"ජනතාවට විශ්වාස කළ හැකි" කැබිනට් මණ්ඩලයක් !

"ජනතාවට විශ්වාස කළ හැකි" කැබිනට් මණ්ඩලයක් !

"ජනතාවට විශ්වාස කළ හැකි" කැබිනට් මණ්ඩලයක් පත්කිරීම "දේශපාලන පක්ෂවල වගකීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ, පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම පිණිස ලන්ඩන් නුවරට ගිය අතරවාරයේ 'බීබීසී සිංහල සේවය' සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

චෝදනා ලැබ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කෙරුණු පුද්ගලයන් යළිත් පත්කරන්නේ ද? නැද්ද? යන්න තීරණය කිරීම "දේශපාලන පක්ෂවල වගකීමක්" බව පැවසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, එළඹෙන කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුර ලබාදෙන්නේ සුදුසු පුද්ගලයින්ට පමණක් බව එහිදී කියා සිටියේය.

"මම ගාවට එන යෝජනාවලදී මම සොයල බලනවා ඕනෑම කෙනෙක් කැබිනට් මණ්ඩලයට පත්කිරීම සුදුසුද? නුසුදුසුද? කියන එක. ඒක මගේ වගකීමක්." ඔහු අවධාරණය කළේය.

නීතිය හා සාමය වැනි අමාත්‍යාංශවලට ජාත්‍යන්තර පිළිගැනීමක් අවශ්‍යයි :

කැබිනට් අමාත්‍ය පදවිවලට පුද්ගලයන් පත් කිරීමේදී රට තුළ පවතින තත්වය පිළිබඳ පමණක් නොව එම පදවිවලට පත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් පවතින පිළිගැනීමත් සැලකිල්ලට ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසිය.

විශේෂයෙන්ම නීතිය හා සාමය වැනි අමාත්‍යාංශවලට පත් කළ යුත්තේ කවුරුන් දැයි රට තුළ පසුගියදා විවිධ මතවාද පැවති බව බීබීසී සිංහල සේවය පෙන්වා දුන් අවස්ථාවේ එයට ප්‍රතිචාරය දැක් වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, තමන්ට එහිදී ජාත්‍යන්තර වාතාවරණය ද සැලකිල්ලට ගැනීමට සිදු වූ බවය.

"ඕනෑම අමාත්‍යාංශයක් පිළිබඳව, ඒ ඒ විෂය පථය පිළිබඳව, ඒ වගකීම් දරන කෙනෙක් සම්බන්ධයෙන් රටෙනුත්, ජාත්‍යන්තර වශයෙනුත් පිළිගැනීමක් තියෙන්න ඕන," ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ අමාත්‍යවරුන් පහළොස්දෙනෙකු සහ නියෝජ්‍ය කතානායකවරයා සිය පදවිවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව නව කැබිනට් සංශෝධනයක් සිදුකරන බව ආණ්ඩුව නිවේදනය කර තිබේ.

එය "කැබිනට් සංශෝධනයකට" වඩා සම්පූර්ණයෙන්ම "අලුත් කැබිනට් මණ්ඩලයක් පත්කිරීමක්" ලෙස සලකන බව පවසන ජනාධිපතිවරයා, සිය ලන්ඩන් සංචාරයෙන් අනතුරුව මුලින්ම අඟහරුවාදා (අප්‍රේල් 24) දැනට පවතින කැබිනට් මණ්ඩලය මුණ ගැසෙන බවත් සඳහන් කළේය.

අලුත් කැබිනට් මණ්ඩලය ලබන සතියේ :

ඉන් අනතුරුව නව කැබිනට් මණ්ඩලය ලබන සතියේ නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා පැවසිය.

එම "අලුත් කැබිනට් මණ්ඩලයට" කෙතරම් පිරිසක් ඇතුළත් වන්නේදැයි විමසූ අවස්ථාවේ එයට සිනහවකින් ප්‍රතිචාරය දැක්වූ ජනාධිපතිවරයා "ඒකට තව සතියක් තියෙනවනේ" යනුවෙන් සඳහන් කළේය.

නිවේදනය කිරීමට යෝජිත අලුත් කැබිනට් මණ්ඩලය "පැහැදිලිවම විද්‍යාත්මක පදනමක් අනුව විෂයයන් බෙදපු අමාත්‍යංශ" සහිත කැබිනට් මණ්ඩලයක් වන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

(බීබීසී සිංහල සේවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න