V2025

පුවත්

25 සහ 26 බොන්න නෑ !

එළඹෙන 25 වනදා දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබේ.

නත්තල් දිනය සැලකිල්ලට ගෙන මෙම නියෝගය නිකුත්කර ඇති නමුත් සංචාරකයන්ගේ පහසුව උදෙසා, මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද තාරුකා පන්ති වර්ගීකරණයට යටත් හෝටල සම්බන්ධයෙන් එම නියෝගය බල නොපැවැත්වෙන බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත .

මේ අතර 2023 දෙසැම්බර් මස 26 වන අඟහරුවාදා දිනට යෙදී ඇති උදුවප් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ද දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට නියෝග කර තිබේ.

එම නියෝගය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද සියලුම ආයතන සම්බන්ධයෙන් ද එක ලෙස බලපැවැත්වෙන බවත් වාර්තා වෙයි .

යුක්තිය දින තුනකට නවතී!

මත්ද්‍රව්‍ය ජාවාරමුන් සහ පාතාල කණ්ඩායම් ඉලක්ක කර රට පුරා ක්‍රියාත්මක "යුක්තිය" පොලිස් මෙහෙයුම දෙසැම්බර් 25, 26 සහ 27 යන දින තුන තුළ තවකාලිකව නතර කිරීමට සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි .

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ "යුක්තිය" මෙහෙයුම මෙසේ නතර කරුණු ලබන්නේ නත්තල් දිනය (25) සහ 26 වනදා යෙදී ඇති පොහොය දිනය හේතුවෙන් පොලිස් නිලධාරීන් යම් යම් විශේෂ රාජකාරී සඳහා යෙවීමට ඇති නිසා බවයි.

ඉන් පසුව යුක්තිය මෙහෙයුම යළිත් ආරම්භ කිරීමට නියමිතය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මෙසේද පැවසීය .

"රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම 17 වන දින සිට 23 වනදා දක්වා මුල් සතිය එනම්, දින 7ක කාලසීමාවක් අපි ක්‍රියාත්මක කළා. මෙය නතර කිරීමේ අදහසක් නැහැ. 25 නත්තල් දිනය විශේෂයෙන් 24, 25, 26 මේ... පොහොය දිනයත් එකට එළඹීමත් සමගම පොලිස් නිලධාරීන් යම් යම් රාජකාරීවල යෙදීමට අපට සිදුවෙනවා. යම් ආකාරයකට දින කිහිපයකට මෙම මෙහෙයුම් නතර කිරීමට සිදුවුවත් ඉදිරියේදී මෙහෙයුම් නොකඩවා සිදුකිරීමට කටයුතු කරනවා."

ඉන්ධන හල් වෙත විශේෂ දැනුම්දීමක් !

එළැඹෙන උත්සව සමයේදී කිසිඳු ඉන්ධන හිඟයක් ඇති නොවීමට සියලුම ඉන්ධන හල් වගබලා ගතයුතු බවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය දැනුම්දී ඇති බව වාර්තා වෙයි .

ඊට අනුව සිපෙට්කෝ, ලංකා IOC සහ සයිනොපෙක් ඉන්ධන හල් වෙත මෙම දැනුම්දීම සිදුකර ඇත.

මේ සමග අමාත්‍යංශය පෙන්වා දී ඇත්තේ අවම වශයෙන් 50%ක ඉන්ධන තොගයක් පවත්වාගෙන යෑමට සියලු ඉන්ධනහල් කටයුතු කළයුතු බවයි .

ඉටුකම ඉවරයි : ජනතාව පරිස්සමෙන් !

කොවිඩ්-19 ව්‍යාප්තව පැවති අවධියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට හා අරමුදල් රැස්කිරීම සඳහා භාවිතා කළ itukama.lk වෙබ් අඩවිය තව දුරටත් පවත්වා ගෙන නොයාමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත.

කොවිඩ් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමෙන් පසුව එම වෙබ් අරමුදලට බැර වූ මුදල් පිළිබඳ විස්තර වාර්තාව වෙබ් අඩවියේ මුල් පිටුව (Home Page) මත ඉදිරිපත් කරමින් 2022. 10. 28 වන දින සිට බල පැවැත්වෙන පරිදි එම වෙබ් අඩවියෙහි ක්‍රියාකාරීත්වය නිම කරනු ලැබීය. ඊට අදාළව පළ කරන ලද දැන්වීම් හා මුදල් පිළිබඳ විස්තරයක් පමණක් මේ වන විට එම වෙබ් අඩවිය මඟින් ප්‍රචාරය වේ.

මේ වන විට මෙම වෙබ් අඩවිය භාවිතා නොකරන බැවින් එම වෙබ් අඩවි නාමය වෙනත් පාර්ශවයන් වෙතින් ලබා ගෙන අවභාවිතා කිරීමට හැකියාවක් ඇත. එබැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජනාධිපති කාර්යාලය සියළු ජනතාවට දැනුම් දී සිටී.

පාර්ලිමේන්තුවේ වියදම් කප්පාදුවක් : ලංගමේ නිකං යාමත් හමාරයි !

රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ අධික වියදම් සීමා කිරීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇත.

ඊට අදාළ තීරණ හමුවේ පාර්ලිමේන්තුවේ සේවකයන්ට ලංගම බස් රථවල නොමිලේ ගමන් කිරීමට මෙතෙක් නිකුත් කෙරෙන බස් ගමන් බලපත්‍රය ලබන වසරේ සිට අහෝසි කෙරෙනු ඇත.

එම බස් බලපත්‍රය වෙනුවෙන් රුපියල් කෝටි අටක පමණ මුදලක් රජයට වාර්ෂිකව දැරීමට සිදුවන අතර රටේ පවතින ආර්ථික තත්වය අනුව එය දැරිය නොහැක්කක් හෙයින් ලබන වසරේ සිට එපමණ මුදලක් වෙන් කළ නොහැකි බව භාණ්ඩාගාරය පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි .

එසේම පාර්ලිමේන්තු සේවකයන්ගේ ප්‍රවාහනය වෙනුවෙන් ලබන වසර සඳහා වෙන් කළ හැක්කේ කෝටි හතරක් පමණක් බව මහා භාණ්ඩාගාරය වැඩිදුරටත් දැනුම්දී ඇති බවත් වාර්තාවේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පාර්ලිමේන්තු සේවකයන්ට නොමිලේ දෙන බස් ගමන් බලපත්‍රය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය රුපියල් කෝටි අටකට ආසන්න මුදලක් එම මණ්ඩලයට වාර්ෂිකව මෙතෙක් දුන්නේය.

මෙම බස් ගමන් බලපත්‍රය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව ගත් තීරණයක් අනුව 1981 වර්ෂයේ සිට එම සේවකයන්ට ලැබුණු වරප්‍රසාදයකි.

මේ අතර මේ වර්ෂය සඳහා නිකුත් කෙරුණු බස් ගමන් බලපත්‍රය ලබන මස 2 වැනිදාට පෙර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බාරදෙන ලෙස දැනුම් දෙමින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එසේ බාර නොදෙන්නේ නම් දඩ මුදලක් අය කෙරෙන බවද එම චක්‍රලේඛයේ දැක්වේ.

මේ අතර පාර්ලිමේන්තු සේවකයන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ලංගම බස් රථ නවයක් දැනට නොමිලයේ යෙදවෙන අතර එය දිගටම ක්‍රියාත්මක කෙරෙන බව දැනගන්නට ඇත.

තවද පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු දින වැඩ කිරීම වෙනුවෙන් වර්ෂ අවසානයේදී අතිරේක දීමනා ගෙවීමද මේ වසරෙන් පසු නතර කිරීමට තීරණය කර ඇත.

බාල බේත් ගෙන්වීම: කෙහෙළියත් සී.අයි.ඩියට !

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් නැමති ප්‍රතිදේහ බාල ඖෂධය මෙරටට ගෙන්වා රෝගීන් අනාරක්ෂිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විසින් රහස් පොලීසියට ලබාදුන් ප්‍රකාශයක් මත හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

හිටපු සෞඛ්‍ය ලේකම්වරයා විසින් ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වී ඇත්තේ තමන්ට ඇමැතිවරයා ලබාදුන් නියෝග ක්‍රියත්මක කළ බවය.

කෙසේ වෙතත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව අදාළ නඩුවට අමාත්‍යවරයා සැකකරුවෙක් හෝ සාක්ෂිකරුවෙක් ලෙස ඉදිරිපත් කරනවාද නැද්ද යන්න තීරණය කරන බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි.

දැනට බන්ධනාගාර ගතවී සිටින හිටපු අමාත්‍යංශ ලේකම් චන්ද්‍රගුප්ත ඉදිරියේදී රජයේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස නම් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

 මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගෙන්ද ප්‍රකාශ ලබාගැනීමට නියමිතව ඇති අතර ඔහු සම්බන්ධයෙන්ද ප්‍රකාශය ලබාගැනීමෙන් පසුව තීරණය ගැනීමට රහස් පොලිසීය තීන්දු කර තිබේ.

 මේ වනවිට පැමිණිල්ලට අදාළව සෞඛ්‍ය ලොක්කන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් තොරතුරු සහ ඔවුන්ගේ කාර්යාලවල ඇති ලිපිගොනු සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම මේ වනවිට සිදුකරමින් ඇත.

රෝහල් සඳහා එන්නත් 7500ක් අවශ්‍ය වී තිබූ නමුදු මෙම බාල එන්නත් 22500ක් ආනයනය කර ඇත. ඒ සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් වෙන්කර තිබේ. එම එන්නත ඇතුළු ඖෂධ වර්ග 181 ක් සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 30000 කි.

(deshaya.lk)

මේ වන විට විදෙස් සංචිතය ඩොලර් බිලියන 3.6ක් දක්වා ඉහළට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව මෙරට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ නමුත් මේ වන විට එය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට සමත්ව තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර  පැවසීය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර  මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මෙසේද පැවසීය.

ජනතාව ජනප්‍රිය තීන්දුවලට කැමති නිසාම ජනප්‍රිය තීන්දු තීරණ දේශපාලඥයින්ගෙන් බලාපොරොත්තු වෙනවා. ජනප්‍රිය තීන්දු තීරණ ගන්න ගිය ඒ සෑම අවස්ථාවකම අප වැනි කණ්ඩායම් ඊට විරෝධය දක්වා සිටියා. නමුත් ජනතාව වෙනුවෙන් කියමින් දේශපාලඥයන් ජනප්‍රිය තීන්දු ගත්තා. එසේ ක්‍රියාකල සෑම අවස්ථාවකම රටක් විදියට අපි අසාර්ථක වී තිබෙනවා.

විපක්ෂ කණ්ඩායම්වලට මෙයින් ගැලවීමක් නැහැ. ඒ අයත් රටේ සංවර්ධනය වෙනුවෙන් තීන්දු ගන්නා විට ඒවාට විරෝධය දැක්වූයේ, ජනප්‍රිය තීන්දු ගනිමින්. ඒවා පටු දේශපාලන අරමුණු මත ගනු ලැබූ තීන්දු බව කිව යුතුයි. අවසානයේදි අපේ රට ආර්ථිකමය වශයෙන් දරුණු ඛේදවාචකයකට මුහුණ දුන්නා.

මේ රට ගොඩ ගන්න බෑ කියලා තේරුම් අරගෙන හිටපු නිසයි ඇතැමුන් වගකීම් භාරගන්න බෑ කිව්වේ. ජනාධිපතිතුමා ඇතුළු අපි මේ වගකීම භාරගත්තේ නැතිනම් බස්වලින් සෙනග ඇදලා රැලි පෙන්වන අයටත් ඒ මිනිස්සු නැති වෙනවා. රට ගමන් කරමින් සිටියේ මහා ඛේදවාචකයකටයි. අපිට දැන් චෝදනා කරන සමහරුන්ට මතක නෑ, ඒ මෙහොතේ ඔවුන් ආණ්ඩුවෙ සිටි බවත් අප විපක්ෂයේ සිටි බවත්.

අප ආණ්ඩුව භාරගත්තේ රටේ විදෙස් සංචිතයේ එක් ඩොලරයක්වත් නොතිබුණ තත්ත්වයකයි. මහ බැංකුවේ ඩොලර් වත්කමට වඩා වැඩි වත්කමක් රට ගිහින් පැමිණි අපේ විදේශ ගත ශ්‍රමිකයින් සතු වුණා. මුළුමණින්ම සිදීගොස් තිබු මෙරට ඩොලර් සංචිතය ඩොලර් බිලියන 3.6ක් දක්වා අද වන විට වැඩි කිරීමට ආණ්ඩුව සමත්ව තිබෙනවා. ඒ මෙහොතේ අපි බලයට ආවේ නැතිනම් රටේ ඩොලර් නැතිව, කිසිවක් ආනයනය කරන්න නොහැකි වනවා.

අප බලයට එන විට තිබුණේ හිතුමතේ මුදල් මුද්‍රණය කළ තත්ත්වයක්. උද්ධමනය ඉහළ ගියේ ඒ නිසයි. ඒ ආකාරයටම මුදල් මුද්‍රණය කළා නම් ඇත්තටම වෙළද සැලකින් බඩු ගන්න යන්න වෙන්නේ විල් බැරෝවක සල්ලි පුරවාගෙනයි.

පසුගිය වසර අවසාන වන විට ඩොලරයක වටිනාකම රුපියල් 365ක් වෙලා තිබුණා. ඩොලර් එක 600 ට 700ට යා හැකි බවයි ඇතැමුන් පැවසුවේ. හැබැයි අද වන විට ඩොලර් එක 320ට ගෙන එන්න හැකි වී තිබෙනවා. ඩොලරයේ අගය සියයට 11කින් පහළ දැමීමට හැකිවුණා. අපි මේ වෙනස් කම් කළේ නැතිනම් තවමත් උන්ඩියල් කරන අය තමයි ඩොලරයේ වටිනාකම තීරණය කරන්නේ. පිට රටක ඉන්න ළමයෙක්ට ඉගෙන ගන්නවත් කීයක්වත් යවන්න බැරි වෙනවා.

අපි එනවිට පොලී අනුපාතය සියයට 25 කට වැඩියෙන් තිබුණේ. හැබැයි අපි අවුරුදු එකහමාරකට පස්සේ ප්‍රතිපත්තිමය පොලී අනුපාතය තනි අගයකට අරගෙන තිබෙනවා. බැංකුවකින් ණයක් ගන්න පුළුවන් තත්ත්වයකට අප රට පත් කළා.

මෙය සෘණ ආර්ථික වර්ධනයක් තිබුණ රටක්. අප එය ධණ ආර්ථික වර්ධනයකට ගෙනවිත් තිබෙනවා. පසුගිය වසරේ තිබූ තත්ත්වයට වඩා ඉතා ඉහළ තැනකට කෘෂි අංශය, කර්මාන්ත අංශය වගේම සංචාරක කර්මාන්තය ද ගෙන ඒමට හැකි වී තිබෙනවා.

පසුගිය කාලයේ ජනතාව සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලුවා. දැන් එය සිදු වෙමින් තිබෙනවා. නියම විදියට බදු අය කරගන්නවා. හැමෝම බදු ගෙවනවා. රට දාලා ගියපු අයත් ඒ රටවලට ගිහින් විශාල බද්දක් ගෙවනවා. සමෘද්ධිය දෙනවා වගේ බදු සහන දීලා රටක් ගොඩ ගන්න බැහැ.

මේ වන විට පාතාලය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කිරීම ආරම්භ කර තිබෙනවා. දැන් එම කටයුත්තටත් මාධ්‍ය සංදර්ශන කියා චෝදනා කරනවා.

ඒ වගේම ජනතාව ඉල්ලපු ක්‍රම වෙනස ඇති කිරීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා. ශ්‍රමයට ගරුත්වයක් දෙන වැඩපිළිවෙල දියත් කර තිබෙනවා. රට ඩිජිටල්කරණයට ලක් කරමින් සිටිනවා.

‘යුක්තිය’ මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය සැකකරුවන් 1676ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය මැඩලීමේ දීප ව්‍යාප්ත ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේ දී ගෙවුණු පැය 24 තුළ දී තවත් සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුමේ දී සම්පූර්ණ සැකකරුවන් 1,676 දෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

සැකකරුවන් 45 දෙනෙකු සම්බන්ධයෙන් මුල්‍ය වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර පුද්ගලයින් 112 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබේ. මීට අමතරව සැකකරුවන් 119 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

මෙම විශේෂ දීප ව්‍යාප්ත මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය වන්නේ:

• හෙරොයින් ග්‍රෑම් 692
• මෙතම්ෆෙටමින් ග්‍රෑම් 393 (‘අයිස්’)
• ගංජා කිලෝග්‍රෑම් 42.1
• මත් පෙති 20,615ක්
• ගංජා පැල 235,680ක්
• ඈෂ් කිලෝග්‍රෑම් 534
• මාවා කිලෝග්‍රෑම් 11kg

දෙසැම්බර් 17 වැනිදා සිට ‘යුක්තිය’ මෙහෙයුම යටතේ විශේෂ වැටලීම් ආරම්භවිය.

මේ අතර කුප්‍රකට අපරාධකරුවන්ට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් රුපියල් කෝටි ගණනක වත්කම් පොලිසියේ නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන අංශය රාජසන්තක කර තිබේ.

ඉන්දියානු නව මහකොමසාරිස් අක්තපත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා (H E. Santosh Jha) අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්ත පත්‍ර භාර දුන්නේය.

සන්තොෂ් ජා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස පත්වීමට ප්‍රථම 2020 ජූලි මාසයේ සිට 2023 දෙසැම්බර් මාසය දක්වා බ්‍රසල්ස්හි ඉන්දීය තානාපතිවරයා ලෙස සේවය කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෙන්ම ඉන්දියාව සහ යුරෝපා සංගමය සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරගැනිම පිළිබඳ සාකච්ඡා කණ්ඩාම්වල සාමාජිකයෙකු ලෙස ද සන්තෝෂ් ජා කටයුතු කර ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ආර්ථික, සංස්කෘතික සහ සමාජයීය සබඳතා වඩා ශක්තිමත් කර ගැනීමට කැපවන බව ජනාධිපති කාර්යාලයේ තැන්පත් කර තිබූ සමරු සටහන් පොතේ සටහනක් තබමින් සන්තොෂ් ජා සඳහන් කර තිබේ.

ඉන්දු – ශ්‍රී ලංකා ඓතිහාසික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙන්ම වෙළෙඳ, ආයෝජන, බලශක්තිය ඇතුළු ක්ෂේත්‍ර රැසක දෙරට අතර පවතින සමීප සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට කැපවන බව ඉන්දීය නව මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

දෙරටේ නායකයන් එකඟ වූ “දැක්ම” අනුව කටයුතු කිරීම තම අපේක්ෂාව බව සඳහන් කළ ඉන්දීය නව මහකොමසාරිස්වරයා, මෙම සහයෝගීතාවය රටවල් දෙකෙහි අන්‍යෝන්‍ය සමෘද්ධිය, ප්‍රගතිය සහ කලාපීය ස්ථාවරත්වයට හේතු වනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍යවරයා මෙන්ම වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය රමේෂ් පතිරණ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

1703241465 Santosh Jha Ranil Wickremesinghe l

ජනපති නියමයෙන් නව අමාත්‍යාංශ ලේකම්වරුන් 10ක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අමාත්‍යංශ 10ක් සඳහා නව අමාත්‍යංශ ලේකම්වරුන් දස දෙනෙකු සහ පළාත් 2ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම පත්වීම් 2024 ජනවාරි මස 1 වන දින සිට ක්‍රියාත්මක කෙරෙන බව ය.

ඒ අනුව, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් ධූරයට ඒ. සී. මොහොමඩ් නෆීල් ද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පලන අමාත්‍යංශ ලේකම් ධූරයට ඩබ්. පී. පී. යසරත්න ද, වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් ධූරයට සමන් දර්ශන පාඬිකෝරාල ද පත් කර ඇත.

තව ද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධූරයට වසන්තා පෙරේරා ද, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ධූරයට එන්. එම්. රණසිංහ ද, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ධූරයට ගුණදාස සමරසිංහ ද පත් කර තිබේ.

ඊට අමතරව, පරිසර අමාත්‍යංශයේ ලේකම් ධූරයට බී. කේ. පී. චන්ද්‍රකීර්ති ද, විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ධූරයට ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන ද, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ධූරයට ඉංජි. රංජිත් රූබසිංහ ද, තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ධූරයට ධර්මශ්‍රී කුමාරතුංග ද පත් කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර ද, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස එස්. එල්. ඩී. කේ. විජයසිංහ ද පත් කරනු ලැබ ඇති බව ය.

යළි මුව ආවරණ පළඳින්නැයි ඉල්ලීමක්

ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය සහිත රෝගීන් ශ්‍රී ලංකාව තුළ ද සිටීමට ඉඩ ඇති බවට තමා විශ්වාස කරන බැවින් හැකිතාක් මුව ආවරණ යළි භාවිතා කරන ලෙසට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර  පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ඉන්දියාවේ සිදු කළ පරීක්ෂණයක දී 30%ක් ආසාදිතයන් ලෙස පැය 24ක් තුළ හඳුනාගෙන ඇති අතර එය Omicron හි JN.1 උප ප්‍රභේදය නිසා සිදු වූවක් බව ඔප්පු වී ඇති බවයි.

කොවිඩ් විශේෂ, සෙම්ප්‍රතිශ්‍යාව තරම් සරල නොවන බවත්, මිනිසුන් දැඩි ලෙස රෝගාතුර විය හැකි බවත්, හෘදයාබාධ, ආඝාත සහ මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ වැඩි අවදානම ඇතුළු දිගුකාලීන බලපෑම් ද ඇති කළ හැකි බවත් සඳහන් කළ මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේ හැකිතාක් ආරක්ෂාකාරී වීම වැදගත් බවයි.

ශ්‍රී ලංකාව තුළ පරීක්ෂණ සිදු කිරීම අවම මට්ටමක පැවතීම නිසා රෝගීන් සමාජය තුළ සිටින්නේ ද නැද්ද යන්න පවා හඳුනාගැනීම අපහසු වී තිබේ.

එම නිසා ජනාකීර්ණ පරිසරයක සිටී නම්, මුව ආවරණය පැළඳීම වඩා ආරක්ෂිත බව මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවිඩයේ සදහන් කර ඇත.

මෙම නව Omicron හි JN.1 හි රෝග ලක්ෂණ වන්නේ උණ, කැස්ස, සුවඳ නැතිවීම සහ රසය නැති වීමයි.

දීර්ඝ කාලීනව පවතින අධික උණ, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම සහ වමනය ඇති වීම ද මෙහි රෝග ලක්ෂණවලට අයත්වේ.

එවැනි ලක්ෂණ අනතුරු ඇඟවීමේ සංඥා විය හැකි බැවින් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ද ඔහු වැඩිදුරටත් දන්වා සිටී.

කුඩ්ඩන්, සූදු අන්තුවන් සංවිධායකයන් කරන්න තරම් සජිත් අපරිණතයි !

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සමගි ජන බලවේග ආසන සංවිධායකයකු අමිත බණ්ඩාර නැමැත්තා රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට තිබේ.

ඒ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝවකට ආසන්න ප්‍රමාණයක් සමඟයි.

ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ දිනවල දියත් කරන යුක්තිය විශේෂ මෙහෙයුම අතරතුරදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

කෑගල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල මත්ද්‍රව්‍ය ජාලයක් මොහු විසින් ක්‍රියාත්මක කර ඇති බවත් එහිදී අනාවරණය වී තිබේ.

මේ බව සැලවී ඊට අදාළ සමාජ මාධ්‍ය ප්‍රතිචාර හමුවේ බලවත් අපහසුතාවට පත්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ සමගි ජනබලවේගය පක්ෂය සැකකරු ධූරයෙන් නෙරපා ඇත.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ සමගි ජනබලවේගය පක්ෂයේ නායක ක්‍රිකට් දූෂණ ගැන කතා කරන විට විපක්ෂ නායකට ඥාතී වූ ප්‍රසිද්ධ ක්‍රිකට් තරග ඔට්ටු කරුවෙකු පිළිබඳ අනාවරණය වූ බවත් ඔහුද සජබ සංවිධායක ධූරයක් දරන්නෙකු බවය.

මේ මොහොතේ යුක්තිය මෙහෙයුම හමුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හසුවී ඇති බවත් ඔහුද සජබ සංවිධායකයකු බැවින් එම පක්ෂ කේඩරය මුළුමනින්ම දූෂිත බව තහවුරු වන බව දේශපාලන විචාරක මතය වී ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දේශපාලන පක්ෂ නායකයකු ලෙස කොතරම් අපරිණත ලෙස හැසිරී ඇතිද යන්න මේ හරහා ඔප්පු වන බවත් දේශපාලන විචාරකයන් පවසයි .

ඩලස්ට බූට් එක තියන නඩේට සජිත්ගෙන් ෆුල් පැකේජ් එකක් : ඒත් සජබ පළුවක් ආණ්ඩුවට !

ඩලස් අලහප්පෙරුම ගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් ඇතිවෙලා කියන එක දැන් ප්‍රසිද්ධ කතාවක්..

ආරංචිවල හැටියට මේ වෙනකොට ඩලස්ගේ මන්ත්‍රීවරුන් හය (06) දෙනක් , සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ, ළඟදීම එක්වීමට නියමිතයි ලු..

ඒ අනුව නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී එල් පීරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා , මහාචාර්ය චන්න ජයසුමන , වසන්තයපා බණ්ඩාර සහ K.P.S. කුමාරසිරි මන්ත්‍රීවරුන් 06 දෙනා, සජිත් ප්‍රේමදාස ගේ කණ්ඩායම සමඟ එකතුවෙන්න සියලු කටයුතු සුදානම් කියලයි ආරංචි.

එහෙම එන මන්ත්‍රීලට සමගි ජන බල වේගයේ ආසන සංවිධායක ධූර ලබා දෙන්නත් සජිත් පොරොන්දු වෙලා.

ඒ අනුව, ඒ ඒ මන්ත්‍රීවරුන්ට තම තමන් දැනට නියෝජනය කරන දිස්ත්‍රීක්කයේ, සුදුසු ආසන සංවිධායක ධුර දෙන්න පොරොන්දු වෙලා. හැබැයි මෙතනදී නාලක ගොඩහේවා ඉල්ලලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රීක්කයේ රත්මලාන ආසන සංවිධායක කමලු. ආරංචි හැටියට සජිත් ඒකටත් එකඟවෙලා.

ඒ විතරක් නෙමෙයි, පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් ට සජබේ ඉහලම තනතුරක් දෙන්නත් පොරොන්දු වෙලා. ඒ කියන්නේ ෆුල් පැකේජ් එකක්.

ඩලස් ගේ කණ්ඩායමේ කට්ටියට ඔය විදියට විවිධාකාරයේ තනතුරු වරප්‍රසාද දීලා, පක්ෂයේ ඇතුලට ගන්න සීන් එකට , සජබ සමහරු ලොකු අවුලක ඉන්න කතාව අපි පහුගිය දවසකත් කිව්වා.

ඔන්න දැන් අනුරාධපුරේ චන්න ජයසුමන ගන්න හදන එක ආරංචිවෙලා, මනෝ ගනේෂන් බාල්දියක් පෙරලලා. '' පහුගිය කාලේ අපට හිරිහැර කරපු චන්නල වගේ ජාතිවාදියෝ සජබෙට ගන්නවා නම් තවදුරටත් මෙතන ඉන්නවද ? එලියට බහිනව ද කියලා තීන්දුවක් ගන්න වෙනවා..මෙහෙම ගියොත් දිනන්න කියලා , රතන සාදුලා , ගම්මන්පිලව - විමල්ව වුනත් ගන්න ඉඩ තියනවා. '' කියලා මනෝ, ගේම ඉල්ලලා තියෙන්නේ රන්ජිත් මද්ධුම බණ්ඩාර ගෙන් ලු.

ලැබෙන දේශපාලන ආරංචි වලට අනුව රිෂාඩ් පවා මේ ජාතිවාදී අය ගන්න එකට විරෝධය දක්වලා. ගොඩක් වෙලාවට මේ විරෝධය දක්වන පිරිස කවදාවත් ජාතිවාදී ආගම්වාදී නොවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය දෙන්න සූදානමක් ඇති බවටත් රාවයක් යනවා.

ඒ කියන්නේ සජිත් ඩලස්ගේ නිදහසට වැඩේ දෙන්න ගියාට සජිත්ට නිදහස නැති වෙන්න යන්නේ. බලාගෙන ඉන්න තියෙන්නේ .

දේශපාලන වාර්තාකරු

රනිල් එනවා ස්ථිරයි : රවී K කියයි !

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිති රනිල් වික්‍රමසිංහ , නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එළැඹෙන ජනාධිපතිවරණය සඳහා බහුතරයක් දේශපාලන පක්ෂ එක්ව ඉදිරිපත් කිරීම, කාලීන අවශ්‍යතාවයක් බවත් ඔහු සඳහන් කරයි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙසේ පවසා තිබුණේ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කර සිටියේය .

‘රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික දේශපාලන ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කිරීම අනිවාර්යෙන්ම වෙනවා. සියලු පක්ෂවල එකතුවක් වශයෙන් තමයි මේක කරන්නේ. නොයෙක් අය තරග කරන්න කැමතියි. නමුත් අමාරු අවස්ථාවක, රටක අරාජිකත්වයට පත්ව තිබු මොහොතක එයින් ගොඩ එන්න නායකත්වය දෙන එවැනි ස්වරූප තියෙන පුද්ගලයින් බොහෝම සීමිතයි.''

ජනපති සහ උතුරු නැගෙනහිර ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (21) පස්වරුවේ පැවැත්විණි.

උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීම, නැවත පදිංචි කිරීම් කටයුතු හා සංහිඳියාවට අදාළ නීති ක්‍රියාත්මක කිරීම, ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගැටළු මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික් සංවර්ධනයට අදාළ කරුණු රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු විය.

උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්, එස්. රාසමාණික්‍යම්, ජී. කරුණාකරන්, ටී. කලෙයි අරසන්, කුලසිංහම් දිලීපන් යන මහත්වරුන් මීට එක්ව සිටී අතර අධිකරණ හා බන්ධනාගර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්,ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම් .සී එම්. හේරත්, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් එච්. එම්.පී.බී හේරත් යන මහත්ම මහත්මීහු ද සංහිඳියා ක්‍රියාවලියට අදාළ ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ලොකු ලූණු පසුම්බිය රත් කරයි !

ඉන්දියාවෙන් ආනයනය කරන ලොකු ලූනු කිලෝවක මිල අද (21) දින වන විට රුපියල් 650 ත 700 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළඳ පොළ ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පිටකොටුවේ ලොකු ලුණු සිල්ලර මිල රුපියල් 500 ත් 600 ත් අතර ගණනකට ඉහළ ගොස් තිබේ.

පිටකොටුව තොග වෙළඳපොලේ ලොකු ලූණු කිලෝවක මිල අද පෙරවරුවේ රුපියල් 450 ත් 500 ත් අතර මිලකට අලෙවි වූ අතර ඉදිරි දින කීපයේදී තොග මිල තවත් ඉහළ යනු ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දන් පවසන බවත් එම ආරංචි මාර්ග පවසයි .

මේ අතර ලොකු ලූණු මිල ඉහළ දැමීමට ඉන්දීය අපනයනකරුවන් දැනුම්දී ඇති බව මෙරට ලොකු ලූණු ආනයනකරුවන් පවසන බවත් අප ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

තරුණ පරම්පරාවට තීරණාත්මක කාර්යභාරයක් පැවරී තිබෙනවා - සාගල

පාරිසරික අභියෝගවලට මුහුණ දීමේදී තරුණ පරම්පරාවට තීරණාත්මක කාර්යභාරයක් පැවරී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය.

ගෝලීය දේශගුණ විපර්යාස අවම කිරීමේ ප්‍රයත්නයන්හිදී ශ්‍රී ලංකාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමේ වැදගත්කම අවධාරණය කළ ඒ මහතා මේ වන විටත් පරිසරය වෙනුවෙන් තරුණ ප්‍රජාව දක්වන කැපවීම අගය කරන බවද සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මේ බව සඳහන් කළේ ඊයේ (20) ජනාධිපති කාර්යාලයේදී පැවති තරුණ නායකයින්ගේ සේවය ඇගයීමේ අවස්ථාවට එක්වෙමිනි.

විවිධ ක්ෂේත්‍රවල කුසලතා දැක්වූ මෙරට තරුණ නායක නායිකාවන් 23දෙනෙකු ඇගයීමට ලක් කිරීම වෙනුවෙන් ලියෝ සමාජය විසින් මෙම ඇගයීම් උළෙල සංවිධානය කර තිබුණි.

ඒ අනුව තෝරාගත් පාසල්වල ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන් සහ උප ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන්ද, ජාත්‍යන්තර ලියෝ සමාජ සභාපතිවරුන් සහ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ද ඔවුන්ගේ විශිෂ්ට නායකත්ව කුසලතා වෙනුවෙන් මෙහිදී ඇගයීමට ලක්විය.

මෙහි ප්‍රධාන දේශනය පැවැත්වූ සාගල රත්නායක, සමාජ කටයුතුවලදී තරුණ පරපුර විසින් ලබා දුන් දායකත්වය අතීතයේ සිට වර්තමානය දක්වා විකාශනය වී ඇති ආකාරය පැහැදිලි කළේය.

පාරිසරික අභියෝගවලට මුහුණ දීමේදී තරුණ පරම්පරාවට පැවරෙන තීරණාත්මක කාර්යභාරය අවධාරණය කළ ඒ මහතා, වර්තමානයේදී පරිසරය පිළිබඳ තරුණයින් විසින් දක්වන අවධානය ඇගයීමට ලක් කළේය. පාරිසරික ගැටළු සඳහා තරුණ තරුණියන්ගේ කැපවීම අගය කළ සාගල රත්නායක  ගෝලීය දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමේ ප්‍රයත්නයන්හිදී ශ්‍රී ලංකාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව සතුව පවතින අවස්ථාවන් පිළිබඳව ගෙනහැර දක්වමින් හරිත හා නවීන ආර්ථිකයක් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ දැක්ම පිළිබඳව ඒ මහතා මෙහිදී පැහැදිලි කළේය.

අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමේදී මුහුණ දීමට සිදුවූ මූලික අභියෝග මෙන්ම තිරසර සංවර්ධනයක් ඇති කිරීම සඳහා නිවැරදි වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීම වෙනුවෙන් රජය කැපවී සිටින බවද සාගල රත්නායක අවධාරණය කළේය.

රටේ ආර්ථික ප්‍රකෘතිය සඳහා තරුණ තරුණියන්ට සිදුකළ හැකි කාර්යභාරය පිළිබඳ සිහිපත් කරමින්, ඒ සඳහා ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ සාගල රත්නායක  ශ්‍රී ලංකාවට සමෘද්ධිමත් අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් රජය සමඟ අඛණ්ඩ සහයෝගයෙන් කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියේය.

මෙම උත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් විශේෂයෙන් බිනුජ අමරනායක  ඇතුළු ලියෝ සමාජයට සාගල රත්නායක  සිය ස්තුතිය පළ කර සිටි අතර ඉදිරියේදී තරුණ තරුණියන් සමඟ සම්බන්ධ වීමට තවත් මෙවැනි අවස්ථා උදාවනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේය.

රටේ අභිවෘද්ධිය වෙනුවෙන් තරුණ තරුණියන් සක්‍රීයව දායක කර ගන්නා ලියෝ සමාජය වැනි වැඩසටහන් පෝෂණය කිරීම සඳහා විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රය ලබාදෙන දායකත්වයද මෙහිදී සාගල රත්නායකගේ පැසසුමට ලක්විය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය අමාත්‍ය කංචන විජේසේකර, තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න, ජාත්‍යන්තර ලියෝ සමාජ වැඩසටහන් උපදේශක ලසන්ත ගුණවර්ධන, උපකුලපතිවරුන්, විදුහල්පතිවරුන්,මාණ්ඩලික උපදේශකවරුන්, ලියෝ සමාජයේ උපදේශකවරුන් , පාසැල්වල ප්‍රධාන ශිෂ්‍ය නායකයින් සහ ශිෂ්‍ය නායකයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

IMG 20231221 WA0010

හෙට සිට විශේෂ දුම්රිය කාලසටහනක්

දීර්ඝ සතිඅන්ත සහ පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනය හෙට (22) සිට ආරම්භ වේ.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, මහනුවර සිට බදුල්ල දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය ගමනාගමන අධිකාරි එන්. ජේ. ඉඳිපොලගේ  සඳහන් කළේය.

කන්කසන්තුරය හා අනුරාධපුරය දක්වා ගමන් කරන මගීන් සඳහාත් විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කරන බව දුම්රිය ගමනා ගමන අධිකාරි එන්. ජේ. ඉඳිපොලගේ ප්‍රකාශ කළේ ය.

train 1

Page 118 of 460