කොවිඩ් රෝගීන් 689 යි : අධි අවධානම් කළාපයේ ආයතන මැයි 11 විවෘත කිරීමට තීන්දුවක් !

කොවිඩ් රෝගීන් 689 යි : අධි අවධානම් කළාපයේ ආයතන මැයි 11 විවෘත කිරීමට තීන්දුවක් !

අද (01) මේ වන විට මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 689 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක සඳහන් වන්නේ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබිය දී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වන සඳුදා ඇරඹීමට නියමිත බවය.

මේ දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට විවෘත කොට පවත්වා ගෙන යා යුතු බවද ‍එම නිවේදනයේ දැක්වෙයි. 

සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙනු ලැබෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ඒ අනුව, ආයතන විවෘත කොට පවත්වාගෙනයාමේදී කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ මුළුමනින්ම පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වග බලාගත යුතුය. 

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍ය්‍යාව සහ සේවයට කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට පිළිවන. 

පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළයුතු වේලාව උදේ 10.00 ලෙස නියම කර තිබේ. 

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනයා අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල එක්රැස්වීම නතර කළ යුතුව ඇත. 

ගමනාගමන මණ්ඩල බස්රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සඳහා යනඑන අයට පමණක් සීමා කෙරේ. 

අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළ යුතු අය හැර සෙසු ජනයාගෙන් රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටින්නැයි ඉල්ලීමක් කෙරේ. 

කවරකු හෝ නිවසින් බැහැර යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අතාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි. 

මේ සෑම අවස්ථාවකම කොරෝනා පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතුය. 

පොලිස් බලධාරීන් විසින් නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත්‍ර වලංගුවන්නේ රියැදුරු සහ රථයේ ගමන් කරන අය මුඛ ආවරණ පැළඳ සිටින්නේ නම්පමණි යනුවෙන්ද එහි සඳහන් ය.

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි 06, බදාදා දක්වා ක්‍රියාත්මක වනුයේ කලින් පරිදි රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වාය.

මේ දිස්ත්‍රික්කවල මැයි 06, බදාදා රාත්‍රී 8.00ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 සඳුදා අලුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න