V2025

ආර්ථික

පන් ලක්ෂයකට ආසන්න සේවා නියුක්තිකයන් : බද්දෙන් නිදහස්

දැනට උපයන විට බදු ගෙවන ලක්ෂ 12ක් පමණ වන සේවා නියුක්තිකයන්ගෙන් 40% පමණ එනම් ලක්ෂ 5කට ආසන්න පුද්ගලයන් නව දේශීය ආදායම් පනත අනුව බද්දෙන් නිදහස ලබන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය මේ බව සඳහන් කරන අතර මෙම නව පනත මගින් මාසිකව රුපියල් ලක්ෂයක් හෙවත් වාර්ෂිකව රුපියල් ලක්ෂ 12ක ආදායම් ලබන සියලු දෙනා ආදායම් බද්දෙන් නිදහස් බවද එහි දැක්වේ.

එසේම ශ්‍රී ලංකාවේ ඍජු බදු ගෙවන ප්‍රමාණය ඉතා අතලොස්සක් පමණක් බවත් දෙකෝටියක් පමණ ජනගහණයක් සිටියත් මෙරට බදු ගොනු තිබෙනුයේ ලක්ෂ 16ක් පමණක් වන අතර එයින් ලක්ෂ 12ක් පමණ ම අයත් වනුයේ උපයන විට ගෙවීමේ බද්දට යටත් වන සේවා නියුක්ත්කයන්ට බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

කෙසේ වුවත් අදාළ උපයන විට ගෙවීමේ බද්දට (PAYE) යටත් කරනු ලබන වාර්ෂික සීමාව රුපියල් 750,000 සිට නව බදු පනත මගින් රුපියල් ලක්ෂ 12 දක්වා වැඩි කර තිබෙන බවත් මේ හේතුවෙන් දැනට උපයන විට බදු ගෙවන ලක්ෂ 12ක් පමණ වන සේවා නියුක්තිකයන්ගෙන් 40% පමණ එනම් ලක්ෂ 5කට ආසන්න පුද්ගලයන් නව බදු පනත අනුව බද්දෙන් නිදහස ලබන්නේ ඒ අනුව බවත් එහි දැක්වේ.

එමෙන් ම විවිධ ස්ථරයන් යටතේ බදු ගෙවීම සඳහා මෙතෙක් පැවැති ලක්ෂ පහේ වාර්ෂික ලාබ සීමාව ලක්ෂ 6 දක්වා වැඩි කර ඇති බැවින් ඒ යටතේ ද බොහෝ ආදායම් ලබන්නන් ගෙවිය යුතු බදු ප්‍රමාණය පෙරට වඩා අඩුවනු ඇති බවද නිවේදනයේ සඳහන්ව ඇත.

අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්න

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත්කර තිබෙන්නේ අප්‍රේල් මස පළමු වැනි දා සිට ක්‍රියාත්මක නව දේශීය ආදායම් පනත පිළිබඳ ජනතාව නොමග යවන ආකාරයේ පුවත්, විශේෂාංග තව දුරටත් මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පැවතීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්ය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය දා මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා සියලු ගැටලුවවලට පිළිතුරු ලබා දී ඇති තත්ත්වයක් තුළ වුව ද අසත්‍ය ප්‍රචාර සිදු කරමින් පවතින බව නිරීක්ෂණය වී ඇති බවත් ඇතැම් පුවත්පත්වල කතුවැකි තුළින් පවා නිවැරැදි නොවන කරුණු ප්‍රචාර කිරීම සිදුව ඇති බවත් නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

ඒ අනුව තවදුරටත් ජනතාව නොමග යැවීම වලක්වාලීම අරමුණු කරගනිමින් අසත්‍ය ප්‍රචාර සිදුව ඇති කරුණු කිහිපයක් ඉලක්ක කර එහි සත්‍ය පසුබිම අනාවරණය කරමින් නිවේදනය නිකුත් කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේ සඳහන්ව තිබේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසි

ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරි කිරීමේ ගිණුම්වලට 5% ක රඳවා ගැනීමේ බද්ද අදාළ වනුයේ එවන් පුද්ගලයන්ගේ තැන්පතු මුදල රුපියල් කෝටි දෙකකට ආසන්නව තිබෙන අවස්ථාවන්හි දී පමණි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්හට තම ඉතිරි කිරීම සඳහා සාමාන්‍ය බැංකු පොලී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයක් ගෙවනු ලබයි. ඔවුන්ගේ ඉතිරිකිරීම් මත ලබන මාසික පොලී ආදායම රු. 125,000 දක්වා වන මුදලට කිසිදු බද්දක් අය කරනු නොලැබේ. රු. 125,000 ක මාසික පොලිය ලබන්නට නම් එක්කෝටි විසිපන්ලක්ෂයකට ආසන්න මුදලක් තම ඉතිරිකිරීමේ තැන්පතුවල තිබිය යුතුවේ. ඒසා විශාල මුදලක් තම ඉතිරිකිරීමේ ගිණුමේ පවත්වාගෙන යා හැකි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සිටිනුයේ ඉතා අතලොස්සක් පමණි.

මරණාධාර සහ සුබ සාධක සමිතිවලින් බදු අය කිරීම

පුවත්පත්වල මෙන් ම විද්‍යුත් මාධ්‍ය සංවාදවල දී ද මතු කරනු ලබන මෙම චෝදනාව සම්පූර්ණයේ ම අසත්‍යය. මරණාධාර සහ සුබ සාධක සමිතිවලින් ලැබෙන පොලී ආදායම් නව පනත යටතේ බද්දකට යටත් කර නොමැත.

විදෙස්ගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන මුදල්වලට බදු අය කිරීම

විදෙස්ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවෙන් පිට කුමන රටක සිට වුවද තම නිවෙස් වෙත හෝ ඥාතීන් වෙත එවනු ලබන මුදල් වලට කිසිදු බද්දක් අය කරනු නොලැබේ. එසේම, ලංකාවේ සිටින යම් පුද්ගලයෙකු විසින් විදේශ රටකට සේවා සපයා එයින් ලබන වාර්ෂික ආදායම රු. මිලි. 15 දක්වා බද්දෙන් නිදහස් කොට තිබේ.

ආගමික ස්ථානවලින් බදු

පිං කැටේටත් බදු නමින් ප්‍රසිද්ධ කරනු ලැබූ මෙම චෝදනාවට ද කිසිදු පදනමක් නොමැත. ආගමික ස්ථානවලට ලබා දෙන ආධාර හෝ පිං කැට වෙත ලැබෙන මුදල් සඳහා බදු අය කිරීමට අදාළ කිසිදු වගන්තියක් නව දේශීය ආදායම් පනතට ඇතුළත් කර නොමැත. එහෙත් කිසියම් ආගමික ස්ථානයක ව්‍යාපාර පවත්වාගෙන යන්නේ නම් එයින් ලබන ලාභය මත මෙයට පෙර පැවැති ආකාරයට ම බදු පැනවේ.

18ට වැඩි සියල්ලන්ට ම බදු ගොනුවක්

දේශීය ආදායම් පනත තුළ එවැනි ප්‍රතිපාදනයක් අන්තර්ගත වී නොමැති අතර ඒ අනුව වයස අවු. 18 ට වඩා වැඩි පුරවැසියන්හට බදු ලිපිගොනු විවෘත කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනඟිනු ඇත.

බදු නිදහස් කිරීම

බදු නිදහස් කිරීම සම්බන්ධයෙන් පුවත්පත්වල ඇතැම් කතුවැකිවලද නිවැරදි නොවන ප්‍රවෘත්ති වාර්තා විය. රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප, ජනාධිපති අරමුදලෙන් ලැබෙන ප්‍රදාන, රු. ලක්ෂ පහ නොඉක්මවන ලොතරැයි තෑගි මුදල සහ රජයේ වාහන බලපත්‍ර යටතේ සේවකයෙකුට ලැබෙන ප්‍රතිලාභ යනාදිය සඳහා තිබූ බදු නිදහස් කිසිවක් ඉවත් කර නොමැත. ඉහත කී ක්ෂේත්‍රයන් සඳහා ලබාදී තිබූ මෙම බදු නිදහස් කිරීම් දේශීය ආදායම් පනත ක්‍රියාත්මක වන 2018.04.01 දින සිට ද අඛණ්ඩවම එලෙසම බල පැවැත්වෙන බව අවධාරණය කළ යුතුයි.

මෙම නව බදු පනත මගින් ව්‍යාපාරිකයන් හා ආයෝජකයන්ට සමාන අවස්ථාවන් සලසා දී ඇති අතර, දේශීය හෝ විදේශීය ආයෝජකයන් තම ආයෝජන වෙනුවෙන් බදු විරාම, බදු නිදහස් කිරීම, බදු සහන ලබා ගැනීම සඳහා මෙතෙක් දේශපාලඥයන් පසුපස හඹායාමට තිබූ අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත.

මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැති බදු පරිපාලන ක්‍රමය යටතේ ආයෝජකයන්හට බදු විරාම/ බදු සහන ලබාදීම තීරණය කරනු ලැබුයේ අදාළ ඇමැතිවරයා විසිනි. දේශපාලඥයන්ගේ අත්තනෝමතික හෝ අභිමතානුසාරී බලය යටතේ බලපෑම් මත බදු සහන දීමේ මෙම ක්‍රමවේදය මෙම නව පනත මගින් ස්ථිරවම ඉවත් කර තිබේ. ඒ වෙනුවට ආයෝජකයන් වෙත බදු සහන ලබාදීමේ විනිවිද පෙනෙන නීතිමය පදනමින් යුක්ත ක්‍රමවේදයක් පනත තුළ අන්තර්ගත කර තිබීම විශේෂත්වයකි.

උදාහරණයක් ලෙස ඇ.ඩො. මිලියන 03 ක ආයෝජනයක් කරන පුද්ගලයෙකු තම ආයෝජනයට සමාන ප්‍රතිලාභ අත්පත් කරගන්නා තෙක් ඔහුට බදු ගෙවිය යුතු වන්නේ නැත.

එසේම ඇ.ඩො. මිලියන 100 ට වැඩි ආයෝජනයක් කරන්නේ නම් එවැනි සමාගමකට තම ආයෝජනය මෙන් 150% ප්‍රතිශතයක ප්‍රතිලාභ ලබාගන්නා තෙක් බදු සහන හිමිවන බැවින් ආයෝජනයන් සඳහා බදු සහන හෝ බදු විරාම ලබාගැනීමට දේශපාලඥයන් පසුපස හඹායෑමේ යුගය මෙම නව දේශීය ආදායම් පනත මඟින් නිශේධනය කර තිබේ.

Comment (0) Hits: 561

ලංකා IOC තෙල් මිල ඉහළ දමයි : ඛනිජ තෙල් සංස්ථාව තවම තීරණයක් ගෙන නෑ !

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ නීල් ජයසේකර සඳහන් කරයි.

එසේම නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කර සිටින්නේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ලාභය පමණක් සලකා තීරණ ගන්නා ආයතනයක් නොවන බවය.

ලංකා IOC තෙල් මිල ඉහළ දමයි

ලංකා IOC සමාගම ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී ඩීසල් හා පෙට්‍රල් මිල ගණන් ඉහළ දමා ඇත. එම සමාගම සඳහන් කරන ආකාරයට ඩිසල් ලීටර්යක් රුපියල් 5 කින් සහ පෙට්‍රල් ලීටර්යක් රුපියල් 9 කින් මිල ඉහළ දමා ඇත.

ඒ අනුව ලංකා IOC නව ඉන්ධන මිල ගණන් වන්නේ, පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටර්යක් රුපියල් 126.00 හා ඩීසල් ලීටර්යක් රුපියල් 100.00 ලෙසය.

මිල ඉහල දැමීමේ හේතුව

මේ ආකාරයට තෙල් මිල ඉහල දැමීමට හේතුවුයේ සමාගමේ පාඩු පියවා ගැනීමට බවද වාර්තා වෙයි. ලංකා IOC සමාගම පසුගිය 2017 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී රුපියල් මිලියන 340 ක අලාභයක් ලබා ඇති බව එම සමාගමේ මූල්‍ය වාර්තා පෙන්වා දේ. 2016/17 මූල්‍ය වර්ෂයේ මුල් මාස 09 තුළ දී රුපියල් බිලියන 3.71 ක ලාභයක් ලබා ඇති ලංකා IOC සමාගම 2017/18 මූල්‍ය වර්ෂයේ මුල් මාස 09 තුළ දී රුපියල් මිලියන 652 ක අලාභයක් ලබා තිබේ.

සමාගම පෙන්වා දෙන්නේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල සංශෝධනය නොවීම සහ ආනයනික නිෂ්පාදන බදු ඉහළ යාම මීට හේතු වී ඇති බවයි.

New petrol

Comment (0) Hits: 618

අත්‍යාවශ්‍ය භාණ්ඩ 15ක මිල පහළට

අලුත් අවුරුද්ද ඉලක්ක කරගනිමින් පාරිභෝගික ජනතාවට සහන සැළසීම සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ 15ක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව ලොකු ළුණු කිලෝව රුපියල් 52.00 සහ සුදු කැකුළු කිලෝව රුපියල් 59.00ක්, සීනි කිලෝව රුපියල් 100.00ක්, ලෙස සතොස වෙළඳ සැල් හරහා මිලදී ගැනීමට පහසුකම් යොදා ඇත.

එමෙන්ම නාඩු සහල් කිලෝවක් රුපියල් 65.00 ක් දක්වා සහ පොල් ගෙඩියක් 65ක් දක්වා මිල පහළ දමා ඇති අතර එමෙන්ම තෝරාගත් භාණ්ඩ 600 කට 40%ක මිල අඩු කිරීමක් කරන්නට සතොස තීරණය කර ඇති බවද එහි පාලනාධිකාරිය සඳහන් කරයි.

Comment (0) Hits: 474

මෑත ඉතිහාසයේ අඩුම උද්ධමනය පෙබරවාරි මාසයේ

පසුගිය පෙබරවාරි මාසයේ උද්ධමනය විශාල ලෙස අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙන නිවේදනයට අනුව මේ වසරේ පෙබරවාරි මාසය තුළ උද්ධමනය 3.2% දක්වා අඩු වී ඇති අතර එය ජනවාරි උද්ධමනයට සාපේක්ෂව 2.2 %ක අඩුවීමකි. මේ වසරේ ජනවාරි මාසයේ උද්ධමනය 5.4%කි.

එසේම 2018 පෙබරවාරි මාසයේ වාර්තා වූ පහළ උද්ධමන අගය 2016 අප්‍රේල් මාසයේ සිට වාර්තා වූ අවම උද්ධමනය ලෙසද සැලකෙයි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මේ වසරේ පෙබරවාරි මාසයේ ආහාර ද්‍රව්‍ය වල පැවති අඩු මිළ මට්ටම් උද්ධමනය පහල වැටීමට හේතු වූ බවය.

ඊට අනුව එළවළු, අමුමිරිස්, රතු ලූණු, සහල්, ලොකු ලූණු, කෙසෙල්, මයිසූර් පරිප්පු, මාළු, අර්තාපල්, සීනි, දෙහි සහ පැපොල් යනආහාර ද්‍රව්‍ය වල මිල අඩුවීම උද්ධමනය පහල වැටීමට බලපා තිබේ.

Comment (0) Hits: 428

ශ්‍රී ලංකාවේ ඍජු විදේශ ආයෝජනය ඇ.ඩො 1.9ක වාර්තාගත වැඩිවීමක්

ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාගත වැඩිම සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය 2017 වසරේ ලබාගෙන ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ එම අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිකුත් කළ නිවේදනයක් හරහාය.

ඊට අනුව 2017 වසර තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.9කි. එනම් රුපියල් බිලියන 290ක් පමණ වේ. මෙය 2016 වර්ෂයේ මෙරට ලද සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණයට සාපේක්ෂව සිව් ගුණයක වර්ධනයකි.

එසේම මීට පෙර වැඩිම ඍජු විදේශ ආයෝජන ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ 2014 වසරේදී වන අතර ඒ ඇමරිකන් ඩොලර් බිලියන 1.7කි. ඊට අමතරව 2015 වසරේ මෙරට විසින් ඇමරිකානු ඩොලර් මිලියන 970ක සෘජු විදෙස් ආයෝජන ලබා තිබු අතර 2016 වසරේ එම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 450ක් විය.

2017 වසරේ සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඉහළයාම පිළිබඳ අමාත්‍යංශ නිවේදනය සඳහන් කරන්නේ හම්බන්තොට වරාය බදු දීම වෙනුවෙන් ලද ඇ.ඩො මිලියන 300ක පළමු වාරිකය මෙන්ම චීන ආයෝජන සහ හොංකොං, ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල ආයෝජන හේතුවූ බවය.

රට තුළ ව්‍යාපාරයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරදීම, සරල බදු ක්‍රම හඳුන්වාදීම ස්ථිර කිරීම , ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ එක් දින සේවය වැනි වෙනස්කම් ඊට බලපෑ බවද නිවේදනයේ දැක්වේ.

එසේම ගෙවුම් ශේෂ ගැටලුව ස්ථිර ලෙස විසඳා ගැනීම සඳහා ඍජු ආයෝජන සහ අපනයන වැඩි කිරීමට ගෙන ඇති පියවර ද මෙම තත්ත්වය නිර්මාණය වීමට හේතුවූ බවත් 2018 වසර තුළ ශ්‍රි ලංකාවේ ආපනයනය 2017 වසර ජනවාරියට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයනය 11.6%න් එනම් ඇ.ඩො. 965.4 දක්වා වැඩි වී තිබෙන බවද අදාළ නිවේදනයේ දැක්වේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ සම්පුර්ණ නිවේදනය 

Comment (0) Hits: 822

තේ මණ්ඩලයේ නව සභාපති ලුසිල් විජයවර්ධන

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ලුසිල් විජයවර්ධන පත්කර ඇත.

ඔහුගේ වැඩ භාර ගැනීම ඊයේ (21) ද ශ්‍රී ලංකා තේ මණ්ඩලයේදී සිදු වූ අතර එම අවස්ථාව සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක , වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ.රංජිත් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගීව සිටියහ.

DSC 3766

DSC 3774

Comment (0) Hits: 478

20 සිට ත්‍රීරෝද රථවල මීටරය අනිවාර්යයි

එළඹෙන 20 වනදා සිට ත්‍රී රෝද රථ සඳහා ගාස්තු මීටරය අනිර්වාර්ය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ සඳහන් කරන ලෙසට මගී ආරක්ෂාව සහ ත්‍රිරෝද රථ සේවයේ ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරිමේ අරමුණින් රජය මෙම පියවර ගෙන තිබේ.

කෙසේ වුවත් ගාස්තු මීටරය මීට පෙර අනිවාර්ය කර තිබුණේ පසුගිය පළමු වනදා සිටය. නමුත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරන්නේ ත්‍රී රෝද රථ රියැදුරන් ඇතුළු පාර්ශව කිහිපයක ඉල්ලීම අනුව එම කාල සීමාව දීර්ඝ කිරීමට පියවර ගත් බවය.

Comment (0) Hits: 446

කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමට එරෙහි නීති දැඩි කරයි

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම සඳහා විධිවිධාන සැලසීම පිණිස 2007 අංක 7 දරන සමාගම් පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ඒ වෙනුවෙන් වන යෝජනාව වැඩබලන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ඒ.ඩී.චම්පික ප්‍රේමදාස විසින් පසුගියදා කැබිනට් මණ්ඩලයට යොමුකර තිබෙන අතර ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අදාළ යෝජනාවේ සඳහන් වැදගත් සංශෝධනයක් වනුයේ, සීමාසහිත පොදු සමාගමක් හැරනු විට අනෙක් සෑම සමාගමක් විසින්ම තම සමාගමේ අයිතියෙන් 25%ක් හෝ ඊට වඩා දරනු ලබන කොටස් හිමිකම් සතු තැනැත්තන් හෝ; එවැනි සමාගමක මෙහෙයවීම සම්බන්ධයෙන් සක්‍රීය පාලනයක් හිමි අර්ථලාභී තැනැත්තන් පිළිබඳ තොරතුරු අඩංගු ලේඛනයක් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව හඳුන්වා දීමය.

තවද එම තොරතුරු සමාගම් රෙජිස්ට්‍රාර් සහ අනෙකුත් අදාළ බලධාරින් වෙත ලබා දීම සඳහාද විධිවිධාන සැලසිය යුතු වේ. ඒ අනුව, 2007 අංක 7 දරන සමාගම් පනතට සිදු කළ යුතු සංශෝධන සිදු කිරීමටත්, ඒ සඳහා සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් දීමටත් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත තිබේ.

කළු සල්ලි සුදු කිරීම සම්බන්ධව ලංකාව අසාධු ලේඛනයේ

ආණ්ඩුව මෙම තීරණය ගෙන තිබෙන්නේ 2018 පෙබරවාරි මාසයේදී, යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් අසාධු ලේඛනගත කරනු ලැබීමත් ඒ හේතුවෙන් මෙරට ආර්ථිකයට හා මූල්‍ය පද්ධතිය මත ඇති කරනු ලැබිය හැකි බරපතළ අහිතකර ප්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින්ය.

එසේම මීට පෙර මුදල් විශුද්ධිකරණය (Money Laundering) වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම සම්බන්ධයෙන් ශක්තිමත් නොවන ක්‍රමෝපායන් සහිත රටක් ලෙස අසාධු ලේඛනගත කිරීමට 'මූල්‍ය ක්‍රියාකාරකම් කාර්යසාධක බලකාය' (Financial Action Task Force - FATF) විසින් කටයුතු කර තිබුණි.

ලංකාව ලෝකයෙන්ම 11 වන ස්ථානයේ

එහිදී මුදල් විශුද්ධිකරණය, ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියට එල්ලව ඇති තර්ජනවලට එරෙහිව කටයුතු කිරීමට ප‍්‍රමාණවත් පියවර ගෙන නොමැති රටවල් ලයිස්තුවේ 11 වැනි රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරුණ අතර එම ලයිස්තුවේ ලංකාවට ඉදිරියෙන් වුයේ බොස්නියාව සහ හර්සගොවීනා, උතුරු කොරියාව, ඉතියෝපියාව, ඉරානය, ඉරාකය, සිරියාව, ටි‍්‍රනිඩෑඩ් සහ ටුබාගෝ, ටියුනීසියාව, වනවාටු සහ යේමනය යන රටවල්ය.

මෙම රටවල් අනාවරණය කරමින් අන්තර් ආණ්ඩු මූල්‍ය කි‍්‍රයාකාරී කාර්ය සාධක බලකාය සඳහන් කර සිටියේ කළු සල්ලි ජාවාරම නිසා ජාත්‍යන්තර මූල්‍ය ජාලයට තර්ජනයක්‌ වී ඇති පසුබිමේ එය වළක්වාලීමට නිසි පියවර ගැනීමට අසමත් මෙම රටවල් දැඩි අවදානම් සහිත සහ පාලන අධීක්ෂණයට ලක් විය යුතු රටවල් ලෙස සැළකිය යුතු බවය.

මුදල් විශුද්ධිකරණය, ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය එල්ලව ඇති තර්ජනවලට එරෙහිව කටයුතු කිරීමේදී නීතිමය, නියාමන සහ කි‍්‍රයාකාරී පියවර ගන්නා මෙම කාර්ය සාධක බලකාය, තම නිර්දේශ නිසි අයුරින් රටවල් පිළිපදින්නේ ද යන්න පිළිබඳව ද අධීක්ෂණය කරයි.

මෙම කාර්ය සාධක බලකාය සමග එක්ව කටයුතු කිරීමට ශී‍්‍ර ලංකාව 2017 ඔක්තෝබර් මාසයේදී එකගත්වය පළ කළ අතර ඊට අදාළව ඇති නිර්දේශ 40ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

Comment (0) Hits: 460

අළුත් බදු ක්‍රමයෙන් සාමාන්‍ය ජනතාව නිදහස් ද?

මෙරට ඉතිහාසය පුරාවට ම රටට හා ජනතාවට කිසියම් ප්‍රගතිශීලි යෝජනාවක් ගෙන ආ සියළු අවස්ථාවල එවකට පැවති විපක්ෂයන් විරෝධය පළකිරීම සාමාන්‍ය සම්ප්‍රදායකව පවතී.

පෙරේදා (01) සිට ක්‍රියාත්මක වන 'නව දේශීය ආදායම් පනත'ට ද එසේමය.

මෙම නව බදු ක්‍රමයේ සුවිශේෂීතාවය නම් මෙරට බදු ක්‍රමය සරල කිරීමත්, බදු ව්‍යුහයේ විශාල වෙනසක් සිදු කිරීමත් ය.

විශේෂයෙන් රාජ්‍ය ආදායමේ 80%ක් ලෙස සටහන් වන 'වක්‍ර බදු' ප්‍රතිශතය 60%ක් දක්වා අඩු කර, 20%ක්ව පවතින 'සෘජු බදු' ප්‍රතිශතය 40%ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිත ය.

වක්‍ර බදු සහ සෘජු බදු

'වක්‍ර බද්දක්' යනු අප දිනපතා වෙළඳපොළින් මිලදී ගන්නා පරිප්පු කිලෝ එකටත්, හාල්මැස්සන් කිලෝ එකටත් අය කරන බද්දකි. එනම් ජනතාව දෛනිකව සිදුකරන මිලදී ගැනීම්වල දී රජය අය කරන බද්දකි.

මෙම බද්දේ විශේෂත්වය නම් එම බද්ද ගෙවන පුද්ගලයා එකවර සොයා ගැනීමට නොහැකි වීමයි. 'එකතු කල අගය මත පනවන බද්ද' (VAT) වැනි බදු මිට උදාහරණ වේ.

'සෘජු බද්දක්' යනු ගෙවන පුද්ගලයා නිශ්චිතව හඳුනාගෙන පනවන ලද බද්දකි. 'ආදායම් බද්ද' මෙන්ම වර්තමාන ආණ්ඩුවෙන් හඳුන්වා දෙනු ලැබූ 'මන්දිර බද්ද' මිට උදාහරණ වේ.

වක්‍ර බදු ක්‍රමය අනුව අඩු ආදායම් සහිත පුද්ගලයන් වැඩි ආදායම් සහිත පුද්ගලයන් ගෙවනවාට වඩා වැඩි බදු ප්‍රතිශතයක්‌ ගෙවීමට ඉඩකඩ පවතී.

උදාහරණයක් ලෙස ආනයනික ළුණු කිලෝවක් මත පනවන බද්ද වක්‍ර බද්දකි. ඒ සඳහා ඉහළ ආදායම් ලාභියෙකු සහ පහල ආදායම් ලාභියෙකු තම ආදායමින් ගෙවන බදු ප්‍රතිශතය අතර සුවිශේෂී වෙනසක් පවතී.

උදාහරණයක් ලෙස ගතහොත් මාසික ආදායම රුපියල් 25,000ක ආදායමක් ඇති අයෙක් මාසයකට ළුණු මිලදී ගැනීම වෙනුවෙන් වක්‍ර බදු ලෙස රුපියල් 2,500ක් ගෙවයි. එය ඔහුගේ ආදායමේ ප්‍රතිශතයෙන් 10%කි.

මාසික ආදායම 50,000ක් වන අයෙක් ද මාසයකට ළුණු මිලදී ගැනීම වෙනුවෙන් වක්‍ර බදු ලෙස රුපියල් 2,500ක් ගෙවයි. එය ඔහුගේ ආදායමේ ප්‍රතිශතයෙන් 5%කි.

නමුත් ආදායම මත පනවන 'සෘජු බදු' ක්‍රමයකින් මෙම අසාධාරණය සෑහෙන දුරකට අවම කර ගත හැක. ඒ අනුව මෙම නව බදු ක්‍රමය මඟින් ඉදිරියේදී සාමාන්‍ය මහ ජනතාව මත පැටවෙන 'වක්‍ර බදු' ප්‍රමාණය අඩු කර ඉහල ආදායම් ලබන පුද්ගලයන් මතට බදු බර විතැන් කිරීම යහපත් ය.

හම්බකරලා ගෙවන බද්දටත් සහනයක්

එසේම මෙම නව බදු ක්‍රමය යටතේ යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ශ්‍රමිකයින්ගේ වැටුපෙන් අයකරනු ලබන 'උපයන විට ගෙවීම් බද්ද' සංශෝදනය වේ.

ඒ අනුව දැනට අයකරන උපයන විට ගෙවීමේ බදු සීමාව, වාර්ෂික වැටුප රුපියල් ලක්ෂ 7.5 සිට ලක්ෂ 12 දක්වා ඉහළ දැමීම තුලින් දැනට බදු ගෙවන මැදි ආදායම්ලාභී පිරිසක් බදුවලින් නිදහස් කර තිබේ.

බදු ගෙවිය යුත්තේ සමස්ථ වැටුපට නොවේ

මෙම උපයන විට ගෙවීමේ බද්ද පිළිබඳව පතුරුවා හරින මිත්‍යාවක් වන්නේ සමස්ථ වටුපටම බදු ගෙවිය යුතු වම බවයි. එනම් රුපියල් 150,000ක වැටුප් ආදායමක් ඇති අයෙක් එම වැටුපෙන් 4%ක බද්දක් ගෙවිය යුතු බවයි.

නමුත් මෙය අසත්‍ය තොරතුරකි. බදු මුදලට යටත් වන්නේ රුපියල් 100,000 සිට වැඩි වන ආදායම පමණි. එනම් රුපියල් 150,000ක වැටුප් ආදායමක් ඇති අයෙක් බදු ගෙවිය යුත්තේ රුපියල් 50,000කට පමණි. එහිදී රුපියල් 50,000කට 4%ක බදු මුදලක් අයවේ.

මේ අනුව මාසික වැටුප් ආදායම,

රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා 4%ක් ද,
රුපියල් 150,000 සිට රුපියල් 200,000 දක්වා සියයට 8%ක් ද ,
රුපියල් 200,000 සිට රුපියල් 250,000 දක්වා සියයට 12%ක් ද,
රුපියල් 250,000 සිට රුපියල් 300,000 දක්වා සියයට 16%ක් ද,
රුපියල් 300,000 සිට රුපියල් 350,000 දක්වා සියයට 20%ක් ලෙස ද බදු ගණනය කෙරෙයි.

විශේෂ කාරණය වන්නේ මෙතෙක් උපයන විට ගෙවන ඉහළම බදු අනුපාතය වූ 12%ක බද්ද 24% දක්වා වැඩිවීමයි. ඒ අනුව මාසික වැටුප් ආදායම 350,000 ට වැඩි නම් 24%ක් බදු ගණනය කෙරෙයි.

බදු නොගෙවූ ඉහළ ආදායම්ලාභීන්ට වැට

එසේම මේ වන තෙක් බදු ගෙවීමෙන් ඉවත්ව තිබූ, වෛද්‍යවරුන්, නීතීඥවරුන් සහ ටියුෂන් ගුරුවරුන් ඇතුළු වෘත්තිකයන් පිරිසකට ද බදු පැනවීමට නියමිතය.

එසේ ම එම බදු අය කරනු ලබන්නේ ද, ආදායමට සාපේක්ෂව පමණක් වීම සුවිශේෂිය.

මැදපෙරදිග කඳුළු සල්ලිවලටත් බදු?

මෙම නව බදු ක්‍රමය පිළිබඳ පවතින තවත් මිත්‍යාවක් වන්නේ විදෙස් ගත ශ්‍රමිකයින් විසින් සම්ප්‍රේශනය කරන මුදල් සඳහා බදු අය කරන බවයි.

මෙම නව බදු පනත මඟින් විදේශ ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල් කිසි ලෙසකින් බද්දකට යටත් නොවේ. නමුත්, යම් විදෙස්ගත ශ්‍රමිකයෙකු විසින් යම් මුදලක් බැංකුවක තැන්පත්කළ පසු ඊට ලැබෙන පොලිය සඳහා සුළු බද්දක් අය වේ. ඒ, 5%ක ප්‍රමාණයකි. මෙහිදී විශේෂයෙන් තේරුම් ගත යුත්තේ අදාළ පොලිය අය වන්නේ අදාල තැන්පතු මුදලට නොව එම මුදලේ පොලී ගෙවීමට පමණක් බවයි.

නමුත් ප්‍රායෝගික කාරණය නම් මැද පෙරදිග රැකියාව කරන පිරිස සිය පවුලේ නඩත්තුවට එවන මුදල් ලංකාවට එවූ සැණින් එය බැංකුවෙන් ලබා ගැනීම සිදුවේ. මොවුන් පොලිය එකතුවන තුරු අදාළ සම්ප්‍රේශිත මුදල් තැන්පත් කර නොතබන නිසා ඔවුන්ට මෙම බද්ද තුලින් කිසිදු බලපෑමක් සිදු නොවේ.

බැංකුවේ දාපු සල්ලිවලටත් බදු ගහනවද?

නව බදු පනත මඟින් තැන්පත් කර ඇති බැංකු ගත මුදල් වලට බදු මුදලක් අය කරන බව පෙර චෝදනාව මෙන්ම අර්ධ සත්‍යකි.

එහිදී සිදුවන්නේ ද මෙරට පුද්ගලයෙකු විසින් තැන්පත් කර ඇති බැංකු ගත මුදල් වලට ලැබෙන පොලිය මත ද සියයට 5ක නව බද්දක් අය කිරීමයි.

එම බද්ද සඳහා ද බදු සහනයක් හිමිව තිබේ.

ඒ අනුව ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා පොලී ආදායම රු.ලක්ෂ 15 දක්වා බද්දෙන් නිදහස් කර තිබෙන අතර ඉන් ඉහළ යන අදායම සඳහා 5%ක බද්දක් අයකරනු ඇත.

ගෙයක් විකුණුවොත් ගහන ප්‍රාග්ධන බද්ද

තමන් පදිංචි නිවාස විකිණීමේ දී බදු අය කරන බවට පැතිර ඇති මතය අසත්‍ය කරුණු මත පදනම් වුවකි.

යෝජිත නව බදු ක්‍රමය යටතේ යම් අයෙකු තමන්ට හිමි දෙවැනි නිවස හෝ ඉඩම විකිණීමේදී පමණක් 10%ක බදු මුදලක් අය කරනු ලබයි. මෙහිදී අදාල නිවසේ වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් පදිංචිව සිටියේ නම් බදු අය නොවන අතර එම දේපල තෑගී දෙන අවස්ථාවක් නම් බදු ගණනය වන්නේ ද නැත.

කෙසේ නමුත් ආයෝජන වත්කමක් වන අපාර්ට්මන්ට් වැනි නිවහනක් විකිණීමේදී එහි විකුණුම් මිල හා 2017 සැප්තැම්බර් මාසයේ වෙළඳපොලේ වටිනාකම අතර වෙනස 10% ක බද්දකට යටත් වනු ඇත.

අපිට ම කියා බදු ෆයිල් එකක්

මෙම නව බදු ක්‍රමය යටතේ අවුරුදු 18ට වැඩි සියළු පුරවැසියන්ට බදු ලිපි ගොනුවක් විවෘත වනු ඇත. එහි අර්ථය සියලු පුද්ගලයන් බදු ගෙවිය යුතු බව නොවේ.

සුවිශේෂී යෝජනා ගණනාවක්

එසේම මෙම නව බදු ක්‍රමය යටතේ මෙරට පැමිණෙන විදේශිකයින් විසින් මිලදී ගන්නා විවිධ භාණ්ඩ මත පනවා ඇති එකතු කල වටිනාකම මත පනවා ඇති බද්ද (VAT), එම විදේශිකයින් මෙරටින් පිටත්ව යන අවස්ථාවේ ගුවන්තොටුපළේදී නැවත ලබා දෙනු ලැබේ.

එසේම අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම වැටුප් මෙම බදුවලින් නිදහස් කර තිබෙන අතර කොටස් වෙළඳපලෙහි කොටස් වැඩි මිලට විකිණීමේදීත් මෙම බදු අයකිරීම සිදු නොවේ.

නව බදු ක්‍රමයක් හඳුන්වා දුන් මෙම නව දේශීය අදායම් පණත මඟින් බදු සහන හා බදු විරාම ලබාදීම සඳහා මුදල් අමාත්‍යවරයාට පැවැති අවස්ථා 200ක් අහෝසි කර තිබීමද නව දේශීය ආදායම් පනතේ විශේෂත්වයකි.

බදු ගෙවන්නේ කාටද?

බදු ගෙවීම සම්පුර්ණයෙන්ම අයහපත් කරුණක්‌ නොවේ. එමඟින් රජය විසින් අපට ලබා දෙන සේවාවන් පවත්වාගෙන යාමටත්, ඒවා ගුණාත්මකව වර්ධනය කිරීමටත් හේතුවේ.

එසේම පුද්ගලිකව අපගේ මුල්‍ය විනය පවත්වාගෙන යාමට ද බදු ගෙවීම හේතු වේ.

විමුක්ති දුෂාන්ත

Comment (0) Hits: 533

ලංකාවේ විදෙස් සංචිතයේ වර්ධනයක් : ඩොලර් බිලියන 6, දැන් 8ක් වෙලා !

මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 6 සිට ඩොලර් බිලියන 8 දක්වා වර්ධනයවී ඇති බව මහා බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සඳහන් කරයි.

‘ශ්‍රී ලංකා ජාතික මූල්‍ය අන්තර්ගත උපාය මාර්ගයේ සංවර්ධන ක්‍රියාවලිය‘ දියත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේ ආරම්භක සැසියේ පිළිගැනීමේ කතාව සිදුකරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව අනාවරණය කර සිටියේය.

එහිදී රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා සඳහන් කර සිටියේ මේ වන විට රටේ ආර්ථිකය නිවැරැදි මාර්ගයේ ගමන් කිරීම ආරම්භ කර තිබෙන බව විශ්වාස කල හැකි බවත් ඒ නිසා සාර්ව ආර්ථික මූලධර්ම ශක්තිමත් කිරීමේදී මෙන්ම ආර්ථික වර්ධනය අතින් අපි සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බවද ඔහු පැවසීය.

එසේම මේ වන විට රටේ උද්ධමනය පහත අගයට පැමිණ ඇති බවත් ඒ අනුව මූලික උද්ධමනය සියයට 4ත් 6ත් අතර අගයක පවතින බවත් සමස්ත උද්ධමනයත් සියයට 4ත් 5ත් අතර අගයක වන බවද ඔහු පැවසීය.

තවද පසුගිය වසර අපනයනවලට වාර්තාගත වසරක් බවට පත්වු බවත් කොළඹ කොටස් වෙළෙඳපොළට පැමිණි ආයෝජන වැඩි වී තිබෙන බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාවය ගැන සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ ලංකාවේ වැඩිහිටියන්ගෙන් 83%කට මුල්‍ය ආයතන වල ගිණුමක් ඇති බවය.

එසේම ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

එසේම මූල්‍ය නිෂ්පාදන හා සේවාවලට ප්‍රවේශවීමට තිබෙන අවස්ථා වැඩි කිරීමෙන් පමණක් මූල්‍ය අන්තර්ගතබව හෝ මූල්‍ය සේවා ක්ෂේත්‍රයට ඇතුළත් වූවා වෙන්නේ නැහැ. එසේ වීමට නම් මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු විය යුතුයි. ඒ වගේම මූල්‍ය සේවා ඵලදායී ලෙස භාවිත කළ යුතුයි. බැංකු ගිණුමක් විවෘත කළ පමණින් එය සිදුවෙන්නේ නැහැ. බැංකුව සමඟ ක්‍රියාකාරීව කටයුතු කරන්න ඕනෑ. මූල්‍ය සාක්ෂරතාව වැඩි කිරීමට මහ බැංකුව වැඩමුළු පවත්වනවා.

Comment (0) Hits: 789

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබෙන බව වාර්තා වෙයි.

අද (02) එම නව අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර තිබෙන අතර ඊට අනුව සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්කොට තිබෙන්නේ බැංකු ක්ෂේත්‍රෙය් ප්‍රවීණයකු ලෙස සැළකෙන රංජිත් ප්‍රනාන්දු මහතාය.

එසේම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වශයෙන් මනෝ තිත්තවැල්ල, ආචාර්ය රොහාන් පෙරේරා, සුසන්ත කටුගම්පල සහ එයාර් මාෂල් කපිල ජයම්පති යන අය පත්කර ඇත.

Comment (0) Hits: 443

ඇති හැකි අයට වැඩි වගකීමක් පැවරෙන නව බදු ක්‍රමය අප්‍රේල් 1 සිට ක්‍රියාත්මකයි - ඇමති මංගල

අලුත් දේශීය ආදායම් බදු පනතෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ බදු ගෙවීමේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇතිකර බදු ගෙවිය හැකි, ඇති හැකි අයට වැඩි වගකීමක් ලබා දෙමින්, නැති බැරි දුප්පත් ජනතාවට ඇතිව තිබෙන බදු පීඩනය යම් දුරකට අවම කර ගනිමින් රටේ සංවර්ධනය ඉදිරියට ගෙනයාම බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

අමාත්‍යවරයා මෙසේ සඳහන් කර සිටියේ අප්‍රේල් 1 වනදා සිට බලාත්මක වන 2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනත සම්බන්ධව මාර්තු 19 දින පැවති මහජන සම්මන්ත්‍රණයේදීය.

මේ වන විටත් පවතින පැරණි බදු ක්‍රමය යටතේ 82%ක් තරම් විශාල බදු ප්‍රතිශතයක් එකතු කරගනු ලබන්නේ මහජනතාව එදිනෙදා පරිභෝජනයට ගන්න ආහාර පාන, බඩු භාණ්ඩ මත පටවන බදු වලින් බවත් නව බදු ක්‍රමය අනුව එම ප්‍රමාණය 60%කා ප්‍රතිශතයක් දක්වා අඩු වන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

එසේම පැවති බදු ක්‍රමය තුල දේශපාලන බල අධිකාරයට තමන්ගේ පුද්ගලික අභිමතයට අනුව ක්‍රියා කිරීමට විශාල ඉඩ කඩක් තිබුනු බවත් ඒ යටතේ ජනතාවට ඉමහත් අසාධාරණයක් වන ආකාරයට තෝරාගත් පාර්ශව වෙත පමණක් මහාපරිමාණයේ බදු සහන ලැබුණු බව පෙන්වා දුන් අමාත්‍යවරයා නව බදු ක්‍රමය තුළ එවැනි අයතා කටයුතු වළක්වා ඇති බවද පෙන්වා දුන්නේය.

මෙම සම්මන්ත්‍රණයේදී අමාත්‍යවරයා සිදුකළ අදහස් දැක්වීම පහත දැක්වේ.

නෝනාවරුනි, මහත්වරුනි.

⦁ 2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනත බල පැවැත්වීමට ඇත්තේ තව දින කීපයක් පමණයි. ලබන අප්‍රේල් 01 දා සිට අපි මේ අලුතින් හදුන්වා දුන් පනත ක්‍රියාත්මක වීමත් සමගම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ කටයුතු විශාල වෙනස් වීමකට ලක් වීමට නියමිතයි.

⦁ මේ නව බදු පනත ගැන රටේ ජනතාව වගේම බදු ගෙවන පුරවැසියන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක පළමුවැන්න අද මේ ස්ථානයේදී දියත් කෙරෙනවා.

⦁ මම පලමුවෙන්ම මේ කටයුත්ත සංවිධානය කිරීම ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සියලු දෙනාටමත්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ටත් ස්තූතිය පුද කරන්න කැමතියි.

⦁ මොකද අපි අලුතින් දෙයක් කරනකොට, නව ක්‍රමවේදයක් අදුන්නලා දෙනකොට විවිධ අදහස් මතවාද සමාජයේ මතුවෙලා එන්න පුලුවන්.

⦁ එතනදි යතාවාදී ලෙසකට සමාජය, ජනතාව දැනුවත්ව සිටීම තුල අපි බලාපොරොත්තු වෙන අලුත් වෙනස්කම් ඉතා යහපත් විදිහකට ලගාකර ගන්න පුලුවන් බව මා විශ්වාස කරනවා.

⦁ ඇත්තෙන්ම මේ පනතේ පසුබිම ගත්තොත් අපේ රජය අලුතින් පත් වෙද්දි මහජනතාවට ඉදිරිපත් කරපු අපේ ආර්ථික දැක්මේ ප්‍රමුඛතාවයක් තමයි රටේ පවතින අණ පනත් නූතන ලෝකයට ගැලපෙන විදිහකට වෙනස් කරලා රටේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් ඉදිරියට යන්න පුලුවන් මහජනතාවට එදිනදා ජීවිතයේ කටයුතු ලේසි පාසුවෙන් කරගන්න පසුබිමක් හදනවා කියන එක.

⦁ එතනදි රටේ බදු ආදායම එකතු කිරීමේ ක්‍රියාදාමයට විශාල ප්‍රමුඛතාවයක් දෙන්න අපි කටයුතු කළා.

⦁ මොකද රජයක් විදිහට පවතින්න නම් ඕනෑම රටක බදු එකතු කිරීමත් එම මහජනයා ගෙවන බදු මනා ලෙස කලමනාකරණය කර ගැනීමත් ඉතා විශාල වැදගත්කමක් ගන්නවා.

⦁ ඒක ඒ තරම් වැදගත් වෙන්නේ රජයක් රටේ සංවර්ධනයට, මහජනතාවගේ එදිනෙදා සුභසාදන කටයුතු සදහා - ඒ කියන්නේ සෞඛ්‍ය, අධ්‍යාපනය, මං මාවත් වගේම ස්වාභාවික ආපදා කලමනාකරණය - වැනි කටයුතු සදහා විශාල මුදලක් වැය කරනවා.

⦁ එහිදී රටේ බදු ආදායම් ක්‍රමවත්ව එකතු කරලා කලමනාකරණය කරනවා නම් පොදු මහජනතාවට වැදගත් සේවයක් ලබාදෙන අතරේ රටේ සංවර්ධනය නොකඩවා ඉදිරියට ගෙනියන්න හැකියාව ලැබෙනවා.

⦁ නමුත් අවාසනාවකට වගේ අපේ රටේ බදු ආදායම් දීර්ඝ කාලයක් තිස්සේ ලොකු කඩා වැටීමකට ලක් වෙලා තිබුනා.

⦁ උදාහරණයක් විදිහට 2014 වෙනකොට රටේ ජාතික ආදායමෙන් 10% වගේ ප්‍රමාණයකට බදු ආදායම් පහල වැටිලා තිබුනා. මේ අවුරුදු 20 ක විතර කාලයක් තිස්සේ දිගටම තිබිච්ච බදු ආදායම් අඩු වීමේ ප්‍රවනතාවයේ උච්ච අවස්ථාවක්.

⦁ එතනදිත් ආදායම් බදු වලින් ලැබෙන රාජ්‍ය ආදායම 2% වගේ ඉතාම පහල මට්ටමකට වැටිලා තිබුනා. එවැනි තත්වයක රටේ බදු බර ඇත්තෙන්ම විශාල වශයෙන් දුප්පත් පොදු මහජනතාවගේ උර මතට තමයි වැටිලා තියෙන්නේ.

නෝනාවරුනි , මහත්වරුනි

⦁ අපි මේ අලුත් දේශීය ආදායම් බදු පනතෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ බදු ගෙවීමේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇතිකර ගනිමින් යම්කිසි ක්‍රමවත් ආකාරයකට - සරලව කිව්වොත් බදු ගෙවිය හැකි, ඇති හැකි අයට වැඩි වගකීමක් ලබා දෙමින්, නැති බැරි දුප්පත් ජනතාවට ඇතිවෙලා තියන බදු පීඩනය යම් දුරකට අවම කර ගනිමින් - අපි බලාපොරොත්තු වෙන රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යාමයි.

⦁ මෙතනදි මං කියන්න ඕන අපේ තිබුනු ක්‍රමයේ අඩුපාඩු මොනවගේද කියලා. එතනදි දැනටත් බදු ගෙවන තමුන්නාන්සේලා පිළිගන්නවා ඇති තිබුනු ක්‍රමය ඉතාම සංකීර්ණ, ඒ වගේම බදු ගෙවන්නා අපහසුතාවයට පත් කරන, ගෙවනවට වඩා නොගෙවා ඉන්න එක ලේසියි වගේ හැගීමක් ඇති වෙන පීඩාකාරී බදු ක්‍රමයක්.

⦁ අපි අලුතින් හදුන්වා දෙන බදු පනතින් මේ සංකීර්ණ ක්‍රමය සරලත්වයකට ගෙනල්ලා, ඒ වගේම බදු ගෙවන්නාට තමන් රට වෙනුවෙන් යුතුකමක් ඉටු කරනවාය යන්න ස්වයං අභිමානයක් ඇතිවෙන විදිහට තමයි මේ අලුත් ක්‍රමය හදලා තියෙන්නේ.

 ⦁ ඒ වගේම මේ පැවතිච්ච බදු ක්‍රමය තුල දේශපාලන බල අධිකාරයට තමන්ගේ පුද්ගලික අභිමතයට අනුව ක්‍රියා කිරීමට විශාල ඉඩ කඩක් තිබුනා.

⦁ ඒ නිදහස අවභාවිතා කරන්නත් විශාල ඉඩ කඩක් තිබුනා.අතීතයේදී ඒ නිදහස කොච්චර පාවිච්චි කරලා තිබුනද කිව්වොත් අවස්ථා 200 කට වැඩි ප්‍රමාණයකදි බදු සහන ලබා දෙන්න කලින් කලට ක්‍රියාත්මක වෙලා තිබුනා.

⦁ මේ බදු සහන ලබා දීම් පුද්ගලික අභිමතයකට සිදුකරන තත්වයකට පත් වුනාම ඒවා අවභාවිතා කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම සාධාරණ ලෙස බදු ගෙවන දේශපාලන බලපෑම් නොකළ හැකි ඔබ වැනි මහජනතාවට අසාධාරනයකුත් වෙනවා.

⦁ මොකද සමාන ලෙස සැලකීමක් රටේ පොදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී සිදු නොවීමෙන්. නීති රීති පද්දතියක් මත ගොඩනැගුනු, සැමට එක සේ ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තියක් රටකට අවශ්‍යයයි. මේ අලුත් බදු පනත මගින් ඒ අභිමතයට ක්‍රියාත්මක වීමේ හැකියාව අවම කරලා තියෙනවා.

⦁ මීලගට ගත්තොත් රටේ බදු ගෙවීමේ ව්‍යුහය දැනට තියෙන්නේ ඍජු බදු 18%ක් හා වක්‍ර බදු 82% ලෙස. මෙහෙම තියෙන කොට ඇත්තෙන්ම 82% ක වක්‍ර බදු අපි ගන්නේ මහජනතාව එදිනෙදා පරිභෝජනයට ගන්න ආහාර පාන, බඩු භාණ්ඩ මත පටවන බදු වලින්.

⦁ ඒකෙන් බඩු භාණ්ඩ මිල වැඩි වෙලා පොදු ජනතාවට විශාල බදු බරක් නොදැනිම පැටවෙනවා. ඒ වගේම ඇති හැකි බදු ගෙවිය හැකි අයත්, නැති බැරි පොදු ජනතාවත් එකම විදිහේ, සමාන බදු ගෙවන්නන් බවට පත් වෙනවා.

 

⦁ ඒ ක්‍රමය එතරම් සාධාරන නෑ. ඒක නිසා අපි අලුත් බදු පනතින් ඍජු බදු 40% දක්වා වැඩිකරලා, වක්‍ර බදු 60% දක්වා අඩුකරලා ඉතා ඉක්මනින් ව්‍යුහාත්මක වෙනස්කම් අත්කර ගන්න බලාපොරොත්තු වෙනවා.

 

නෝනාවරුනි , මහත්වරුනි

⦁ අපි මේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරන්නේ මේ වෙනකොට මැදි ආදායම් ලබන රටවල් අතරට ගැනෙන ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් ඉහල මැදි ආදායම් තත්වයට පත්කර ගන්නයි.

⦁ එතනදි අපි රටේ පවතින නීති රීති, පරිපාලන ක්‍රම වේද සරල කිරීම සහ මහජනතාවට, ඒ වගේම ආයෝජකයන්ට පහසු කිරීම තුල රටේ සංවර්ධනයත්, ආර්ථික වර්ධනයත් ඉක්මන් වන බව මම කියන්න කැමතියි.

⦁ විශේෂයෙන්ම අපි වගේ මැදි ආදායම් ලබන රටවල් වලට ජාත්‍යන්තර ආධාර, උපකාර, පරිත්‍යාග ලබා දීම ඉතාම අවමයි. එතැනදි අපිට විදේශ ආයෝජන සහ දේශීය මූලාශ්‍රයන්ගෙන් ලැබෙන බදු ආදාම් වැනි දේ ඉතාම වැදගත්.

⦁ මොකද රට ඉදිරියට ගෙන යන්න නම් ප්‍රති ආයෝජනත්, යටිතල පහසුකම් දියුණු කිරීමත් ඉතාම වැදගත් වෙනවා. එතැනදි බදු ගෙවන ඔබගේ සහයෝගය රටේ ඉදිරි ගමනේ කොදුනාරටිය ලෙස සැලකිය හැකි බවත් මම කියන්න කැමතියි.

⦁ ඒ වගේම මේ වසර වෙනුවෙන් මා ඉදිරිපත් කරපු ජාතික අය වැයේ මූලිකම පදනම තමයි ව්‍යවසායකත්වය. එතැනදි අපි අලුතින් ව්‍යාපාර කරන මේ රටේ තරුණ ගැහැණු පිරිමි හැම දෙනාටම ඉදිරියට එන්න පුලුවන් ක්‍රම වේදයන් රාශියක් ඉදිරිපත් කළා.

⦁ ඔවුනට අත හිත දීලා ඉදිරියට අරගෙන අනාගතයේ තමන්ට නැගී හිටින්න උදව් කරපු රටේ ජනතාව වෙනුවෙන් බදු ගෙවන වැදගත් පුරවැසියන් පිරිසක් බිහිකර ගැනීම තමයි අපේ යුතුකම.

⦁ ඒ සියලු කටයුතු වෙනුවෙන් ඔබලා අපි එකතු වෙලා මේ අලුත් බදු ක්‍රමය සාර්ථක කරගෙන මුලු රටම විශාල ආර්ථික පිම්මකට සූදානම් කිරීම තමයි මේ මොහොතේ අපේ බලාපොරොත්තුව.

⦁ ඒක නිසා රටේ බදු ගෙවන පුරවැසියා වැදගත් ස්වයං අභිමානයක් ඇති පුද්ගලයෙක් බවට පත් කොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ගෙවන්න යද්දි අර තමන්ගේ ජීවිතේ අකමැතිම දේ කරන්න යන පුද්ගලයා වෙනුවට මහන්සියෙන් ඉපයූ දේ තමන්ගේ රට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන වැදගත් පුරවැසියා මේ නව පනත තුලින් බිහි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

⦁ ඒ වගේම පෝසත් මිනිසුන් සිටින දුප්පත් ආණ්ඩුවක් වෙනුවට, පොහොසත් ජනතාවක් සිටින පොහොසත් ආණ්ඩුවක් මේ පනත තුලින් බිහි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

Comment (0) Hits: 531

නව බදු පනත අප්‍රේල් 1 සිට වැඩ : වැඩේ වෙන්නේ මේ විදිහට

නව දේශීය ආදායම් බදු පනත අද (අප්‍රේල් 01) සිට ක්‍රියාත්මක බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට නව බදු පනත ක්‍රියාත්මකවීමත් සමඟ මෙරට බදු ක්‍රමයේ සරලවීමක් මෙන්ම බදු ව්‍යුහයේ විශාල වෙනසක් සිදු වනු ඇත.

001

බදු ක්‍රමය සරල කරයි : බදු ව්‍යුහයේ වෙනසක්

නව බදු පනත හඳුන්වාදීමට පෙර ඒ පිළිබඳ විවිධ මිත්‍යා මත සමාජගතකර තිබුණත් මේ වන විට මුල්‍ය වෙළඳපොළ විශ්ලේෂකයන් මෙන්ම ආර්ථික විශාරදයින් ඒ සම්බන්ධව සුබවාදී දැක්මකින් යුතුව අදහස් දක්වන්නට ගෙන ඇත.

එහිදී මුලිකව ඔවුන් පෙන්වා දෙන්නේ නැති බැරි දුප්පත් ජනතාවට ඇතිකර තිබු බදු පීඩනය අවම කර ගෙන ඇති හැකි අයට වැඩි වගකීමක් ලබා දෙමින් හඳුන්වාදී තිබෙන නව ප්‍රතිපත්තිය අතිශය වැදගත් බවය. මේ හරහා බදු ක්‍රමයේ ව්‍යුහාත්මක වෙනසක් සිදුවනු ඇති බවත් රටේ බදු ගෙවීමේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කර ගැනීම තුළින් ක්‍රමවත් ආකාරයකට බදු ගෙවිය හැකි සහ එසේම බදු ක්‍රමය සරල කිරීම හරහා බදු ආදායමේ අපේක්ෂිත ප්‍රතිපලය ලැබීම සම්බන්ධව සුබවාදී අපේක්ෂාවක් මතුකරන බවද ඔවුන් පෙන්වා දෙයි.

Mangala 3"ඇති හැකි අයට වැඩි වගකීමක් ලබා දෙමින්, නැති බැරි දුප්පත් ජනතාවට ඇතිවෙලා තියන බදු පීඩනය යම් දුරකට අවම කර ගෙන, අපි බලාපොරොත්තු වෙන්නේ රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යෑමයි," මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර

එසේම බද්දෙන් ඉවත්කරන ලද ආදායම් අඩුවී තිබීම, බද්ද ගණනය කරන විට අඩු කළ හැකි වියදම් අඩුව තිබීමත් , බදු අනුපාතවල සිදුව ඇති වෙනස්කම් ද කාලීන වැදගත්කමින් යුතු අතර බදු ව්‍යුහයේ වෙනසක් වෙනුවෙන් බලපෑමක් කරනු ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

 හැමෝටම ලිපිගොනු විවෘත වුවත් : හැමෝම බදු ගෙවිය යුතු නෑ

නව බදු පනත හඳුන්වාදීමත් සමඟ ගෙනා මුලික විවේචනයක් වුයේ 18 ට වැඩි සියළු දෙනාට බදු ලිපිගොනුවක් විවරවන බවත් ඒ හමුවේ නැති බැරි සහ රැකියා විරහිත පාර්ශවයන්ට පවා බදු ගෙවීම අනිවාර්යයක් වන බවය. නමුත් නව බදු පනතේ එවැනි කිසිවක් සඳහන් නොවන අතර එම කතා අමූලික බොරු බවටද පත්කර ඇත.

නව බදු ක්‍රමය තුළ අඩු ආදායම්ලාභීන් වෙත බදු පැනවීමක් සිදුනොවන අතර නමුත් ඉතා ඉහළ ආදායම් උපයන පාර්ශවයන්ට තම ආදායමට සාපේක්ෂව 24%ක් දක්වා බදු ගෙවීමට සිදුව ඇත.

ඒ බව ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කර සිටින්නේ මේ ආකාරයටය.

"නව බදු ක්‍රමය අනුව බදු පිලිගොනු සියළු පුරවැසියන්ට විවෘත වුවත් ඒ සියළු දෙනා සෘජුව බදු ගෙවීමට සිදුවන බවක් සඳහන් වන්නේ නෑ. නමුත් ඉහළ ආදායම් ලබන පාර්ශව නව බදු ක්‍රමය තුළට ඇදගෙන තිබෙනවා. මාසයකට තමාගේ ආදායම මාසයකට ලක්ෂ 1ට වඩා වැඩිනම් ඔවුන්ට සිදුවෙනවා අනිවාර්යයෙන් බදු ගෙවන්න. නමුත් ලංකාවේ කීයෙන් කීදෙනාද මාසයකට ලක්ෂයක හෝ ආදායමක් ලබන්නේ? එවැනි වැටුප් ලබන අය රටේ ඉතාම සීමිතයි.

"ඒ වගේම මාසිකව රුපියල් 150, 000 ක වැටුපක් ලබන අයෙක් බදු ගෙවිය යුත්තේ අර වැඩිවන 50000 ට පමණයි. ඒකත් 4%ක් වගේ ඉතා සුළු මුදලක්."

මාසික වැටුප් ආදායම රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා 4%ක් ද රුපියල් 150,000 සිට රුපියල් 200,000 දක්වා සියයට 8%ක් ද රුපියල් 200,000 සිට රුපියල් 250,000 දක්වා සියයට 12%ක් ද රුපියල් 250,000 සිට රුපියල් 300,000 දක්වා සියයට 16%ක් රුපියල් 300,000 සිට රුපියල් 350,000 දක්වා සියයට 20%ක් ලෙස ද බදු ගණනය කෙරෙයි. මාසික වැටුප් ආදායම 350,000 ට වැඩි නම් 24%ක් බදු ගණනය කෙරෙයි.

002

බදු දැලට වැටෙන අලුත්ම සෙට් එක !

"ඒ කියන්නේ ඉහළ ආදායම් ලබන වෛද්‍යවරුන් සහ නීතීඥවරුන් මෙන්ම ටියුෂන් ගුරුවරුන් වැනි සීමිත කොටසක් බදු ගෙවීමට එකතු වෙන්න පුළුවන්. ඒත් ඒ ආදායමට සාපේක්ෂව පමණයි. වර්ෂයකට රුපියල් මිලියන 25.5ක ආදායමක් උපයන වෘත්තිකයන්ට පෙර බලපෑ ඉහළම බදු අනුපාතය වුනේ 12% යි. දැන් ඒක 24% දක්වා වැඩිවෙනවා" ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරයි.

"නමුත් එතැනදී කාටවත් අසාධාරණයක් සිදුවන බව කියන්න බෑ. මොකද උපයන විට ගෙවීමේ (PAYE) බදු' සඳහා වන වාර්ෂික සීමාව රුපියල් ලක්ෂ 7 1/2 සිට රුපියල් ලක්ෂ දොළහ දක්වා මෙම පනතෙන් වැඩි කර තිබෙන නිසා. එමගින් දැනට PAYE බදු ගෙවමින් සිටින පිරිස යම් දුරකට නිදහස් වන බව ඉතා පැහැදිළියි" ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

0003

විදෙස් ශ්‍රමිකයන්ගේ මුදලට බදු නෑ ! එහෙනම් ?

එසේම නව බදු පනත සම්බන්ධව බොහෝ දෙනෙකු අවධානය යොමුකළ කරුණක් වුයේ විදෙස්ගත ශ්‍රමිකයන් වෙතින්ද බදු අයකිරීමේ සුදානමක් පවතින බවය. මේ සම්බන්ධවද අප විද්වත් මතය විමසූ අතර එහිදී ඔවුන් සඳහන් කර සිටියේ විදේශ ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල් කිසි ලෙසකින් බද්දකට යටත් නොවන බවය.

නමුත් මෙහෙම දෙයක් තිබෙනවා. විදෙස්ගත ශ්‍රමිකයන් ඒ මුදල තැන්පත් කළ පසු බැංකුව ගෙවන පොළියට 5% ක බද්දක් පැනවෙනවා. මැද පෙරදිග රැකියාව කරන පිරිස සිය පවුලේ නඩත්තුවට එවන මුදල ලංකාවට එවූ සැණින් එය බැංකුවෙන් ලබා ගන්නවා. ඔවුන් පොලිය එකතු වීමක් සිදුවන තුරු සිටින්නේ නෑ. ඒ නිසාම නව පනතෙන් මේ බහුතර ප්‍රජාවට කිසිඳු බලපෑමක් ඇතිවෙන්න විධියක් නැහැ"

හරියටම කියනවා නම් වැඩි ආදායම් ලබන විදෙස්ගත ලාංකික වෘත්තිකයෙක් ඔහු ශ්‍රී ලංකාවේ බැංකුවක මුදල් රඳවා තබන්නට තරම් හැකියාවක් සහිතව එම මුදලට පොළියක් ලබන්නේ නම් මුදලට ලැබෙන පොලිය මත 5% බද්දක් පැනවෙන බව විද්වත් මතයයි.

004

ගෙවල් විකුණුවට බදු නෑ ! එහෙනම් ?

මේ අතර අමතර නිවාස,ඉඩම් හෝ වාහන පැවති මිලට වඩා වැඩි මිලට විකිණීමෙන් ලැබෙන ලාභය මත ද බද්දක් හඳුන්වා දී තිබේ. ප්‍රාග්ධන ලාභ මත බද්ද වන එමගින් ලාභයෙන් සියයට 10ක් බදු ලෙස ගෙවිය යුතු නමුත් බදු ගණනය කරන්නේ එම දේපළ 2017 වසරේ සැප්තැම්බර් 30 වන දිනට පැවති වෙළඳපළ වටිනාකම අදාළ කරගනිමින්ය.

මේ සම්බන්ධවද විවිධ අදහස් සමාජය තුළ තිබෙන බැවින් අප ඒ ගැනද විද්වත් මතය විමසුවෙමු.

"යම් කෙනෙක් තමන්ට තිබෙන දෙවැනි නිවස හෝ ඉඩමක් විකිණීමේදී මේ බද්දට යටත් වෙන්න පුළුවන්. යළිත් අවධාරණය කරන්න ඕන, වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් පදිංචි නිවාස නම් ඊට බදු ගණනය වන්නේ නෑ. මේ තමන් සතු එකම දේපල නම්, තෑගී දෙන අවස්ථාවක් නම් බදු ගණනය වන්නේ නෑ."

"උදාහරණයකට ආයෝජන වත්කමක් වන 'අපාර්ට්මන්ට් එකක්' යම් පුද්ගලයෙක් විකිණීමේදී එහි විකුණුම් මිල හා 2017 සැප්තැම්බර් මාසයේ වෙළඳපොලේ වටිනාකම අතර වෙනස 10% ක බද්දකට යටත් වෙනවා. අන්න ඒ විදිහටයි ප්‍රාග්ධන බද්ද ක්‍රියාත්මක වෙන්නේ. මෙතැනදී දුප්පත් බහුතර ජනතාවට කිසිම ප්‍රශ්නයක් නෑ. ප්‍රාග්ධන බද්ද බලපාන්නේ යම් පුද්ගලයෙක් ආයෝජන සඳහා ලබාගෙන තිබෙන වත්කම් සඳහා පමණයි."

මේ අතර මෙරට පැමිණෙන විදේශිකයින් විසින් මිලදී ගන්නා විවිධ භාණ්ඩ මත පනවා ඇති වැට් බද්ද, එම විදේශිකයින් මෙරටින් පිටත්ව යන අවස්ථාවේ ගුවන්තොටුපළේදී එම මුදල නැවත ලබා දීම ද නව ප්‍රතිපත්තියේ විශේෂත්වයක් වන අතර එය එළඹෙන ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එසේම සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම වැටුප් මෙම බදුවලින් නිදහස් කර තිබෙන අතර කොටස් වෙළඳපලෙහි කොටස් වැඩි මිලට විකිණීමේදීත් මෙම බදු අයකිරීම සිදු නොවන බවද නව බදු පනතේ සඳහන්ය.

Comment (0) Hits: 1325

සේවක අයිතීන්- වරප්‍රසාද නොදෙන හාම්පුතුන්ට වැඩ වරදියි

සේවකයින්ට හිමි අයිතීන් හා වරප්‍රසාද ලබා නෙදෙන ආයතන පරීක්ෂා කොට ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණ මේ වසරේ සිට වේගවත් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එහිදී තීරණය වී ඇත්තේ සේවක අයිතීන් සහ වරප්‍රසාද නොදෙමින් සේවකයින් සේවයේ යොදවන අයතන කම්කරු නිලධාරින් විසින් සිදුකරන විමර්ශන වැඩි කිරීමය.

ඒ අනුව සාමාන්‍යයෙන් කම්කරු දෙපාර්තමේන්තුව වසරකට ආයතන 75,000ක් පමණ පරික්ෂාවට ලක්කරන අතර මේ වසරේ සිට එම සංඛ්‍යාව 90,000 දක්වා වැඩි කිරීමය පියවරගෙන ඇති අතර ඒ බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර ද තහවුරු කර ඇත.

මෙම විමර්ශන දිස්ත්‍රිකක් කම්කරු කාර්යාල මඟින් පුහුණු කම්කරු නිලධාරින් ලවා සිදු කෙරෙන අතර එම කටයුතු අධීක්ෂණය කිරීම සඳහා වෙනම නිලධාරින් කණ්ඩායමක් යොදවා ඇත. එසේම ඔවුන් මාස 3කට වරක් එම කාර්යාලවලට ගොස් පරීක්ෂණ වල ප්‍රගතිය විමසා බැලීමට නියමිතව ඇත.

තවද සේවක අර්ථසාධක අරමුදල් හා සේවා භාර අරමුදල් නොගෙවා පැහැර හරින හාම්පුතුන්ට විරුද්ධවය නඩු පැවැරීමේ කටයුතුද කඩිනම් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද වාර්තා වෙයි.

Comment (0) Hits: 404

2020 වනතුරු ලංකාවට ඇමරිකා GSP සහනය හිමිවෙයි !

ශ්‍රී ලංකාවට විශේෂ ප්‍රතිලාභ සහිත වරණීය තීරුබදු සහනය පිළිබඳ පොදු ක්‍රමය (GSP) නැවත ලැබීමට අවස්ථාව උදාවී ඇති බව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.

ඒ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊට අදාළ පනතට අත්සන් තබා තිබීම හේතුවෙන්ය.

ඒ බව සඳහන් කරමින් කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ට්විටර් සටහනක්ද තබා ඇති අතර එහි දැක්වෙන්නේ පසුගිය 23 වැනිදා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට නැවත වරක් ජී.එස්.පී සහනය අනුමත කරමින් අයවැය පනතට අත්සන් තබා ඇති බවය.

usaඑක්සත් ජනපද තානාපති කාර්යාලය තබා තිබූ ට්විටර් සටහන

 ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ජී.එස්.පී සහනය පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වූ අතර මෙම වසර (2018) වසර මූල්‍ය කටයුතු අරඹන අවස්ථාවේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට දී තිබූ එම සහනය දීර්ඝ කර නැති බව සඳහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කර තිබිණ.

මේ අනුව 2020 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් හිමිවන ජී.එස්.පී සහනයේ වරප්‍රසාද හිමිවනු ඇත.

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 23 වැනි දින දක්වා ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයට භාණ්ඩ හා සේවා අපනයනය කරන ලද්දේ තීරුබදුවලට යටත්වය. නමුත් ශ්‍රී ලංකාව පසුගිය වසරේ සමස්ත අපනයනයෙන් 25.6% ක ප්‍රතිශතයක් ඇමරිකාවට සිදුකර තිබුණි.

Comment (0) Hits: 456

විදේශිකයින්ට ඇඳිරි නීතිය සමයේ විශේෂ වරප්‍රසාදයක්

මෙරට සංචාරය කරන විදෙස් සංචාරකයින් මහනුවර සංචාරය කිරීමේදී යම්කිසි ආකාරයකට ඇඳිරි නීතිය පනවා ඇති සමයේ සිය ගමනාන්ත වෙත ළඟාවීම සඳහා අවසර පතක් ලෙස ආගමන විගමන බලපත්‍රය වලංගු බව රජය නිවේදනය කරයි.

මහනුවර කේන්ද්‍රීයව ඇතිවී තිබෙන ජාතිවාදී ප්‍රහාරයන් හමුවේ විදෙස් සංචාරකයින් දුෂ්කරතාවයට මුහුණදීම වැළක්වීමේ අරමුණින් මෙම තීන්දුව නිකුත් කර ඇති බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය සඳහන් කර සිටියි.

එසේම මේ තීන්දුව සම්බන්ධව ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවත් ඒ හේතුවෙන් කිසිඳු විදෙස් සංචාරකයකු කිසිඳු අපහසුතාවකට ලක්නොවෙතැයි අපේක්ෂා කරන බවත් ඊට සියල්ලන්ගේ සහය ලැබෙනු ඇති බව විශ්වාස කරන බවත් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Comment (0) Hits: 435

රුවන් එදිරිසිංහ සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපතිධූරයට !

ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති රුවන් එදිරිසිංහ සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ධූරයට පත්වීම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවයක් පසුගියදා කොළඹ, සැන්ග්‍රිලා හෝටලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම අවස්ථාවට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා, කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, සාර්ක් වානිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති රුවන් එදිරිසිංහ, සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ හිටපු සභාපති සුරාජ් වෛද්‍යා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

View the embedded image gallery online at:
http://newstube.lk/economy?start=162#sigProIda71f9e9488

Comment (0) Hits: 461

ලංකාවේ ඒකපුද්ගල ණය ලක්ෂ 4 ඉක්මවයි

මෙරට ඒකපුද්ගල ණය ප්‍රමාණය 2016 වසර අවසාන වන විට රුපියල් 417913.00 බව වාර්තා වෙයි.

මේබව අනාවරණය වී ඇත්තේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම මහජන ණය කළමනාකරණ වාර්තාවට හරහාය.

2015 වසර අවසානයේ දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය සටහන් වූයේ රුපියල් 371462.00 ක් වශයෙන් වන අතර 2005 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 108908.00 ක් ලෙසින් සටහන් විය.

ඒ අනුව වසර 11 ක් තුළ දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය සිව් ගුණයකින් ඉහළ ගොස් ඇත.

Comment (0) Hits: 499

Page 10 of 13