පාස්කු ප්‍රහාරය හරීන්ගේ හෙළිදරව්ව ගැන අව්‍යාජ පරීක්ෂණයක් අවශ්‍යයි - 43 සේනාංකය 

පාස්කු ප්‍රහාරය හරීන්ගේ හෙළිදරව්ව ගැන අව්‍යාජ පරීක්ෂණයක් අවශ්‍යයි - 43 සේනාංකය 

පාස්කු ප්‍රහාරයට වසර දෙකක් ගතවන අද (අප්‍රේල් 21) වනතුරුත් මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට වගකිව යුත්තන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීම බරපතල දේශපාලන ගැටළුවක් සහ සැක සංකාවක් මතු කිරීමට හේතු වී ඇති බවත්, පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ එළිදරව් කිරීම පිළිබඳ අව්‍යාජ පරීක්ෂණයක් අත්‍යාවශ්‍ය බවත් සඳහන් කරමින් ‘43 සේනාංකය’ විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

පාස්කු ප‍්‍රහාරයෙන් පසුව පැවැත්වූ ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මෙම ප්‍රශ්නය උග‍්‍ර ලෙස දෙශපාලනීකරණය කළ බවත්, තමන් බලයට පත් වූ පසු මේ ප‍්‍රහාරයට වගකිව යුතු සියල්ලන්ටම දඬුවම් දෙන බව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු මෙහි දේශපාලන වාසිය ගත් සියලු දෙනා ප්‍රකාශ කළ නමුත් තවමත් එය සිදුව නොමැති බවත් 43 සේනාංකය සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

එම නිවේදනය පහත දැක්වෙයි. පාස්කු ප‍්‍රහාරයට වගකිව යුත්තන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයාගේ එළිදරව් කිරීම පිළිබඳ අව්‍යාජ පරීක්ෂණයක් අවශ්‍යයි !

පාස්කු ප‍්‍රහාරයට අදට වසර දෙකක් ගතවී ඇත. මානව ගරුත්වය අගයන සමස්ත ලෝකයම පිළිකුලෙන් හෙළා දුටු මේ ප‍්‍රහාරයට වගකිව යුතු, දැනට මිය නොගොස් සිටින ත‍්‍රස්තවාදීන් මෙන්ම මේ ප‍්‍රහාරය මෙහෙය වූ සැඟවුන හස්තයන්ද නීතියේ රැහැනට කොටුකර ගැනීම පුදුමාකාර ලෙස ප‍්‍රමාදවීම මේ වන විට බරපතල දේශපාලන ගැටළුවක් සහ සැක සංකාවක් මතු කිරීමට හේතු වී ඇත. සිය ගණනක් අහිංසක ජනතාව ඝාතනය  කළ එම මිලේච්ඡ ක‍්‍රියාව සිදු කිරීමට එහි මෙහෙයුම් කරුවන්ට සහ ප‍්‍රහාරකයන්ට හැකි වූයේ යහපාලන ආණ්ඩුව සමයේ උද්ගතව තිබූ ජාතික ආරක්ෂාවේ හිදැසක් නිසා බව පැහැදිලිය.

ආරක්ෂාව පිළිබඳ මතු වූ මේ ප‍්‍රශ්නය පාස්කු ප‍්‍රහාරයෙන් පසුව පැවැත්වූ ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් උග‍්‍ර ලෙස දෙශපාලනීකරණය කළ අයුරු අපි දුටුවෙමු. පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා ලෙස තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ පාස්කු ප‍්‍රහාරයේ මිනිස් රැධිරය වේලීයාමටත් පෙරය. තමන් බලයට පත් වූ පසු මේ ප‍්‍රහාරයට වගකිව යුතු සියල්ලන්ටම දඬුවම් දෙන බව ගෝඨාභය මහතා ඇතුලූ මෙහි දේශපාලන වාසිය ගත් සියලූ දෙනාම නැගූ ඝෝෂාව විය.

එහෙත් පොහොට්ටු ආණ්ඩුව බලයට පත්ව සෑහෙන කලක් ගතව තිබුනද ප‍්‍රහාරයට වග කිව යුත්තන්ට දඩුවම් දීම දිගින් දිගටම ප‍්‍රමාද වීම, ව්‍යාජ ‘‘මහ මොළකරුවන්‘‘ ප‍්‍රකාශයට පත් කිරීම  සහ ප‍්‍රහාරය පිළිබඳ විමර්ශන දියාරු වීම  යන කරුණු ආණ්ඩුව කෙරෙහි ජනතා අප‍්‍රසාදයත් සැකයත් මතු කිරීමට හේතු වී ඇත.  

පාස්කු ප‍්‍රහාරයේ වගකිව යුත්තන් හඳුනා ගැනීමට අදාලව විපක්ෂයේ මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ හෙළිදරව්ව වැදගත් වන්නේ මේ පසුබිමෙහිදීය. ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ දැඩි බධා කිරීම් මධ්‍යයයේ හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් කරන ලද එළිදරව්වෙන්  රජයේ ඉහල පෙළේ බුද්ධි අංශ නිලධාරියකුගේ ක‍්‍රියාකලාපය පාස්කු ප‍්‍රහාරය හා සමබන්ධ වන බව කියැවිණි. එම කරුණු තහවුරු කිරීම සඳහා ඒ මහතා විසින් වැදගත් ලිපි ලේඛනද ඉදිරිපත් කරන ලදී. මන්ත‍්‍රීවරයාගේ එම වැදගත් හෙළිදරව්වට සාවධානව සවන්දෙනු වෙනුවට ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් කරන ලද නොමනා බාධා කිරීමෙන් ආණ්ඩුවට කිසියම් යමක් සැඟවීමට වුවමනා වී ඇත්තේද යන සැකය මතුවීම සාධාරණය. පාස්කු ප‍්‍රහාර විමර්ශනය සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන අතිශය දියාරු ආකල්පය පිළිබඳ හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා ඉදිරිපත් කළ කරුණුද ඉතා වැදගත් බව පෙනේ.

විපක්ෂ මන්ත‍්‍රීවරයා ඉදිරිපත් කළ කරුණු යට ගැසීමට ඉඩ නොදී වහාම එම කරුණු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා ජනතාවට සත්‍ය හෙළිදරව් කරන ලෙස අපි රජයට බලකර සිටිමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න