Language Switcher

V2025

තුර්කි භූ කම්පනය වාර්තා කළ මාධ්‍යවේදීන් අත්අඩංගුවට

පෙබරවාරි 6 වන දින තුර්කියට එල්ලවූ මාරාන්තික භූමිකම්පාව සම්බන්ධයෙන් වාර්තා සැපයූ මාධ්‍යවේදීන් රාශියක් තුර්කි රජය අත්අඩංගුවට ගෙන ඇතැයි බීබීසිය වාර්තාකර තිබේ.

මීට දින කීපයකට පෙර භූමිකම්පාවෙන් විපතට පත් ප්‍රදේශ නැරඹීමට ගිය ජනාධිපති Recep Tayyip Erdogan ජනතාවට පැවසුවේ "ව්‍යාජ ප්‍රවෘත්ති" පතුරුවන සහ "සමාජ අවුල් ඇති කරන" අයට "ප්‍රකෝප කරන්නන්" ලෙස හඳුන්වමින් නඩු පවරන බවය.

බීබීසී වාර්තාවට අනුව භූමිකම්පාව වාර්තා කිරීම හෝ අදහස් දැක්වීම සම්බන්ධයෙන් මේ වනවිට සිය ගණනක් රඳවාගෙන, හිරිහැර කර හෝ වාර්තා කිරීමෙන් වළක්වා ඇත.
මාධ්‍ය නිදහස කණ්ඩායම් පවසන්නේ අසාධාරණ ලෙස ලෝක ජනතාවගෙන් තොරතුරු සැඟවීමට රජය ක්‍රියාකරන බවයි.

තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවලින් අවම වශයෙන් පුද්ගලයින් 50,000 ක් මිය ගියහ.

දිවි ගලවා ගත් සමහර අය පැවසුවේ තමන්ට දින ගණනක් ආධාර නොලැබුණු බවයි. විරුද්ධ පක්‍ෂ මාධ්‍ය ආයතන හරහා ද එවැනිම පැමිණිලි උපුටා දක්වන ලදී.

මෑතකදී හඳුන්වා දුන් සාවද්‍ය තොරතුරු නීතිය යටතේ වාර්තා කරුවන් අත්අඩංගුවට ගැනීම හා ප්‍රශ්න කිරීම් සිදු කර තිබේ.

 තුර්කියේ නව නීතිය ඔක්තෝබර් මාසයේදී සම්මත විය. එය මහජනතාව සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීම අපරාධයක් බවට පත් කළ අතර ප්‍රවෘත්ති වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පාලනය කිරීමට රාජ්‍යයට වඩා පුළුල් බලතල ලබා දුන්නේය.

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බවට ඇතැමුන්ට පනවා ඇති චෝදනා ව්‍යාජ බවද මාධ්‍ය සංවිධාන පවසා තිබේ.

යුරෝපා කවුන්සිලයේ නෛතික නිරීක්ෂණ සංවිධානයක් වන ‘වැනීසියේ කොමිසම‘ පැවසුවේ නව නීතිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා කරන බවයි.

දේශසීමා රහිත වාර්තාකරුවන් (RSF) වාර්තා කරුවන්ට එරෙහි පරීක්ෂණ "විකාර" ඒවා ලෙස හඳුන්වා ඇති අතර එය ඉවත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.