා පරිචයකින්යුත් මන්ත්‍රීවරයෙක් පත්කරන ලෙස ශ්‍රී ලංකා විගණන සේවා සංගමය කථානායකවරයා වෙත ලිපියක් නිකුත් ඉල්ලා තිබේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු පාලනයට අහිතකර බලපෑම් එල්ලවන බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
අදාළ ලිපියේ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ 2022 සැප්තැම්බර් මස සිට පත් වූ නව සභාපතිවරයා විසින් මෙහෙයවනු ලැබූ කෝප් කමිටු සඳහා සම්බන්ධ වූ තම සංගමය නියෝජනය කරන ජාතික විගණන කාර්යාලයේ විධායක නිලධාරීන්ගෙන් ද වර්තමාන සභාපතිවරයා පිළිබඳ විවිධ චෝදනා සිය සංගමය වෙත ලැබී ඇති බවය.
මේ හේතුවෙන් ව්‍යවස්ථාව හරහා පාර්ලිමේන්තුවට පැවරී ඇති රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ වගකීම් නිසිලෙස ඉටුනොවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් එහිදී දක්වා තිබේ.
කෝප් කමිටු සභාපතිවරයට එරෙහිව එල්ලවී ඇති චෝදනා ලෙස පහත කරුණු එහි ඇතුළත් ය.
එක් එක් ආයතන සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් කෝප් කමිටුව වෙත ඉදිරිපත්කරන සාකච්ඡා සටහනෙහි ඇතුළත් ප්‍රමුඛතම හා විශේෂිතම කරුණු මගහැර සාපෙක්ෂව අඩු අවධානමක් සහිත කරුණු ඉස්මතුකරමින් ඒ සඳහා වැඩි වේලාවක් ගනිමින් විශේෂ හා ප්‍රධාන කරුණු උපක්‍රමශීලීව මඟහැරීම,
කමිටුව විමර්ශනය කරන කරුණු සම්බන්ධයෙන් නිශ්චිත නිර්දේශ හෝ මාර්ගෝපදේශ ලබාදීම මගහැරීම මෙන්ම නිගමනයකින් තොරව සාකච්ඡා අවසන් කිරීම මඟින් කමිටුවේ වගකීම් පැහැර හැරීම,
කෝප් කමිටුව පැවැත්වෙන අතරතුර විමර්ශනයන්ට ලක්වන ආයතනවල කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් සමඟ හස්ත මුද්‍රාවෙන් උපදෙස් ලබාදීම හා කරුණු දැක්වීම්වලදී ආයතන සාමාජිකයන්ට වාසිදායක ලෙස කටයුතු කිරීම.
වේරගොඩ විද්‍යාලයේ යළි ඛේදවාචකයක් නොවීමට රවී මැදිහත් වෙයි !
වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ සිසුවියක මියයෑම පිළිබඳව සොයා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක අද (16) පෙරවරුවේ එම විදුහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේය.
එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව හිටපු මුදල් අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී සිටිය පාසලේ ප්‍රමිතියකින් තොරව ඉදිකර තිබෙන සියලු ඉදිකිරීම් ප්‍රමිතියකින් යුක්තව ඉදිකිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසය.
මීට අමතරව පාසලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක ගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමටද පියවර ගැනිණ.
ජනාධිපති මාලදිවයිනට !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (16) පස්වරුවේ මාලදිවයින බලා පිටත්වගොස් තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන ආකාරයට පසුගියදා පැවැති මාලදිවයින් ජනාධිපතිවරණයෙන් ජයගත් මොහොමඩ් මුඑසු ගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගීවීමේ නිල සංචාරය සඳහා ජනාධිපතිවරයා මාලදිවයින බලා පිටත්ව ගොස් ඇත .
ජනපතිගේ අපේක්ෂාව ගැන අශෝක කියයි !
භාණ්ඩ මිල පාලනය කර නිෂ්පාදනය වැඩි කරමින් සියලු දෙනාට යහපත් ජීවන තත්ත්වයක් භුක්ති විඳිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධාන අරමුණ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පැවසීය.
භාණ්ඩ මිල වැඩිවීම රාජ්‍ය සේවකයන්ට පමණක් නොව සමස්ත ජනතාවටම බලපාන කරුණක් බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, ලබන වසරෙහි පළමු කාර්තුව තුළ එහි සහනදායී තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ද සඳහන් කළේය.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මෙසේද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ 2024 අයවැය ලේඛනය පිළිබඳ විවිධ කතිකාවන් නිර්මාණය වී තිබෙනවා. එහිදී මා විසින් නියෝජනය කරන ස්වදේශ කටයුතු විෂයට අදාළව රාජ්‍ය සේවකයින්ට බලපානු ලබන විවිධ ගැටලු, වේතනයන් පිළිබඳව සහ උද්ධමනය සමඟ ජීවත්වීමට ඇති අපහසුතා පිළිබඳ අවධානය යොමු කෙරුණා.
බඩු මිල වැඩිවීම සහ උද්ධමනය රාජ්‍ය සේවකයන්ට පමණක් නොව සමස්ත ජනතාවටම බලපා තිබෙනවා. එය වැටුප් වැඩි කිරීමකින් පමණක් විසඳීමට නොහැකියි. නමුත් ජනතාව පත්ව සිටින පීඩනය පිළිබඳව රජයක් ලෙස අප සංවේදී විය යුතුයි. ඒ අනුව ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000කින් වැටුප් වැඩි කිරීමට කටයුතු කළා. ඒ වගේම 2024 අයවැය මගින් විශ්‍රාමිකයින්ට ලබා දෙන ප්‍රතිලාභ ඉහළ දැමීම ඇතුළු සමාජ සුබසාධක ප්‍රතිලාභ රැසක් ඉහළ දමා තිබෙනවා. ඒ වගේම විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා අලුතින් අයදුම්කරන අයෙකුට එය ලබා ගැනීමට මෙතෙක් මාස තුනක පමණ කාලයක් ගතවුණා. නමුත් අප එම කාලය සතියක් හෝ දෙකක් දක්වා අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා.
භාණ්ඩ මිල පාලනය කරමින් නිෂ්පාදනය වැඩි කර සියලු දෙනාට යහපත් ජීවන තත්ත්වයක් භුක්ති විඳිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන අරමුණ වනවා. 2024 අයවැය අනුව ද ලබන වසරෙහි පළමු කාර්තුව තුළ භාණ්ඩ මිලෙහි සහනදායී තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.
ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීම, නව විශ්වවිද්‍යාල ස්ථාපිත කිරීම මෙන්ම අබලන් වූ මාර්ග පද්ධතිය යළි සකස් කිරීම සම්බන්ධයෙන් ද මෙවර අයවැයේදී අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ද වෙන් කර තිබෙනවා. ඒ අනුව රටේ ආර්ථිකය ස්ථාවර කර ගනිමින් සංවර්ධන වීමට අවශ්‍ය පදනම මෙවර අයවැයෙහි ඇතුළත් බව සඳහන් කළ යුතුයි. මේ සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරනවා.
2030 වන විට සැමට ඉංග්‍රීසි වැඩසටහන සෑම පාසලකටම !
භාෂා දැනුම සිංහල සහ දෙමළ භාෂාවන්ට පමණක් සීමා කළ නොහැකි බවත්, අනෙකුත් භාෂා දැනුමද සිසු පරපුරට ලබාදිය යුතු අතර 2030 වන විට “සැමට ඉංග්‍රීසි” වැඩසටහන මෙරට සියලු පාසල්වල ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
එසේම විශ්වවිද්‍යාල සිසුන්ට ද ඉංග්‍රීසි දැනුම ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (16) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ, කීර්තිමත් අධ්‍යාපනඥ දිවංගත ආර්.අයි.ටී. අලස් මහතාගේ 10 වන ගුණසමරු උත්සවයට එක් වෙමිනි.
ආර්.අයි.ටී. අලස් මහතාගේ 10 වන ගුණ සමරුව නිමිත්තෙන් “මගේ මංපෙත” ස්වයං චරිතාපදානය ග්‍රන්ථය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.
විදුහල්පතිවරුන් දහසකට ග්‍රන්ථය පිළිගැන්වීම සංකේතවත් කරමින් දස දෙනකුට ග්‍රන්ථය පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.
මෙරට අධ්‍යපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ උදෙසා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිවරයා සඳහන් කළේ ආර්. අයි. ටී අලස් මහතාගේ ද දැක්ම වු “සැමට අධ්‍යාපනය” ලබාදීමේ වගකීම ඉටුකිරීමට රජය කැපවී සිටින බවයි.
මුදල් නොමැතිකමින් කිසිඳු සිසුවෙකුට උසස් අධ්‍යාපන වරම් අහිමි නොවිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා දේපළ විකුණා දරුවන් උසස් අධ්‍යාපනය සඳහා පිට රට යවන යුගයද අවසන් විය යුතු බව පැවසීය.
මෙරට සිසුන්ගේ උසස් අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නව විශ්වවිද්‍යාල කිහිපයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බවත් ඊට දායක වන පෞද්ගලික අංශයේ සියලුදෙනාට අවශ්‍ය සහය නොඅඩුව ලබාදීමට රජය කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
රට පිළිබඳ කැක්කුමක් ඇත්නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නව විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස තමා මෙරටින් පිටව සිටින සිංහල ඩයස්පෝරාවට සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද සඳහන් කළේය.
දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම මේ රටේ සියලු දෙමාපියන්ගේ බලාපොරොත්තුවයි. මෙම අධ්‍යාපනය සිංහල සහ දෙමළ වලට පමණක් සීමා කළ නොහැකියි. ඉංග්‍රීසි භාෂාව මෙන්ම ජපන්, චීන, අරාබි, කොරියන් ආදී සියලු භාෂා දැනුමෙන් අපේ දරුවන් සන්නද්ධ කළ යුතුයි.
රටේ දරුවන්ට ඉංග්‍රීසි භාෂා දැනුම ලබාදීම වෙනුවෙන් 2030 වන විට සැමට ඉංග්‍රීසි වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අප මේ වන විට සැලසුම් කර තිබෙනවා. එසේම විශ්වවිද්‍යාල සිසුන්ට ද ඉංග්‍රිසි දැනුම ලබාදීමට කටයුතු කළයුතුයි. ඒ සඳහා ද අවශ්‍ය වැඩපිළිවෙළ අප සකසනවා.
මෙරට උසස් අධ්‍යාපන ක්‍රමය පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අද මෙරට නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වන බව පැවසුවත් උසස් අධ්‍යාපනය සඳහා විශාල පිරිසක් රට හැර යනවා. ලෝකයේ රටවල් රැසක අපේ දරුවන් උසස් අධ්‍යාපන කටුතුවල නිරතවි සිටිනවා. එම රටවල ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමවේදය අපේ රටේද ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කළයුතුයි.
නිදහස් අධ්‍යාපනය යනු විශ්වවිද්‍යාලවලට ගෙවීමට මුදල් ලබාදීම කියා ඇතැම් පිරිස් ප්‍රකාශ කරනවා. නමුත් අනෙක් රටවල නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයට නොවෙයි. අධ්‍යාපන කටයුතු කරගෙන යාමට සිසුන්ට සහනදායි ණය මුදල් ලබාදෙනවා. එවිට සිසුවාට අයිතියක් තිබෙනවා තමන් කැමති විශ්වවිද්‍යාලය තෝරා ගැනීමට. අපේ රටේ එය තෝරා දෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින්. නමුත් අප කටයුතු කළයුත්තේ ශිෂ්‍යයන්ට අවස්ථාව ලබාදීමටයි. එසේම මුදල් නිසා රටේ දරුවන්ට උසස් අධ්‍යාපන වරම් අහිමි විය යුතු නැහැ.
අප මෙරට විශ්වවිද්‍යාල සංඛ්‍යාව වැඩි කළ යුතුයි. එසේම දැනට තිබෙන විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය ඉහළ නැංවිය යුතුයි. විශ්වවිද්‍යාලවලට අවශ්‍ය පහසුකම් ලබාදී වසර 05ක් තුළ එම ප්‍රගතිය ලබා ගැනීමේ ඉලක්කයක් අප ලබා දෙනවා. එවිට එහි අධ්‍යාපනය ලබන සිසුන්ට හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා. ඒ වගේම ජෙනරාල් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයට සමාන තාක්ෂණ විශ්වවිද්‍යාල 03ක් ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
ඒ සමඟ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අප අවස්ථාව ලබා දෙනවා. මේ පළපුරුද්ද සමඟ නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන ලෙස මම වෛද්‍ය හර්ෂ අලස් මහතාට යෝජනා කරනවා.
මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහනදායි ණයක් ලබා දෙනවා. එවිට ඉඩම් විකුණා දරුවන් උසස් අධ්‍යාපනය සඳහා පිට රට යැවීමට අවශ්‍ය වන්නේ නැහැ. රටේ විශ්වවිද්‍යාල වැඩිවීමත් සමග විදෙස් රටවල සිසුන් ද මෙරටට පැමිණෙනවා.
එසේම ලංකාවෙන් පිටවු දෙමළ ඩයස්පෝරාවට සහ සිංහල ඩයස්පෝරාවට මම කියනවා රට ගැන කැක්කුමක් තිබෙනවා නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස. අලස් මැතිතුමා ඒ සඳහා මාර්ගය පෙන්වා දී තිබෙනවා. රටේ සියලු දරුවන්ට අධ්‍යාපනය ලබාදිය යුතුයි. මීට දායකවන පෞද්ගලික අංශයේ සියලුදෙනාට සහාය ලබාදීමට ආණ්ඩුව සූදානම් බවත් මම මෙම අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන :
මීට වසර 60කට පෙර රාජකීය විද්‍යාලයේ ආදර්ශමත් චරිතයක් අපට හමුවුණා. එතුමා අපට ගුරුවරයෙක්. ආර්.අයි.ටී අලස් මැතිතුමාගේ ජීවන චරිතය අප සියලු දෙනාටම පූර්වාදර්ශයක් වෙනවා. අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකළ අධ්‍යාපනඥයකු ලෙස අලස් මැතිතුමාව හඳුන්වන්න පුළුවන්. එතුමාගේ තිබුණ මගපෙන්වීම මත මෙරට පාසල් ආදර්ශමත් පුරවැසියන් නිර්මාණය කිරීමේ කේන්ද්‍රස්ථාන බවට පත්වුණා.
අධ්‍යාපන ක්ෂේත්‍රයට පුරෝගාමී නායකත්වයක් ලබා දීමට එතුමා කටයුතු කළා. රාජකීය විද්‍යාලයට වෙනසක් ඇති කළ අලස් මහතා ඩී එස් සේනානායක විද්‍යාලය බිහි කරමින් දරුවන්ගේ අධ්‍යාපනය නව මගකට යොමු කළා. අධ්‍යාපනයේ මෙන්ම පරිපාලනයේ හසල දැනුමක් අලස් මහතාට තිබුණා. එතුමා සමග පන්ති කාමරයේ මෙන්ම පාසලේ බාහිර කටයුතු වලට ද අප සැම විටම එකතු වුණා.
එතුමා ශිෂ්‍ය භට කණ්ඩායම භාරව සිටින අවධියේ එතුමා සමඟ ළඟින්ම ඇසුරු කිරීමට මට අවස්ථාව ලැබුණා. එහිදී අපට ලැබුණු විනය සහ පුහුණුව ජීවිතයේ සවිමත් කර ගැනීමට ද මග පෙන්වනු ලැබුවා. ගුරු වෘත්තියට තිබෙන ගෞරවයට එතුමා නිසි වටිනාකමක් ලබා දුන්නා.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත :
අද වන විට ඩී. එස්. සේනානායක විද්‍යාලයේ දරුවන් 6,000ක් පමණ සිටිනවා. 1 සිට 13 දක්වා පන්ති කාමර 157ක් තිබෙනවා. එම සියලු පන්ති කාමර සුහුරු පන්ති කාමරයි.
එම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත්කළේ රජයේ මුදල්වලින් නොවෙයි. මුළු පාසලම වයි ෆයි (WIFI) කර තිබෙනවා. මේ සියලු කටයුතු සිදු කළේ අලස් මහතාගේ දුර දක්නා නුවණ නිසයි.
අද මෙම ශාලාව තුළ නව විදුහල්පතිවරුන් නවසියයක් සිටිනවා. ඒ අයට අලස් මැතිතුමාගේ ජීවන අත්දැකීම තමන්ගේ රාජකාරී ජීවිතයට ඉතා වැදගත් වෙනවා. කොවිඩ් වසංගතය සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය නිසා ප්‍රාථමික අධ්‍යාපනය අර්බුදයකට ලක් වී ඇති බව අධ්‍යාපන විශේෂඥයන් පවසනවා. ඒ පිළිබඳ අප අවධානය යොමු කර තිබෙනවා.
පාසල් අධ්‍යාපනයත් ඩිජිටල්කරණයට ලක් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ලෝකය තාක්ෂණය සමඟ ඉදිරියට යන විට අපේ දරුවන්ගේ අධ්‍යාපනය පමා කිරීම සිදු කරන්න බැහැ. ඒ අනුව අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අප මේ වන විට සිදු කරමින් තිබෙනවා.
2024 පෙළ පොත් සියල්ල මේ වන විට මුද්‍රණය කර අවසන් වී තිබෙනවා. නිල ඇඳුම් පළමු තොගය ලබන මස 31 වනදාට පෙර ලැබෙනවා. පාසල් යන සෑම දරුවකුටම දිවා ආහාරය ලබාදීමටත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. යුනිස්කෝව සමඟ ඒකාබද්ධව දරුවන් ලක්ෂ අටකට පාසල් පාවහන් ලබාගැනීමට කූපන් පත් නිකුත් කිරීමට කටයුතු කරනවා. අප මේ සඳහා රජයේ මුදල් පමණක් බලාගෙන සිටියේ නැහැ. ප්‍රංශ රජයේ ආධාර ඇතිව මෙම පාසල් දරුවන්ට පාවහන් ලබාදීම සිදු කරනවා. කවුරු අධ්‍යාපන ඇමැති වුණත් ඉදිරි වසර 4 තුළදී එම ආධාරය මේ රටට ලැබෙනවා.
මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු ආගමික නායකයන් ද, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය ටිරාන් අලස්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් ද, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද, ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයේ සභාපති වෛද්‍ය හර්ෂ අලස් මහතා ඇතුළු පවුලේ ඥාතීන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ විදුහල්පතිවරු, පාසල් සිසු දරුවන් සහ විශේෂ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
තාප්පය කඩා වැටීම ගැන විමර්ශන අරඹයි
වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී සිසුවියක මියගොස් තවත් සිසුන් පස් දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව ඉදිරියේ දී අදාළ පාසල වෙත ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සඳහන් කරයි.
මෙම සිදුවීමෙන් අනතුරු ව ප්‍රදේශවාසීන් පිරිසක් පාසලේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් එම පාසලේ අධ්‍යයන කටයුතු තාවකාලික ව නවතා දමා ඇති අතර, යළි අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිදු කිරීමට නියමිතය.
සබැදි පුවත
තාප්පයක් කඩා වැටී සිසුවියක් ජීවිතක්ෂයට
අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය දේශපාලන විසඳුමක් නොවෙයි !
රටේ පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට නම් දේශපාලන විසඳුම්වලින් ප්‍රථිපලයක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ ආර්ථිකමය විසඳුමක් පමණක් බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙවන ණය වාරිකය නිකුත් කිරීමෙන් අනතුරුව නැවතී තිබෙන සංවර්ධන ව්‍යාපෘති සියල්ලම යළි ආරම්භ කිරීමට හැකි වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙසේද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ මෙවර අයවැය ඓතිහාසික, රැඩිකල් සහ විප්ලවීය අයවැයක් ලෙස හැඳින්විය හැකියි. පසුගිය වසරේ මෙරට බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ පසු ඉදිරිපත් වන පළමු අයවැය ලෙස ද මෙය හැඳින්විය හැකියි. රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිඟය සහ අන්තර් ජාතික ගෙවීම් තුලාවේ ජංගම ගිණුමේ හිඟය නිසා රට බංකොලොත් තත්ත්වයට ඇද වැටුණා. ඒ නිසා අන්තර් ජාතික ආර්ථික විශ්ලේෂකයින් විසින් “ඵල දැරීමට පෙර ඵල භුක්ති විදි රටක්” ලෙස මෙරට හැඳින්වුවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදී ඇති නිර්ණායක ඒ ඒ කාල වකවානු තුළ නියමිත ආකාරයට සම්පූර්ණ නොකිරීම ද රට පවතින අර්බුදකාරී තත්ත්වයට ඇද වැටීමට හේතුවුණා.
මෙම අර්බුදයෙන් රට ගොඩ ගැනීමට නම් අප විසින් කරුණු හතරක් අනුගමනය කළ යුතුයි. පළමු වැන්න නම් රාජ්‍ය ආදායම වැඩිකර ගත යුතුයි. දෙවැනි කරුණ ආණ්ඩුව දරණ පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් අඩුකර ගැනීමයි. තෙවන කරුණ ලෙස රට තුළට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කර ගන්නා අතර රටින් ඉවතට ගලා යන විදේශ විනිමය ප්‍රමාණය අඩුකරගත යුතුයි. සිව්වැනි කරුණ වන්නේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීමයි. මෙවර අයවැය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇත්තේ, මෙම කරුණුවලට අදාළවයි.
ඒ වගේම අප මේ වන විට සිරවී තිබෙන ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක් පමණ වනවා. එයින් ඉදිරි වසර 05ක හෝ 06ක කාළය තුළ ගෙවීමට තිබෙන්නේ 37%ක් පමණයි. එම ණය ප්‍රමාණයෙන් 51%ක් ගෙවීමට තිබෙන්නේ වසර 06ත් 20ත් අතර කාලයකදීයි. ඒ වගේම තවත් 12%ක් ගෙවීමට නියමිතව ඇත්තේ වසර 20කට පසුවයි. කවුරුන් විසින් ආණ්ඩු කල ද 2048 වර්ෂය දක්වා මෙම ණය ගෙවීමට අප රට බැඳී සිටිනවා. එසේ නොගෙවන්නේ නම් ඒ පාර්ශවයට ආණ්ඩුව පවත්වාගෙන යාමට හැකි වනුයේ සති දෙකක් පමණයි.
අප ලෝකයේ රටවලින් ණය ගෙන නොගෙවා සිටිය හොත් පවතින ජාත්‍යන්තර ක්‍රමවේදය තුළ ණයවර ලිපියක් හෝ නිකුත් කිරීමට හැකියාවක් නෑ. ඒ වගේම ලංකාව විසින් නිකුත් කරන ණයවර ලිපි අනෙක් රටවල් බාර නොගන්නේ නම්, ඛණිජ තෙල්, ගෑස්, ඹෟෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙම තත්ත්වයෙන් මිදීමට දේශපාලන විසඳුම්වලින් ප්‍රථිපලයක් නැහැ. ඒ සඳහා අවශ්‍ය වන්නේ ආර්ථික විසඳුමක් පමණයි.
මූල්‍ය කළමණාකරණය සම්බන්ධයෙන් පැවති පාලනය අසමත් වූ මොහොතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වගකීම බාරගනු ලැබුවා. ඉන්දියාව, චීනය සහ ජපානය ඇතුළු මෙරට ණය හිමි රාජ්‍යයන්හී නායකයන් සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා විසඳුමක් ලබාගැනීමට ප්‍රවේශ වුණා.
අයවැයෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙවන ණය වාරිකය නිකුත් කල යුතු වනවා. ණය ප්‍රථිව්‍යුගත කිරීමට හැකි වුවහොත් අයවැයේ ඇති සියළුම යෝජනා ඉෂ්ඨ කල හැකි සම්පත් ප්‍රමාණයක් අපට ලැබෙනවා. ඉන් අනතුරුව නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති සියල්ලම යළි ආරම්භ කිරීමට ද හැකි වනවා.
අයවැය මගින් වැඩි කිරීමට බලාපොරොත්තු වන රාජ්‍ය සේවක වැටුප ගෙවීමට සිදුව ඇත්තේ ද රජය විසින් ජනතාවගෙන් එකතු කරන බදු අදායම්වලින් පමණක් බවද සියලු දෙනාම විශේෂයෙන්ම මතක තබාගත යුතු වනවා.
ආර්ථික අර්බුදය එක අයවැයකින් විසඳන්න බෑ - ජනාධිපති
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය එක අයවැයක් තුළින් විසඳිය නොහැකි බවත් අර්බුදය අනුව විසඳුම් සෙවීමේ මාර්ග වෙනස් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
පළමුව රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම මඟින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ, ෂැංග්‍රිලා හෝටලයේ දී අද (15) පැවැති කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරී ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් සංවිධාන කළ ‘2024 අයවැය කතිකාවත‘ අමතමින්ය.
වෙනස්වන පරිසරය තුළ වෙනස් වීම මඟින් අර්බුදයට සාර්ථක විසඳුම් සොයා ගත හැකි බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමේදී ද එම ක්‍රමවේදය ඉතාම වැදගත් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
නව සමාජය ගොඩනැගීමේ පියවරක් ලෙස අස්වැසුම ප්‍රතිලාභ වෙනුවෙන් වෙන්කළ මුදල තුන් ගුණයකින් වැඩි කිරීමට පියවර ගත් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.
රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා පසුබිම සකස් කරමින් මෙවර අය වැය ඉදිරිපත් කර තිබෙනවා. එහි තිබෙන ඇස්තමේන්තු බාහිර සාධක මත වෙනස් විය හැකියි. මක්නිසාදයත් වර්තමානයේ ගාසා තීරයේ පවතින ගැටුම් තත්ත්වය පවා ඉදිරියේදී මෙරට ආර්ථිකයට බලපෑ හැකියි. එම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් නොවෙයි ලෝකයේ සියළු රටවල්වලට බලපානවා. ලෝක බලවතුන් එකතු වී ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීමට උත්සාහ ගන්නේ ද ඒ නිසයි. මැදපෙරදිග සිදුවන දේවල් ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද බලපෑම් කළ හැකියි.
පසුගිය වසරේදි ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදයට පිළියමක් වශයෙන් ආර්ථිකය නැවත ස්ථාවර කිරීමට සැලසුම් කළ යුතුයි. ඉන්පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. මා මේ වනවිට අයවැය වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එහි පළමු අයවැය යෝජනාවලියේදී ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා වන යෝජනා ඉදිරිපත් කළා. මෙවර අයවැය යෝජනාවලියෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට යෝජනා ඉදිරිත් කර තිබෙනවා. එක අයවැයකින් මේ රටේ ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දිය නොහැකියි.
මෙවර අයවැය මැතිවරණ ඉලක්ක කර ගෙන ඉදිරිපත් කළ අයවැයක් බව ඇතැම් පාර්ශව ප්‍රකාශ කරනවා. නමුත් මෙම අයවැය මැතිවරණ අයවැයක් නොවෙයි. මෙවර අයවැය නව ආර්ථික ප්‍රවේශයක් ඇති කිරීම සඳහා ඉදිරිපත් කළ අයවැයක් වශයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරිම, පෞද්ගලික අංශයේ ගැලපීම්, අස්වැසුම වැනි සමාජ සුබසාධක වැඩසටහන් මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යන සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය කර තිබෙනවා. ගුණාත්මක රාජ්‍ය සේවාවක් සඳහා වැටුප් වැඩිකිරීම අවශ්‍ය වෙනවා. නව සමාජය ගොඩනැගීමේ පියවරක් ලෙස අයවැය මඟින් අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වෙනුවෙන් වෙන් කළ මුදල තුන්ගුණයකින් වැඩි කිරිමට යෝජනා කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සිදුවන විශාලතම පෞද්ගලිකකරණය මේ අය වැයෙන් යෝජනා කර තිබෙනවා. අක්කර මිලියන දෙකක පමණ ප්‍රමාණයක් බලපත්‍ර ලාභී ඉඩම් හිමියන් බවට පත් කරනවා.
ඒ වගේම හරිත බලශක්තිය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. හරිත ආර්ථිකය සඳහා කැපවන ශ්‍රී ලංකාව එම ක්ෂේත්‍රයේ පෙරමුණ ගැනීමට පසුබිම සකස් කිරිමට අවශ්‍ය කරන යෝජනා මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා.
විශේෂයෙන් වියළි කලාපයේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සහ ධීවර කර්මාන්තය ව්‍යාප්ත කිරීම පිළිබඳ සැලසුම් ද මෙම අයවැයට ඇතුළත් වෙනවා. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා පවතින අවස්ථාවන් හඳුනාගෙන ඇති අතර, සංචාරකයින් මිලියන 5ක් ආකර්ශනය කර ගැනීමට ද යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
නිෂ්පාදනයේ තරගකාරිත්වයේ අවශ්‍යතාවය පිළිගනිමින් ඉන්දියාව, කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP), අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) සහ යුරෝපා සංගමය (EU) සමඟ සම්බන්ධවීම වෙනුවෙන් ද සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වෙනවා.
බංගලාදේශය සහ නැගී එන ආර්ථිකයන් සහිත රටවල් සමඟ තරග කිරීමේ අභියෝග හඳුනා ගෙන ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම මෙවර අයවැය මඟින් සකස් කර තිබෙනවා. ඒ වගේම ආර්ථික වෙනස්වීම්වලට මුහුණ දිය හැකි අයුරින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද සිදු කළ යුතුයි.
එහිදී පෞද්ගලික අංශය සඳහා පෞද්ගලික නව විශ්වවිද්‍යාල ඇති කිරීමට යෝජනා කර තිබෙනවා. ඉන්දියාවේ චෙන්නයි නගරයේ පිහිටි අයි අයි ටී (IIT) විශ්වවිද්‍යාලයේ මඟපෙන්වීම යටතේ මහනුවර නගරයේ නව තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට යෝජනා කර තිබෙනවා. දේශගුණික විපර්යාස සඳහා නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා.
විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේ ප්‍රධාන වරාය සහ විභව සංවර්ධන කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම තුළින් කලාපීය සේවා සැපයුම් සඳහා ඇති හැකියාව සොයා බැලීමට බලාපොරොත්තු වෙනවා. 2030-2035 වන විට නවීන ආර්ථිකයක් කරා ළඟා වීමට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට මෙවරය අයවැය මඟින් අප ඉලක්ක කර තිබෙනවා.
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ අභියෝග ජය ගැනීමට සහ රට ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් බලමුළු ගැන්වීම සඳහා පුද්ගලික අංශය, විදේශ ආධාර සහ විශ්‍රාමික වෘත්තිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම දිරිමත් කළ යුතුයි. එවැනි කැපවීමකින් තොරව රජය පමණක් සිදු කළ හැකි කාර්ය භාරය සීමාසහිතයි.
මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ලෝක බැංකුවේ දේශිය නියෝජිත චියෝ කන්ද, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරී ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති කුලේන්ද්‍රන් සිවරාම්, ස්ටෑන්ඩර්ඩ් වරලත් බැංකුව ප්‍රධාන විධායක නිලධාරී බිංගුමාල් තේවරතන්ත්‍රී, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සභපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්ම මහත්මීහු ඇතුළු විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පාරිභෝගික අධිකාරියේ නම විකුණා ජාවාරමක් !
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් බව සඳහන් කරමින් දුරකථන ඇමතුම් ලබාදී වෙළෙඳුන්ගෙන් මුදල් ලබාගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
පාලන මිල ඉක්මවා සීනි අලෙවි කිරීම සහ තොග සඟවා ගෙන සිටීමේ චෝදනා මත නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති වෙළෙඳසැල් සහ ආයතන වෙත මෙලෙස දුරකථන ඇමතුම් ලැබී ඇති බවද එම අධිකාරිය පෙන්වා දෙයි.
එවැනි දුරකථන ඇමතුම් ලැබුණහොත් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලා සිටියි.
මේ අතර දින 10ක් තුළ සිදුකළ වැටලීම්වලින් පාලන මිල ඉක්මවා සීනි අලෙවි කළ වෙළෙඳසැල් 300ක් හඳුනාගෙන ඇති බවද වාර්තා වන අතර එම වෙළෙඳසැල්වල හිමිකරුවන්ට එරෙහිව ඉදිරියේ දී නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
තාප්පයක් කඩා වැටී සිසුවියක් ජීවිතක්ෂයට
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි විද්‍යාලයක ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් සිසුවියක මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
එහි නිලධාරිනියක සඳහන් කළේ, අනතුරින් දරුවන් 05 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණු බව ය.
ඒ අතරින් ප්‍රාථමික අංශයෙන් ඉගෙනුම ලැබූ වයස අවුරුදු 06ක දැරියක මෙලෙස ජීවිතක්ෂට පත්ව ඇතැයි අදාළ නිලධාරිනිය පැවසුවා ය.
ජලය ලබා ගැනීමට කරාම සවි කර තිබුණු තාප්පය අසලට ගිය අවස්ථාවේ එම තාප්පය කඩා වැටී ඇතැයි සඳහන් ය.
සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක්
ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තරය අතික්‍රමණය කළ යුතු බවත් ඒ වෙනුවෙන් නව තාක්ෂණයට ගැළපෙන ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව ඇතුළු ඊට අනුබද්ධ සියලුම ආයතන ප්‍රතිසංවිධානය කිරීමට රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (14) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති 2023 ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.
ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා කලා නිර්මාණවලින් “වාරණය” යන වචනය ඉවත් කළ යුතු බවද අවධාරණය කළේය.
වර්තමානයේ කලා නිර්මාණ විවිධ අපරාධ නීති යටතට ගෙනෙන අතර එමගින් කලාකරුවන් මහත් අපහසුතාවකට පත් වන බවත්, එය වළක්වා ගැනීම සඳහා චිත්‍රපට සහ රූපවාහිනි නිෂ්පාදන පළමුව වර්ගීකරණ මණ්ඩලයට ඉදිරිපත් කිරිමේ වැඩපිළිවෙළක් සැකසීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. මෙම සියලු නීති ලබන වසරේ සිට බලාත්මක කිරීම රජයේ අපේක්ෂාව බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති සිනමා සම්මාන උළෙල මෙවර සංවිධානය කෙරුණේ වසර තුනකට පසුව වීම විශේෂත්වයකි.
2019 සහ 2020 යන වර්ෂයන්හි ප්‍රදර්ශිත චිත්‍රපට 42ක් පාදක කරගනිමින් ප්‍රවීණ සිනමා විචාරකයින් සහ සම්මානිත ආචාර්ය මහාචාර්යවරුන් 7දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් විසින් තෝරාගන්නා ලද රංගන හා කාර්මික ශිල්පීන් වෙනුවෙන් සම්මාන 44ක් ද, සාම්ප්‍රදායිකව පිරිනැමෙන විශේෂ සම්මාන 09ක් ද පිරිනැමීම සිදු කෙරිණි.
මෙහිදී 2020 වසරේ හොඳම පසුබිම් ගායිකාව ලෙස ආචාර්ය නන්දා මාලනී මහත්මිය සම්මානයක් පිදුම් ලැබූ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රේක්ෂකාගාරයේ නන්දා මාලනි මහත්මිය සිටි ස්ථානයට ගොස් සම්මානය පිරිනැමීම සුවිශේෂී සිදුවීමක් විය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේ 1963 වසරේ සරසවි සම්මාන උළෙලේදී ආචාර්ය නන්දා මාලනිය ශ්‍රී ලංකේය සිනමාවේ පසුබිම් ගායනය වෙනුවෙන් මෙලෙස සම්මානයක් පිදුම් ලැබූ බවත්, තමාට ද එම අවස්ථාවට සහභාගීවීමට අවස්ථාව හිමි වූ බවත්ය.
ශ්‍රී ලාංකීය සිනමාව සහ සංගීත ක්ෂේත්‍රය උදෙසා ආචාර්ය නන්දා මාලනි මහත්මිය විසින් ලබාදුන් දායකත්වය වෙනුවෙන් සමස්ත ජාතියේම ගෞරවය සහ ප්‍රණාමය මෙන්ම ස්තූතියි ද හිමිවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
සිනමාව උදෙසා විශේෂ කාර්යයක් ඉටු කිරීම වෙනුවෙන් පිරිනමන “යුග අභිමානී” විශේෂිත සම්මානය කේ. ගුණරත්නම් මහතා අනුස්මරණය කරමින් පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු වූ අතර චන්ද්‍රන් රත්නම්, සුවිනීතා වීරසිංහ සහ සිරිල් වික්‍රමගේ යන මහත්ම මහත්මීන් වෙනුවෙන් “ස්වර්ණසිංහ” සම්මාන පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.
2019 වසරේ හොඳම නළුවා ලෙස කමල් අද්දරආරච්චි මහතාත්, 2020 වසරේ හොඳම නළුවා ලෙස කුමාර තිරිමාදුර ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර විය.
2019 වසරේ හොඳම නිළිය ලෙස සමාධි ලක්සිරි සම්මානයට පාත්‍ර වූ අතර 2020 වසරේ හොඳම නිළිය ලෙස නීටා ප්‍රනාන්දු ජනාධිපතිවරයා අතින් සම්මාන ලබා ගත්තාය.
2019 වසරේ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් අනුරුද්ධ ජයසිංහ වෙනුවෙන් සහ 2020 වසරේ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් විසාකේස චන්ද්‍රසේකරම් වෙනුවෙන් සම්මාන පිරිනැමිණ.
2019 වසරේ හොඳම චිත්‍රපටය ලෙස “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටිය සම්මානයට පාත්‍ර වූ අතර 2020 වසරේ හොඳම චිත්‍රපටය ලෙස “The newspaper” චිත්‍රපටිය සම්මානයට පාත්‍ර විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
වයස අවුරුදු 12 ක 13ක සිසුවෙකු ලෙස පළමු සරසවි සම්මාන උළෙලට සහභාගිවීමට මට අවස්ථාව ලැබුණා. ඒ වගේම පළමු ජනාධිපති සිනමා සම්මාන උළෙලට ද සහභාගිවීමට මට අවස්ථාව හිමි වුණා. එම කාලය සහ අද අතර විශාල වෙනසක් තිබෙනවා. විශාල තාක්ෂණික විප්ලවයක් සිදුවී තිබෙනවා.
අද අපට සිනමාව වගේම රූපවහිනියද තිබෙනවා. වෙන් වශයෙන් තිබු මෙම ක්ෂේත්‍ර දෙක අද එකට මුසු වෙලා. ඒ වගේම අපට ජංගම දුරකථනයෙන් මෙම සියලු චිත්‍රපට නැරඹීමට අවස්ථාව ලැබී තිබෙනවා. මේ හරහා අද සියලු රටවල් ජාත්‍යන්තර සිනමාව සමග එක්වී සිටිනවා. මේ අයුරින් සිනමාව විශාල කර්මාන්තයක් බවට පත්ව තිබෙනවා. අපත් එම කර්මාන්තය සමඟ ඉදිරියට යා යුතුයි. එම තරගාකාරිත්වට මුහුණදීමේ හැකියාව අපේ නිර්මාණකරුවන් සතුව තිබෙන බව මම දැඩිව විශ්වාස කරනවා. එසේනම් අප අලුතින් සිතා මෙරට සිනමාව නව ගමනට සූදානම් කළයුතුයි.
එහිදී ජාතික චිත්‍රපට සංස්ථාව ප්‍රතිසංවිධානය කිරීම කෙරෙහි අප ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙනවා. එසේම චිත්‍රපට කර්මාන්තය සහ රූපවාහිනි මාධ්‍ය එක් කර්මාන්තයක් ලෙස සැලකිය යුතුයි. මීට අමතරව සිනමා ශාලා සහ චිත්‍රපට නිෂ්පාදන පසුබිම් ස්ථාන සියල්ල සංවර්ධනය කිරිමට කටයුතු කළයුතුයි.
එම කටයුතු එක් මණ්ඩලයක් යටතට පවරා ඊට අවශ්‍ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බව කිවයුතුයි. එහිදී මූල්‍ය ආධාර ලබා දීම වගේම ජාත්‍යන්තරව විශිෂ්ටතා දක්වන පිරිස් මෙරටට ගෙන්වා මෙරට කලාශිල්පීන්ට, අධ්‍යක්ෂවරුන්ට මෙන්ම කාර්මික ශිල්පීන්ට එම දැනුම ලබාගැනීමට අවස්ථාව සලසාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතුයි.
එසේම රැඟුම් පාලනය සම්බන්ධයෙන් නව පියවර ගැනීමට අප අපේක්ෂා කරනවා. මෙරට රැඟුම් පාලක මණ්ඩල පනත දැන් වසර සියයකටත් වඩා පැරණියි.රැගුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැගුම් වර්ගීකරණ මණ්ඩලයක් පිහිටුවීමට අප සැලසුම් කර තිබෙනවා.
එසේම කලා නිර්මාණවලින් “වාරණය” යන වචනය ඉවත් කළ යුතුයි. ඒ වගේම වර්තමානයේ කලා නිර්මාණ විවිධ අපරාධ නීති යටතට ගෙනෙනවා. ඒ හේතුවෙන් කලාකරුවන්ට අපහසුතාවන්ට මුහුණදීමට සිදු වෙනවා. අප මේ පිළිබඳ අලුතින් සිතියි යුතුයි. පැරණි නිතිවලට සිරවී එම කටයුතු කළ නොහැකියි. ඒ නිසා චිත්‍රපට සහ රූපවාහිනි නිෂ්පාදන පළමුව වර්ගීකරණ මණ්ඩලයට ඉදිරිපත් කිරිමේ වැඩපිළිවෙළක් සැකසීමට අපේක්ෂා කරනවා. මෙම නිති ලබන වසරේදී ඉදිරිපත් කිරීමට අප බලාපෙරොත්තු වෙනවා. සිනමා කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් දේශපාලනයෙන් තොරව සියලුදෙනා මෙම වැඩපිළිවෙළට සහාය ලබාදෙනු ඇතැයි මම විශ්වාස කරනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරු වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර, ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව ජනාධිපති උපදේශක ආශූ මාරසිංහ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න යන මහත්වරුන් ද, යුද හමුදාපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රවීන චිත්‍රපට නළු නිළියන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සීනි ගබඩාවක් සීල් !
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකය අද (14) ප්‍රධාන ආනයනකරුවෙකුගේ ගබඩාවක තිබී සීනි මෙට්‍රික්ටොන් 270ක් සොයාගෙන ඇත.
ඒවා සිය භාරයට ගෙන ගබඩාවට මුද්‍රා තැබීමට නිලධාරීන් පියවරගෙන ඇත.
පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සීනි ආනයනකරුවන්ගේ ගබඩා සහ තොග බෙදාහරින ගබඩා අද මෙසේ විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබේ.
එමෙන්ම තොග බෙදාහරින ස්ථානයක් පරීක්ෂා කිරීමේදී වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ සීනි මෙට්‍රික් ටොන් 5ක් ද පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් භාරයට ගෙන ගබඩාවට මුද්‍රා තබා එහි හිමිකරුට නඩු පැවරීමට පියවර ගෙන තිබේ.
ගුරුන් ඇතුළු වෘත්තීය සමිති ෂයිලොක්ට අඳියි : 20000 ම ඉල්ලයි !
පාර්ලිමේන්තුවට ඊයේ (13) ඉදිරිපත් කෙරුණු 2024 අයවැය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ වෘත්තිය සංගම් රැසක් අද (14) අවධාරණය කළේ රාජ්‍ය සේවකයින්ට ලැබිය යුතු රුපියල් 20,000ක වැටුප් වැඩිවීම වෙනුවෙන් අඛණ්ඩව අරගල සිදුකරන බවය.
එහිදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ,
"ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ගැන වචනයක්වත් නැහැ. අපිට ආණ්ඩුවට කියන්න තියෙන්නේ.. ලෑස්තිවෙන්න... අපේ අරගලයට මුහුණ දෙන්න." කියාය.
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ එහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ
"දෙසැම්බර් 02 අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාද වෙන දවස. එදාට පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්න අපි තීරණය කරලා තිබෙනවා." යනුවෙනි .
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයකු සඳහන් කර සිටියේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ රුපියල් 10000 ක වැටුප් වැඩිවීමක් ලබාදීම පවා දුෂ්කර කටයුත්තක් බවය. ඒ ගැන දැනුම් තේරුම් ඇති ගුරු වෘත්තීය සමිති පවා ෂයිලොක් පන්නයේ හැසිරීමක් දැක්වීම ඔවුන්ගේ වෘත්තීය ගෞරවයට පවා හානිකර බවත් ඔහු පැවසීය .
මැතිසභා ගුටි බැට හුවමාරුව : විමර්ශන වාර්තාව කතානායකට !
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර අතර පාර්ලිමේන්තුවේදී සිදු වූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත අද (14) බාරදෙනු ලැබීය.
මෙම ගුටිබැට හුවමාරුව සිදු වී තිබුණේ පසුගිය ඔක්තෝබර් මස 20 වැනිදාය.
ඒ පිළිබඳව විමර්ශනය සඳහා මෙම කමිටුව පත් කරනු ලැබුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන විසිනි.
අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ , රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොල , චමල් රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක, ඉම්තියාස් බාකීර් මාකාර්, නීතිඥ තලතා අතුකෝරල යන මැති ඇමතිවරු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වූහ.
එම සිද්ධිය පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා කමිටුව සිවුවතාවක් රැස්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නම සඳහන් වූ රාජ්‍ය අමාත්‍යවරිය සහ මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් කමිටුව කරුණු විමසා තිබේ.
ඊට අමතරව සිද්ධිය ඇසින් දුටු පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගෙන්ද කමිටුව ප්‍රකාශ සටහන් කර ගෙන ඇත .
කමිටු වාර්තාව බාර දීමේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න ද සහභාගී විය.
එම සිද්ධියේදී රාජ්‍ය අමාත්‍යවරිය සහ මන්ත්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තුවේ ගෞරවයට හානියක් කර ඇති බව මූලික පරීක්ෂණවලදී තොරතුරු හෙළි වී යැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මෙයට පෙර නිකුත් කළ නිවේදනයක සඳහන් විය.
කමිටු වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව කතානායකවරයා සුදුසු තීරණයක් ගනු ඇතැයි ද වාර්තා වෙයි .
2024 දී 1.8% ක ආර්ථික වර්ධනයක් - ශෙහාන්
2024 වර්ෂය ආර්ථික වශයෙන් ශක්තිමක් වසරක් බවට පත්කිරීම සඳහා 1.8 %ක ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීම රජයේ මූලික අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.
මෙවර අයවැයේදී රාජ්‍ය සේවකයින්, දිළිදු හා ආර්ථික වශයෙන් අවදානම් සහගත පවුල් වෙනුවෙන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟා සිටුවීම සඳහා විශේෂයෙන් අවධානය යොමු කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මෙසේද පැවසීය.
මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් පසුව 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය ඉතිහාසයේ ඉදිරිපත් කිරීමට සිදුවූ අභියෝගාත්මකම අයවැය වශයෙන් හඳුන්වන්න පුළුවන්. 2022 වසර වන විට පැවති දරුණු ආර්ථික අවපාතය හමුවේ 2023 වර්ෂය සඳහා අයවැයක් ඉදිරිපත් කිරීමට තරම් පසුබිමක් පැවතියේ නැහැ. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අප රජය එම අභියෝගය බාර ගත්තා. එහිදී ලබාගත් ස්ථාවරත්වය පාදක කරගනිමින් 2024 වර්ෂය සඳහා රජයේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට වගේම අප බලාපොරොත්තු වන ආර්ථිකයක් කරා ගමන් කිරීමට හැකියාව මේ වන විට ලැබී තිබෙනවා.
නමුත් එම අවස්ථාවේදී විපක්ෂය කරන ආකාරයේ ගැලරියට කතා කරන ක්‍රමවේදයක් අප රජය ක්‍රියාත්මක කළා නම් අද රට මේ තිබෙන තත්ත්වයට ගෙන ඒමට ලැබෙන්නේ නැහැ. නමුත් විපක්ෂය 2023 වර්ෂයේ අයවැයට ඉදිරිපත් කළ චෝදනාම 2024 අදටත් එල්ල කරමින් සිටිනවා.
අප මේ වන විට වැඩකරමින් සිටින්නේ, රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4127ක්, රාජ්‍ය වියදම රුපියල් බිලියන 6978ක් සමඟ අයවැය හිගය රුපියල් බිලියන 2851ක් වන ප්‍රධාන ඉල්ලක්කම් සමගයි.
එ වගේම මෙවර අයවැයේදී පාදක වුණු ප්‍රධාන ඉලක්ක කිහිපයක් සමග ද වැඩ කිරීමට අපට සිදුව තිබෙනවා. මෙම වසර තුළ කුමන ඉලක්කම් සමග ද වැඩකල යුත්තේ යන්න, අපගේ දේශීය ණය ප්‍රශස්ථකරණ වැඩසටහන තුළ දී පැහැදිලි කර තිබෙනවා. 128%ක්ව පැවති ණය බර ප්‍රමාණය 95%ක් දක්වා අඩුකිරීම, මුල්‍යම අවශ්‍යතාව 34.6% සිට 13% දක්වා අඩුකිරීම සහ විදේශීය ණය සේවා කරණය අද පවතින 9.4% සිට 4.5% දක්වා අඩු කිරීම යන කාරණා පාදක කරගනිමින් අපට 2024 අයවැය ඉදිරිපත් කිරීමට අපට සිදුවුණා.
ඒ වගේම ආර්ථික අර්බුදය හමුවේ අවධානයට ලක්විය යුතු සහ පසුගිය මාස කිහිපය තුළ ආර්ථිකය පිළිබඳ විවිධ පාර්ශව විසින් අදහස් දැක්වූ ක්ෂේත්‍ර පිළිබදවම අවධානය යොමු කරමින් නැවත නැගී සිටීම සඳහා ආර්ථිකයට අවශ්‍ය උත්තේජනය ලබාදීමට අප කටයුතු කළා.
එහිදී අපට විශේෂයෙන්ම වැදගත් වුණේ, දේශීය ණය ප්‍රශස්ථකරණයයි. ණය ප්‍රශස්ථකරණයකින් තොරව අපට ණය තිරසර භාවයක් ඇතිකර ගැනීමට හැකියාවක් නැහැ. එම වැඩසටහන මේ වන විට අවසන් කර තිබෙනවා, ඊළගට අප ද්වීපාර්ශවීය විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය සදහා මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකයත් අපට ලැබෙන බවට විශ්වාසයක් තිබෙනවා.
ඒ වගේම අප මෙවර අයවැයේදී රාජ්‍ය සේවකයින්, දිළිදු හා ආර්ථික වශයෙන් අවදානම් සහගත පවුල් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිළිබදව විශේෂ අවධානයක් යොමු කලා. එහිදී අපට ද ජනප්‍රිය දේශපාලනයේ යෙදෙමින් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ජනවාරී මාසයේ සිට ලබාදීමට තිබුණා. නමුත් අප එවැනි ජනප්‍රිය දේ වෙනුවට නිවැරදි ක්‍රියා මාර්ගය තෝරා ගත්තා. රටේ ආර්ථිකයට නැවත පීඩනයක් ඇති නොවන ලෙස මෙම කටයුතු සිදුකිරීමට ජනාධිපතිවරයා වගබලාගනු ලැබුවා.
ඒ වගේම මෙරට ආර්ථිකයෙන් 50%කට වඩා වැඩි දායකත්වයක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පිළිබදව මෙවර අයවැයේදී විශේෂ අවධානයක් යොමු කෙරුණා. ඔවුන් යළි නගා සිටුවීම සදහා රුපියල් බිලියන 30ක මුදලක් වෙන් කර තිබෙනවා. එය කොටස් දෙකකට සිදු වනවා. එහිදී ඇපකර ලබාදීමට අවශ්‍ය ආයතනය මුදල් අමාත්‍යාංශය යටතේ ජනවාරී මාසයේ පිහිටු වනවා. ඒ සදහා රුපියල් මිලියන 50ක මුදලක් සහ සහන පොලිය යටතේ මූල්‍ය පහසුකම් ලබාදීමට තවත් රුපියල් මිලියන 50ක මුදලකුත් වැය කිරීමට බලාපොරොත්තු වනවා. මෙම සහන පොලිය තනි ඉලක්කමක පොලී අනුපාතයක් බවට පත් කිරීමට ද අප බලාපොරොත්තු වනවා.
ඒ වගේම ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම, සින්නක්කර ඔප්පුවක හිමිකම ලබාදීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට ද මෙවර අයවැයේ දී විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ඒ අනුව 2024 වර්ෂය ආර්ථික වශයෙන් ශක්තිමක් වසරක් බවට පත්කිරීම අපගේ අරමුණයි. එහිදී 1.8 % ක ආර්ථික වර්ධනයක් වෙත ගමන් කිරීම අපගේ මූලික අරමුණ වනවා.
ජනාධිපතිතුමා ජනතාවගේ ගැටලු නිවැරදිව හඳුනාගෙන තිබෙනවා. ජීවත් වීමටත් අවදානමක් තිබුණු රටක අප විසින් ඉදිරිපත් කළ අයවැයටත් විරුද්ධ වූ අය හිටියා. නමුත් අද රට අද තිබෙන ස්ථාවරත්වයට පත්වුණේ පසුගිය අයවැය නිසා බව කිව යුතුයි. ක්‍රිකට් වෙනුවෙන් එකතු වුණු පාර්ලිමේන්තුවේ සාමාජිකයින් මිලියන 22ක් වන රටේ ජනතාවගේ ආර්ථිකය වෙනුවෙන් එකතු වන බවක් අප දුටුවේ නැහැ. එය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක් බව කිව යුතුයි. අයවැය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටවත් විපක්ෂ නායකවරයාට සදාචාර සම්පන්න අයිතියක් තියනවා කියා මම හිතන්නේ නැහැ.
ඒ වගේම ආදායම් බදු එකතු කිරීමේ ජාලය ඇතුළු රාජ්‍ය අදායම් එකතු කිරීම කඩිනමින් පුළුල් විය යුතුව තිබෙනවා. ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති මෙම වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙන ගියහොත් ශ්‍රී ලංකාව නැවත ආර්ථික අර්බුදයකට ගමන් නොකරන බව සහතික විය හැකියි.
වැටුණු ආර්ථිකය ගොඩදැම්මා වගේම ක්‍රිකට් ගොඩදාන්නත් පුළුවන් !
තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවත්, රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගාසිටුවිය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
2024 රාජ්‍ය අය වැය පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබු අතර මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරමින් පුවත්පත් කතුවරුන් සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරු මීට එක්ව සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මෙවර අයවැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක් බවයි.
රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීම තම අරමුණු වන අතර එම ඉලක්කයට තමා දැනටමත් ළඟාවෙමින් සිටින බව පැවසු ජනාධිපතිවරයා දේශපාලනයකින් තොරව එම ඉලක්කය සාර්ථක ලෙස අවසන් කිරීම තම අභිප්‍රාය බවද පැවසීය.
දේශපාලන පක්ෂ මැතිවරණ ඉලක්ක කර ගනිමින් කටයුතු කළත්, තම පළමු රාජකාරිය රට බංකොළොත් භාවයෙන් නිදහස් කර ගැනීම වන අතර තමා අනෙකුත් කටයුතු දෙස අවධානය යොමු කරන්නේ ඉන් අනතුරුව බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු විසින් 2024 අය වැය සහ එහි පදනම පිළිබඳව මෙහිදී දීර්ඝ පැහැදිළි කිරීමක් සිදු කළහ.
ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Page 114 of 443