Language Switcher

V2025

අලුත් ලොක්කා නිසා : CID වෙත ලැබෙන විදෙස් සහයට බාධා !

ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අලුතින් පත් කරන ලද ප්‍රධානියා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ දෙනකුට වධ හිංසා දුන් බවට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් චෝදනා ලබා සිටින අයකු වීම නිසා එම ආයතනයට ලැබෙන විදේශීය සහායට බාධා මතුවී තිබේ.

වධකයකු ලෙස චෝදනා ලැබීමෙන් ප්‍රසිද්ධියට පත් අයකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID)  අලුත් අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස් හඳුන්වා දෙන ජගත් මානව හිමිකම් සංවිධානයක් ඔහුගේ යටතේ ඇති ආයතනයට දෙන ජාත්‍යන්තර සහයෝගය වහාම නැවත සලකා බැලීමට කාලය එළැඹ ඇතැයි එක්සත් ජාතීන්ගේ සාමසාධනය, ඇමරිකා එක්සත් ජනපදය සහ මහා බ්‍රිතාන්‍යයට යෝජනා කර සිටී.

වධබන්ධන හා සම්බන්ධ අධිකරණ ලේඛණ ගණනාවකම ප්‍රසන්න ද අල්විස් නම් කොට තිබෙන බව සඳහන් කරන සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) දෙමළ එකොලොස් දෙනකු විසින් විසින් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව 2019 කැලිෆෝනියාවේදී ගොනු කරන ලද නඩුව ඉන් එකක් බව කියා තිබේ.

yasmin sooka south2north

“විශේෂයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයට කලින්  මේ ගෙන ඇත්තේ මහත්සේ පීඩාගෙනදෙන පියවරකි,” යි  සත්‍යය  හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා ජොහැන්නස්බර්ග් නුවර සිට නිකුත් කළ නිවේදනයක් මගින් පවසා ඇත.

“තමන්ට වධහිංසා කළ හෝ වධ දීමට සම්බන්ධ හෝ බවට රැඳවියන් කිහිපදෙනකුම 1998 තරම් ඈත කාලයක සිට ප්‍රසන්න ද අල්විස්  නම් කොට තිබේ. යුද සමයේ පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ අල්විස් සිටි කාලයේ ඔහුට සෘජුවම නියෝග දුන් ගෝඨාභය රාජපක්ෂට, ප්‍රසන්න ද අල්විස් දිගටම ඉතාමත් පක්ෂපාතීව සිටි අයෙකි.”

ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව 2019 දී කැලිෆෝනියාවේ නඩු පැවරූ කැනඩා පුරවැසි රෝයි සමාදානම් අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රකාශයෙන් කියා සිටියේ, 2007 දෙසැම්බරයේ TID අත්අඩංගුවේ සිටියදී ප්‍රසන්න ද අල්විස් සහ ගෝඨාභය රාජපක්ෂ තමන් සම්බන්ධ සිද්ධිය ගැන දුරකතනයෙන් කතාකරනු ඇසුණු බවයි.

ප්‍රසන්න ද අල්විස් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාස මුලස්ථානයේ රාජකාරි කළ කාල වකවානුවේ TID විසින් ආයතනගතව  කරන ලද වධහිංසා පිළිබඳව එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණ කිහිපයක් විසින්ම ලේඛනගත කොට තිබෙන බව ITJP පෙන්වා දෙයි.

වධහිංසාව පිළිබඳ විශේෂ නියෝජිතයන් ද, මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (OHCHR) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවත්වන ලද විමර්ශනයේ වාර්තාව (OISL) ද මේ අතර වෙයි.

TID විසින් යොදාගන්නා ලද කෘර වධහිංසා විධික්‍රම :

මේ කාලය තුල TID විසින් යොදාගන්නා ලද කෘර වධහිංසා විධික්‍රම ගැන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික මානව හිමිකම් වාර්තා සැමෙකකම පාහේ සඳහන් වෙයි.

වධබන්ධනයෙන් පසු දිවි ගලවා ගෙන රටවල් 5ක ජීවත්වන 73 දෙනකුගේ සාක්ෂි වාචක මත පදනම් වී 2019 දී ITJP විසින් පල කරන ලද සවිස්තර වාර්තාවකට විෂය වී ඇත්තේ මේ කුප්‍රකට පොලිස් ඒකකයයි. විධාන වගකීම දරන පුද්ගලයන්ද ඇතුළු වධක චෝදනා ලබන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ 58 දෙනකු ද එම වාර්තාවෙන් හඳුනාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදුනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත මැන්ෆ්‍රඩ් නොවැක් 2007 තරම් ඈත කාලයකදී එම අපරාධ චූදිතයන් අතරින් කිහිප දෙනකුම නම් කර තිබුණි. ඒ කිසිවකුත් විමර්ශනයට හෝ දඬුවමට හෝ ලක් කර නැත. ඒ වෙනුවට කර ඇත්තේ ඉන්  බොහොමයකට උසස්වීම් ලබා දීමයි.

“මේ මිනිසා ශ්‍රී ලංකාවේ දණ්ඩ මුක්තිය සංකේතවත් කරන්නෙකි,”  යි යැස්මින් සූකා පැවසුවාය.

“වධබන්ධන සම්බන්ධයෙන් වගකිව යුත්තන් වගඋත්තරකාරිත්වයෙන් බැඳ තබන බවට සහතික කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව බැඳී සිටී. වධකයන් පූර්ව සෝදිසියට ලක් කර මහජන රාජකාරියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකාව ස්වකීය ජාත්‍යන්තර පොරොන්දු ප්‍රකාර බැඳී සිටී.”

මාධ්‍යවේදීන් කිහිපදෙනකු ගොනුකළ පෙත්සම් !

යුද සමයේ අත් අඩංගුවේ දී වධබන්ධනයට ගොදුරුවූ මාධ්‍යවේදීන් කිහිපදෙනකු ගොනුකළ මූලික මානව හිමිකම් පෙත්සමක ද ප්‍රසන්න ද අල්විස් නම් කර තිබේ. ඒ මාධ්‍යවේදීන් අතර වෙට්ටිවේල් ජසිකරන් හා ඔහුගේ සහකාරිය වලර්මතී වඩිවේලුද, අයුතු ලෙස දණ්ඩනයට ලක්වීම පිළිබඳ සංකේතයක්  ලෙස ජනාධිපති ඔබාමා විසින් හඳුන්වනු ලැබූ ජයප්‍රකාශ් සිත්තම්පලම් තිස්සනායගම් ද වෙයි.  

යුද සමයේත් ඉන් පසුවත් සිදු කෙරුණු යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් චෝදනා ලබන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති පදවියට පත් කිරීම ගැන  ITJP ඇතුළු සංවිධාන විසින් විරෝධය පල කිරීමෙන් අනතුරුව එක්සත් ජනපදය ඔහුට සහ ඔහුගේ පවුලේ ලඟම ඥාතීන්ට එරෙහිව පනවා ඇති සංචාර තහනමක් තවමත් ක්‍රියාත්මක වෙයි.