Language Switcher

V2025

තව ඩිංගෙන් ඩලස් දඩ බඩස් !

ඉතිහාසයේ කිසිදු දිනක සිදුව නැති ආකාරයට පුවතක් පළකිරීම හේතුවෙන් , ඊට අදාළ මෙරට ජාතික පුවත්පත් සියල්ලේම කතුවරුන් ඇතුළු, මාධ්‍යවේදීන්, සැප්තැම්බර් 28, එනම් අද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණ.

මෙම පුවතට අදාළ සිදුවීම වන්නේ කුප්‍රකට සතොස සුදුලූණු වංචාවයි.

සතොස සුදුළුණු වංචාව සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිල්ලක් සිදුකර ඇත. ඊට අදාළව, ඔහු ගෙන් පැය 4ක 5ක පමණ ප්‍රකාශයක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ගෙන තිබු බවත් දැනගන්නට ඇත.

වෙළඳ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයේ දී පුවත්පත්වල මෙම වංචාව සම්බන්ධයෙන් පළවූ පුවත් පිළිබඳ පවසා ඇති බවත් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

ඒ අනුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ , මෙම සුදුලූණු වංචාව සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළකළ, මෙරට ජාතික පුවත්පත් සියල්ලේම කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ය.

දේශපාලන විචාරකයන් පවසන්නේ පුවතක් නිසා මේ ආකාරයට , සියලුම පුවත්පත් කතුවරුන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණයට කැඳවූ පළමු අවස්ථාව මෙය බවය.

එසේම එය මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් බවත් ඔවුන් අවධාරණය කරයි

මේ අනුව ඉදිරියට ආණ්ඩුවේ වංචා දූෂණ අනාවරණය කිරීම පමණක් නොව, සරල වාර්තාකරණයේ යෙදීමත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමට සිදුවන්නක් බවට සංඥාවක් නිකුත්ව ඇති බව විචාරක අදහසයි.

එසේම මෙය මෙරට ජනමාධ්‍ය සහ මාධ්‍යවේදීන් ගේ වෘත්තීය නිදහස බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

වඩාත් අවාසනාවන්ත තත්ත්වයක් වන්නේ දේශපාලනඥයකු වීමට පෙර මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස සිටින පසුබිමේ මෙවැන්නක් සිදුවීමයි.

දැනගන්නට ඇති ආකාරයට , සියලු පුවත්පත් කතෘවරුන්, මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් වූ මොහොතේ ඊට සි‍ය කණගාටුව පළකර ඇත.

එසේම මෙකී කැඳවීම සිදුකර ඇත්තේ , විෂය භාර අමාත්‍යවරයා නොදැනුවත්ව බවත් ආරංචි මාර්ග පවසයි.

කෙසේ වුවත් කැබිනට් තීන්දු දැනුම්දෙන ප්‍රවෘත්ති සාකච්ඡාව අවස්ථාවේ ඩලස් අමාත්‍යවරයා පවසා සිටියේ කිසිසේත් අනුමත කළ නොහැකි දෙයක් සිදුව ඇති බවයි. වහාම එය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කර අවලංගු කරවූ බවත් එහිදී සඳහන් විය.

අද අදාළ කැඳවීමට නොයන ලෙස ජනමාධ්‍ය අමාත්‍යංශය මාධ්‍ය ආයතන වෙත දන්වනු ලැබුවේ ඒ අනුවය.

එහෙත් දේශපාලන විචාරකයන් මෙන්ම ජනමාධ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ , ජනමාධ්‍ය අමාත්‍යවරයා නොදැනුවත්ව, සියලු පුවත්පත් කතුවරුන් සහ මාධ්‍යවේදීන් කැඳවීමට ගනුලැබූ තීන්දුව බරපතළ බවයි.

මේ ආකාරයට වැඩකටයුතු සිදුවෙනවා නම්, එහිදී දෙයාකාරයක අවධානමක් ඇති බව ඔවුන් පෙන්වා දෙනවා

එයින් පළමු වැන්න ආරක්ෂක අංශ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ දැනුවත් භාවයෙන් තොරව මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන, බවට වන සංඥාවයි.

දෙවැනි කරුණ වන්නේ , ජනමාධ්‍ය විෂය පථයට අදාළව, ආරක්ෂක අංශ ගනුලබන තීන්දු තීරණ සම්බන්ධයෙන්, ජනමාධ්‍ය අමාත්‍යවරයා නොදැනුවත් වීමයි.

කොහොම නමුත් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා ඉතිහාසයේ අපකීර්තිමත්ම සිදුවීමක් මේ ආකාරයට නවත්වා ගැනීමට කටයුතු කිරීම වැදගත් වෙයි. මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් නරක සේයාවක් අස්සෙන් වුවත් සිදුකළ මැදිහත්වීම අගය කළ යුතුයි.

තව ඩිංගෙන් ඩලස් දඩ බඩස් !